Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගගෝඨාභය සහ ජාතික ජන බලවේගය – සුනන්ද දේශප්‍රිය

ගෝඨාභය සහ ජාතික ජන බලවේගය – සුනන්ද දේශප්‍රිය

by

 

පසුගිය සති අන්තයේ පත්තර කඩයට ගිය අවස්ථාවෙහි මේ වන විට සිය ගණනාවකගෙන් මා අසා ඇති ප්‍රශ්නය යළි ඇසීමි. එනම් ඡන්දේ මොකද වෙන්නේ කියාය. වෙළද සැල් හිමි මා කලක සිට දන්නා අයෙකි. ඔහු මෙසේ කීවේ ය. ‘කව්රු ආවත් වැඩක් නෑ. අවුරුදු 71ක් ම රට කෑවා. දැන් ඉතිං මරල හරි රට හදන කෙනෙක් තමයි ඕන. එහෙම නැතුව රටේ නීතිය ඇති කරන්න බැහැ.’

එදිනම සවස ගෝඨාභය රාජපක්ෂ, රාජපක්ෂවාදී ත්‍රී රෝද රියැදුරන්ගේ රැස්වීමක් අමතනු රූපවාහිනී පුවත්හි දුටුවෙමි. ඔහු මෙසේ කීවේ ය. ‘මා පොලීසියෙන් ඉල්ලනවා ත්‍රී රෝද රථ රියැදුරන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ දී සංවේදී වන ලෙස.’ එනයින් ඔහු නොකියා පොලීසියට කීවේ මාර්ග නීති ත්‍රි රෝද රථ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොකරන ලෙසයි.

‘කරමු. එහෙනම් 50 කරමු’ 

එම රැස්වීමෙහි ම කතා කළ මහින්ද රාජපක්ෂ පොලීසිය ක්‍රියාත්මක කරන එක් නීතියක් වන ත්‍රී රෝද රථ වේග සීමාව කොතරම් ඉහළට දැමිය යුතුදැයි සභාවෙන් අසුවේ ය. ඔව්හු 50ට 50ට යැයි කීහ. ‘කරමු. එහෙනම් 50 කරමු’ යැයි මහින්ද රාජපක්ෂ ජයග්‍රාහී විලාසයෙන් කියා සිටියේ ය.

ත්‍රී ‌රෝද රථ මාර්ග අනතුරුවල ප්‍රධාන සාධකයකි.

ත්‍රී රෝද රථ රියැදුරන් යනු මෙරට මාර්ග නීති වැඩි පුරම උල්ළංඝණය කරන පිරිස ය. ඔවුන් බොහෝ දෙනා වාහන පසු කර යන්නේ වමෙන්ද  දකුණෙන් ද කහ ඉර උඩින් ද කියා කිසිදු සැලකීමකින් තොරව ය. අප පදික මාරුවකින් මාරු වන විට පවා ඔව්හු වෙට්ටු දමා කහ ඉර කපාගෙන යති.  එමෙන්ම මෙම සැහැල්ලු කුඩා ත්‍රී රෝද රථය පාලනය කර ගැනීමට බැරි තරම් වේගයෙන් හඹා යති. තවද කුරුණෑගල වැනි නගරවල ලිංගික ජාවාරම සහ පැයේ දෙපැයේ ගෙස්ට් හවුස් ජාවාරමට ද ඔවුන් සම්බන්ධ ය. සාමාන්‍යයෙන් හන්දියේ චණ්ඩින් වන්නේ ද ඔවුන් ය. අනිසි මැතිවරණ ප්‍රචාරය සහ බලය සඳහා මෙම පිරිස් අතිශය ප්‍රයෝජනවත් ය.

අප කවුරුත් දන්නා කාරණයක් නම් මෙරට විශේෂයෙන්ම නාගරික ත්‍රී රෝද රථ රියදුරන්ගේ බහුතරය රාජපක්ෂවාදී පාලනයකට කැමැති බවයි. බහුතර ත්‍රී රෝද රියදුරු සංස්කෘතිය යුද්ධ කාලීන දේශපාලනයේ කොටසකි. එකල ආරක්ෂක හමුදාවන්ට බෝධි පූජා පැවැත්වීමේ සිට සෑම හන්දියක ම බුදුපිළිම පිහිටුවීමේ සිට බුද්ධි අංශ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම නාගරික ත්‍රී රෝද රියදුරු ප්‍රජාවෙහි කාරියක් විය.

