Sri Lanka Brief
පුවත්විවරණමෙරටට නෛතික භාවය කොහෙත්ම අවශ්‍ය ද? – එමිල් වැන්ඩපෝර්ටන්

මෙරටට නෛතික භාවය කොහෙත්ම අවශ්‍ය ද? – එමිල් වැන්ඩපෝර්ටන්

by

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වය කෙරෙහි මහත් වු මාධ්‍ය අවධානයක් පසුගිය දිනවල යොමු වනු දක්නට ලැබුණි. ඔහු වෙනුවෙන් රට පුරා දියත් කෙරුණු සංදර්ශනයේ තරම දෙස බලන විට ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට පිටුබලය සපයන යෝධ මූල්‍යමය අනුග්‍රහයක වාසිය ඔහුට ඇති බවක් පෙනෙන්ට තිබේ. එහෙත්, රාජපක්ෂ-විරෝධියෙකු යැයි කොහෙත්ම හැඳින්විය නොහැකි ඩී. බී. එස්. ජෙයරාජ් මහතා වැන්නෙකු ගෝඨාභය රාජපක්ෂ මහතා, ඇමරිකාව වශයෙන් පොදුවේ හඳුනා ගැනෙන ‘විස්මෘතියේ උත්තේජිත දේශයේ’ තවමත් පුරවැසියෙකු වන බවත්, එබැවින් මෙරටේ ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට හැකියාවක් නැති පුද්ගලයෙකු වශයෙන් ඔහුව හැඳින්වීමත් මාව තරමක විමතියට පත්කෙළේය. ඩී. බී. එස්. ජෙයරාජ් යනු උද්වේගකාරී ප්‍රවෘත්ති පත්‍ර කලාවේ නියුක්ත වන්නෙකු නොවේ. එබැවින්, පවතින තත්වය ගැන කෙරෙන ඔහුගේ සැර බාල විස්තරය තුළ දැක්වෙන එම අදහස විශේෂිත එකකි. ශ්‍රී ලංකාවේ ‘රාජකීය පවුල’ ගැන කාලයක් තිස්සේ ඩී. බී. එස්. ජෙයරාජ් ලියා ඇති දේවල් ඇත්තෙන්ම ඉතා පරිස්සමින් සකස් කෙරුණු ලියවිලි සේ සැලකිය හැකි නිසා, එය තවත් විශේෂිත වෙයි.

ලංකාවේ දේවල් සිදුවන ස්වභාවය දෙස බලන විට, නීතියේ ලියැවී ඇති දේවල්වල අදාළත්වයක් ඇත්ද යන ප්‍රශ්නය මතුවෙයි. මන්ද යත්, ‘බලය පාවිච්චි කොට සිදු කෙරෙන ඕනෑම දෙයක් නිවැරදි වන්නේය’ හෙවත්, ‘හැන්ද ඇති තැනැත්තා බෙදාගන්නේය යන ස්වර්ණමය නීතිය’ මෙරටේ රජයන පොදු නියාමය වන බැවිනි. ඊට වෙනස් තත්වයක් මෙරටේ අතීත පූර්වාදර්ශ තුළ දක්නට ලැබේද?

පුවත්පත්වල පොල්ගෙඩි අකුරින් මොන දේවල් ලියැවුණත්, ඕනෑම අනීතිකත්වයක්, අභියාචනා සහ ප්‍රතිඅභියාචනා සහ ප්‍රති-ප්‍රති-අභියාචනා ආදී අනේකවිධ නෛතික ජංජාල තුළ සදාකාලිකව එරී යන තරම කෙතෙක්ද යත්, ‘අදාළ ප්‍රශ්නය මුලින් පටන්ගත්තේ කුමකින්ද’ යන්න, කාලයක් යන විට බොඳ වී යයි. මෑත කාලයේ ප්‍රධාන සිදුවීම් සම්බන්ධයෙන් පුවත්පත් සිරස්තල සැරසූ දේවල් මතකයට නගාගත්තොත්, මේ කියමන අතිශයෝක්තියක් නොවන බව කෙනෙකුට පෙනී යනු ඇත. එබැවින්, රටේ ජනාධිපති තනතුරට පත්වීමට නීතියෙන් නුසුදුස්සෙකු එම තනතුර සඳහා තරග වැදීමත්, එයින් ජයග්‍රහණය කොට, ඉස්සර ප්‍රජා-පීඩක රජවරුන්ට පමණක් හිමිව තිබූ බලාධිකාරය අභ්‍යාස කිරීමට තරම් හැකියාවක් ඇත්තෙකු බවට පත්වීමත්, නොවිය හැක්කක් නොවේ.

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නිලධාරීවාදී උප්පරවැට්ටි සහ මෑනවීම් මගින් අයාලේ යැවිය හැකි සැටි, පසුගිය දවසක මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙකු විසින් සිංහල ගැහැනුන් බලහත්කාර වඳ භාවයට පත්කරන ලදැයි යන සිද්ධිය දිගහැරුණු ආකාරයෙන් මනාව පෙන්නුම් කෙරුණි. එම සිද්ධියේ අතුරුබිතුරු අද තිබෙන්නේ මොන තැනකද යන්න පුළුවන් නම් පෙන්වා දෙන ලෙස මෙය කියවන ඕනෑම කෙනෙකුට මම අභියෝග කරමි. ඔහුට විරුද්ධව ගොතන ලද ‘සාක්ෂි’ කුණුකූඩයට දමා ඇත්ද? තමාව විනාශ කළ, තමාගේ වෛද්‍ය බිරිඳව විනාශ කළ සහ තමාගේ පවුල විනාශ කළ ඒ හොර සාක්ෂිවල කර්තෘවරුන්ගෙන් අදාළ මුස්ලිම් වෛද්‍යවරයාට වන්දි ලබා ගැනීමේ හැකියාවක් තිබේද? එසේ නැතහොත් ඒ සියල්ල, ඊට සමාන වෙනත් දේවල් මෙන්ම, ගන්දබ්බ ලෝකයේ ලට්ටලොට්ට ගොඩට එක්ව ඇත්ද?

