Sri Lanka Brief
පුවත්කාලෝ ෆොන්සේකා මතකය- තිස්ස විතාරණ

කාලෝ ෆොන්සේකා මතකය- තිස්ස විතාරණ

by

 1953 දී කාලෝ සහෝදරයාත් මමත් වෛද්‍ය පීඨයට ප්‍රවේශය ලැබුවේ එකටය. එදා පටන් අද දක්වා මියෙනතුරාම කාලෝ සහෝදරයා සිටියේ මගේ හොඳම මිතුරෙකු හැටියටය. ඔහු වෛද්‍ය පීඨයෙහි සුවිශේෂී චරිතයක් බව ආරම්භයේදීම මම හඳුනාගත්තෙමි. කතෝලික සම්භවයක් සහිත වුවද කාලෝ සහෝදරයා සියලු ප්‍රශ්න දෙස බැලුවේ විවෘත මනසකිනි. යමක් ඇත්ත හැටියට පිළිගැනීමට නම් එය ඔප්පු කළ හැකි සාධක ඔහුට අත්‍යවශ්‍ය විය. පළමු පංතියේ සාමාර්ථයක් සහිතව වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළ ඔහු බ්‍රිතාන්‍යයේදී තම ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේ ශරීරයේ ක්‍රියාකාරිත්වයේ විෂය සම්බන්ධයෙනි.

කාලෝ සහෝදරයා දේශපාලනයේදී සමසමාජ පක්ෂයේ අදහස්වලට පමණක් සීමා නොවී සමාජවාදී අදහස් දැරූවෙකි. සමාජවාදී සමාජයක් පිහිටුවීමේ අදහස් මට ජනිත වූයේ වෛද්‍ය පීඨයේ අධ්‍යයනය කරන කාලයේදීය. ඒ කාලයේදී වෛද්‍ය පීඨ සිසුන් එවැනි මගක් ගැනීම පොදුවේ සැලකුවේ මෝඩකමක් හැටියටය. කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපති වූ මහාචාර්ය නිකලස් ආටිගල යනු අන්ත දක්ෂිණාංශික අදහස් දැරූ බුද්ධිමෙතකි. කාලෝ ෆොන්සේකා සහෝදරයා හා මා ආමන්ත්‍රණය කළ උපකුලපතිවරයා වරක් පුද්ගලිකවම අපට අවවාද කළේ වමේ අදහස් දැරීම ශාස්ත්‍රීය කටයුතුවලට පවා බාධාවක් වනු ඇති බවය. එකල බොහෝ කඩඉම් විභාග ආදිය පැවැත්වුණේ සම්මුඛ පරීක්ෂණ මුහුණුවරිනි. එවැනි තැන්වලදී අප දෙදෙනාගේ ලකුණු කැපී යනු ඇතැයි උපකුලපතිවරයා අපට අනතුරු ඇඟවූයේය. එහෙත් උපකුලපතිවරයා අනතුරු ඇඟ වූ ඉරණමකට අප කිසිදා පාත්‍ර වූයේ නැත. අපේ හැකියාවට නිසි තැනත් ඇගයීමත් ලැබුණු අතර උපකුලපති ආටිගල මහතා ද ඒ හමුවේ පටු මනසකින් කටයුතු නොකළ බව ද අවධාරණ කටයුතුය.

ආචාර්ය ඒබ්‍රහම් ටී කොවූර් මහතා විසින් ආරම්භ කරන ලද හේතුවාදීන්ගේ සංගමයට කාලෝ සහෝදරයා සම්බන්ධ වූයේ මේ කාලයේදීය. ආධ්‍යාත්මික මිථ්‍යා හා ආගමික වෙළෙඳාම්වලට එරෙහිව ඇනුම්පද සහිත වූ කර්කශ විවේචනාත්මක හේතුවාදීන්ගේ මැදිහත්වීම් එකල ලංකා ජනසමාජයෙහි මහත් උද්‍යෝගයක් ඇති කළ සමයක් විය. කාලෝ ෆොන්සේකා යනු එම මැදිහත්වීම්වල ප්‍රමුඛ චරිතයකි. වරක් මත්පැන් පානය කර ඌරු මස් අනුභව කර කතරගම ගොස් ඔහු කළ ගිනි පෑගීම ගැන අදටත් තරුණ පරපුර අතරෙහි කතාවෙන සිදුවීමකි. මිථ්‍යාවට අවිද්‍යාවට එරෙහිව විද්‍යාව ජනසමාජය අතරට ගෙනයාමේදී න්‍යායට අමතරව ජීවන භාවිතාවෙන්ම එය ඔප්පු කිරීමෙහි සුරු විරුකම් පෑවෙකු හැටියට කාලෝ සහෝදරයා සැලකිය හැක්කේ එහෙයිනි.