මේ වනාහී ගෝඨාභය රාජපක්ෂ විසින් මිනී මැරීම මගින් හෝ ඇති කරනු ලබන නීතිය කුමක්දැයි තේරුම් ගත හැකි සරල නිදසුනකි. එනම් ස්වකීය බලවේගයන්ට නීතියක් රීතියක් නැතිව කටයුතු කරන්නට ඉඩ දීම ය. මරනු ඇත්තේ රොෂාන් චානකලා ලසන්ත වික්‍රමතුංගලා වැනි තමන්ට අවනත නොවන්නන් ය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුවහොත් මෙරට දරුණූ පාලනයක් ඇතිවනු ඇතැයි ඉංග්‍රිසියෙන් ලියන දේශපාලන විශ්ලේෂකයින් ගණනාවක්ම පූරෝකතනය කර තිබේ. ඔහු සහ රාපක්ෂවරු බලයට පත්වුවහොත්  ක්‍රියාකාරී දේශපාලන විපක්ෂයකට ඉඩ නොතබනු ඇතැයි ඔව්හු කියති. මන්ද යත් යළිත් වතාවක් 2015ක් ඇතිවීමට ඉඩ දීමට ඔවුන් සූදානම් නැති නිසා ය.

දෙමළ සහ මුස්ලිම් ජනයා අතර ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් ඇත්තේ මහා බියකි. සිය ආගමික උත්සවය පැවැත්වීමට මෙරටට පැමිණි විසිදහසක් තරම් සාමකාමී බෝරා මුස්ලිම්වරුන්ට විරුද්ධව රාජපක්ෂගේ සමාජ මාධ්‍ය පාබල හමුදාව දියත් කර ඇති දැවැන්ත වෛර ප්‍රහාරයන් විසින් එම බිය සහේතුක කරයි. මෙම සමුළුව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙනු ඇති සාධනීය ප්‍රචාරය සහ ඉන් ලැබෙන මුල්‍ය වාසි නොසලකා රාජපක්ෂවාදීන් විසින් දියත්කර ඇති මෙම වෛර ව්‍යාපාරයෙන් පෙනෙන්නේ බලය ලබා ගැනීම සඳහා ජාතිවාදය ඇවිස්සීමේ කූටෝපාය යි.

ඉල්ලන්නේ ඇයි?

මෑත දිනයක මා හා පිළිසදරට වැටුණු කොළඹ ඉහළ මැද පංතික දේශපාලන වශයෙන් නෙැබැදුණූ අයකු මෙසේ අසුවේ ය. ‘ ජනාධිපතිවරණයට ඉල්ලීමේ ජවිපෙ න්‍යාය පත්‍රය කුමක්ද? ඔවුන්ට දිනන්න බැහැ. ඔවුන් ඉල්ලන එකේ වාසිය ගෝඨාභයට නේද?’ ඔහු කල්පනා කරන අන්දමට ගෝඨාභය ජනාධිපති වුවහොත් මෙරටෙහි ජීවත්විය යුතුද යන්න යළි කල්පනා කළ යුතුය. දැනටමත් ඔහුගේ පාසල් සගයින් දෙදෙනෙකු ම රට හැර ගොස් ඇතැයි ද ඔහු කීවේ ය. ඔහු පසුගිය මහා මැතිවරණයේ දී සිය ඡන්දය දී ඇත්තේ ද ජවිපෙට ය.

ජනතා විමුක්ති පෙරමුණේ මුූලිකත්වයෙන් ගොඩනැගී ඇති ජාතික ජන බලවේගය මධ්‍යස්ථ ඡන්දදායකයා දිනා ගැනීමෙහිලා මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය මෙයයි. එනම් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් සමාජයෙහි ඇති බිය තිබියදීම මධ්‍යස්ථ පිරිස් තමන් කෙරෙහි දිනා ගැනීම යි.

තමන් දෙවන මනාපය ලකුණූ කිරීමට විරුද්ධ බව ජවිපෙ විසින් ප්‍රකාශ කර තිබීම නිසා මෙම තත්වය තවදුරටත් උග්‍රවෙයි. කවර හෝ හේතුවක් නිසා කිසිදු අපේක්ෂකයකුට ප්‍රකාශිත ජන්ද සංඛ්‍යාවෙන් සියයට 50ක් ගැනීමට නොහැකි වුව හොත් ද මෙම තත්වය තවත් බරපතල වෙයි. ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට ජාතික ජන බලවේගය දායක වූ බවට මතවාදයක් පැන නැගුණ හොත් එය දේශපාලන වශයෙන් ඔවුන්ට අවාසිදායක වනු ඇත.