මේ ගැන ඇසුවොත් වර්තමාන නායකයන් විසින් දිය හැකි යැයි සිතෙන සුපුරුදු උත්තරයක් විය හැක්කේ, ‘ඕක, ආගම නිසා හිංසාවට ලක්වෙච්ච එකම අවස්ථාව නෙවෙයි’ යන්නයි. තම පියාගේ (ලසන්ත වික්‍රමතුංග) ඝාතනයේ පරීක්ෂණ පිළිබඳ වර්තමාන තත්වය ගැන අහිම්සා වික්‍රමතුංග අසන විට, එවැනි ඝාතන මෙරටේ සිදුව ඇත්තේ ඇගේ පියා සම්බන්ධයෙන් පමණක් නොවන බව බලධාරීන් ඈට කියාදෙන ලෙසිනි.

මෙරටේ පළමු පුරවැසියා වීමට අපේක්ෂා කරන පුද්ගලයෙකුගේ පුරවැසි භාවය සම්බන්ධයෙන් මේ වන ප්‍රසිද්ධියට පත්ව ඇති සියලු තොරතුරු සහ ඊට අදාළ ඇමරිකානු රාජ්‍ය ලේඛන ආදියෙන් කියැවෙන කතාන්තරය, ‘සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ තොටිල්ල’ වශයෙන් ගැනෙන මෙරටේ හැර ලෝකයේ වෙනත් ඕනෑම රටක නම්, සමාජයක් තුෂ්ණීම්භූත කරවන සුළු ය. මෙය, ලෝකයේ වෙනත් කලාපයක නම්, ‘ඔළුව පරීක්ෂා කර ගැනීමට’ තරම් වන කාරණයකි. ශ්‍රී ලංකාවේ වර්තමාන යථාර්ථය ඒ තරමට රෞද්‍ර ය. ප්‍රජාතන්ත්‍රවාදය අභ්‍යාස කරන බවට මවාපෙන්වමින්, ඒ මහඟු දර්ශනයේ සියලු මූලික ප්‍රතිපදාවන් උල්ලංඝණය කරන ජාතියක මූර්තියක් බවට අප පත්වෙමින් සිටින සෙයකි.

මේ තත්වය නිවැරදි කිරීම ‘කියන තරම් පහසු දෙයක් නොවිය හැකි’ ය. එහෙත් පැවති මිනීමරු රාජ්‍ය තන්ත්‍රයෙන් ශ්‍රී ලංකාව ගලවා ගැනීමේ ප්‍රතිඥාව උඩ දැමූ පිරිසක්ම පෙර නොවූ විරූ විකට රංගන කොටස්කරුවන් වීම උත්ප්‍රාසාත්මක ය. එසේ වෙතත්, ඔවුන්ගේ ප්‍රයත්නය එදා සාර්ථක විය. අද, තමන්ගේ ‘සතුරන්’ වශයෙන් සැලකෙන පුද්ගලයන් ‘සුදු වෑන්වලින්’ පැහැර නොගැනෙන්නේ එබැවිනි. වධබන්ධනවලට ලක්නොවන්නේ එබැවිනි. රගර් ක්‍රීඩකයන් ඝාතනය නොවන්නේ එබැවිනි. ජනමාධ්‍යවේදීන් පහරදීම්වලට ලක්නොවන්නේ එබැවිනි. සඳහන් කිරීමට නොහැකි තරමේ වෙනත් කෲර සැලකිලි දක්නට අද නැත්තේ එබැවිනි.

ප්‍රචණ්ඩත්වයෙන් මෙරට පාලනය කිරීමට කැසකැවූ පාලක තන්ත්‍රයෙන් සමාජය ගලවා ගැනීම සඳහා ඉදිරියට ආ ඉතා දක්ෂ සහ ප්‍රතිපත්ති ගරුක මාධ්‍යවේදිනියන් නැවත වතාවක් මේ මොහොතේ පෙරට ඒමට පටන්ගෙන තිබීම ආශ්වාදජනක ය. පවතින තත්වයන් තුළ, එවැනි අයවළුන්ට හැකි සෑම සහයෝගයක්ම දීම, මේ දක්වා අප අත්කරගෙන ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ සොච්චමවත් ආරක්ෂා කර ගැනීම සඳහා අත්‍යාවශ්‍ය වන්නේය. එය තවදුරටත් වර්ධනය කර ගැනීමට සහ රට පාලනය කිරීමේ මාදිලියක් වශයෙන් ඝාතන සහ වධහිංසා කිරීමේ සංස්කෘතිය යළි ඉස්මතු කර ගැනීමට ඉඩ නොහැරීම සඳහා අත්‍යාවශ්‍ය වන්නේය. ඊට අඩු වෙනත් විකල්පයක් අපට ඉතිරිව නැත.

(2019 අගෝස්තු 24 වැනි දා ‘ද අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ Does Legality Matter at all? නමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා‘ අනුග්‍රහයෙනි)

Back to Top