Sri Lanka Brief
පුවත්විවරණඅයෙකුට ඇලජික් වූ සංහිඳියාවේ සාධනීය පැත්ත – සුලෝචනා රාජපක්ෂ

අයෙකුට ඇලජික් වූ සංහිඳියාවේ සාධනීය පැත්ත – සුලෝචනා රාජපක්ෂ

by

ඡායාරූපය: අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යලය මහජන හමුවක් පවත්වමින් ( ‌ඩේලි එෆ්ටී ජායාරූපයකි)

2015 පෙබරවාරි 8 වනදින සිට ස්ථාපිත වූ රජය මඟින් යම් යම් දේ සඳහා ඇප කැප වන බවට පොරොන්දු විය. නීතියේ ආධිපත්‍ය, ප්‍රතිචාර දැක්වීම, වගවීම, විනිවිදභාවය, සමානාත්මතාවය, ඵලදායීබව සහ කාර්යක්ෂමතාව, පුරෝකථනය සහ සහභාගිත්වය යහපාලනයේ මූලික ගුණාංග ලෙසයි මේ ඇපකැප වීම සිදු වූවේ.

යහපාලනය මිනිසුන් එක සිතින් වැළඳගත්තේ අන් කිසිවක් නිසා නොව, යහපාලනය තුළ ශක්තිමත් සමාජයක් ගොඩනැගීම උදෙසා වන පොරොන්දුව නිසයි. ශක්තිමත් සංවර්ධිත සමාජයක් එක රැයකින් සැබෑ වන සිහිනයක් නොව. තාරතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වන සංවර්ධිත සමාජයක් අපට නොතිබීමට හේතුව නම් නිදහස ලබා ගත් දින සිට මේ රට වෙලා ගත් ප්‍රචණ්ඩත්වය තුලින් උපන් වාර්ගික බෙදීම් අද ජාති ආගම් ගැටුම් දක්වා පිළිලයක් සේ රටම වෙලා ගෙන ඇත.

තිස් වසරක යුද්ධය පමණක් නොව ඊට පෙරද පසුද කාලය විමසීමේදී ප්‍රචණ්ඩත්වය නැතොහොත් ජාතීන් ආගම් අතර ඇතිවූ ගැටුම් ඡන්ද වගා කරන නිජ බිම් බවට පත් කරගත් අප රටේ ඇතැම් දේශපාලන පක්ෂ සහ ඇතැම් දේශපාලන චරිත මේ රට අගාධයකට ඇද දැමීය. මෙවන් වාතාවරණයක් තුළ උතුරේ දකුණේ අපගේම සහෝදර සහෝදරියන් ප්‍රශ්න වලින්ද දුකින්ද මිරිකී ගිය තත්වයක් උදා විය. මේ ප්‍රචණ්ඩත්වහී ප්‍රතිඵලයක් ලෙස මිනිසුන් අතුරුදහන් වූ අතර අදටද මිනිස් හිස්තැන් දැකගත හැක. අදටද ඇතැම් බිරින්දෑවරු තම සැමියන් ගෙදර එන තෙක්, දරුවන් තම දෙමව්පියන් සොයන තත්වයන් රටතුළ නිර්මාණය විය. මේ දුක් ගැනවිලි කිසිම ගණනකට නොගත් ඇතැම් රජයන් හැසිරුණේ ඒ කිසිවක් ඔවුන්ගේ වගකීම් නොවන ගානටය.

