Sri Lanka Brief
පුවත්විවරණශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩ අන්තවාදය මැඬලීමේ පියවර ගැනීම: හෝඩි පොතක් -ආචාර්ය හරීන්ද විදානගේ

ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩ අන්තවාදය මැඬලීමේ පියවර ගැනීම: හෝඩි පොතක් -ආචාර්ය හරීන්ද විදානගේ

by

පාස්කු ඉරිදා ප්‍රහාරයට දැන් මාස තුනකට ආසන්නයි. උග්‍ර දේශපාලනික වාදවිවාද, අනාගත මැතිවරණ උණුසුම සහ කුමන්ත්‍රණ න්‍යායයන් තුළ, අනාගත ප්‍රහාරයන් වැළැක්වීම පිළිබඳ ඉදිරි උපායමාර්ග සහ ප්‍රතිපත්ති යටපත්ව ගොසිනි. එයින් සිදුව ඇත්තේ, සමාජයක් අන්තවාදයෙන් ඈත් කොට තබා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය වන එක්තරා සංයෝගයක් තව තවත් බිඳී යාමයි. එනම්, සමාජ සංගතිය හෙවත් ඒකාබද්ධතාවයි. ඒ තත්වය තුළ නීති සම්පාදකයෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ අලුත් අණපනත් ගැන වාද කරති. දේශපාලනික හඬ, ජනප්‍රිය වාගාලංකාරයට යට කෙරෙති. ජාතික ආරක්ෂාව, සංයුක්ත ප්‍රතිපත්ති සම්පාදනයකට ළං නොවන වාදයක මුල්පොතක් බවට පත්ව ඇති සෙයක් පෙනේ. කොටින් කිවහොත්, අප්‍රේල් 21 ප්‍රහාරය තුළ නිරූපණය කෙරුණේ, මෘදු ඉලක්ක තෝරා ගැනීම හරහා ගෙන යන අන්තවාදීන්ගේ ජගත් සන්නාම ප්‍රවේශ විශේෂයකි.

මෘදු ඉලක්ක ආරක්ෂා කර ගැනීමේ අභියෝගයට අමතරව, ත්‍රස්ත නායකත්වයක සැබෑ උපායමාර්ගික මගපෙන්වීමක් නැති ත්‍රස්තවාදීන් දියත් කරන ඊනියා ‘තනි වෘක’ මාදිලියේ ත්‍රස්ත ප්‍රහාරයන් (සංකීර්ණ සංවිධාන ජාලවලින් මෙහෙයවනු නොලබන ත්‍රස්ත ප්‍රහාර) වළක්වාගන්නේ සහ හඳුනාගන්නේ කෙසේද යන අභියෝගයත් අප ඉදිරියේ තිබේ. මේ ත්‍රස්ත මූලෝපායයන් නියෝජනය කරන කණ්ඩායම් මෙහෙයැවෙන්නේ දෘෂ්ටිවාදීව ය. එබැවින් මතිමතාන්තර සහ අදහස්උදහස් පරාජය කිරීම, ප්‍රති-ත්‍රස්ත ප්‍රතිපත්තිවලට අදාළ ස්ථාපිත ආරක්ෂණ යාන්ත්‍රණ තුළ සැලකිල්ලට ගත යුතු ප්‍රධාන අභියෝගය බවට පත්ව තිබේ.

ත්‍රස්තවාදය හඳුනාගෙන කටයුතු කිරීම

අනාගතයේ එල්ල විය හැකි ත්‍රස්ත ප්‍රහාර සහ අන්තවාදී තර්ජනවලට මුහුණදීම අරභයා, ත්‍රස්තවාදයේ මේ ද්විත්ව ලක්ෂණ හඳුනා ගැනීම ශ්‍රී ලංකාවට වැදගත් ය.

