Sri Lanka Brief
පුවත්විවරණඇමසන් වනාන්තරයේ ලැව්ගිනි බ්‍රසීලයටත්, මුළු ලෝකයටමත් අර්බුදයක් වන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමක්

ඇමසන් වනාන්තරයේ ලැව්ගිනි බ්‍රසීලයටත්, මුළු ලෝකයටමත් අර්බුදයක් වන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමක්

by

ඇමසන් වනාන්තරය දවා හළු කරන ලැව්ගිනි ගණනාවක් හටගෙන තිබේ. ජාත්‍යන්තර ප්‍රජාව ඉන් විස්සෝපයට පත්ව සිටිත්. මන්ද යත්, ගෝලීය පරිසරයට එම වැසි වනාන්තර ඒ තරමට වැදගත් වන බැවිනි. එබැවින් බ්‍රසීල ජනාධිපති ජයිල් බොල්සොනාරෝ එම ගිනි නිවීමට සහාය වීම සඳහා තමන්ගේ හමුදාව පවා මේ වන විට යොදවා තිබේ. මේ ව්‍යවසනය සම්බන්ධයෙන් කෙනෙකු දැනගත යුතු කරුණු මෙසේ ය:

ඇමසන් වනාන්තරය වැදගත් වන්නේ ඇයි?

ලෝකයේ තිබෙන විශාලතම ඝර්ම කලාපීය වැසි වනාන්තරය වන්නේ ඇමසන් ය. එම වනාන්තරයෙන් සියයට 60 ක් අයත් වන්නේ බ්‍රසීලයටයි. මේ වැසි වනාන්තරය ජෛව විවිධත්වය සම්බන්ධයෙන් ගත් විට අතිශය වැදගත් ස්ථානයක් වශයෙන් සැලකේ. වෙනත් වනාන්තරවල දක්නට නැති විශේෂ සත්ව වර්ග සහ විශේෂ පැලෑටි වර්ග රාශියක් මේ වනාන්තරය තුළ දක්නට ලැබේ.

ලෝකයේ කාබන් ඩයොක්සයිඞ් විෂ වායුවෙන් විශාල ප්‍රමාණයක් අවශෝෂනය කරගන්නේ මේ වනාන්තරය මගිනි. දැනට ලෝකයා මුහුණදී සිටින බරපතල දේශගුණික විපර්යාස පිළිබඳ එක් ප්‍රශ්නයක් වන්නේ ඒ විෂ වායු මට්ටම ඉහළ යාමයි. ඒ නිසා ලෝකයේ උෂ්ණත්වය පාලනය කර ගැනීම සඳහා මේ වනාන්තරය ආරක්ෂා කර ගැනීම අත්‍යාවශ්‍ය වන්නේය.

ඇති වූ ලැව්ගිනි මොන තරම් විනාශකාරී ද?

2013 පටන් කාලය ගත් විට, මෙවැනි ලැව්ගිනි ඇති වීමේ සම්භාවිතාව ඉහළ ගොස් තිබේ. ගිය වසර සමග සසඳන විට මේ වසරේ ඇති වී ඇති මෙවැනි ලැව්ගිනි ප්‍රමාණය සියයට 84 කින් ඉහළ ගොස් ඇති බව, බ්‍රසීල පරිසර පර්යේෂණ ආයතනය පවසයි. සංඛ්‍යාත්මක ගත්තොත්, මේ වසරේ මේ වන විට, ලැව්ගිනි 78,383 ක් ඇති වී තිබේ. එයින් බාගයක්ම ඇති වී තිබෙන්නේ මේ අගෝස්තු මාසයේ ය. ඇමසන් වනාන්තරයට යාබද රාජ්‍ය 9 ක් තිබේ. එයින් රාජ්‍ය 8 ක් තුළ ලැව්ගිනි ඇති වීම වැඩි වී ඇත. සමහර තැන්වල එය සියයට 146 කින් වැඩි වී ඇත. හැම අවුරුද්දකම මෙවැනි ගිනි ඇති වන නමුත් මෙතරම් ලැව්ගිනි ප්‍රමාණයක් මීට පෙර ඇති වී නැතැයි, රොන්දොනියා සහ ඇමසෝනා ප්‍රාන්තවාසීහූ කියති. මේ ගිනි නිසා ඇති වූ කළු දුමෙන් විශාල ප්‍රදේශයක් අඳුරු වී ගොස් තිබෙන බව ඔවුහූ පෙන්වා දෙති.

ගිනි ඇති වුණේ කෙසේද?

බොහෝ විට ඉඩම් එළිපෙහෙලි කර ගැනීම සඳහා මිනිස්සු කැලයට ගිනි තියති. දැව කපා ගැනීම සඳහා තවත් සමහරු කැලෑ එළි කිරීමෙන් පසු තවත් පිරිසක් ඒ ඉඩම් අල්ලා ගැනීම සහ ඒවා ගොවියන්ට සහ විශාල ගොවිපොළවල් සඳහා විකිණීම සඳහා ඒවාට ගිනි තියා එළි කරති. මේ කාලය වන විට ඇමසන් කලාපයේ වියළි දේශගුණයක් පවතින නිසා මෙවැනි ගිනි තැබීම්, පාලනය කරගත නොහැකි මට්ටමට ඉතා පහසුවෙන් ව්‍යාප්ත වෙයි.

