Sri Lanka Brief
පුවත්විවරණඊළඟ ජනපතිට මාර්ග සිතියමක් – කුමුදු කුසුම් කුමාර

ඊළඟ ජනපතිට මාර්ග සිතියමක් – කුමුදු කුසුම් කුමාර

by

සමාජ ව්‍යාපාර සඳහන් කරන්නේ ලංකාවේ ආණ්ඩු ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බවය. නව ව්‍යවස්ථාව හා අලුත් දේශපාලන ව්‍යුහයක් අවශ්‍ය යුගයක් උදා වී තිබෙන බව විද්වතුන්ගේ අදහසය. මේ සියලු දේශපාලන ප්‍රතිසංස්කරණවල අරමුණ විය යුත්තේ පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් නම් කළ හැකි ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීමය. සරලව කිවහොත් පුරවැසියාට සෘජුව වගකියන ආසන මට්ටමේ මන්ත්‍රී ක්‍රමයක් ඇති කිරීමය. පහළ බිම් මට්ටමේ සිට ඉහළට ගොඩනැගෙන ජනතා නියෝජනය පදනම් වූ දිගුකාලීනව ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් ඇති කළ යුතුය.

කලින් කලට මැතිවරණ පැවැත්වෙන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක් ළඟ එන බව පැහැදිලිය. ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපතිවරයකු තෝරාපත් කර ගැනීමට ජනතාවට අවස්ථාව තිබෙන අතර ජනතා විශ්වාසයෙන් හා කැමැත්තෙන් පත්කර ගන්නා ජනාධිපතිවරයා රටට ජනතාවට වගකියන ජනතාවගේ වැඩි විශ්වාසය දිනාගත් ජනතා හිතවාදියකු විය යුතුය. තවත් ආකාරයකින් කිවහොත් ජනතාව අපේක්ෂා කරන්නේ තමන් වෙනුවෙන් කැපවෙන ජනතා සේවකයෙකි. එබඳු පුද්ගලයකු තෝරා පත්කර ගැනීමේදී ජනතාව සුවිශේෂී අවධානයක් යොමු කළ යුතුය.

මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රය කෙරෙහි රටේ බහුතර ජනයා විශ්වාස භංගත්වයෙන් හා කලකිරීමෙන් යුතුව සිටිති. ඒ ඔවුන් ඉදිරියේ දේශපාලන නායකයන් සපථ කරන බොහෝ දේ අවසානයේ පුස්සක් බවට පත්වන නිසාය. තමන් විශ්වාසය තැබුවන් කෙරෙහි කලකිරීම් ඇති නොවීමට නම් ජනතාව මනා අවබෝධයෙන් යුතුව ඡන්දය පාවිච්චි කළ යුතු අතර පත්වන නායකයන් ජනතා අපේක්ෂාවන් මනාව වටහාගෙන කටයුතු කළ යුතුය. ඊළඟ ජනාධිපතිවරයා භාරගත යුතු අභියෝග රැසකි. එහිදී මූලික වශයෙන් ජනතා හිත සුව පිණිස කටයුතු කිරීමට ඔහු අවධානය යොමු කළ යුතුය.

ජනවාරි වෙනස

ජනාධිපතිවරණය තවත් එක් ඡන්දයක් නොවන අතර ජනාධිපතිවරයකු පත්කර ගැනීම ලංකාවේ නූතන දේශපාලනයේ කඩඉම් ලක්ෂයකි. අද පවතින තත්ත්වයෙන් ඔබ්බට යම් ආකාරයක පරිවර්තනයක් කළ හැකි දේශපාලන නායකත්වයක් සමාජය මේ වනවිට ඉල්ලා සිටී. 2015 ජනවාරි මැතිවරණ ව්‍යාපාරය ගොඩනැගීමේදී ඉතා පුළුල්ව ස්වාධීනව සංවිධානය වූ පුරවැසි ව්‍යාපාරයක් ගොඩනැඟුණි. කල්යත්ම එම ව්‍යාපාරයේ නායකත්වය ඉතා සුළු පිරිසක් අතට ගොනුවුණි. තමන් සිවිල් සමාජ නායකයන් යැයි හඳුන්වා ගත් එම පිරිස කිසියම් ආකාරයකට පුරවැසි ව්‍යාපාරය දේශපාලන ප්‍රභූ පන්තිය සමඟ ගැටගැසූහ. ජනවාරි ව්‍යාපාරයෙන් ගොඩනැගී බිඳ වැටුණු එම පුරවැසි ව්‍යාපාරය යළිත් වතාවක් පිබිදී ජාතික මට්ටමින් ගොඩනැගේවි යන බලාපොරොත්තුව මත ජනතාව මේ වනවිට සිටිති. ඒ සඳහා ජනතාවට දේශපාලන නායකත්වයක් අවශ්‍යය.