ත්‍රස්තවාදයට විරුද්ධව ලෝකය පුරා ගෙන ගිය ක්‍රමය වුණේ, එක්තරා ආකාරයක සැර සහ දෘඨ ප්‍රතිචාරයකි. ඊට ඇතුළත් අංග කිහිපයක් තිබේ. එකක් වන්නේ, බලහත්කාර ක්‍රමවේදයයි. දෙවැන්න වන්නේ, ප්‍රති-ත්‍රස්ත අණපනත්වල සිට නීතිය ක්‍රියාවේ යෙදවීම එක්තරා හමුදාකරණයකට ලක්කිරීමයි. තෙවැන්න වන්නේ, හමුදාමය ප්‍රති-ප්‍රහාරයන් ය. ශ්‍රී ලංකාව එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කෙළේ එසේ ය. රුසියාව චෙච්නියා කැරලිකරුවන් පරාජය කෙළේ එසේ ය. ඇමරිකාව අල්කයිඩාව නන්නත්තාර කෙළේ එසේ ය.

අයි.එස්. සංවිධානයට සම්බන්ධ සහ අන්ත දක්ෂිණාංශික රැඩිකල් අන්තවාදීන් පවා පාවිච්චියට ගෙන ඇත්තේ නව මාදිලියක ප්‍රචණ්ඩ අන්තවාදයකි. එය බොහෝ කොට තල්ලුව ලැබුවේ, අදහස් සහ මතිමතාන්තර බලයෙන් සහ වර්ගවාදී අධි-මාන සංකීර්ණයකින් හෙබි ආගමික අන්තවාදය වැනි දෘෂ්ටිවාදී ස්ථාවරයන්හි ආකර්ශනයෙන් පන්නරය ලද, සන්නිවේදන උපායමාර්ගයන් හරහා ය. එබැවින්, ලෝකය පුරා ත්‍රස්ත ප්‍රහාර විශාල සංඛ්‍යාවක් ගෙන ගොස් ඇති එවැනි සංවිධාන මාදිලියක් පරාජය කිරීම, තද සහ දෘඪ ප්‍රතිත්‍රස්ත ප්‍රහාර මගින් පමණක් කළ හැකි යැයි විශ්වාස කළ නොහේ. ‘තනි වෘක’ මාදිලියේ ප්‍රහාර දියත් කළෝ බොහෝ විට විදේශිකයෝ නොවෙති. ඔවුන්ව හඳුනා ගැනෙන්නේ, දේශීයව වැඩුණු ත්‍රස්තවාදී කල්ලි වශයෙනි. එවැනි බොහෝ අන්තවාදී කල්ලි සිය ප්‍රහාරයන් සඳහා ඉලක්ක කරගෙන ඇත්තේ මෘදු ඉලක්කයන් ය.

මෘදු ඉලක්කවල ඇති උපායමාර්ගික වැදගත්කම

සකලාකාර දේශපාලනික, ආගමික, අන්ත දක්ෂිණාංශික සහ මත්ද්‍රව්‍ය ආදී සියලු අන්තවාදීන් තමන්ගේ ප්‍රචණ්ඩත්වය මුදාහැරීම සඳහා තෝරාගෙන ඇත්තේ මෘදු ඉලක්කයන් ය. මෘදු ඉලක්ක යනු, සාප්පු සංකීර්ණ, සිනමා ශාලා, රාත්‍රී සමාජශාලා, පාසල් සහ හෝටල් වැනි තැන් ය. අයි.එස්. සංවිධානයට සම්බන්ධ ප්‍රහාරයන් ශ්‍රී ලංකාවට කලින් හැම විටෙකම තෝරාගෙන ඇත්තේ හෝටල් ය. ඉන්දුනීසියාව, ඊජිප්තුව, මාලි සහ ජෝර්දානය වැනි රටවල් දෙස බැලීමෙන් එය පෙනී යයි.