ඇමසන් වනාන්තර ආශ්‍රිත පෙදෙස් සංවර්ධනය කරන්නැයි බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝ ඉල්ලා ඇති තත්වයක් තුළ මෙවැනි පිරිස් බයසැක නැතිව කැලය එළි කිරීමට පෙළඹෙන බවක් පෙනේ. ආණ්ඩුවේ සංවර්ධන ප්‍රතිපත්තිය තුළ තමන්ට දඬුවම් විඳීමට සිදුවන එකක් නැතැයි යන්න ඔවුන්ගේ විශ්වාසයයි.

2019 පළමු හත් මාසය තුළ කැලෑ එළි කිරීම් සියයට 67 කින් ඉහළ ගොස් ඇත. ජුලි මාසයේදී පමණක් එය තෙගුණයක් වී ඇත. පරිසරවේදීන් කියන පරිදි, මේ ලැව්ගිනි ඇති කරන්නේද එම කැලෑ එළි කරන පිරිස්ම ය.

බ්‍රසීල ආණ්ඩුව ඊට ප්‍රතිචාර දැක්වූයේ කෙසේද?

ජනාධිපති ‌බොල්සනාරෝ පාරිසරික අර්බූදය පිළි ‌‌නොගනී

මේ ලැව්ගිනි සාමාන්‍ය ඒවා බව ජනාධිපතිවරයාගේ මුල්ම ස්ථාවරය විය. ඊළඟට ඔහු කීවේ තමාගේ ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන විසින් මේ ගිනි අවුළුවන බවයි. එය සනාථ කිරීම සඳහා කිසි සාක්ෂියක් ඉදිරිපත් නොකළ ඔහු, පසුව එවැනි ප්‍රකාශයන් කිරීමෙන් වැළැකී සිටියේය.

ඇමසන් වනාන්තරය වැනි විශාල ප්‍රදේශයක් පුරා ඇති වන ලැව්ගිනි නිවීමට තරම් සම්පත් තමන්ට නැති බව එක පැත්තකින් කියන බ්‍රසීල ජනාධිපතිවරයා අනිත් පැත්තෙන් වෙනත් රටවලට ඊට මැදිහත් නොවන්නැයි ද කියයි. ඔහුගේ අදහස වන්නේ, බ්‍රසීල ස්වෛරීත්වය විදේශ මුදල්වලින් යටපත් කිරීමට එමගින් වෙනත් රටවලට හැකියාව ලැබෙන බවයි.

දැන් රටේ හමුදාව ඒ සඳහා යෙදවීමට ඔහු පියවර ගෙන ඇත්තේ එබැවිනි. මේ අතර වෙනත් ඇමසන් කලාපයේ රටවල් විදේශ රටවල සහයෝගය ඉල්ලා තිබේ. කෙසේ වෙතත්, හමුදාව යොදා ගිනි නිවන්නේ කෙසේද යන්නවත්, එය කෙතරම් කාර්යක්ෂම වන්නේද යන්නවත් පිළිබඳ අදහසක් තවම කාටවත් නැත.

ලෝක නායකයන් මේ ගැන කියන්නේ කුමක්ද?

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් මේ ගිනි ඇවිලීම් හඳුන්වා ඇත්තේ ජාත්‍යන්තර හදිසි තත්වයක් සහ ‘පාරිසරික ඝාතනයක්’ වශයෙනි. වැසි වනාන්තර ආරක්ෂා කර ගැනීමට බ්‍රසීල රජය ප්‍රමාණවත් පරිද්දෙන් මැදිහත් නොවීම ගැනත් ඔහුගේ විවේචනයක් තිබේ. පසුගිය ජුනි මාසයේ පැවති ‘ජී.20’ නායක සමුළුවේදී පරිසර ප්‍රශ්න සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපතිවරයා බොරු කී බව කියන ඔහු, යුරෝපා සංගමය සහ දකුණු ඇමරිකා වෙළඳ හවුල අතර එම සමුළුවේදී ඇති කරගත් නිදහස් වෙළඳ ගිවිසුම අනුමත කිරීමට තමන් විරෝධය දක්වන බව සිය කාර්යාලය මගින් නිකුත් කළ නිවේදනයක් හරහා ඔහු තවදුරටත් කියා තිබේ.

බි්‍රතාන්‍ය අගමැති බෝරිස් ජොන්සන් සහ ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ද, ඇමසන් විනාශය පිළිබඳ තමන්ගේ දැඩි කණස්සල්ල පලකොට ඇතත්, දකුණු ඇමරිකානු කලාපය සමග ඇති කරගත් නිදහස් වෙළඳ ගිවිසුම නතර කිරීම එම ප්‍රශ්නයට නිවැරදි ප්‍රතිචාරය නොවන බව ප්‍රකාශ කොට තිබේ.