කාලෝ ෆොන්සේකා නමැති චරිතයෙහි තවත් සුවිශේෂී ලක්ෂණයක් වූයේ භෞතිකවාදී අදහස් දැරුව ද ඔහු තුළ තිබූ ළතෙත් බවයි. කාලෝ කිසිදා මිත්‍රයන්ගේ අදහස් යැයි කියා ඒවාට හිස නැමුවේ නැත. තමා පිළිගත් ලෝක දැක්මට අනුගත නොවන ඕනෑම දෙයක් ගැන මිතුරන් හා වාද කිරීම ඔහුගේ සිරිත විය. එහෙත් ඒ විවාද කෙළවර මිතුරන් නැති කරගැනීමේ මුග්ධ ආධානග්‍රාහීත්වයක් ද ඔහුට තිබුණේ නැත. උදාහරණයක් හැටියට බෞද්ධ දර්ශනයේ උගැන්වන පුනර්භව සංකල්පය ගැන මට විශ්වාසයක් තිබුණත් කාලෝ සහෝදරයා එය පිළිගත්තේ නැත. විද්‍යාත්මකව එය ඔප්පු කර තිබෙන්නේ කොහේදැයි එවිට ඔහු ප්‍රශ්න කළේය. ඊට අදාළ කරුණු මා ඉදිරිපත් කරද්දී ඔහු කළේ එහි අඩුපාඩු පෙන්වීමය. ලෝකය පිළිබඳ බොහෝ කාරණා සම්බන්ධයෙන් මේ ආකාරයටම අප දෙදෙනා අතර ද තිබුණේ බෙදුණු අදහස්ය. මතභේදය. එවැනි මාතෘකා ගැන අපි දෙදෙනා ඇති තරම් වාද කරගෙන තිබේ. එකඟතාවට නොපැමිණි තේමා අදටත් බොහෝය. එහෙත් කාලෝත් මමත් හොඳ මිතුරෝ වීමු.

ලංකා සමසමාජ පක්ෂයේ කැපී පෙනෙන චරිතයක් වූ කාලෝ සහෝදරයා හැකි සෑම විටම පක්ෂයේ කටයුතුවලට සම්බන්ධ වූයේය. ආචාර්ය එන්.එම් පෙරේරා මහතා සම්බන්ධයෙන් ඔහුට තිබුණේ විශාල ගෞරවයකි. කොල්වින්, ලෙස්ලි, බර්නාඞ් වැනි නායකයන් ගැන නිතර කතා කළ ඔහු එවැනි අයට රාජ්‍ය පාලන බලය නොලැබීම ගැන කතා කළේ ශෝකයෙනි. සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු හැටියට දීර්ඝ කාලයක් කටයුතු කළ කාලෝ ෆොන්සේකා මිය ගියේ ද සමසමාජකාරයකු හැටියටය.

කාලෝ සහෝදරයා යනු දුක් විඳින පීඩිත ජනයා සම්බන්ධයෙන් අතිශය මානුෂවාදී දැක්මකින් කටයුතු කළ අයෙකි. දේශපාලන වැඩ අතරේ උගත් දෙයින් ඒ සහෝදර ජනතාවට යමක් කළ යුතු බව කාලෝ පැවසූ විට ආචාර්ය එන්.එම් පෙරේරා මහතා යෝජනා කළේ එසේ නම් වෛද්‍ය සායන පවත්වමු කියාය. එහිදී වෛද්‍යවරුන් සංවිධානය කිරීමේ කටයුත්ත මට පැවරුණු විට පළමුවෙන්ම ඊට ඉදිරිපත් වුණේ වෛද්‍ය කාලෝය. ඒ සෑම සායනයකදීම පාහේ තම ශ්‍රම දායකත්වය දුන් ඔහු ඊට සහභාගී වුණේ දැඩි උද්‍යෝගයකිනි. මෙකී වෛද්‍ය සායන ව්‍යාපෘතිය ජනසමාජයෙහි එකල දැඩිව ජනප්‍රිය වූ අතර පොදු ජනතාවගෙන් ලද ඇරියුම නිසාම අවසානයේදී දිවයින පුරා යන්නට අපට සිදුවිය. මේ කටයුත්තේදී ප්‍රවාහන පහසුකම් සපයාගැනීම මෙන්ම අවශ්‍ය ඖෂධ සොයාගැනීම තරමක් අවස්ථාවල දුෂ්කර වුවද ඒ සෑම අවස්ථාවකදීම හැකි උපරිම මැදිහත්වීම කරන්නට කාලෝ සහෝදරයා නොපැකිලුණේය. හේතුවාදී කාලෝ තුළ සිටි සමාජසේවකයා ද ඒ තරමටම ප්‍රබල මානුෂ ගති පැවතුම් ඇත්තෙක් වීම ඊට හේතු විය.