හෝටල් යනු, සංකේතාත්මකවත් උපායමාර්ගිකවත්, සංචාරක ව්‍යාපාරයේ කේන්ද්‍රීය මර්මස්ථානයක්ද, රටක ජගත් සම්බන්ධතාවේ නවාතැනක්ද වන්නේය. එවැනි තැන් හමුදා බැරැක්ක තත්වයට පත්කළ නොහේ. එබැවින් හෝටල්වලට සැපයිය හැකි ආරක්ෂාවේ සීමාවක් තිබේ. මේ නිසා එවැනි තැන් තව කාලයක් යනතෙක්මත් ත්‍රස්තවාදීන්ගේ මෘදු ඉලක්ක බවට පත්වනු ඇත. මෝදු වෙමින් ඇති සංචාරක ව්‍යාපාරයක් සහිත, ලෝකයේ වඩාත් ආකර්ශනීය ස්ථානයක් වශයෙන් රැඳී සිටීමේ ආශාවෙන් පෙළෙන ශ්‍රී ලංකාව වැනි රටකට හෝටල් හෝ සංචාරක ස්ථාන හමුදාකරණය කිරීමේ හැකියාවක් නැත.

ප්‍රචණ්ඩ අන්තවාදය වැළැක්වීමේ සහ මැඩලීමේ අවශ්‍යතාව

මෙවැනි කණ්ඩායම් වඩ වඩාත් රැඩිකල්වීම සහ අන්තවාදී වීම දක්නට ලැබෙන තත්වයක් තුළ, දේශීයව අටවාගන්නා ත්‍රස්ත ප්‍රහාරයන් සහ සමාජයක නිදහස් සහ විවෘත ස්ථාන ත්‍රස්ත ප්‍රහාර සඳහා ඉලක්ක කරගන්නා තත්වයක් තුළ, ප්‍රචණ්ඩ අන්තවාදය වැළැක්වීම සහ මැඩලීම පිළිබඳ විග්‍රහයක අවශ්‍යතාව විශේෂ වැදගත්කමක් ගනී. සාමය සහ විවෘත භාවය පිළිබඳ දශකයක පමණ රාමරාජ්‍ය තත්වයක් ලංකාව භුක්ති වින්දේය. 2009 එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය අවසානයක් කළ දවසේ පටන් එම තත්වය බොහෝ බටහිර රටවල පවා නොමද පැසසුමට ලක්විය. ඒ රාමරාජ්‍ය මොහොතේ උච්චස්ථානය වුණේ, ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය වශයෙන් ‘ලෝන්ලි ප්ලැනට්’ ගුරුපොත විසින් හඳුන්වනු ලැබීමයි.

නිදහස් සහ විවෘත රටවල්- විශේෂයෙන් දේශපාලනික නායකත්වයේ අසාර්ථකත්වයන් සහ ආයතනික ගරාවැටීම් ඔස්සේ ගමන් කරන රටවල්- අන්තවාදී මතවාදවල තෝතැන්නක් වන්නේය. ඒ මතවාදවලට එවැනි තැන්වලට අවතීර්ණ වීම පහසු වන්නේය. විදේශගත ශ්‍රමිකයන්, ආගමික නායකයන් සහ ඇතැම්විට ලෝකය පුරා සැරිසරන විදේශීය සටන්කරුවන් පවා, එවැනි තැන්වලට අන්තවාදී මතවාද ඇතුළත් කැරැවීම පහසු කරවනු ලබන මාර්ග වශයෙන් පාවිච්චි වන්නේය. ඒ තත්වය තුළ, පසුගිය වසර පහක කාලය තිස්සේ, දෘෂ්ටිවාදීමය වශයෙන් පන්නරය ලද, ලෝක ව්‍යාප්ත සහ ඕනෑම පරිසරයකට හැඩගැසිය හැකි ත්‍රස්ත ව්‍යාපාර ලෝකය පුරා බිහි වී වැඩුණු සැටි අප දැක ඇත.

