Sri Lanka Brief
පුවත්විවරණචූලවංස සිරිලාල් සහෝදරයා – කෙටි මතක සටහනක් – සුනන්ද දේශප්‍රිය

චූලවංස සිරිලාල් සහෝදරයා – කෙටි මතක සටහනක් – සුනන්ද දේශප්‍රිය

by

අප කව්රුත් ඔහුට කීවේ චූලා කියා ය. දශක ගණනාවක් ජනමාධ්‍යවේදියකු සේ කටයුතු කළ ඔහු පසුගිය සෙනසුරාදා දෑස් පියා ගත්තේය.

පසුගිය අගොස්තු මාසයේදී දැන් ජපානයේ ජීවත්වන බුද්ධික වීරසිංහ නවසීලන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය වාර්තා කිරීමට ලංකාවට ආවේ ය.

තරඟ පටන්ගන්නට පෙරම අප දෙදෙනා එක්ව චූලා හමුවන්නට ගොස් ‌බොහෝ ‌වේලාවක් අල්ලාප සල්ලාපයේ ‌යෙදුනෙමු.

ගතින් දුබලව සිටියද චූලා සිතින් එදා අප සමඟ සටන් බිමේ සිටි චූලාම විය. අප අතීතයද වර්ථමානයද අනාගතයද ගැන ‌දොඩමළු වීමු. සිනහ සුනෙමු. යුක්තිය පුවත් පතෙහි අප ගත කළ අපූරු කාලය ගැන කතා කළෙමු. අනාගතය ගැන බලාපොරොත්තු තබා ආපසු ඒන විට, චූලා සනීප ‌වෙන්න යැයි කීමු. ඔව්, මම ආපහු සනීප ‌වෙලා එනවා, යැයි ඔහු පුරුදු ස්වරයෙන්ම කීවේ ය. අපේ ඒ් සමුගැනීම අවසන් සමුගැනීම ‌වෙනු ඇතැයි සිතන්නට ‌හේතුවක් තිබුණේ නැත.

.

මා චූලා දන්නේ ‌‌බොහෝ කාලයක සිට ය. මම 1972 සිට දෙවසරක් තරම් අප්‍රේල් කැරැල්ලේ මහනඩුවේ සැකකරුවකුව අපරාධ යුක්ති කොමිසම හමුවෙහි චෝදනා ලබා සිටියෙමි. එකී මහ නඩුව විභාග කළ සමයෙහි අපේ නඩුව වාර්තා කිරීමට ඇත්ත පත්තරයෙන් ආවේ ස්ටැන්ලි සමරසිංහ සහ දයා ලංකාපුර යන තරුණ මාධ්‍යවේදීන් දෙදෙනා ය. චූලා මෙම මාධ්‍යවේදීන් දෙදෙනාගේ සමීපතමයකු විය.

පසුකළෙක මා සංස්කාරත්වය දැරූ ‘යුක්තිය’ පුවත පතට චූලා සම්බන්ධ විය. බොහෝ විට නිර්නාමිකවය. අප පුවත්පතෙහි ඉතා ජනප්‍රිය අංගයක් වූ අවසන් පිටුවෙහිි අද විශේෂලිවීම ආරම්භ කලේ චූලා ය. ඔහුට දේශපාලන සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ සබඳතා තිබූ නිසා ඉතා වැදගත් කතන්දර රැගෙන ඒමට ඔහු සමත් විය. පුවත් ඉතා කෙටියෙන් ලිවීමට ඔහුට සහජ හැකියාවක් තිබුණි.

 

සති අන්ත පත්තරයක වැදගත්ම අංගයක් වන මුල් පිටුවේ ශීර්ෂපාඨය ලිවීමට චූලා බොහෝ විට හවුල් විය. ඒ් සඳහා යොදා ගන්නා අකුරුවල විශාලත්වය අනුව හෙඩිමට යන අකුරු ගණන ගණනය කර හෙඩින් ගණනාවක් ලියා යෝග්‍යතම ඒක තෝරා ගැනීමට ද බොහෝ දිනවල චූලා මූලිකත්වය ගත්තේ ය. ඒ අතරම ඔහු අප සමඟ සිටි ආධුනික ජනමාධ්‍යවේදීන්ට ගුරුහරුකම් ද ලබා දුන්නේ ය. ‘ ඒ අතර’ ‘එමෙන්ම’ ‘තවද’ ‘වැළිත්’ වගේ වචන නැත්නම් සිංහල භාෂාව නැහැ යැයි සිරා විහිළුවට කියන්න පුරුදුව සිටියා, යැයි කී චූලා පුවතක් ලිවීමේ දී අන්තර් සම්බන්ධය පවත්වා ගන්නට උපදෙස් කියා දුන්නේ ය. ඔහු සිරා යැයි කීවේ ‘ඇත්ත’ කර්තෘව සිටි බී.. සිරිවර්ධනට ය.

