Sri Lanka Brief
පුවත්විවරණතෝරා ගැනීම් දෙකක්: ගැටුම් චක්‍රයට තිත තැබීම හෝ එහිම ගිලී වැනසීයාම – සුලෝචනා රාජපක්ෂ

තෝරා ගැනීම් දෙකක්: ගැටුම් චක්‍රයට තිත තැබීම හෝ එහිම ගිලී වැනසීයාම – සුලෝචනා රාජපක්ෂ

by

නිදහස ලැබීමෙන් පසු අවුරුදු 72 ක් වූ ඉතිහාසය දෙස හැරී බලමු, ශ්‍රී ලාංකිකයන් ලෙස ඔබට මට ආඩම්බර විය හැකිද? නිදහස ලැබුණු දින සිට ආ ඒ දිගු ගමනේ මේ පුංචි දිවයින දේශපාලන ගැටුම්, විප්ලවයන් සහ වාර්ගික ගැටුම් යනාදී බොහොමයකට මුහුණ පා ඇත. කැරළි කලකෝලාහල සහ ගැටුම් ඉතිහාසය පුරාවට දැක ගත හැකිවීම ඛේදජනකය. මෙය චක්‍රයක් ලෙස නැවත නැවත සිදු වෙමින් පවතී.

ගැටුම් ඉතිහාසයෙන් බිඳක්….

1958:දෙමළ විරෝධී කැරළි

1971: ජවිපෙ කැරළි

1983: වාර්ගික ගැටුම් සහ දෙමළ විරෝධී පහරදීම්

1987-89: ජවිපෙ දෙවන කැරළි

1983-2009:සිවිල් යුද්ධය

2014: මුස්ලිම් විරෝධී ගැටුම් අලුත්ගම

2018: මුස්ලිම් විරෝධී ගැටුම් දිගන

2019: ත්‍රස්තවාදී ප්‍රහාරය මුස්ලිම් අන්තවාදීන් විසින්

2019: මුස්ලිම් විරෝධී පහරදීම්

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය දෙස විපරම් කෙරු විට අපට දැක ගත හැක්කේ ඉතා අභාග්‍ය සම්පන්න සිදුවීම් පෙළක් මෙම ප්‍රචණ්ඩ චක්‍රය ක්‍රියාත්මක කිරීමට මුල් වූ බවයි. 1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්  කිරීම දෙමළ ජනයා මහත් කළකිරීමට පත්කරළිය. එයින් ප්‍රශ්න රාශියක් පැන නැඟුණි. පසුව ජවිපෙ කැරළි කෝලාහාල ඇති වුවේද මේ භෂා වෙනස් කමෙහි ප්‍රථිපලයක් ලෙසයි. මෙහිදී, තරුණ තරුණියන් හට රැකියා අවස්ථා ගැටළු පැන නැඟුනේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය නොලැබී යාමත් සමඟය. නව දැනුම සොයා යාම යම් කොටසකට පමණක් ලඝු වීම මේ තුළින් සිදු වන්නකි.

නැවත ගැටුම්  ඇති  නොවන තැනට ලංකාවට යා නොහැකිද ?

 ආයුධ සන්නද්ධ අරගල, කැරළි කෝලාහල වැනි අභාග්‍යසම්පන්න සිද්ධීන් නිසාවෙන් අප මාතෘ භූමිය බෙහෙවින් අසීරු අඩියකට වැටී තිබුණි. තරුණ ඝාතන, බෝම්බ පිපිරීම් නිසා සිදුවූ මරණ, සටන් වලදී සිදුවූ මරණ, මෙන්ම පුද්ගල අතුරුදන් කරවීම් ආදිය මනුදම් පිරි සමාජයක සිදුනොවිය යුතුව තිබුණද, අවස්ථවදී දේශපාලනය ඔවුන්ගේ පැවැත්ම උදෙසා “සාමය” විටක, අන්තර්ජාතික කුමන්ත්‍රණ ලෙසත්, බෙලෙහීන වෑයමක් ලෙසටත්, යනාදී වශයෙන් මිත්‍යාමත සමාජගත කිරීම තුලින් සාමය වැදගත් නොවන සංකල්පයක් ලෙස සමාජ බහුතරයකට එත්තුගන්විය.