විද්‍යාව යන ව්‍යවහාරයේදී කාලෝ ඇලුම් කළේ හුදු සාම්ප්‍රදායික විද්‍යා මගෙහි යන්නට නොවේ. ඔහු නිරන්තරයෙන් අලුත් දේ ගැන අලුත් විදියට සිතූ නිර්මාණශීලියෙක් ද විය. උදාහරණයකට ඇතැම් ලෙඩ රෝගවලට ඖෂධ ලබා දුන්න ද නොදුන්න ද ඒවා සුව වේ. ඊට හේතුව ශරීර ශක්තියයි. කාලෝ නමැති වෛද්‍යවරයා කීවේ ලෙඩ රෝගවලදී ඖෂධ මගින් සැලසෙන දායකත්වය සීයට තිහක් හතලිහක් පමණ බවය. ඉතිරි සීයට හැටක හැත්තෑවක දායකත්වය දෙන්නේ ශරීරයම බවය. විද්‍යාවට පමණක් සීමා නොවුණු ඔහුගේ මේ නිර්මාණශීලිත්වයේ මාවත කලා ලෝකය දක්වාම විහිදුණේ මනුෂ්‍යයකු හැටියට ඔහු සතු බහුවිධ හැකියා මේ යැයි කියමිනි. ගී පද නිර්මාණයට අමතරව බොහෝ කලාකරුවන්ගේ ලෙඩට දුකට පවා පිහිට වන අපූරු ජීවකයෙක් ද වෛද්‍ය කාලෝ තුළ ජීවත් වූයේය. එවැනි ඇතැම් අවස්ථාවල කලාකරුවන්ට වෛද්‍යධාර දීමට මමත් සම්බන්ධ වූ නමුත් ඒ බොහෝ දෙනා හැරුණේ කාලෝ දෙසටය.

70 දශකයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සමසමාජ පක්ෂය එක්ව සභාග ආණ්ඩුව පිහිටුවන විට වමට තිබුණේ විසල් බලයකි. උදාහරණයකට ගතහොත් වෘත්තිය සමිති ක්ෂෙත්‍රයෙහි සීයට හැටක පමණ බලය තිබුණේ වමටය. අද වනවිට එය සීයට දහයක පමණ අගයකට පහළ බැස තිබේ. මේ ප්‍රමාණාත්මක බලයේ පරාභවය දෘෂ්ටිමය වශයෙන් ද බලපා තිබෙන අතර සමාජවාදී ජීවන විලාසය වෙනුවට නවලිබරල්වාදයේ ආත්මාර්ථ ධර්ම විසින් සමස්ත සමාජය ගිලගනු ලැබෙමින් තිබේ. මහාචාර්ය කාලෝ ෆොන්සේකා සහෝදරයාගේ වියෝවෙන් පසුව අපේක්ෂාභංග වූ අයුරින් පළ වෙන ඇතැම් අදහස්වලින් කියැවෙන යථාව එයයි. එහෙත් මගේ අදහස ඊට තරමක් වෙනස්ය. මේ යුගයේදී අපේ දේශපාලනය කිරීම උගහට බව සැබෑය. එහෙත් අද වනවිට ගෝලීය පරිමාණයෙන් නැවතත් බටහිර ලෝකයේ ධනවාදී බුද්ධිමතුන්ට පවා අත තබන්නට සිදුව තිබෙන්නේ කාල් මාක්ස්ගේ දර්ශනය වෙතටය. ඇති නැති පරතරය වේගයෙන් තීව්‍ර වෙමින් මිනිසුන් දුහුවිලි බවට පත් කරන ධනවාදී ක්‍රමය විසින් නැවත නැවතත් අවධාරණය කරනු ලබන්නේ යුගයේ අවශ්‍යතාව කාලෝ ෆොන්සේකා වැනි ශ්‍රේෂ්ඨ මිනිස් පුතුන්ම මිස අනෙකුන් නොවන බවය. දුෂ්කරය කියා සමාජවාදී ධජය අතහැරීම වාමාංශිකයාගේ කාර්යභාරය නොවේ. කාලෝ ෆොන්සේකා දර්ශනය යනුම එයයි. මරණයෙන් පවා කාලෝ ෆොන්සේකා සහෝදරයා දුන්නේ එකී ජීවනාදර්ශයයි.

(කීර්තිමත් විද්වතකු, කලාකරුවකු, හේතුවාදියකු මෙන්ම අදීන දේශපාලන විචාරකයකු හැටියට සැලෙකන මහාචාර්ය වෛද්‍ය කාලෝ ෆොන්සේකා මහතා තම දිවිසැරිය නිමා කළේ පසුගිය 2 වැනිදාය. ජීවිතයේ අවසන් මොහොතේ පවා ආටෝප සාටෝපයෙන් තොරව තමා විශ්වාස කළ භෞතිකවාදී දර්ශනය වෙනුවෙන් පෙනී සිටි මහාචාර්ය ෆොන්සේකා ගැන ඔහුගේ සමීප මිතුරකු වූ මහාචාර්ය තිස්ස විතාරණ දැක් වූ අදහස්වලින් මෙම ලිපිය සකස් කර ඇත.)

සටහන – බිඟුන් මේනක ගමගේ 

Back to Top