Sri Lanka Brief
පුවත්විවරණවෛද්‍ය සාෆිට විරුද්ධව පොලීසිය සහ රෝහල් අධ්‍යක්ෂක ඇටවූ උගුල රහස් පොලීසිය හෙළිකරයි! මහේස්ත්‍රාත් ගැනත් සැක!

වෛද්‍ය සාෆිට විරුද්ධව පොලීසිය සහ රෝහල් අධ්‍යක්ෂක ඇටවූ උගුල රහස් පොලීසිය හෙළිකරයි! මහේස්ත්‍රාත් ගැනත් සැක!

by

පොලිස් අධිකාරී නියෝගයෙන් ව්‍යාජ සටහන් යොදලා – රිමාන්ඩ් කර ඇත්තේ චෝදනා ඉවත් කළ පසු!

රතන හිමිට එරෙහිවත් පරීක්ෂණයක් -රෝහල් අධ්‍යක්ෂ විමර්ශන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරලා!

හෙදියගේ යූරින් නාල කැපී ඇත්තේ විශේෂඥයා අතින් -රෝහල් අධ්‍යක්ෂ යොමු කළ පැමිණිලි 9ක් බොරු!

එච්එස්ජී පරීක්ෂණය ගැන උසාවියට බොරු කියලා 

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය  සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆි අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීම සම්බන්ධ ක්‍රියාවලියේ දී සිදුවූ ඇතැම් වැදගත් සිදුවීම් ජනමාධ්‍ය වාර්තා කළේ නැත. මෙම ලිපියෙන් ඉදිරිපත් කරනුයේ එම විමර්ශනවලදී අනාවරණය වූ සහ අධිකරණයේදී දිගහැරුණු වැදගත් සිදුවීම් ගැනයි.

කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට ලැබුණු තොරතුරක් අනුව බව කියමින්  2019 මැයි 06 වැනි දා කුරුණෑගල පොලිසිය වෛද්‍ය සාෆි ශිහබ්දීන්ගේ වෛද්‍ය  මධ්‍යස්ථානය පරීක්ෂාවට ලක් කළ අතර සැකකටයුතු කිසිවක් හමු නොවීය.

කුරුණෑගල රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සාෆි ශිහබ්දීන් මහතා තවුහිත් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබෙන බව දන්වමින් කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා කුරුණෑගල පොලිස් අධිකාරීවරයාට ඩීඅයිජී/කේයූ/ආර්අයියූ/134/19 අංකයෙන්  ලිපියක් යවන්නේ 2019 මැයි 12 වැනිදා ය.

2019 මැයි මස 22 වැනි දා කුරුණෑගල පොලිසියේ අපරාධ අංශය කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් සාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බව දැනුම් දුන්නේය. (එහි අඩංගු කරුණු පසුව ඉදිරිපත් කරමු.)

 2019 මැයි 23 වැනි දා දිවයින පුවත්පතේ ‘තවුහිත් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳ කරලා –  සාක්කි සහිතව අනාවරණය වේ‘ යනුවෙන් පුවතක් පළ විය. එහි වෛද්‍යවරයාගේ නමක් ගමක් සඳහන් නොවීය.

එය පාදක කරගෙන මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාට නියෝග කළේය.

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ එහි අධ්‍යක්ෂ ශානි අබේසේකර මෙම විමර්ශන සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා යටතේ සමූහ මංකොල්ල විමර්ශන අංශයට පැවරීය.

 සමූහ මංකොල්ල විමර්ශන අංශය 2019 මැයි 25 වැනි දා රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස එම ප්‍රවෘත්තිය පළ කළ දිවයින පුවත්පතේ මාධ්‍යවේදී හේමන්ත රන්දුණු මහතාට සහ එහි ප්‍රධාන කර්තෘට දැනුම් දුන්නේය.

මේ අතරතුර 2019 මැයි 24 වැනි දා කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක මගින් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පලාල් මහතාට වෛද්‍ය සාෆි ශිහබ්දීන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් දුන්නේය.