එවන් වාතාවරණයක් තුළ, ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ඇති කරනු වස් 2015 වසරේ ජනවාරි 08 වනදා සිට මේ දක්වා ආණ්ඩුව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ඇතුළු පිරිස සතුට පළ කර ඇත. මේ පිළිබඳ එවකට විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා කියා සිටියේ, සංහිඳියාව ඇති කිරීම සඳහා කරපු වැදගත් කාරණා පිළිබඳ ඉතාමත් ධනාත්මක ලෙස, බොහොම පැහැදීමෙන් කතා කළා. ඔවුන් කිව්වා ලෝකයේ බොහෝ රටවලට වඩා ශ්‍රී ලංකාව ඉදිරියෙන් කටයුතු කරන බව වැටහෙන්නට තිබෙන බව. ඔවුන් අපේ දේශපාලන යථාර්ථයත් තේරුම් අර ගෙන තිබෙනවායන්නයි.

එවන් වාතාවරණයක් තුළ රජය ක්රියත්මක වූ අයුරු විමසා බලමු:

වගවීම හා සංහිඳියාව ඇති කිරීම සඳහා යෝජිත යාන්ත්‍රණයන් පිළිබඳ ජනතාවගේ අදහස් රැස් කිරීමට 2016 පෙබරවාරි මස සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳ ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය (CTFRM) පත් කරන ලදී.

ජනතාවගේ අදහස් රැසක් ඇතුළත් වන සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳ ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ අවසාන වාර්තාව 2017 දී නිකුත් කරන ලද අතර වින්දිතයන් අතර විශ්වාසය මද බව පිළිබඳ එහි පැහැදිලිව අවධාරණය කර ඇත. වින්දිතයන්ගේ විශ්වාසය දිනා ගැනීම කෙටි කාල සීමාවක් හෝ දැඩි රාමුවක් තුළ සිදු කිරීමට පහසු කාර්යයක් නොවේ. නිසැකවම ඒ සඳහා කාලය අවශ්‍ය වේ. ඇතැම් විට ඒ සඳහා ගත වන කාලය වසර ගණනාවක් හෝ දශක ගණනාවක් විය හැකිය.

වින්දිතයන්ගේ හිමිකම් හා ගරුත්වය පිළිගැනීම

 “ආර්ථික හා සමාජීය හිමිකම් පිළිබඳ අවධානය යොමු කිරීම ගැටුම් වැළැක්වීමේ ප්රධාන මාර්ගයක් වේ” – ආබර්

ශ්‍රී ලංකා රජය විසින් වින්දිතයන්ගේ හිමිකම් හඳුනා ගැනීම හා ඔවුන්ගේ ගරුත්වය යළි ඇති කිරීමට පියවර කිහිපයක් ගෙන ඇත. 2015 සිට නිදහස් දින සැමරුමේ දී ජාතික ගීතය දමිළ බසින් ගායනා කිරීම සුළු ජාතික ප්‍රජාවන්ගේ හිමිකම් පිළිගැනීම හා ඔවුන්ගේ ගරුත්වය යළි ලබා දීම පිළිබඳ ගන්නා ලද ශ්‍රේෂ්ඨ පියවරක් වේ. දමිළ භාෂාවට සම තත්වය ලබා නොදීම වාර්ගික ගැටුම්වල මූල හේතුවලින් එකක් බව උගතුන්, පර්යේෂකයන් හා මානව හිමිකම් ක්‍රියාකාරීන් රැසක් විසින් නැවත නැවතත් අවධාරණය කරන ලදී. 2010 දී එවකට ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මැතිතුමා විසින් ජාතික ගීතය දමිළ බසින් ගායනා කිරිමට නිළ වශයෙන් ඉඩ නොදීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලදී. එම යෝජනාව සම්මත් නොවුණ ද ජාතික ගීතය දමිළ බසින් ගායනා කිරීම සඳහා අවසර ලබා දීමට එවකට රජය කැමැත්තක් නොදැක්වූ අතර එමගින් බලපෑමට ලක් වූ ජනතාවගේ වේදනාව තවදුරටත් තීව්‍ර ‍කෙරිණි. මෙම තත්වය තුළ ජාතික ගීතය දමිළ බසින් ගායනා කිරීම තුළින් සංහිඳියාවට අදාළ කැපී පෙ‍නෙන ප්‍රගතියක් පෙන්නුම් කෙරේ.