කෙසේ වෙතත්, බ්‍රසීලය ඇතුළු මේ ගින්නෙන් විනාශයට පත් රටවලට අවශ්‍ය කරන ‘තාක්ෂණික සහ මූල්‍ය ආධාර’ ලබාදීමට අදාළ කාරණා සම්බන්ධයෙන් අවසාන නිගමනයකට පැමිණීම ගැන, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, බි්‍රතාන්‍ය සහ කැනඩාව යන රටවල නායකයන් තමන්ගේ වාර්ෂික සමුළුවේදී සලකා බලන බව, ප්‍රංශ ජනාධිපතිවරයා පසුගිය ඉරිදා කියා සිටියේය.

දුරකථනයෙන් බ්‍රසීල ජනාධිපතිවරයා සමග කතා කළ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, අවශ්‍ය ආධාර ලබා දීමට ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි. එහෙත්, ගිනි නිවීම සඳහා තමන් ඇමරිකාව සමග ගනුදෙනුවකට නොපැමිණෙන බව බ්‍රසීල බලධාරීහු ප්‍රකාශ කළහ.

මහජනතාව ප්‍රතිචාර දැක්වූයේ කෙසේද?

මේ ලැව්ගිනි සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රමාණවත් පියවර නොගැනීමට එරෙහිව බ්‍රසීලයේ නගර ගණනාවකම වැසියෝ මහපාරට ආහ. බ්‍රසීලියා සහ සාඕ පෝලෝ යන ප්‍රධාන නගරවල මහාමාර්ග මේ නිසා වසා දැමීමට සිදුවුණි. එසේම, පැරිසියේ සහ ලන්ඩනයේ බ්‍රසීල තානාපති කාර්යාල ඉදිරිපිටත් විවිධ මහජන විරෝධතා පැවැත්වුණි.

සමාජ මාධ්‍ය ජාලා හරහා ද මේ පිළිබඳ විශාල උද්ඝෝෂණ ව්‍යාපාර දියත් වූ අතර, රාජ්‍ය නොවන සංවිධානවලට විරුද්ධව සහ බ්‍රසීල ජනාධිපතිවරයාට පක්ෂවත් සමාජමාධ්‍ය ජාලා ඔස්සේ ව්‍යාපාර දියත් වුණි.

මේ සියල්ල දේශගුණික විපර්යාස කෙරෙහි දක්වන බලපෑම කවරේද?

ඇමසන් වනාන්තරය මෙසේ එක දිගටම විනාශයට පත්වීමට ගියොත්, යම් අවස්ථාවක එය ආපසු හැරවිය නොහැකි ව්‍යසනකාරී තත්වයකට පත්විය හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඒ නිශ්චිත සීමාව ඉක්ම ගියොත්, වැසි වනාන්තර වඳ වී ගොස්, ගස් නැති තැනිතලා තණ බිම් බවට ඒවා පරිවර්තනය විය හැකිය.

සමස්ත ඇමසන් වනාන්තරයෙන් සියයට 15-17 ත් අතර ප්‍රමාණයක් දැනටමත් විනාශ වී ඇති බව බි්‍රතාන්‍ය කාලගුණ විද්‍යාඥ කාර්ලෝස් නෝබ්රේ කියා සිටී. පරිසර විද්‍යාඥයන් මුලදී කියා සිටියේ, ඉහත කී ආපසු හැරවිය නොහැකි සීමාව උදාවනු ඇත්තේ වනාන්තරයෙන් සියයට 40 ක් විනාශ වීමෙන් පසුව බව ය. එහෙත් ඇමසන් කලාපයේ උෂ්ණත්වය අධික සේ ඉහළ යාමත්, ගිනි ගැනීම් බහුලව සිදුවීමත් නිසා, ඊට කලින් ඉහත කී සීමාවට ළඟා වීමට ඉඩ ඇති බව දැන් විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඒ අනුව, දැන් තත්වයන් තුළ එම සීමාව, සියයට 20-25 අතර විනාශයේ ප්‍රමාණයකදී ළඟා විය හැකි බව නෝබ්රේ කියයි.

ආපසු හැරවිය නොහැකි එකී සීමාවට ළඟා වූවොත්, වනය මියයාමේ කාලය එතැන් සිට වසර 30-50 අතර කාලයක් වන්නේය. ඒ කාලය තුළ, කාබන් ඩයොක්සයිඞ් ටොන් බිලියන 200 ක් වාතයට මුදාහැරෙනු ඇති බවත්, ලෝක උෂ්ණත්වයේ වර්ධනය සෙල්සියස් අංශක 1.5-2.0 අතර පවත්වා ගැනීම, එනම් දැනට පිළිගෙන ඇති කාලගුණික විපර්යාසය පාලනය කරගැනීමේ සම්මත මට්ටම පවත්වා ගැනීම, තව තවත් අසීරු වනු ඇති බවත් නෝබ්රේ කියා සිටී.

(2019 අගෝස්තු 29 වැනිදා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Explainer: Why are the Amazon Fires sparking a crisis for Brazil and the World? නමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.)

Back to Top