අයි.එස්. සංවිධානය සිරියාවේ සහ ඉරාකයේ සටන් කෙළේ විවෘත සටන් බිමක ය. එහෙත් වෙනත් තැන්වල ඔවුන්ගේ අඬපඬු විහිදුණේ යෝධ සන්නිවේදන ජාල සහ බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටි හරහා ඒ ඒ රටවල දේශීය ත්‍රස්ත මාදිලිවලට අනුශාසනා සහ අනුග්‍රහය සපයමිනි.

2015 දී ඇමරිකානු ජනාධිපති ඔබාමා ‘පෙන්ටගනයේ’ රැස්වීමක් අමතමින් මෙසේ කීය: “මාරක ත්‍රස්ත ප්‍රහාරයන් වැළැක්වීම සඳහා ප්‍රති-ත්‍රස්ත උපායමාර්ග කෙරෙහි පමණක් රැඳී සිටීමට අපට පුළුවන් කමක් නැත. අප තවත් එහාට යා යුතුය. අන්තවාදියාගේ කතාබහ සහ දෘෂ්ටිවාද අපි අභියෝගයට ලක්කළ යුතුය. ඔවුන්ගේ කතාබහ සහ දෘෂ්ටිවාද මල්ඵල ගැන්වෙන, ඔවුන්ව බඳවා ගැනීම් කෙරෙන පරිසරය සහ තත්වයන් හඳුනාගෙන ඒවාට ආමන්ත්‍රණය කළ යුතුය.” ඔහු මෙසේ කීවේ, ඊට කලින් දශකයේ බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල ගෙන ගිය ත්‍රස්ත ප්‍රහාරවල නිර්මාතෘන් එසේ මොළ සේදූ අන්තවාදීන් වශයෙන් හඳුනාගෙන සිටි තත්වයක් තුළ ය. 2006 සිට ලෝකය පුරා දියත් කොට ඇති ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් සියයට 70 ක් අයත් වුණේ ඒ ගණයටයි.

ඒ අනුව, එවැනි අභියෝගයකට ඔරොත්තු දීමේ ශක්තිය ඇති සමාජයක් සඳහා වන අත්‍යාවශ්‍ය කොන්දේසිය වශයෙන් සමාජ සංගතිය හෙවත් ඒකාබද්ධතාව හඳුනා ගැනුණි. ඒ සමාජ ඒකාබද්ධතාව ඇති කරලීමේ මාර්ගවල ඇති වැදගත්කම හඳුනා ගැනුණි. මේ එළැඹුම තුළ, ‘ප්‍රචණ්ඩ අන්තවාදය මැඩලීමේ ක්‍රමවේදය’ සහ සම්ප්‍රදායික ‘රාජ්‍යාරක්ෂක ප්‍රති-ත්‍රස්ත ක්‍රමවේදය’ අතර වෙනසක් ඇති බව හඳුනා ගැනුණි. සම්ප්‍රදායික ප්‍රති-ත්‍රස්ත ක්‍රමවේදය තුළ අවධාරණය කෙරෙන්නේ, සටන් සහ හමුදා ක්‍රියාන්විතයන්හි සංයෝගයක් හරහා, නීතියට පරිබාහිරව නීතිය ක්‍රියාවේ යෙදැවෙන මාර්ග හරහා, බලය අභ්‍යාස කිරීමේ ක්‍රමවේදයකි. එහෙත්, ‘අන්තවාදය මැඩලීමේ ක්‍රමවේදය’ අලුත් දෙයකි. ඇමරිකාව පවා එය සිය සේවයට යොදා ගැනීමට තීරණය කෙළේ 2016 තරම් මෑතකදී ය.