තෙවැනි බලවේගයක් සමාජයට අවශ්‍ය ය

එසේ නමුත් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවිය යුතු යැයි මෙම සාධකය මත පමණක් ම තර්ක කිරීමට නොහැකි ය. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ප්‍රධාන දේශපාලන ධාරා දෙක ම විසින් රට විනාශයට පමුණුවන ලද පසුබිමක ය. එවැනි තත්වයක් යටතෙහි තෙවැනි බලවේගයක් සමාජයට අවශ්‍ය ය.  එවැනි විකල්පයක අවශ්‍යතාවය අවිවාදිත ය.

ජාතික ජන බලවේගය අපට කියන්නේ එයට ජනාධිපතිවරණ තරඟය ජයගත හැකි බවය. නමුත් එය ඇත්ත නොවන බව අපි දනිමු. එසේ නම් ඇත්ත ජනයාට කීමට ජාතික ජන බලවේගයට නොහැකි මන්ද? එයට මෙම ජනාධිපතිවරණය ජයගත නොහැකි නම් එය, තමන් මෙම තරඟයට ඉදිරිපත්වීම සාධාරණය කරන්නේ කෙසේද? මා සිතන අන්දමට නම් එයට ඡන්දය දෙන යහපත් මානසිකත්වයක් ඇති කිසිවකු තමන් ඡන්දය දෙන්නේ මීළඟ ජනාධිපතිවරයාට යැයි නොසිතනු ඇත. එසේ නම් මේ ජනයා සිය ඡන්දය ජාතික ජන බලවේගයට දීම සාධාරණ කරගන්නේ කෙසේ ද?

ඊට හේතු කිහිපයක් තිබිය හැක.

  1. ‘ධනපති’ ක්‍රමයට විරුද්ධව ‘සමාජවාදය’ට පක්ෂ නිසා.
  2. ප්‍රධාන දේශපාලන ධාරා දෙක සමඟ ඇති කළකිරීම සහ තරහ නිසා.
  3. තෙවැනි විකල්ප බලවේගයකට ඇති කැමැත්ත නිසා.

මා සිතන අන්දමට නම් දීර්ඝ කාලීන සහ වැදගත්ම කාරණය වන්නේ තුන්වැන්න යි. නූතන ලෝක තත්වය තුළ අප විසින් සොයා යා යුත්තේ හුදෙක් සමාජ සාධාරණත්වය ඇති කරනු ඇති දේශපාලනයක් නොව පාරිසරික සාධාරණත්වක් ද ඇති කරනු ඇති දේශපාලනයක් නිසා ය.

අගෝස්තු 18වනදා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් අභිෂේක කිරීමෙන් පසු ජවිපෙ නායක අනුර කුමාර දිසානායන විසින් පවත්වන ලද කතාව මා ඕ සේතුංගේ වචනයෙන් කියන්නේ නම් ‘කකුල් අටේ’ රචනාවකි. එහි කිසිම අලුත් දෙයක්, අලුත් දර්ශනයක් තිබුණේ නැත. බෙලෙක්කයකට සෝඩා බෝතල් මූඩි දමා සෙළවූ විට විවිධ හඬ නැගෙන නමුත් එහි ඇතුලාන්තය එකම ය. අනුර කුමාර දිසානායකගේ කතාවෙහි මැජික් එකක් තිබුණේ නැත.

එම කතාව අවසන්වූ සැණින් මම  ට්විට සමාජ ජාලයේ මගේ පිටුවට ගොස් අනුර කුමාර දිසානායකගේ පිටුව බැලීමි. ඔහු අවසන් වතාවට ට්වීට පණිවිඩයක් යවා තිබුණේ 2017 ජනවාරි 23දා ය.  ඒ බව සඳහන් කොට අප බොහෝ දෙනෙකු යවන ලද ට්වීට පණිවිඩවලින් පසු එය දැන් සක්‍රීය වී තිබේ. එහෙත් මාගේ දැනුමට අනුව ජාතික ජන බලවේගයට තවම කිසිදු සමාජ ජාල පිවිසුමක් නැත. කණගාටුවට කාරණය වන්නේ එය හා එක්ව සිටින බොහෝ කණ්ඩායම් සහ පුද්ගලයින් ද සමාජ ජාල දුප්පතුන් වීම යි.