එම නියෝගය අනුව පොලිස් පරීක්ෂක පුෂ්පලාල් මහතා ඇතුළු කණ්ඩායමක් 24  රාත්‍රී 10ට වෛද්‍ය සාෆි ශිහබ්දීන් අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට ගත් බව දැනුම් දුන්නේ චෝදනා තුනක් යටතේය. එනම් තවුහිත් ජමාත් සංවිධානයේ මුදල් ලබාගෙන එම සංවිධානයේ අරමුණු ඉටු කිරීම සඳහා සිසේරියන් සැත්කම් කරමින් සිංහල මවුවරුන් වඳ භාවයට පත් කිරීම එක් චෝදනාවකි. දෙවැනි චෝදනාව අයථා ලෙස උපයාගත් මුදලින් වත්කම් ලබාගෙන ඇති බවයි. තුන් වැන්න නම් ඔහු නිදැල්ලේ සිටියහොත් වෛද්‍යවරයාටත් ඔහුගේ නිවාසවලටත් අලාභයක් ඇති විය හැකි බවයි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔහුට එම චෝදනා එල්ල කළ ද ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කර තොරතුරු අනාවරණය කරගෙන තිබුණේ නැත.

අත්අඩංගුවට ගත් සාෆිට එරෙහිව 1979 අංක 48 ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධි විධාන) පනතේ වගන්ති 7 (1) යටතේ  පැය 72ක් රඳවාගැනීමට කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරී ඩී එම් යූ මහින්ද දිසානායක මහතා කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂකට නියෝග ලබා දුන්නේය.

පසුදින එනම් 25 වැනි දා ඔහු රහස් පොලිසියට භාර දෙන ලෙස පොලිස්පතිවරයා නියෝග කළේය.

 2019 මැයි 25 වැනි දා දිවයින පුවත්පතේ පෙර සඳහන් කළ පුවත ලියූ රන්දුණු අප්පුහාමිලාගේ හේමන්ත අශෝක රන්දුණු මාධ්‍යවේදියා රහස් පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නේය. ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වන්නේ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් බවයි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ රහස් පොලිසිය 2018 ජුනි 27 දින සිය බී වාර්තාවේ නිරීක්ෂණ 08 යටතේ අධිකරණයට කරුණු වාර්තාකරමින් මෙසේ සඳහන් කළේය. උපුටා ගැනීම බී වාර්තාවෙනි.

හේමන්ත රන්දුණූ කරුණු සොයා නොබලා කළ වාර්තාව

”2019.05.23 වන දින දිවයින පුවත්පතේ පළවූ ප්‍රධාන සිරස්තලය වන ”සිසේරියන් සැත්කම් වලින් පසු තව්හිත් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන්4000ක් වඳ කරලා – සාක්ෂි සහිතව තොරතුරු හෙළි වෙයි – දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ” යන මැයෙන් පලවූ පුවත සම්බන්ධයෙන් පොලිස්පතිතුමාගේ නියෝග අනුව පරීක්ෂණ සිදුකරගෙන යනු ලබන අතර දැනට සටහන් කර ඇති ප්‍රකාශ අනුව මෙම සිරස්තලයට අදාල කරුණු කුරුණෑගල දිසාවේ නියෝජ්‍ය පොලිස්පති විසින් අදාල මාධ්‍යවේදියා වෙත මෙසේ ප්‍රකාශ කර ඇත. ”වඳ සැත්කම් සිදු කර ඇති බවට කට කතා ඇති බවයි. ” මෙම මාධ්‍යවේදී හේමන්ත රන්දුනු විසින් පළ කර ඇති පුවත නිසි පරීක්ෂාවකින් තොරව පුවත්පතේ පලකර ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වේ.”

නියෝජ්‍ය පොලිස්පතිවරයා රහස් පොලිසියට කියා ඇත්තේ එම පුවතින් පසු මාධ්‍යවේදියා රහස් පොලිසියට කැඳවූ විට දුරකතනයෙන් තමා අමතා මුහුණු පොතේ පළ වූ ලිපියක් බලා පළ කළ පුවත නිසා තමා අමාරුවේ වැටී ඇති බව පැවසූ බවයි.