චූලා සෑමවිටම වාගේ කාර්යාලයට ආවේ කළුවර වැටී අප පත්තරයේ වැඩ ඉවර කරන්නට ඔන්න මෙන්න කියා තිබියදී ය. මට මතක හැටියට එවකටත් ඔහු ලංකාදීප පුවත්පතෙහි නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළේ ය.

අප බොහෝ මාධ්‍යවේදීන් මධුපානයේ රුසියන් වූ නමුත් චූලා රහමෙර කටේ තිබ්බේවත් නැත. දුම් පානය කළේ ද නැත. සෑම විටම ඇද සිටියේ මැදපු සුදු කමීසයක් සහ තරමක් බැගී දිගු කළිසමකි. සෑම විටකම කුඩා දිනපොතක් ඔහුගේ සාක්කුවේ තිබුණි. ජනමාධ්‍යවේදියකුට අවශ්‍ය ඕනෑම දුරකථන අංකයක් ඒ දින පොතෙහි වී යැයි කීම අතිශෝක්තියක් නොවේ. දුරකථන අංක ජනමාධ්‍යවේදියකු සතු වැදගත්ම දෙයකැයි කීමට ඔහු පුරුදුව සිටියේ ය.

සිරිමා බණ්ඩානායක සමඟ චූලාට විශ්වාසවන්ත සම්බන්ධයක් තිබුණි. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ ප්‍රථම මාධ්‍ය ලේකම්වූයේ ඔහු ය. එවකට ජනමාධ්‍ය ඇමැතිවරයා වූ ධර්මසිරි සේනානායක සමඟ එක්ව මෙරට ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ සමඟ එක්ව අමාත්‍ය මණඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඒ් සඳහා කමිටු හතරක් පිහිටුවීමට ද චූලා මූලිකත්වය ගත්තේ ය. අද මෙරට ජනමාධ්‍ය ප්‍රජාතන්ත්‍රීයකරණය සඳහා අප සතුව ඇති හොඳම වාර්තා බිහිවූයේ එම කමිටු වලිනි. ජනමාධ්‍ය නීති ප්‍රතිසංස්කරණය සඳහා ඇති ආර්.කේ.ඩබ්ලිව්. කමිටු වාර්තාව ද ඉන් එකකි.

අවාසනාවකට ධර්මසිරි සේනානායක මහතා ජනමාධ්‍ය ඇමැතිධුරයෙන් ඉවත්කිරීමෙන් පසු ඒම වාර්තා හමස් පෙට්ටියට ගියේ ය.

චූලා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භක අවධියේ සිටම එහි ක්‍රියාකාරී විය. ඉතා දක්ෂ කථාකයකු වූ ඔහු නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මුල් කාලයේ පැවැත් වූ මහජන රැස්වීම්හි සිත් ඇදගන්නා කථිකයකු ද විය. ඔහු සෑම විටම වාගේ කතාව ආරම්භ කළේ මෙසේ ය: ‘අපි ජනමාධ්‍යවේදීන් අපේ පින්තූරයක්වත් පත්තරයක දාන්නේ නැහැ. අප කරන්නේ ඔබ කියන දේ වාර්තා කරන ඒකයි. නමුත් අද අපට ඔබ හමුවට ඇවිත් කතා පැවැත්වීමට සිදුව තිබෙනවා. ඒ ඔබ කියන දේ වාර්තා කරන්නට අපට තියෙන නිදහස නැතිවෙන්න යන නිසයි.’ 2009 – 2010 වර්ශයන්හි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු ලෙස ක්‍රියා කළේ ද චූලා ය.

ඔහුගේ ඒ සටන්කාමී හඩ ද ජනයාගේ හඬ අනේක වාරයක් අකුරු බවට පත් කළ පෑනද අද නිහඩ ය.

සුබ ගමන්, චූලා.

 

ජයාරූප (c) SLB/Sunanda Deshapriya

Back to Top