Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගජනාධිපතිවරණය: ගෝටාට විරුද්ධව කව්ද? – සුනන්ද දේශප්‍රිය

ජනාධිපතිවරණය: ගෝටාට විරුද්ධව කව්ද? – සුනන්ද දේශප්‍රිය

by

කාටූනය @awanthaartigala .

අංක ගණිතය මගින් දේශපාලන අනාවැකි කීමට නොහැක. මන්ද යත් අංක ගණිතය යනු හුදෙක් එකයි එකයි දෙකයි කීමක් නිසා ය. ජනප්‍රිය නිදසුනක් ගන්නේ නම් වතුර බිංදු දෙකක් එකතු වූ විට වතුර බිංදු දෙකක් සෑදෙන්නේ නැත. සෑදෙන්නේ  ටිකක් ලොකු එක් වතුර බිංදුවකි.

එසේ නමුත් ආරම්භක ස්ථානයක් ලෙස එළඹෙන ජනාධිපතිවරණය දෙස බැලීමට අපට පහේ පංතියේ අංක ගණනක් යොදා ගත හැක. ඒ මෙසේ ය.

යහපාලන දේදුනු එකමුතුවේ පොදු අපේක්ෂකයා ලෙස 2015 ජනවාරියේ දී මෛත්‍රීපාල සිරිසේන ඡන්ද ලක්ෂ 62ක් ලබා ගත්තේ ය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපෙක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ ඡන්ද ලක්ෂ 58ක් ලබා ගත්තේ ය.

දැන් වසර පහකට පසු  යහපාලන දේදුනු එකමුතුව නැත. දැනට පෙනෙන විදිහට එක්සත් ජාතිකපක්ෂයට ජනාධිපතිවරණයෙහි තරඟ කරන්නට සිදුවනු ඇත්තේ අඩුම වශයෙන්  එම සන්ධානයෙහි සිටි ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක සහයෝගය නැතිව ය. එමෙන් ම රාජපක්ෂ භීෂණය අවසන් කිරීමට රට පුරා වෙහෙස වූ සිය ගණන් සිවිල් ක්‍රියකාරීන් සහ කාරිනියන් ද අද එයට සහාය දෙන්නේ නැත.

ඊට හේතුව සිරිසේන නොවේ. සිරිසේන තමා බලයට ගෙන ආ ජනතාව පාවා දී රාජපක්ෂ තුරුලට ගොස් දැන් බොහෝ කල් ය. ඔහු එම දැවැන්ත සන්ධානයේ තීරණාත්මක සාධකයක් නොවුණි. 2015 දේදුනු එකමුතුව විනාශ වී ගියේ අහිම්සා වික්‍රමතුංගගේ සිට ආර්. සම්පන්දන් දක්වා හරියටම කියා ඇති පරිදි පසුගිය සිව් වසර පුරා ආණ්ඩුව, රනිල් වික්‍රමසිංහ එහි බලවත් අගමැතිවරයා ලෙස ඇතිව, යහපාලන පොරොන්දු කුණූ කූඩයට දැමූ නිසා ය.

මහ බරක් ඉසුලූ ජවිපෙ

මාස කිහිපයකින් එළඹෙන ජනාධිපතිවරණ සටන නොනිල වශයෙන් දැන් ආරම්භ වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා කව්රුන්දැයි තවම නොදැන ය. 2015 සන්ධානයේ මහ බරක් ඉසුලූ ජනතා විමුක්ති පෙරමුණ, සිය නායකත්වයෙන් ගොඩ නැගෙන ජාතික ජනතා බලවේගයේ අපේක්ෂකයා මෙම ඉරිදා ප්‍රකාශයට පත් කරයි. එම සන්ධානයට වත්මන් ආණ්ඩුවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු බාරව සිටි ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න ඇතුළත් වන සමසමාජ පක්ෂයේ වාම කණ්ඩායම ද ඇතුළත් ය. ඒ හැරුණ විට කුඩා කුඩා වාම සංවිධාන ගණනාවක් ද ඊට ඇතුළත් ය.