රහස් පොලිසියට වෛද්‍ය සාෆි භාරදීමෙන් පසු 2019 මැයි 27 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුවට ගොස් උපදෙස් ලබා ගත් රහස් පොලිසිය වෛද්‍ය සාෆි දින 90ක් රඳවා තබා ගැනීම සඳහා 1979 අංක 48 දරණ ත්‍රස්ථවාදය වැලැක්වීමේ (තාවකාලික විධි විධාන) පනතේ වගන්ති 9 (1) යටතේ ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපතිවරයාගෙන් නියෝග ලබා ගත්තේය.

ඉන් පසු රහස් පොලිසිය කුරුණෑගලට ගොස් මව්වරුන් 615කගේ පැමිණිලි සටහන් කර ගත්තේය. එයින් 438 දෙනෙකු කියා තිබුණේ තමන් පැමිණිලි කරන්නේ ජනමාධ්‍යවල ගිය තොරතුරු අනුව ඇති සැකයට පමණක් බවයි. ඔවුන් දරුවන් හැදීමට උත්සාහ දරා තිබුණේ නැතැයි ද කීය.  මව්වරුන් 147 දෙනකු කියා ඇත්තේ තමන් ළමයින් හදන්නට උත්සාහ කළත් ළමයින් නැති බවයි. තමන්ට ළමයින් නැත්තේ වෛද්‍ය සාෆි පැලෝපීය නාලය මිරිකීම නිසා බව මව්වරුන් එහිදී කියා නැත.

 වීරබණ්ඩාරගේ සාක්ෂි 11 න් 09ක්ම බොරු

මේ අතර සාෆිට එරෙහිව කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා පැමිණිලි 11ක් යොමු කළේය. වෛද්‍ය සාෆි අතින් යූරීන් නාල කැපීම,වෛද්‍ය සාෆි දරුවකු මාරු කිරීම, සාෆි වෛද්‍යවරයා සැත්කම් කළ පසු බඩේ ගෝස් කැබැල්ලක් තිබීම, වෛද්‍ය සාෆි බලහත්කාරයෙක් එල්ආර්ටී සැත්කම් කිරීම යන චෝදනා එම පැමිණිලි 11 අතර තිබිණි.

 එම පැමිණිලි 11න් පැමිණිලි 09ක්ම බොරු පැමිණිලි බව විමර්ශනවලදී අනාවරණය වීයැයි රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේය.

 යූරීන් නාල කැපූ බවට රූපසිංහ ආරච්චිලාගේ චලිතා මධුමාලී රූපසිංහ කළ පැමිණිල්ල විමර්ශනය කළ රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ යූරීන් නාල කැපුනේ සාෆි අතින් නොව තමාගේ අතින් බව විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ දුන් බවයි. එම මව අසාධ්‍ය තත්ත්වයේ සිටිය දී ඇය බේරා ගැනීම හදිසියේ කැපුම යොදද්දී අත්වැරදීමකින් එය සිදුවූ බව විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළ බව රහස් පොලිසිය දැනුම් දුන්නේය.