මෙම කරුණූ මගින් අපට පෙන්වන්නේ ජවිපෙ දේශපාලනය තවමත් පවතින්නේ සම්ප්‍රදායික තලයෙහි බව යි. ලෝකයේ අද සිදුවන සමාජ දේශපාලන වෙනස්කම් එයට කාන්දු වන්නේ නැත. එහි අන්තර් ජාතික ජාලයන් ද සම්බන්ධ වී ඇත්තේ  එම රටවල කුඩා කොමියුනිස්ට් සහ වාම පක්ෂවලට ය.

අප කවුරුත් දන්නා පරිදි අද ලෝකයෙහි දක්ෂිණාංශික අන්තවාදී දේශපාලනයක් පැතිර යමින් තිබේ. ට්‍රම්ප් සහ බොරිස් ජොන්සන් ගේ සිට නරේන්ද්‍ර මෝඩි සහ දුතර්තේ යන්නන් එම දේශපාලනයේ සංකේත වෙයි. ඔවුන් මහජාතිවාදී ය. පුරුෂෝත්තමවාදී ය.අනෙකාට විරුද්ධ ය. මහා ධනේශ්වරයට පක්ෂ ය. පාරිසරික/ කාලගුණ අර්බූදය නොපිළිගනී.

අනුර කුමාර දිසානායකගේ කතාවෙහි නූතන ලෝක දැක්මක් නොතිබුණි. පාරිසාරික සහ කාලගුණමය වශයෙන් අද පෘථිවිය මුහුණ දී සිටින්නේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයකට ය. එය බොහෝ විට දශක කිහිපයකදී ලෝකයේ තීරණාත්මක ප්‍රශ්නය බවට පැමිණිමට වුව ඉඩ තිබේ. නමුත් අනුර කුමාර ඒ ගැන වචනයක්වත් කීවේ නැත.

අපට විකල්ප දේශපාලන බලවේගයක් අවශ්‍ය වන්නේ පරණ පන්නයේ සමාජවාදය පිළිබඳ කතිකාව අලුත් බෝතලයක දමා ඉදිරිපත් කිරීමට නොවේ. 21වන සියවසට ඔබින සමාජ සහ පාරිසරික සාධාරණත්වය මුල් කර ගත් කතිකාවක් ඇරඹීමට ය. අන්තර් ජාතික වශයෙන් දක්ශිණාංශික දේශපාලනයට මුහුණ දී නව දේශපාලනයක් ගොඩ නැගීමට සමත් වී ඇත්තේ ද හරිත වාමාංශික බලවේගයන් ය.

ලෝකය අද ප්‍රධාන ප්‍රශ්න දෙකකට මුහුණ දෙයි. එකක් උග්‍ර වෙමින් පවතින ඇති නැති පරතරය යි. අනෙක මානව වර්ගයාගේ පැවැත්ම අභියෝගයට ලක් කරන පාරිසාරික/කාලගුණ අර්බූදයයි. නූතන දේශපාලන ආමන්ත්‍රණයක ආකර්ශනය රඳා පවතින්නේ අප කොතරම් සාර්ථක ලෙස එම ප්‍රශ්න අපේ දැක්මට ඇතුළත් කර ගන්නේ ද යන්න මත ය. විකල්ප දේශපාලනයක් සාධාරණීය වන්නේ එවැනි මතවාදයක් ඇති විට ය. බලය අල්ලාගත නොහැකි විකල්ප බලවේගයක් සිය මැතිවරණ ව්‍යාපාරය ගෙන යා යුත්තේ අනෙක් පක්ෂවල පිටපතක් මෙන් නොවේ. උදාහරණයක් ලෙස අධ්‍යාපනය, පොදු ප්‍රවාහනය සහ සුවසේවා වැනි එදිනෙදා ප්‍රජාතන්ත්‍රවාදී මහජන සේවා පිළිබඳ මූලිකත්වයක් ගැනීම මගිනි.

මේ සියල්ලටම උඩින් ඇති මතුපිට ප්‍රශ්නය ද සැලකුව මනා ය. ජාතික ජන බලවේගය ගෝඨාභයට වාසියක් ද? අවාසියක් ද?

 

Back to Top