සභාග දේශපාලනය නිසා මෙරට පැරණි වම විනාශ විය. දැන් ජීවිතයේ සැඳෑ සමය ගත කරන එම පැරණි වමේ නායකයින්ගෙන් පසු එම පක්ෂ ඉතිරිවනු ඇත්තේ ඉතිහාස පොත්වල පමණ ය. ජනතා විමුක්ති පෙරමුණ ද මුහුණ දී සිටින අභියෝගය ඊට සමාන ය. එය ද 2002, 2005 සහ 2015 එය විවිධ මුහුණූවරින් යුතු සභාග දේශපාලනයන්හි යෙදුණි. එනමුත් එම කිසිදු සභාග දේශපාලනයක් නිසා හෝ ලබා ගත් ජනතාවාදී ජයග්‍රහණයක් නැත. ප්‍රධාන ශපාලන පක්ෂ කෙරෙහි කලකිරුණු අති විශාල ජන කණ්ඩායමක් මෙරට සිටින නමුත් ඔවුන් ආකාර්ශනය කර ගත හැකි සමාජ- ප්‍රජාතන්ත්‍රවාදී නූතනවාදී බලපෑමේ දේශපාලන ව්‍යාපෘතියක් තවම එයට නැත. දෙමළ සහ මුස්ලිම් ජනයා අතර ද ස්ත්‍රීන් සහ තරුණ ප්‍රජාව අතරද එයට කැපී පෙනෙන ආකර්ශනයක් නැත. මේ තාක් දුරට එහි දේශපාලනය සෙක්කු වට රවුමේ කර කැවීමකි. එකී සෙක්කුවේ විය ගස පැත්තක තබා ඉන් එළියට පැමිණීමට නොහැකි වන්නේ නම් සමහර විට මේ එළඹෙන්නේ එහි බහින කලාවට පෙර එළඹෙන හොඳම හෝරාව විය හැකි ය.

දෙමළ සන්ධානයේ උභතෝකෝටිකය

රාජපක්ෂ විරෝධී පුළුල් පෙරමුණෙහි දෙමළ ජනයා නියෝජනය කළ දෙමළ ජනතා සන්ධානය පසුගිය සතියෙහි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ එළඹෙන ජනාධිපතිවරණයට සහභාගිවිය යුතුද යන්න ප්‍රශ්නයක් බවයි. එය තර්ක කරන්නේ 2015 ජනවාරියේදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ජනවරමක් දෙන ලද බැවින් යළිත් වතාවක් විධායක ජනාධිපතිවරණයකට සහභාගිවීම වැඩකට නැති බවයි. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තමන් රැවටවීමට කරන ලද කාලය නාස්ති කිරීමක් ලෙස එය සලකන බව පෙනේ. දෙමළ ජනතා සන්ධනයේ තර්කය අනුව පෙනෙන්නේ දෙමළ ජනයාට ආපසු ගත නොහැකි බලය බෙදීමක් සහිත නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට කිසිදු ඇත්ත උත්සාහයක් නොදරා පවත්වන මෙම ජනාධිපතිවරණය තමන්ට අදාළ නැති බවයි.