දරුවා මාරු කිරීමේ බේගලය

දරුවකු මාරු කළැයි කියන සිද්ධිය ගැන අධිකරණයට කරුණු වාර්තා කළ රහස් පොලිසිය දැනුම් දුන්නේ ස්වාමි පුරුෂයා විදේශ ගතව සිටින කාන්තාවක දරු ප්‍රසූතිය සඳහා කරුණෑගල රෝහලට ඇතුළත් වී ඇති බවයි. හමුදා සෙබළකු සමඟ පැවැති අනියම් සම්බන්ධයක් නිසා මෙම දරුවා  ලැබී ඇති බවත්, දරුවා සමඟ නිවසට ආවොත් තමා මරා දමන බව සැමියා ප්‍රකාශ කර ඇති බවත් එම රෝහලේම එම්.එල්.ටී නිලධාරිනියක් මෙම දරුවා දරුකමට හදා ගැනීමට කැමැත්ත දැක්වා ඇති බවත් එම කාන්තාවන් දෙදෙනාගේ ප්‍රකාශවලින් අනාවරණය වීයැයි රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම දරුවා උපන් වෙලාව ගෙන කේන්දරකරුවකුට දුන් විට මොහු අනාගතයේ වෛද්‍යවරයකු වන බව කීවේයැයි ද, එබැවින් මෙම දරුවා හදා ගැනීමට තීරණය කළේයැයි ද, මේ සම්බන්ධයෙන් මානුෂිකව සලකා බලා  අනාගතයේ දී තමා වෙනත් මවකගේ යැයි දැන ගැනීමෙන් දරුවාට වෙන අපහසුතාවය මග හැරීමට ඇඳ හිසපතේ දරුවාගේ මවගේ නම වෙනස් කර දෙන ලෙස  ඉල්ලා සිටියේයැයි එම කාන්තාව කියා තිබිණි. ඉන් පසු වෛද්‍ය සාෆි එසේ නම් එලෙස කරන ලෙස දැනුම් දුන් බවට ඇය ප්‍රකාශ කළ බවත්, තමා එලෙස දැනුම් දුන් බව සාෆි ප්‍රතික්ෂේප කළ බවත් රහස් පොලිසිය දැනුම් දුන්නේය. ඇඳ හිසපතේ මවගේ නම වෙනස් කිරීමට ආධාර අනුබල දීම සිදු කර ඇති බව ප්‍රකාශවලින් කියවුණත් දරුවකු මාරු කිරීමක් ගැන තොරතුරු අනාවරණය නොවූ බව රහස් පොලිසිය ප්‍රකාශ කළේය.

 මව්වරුන් 147 දෙනාගේ පැලෝපීය නාලවලට හානි සිදුවීදැයි සෙවීමට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් ලිඛිතව උදව් ඉල්ලූ බවත්, ඉන් පසු ඔහු ඒ සඳහා විශේෂ වෛද්‍යවරුන් තිදෙනකු වන අජිත් තෙන්නකෝන්, අජිත් පතිරණ සහ ජානකී කරුණාසිංහ යන මහත්වරුන් පත් කළ බවත්, ඊට අධිකරණයේ ද අවසරය ලැබුණු බවත් රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේය. මෙම මව්වරුන්ගේ පැලෝපීය නාලවලට හානි සිදුවීදැයි සොයා බැලීමට එස්එච්ජී නම් පරීක්ෂණය සිදු කළ යුතු බවත්, ඒ සඳහා කොළඹ කාසල් රෝහල සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පහසුකම් සපයන ලෙසත් රහස් පොලිසිය අධිකරණයෙන් නියෝගයක් ලබා ගත්තේය.

ඒ අනුව ජුනි 30 වැනි දා කුරුණෑගල දී මෙම පරීක්ෂණය ගැන මව්වරුන් දැනුම්වත් කිරීමට සායනයක් පැවැත්වීමට වෛද්‍ය මණ්ඩලය තීරණය කළ අතර එම සායනයට මව්වරුන් යොමු කිරීම සඳහා රහස් පොලිසිය ජුනි 27 වැනි දා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියත් අධිකරණය එය තාවකාලිකව අත්හිටුවීය.

මෙම විමර්ශනය සම්බන්ධයෙන් පිටු 210ක බී වාර්තාවක් ජුනි 27 වැනිදා  ඉදිරිපත් කළ රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ විමර්ශනයට අදාලව වෛද්‍යවරුන් 47 දෙනකුගෙන්, හෙදියන් 71 දෙනකුගෙන් සහ සුළු සේවකයන් 18 දෙනකුගෙන් ප්‍රකාශ ලබා ගත් බවයි.

වෛද්‍යවරුන් 47 දෙනාගෙන් වෛද්‍යවරුන් 45 දෙනකුම සාෆිට එරෙහිව කිසිම චෝදනාවක් නඟා නැත. එක් නිර්වින්දන වෛද්‍යවරියක සාෆිගේ සැත්කම් සැකසහිත බවට වෙනත් අය කීවේයැයි ප්‍රකාශයක් දී ඇති අතර මෙම වෛද්‍යවරිය හා සාෆි අතර මීට ඉහත බහින්බස්වීමක් වීසිදුවීමෙන් පසු වෛද්‍යවරියට එරෙහිව සාෆි රෝහල් අධ්‍යක්ෂට පැමිණිලි කර ඇති බව කීවේය. තවත් වෛද්‍යවරයකු කියා ඇත්තේ සිසේරියන් එක අවසන් වෙද්දී සාෆි සෙසු වෛද්‍යවරුන්ව වෙනත් වැඩවලට යවන බවයි. එම දෙදෙනාද ඇතුළුව වෛද්‍යවරු 47 දෙනාම සාෆි පැලෝපීය නාල මිරිකනු නොදුටු බව ප්‍රකාශ කර තිබේ.