2015 සිට ශ්‍රී ලංකා රජය විසින් උතුරු හා නැගෙනහිර ඉඩම් හිමියන් වෙත ඉඩම් විශාල ප්‍රමාණයක් නිදහස් කරන ලද අතර එමගින් තමන්ගේ ම ඉඩම්වල නැවත පදිංචි වීමට හා නැවතත් තම සාමාන්‍ය ජීවිත ගත කිරීමට වින්දිතයන්ට හැකියාව ලැබිණි. උතුරු හා නැගෙනහිර පළාත්වල දිගු කලක් පුරාවට පැවති ගැටුම් හේතුවෙන් බාධා එල්ල වුණු සංවර්ධන කටයුතු වේගවත් කිරීම සඳහා 2018 දී උතුරු හා නැගෙනහිර දමිළ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් යුතු උතුරු හා නැගෙනහිර සංවර්ධනය පිළිබඳ ජනාධිපති කාර්යා සාධක බලකාය පිහිටුවන ලදී. එමගින් මෙම පළාත් දෙකෙහි ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවන ලදී. ඉඩම් නිදහස් කිරීම ඇතුළුව කැපී පෙනෙන ප්‍රගතියක් එමගින් ළඟා කර ගැණිනි. නැවත පැමිණි සරණාගතයන්, ආබාධිත පුද්ගලයන්, අභ්‍යන්තරිකව අවතැන් වූවන් හා කාන්තාවන් ගෘහ මූලිකයන් වූ පවුල් සඳහා නිසි අවධානය යොමු කරන ලද අතර ඔවුන්ට සහාය වීම හා ඔවුන් වෙත ජීවනෝපාය අවස්ථා සලසා දීම සඳහා වන යෝජනා ක්‍රම කිහිපයක් ක්‍රියාවට නැංවිණි.

නීතිමය ප්‍රතිසංස්කරණ මානව හිමිකම් උල්ලංඝණයන් සඳහා මග පාදන ලද නීති ප්‍රතිසංස්කරණය පමණක් නොව මානව හිමිකම් උල්ලංඝණයන් වැළැක්වීමේ නොහැකියාව ඇති කළ නීතිමය හිඩැස නව නීති මගින් පිරවීම ද සිදු කළ යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ව්‍යවස්ථාවෙන් අනුමත කෙරෙන ජනාධිපතිවරයා වෙත පැවරුණු නිර්බාධිත බලය අත්තනෝමතික තීරණ රැසකට මග පාදා ඇති බව ඉතිහාසය දෙන බැලීමේ දී පෙනී යයි. මෑත අතීතයේ දී දක්නට ලැබුණු අයුරින් විධායක ජනාධිපතිවරයා වෙත පැවරුණු අසීමිත බලතල රජයන් වෙනස් කිරීම, දේශපාලන ප්‍රතිවාදීන් සහ පක්ෂ තහනම් කිරීම, මැතිවරණ කල් තැබීම, අපරාධකරුවන් ආරක්ෂා කිරීම හා අශෝභන ලෙස නීති උල්ලංඝණය කිරීම සඳහා මෙවලමක් ලෙස භාවිතා කරනු ලැබ ඇත. මානව හිමිකම් සංවිධානවල වාර්තාවන්ට අනුව අතීතයේ විධායක ජනාධිපතිවරයාගේ බලතල සුළු ජාතීන්ට එරෙහිව සැලකිය යුතු අන්දමින් භාවිතා කර ඇති බව පෙනී යයි. 2015 දී බලයට පැමිණි යහ පාලන ආණ්ඩුව විසින් ජනාධිපති සිරිසේන මැතිතුමා මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ දී පොරොන්දු වූ අයුරින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් විධායක ජනාධිපතිවරයාගේ බලතල කැපී පෙනෙන අන්දමින් අඩු කරන ලදී. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං‍ශෝධනය මගින් නිළ කාර්යයන්ට අදාළව ජනාධිපතිවරයාගේ මුක්තිය ඉවත් කිරීම, පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා‍ගේ බලතල අවම කිරීම, ජනාධිපති ධූර කාල සීමාවන් නැවත හඳුන්වා දීම, ප්‍රධාන ස්වාධීන ආයතන වෙත පත් කිරීම් පිළිබඳ ජනාධිපතිවරයාගේ පරම බලය ඉවත් කිරීම සහ නීති සම්පාදනය කිරීමේ ක්‍රියාවලියෙහි විනිවිදභාවය ඉහළ නැංවීම සිදු කෙරේ. විධායක ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීම සාමය හා සංහිඳියාව කරා යන ගමනේ අපේක්ෂාසහගත ඇරඹුමකි.