ඊටත් වඩා එය මුහුණ දෙන ප්‍රශ්නය වන්නේ දෙමළ ජනයා අතර තමන්ට තිබූ  අවිවාදාත්මක පිළිගැනීම සහ නායකත්වය පසුගිය සිව් වසර තුළ දරුණූ ලෙස ඛාදනය වී ගොස් තිබීම යි. අද දෙමළ සන්ධානයේ හොඳ කියන දෙමළ ජාතිකයකු සොයා ගැනීම දුෂ්කර ය. දිගින් දිගටම දෙමළ ජනයා රවටන ලද දකුණේ කිසිදු කවර හෝ පක්ෂයකට හෝ නායකයෙකුට සහාය දීමට දෙමළ සන්ධානය තීරණය කළ හොත් ඊට විරුද්ධව ප්‍රබල ජනමතයක් ගොඩ නැගී ඒමට ඉඩ තිබේ. මෙරට දෙමළ දේශපාලනය ද දැන් තීරණාත්මක කඩඉමකට පැමිණ තිබේ. දකුණේ සිංහල නායකයින් කෙරෙහි විශ්වාසය තැබූ සම්පන්දන්- සුමන්දිරන් නායකත්වය පවා දැන් දෙමළ රැඩිකල්වාදී සටන්පාඨ කරා ඇදී යමින් තිබේ.

අංක ගණිතයෙන් පරාජිතයා ‌සෙවීම 

අපි දැන් මුලින් කී අංක ගණිතය කරා ගමන් කරමු. 2015දී, සිරිසේන ලබා ගත්තේ රාජපක්ෂට වඩා ජන්ද ලක්ෂ හතරකි. එළඹෙන ජනාධිපතිවරණයෙහි දී ජනතා විමුක්ති පෙරමුණ අඩුම වශයෙන් ජන්ද ලක්ෂ 2.5 සිට 4ක් අතර ප්‍රමාණයක් ලබා ගන්නට ඉඩ තිබේ. එයට ඡන්ද ලක්ෂ 2.5 පසු කිරීමට නොහැකි වුවහොත් ඊළඟ මහා මැතිවරණය විසින් 1977 මහා මැතිවරණයේ දී පැරණි වමට ලබා දුන් ඉරණම ආසන්නයට ජවිපෙ පසු බැසීමට ඉඩ තිබේ. එනයින් එළඹෙන ජනාධිපතිවරණය ජවිපෙට ද ගල උඩ සටනකි.

ජවිපෙ ඡන්ද ලක්ෂ දෙකහමාරක් ඉවතට ගෙන ගිය විට 2015 ලද වැඩි ඡන්ද ලක්ෂ හතර ලක්ෂ එකහමාරකට බසී. සිරිසේන සතුව එම ලක්ෂ 62ක තුළ කොපමණ ඡන්ද තිබුණේදැයි කීම ඉතා දුෂ්කරය. අඩුම ගණනේ ඔහු ඡන්ද ලක්ෂයක් ගෙන ආවේ යැයි සිතමු. එම ඡන්ද ලක්ෂයද ඉවත් කළ විට වැඩි ඡන්ද ප්‍රමාණය ලක්ෂ පනස් දහසකට බසී. 2015 ජනවාරියේදී පොදු අපේක්ෂකයා වූ සිරිසේන ලද දෙමළ ඡන්ද ප්‍රමාණය ද අද එලෙසම නැත. මගේ වැටහීම අනුව පොදු අපේක්ෂකයා ලද දෙමළ ඡන්ද ප්‍රමාණය සියයට 30කින් පමණ මේ වන විට ඉන් ඉවත් වී තිබේ.

මේ අනුව 2015 දේදුනු සන්ධානයේ, දඉනිකොකතැර යෙන් ( දම්, ඉන්ඩිගෝ,නිල්,කොළ, කහ, තැඹිළි සහ රතු) ඉතිරි වී සිටින්නේ කොක පමණක් විය හැකිය. ඒ අනුව බැලූ විට රාජපක්ෂ කඳවුරට එරෙහි එජාපය ප්‍රමුඛ කඳවුර සතුව වැඩි ඡන්දයක් නැත. අඩුම වශයෙන් දෙපාර්ශවය සිටින්නේ සම තත්වයක ය.