 හෙදියන් 71 දෙනා සහ සුළු සේවකයන් ද සාෆිට එරෙහිව ප්‍රකාශ ලබාදී නැත.

 විශේෂඥ වෛද්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරුන්, සීමාවසික වෛද්‍යවරුන්, හෙදියන් සහ කාර්ය මණ්ඩලයෙන් ලබාගත් කිසිම සාක්කියකින් වෛද්‍ය සාෆි මව්වරුන්ගේ පැලෝපීය නාල මිරිකනවා දුටු බවක් හෝ මිරිකූ බවක් හෝ අනාවරණය නොවූ බව රහස් පොලිසිය කීවේය.

එස්එච්ජී පරීක්ෂණය ගැන දැනුවත් කරන වැඩමුළුවට මව්වරුන් යොමු කිරීමට ජුනි 27 වැනි දා රහස් පොලිසිය අධිකරණයෙන් නියෝගයක් ඉල්ලූ අවස්ථාවේ මව්වරුන්ගේ නීතීඥවරු ඊට විරෝධය පළ කළහ. ඔවුන් ප්‍රකාශ කළේ මෙම එච්එස්ජී පරීක්ෂණය මවුවරුන්ට මාරාන්තික බව සහ පිළිකා ඇති විය හැකි බවයි. මේ ගැන කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂට මනා දැනුමක් ඇති බව නීතීඥවරු කීහ.

ඉන් පසු එම අවස්ථාවේ අධිකරණයේ සිටි කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාරගෙන් මහේස්ත්‍රාත්වරයා මේ ගැන අදහස විමසා සිටි අතර ඔහු ප්‍රකාශ කළේ යෝනි මාර්ගය ඔස්සේ ඩයි වර්ගයක් යවා කරන මෙම පරීක්ෂණයෙන් එම ඩයි ශරීරයට අවශෝෂණය වී මව්වරුන්ට මාරාන්තික විය හැකි බවයි. පිළිකා ඇතිවිය හැකි බව ද ඔහු කීවේය.

මහේස්ත්‍රාත්ගේ දත් දොස්තර

 කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා ද විශේෂඥ වෛද්‍ය කමිටුවට ඇතුළත් කර ගන්නැයි මව්වරුන්ගේ නීතීඥවරුන් ඉල්ලා සිටි අතර ඔහු ද ඇතුළත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට දැනුම් දුන්නේය.

එම අවස්ථාවේ දී රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා ප්‍රකාශ කළේ මෙම කමිටුවට ඇතුළත් විය යුත්තේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් බවයි. කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු නොව දන්ත වෛද්‍යවරයකු පමණක් බව සහකාර පොලිස් අධිකාරීවරයා දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් නීතීඥවරුන්ගේ සහ කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයාගේ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම පරීක්ෂණය ගැන දැනුම්වත් කරන වැඩමුළුවට මව්වරුන් සහභාගී කරවීම අත්හිටුවීය. රහස් පොලිසිය ඉල්ලා සිටියේ පරීක්ෂණයට මව්වරුන් සහභාගී කරවීමට නොව පරීක්ෂණය ගැන දැනුවත් කරන වැඩමුළුවට සහභාගී කරවීමට අවසර දෙන ලෙසයි.