මේ කිසිවක් මාධ්‍යට නිසිලෙස නිරාවරණය නොවිණ. වෙන හේතුවක් නිසාවෙන් නොව මාධ්‍යට නිරාවරණ කරන මාධ්‍යවේදීන්ද අතුරුදහන් වූයේ මාධ්‍ය නිදහස මිහිදන් කරවමිණි. ප්‍රදීප් එක්නැළිගොඩ, ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් රැසක් ඝාතනය, කීත් නොයා සහ උපාලි තෙන්නකෝන් යන්නවුන් පෙළීමත් සමඟම මාධ්‍ය නිදහසද මිහිදන් විය. නීතිය සහ අනෙකුත් රජයේ ආයතන වල ස්වාධීනත්වයට අත්වූ ඉරණමද මෙසේම විය. ඉල්ලීම් ලබා ගැනීමටවත් නිදහසක් නොමැති කාලයක් අතරතුර රතු පස්වල ජනයාගේ ඉල්ලීම් වෙඩි උණ්ඩයට ලඝු විය. රොෂේන් චානක සහ මීගමුවේ ඇන්තනී වැනි වෘත්තීය සමිති සාමාජිකයන්ගේ ඉරණමද එසේම විය. බොහෝ ප්‍රශ්න ඉල්ලීම් වලට පිළිතුරු උණ්ඩයෙන් විසඳුනි. ප්‍රචණ්ඩත්වයත් සමඟම පැතිරී ගිය භීතිය කෙමෙන් කෙමෙන් මැකී යන්නට ගත්තේ කෙදිනකදැයි මතක් කර ගන්න. සිංහල අපිට දේවල් අමතක වන්නට ගත වෙන්නේ කෙටි කාලයක් වන බව සැබෑවකි.

සාමය උදෙසා යන යන ගමනේ යහපාලන ආණ්ඩුව තුළ මැති ඇමති වරුන්ගේ තිබූ කැපවීම අතිමහත්දැයි අප විමසා බැලිය යුතුය. පළමුව රජයේ වගකිවයුතු ආයතන ස්වාධීන කිරීමේ සිට ක්‍රියාත්ම වූ මෙම යහපාලන ආණ්ඩුව තුළ වූ දායාද කිහිපයකි. එනම්: මැතිවරණ කොමිසම, අල්ලස් සහ දුෂණ විමර්ශන කොමිසම, මානව හිමිකම් කොමිසම, ජාතික පොලිස් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, මුල්‍ය කොමිසම, සීමා නිර්ණය කොමිසම, ගිණුම් සේවා කොමිසම හා ජාතික ප්‍රතිසම්පාදන කොමිසම. මීට අමතරව තොරතුරු දැනගැනීමේ පනත මඟින් ජනතාවට හිමි බලය ජනතාව අතට පත්විය.

මෙම රජයේ ප්‍රමුඛ පරමාර්ථය වන යහපාලනය ස්ථාපිත කිරීම හා සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා නීතියේ ආධිපත්‍ය සුරැකී‍ම, සංහිදියාවෙන් යුක්ත සාමකාමී සමාජ වටපිටාවක් ගොඩනැගීම හා ජනහිතකාමී පොලිස් සේවාවක් ස්ථාපිත කිරීම මෙම රජයේ අරමුණ බව සාගල රත්නායක මහතා ප්‍රකාශ කරනලදී. එය  එසේම  සිදු විය. ස්වාධීන  ආයතන  මඟින් රට තුළ විශාල වෙනසක් පෙරලියක් විනිවිධ භාවයක් නිර්මාණය විය. මෙය ප්‍රචණ්ඩත්වයේ දෑත් බැඳ දැමීමක් වැනි විය.

තම ජංගම දුරකථනය ඔස්සේ අන්තර්ජාලයට ඇතුල් වී ෆේස්බුක් වට්සැප් යන සමාජ ජාල ඔස්සේ විශාල ලෙස ප්‍රචණ්ඩත්වය වපුරවන තරුණ පරපුර නිකුත් කරන වෛරී ප්‍රකාශ පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර මහතා අප්‍රසාදය පළ කර අතර වෛරී ප්‍රකාශ සඳහා අවකාශය ඇහිරී ඇත. ඒ වෙනුවෙන් නිසිලෙස නීතිය ක්‍රියාත්මක වේ. කිසිම ආගමක් ජාතියක් වෙත ගැරහීම, මේ තුළින් විශාල ලෙස අවම වී ඇත. එය අලුත්ගම සහ පාස්කු ඉරුදින වූ ප්‍රහාරයන්ගෙන් දැඩි ලෙස දැක ගත හැකිවිය. ජාතිවාදය සමාජ මාධ්‍ය තුළ දුර්වල කිරීමේ මහා වෑයම පසුපස යහපාලනයේ උත්සාහය දැකගත හැක.