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත 2016 අගෝස්තු මස පාර්ලිමේන්තුව මගින් අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල (ස්ථාපිත කිරීම, පරිපාලනය හා කාර්යයන් ඉටු කිරීම) පනත සම්මත කරන ලදී. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය යනු අතුරුදන් වූවන්ගේ ගැටළුව පිළිබඳ කටයුතු කිරීම සඳහා ස්ථාපනය කරන ලද ප්‍රථම ස්ථාවර හා ස්වාධීන යාන්ත්‍රණයයි. දැනට අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය බලාත්මක වන අතර එහි විමර්ශන ආරම්භ කර ඇත.

හානිපූර්ණයන් සඳහා වන කාර්යාලය සන්නද්ධ ගැටුම්, සිවිල් කලකෝලාහල හා දේශපාලන අරගලවලට අදාළ වින්දිතයන් සඳහා හානිපූර්ණයන් සිදු කිරීමට පහසුකම් සැලසීම පිණිස 2018 ඔක්තෝම්බර් 9 දින හානිපූර්ණයන් සඳහා වන කාර්යාල පනත සම්මත කර 2019 අප්‍රේල් මස හානිපූරණ කාර්යාලය පිහිටුවන ලදී. හානිපූර්ණයන් සඳහා වන කාර්යාල පිහිටුවීම වින්දිතයන්ගේ පීඩාවන් සඳහා පිළියම් ලබා දීමේ ක්‍රියාවලියෙහි සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය. මන්ද යත් හානිපූර්ණයන් යනු වින්දිතයන්ට අදාළ උල්ලංඝණය් නිළ වශයෙන් පිළිගැනීමක් ලෙස පෙන්වා දිය හැකි බැවිණි. තවද හානිපූර්ණයන් තුළින් වින්දිතයන්හට මූල්‍යමය හා මනෝසමාජීය සහාය ලබා දීම ඔවුන්ගේ වේදනාව සමනය කිරීමට ඉවහල් වනු ඇත.

මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) පනත ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසින් 2016 අගෝස්තු 25 දින මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත ඒකමතිකව සම්මත කරන ලද අතර එමගින් දක්නට නොමැති බවට වූ සහතික නිකුත් කිරීමට විධිවිධාන සලසනු ලැබේ. දක්නට නොමැති බවට වූ සහතිකය යනු සැලකිය යුතු පුද්ගලයන් සංඛ්‍යාවක් තවමත් අතුරුදන් වී සිටින බව ශ්‍රී ලංකා රජය විසින් නිළ වශයෙන් පිළිගන්නා බව පෙන්නුම් කෙරෙන නිළ ලේඛනයකි. දක්නට නොමැති බවට වූ සහතිකය වින්දිතයන්හට අතුරුදන් වූ තමන්ගේ ආදරණීයයන්ගේ දේපළ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී හා වෙනත් විවිධ නෛතික සහ පරිපාලන කරුණු පිළිබඳ කටයුතු කිරීමේදී ඉතා වැදගත් වේ.