සාක්කි මැකූ මහේස්ත්‍රාත්ගේ  රංගනය

මේ අතර රහස් පොලිසිය මෙම නඩුවට අදාළ උසාවි කාර්ය සටහන් ලබාගත් අතර එහි කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයාගේ අදහස් දැක්වීම හෝ ඒ ගැන සටහන් කර තිබී නැත. මේ සම්බන්ධයෙන් උසාවි ලේඛකාධිකාරී මාර්ගයෙන් ලඝු ලේඛිකාවගෙන් විමසද්දී ඇය ප්‍රකාශ කළේ එම කොටස කාර්ය සටහන්වලට ඇතුළත් නොකරන ලෙස මහේස්ත්‍රාත්වරයාම උපදෙස් දුන් බව යැයි රහස් පොලිසිය ජූලි 11 වැනිදා උසාවියට ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවේ සඳහන් කර තිබේ.

 ප්‍රසව හා නාරිවේද විෂයේ ප්‍රවීණයෙකු නොවන  කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා අධිකරණයේ කළ කරුණු දැක්වීම සහ මව්වරුන්ගේ නීතීඥවරුන් කළ කරුණු දැක්වීම අනුව එස්එච්ජී පරීක්ෂණයෙන් ආසාත්මිකතා ඇතිවීම ගැන පසුගිය වසර පහක තොරතුරු ලබා දෙන ලෙස ප්‍රධාන රෝහල් කිහිපයකට රහස් පොලිසිය දැනුම් දුන්නේය.

 ඒ අනුව කළුබෝවිල රෝහල වාර්තා කර ඇත්තේ 2014 වසරේ සිට 2019 ජුනි මාසය තෙක් එම රෝහලේ එච්එස්ජී පරීක්ෂණ 399ක් සිදු කර ඇති බවයි. පරීක්ෂණය නිසා කාන්තාවන්ට සංකූලතා ඇතිවීම හෝ මිය යෑම ගැන වාර්තා වී නැති බව කළුබෝවිල රෝහල දැනුම් දී ඇත.

 ගාල්ල කරාපිටිය රෝහල වාර්තා කර ඇත්තේ 2014 සිට 2019 දක්වා තම රෝහලේදී එච්එස්ජී පරීක්ෂණ 2213ක් සිදු කර ඇති බවයි. පරීක්ෂණය සිදු කරන අවස්ථාවේ හතර දෙනකුට පමණක් සුළු හුස්ම ගැනීමේ අපහසුවක් දැනී තිබුණත් වෙනත් සංකූලතා හෝ මියයෑම් වාර්තා නොවන බව කරාපිටිය රෝහල ද වාර්තා කර තිබේ.

අනුරාධපුර රෝහල වාර්තා කර ඇත්තේ 2014 වසරේ සිට 2019 දක්වා එච්එස්ජී පරීක්ෂණ 257ක් සිදු කළ ද සංකූලතා හෝ මරණ වාර්තා වී නැති බවයි.

රාගම ශික්ෂණ රෝහල වාර්තා කර ඇත්තේ 2014 වසරේ සිට 2019 ජුනි තෙක් පරීක්ෂණ 660ක් කර ඇතත් සංකූලතා හෝ මියයෑම් වාර්තා නොවූ බවයි.

ලංකා හොස්පිටල්ස් වාර්තා කර ඇත්තේ 2014 වසරේ සිට 2019 ජුනි තෙක් එච්එස්ජී පරීක්ෂණ 2528ක් සිදු කර ඇතත් සංකූලතා හෝ මියයෑම් ගැන වාර්තාවී නොමැති බවයි.

ආසිරි සෙන්ට්‍රල් රෝහල වාර්තා කර ඇත්තේ 2014 සිට 2019 ජුනි තෙක් පරීක්ෂණ 3037ක් සිදු කර ඇතත් ආසාත්මිකතා හෝ මියයෑම් කිසිවත් වාර්තා වී නැති බවයි.

පේරාදෙණිය ශික්ෂණ රෝහල වාර්තා කර ඇත්තේ 2014 සිට 2019 තෙක් පරීක්ෂණ 1512ක් සිදු කර ඇතත් සංකූලතා හෝ මරණ වාර්තා වී නැති බවයි.