ගෝලීය වශයෙන් නව ලිබරල් ධනවාදය හා ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය යන දෙකම බරපතළ අර්බුදයකට මුහුණ පා සිටින යුගයක ලංකාවේ ජනතාවාදී දේශපාලන නායකත්වයක් නිර්මාණය කරගැනීමට පසුබිම් සකස් වෙමින් තිබේ. ජාතිකවාදී අධිකාරවාදී දක්ෂිණාංෂික පාලනයන් ලොව පුරා පවතින මේ යුගයේ කිසියම් ආකාරයක වාම නැඹුරුවක් තිබෙන ජනතාවාදී දේශපාලන බලවේගයක් ස්ථාපිත කළහොත් එම බලපෑම වළක්වා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ලංකාව බරපතළ දේශපාලන ආර්ථික හා සමාජීය අර්බුදයකට මුහුණ පා සිටින බව ජන සමාජය තුළ මතයක් ගොඩනැගී තිබේ. ජනතාව මෙරට පවතින දේශපාලනය පන්තියක් වශයෙන් ප්‍රතික්ෂේප කරන බවත් දිගින් දිගටම ප්‍රකාශ වී තිබේ. රට තුළ ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජනතාව තුළ තිබෙන විශ්වාසය පුපුරා යාම ඊට ප්‍රධාන හේතුවකි.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ සැබෑ ජනතා නියෝජනයක් තිබිය යුතුය. එහෙත් ආණ්ඩුව තුළ දිගින් දිගටම සිදුවන ඝට්ටනය ඇතිවී තිබෙන දේශපාලන අස්ථාවර බව විසින් පොදු ජනයාගේ දෛනික ජීවිතය බරපතළ ලෙස අස්ථාවර තත්ත්වයකට ඇද දමා තිබේ. මෙම අස්ථාවරත්වය නිසා පවත්නා දේශපාලනය ගැන මිනිසුන් තුළ බලවත් කලකිරීමක් හටගෙන ඇත. මීට සමගාමීව ජාතික සමගිය පිළිබඳ ප්‍රශ්නය ද බරපතළ අර්බුදයක් ලෙස දිගටම පවතින අතර ජාතික ආරක්ෂාව කෙරෙහි දැඩි බියක් සමාජය තුළ පැතිරී ගොස් තිබේ. මේ කාරණය නිසා පුරවැසි ආරක්ෂාව කෙරෙහි රජය වැඩි අවධානයක් යොමු කළ යුතුය.

පවතින තත්ත්වය හමුවේ ආර්ථික වශයෙන් රට අර්බුදයකට පත්වීමත්, එක් පැත්තකින් උග්‍ර ණය බර හා අනික් පැත්තෙන් මිනිසුන් මත පැටවෙන බදු බර ඔවුන් අසහනයට පත්කර තිබෙන තවත් කරුණකි. මෙවැනි පසුබිමක ජනාධිපතිවරණයට කවර ආකාරයේ අපේක්ෂකයන් ඉදිරිපත්ව සිටිනවාද යන කාරණය මූලිකවම මහජන අවධානය ‍යොමු වී තිබෙන අතර එහිදී ජනතාව පවතින ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මතුවන ගැටලුකාරී තත්ත්වය ද සිහිපත් කරගනී. ආණ්ඩු ක්‍රමය තුළ තමන්ගේ අදහස් නියෝජනය විය යුතුය යන කාරණයත් එබඳු ක්‍රමවේදයක් පවතින ආණ්ඩු ක්‍රමය තුළ නැති බවත් ජනතාවගේ විශ්වාසය වී තිබේ. ඒ අනුව ඉදිරියේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකුට ජනතාව ප්‍රතික්ෂේප කරන පවතින ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීමට සිදුවේ.