 

අප ඉදිරියේ තියන අභියෝගය සාමය දිනා ගැනීමයි. වින්දිතයන්ගේ ප්‍රශ්න වලට සාදාරණ විසඳුම් ලබා දිය යුතුයි. ඒ සඳහා අවංක වුවමනාවක් තිබෙන්න ඕනේ. ඒ සඳහා විසඳුමක් ලබා දීම පරම  යුතුකම ලෙස මේ ආණ්ඩුව ඒ සඳහා ක්‍රියාත්මක විය. එම විසඳුම තුළින් මේ රටට උදාවෙන ස්ථිරසාර සාමය මඟින් මේ රටට හිමිවිය යුතු ආර්ථික සංවර්ධනය හා ජාත්‍යන්තර පිළිගැනීම ලඟා අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අදහස විය. අප නිවැරදිව සංවිධානය වී ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය නැවතත් ලබාගෙන ජාති ආගම් භේදයෙන් තොරව එක්විය යුතු බව එතුමා පසක් කරළිය. ඒ අනුව යමින් අතුරුදහන් වූ තැනැත්තන් සඳහා වන කාර්යාලය පිහිටවීම සිදු විය. එපමණක් නොව ප්‍රචණ්ඩකාරී ක්‍රියා වලින් විපතට පත්වූ වින්දිතයන් හට සාධාරණයක් සිදුවීමට සහ මෙවන් ප්‍රචණ්ඩකාරී සිදුවීම් නැවත නැවත ඇති වීම වැළක්වීම උදෙසා යහපාලන රජය රැගෙන ඇති යෝධ පියවර පහත පරිදිය:

 

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යලය: ඔවුන් සිටින්නේ කොහිද? කෙදිනක හෝ දැකගත හැකි වේවිද? මේ තම ආදරණීයන් අතුරුදහන් වූ වන්ගේ හද ගැස්මයි. ඔවුන්ට තම ආදරණීයන් හට කුමක් වුවදැයි තතු දැන ගැනීමට බලාපොරොත්තු ඇතිව සිටි වින්දිතයන් හට අස්වැසිල්ලක් විය. 2016 මැයි 22, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල පනත හඳුන්වා දීමත් සමඟ 2017 පෙබරවාරි 27 වන දින මෙම කාර්යාලය සත් දෙනෙකුගෙන් සැදුම් ලත් කොමිසමකින් යුතුව ස්ථාපිත විය. එමෙන්ම 2018 සැප්තැම්බර් 5 වන දින, අතුරුදහන් තැනැත්තන් පිලිබඳ කාර්යාලය (OMP) විසින්, නිර්දේශ මාලාවකින් යුක්ත වූ අතුරු වාර්තාව ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන් වෙත පිරිනමන ලදී. 2018, පෙබරවාරි මස සිට සය මසක් ගත වූ තැන මෙම කාර්යාලය ලබා ඇති ප්‍රගතිය, ඔවුන්ගේ අදහස් යෝජනා  මෙම අතුරු වාර්තාව තුලින් ප්‍රකාශවිය. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) සඳහා යෝජනා ලබාදීම සහ ණය සහන වැඩසටහන් හඳුන්වාදීම මෙම යෝජනා අතර කැපී පෙනේ.

