Sri Lanka Brief
පුවත්විවරණ2015 ජනවාරි “වෙනස” වෙනසක් කලාද? සුගන්ධිකා විමලරත්න

2015 ජනවාරි “වෙනස” වෙනසක් කලාද? සුගන්ධිකා විමලරත්න

by

2015 ජනවාරි 08 වන දින සිට අදට අවුරුදු හතරක කාලයක් තුළ යහපාලනය කළ කී දෑ මොනවාදැයි අතීතාවර්ජනයක් කිරීමට අතවශ්‍ය මොහොතකයි අප අද සිටින්නේ. රටේ බහුතරයට අවශ්‍ය වූ ඒ වෙනස සහ ඔවුන්ගේ ගැටළු වලට විසඳුම් ලැබුණාදැයි සලකා බැලිය යුතුය. විවේචන බොහොමයක් ඇත. මෙම විවේචන සහ චෝදනා බුද්ධිමත්ව සැළකීම ඡන්ද දායකයන් වන අපගේ වගකීමයි.

 

 

බොහොමයක් පුදගලයන් නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කිරීම උදෙසා ඉල්ලීම් කරමින් තිබුණු වකවානුවකි. යුද්ධයක්, ප්‍රචණ්ඩත්වයක් හෝ දරුණු ගැටුමක් පැවති කාලවකවානුවකදී විශාල වශයෙන් අපරාධ සිදුවිය හැක. එම කාලයේදී යුක්තිය හෝ නීතිය ක්‍රියාත්මක වීම නිසි ආකාරව සිදු නොවුවා විය හැක. එවන් වකවානුවකදී සැමට සාධාරණ සැලකීමක් පැවතීම සිදු නොවූවා විය හැක. ශ්‍රී ලංකාව තුළ ද කලු ජූලිය වැනි දකුණේ කැරළි, 1983 සහ 1977 වර්ෂ වලදී සිදු වූ භීෂණ යුගය මෙන්ම තිස් වසරක් පුරාවට පැවති සිවිල් යුද්ධයන් හිදී අපරාධයන්ට ලක්වී යුක්තිය ඉල්ලමින් පීඩා විඳින පුද්ගලයන් විශාල ප්‍රමාණයක් රට තුළ විය.

එම ගැටුම් වලට මැදි වූ වින්දිතයන් වේදනාවන් ආමන්ත්‍රණය කිරීමත්, යුක්තිය සාධාරණය ඉටු කිරීමට වගබලා ගැනීමටත්, නැවත ප්‍රචණ්ඩත්වය ඇති නොවීමට සහ කල්පවත්නා සාමයක් ආරක්ෂා කිරීම සහ පවතවා ගෙන යාමට ශ්‍රී ලංකාව තුළ ප්‍රතිපත්තිමය සහ නීතිමය වෙනස් කම් වල අවශ්‍යතාව දැඩිව පැවතුණි.

රටේ ජනතාවගේ අවශ්‍යතාවන් තේරුම් ගැනීම උදෙසා රජය විසින් 2016 අගභාගයේ දී අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය පිහිටු අතර ඒ ඔස්සේ විශාල ලෙස ජනතාවගේ පවතින ගැටළු ඉදිරිපත් කෙරුණි.

 

ඇති වූ ව්‍යුහාත්මක වෙනස් කම්:

 මෙම ගැටළු විසඳීම සඳහා රටේ නීතිමය වශයෙන් ඇති කරන ලද වෙනස් කම් නීතිය සහ රාජ්‍ය ආයතන වල විනිවිධ භාවය සහ ක්‍රියාකාරිත්වය ශක්තිමත් කිරීම් බොහෝය.

ස්වාධීන ආයතන

පළමුව රජයේ වගකිවියයුතු ආයතන ස්වාධීන කිරීමේ සිට ක්‍රියාත්ම වූ මෙම යහපාලන ආණ්ඩුව තුළ වූ දායාද කිහිපයකි. එනම්: මැතිවරණ කොමිසම, අල්ලස් සහ දුෂණ විමර්ශන කොමිසම, මානව හිමිකම් කොමිසම, ජාතික පොලිස් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, මුල්‍ය කොමිසම, සීමා නිර්ණය කොමිසම, ගිණුම් සේවා කොමිසම හා ජාතික ප්‍රතිසම්පාදන කොමිසම. මීට අමතරව තොරතුරු දැනගැනීමේ පනත මඟින් ජනතාවට හිමි බලය ජනතාව අතට පත්විය.

මරණ ලියාපදිංචිකිරීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන පනත) – දක්නට නොමැති බවට වූ සහතිකයක් (CoA) නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඒකමතිකව 2016 අංක 25 දරණ මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත පනවන ලදි. දක්නට නොමැති බවට වූ සහතිකය (CoA),  ශ්‍රී ලංකා රජය විසින් තවදුරටත් සැලකිය යුතු පුද්ගලයින් පිරිසක් අතුරුදහන්ව ඇති බවට පිළිගන්නා බව පෙන්වන නිල ලියවිල්ලකි. දක්නට නොමැති බවට වූ සහතිකය (CoA),  විපතට පත් තැනැත්තන්ට අතුරුදහන්වූ ඔවුන්ගේ ආදරණීයන්ගේ දේපල සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සහ අනෙකුත් විවිධ නීතිමය හා පරිපාලන කටයුතු සදහා අතිශයින් වැදගත් වන ලියවිල්ලකි.

වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත පසුගිය මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව විමර්ශනය කිරීමට වර්ෂ 1993 සිට ශ්‍රී ලංකාවේ රජය අවස්ථානුගතව විවිධ ජනාධිපත් කොමිෂන් සභා පිහිටුවන ලද අතර දහස් ගණනක් වින්දිතයන් එම කොමිෂන් සභා වෙත වාචික සාක්ෂි ලබාදුන් නමුත් වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමට එකඳු යාන්ත්‍රනයක් හෝ නීතියක් ස්ථාපිත කර නොමැත. වින්දිතයන්ගේ ආරක්ෂාව  සහතික කිරීම සම්බන්ධයෙන් නීති පැනවීමේ අවශ්‍යතාවය “ප්‍රවීන පුද්ගලයන්ගේ ජාත්‍යාන්තර ස්වාධීන කණ්ඩායම” මඟින් අවධාරණය කරන ලද අතර 2007 වර්ෂයේදී එවකට සිටි ජනාධිපතිවරයා විසින් උදාලගම කොමිෂන් සභාවේ විමර්ශන නිරීක්ෂණය කිරීම සඳහා ආරාධනා ඔවුන්ට ආරාධනා කරන ලද නමුත් මේ සම්බන්ධයෙන් නීති පැනවීම සදහා ක්‍රියා මාර්ගයක් ගැනීම සිදු නොවුණි. කෙසේ නමුත් ශ්‍රී ලංකා රජය විසින් 2015 අංක 04 දරණ අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත පනවන අවස්ථාවේදී මෙම දීර්ඝ කාලීන අසාර්ථකත්වය සම්බන්ධව අවධානය යොමු කරන ලදි. කෙසේ වෙතත් මෙම පනතේ කාර්යක්ෂමතාවය සහතික කිරීම සදහා සංශෝධන කිහිපයක අවශ්‍යතාව පවතී.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ පනත බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම අපරාධයක් ලෙස සලකනු ලබන, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරිම සඳහා වූ ජාත්‍යාන්තර සම්මුති පනත ශ්‍රී ලංකා රජය විසින් 2018 මාර්තු මාසයේදී බලාත්මක කරන ලදි. දශක තුනකට අධික කාලයක් තිස්සේ “අතුරුදහන්වීම්” දීර්ඝකාලීන මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස දිවයිනේ පවතින බැවින් මෙම නීති සම්පාදනය කිරීම මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධව සංධිස්ථානයක් ලෙස සැලකිය යුතුය.

තොරතුරු දැන ගැනීමේ පනත (RTI)

වත්මන් රජය බලයට පත්වුණු දින සිට වරින් වර මාධ්‍ය මගින් වාර්තා වුනු කාරණයක් තමයි Right to Information (RTI) හෙවත් තොරතුරු දැනගැනීමේ පනත. 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යහපාලන රජය බලයට පත් වීමට පෙර දුන් පොරොන්දුවක් ඉටු කීරීමක් පමණක් නොව මෙරට මාධ්‍ය වේදීන්, නීතීඥයින් හා සිවිල් සංවිධාන ක්‍රියාකරුවන් දශක දෙකකට අධික කාලයක් පුරා දියත් කරන ලද  සටනක අවසාන ප්‍රතිඵලයක් ලෙසද සැලකිය හැක.

ටෙන්ඩර් පත්‍රිකා, අය වැය තොරතුරු, රජයේ කාර්ය මණ්ඩල වලට අදාළ තොරතුරු, ඊ මේල් පණිවිඩ, සැලසුම් සටහන් යනාදිය පමණක් නොවේ ඔබේ ප්‍රදශයේ පාරවල් හදන, වතුර පයිප්ප හදන පුද්ගලයින් ආශ්‍රිත එදිනෙදා ජීවිතයට අදාළ විස්තර හා මෙකී නොකී රජය සතු සියලු කරුණු කාරණා ‘තොරතුරු’ යන්නෙන් අදහස් වේ. මෙම සියළු කරනා මෙම පනත මඟින් ජනතාවට විවෘතව විනිවිධ වේ.

රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් රට අස්ථාවර වීම සහ එහි  ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ත්‍රස්ත ප්‍රහාර වැනි බාධක රැසක් මධ්‍යයේ රජය ජනතාවගේ දුක් වේදනා හඳුනා ගැනීමට ගත් පියවර බොහෝය. රටවැසියන්ගේ ගැටළු මෙතරම් ප්‍රායෝගික ලෙස විමසුමට ලක් කොට ඒවා වෙනුවෙන් පියවරෙන් පියවර නොයෙකුත් බාධක මධ්‍යයේ ක්‍රියාත්මක වූ එකම රජයත් මෙම යහපාලන රජය වනවාට සැක නැත.

Back to Top