මේ වනවිට සමාජ ව්‍යාපාර සඳහන් කරන්නේ ලංකාවේ ආණ්ඩු ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බවය. නව ව්‍යවස්ථාව හා අලුත් දේශපාලන ව්‍යුහයක් අවශ්‍ය යුගයක් උදාවී තිබෙන බව විද්වතුන්ගේ අදහසය. මේ සියලු දේශපාලන ප්‍රතිසංස්කරණවල අරමුණ විය යුත්තේ පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් නම් කළ හැකි ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීමය. සරලව කිවහොත් පුරවැසියාට සෘජුව වගකියන ආසන මට්ටමේ මන්ත්‍රී ක්‍රමයක් ඇති කිරීමය. පහළ බිම් මට්ටමේ සිට ඉහළට ගොඩනැගෙන ජනතා නියෝජනය පදනම් වූ දිගුකාලීනව ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් ඇති කළ යුතුය. සැබෑ පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කිරීමේ දිශාවකට අප යා යුතු කාලය පැමිණ ඇත.

වත්මන් සමාජයේ ඔඩු දුවමින් තිබෙන විනාශකාරී ක්‍රියාදාමයක් වූ ජාතික අසමගිය පිළිබඳ ප්‍රශ්නයට අනාගත ජනාධිපති අපේක්ෂකයන් පැහැදිලිව ආමන්ත්‍රණය කළ යුතුය. සියලු ජනවර්ගවලට, ආගමික කොටස්වලට, ගෞරවයෙන් යුතුව සාමයෙන් සහජීවනයෙන් සංහිඳියාවෙන් එක්ව ජීවත්විය හැකි තිරසාර පදනමක් සකස් කරන වැඩපිළිවෙළක් යෝජනාවීම වැදගත් වේ. එක්සත් ස්වාධීන ජාතියක් ගොඩනැගීමේ වගකීමට මූලිකත්වය දීම ජනාධිපති අපේක්ෂකයන්ට පැවරෙන කටයුත්තකි.

සමාජ සාධාරණත්වය

සමාජ සාධාරණත්වය අහිමිවීමේ ගැටලුවද ජනතාව අතර වැඩි කතා බහට ලක්වී තිබෙන දෙයකි. උගත්කමට සරිලන රැකියා අහිමිවීම, වත්මන් තරුණ තරුණියන්ගේ අවධානය යොමු වී තිබෙන ගැටලුවකි. ඊට අමතරව පරිසරය සුරැකීම, නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය හා යටිතල පහසුකම් පිළිබඳ ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදිය යුතු වේ. ඒ සමඟම වෘත්තීය මට්ටමේ වැදගත්කමක් ඇතිකරන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළි‍ෙවළකින් සැදුම්ලත් විෂය නිර්දේශයක් පාසල් දරුවන්ට ලබාදීමද කළ යුතුය. දැනට අප රට තුළ ක්‍රියාත්මක වන අධ්‍යාපනය හුදෙක් විෂය නිර්දේශයක් මිස එය දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ප්‍රමාණවත් නැත. දරුවන්ට නිසි අධ්‍යාපනය දී සාර්ථක පුරවැසියන් බවට පත්කිරීම රජයක වගකීමකි.

මත්ද්‍රව්‍ය උවදුර ඉතා වේගයෙන් සමාජගත වෙමින් පවතී. වයස අවුරුදු 15 ත් 25 ත් අතර තරුණ තරුණියන් ඊට ඇබ්බැහිවීම ඛේදනීය තත්ත්වයකි. එය මර්දනය කර රටේ අනාගතය බේරාගැනීමට ප්‍රමාණවත් නෛතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. සමාජය විනාශ මුඛයට ගෙන යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් ගන්නා පියවර කුමක්ද යන්නත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පුද්ගලයන් එයින් ගලවා යළි නිරවුල්ව සමාජගත කරන ආකාරයත් රට භාරගැනීමට ඉදිරිපත් වන දේශපාලනඥයන් ප්‍රකාශ කළ යුතුය.‍

ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයද විශේෂ අවධානය යොමු කළ යුතු කාරණයකි. 1977 හඳුන්වා දුන් විවෘත ආර්ථික ක්‍රමය යටතේ දියුණු වෙමින් පැවැති රටේ ආර්ථිකය හා ජන ජීවිතය මේ වනවිට සැලකිය යුතු පසුබෑමකට ලක්ව තිබේ.