මේ ආකාරයට  දිවයිනේ රජයේ ශික්ෂණ රෝහල් 12කින් හා පුද්ගලික රෝහල් හතරකින් එච්එස්ජී පරීක්ෂණයට අදාල දත්ත රහස් පොලිසිය ගෙන්වාගෙන ඇති අතර ඒවා පරීක්ෂා කරද්දී පෙනී ගොස් ඇත්තේ එම රෝහල් නවයේ අදාල කාල වකවානුවේ එච්එස්ජී පරීක්ෂණ 12,000ක් පමණ සිදු කර ඇති බවයි. එයින් කිසිවකු මිය ගොස් නැති බවත්, බරපතල සංකූලතා ඇතිවී නැති බවත්, හතර දෙනකුට පමණක් හුස්ම ගැනීමේ අපහසුතාවක් ඒ මොහොතේම දැනුනත් එය පසුව හරි ගොස් ඇති බවත් පෙනී ගොස් තිබේ.

 ඊට අමතරව එච්එස්ජී පරීක්ෂණය සිදු කිරීම ගැන රහස් පොලිසිය විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

කුලියාපිටිය රෝහලේ ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය දංගල්ලගේ පේෂල රංගජීව දංගල්ල මහතා ප්‍රකාශ කර ඇත්තේ එච්එස්ජී පරීක්ෂණය සිදු කරනු ලබන්නේ වසරක් හෝ දෙකක් දරු පිළිසිඳ ගැනීමක් සඳහා උත්සාහ කළ ද එම කාන්තාවන්ට දරුපල ප්‍රමාද වීම මත කාන්තාවන්ගේ පැලෝපීය නාල අවහිරවීදැයි බලාගැනීමට බවයි. මෙම පරීක්ෂණය සංකූලතා අඩුම පරීක්ෂණයක් බවත්, පැලෝපීය නාල අතින් මිරිකා හෝ අඬුවකින් තද කර වඳ භාවයට පත් කළ හැකි බව තමා පරිශීලනය කර ඇති පිළිගත් පොතක හෝ සඟරාවක නොතිබූ බවත්, පැලෝපීය නාල අවහිරවීද යන්න එච්එස්ජී පරීක්ෂණයෙන් සනාථ කර ගත හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා කියා තිබේ. වැඩිදුරටත් ඔහු කියා ඇත්තේ ලැපරොස්කොටි පරීක්ෂණයෙන් ඊටත් වඩා දියුණු ආකාරයට මෙවැනි අවහිරතා ගැන සොයා ගත හැකි බවයි.

 කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය පතිනිසේකර මුදියන්සේලාගේ සුදත් සිරිකාන්ත පතිනිසේකර මහතා ප්‍රකාශ ලබා දෙමින් කියා ඇත්තේ ඔහුගේ සේවා කාලය තුළ ඔහු විසින් කරන ලද එච්.එස්.ජී සහ ලැපරස්කොපි පරීක්ෂණවලදී කිසිදු රෝගියකු මියගිය බවට හෝ සංකූලතා ඇති වූ බවට වාර්තා නොවූ බවයි.

මාතර මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මොහොමඩ් ඉස්මත් කබීර් නයිම් මහතා ප්‍රකාශ කර ඇත්තේ තමාගේ සේවා කාලය තුලදී තමා සිදුකළ එච්එස්ජී සහ ලැපරස්කොපි පරීක්ෂණවලදී  කිසිදු රෝගියකු මියගොස් හෝ සංකූලතා ඇති වූ බවට වාර්තා වී නැති බවයි.

ඒ අනුව රහස් පොලිසිය පසුගිය නඩු වාරයේ එනම් ජූලි 11 වැනි දා මෙලෙස අධිකරණයට කරුණු වාර්තා කළේය. උපුටා ගැනීම බීවාර්තවෙන්.

වීරකුමාරගේ බොරු

”මේ අනුව මෙම පරීක්ෂණය සම්බන්ධයෙන් 2019.06.27 වන දින කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා සහ අගතියට පත් පාර්ශ්වයේ උගත් නීතීඥ මහතුන් ගරු අධිකරණයේ මෙම පරීක්ෂණය සම්බන්ධයෙන් මියයාම, පිළිකා හා වෙනත් සංකූලතා ඇතිවිය හැකි බවට දැක්වූ කරුණු සම්පූර්ණයෙන් සාවද්‍ය බව ගරු අධිකරණයට ගෞරවයෙන් වාර්තා කරමි.”