වින්දිතයන් හා සාක්ෂි ආරක්ෂා කිරීමේ පනත 1993 සිට ශ්‍රී ලංකා රජය විසින් පෙර සිදු වූ මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා විවිධ තත්කාර්ය ජනාධිපති කොමිෂන් සභා ස්ථාපිත කළ ද එම කොමිෂන් සභා ඉදිරියේ සාක්ෂිකරුවන් දහස් ගණනක් සාක්ෂි ලබා දුන්න ද වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණයක් හෝ නීතියක් ඇති කර නොමැත. 2007 දී උදලාගම කොමිෂන් සභාවෙහි පරීක්ෂණ නිරීක්ෂණය කිරීම සඳහා එවකට සිටි ජනාධිපතිවරයා විසින් මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කරන ලද  International Independent Group of Eminent Persons (IIGEP) වින්දිතයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නීතියන් පැනවීමේ අවශ්‍යතාව අවධාරණය කළ ද  මේ සම්බන්ධයෙන් නීතියක් පැනවීමට කිසිඳු පියවරක් නොගන්නා ලදී. කෙසේ වුවද, 2015 දී ශ්‍රී ලංකා රජය විසින් 2015 අංක 4 දරණ අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන්හට සහාය දී‍මේ හා ආරක්ෂා කිරීමේ පනත සම්මත කිරීමෙන් මෙම අසමර්ථ වීම සඳහා විසඳුමක් ලබා දෙන ලදී. කෙසේ වුවද, මෙම පනතෙහි කාර්යක්ෂමතාව තහවුරු කිරීම සඳහා සංශෝධන කිහිපයක් සිදු කිරීමට අවශ්‍ය වේ.

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම පිළිබඳ පනත  ශ්‍රී ලංකා රජය විසින් 2018 මාර්තු මස බලහත්කාරයෙන් අතුරුදන් කරවූ සියල්ලන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත සම්මත කරන ලද අතර එමගින් බලහත්කාරයෙන් අතුරුදන් කිරීම අපරාධයක් බවට පත් කෙරේ. “අතුරුදන්වීම” යනු දශක තුනක් පුරා මෙරට පැවති මානව හිමිකම් උල්ලංඝණයක් බැවින් මෙම නීතිය බලාත්මක කිරීම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියෙහි සන්ධිස්ථානයක් ලෙස සැලකිය යුතුය.

තවද, තොරතුරු දැන ගැනීමේ පනත මඟින් රාජය මුළුමනින්ම විනිවිධ කිරීම විශාල පෙරළියකි.

අප අද සිටින්නේ ගෝලීයකරණයට ලක්වූ ලෝකයයි. සියලු රටවල් තම දියුණුව වෙනුවෙන් කැපවී සිටී. නව සොයා ගැනීම් අලුත් දෑ සොයමින් ලෝකයම ගමන් කරන යුගයක අප එකිනෙකා සමඟ කුලල් කා ගන්නා පසුබිමක ගත කිරීම අප ආර්ථික සමාජීය දියුණුවට මෙන්ම සියලු අතින් රට පසෙකට ඇදීමට බලපා ඇත. මේ සඳහා ඇතැම් දේශපාලන චරිත විශාල ලෙස වග කිවිය යුතුය. කෙසේ නමුත් අප යොමු විය යුත්තේ නැවත එවන් ගැටුම්කාරී තත්වයන් ගෙන් තොර නව ලෝකය සමඟ අත්වැල් බැඳ දියුණුව කරා පියමන් කිරීමටයි. නැතහොත් සදාකාලිකවම ගැටුම් වල ගිලුණු සමාජයක් අපට උරුම වනු ඇත. පාස්කු ප්‍රහාරයෙන් පසු රට කළු ජූලියක් නොවුනේ, රජය ගත් මේ ක්‍රියා මාර්ගයන් නිසාවෙනි.

කොටවා ඡන්දය ගන්නන් අතර නිවැරදි සමාජයකට පාවඩ එලූ රජයක්!

 

Back to Top