ලිබරල්වාදී මතවාය

නව ලිබරල් සංවර්ධන මාවත යනුවෙන් හඳුන්වා ගත් ක්‍රමවේදයක් යටතේ සියලු ආර්ථික කටයුතු රජයේ වැඩපිළිවෙළ හා මුළු සමාජ ව්‍යුහයම විවෘත වෙළෙඳ පොළ යටතේ පාලනය වන බවක් පෙනෙන්න තිබේ. දක්ෂිණාංශික ජාතිවාදී දේශපාලන බලවේගයන්ගේ තුරුලට ජනතාව තල්ලු කිරීම මෙමඟින් සිදුවේ. ඊනියා නව ලිබරල් සංවර්ධන මාවතේ මේ ආකාරයට තවදුරටත් ගමන් කරනවාද කියන කාරණය නව ජනපති අපේක්ෂකයන් රටට හෙළි කළ යුතුය. ලංකාවේ ජන සමාජය ඉල්ලා සිටින්නේ සමාජ සාධාරණය සමගින් කෙරෙන ආර්ථික වර්ධනයක් මිස ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට නොලැබීමේ ක්‍රියාදාමයන්ගෙන් සැදුම්ලත් ආර්ථික සංවර්ධනයක් නොවේ.

නව ලෝකයේ අත්දැකීම් සැලකිල්ලට ගත් විට පළමුව අවශ්‍ය වන්නේ මහා පරිමාණ මෙගා ව්‍යාපෘතිද නැතහොත් ජනජීවිතය නගාසිටුවීමට අවශ්‍ය නිවාස, ජල පහසුව, විදුලිය, මංමාවත්, අධ්‍යාපනය, සෞඛ්‍ය, මගී ප්‍රවාහනය හා යටිතල පහසුකම් වැනි මූලික අවශ්‍යතාද යන්න සිතා බැලිය යුතුය.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ 1977 දක්වා කාලය සුබසාධන රාජ්‍යයක්ව පැවතුණි. එමගින් සමාජීය තත්ත්වය, සාක්ෂරතාව පදනම් කරගත් අධ්‍යාපනය, සෞඛ්‍යය, ලොව ඉතා දියුණු රටවල් සමඟ සම මට්ටමකට දියුණු වී තිබුණි. 1977 ට පසු සමාජ වෙනස්කම් හේතුවෙන් යම් යම් ක්ෂේත්‍ර අද වනවිට කඩා හැළීමකට ලක්ව තිබේ. එමෙන්ම 1977 න් පසු ක්‍රියාත්මක වූ ආර්ථික පිළිවෙත් තුළ පුද්ගලික අංශයට වැඩි බරක් දැමීමෙන් රාජ්‍ය සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය වැනි මහජන සේවා හා රාජ්‍ය සේවය දැඩි පසුබෑමකට පත්වුණි. ඊට සමගාමීව පුද්ගලික අංශවල වර්ධනයක් ඇතිවී තිබෙන අතර මෙය ජනතාවගේ සමාජීය ප්‍රගතියට හානිකරය. අනාගත ජනාධිපතිවරයකු අවධානයෙන් බැලිය යුතු ප්‍රධාන කාරණයක් වන්නේ ලංකා සමාජය ස්ථායි සමාජයක් වශයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය මහජන පොදු සේවාවන්හි පැවැත්මය.

රාජ්‍ය අංශ භූමිකාව පදනම් කරගත් සුබසාධන අංශය පවතින ආර්ථිකයෙන් ගිලිහීයාමට නොදී පවත්වාගෙන යාම වැදගත් වන අතර පෞද්ගලික අංශය අහෝසි කළ යුතු යැයි එයින් අදහස් නොකරේ. එහෙත් පැහැදිලිව සලකා බැලිය යුතු කාරණාව වන්නේ පෞද්ගලික අංශය මුල්කරගෙන ගොඩනැගෙන ආර්ථිකයක දැලෙන් හැළෙන ජනකොටස්වලට සමාජ සාධාරණය ඉෂ්ට කිරීමේ වගකීම රජය සතු බවය. එහිදී සුබසාධන රාජ්‍ය පුළුල් කිරීම හා ප්‍රජාතන්ත්‍රීය කිරීම අවශ්‍යය. ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමේදී රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය යන දෙකෙහිම සාපේක්ෂ වැදගත්කම හා රාජ්‍ය අංශයේ වගකීම කුමක්ද යන්න තේරුම්ගත යුතුය. එහිදී රජය පුද්ගලික අංශයට පහසුකම් සපයන්නකු හා කොටස්කරුවකු නොව පුද්ගලික අංශය අදාළ පරිදි දිරිගන්වන හා නියාමනය කිරීමේ මූලික වගකීම් දරන්නකු විය යුතුය.