‘තනි වෘකයන්’, කවුරුත් දන්නා වෘකයන් බවට පත්කරගන්නේ කෙසේද යත්

‘අන්තවාදය මැඬලීමේ ක්‍රමවේදය’ යම් තාක් වාගාලාංකාරයට බර ය. තවද එය ප්‍රති-ත්‍රස්ත ව්‍යාපාරයේ එක් අනුඅංගයක් පමණි. එහෙත්, එම එළැඹුමේ ඇති වැදගත්කම කැපී පෙනේ. මන්ද යත්, එහි ශක්තිය රඳාපවතින්නේ, අන්තවාදයෙන් සහ ත්‍රස්තවාදයෙන් ගලවාගන්නා සම්ප්‍රදායික ඉගැන්වීම්, ප්‍රජා පොලිස් ව්‍යාපෘති සහ සංහිඳියාව වැනි අංග පවා ඊට ඇතුළත් වන බැවිනි.

මොන තරම් දේශපාලනික ඔල්මොරොන්දන් තිබුණත්, ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රීය සමාජයකි. එබැවින් ඉහත කී මාර්ගයට වෙනස් දේශපාලනික මාර්ගයක් ලංකාවට ඇත්තේ නැත. දුර්වල ප්‍රජාතන්ත්‍රවාදය පාර කපන්නේ අසමත් රාජ්‍යයකට ය. මෑත කාලීන වාර්ගික සහ ආගමික ආතතීන් හේතුවෙන් රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ අර්බුදය තව තවත් උග්‍ර විය හැකිය.

මේ නිසා, ත්‍රස්තවාදය පිළිබඳ ගැටළුවට, නීතිරීති සහ නීතිරීති වඩාත් හොඳින් බලගැන්වීම සඳහා රාජ්‍යය ගන්නා උත්සාහය වැදගත් නමුත් එය පමණක් නොසෑහෙයි. දෘෂ්ටිවාදීමය වශයෙන් උත්තේජනයට පත් ප්‍රචණ්ඩත්වයක් මැඩලීමට, නීතිරීති හෝ නීතිරීති බලගැන්වීම හෝ පමණක් ප්‍රමාණවත් නොවේ. එබැවින් ඊට වඩා විදග්ධ ප්‍රතිපත්තිමය ප්‍රවේශයන් කරා යොමු විය යුතුය. එම ප්‍රවේශයන්, ආරක්ෂාව පිළිබඳ සංවාදයට සහ රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රජාවන් තුළට අන්තර්ග්‍රහණය කරගත යුතුය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ යුක්තිය ඉෂ්ට වෙන බවට සහ වගකිව යුත්තතන්ට දඬුවම් ලැබෙන බවට වගබලාගන්නා අතරේම, එය එක් ‘තනි වෘක’ සිද්ධියකින් පමණක් අවසන් නොවීමට ඇති ඉඩකඩත් බැහැර කළ යුතු නැත. අපේ බුද්ධි සේවාවන් අවශ්‍ය ප්‍රතිචාර දක්වන අතරේම, බුද්ධි තොරතුරු බෙදාහදා ගැනීමේ ක්‍රමවේද ඇති කරගන්නා අතරේම, ඒවා නිවැරදිව විශ්ලේෂණය කරගන්නා අතරේම, ඉහතින් කී ‘තනි වෘකයන්’ ඇත්තෙන්ම අප දන්නා වෘකයන් බවත් අමතක නොකළ යුතුය. රජයේ වගකීම වන්නේ, වෘක රංචු විසිරී පැතිරී යාම වැළැක්වීමයි. එය කළ හැක්කේ, ඔවුන්ගේ දෘෂ්ටිවාදී කතාවස්තු අභියෝගයට ලක්කිරීමත්, අන්තවාදය වෙත ඔවුන්ව තල්ලු කරන වෙනත් සමාජ සහ ආර්ථික තත්වයන්ට ආමන්ත්‍රණය කිරීමත් හරහා පමණි.

(2019 ජුලි 15 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Countering Violent Extremism in Sri Lanka: A Primer නමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි)

Back to Top