මෙම අංක ගණන, වීජ ගණිත සමීකරණයක් බවට පෙරළා එයට වන්ගුබෙධරි ( වරහන්, ගුණ කිරීම, ධන සහ රින) ඇතුළත් කළ විට පසුගිය පළාත් පාලන මැතිවරණය සහ අලුත් ඡන්ද ද ඊට එකතු වෙයි. එමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය සහ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා ද ඊට එක් වෙයි.

ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි දෙමළ මුස්ලිම් ජනතාව තුළ මහත් බියක් තිබේ. ඔහුට ඔහුගේ භීෂණකාරී ඉතිහාසයෙන් ගැලවීමක් නැත. ගෝඨාභය රාජපක්ෂ යනු ප්‍රබල විපක්ෂ ප්‍රචාරක ව්‍යාපාරයක් වී නම් ඉලක්ක කළ හැකි හොදම අපේක්ෂකයා ය. ඔහුට ඇති රින ලකුණු ධන ලකුණු වලට වඩා බොහෝ වැඩිය. ඔහු පිළිබඳ ඇති චිත්‍රය භයානක එකකි. මහින්ද රාජපක්ෂ සතු වූ අනුහස් සහිත නායකත්වය ද ගෝඨාභයට නැත.

රාජපක්ෂ කඳවුරට පවුලේ ආධිපත්‍ය පවත්වා ගැනීමට සිටි හොඳම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ ය. ඔහුට අපේක්ෂකත්වය ලැබුණේ ඒ් නිසා ය. බණ්ඩාරනායක පවුලෙන් පසු රාජපක්ෂ පවුලට ය.

එජාපයේ අවුල

බොහෝ දුරට ම නොවැම්බර් 23 දා පැවැත්වීමට ඉඩ ඇති ජනාධිපතිවරණයෙහි දී සිය අපේක්ෂයා නම් කර ගැනීමට එජාපයට තවම නොහැකි වී තිබෙන්නේ මෙවැනි තීරණාත්මක පසුබිමක් තුළය. සජිත් ප්‍රේමදාසගේ ප්‍රහාරාත්මක අපේෂකත්ව තරඟය හමුවෙහි රනිල් වික්‍රමසිංහගේ චෙස් දාම් ලෑල්ල සී සී කඩව ගොස් තිබේ. දැන් ඉත්තන් ඇදීම දුෂ්කර ය. පොන්සේකාගේ සිට රනිල් සහෝදර ෂාන් වික්‍රමසිංහගේ ටී.එන්.එල්. රූපවාහිනිය දක්වා ප්‍රේමදාසට පහර දෙයි. ෂාන් වික්‍රමසිංහගේ දියණිය දැනටමත් ගෝඨාභයට සහාය දෙයි. මේ  පෙර නිමිති ය.

පෙනෙන විදියට රනිල් වික්‍රමසිංහ කල්පනා කරන්නේ තමන් ම ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට යි. නමුත් එය තවම ප්‍රකාශයට පත් කර නැත. ඔහු සජිත් ප්‍රේමදාස තරඟයෙන් ඉවත් කිරීමට කළ හැකි සියලු දේ කරනු ඇත. නමුත් යටිනි. කූට්ටුවෙනි. සජිත් ප්‍රේමදාස ද අපේක්ෂකත්වය ලබා ගන්නට යන්නේ බලයෙනි. පක්ෂය තුළ කැරෙන විධිමත් සාකච්ජාවකින් නොවේ.

පවුලේ කෑම මේසයේ දී රාජපක්ෂවරු සිය කඳවුරේ ජනාධිපති අපේක්ෂකත්වය සහ රාජාභිෂේකය තීරණය කළහ. අනෙක් ප්‍රධාන තරඟකරුවා වන එජාපය සිය අපේක්ෂකයා තීරණය කිරීමට මහපාරට, තාප්ප බිත්තිවලට සහ යටි කූට්ටු දේශපාලනයට බැස සිටී.

ඒවැනි රටකට අබ සරණ මිස අන් කුමන සරණක් ද?

 

 

 

 

 

Back to Top