ලංකාවේ ආර්ථික වර්ධනය පිළිබඳ සාකච්ඡා කිරීමේදී මූලික අදහස් දෙකක් තිබේ. අපනයනය මුල්කරගත් කර්මාන්ත සංවර්ධනයක් මෙරටේ ඇතිවිය යුතුය යන්නත් ආනයන ආදේශ මත පදනම් වූ වැඩපිළිවෙළක් මත යන්නත් ය. අපනයනය ඉලක්ක කරගත් කර්මාන්ත සංවර්ධනයක් ඇතිකිරීමේදී මතුවන මූලික ගැටලුවක් වශයෙන් ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ කාර්මිකකරණය මත දියුණු වූ රටවල් සමගින් කටයුතු කිරීමේදී ඇතිවන බාධාවන්ය. එහෙත් අපනයනයට සුදුසු බොහෝ දේ අප රට තුළ තිබේ. ඒවා ආහාර, අමුද්‍රව්‍ය හා නිෂ්පාදිත භාණ්ඩ වශයෙන් වර්ගීකරණයට ලක්කොට විදේශීය වෙළෙඳ පොළ ඉලක්ක කරගැනීම සඳහා අවධානය යොමු කළ යුතුය. ආනයන භාණ්ඩ සීමාකොට අපනයන භාණ්ඩ වැඩිකිරීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීම රජයේ වගකීමකි.

නැවත සමූපකාරයට

වසර ගණනකට පෙර ලංකාව තුළ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ සමුපකාර ක්‍රමය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීම, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, කුඩා හා මධ්‍යම ව්‍යාපාර, ගැමි ආර්ථිකය පදනම් කරගනිමින් ගොඩනැඟීමේ අවශ්‍යතාව නැවත මතුවී ඇත. නව ලිබරල්වාදී ආර්ථිකය මත ගෝලීයකරණය වූ නව මාධ්‍ය හමුවේ අපේ රටට නොගැළපෙන සංස්කෘතීන් පැමිණෙමින් තිබෙන අතර එයින් සමාජමය විපර්යාසයක් ද ඇතිවෙමින් පවතී. මෙම සියලු විපර්යාසවලට වස්තු බීජය වන්නේ රට තුළ ජාතික ප්‍රතිපත්තියකින් සමන්විත දේශපාලන ප්‍රවාහයක් නැතිවීමය.

ජාතික ප්‍රතිපත්තියක් සකස්විය යුත්තේ මහජනතාවගේ කැමැත්ත මතය. අද තිබෙන ප්‍රධාන දේශපාලන පක්ෂ නව ලිබරල්වාදීව තම අභිමතාර්ථ අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක කිරීමට යොමු වී ඇත. එවැනි ක්‍රියාදාමයකදී ඔවුන් ජනතා අදහස් විමසනවා වෙනුවට තමන්ට අවැසි ප්‍රතිපත්ති මාලාවක් සකස්කොට බලයට පත්වූ පසු ඒවා ක්‍රියාත්මක කරති. එමගින් මහජනයාට යෝග්‍ය දෙයට වඩා පීඩාකාරී දේ සිදුවේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් රටේ කම්කරු කොටස්, ගොවීන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, බුද්ධිමතුන් ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි නියුතු ජනතාව රජයට විරුද්ධව විරෝධතා පවත්වති.