මෙම කාලය තුළ අතුරුදහන් තැනැත්තන් පිලිබඳ කාර්යාලය දිවයින පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් සහ වින්දිතයන් හමුවීමේ වැඩසටහන් රාශියක් පවත්වා ඇති අතර ඔවුන් ප්‍රාදේශීය කාර්යාල 12 රට පුරා පිහිටවීමට නියමිත අතර ඉන් හයක් උතුරු නැගෙනහිරද සතරක් දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන් හීද පැවැත්වීමට නියමිතය. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල රට පුරා ජීවත් වන අතුරුදන්වීම් නිසා විපතට පත් සියලු ජනකොටස්, ජනවර්ග, ආගම් හෝ කලාපීය වශයෙන් කිසිඳු භේදයකින් තොරව සේවය ලබාදීමට බැඳී සිටී. මෙහිදී ප්‍රධාන කාරණා 4 පිළිබඳ මෙම කාර්යාලය මූලිකවම අවධානය යොමු කරයි. ඒ අතුරුදන් වූ තැනැත්තන් සෙවීම, අතුරුදන්වු තැනැත්තන් සහ ඔවුන්ගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් හා බැඳියාවන් ආරක්ෂා කිරීම, අතුරුදන් වු තැනැත්තන් හෝ ඔවුන්ගේ ඥාතීන්ට ලබාදිය හැකි සහන හඳුනාගැනීමට අවශ්‍ය පියවර ගැනීම, පුද්ගලයින් අතුරුදන්වීමේ සිද්ධීන් නැවත ඇති නොවීම සඳහා බලධාරීන්ට නිර්දේශ ඉදිරිපත් කිරීම වශයෙන් වේ.

හානිපූරණය සඳහා වන කාර්යාලය:

හානිපූරණය සඳහා වන කාර්යාලය පිළිබඳ පනත, යුධ ගැටුම්, සිවිල් කෝලාහල සහ දේශපාලන කැළඹිලිවලින්  විපතට පත්වූ තැනැත්තන්ට හානිපූරණය කිරීම සදහා සහන සැලසීම වෙනුවෙන් 2018 ඔක්තෝම්බර් මස 09 දින සම්මත කරන ලදි. හානිපූරණය සදහා කාර්යාලය පනත මඟින් සිදු වූ හානි පූරණය කිරීමට කටයුතු කිරීම, උල්ලංඝනය කිරීම්වලට ලක්වූ විපතට පත් තැනැත්තන්ට නිල පිළිගැනීමක් ලෙස දැකිය හැකි බැවින් එය විපතට පත් තැනැත්තන්ට සහන සැලසීම පිළිබඳ සංධිස්ථානයකි. එමෙන්ම විපතට පත් තැනැත්තන් සඳහ මූල්‍යමය අනුග්‍රහ සහ මනෝ සමාජීය අධාර හානිපූරණය කිරීම හරහා සැපයීම ඔවුන්ගේ වේදනා සන්සිඳවීම සදහා උපකාර වේ. 2019 අප්‍රේල් මස ස්ථාපිත වූ හානිපූරණය සඳහා වන කාර්යාලය පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වුවන්ටද කඩිනම් සහන සැලසීම විශේෂවේ.

මරණ ලියාපදිංචිකිරීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන පනත) 

දක්නට නොමැති බවට වූ සහතිකයක් (CoA) නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඒකමතිකව 2016 අංක 25 දරණ මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත පනවන ලදි. දක්නට නොමැති බවට වූ සහතිකය (CoA),  ශ්‍රී ලංකා රජය විසින් තවදුරටත් සැලකිය යුතු පුද්ගලයින් පිරිසක් අතුරුදහන්ව ඇති බවට පිළිගන්නා බව පෙන්වන නිල ලියවිල්ලකි. දක්නට නොමැති බවට වූ සහතිකය (CoA),  විපතට පත් තැනැත්තන්ට අතුරුදහන්වූ ඔවුන්ගේ ආදරණීයන්ගේ දේපල සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සහ අනෙකුත් විවිධ නීතිමය හා පරිපාලන කටයුතු සදහා අතිශයින් වැදගත් වන ලියවිල්ලකි.

වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත 

පසුගිය මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව විමර්ශනය කිරීමට වර්ෂ 1993 සිට ශ්‍රී ලංකාවේ රජය අවස්ථානුගතව විවිධ ජනාධිපත් කොමිෂන් සභා පිහිටුවන ලද අතර දහස් ගණනක් වින්දිතයන් එම කොමිෂන් සභා වෙත වාචික සාක්ෂි ලබාදුන් නමුත් වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමට එකඳු යාන්ත්‍රනයක් හෝ නීතියක් ස්ථාපිත කර නොමැත. වින්දිතයන්ගේ ආරක්ෂාව  සහතික කිරීම සම්බන්ධයෙන් නීති පැනවීමේ අවශ්‍යතාවය “ප්‍රවීන පුද්ගලයන්ගේ ජාත්‍යාන්තර ස්වාධීන කණ්ඩායම” මඟින් අවධාරණය කරන ලද අතර 2007 වර්ෂයේදී එවකට සිටි ජනාධිපතිවරයා විසින් උදාලගම කොමිෂන් සභාවේ විමර්ශන නිරීක්ෂණය කිරීම සඳහා ආරාධනා ඔවුන්ට ආරාධනා කරන ලද නමුත් මේ සම්බන්ධයෙන් නීති පැනවීම සදහා ක්‍රියා මාර්ගයක් ගැනීම සිදු නොවුණි. කෙසේ නමුත් ශ්‍රී ලංකා රජය විසින් 2015 අංක 04 දරණ අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත පනවන අවස්ථාවේදී මෙම දීර්ඝ කාලීන අසාර්ථකත්වය සම්බන්ධව අවධානය යොමු කරන ලදි. කෙසේ වෙතත් මෙම පනතේ කාර්යක්ෂමතාවය සහතික කිරීම සදහා සංශෝධන කිහිපයක අවශ්‍යතාව පවතී.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම පිළිිිබඳ පනත

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම අපරාධයක් ලෙස සලකනු ලබන , බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරිම සඳහා වූ ජාත්‍යාන්තර සම්මුති පනත ශ්‍රී ලංකා රජය විසින් 2018 මාර්තු මාසයේදී බලාත්මක කරන ලදි. දශක තුනකට අධික කාලයක් තිස්සේ “අතුරුදහන්වීම්” දීර්ඝකාලීන මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස දිවයිනේ පවතින බැවින් මෙම නීති සම්පාදනය කිරීම මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධව සංධිස්ථානයක් ලෙස සැලකිය යුතුය.

යහ පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය, නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම සහ සෑම සියලු දෙනාටම ආත්ම අභිමානයක් හිමිකර දීම තුළින් අප ජාතිය දිගු කාලීන සාමයක් හා සමෘද්ධියක් කරා මෙහෙයවීමේ දී යහපාලන ආණ්ඩුව සංහිඳියාව සහ සංවර්ධනය උදාකර ගැනීමේ දෙවැදෑරුම් න්‍යායපත්‍රයන්ට ප්‍රමුඛස්ථානයක් ලබා දීමට කටයුතු කළ අතර, ශ්‍රී ලංකාව වන මගේ මවු රට 2015 ජනවාරි මස පැවති ජනාධිපතිවරණයේ සිට මේ දක්වා සාමය ගොඩනැගීමේ සහාය කාර්යාලය සමඟ සහයෝගයෙන් සමීපව කටයුතු කර ඇත. ප්‍රචණ්ඩත්වයෙන් තොර රටක් කරා යාමට තැබිය යුතු පියවර බොහෝයි. සජිත් ප්‍රේමදාස මහතා වරක්  “යුද්ධය දිනුවට අපි සාමය දිනලා නෑ” ලෙස පැවසීය. ප්‍රචණ්ඩත්වයෙන් තොර නිදහස් සංවර්ධිත රටකට පියනඟන මේ මාවත වෙනස් නොකර, අපි එක්ව රට වෙනස් කරමු, සාමය දිනමු.

එක්ව අපි නැගී සිටිමු !

Back to Top