පුද්ගලයන් කීපදෙනකුගේ අවශ්‍යතාව මත පදනම් නොවූ සමස්ත ජනතාවගේ අවශ්‍යතා ගොනුවන පරිදි ජාතික ප්‍රතිපත්ති මාලාවක් සම්පාදනය කළ යුතුය. එය සැකසීමට සියලු ජනකොටස්හි අදහස් නියෝජනය වන ක්‍රමයක් සකස් කිරීම ප්‍රායෝගික වේ. එහි වගකීම ප්‍රධාන දේශපාලන පක්ෂවලට හා විද්වත් කමිටුවලට භාරගත හැකිය. ජනතාව නියෝජනය වන ජාතික සම්මේලන කැඳවීමත් පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය හරහා ජනතා අදහස් ඒකරාශී කරගැනීමත් අන්තර්ජාල වෙතින් ඉදිරිපත් කෙරෙන අදහස් හා යෝජනා මඟින් තොරතුරු ඒකරාශී කරගැනීමෙන් ක්‍රමවත් ජනතා හිතෛෂී වැඩපිළිවෙළක් සම්පාදනය කර ගැනීමට පුළුවන.

ස්ථාවර ප්‍රතිපත්තියක්

විද්‍යුත් හා අන්තර්ජාල තාක්ෂණය දියුණු සමාජයක එය ප්‍රයෝජනයට ගනිමින් ජනතා අදහස් ඉතා පහසුවෙන් ලබාගැනීමේ හැකියාව පවතී. ඒ සඳහා අවශ්‍ය වන්නේ රට පාලනය කරන අයගේ කැමැත්තය. ඔවුන්ට සැබෑ ජනතාවාදී දේශපාලනයක නියැළීමේ වුවමනාව තිබේ නම් එය ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කිරීමට පහසුකම් ඇත. ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කොට එය ජනතාවට ඉදිරිපත් කර ඔවුන්ගේ අනුදැනුම මත සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒවා සම්මත කර ගත යුතුය. කුමන ආණ්ඩුවක් බලයට පැමිණියද ක්‍රියාත්මක වන ආකාරයට ස්ථායි ක්‍රමවේදයකින් සැකසීම වැදගත්ය. එසේ නොමැතිව පවතින අස්ථායි ප්‍රතිපත්තිය මඟින් රටක් දියුණු කළ නොහැකිය.

අවාසනාවකට මෙන් ලංකාව තුළ ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව පාලකයන්ට තවමත් දැනී නැත. එහෙත් සිවිල් සමාජයට එවැනි ප්‍රතිපත්තියක අවශ්‍යතාව හොඳින් දැනී තිබේ. පටු දේශපාලන මතවාදවලට අනුව ජනතාව පාලනය කළ කාලය නිමා කළ යුතුය. ජනතාවට අවශ්‍ය පරිදි දේශපාලනඥයන් රට පාලනය කළ යුතුය. මක් නිසාද යත් සෑම දේශපාලනඥයකුම නඩත්තු කරනුයේ ජනතාවගේ බදු මුදල්වලින් ලැබෙන ආදායමෙනි. එවැනි ක්‍රමවේදයක් තුළ ජනතාවට අවැසි දේ දේශපාලනඥයන් ලබාදිය යුතුය.

ජනතා අදහස් සහ අවශ්‍යතා තේරුම් ගෙන ඒවාට ගරුකරන ජනතාවාදී දේශපාලන නායකයකුගේ අවශ්‍යතාව වඩාත් දැනෙන අවදියක පවත්වන්නට නියමිත ජනාධිපතිවරණයේදී ජනතා පරමාධිපත්‍යය ලබාගැනීමට නම් රට තුළ පවතින දේශපාලන අඩු ලුහුඬුකම් අවබෝධ කරගැනීම වැදගත් වේ. ඒ සඳහා ජනාධිපති ධුරයේ බලතල දෙස නොව, ලැබෙන වරප්‍රසාද දෙස නොව, ජනතාවගේ අවශ්‍යතා දෙස බැලීම සැබෑ ජනතා නායකයකු සතු ලක්ෂණයකි. උසස්ම රාජ්‍ය පාලකයා වන්නේ සමාජයේ පවතින විවිධ කණ්ඩායම්, ජනකොටස්වල අපේක්ෂාවන් ඉටුවන පරිද්දෙන් අපක්ෂපාතී, සාධාරණ ජනතාවාදියෙකි.

ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාව විසින් ජනතාව සඳහා ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් සකසා ගත් සැලැස්මක්ය. ඒ අනුව ජනතාව නියෝජනය වන ප්‍රජාතන්ත්‍රවාදයක් අවශ්‍යය.

නිශාන් මෙන්ඩිස් විසින් දිනමිණ පුවත්පතට කළ සාකච්කි. 

Back to Top