අත්අඩංගුවට ගැනීමට පෙර සාක්කි

සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆි 2019 මැයි 24 දින රාත්‍රී 10ට කුරුණෑගල පොලිසියේ අපරාධ අංශයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමට ඇති සාක්ෂි ලෙස 10 දෙනකුගේ සාක්කි සම්පිණ්ඩන වාර්තාවක් මැයි 26 දින SP/PA/4368/19 යටතේ කුරුණෑගල පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත එවනු ලැබ තිබිණි.

පළමු සාක්කිකරු රූපසිංහ ආරච්චිලාගේ චලිතා මධුමාලි රූපසිංහගෙන් 2019 මැයි 24 දින උදේ 9ට (සාෆි අත්අඩංගුවට ගත්දින පෙරවරුවේ) කුරුණෑගල රෝහලේදී ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිස් අධිකාරීවරයාගේ වාර්තාවේ සඳහන් වෙන බවත්, මුත්‍රා නාල දෙක කැපීම ගැන ඇගේ ප්‍රකාශයේ සඳහන් වන බවත්, මුත්‍රානාල කැපුණේ සාෆි අතින් නොවන බව විශේෂඥ වෛද්‍යවරයාගේ ප්‍රකාශයෙන් සනාථ වූ බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.මෙම ප්‍රකාශය සටහන් කිරීමට ගිය පොලිස් නිලධාරීන් පිටවීමේ සහ පැමිණීමේ සටහන් තබා නොමැති බව විමර්ශනයේ දී අනාවරණය වී ඇත.

නානායක්කාර ගාල්ලගේ තරිඳු දර්ශන නම් පුද්ගලයාගෙන් මැයි 25 වැනි දා දවල් 1ට පරසන්ගස්වැව රෝහලේ දී ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර ඔහු කියා ඇත්තේ අස්වාභාවික ලෙස කුඩා කැපුමක් යොදා ළමයින් එළියට ගත් බවයි. නමුත් එය සනාථ වී නැත. මෙම ප්‍රකාශය සටහන් කර ගෙන ඇත්තේ සාෆි අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.

 ජයලත්ගේ නාමල් බණ්ඩාර ජයලත්ගෙන් 2019 මැයි 24 දින සවස 4ට නාවුල රෝහලේ දී ප්‍රකාශ සටහන් කර ගත් බවත්, එල්ආර්ටී නොකර ඒ බවට සටහන් ඇතුළත් කිරීමට උපදෙස් දී ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වන බව කුරුණෑගල පොලිස් අධිකාරීවරයා වාර්තා කර තිබිණි. නමුත් රහස් පොලිසිය කළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ එදින නොව ඊට පසු දින එනම් මැයි 25 දින සවස 4ට නාවුල පොලිස් ස්ථානයේ දී බවයි. මේ අනුව ව්‍යාජ දින සහ ස්ථාන යොදා කූඨ  ලෙස පොලිස් ලේඛන සකස් කර ඇතැයි රහස් පොලිසිය අනාවරණය කර ගෙන තිබේ.

 ප්‍රියානි ප්‍රියංගියා නන්දසේන නම් විශේෂඥ වෛද්‍යවරියගෙන් 2019 මැයි 24 වැනිදා කුරුණෑගල පොලිස් ස්ථානයේ දී සවස 7ට පැමිණිල්ල සටහන් කරගත් බව කුරුණෑගල පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා වාර්තා කර ඇතත් රහස් පොලිස් පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ඇගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ 2019 මැයි 26 වැනි දා සවස බත්තරමුල්ලේ ඇගේ නිවසේදී බවයි. එම ප්‍රකාශයේ ව්‍යාජ දින යොදා ව්‍යාජ ස්ථාන යොදා පොලිස් සටහන් ව්‍යාජ ලෙස සකසා ඇතැයි රහස් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

 හපුආරච්චිගේ ඉනෝකා ප්‍රියදර්ශනීගෙන් 2019 මැයි 24 දහවල් 12ට කුරුණෑගල පොලිස් ස්ථානයේ දී සාක්කි සටහන් කර ගත් බවත්, 2007 වසරෙන් පසු ඇයට දරුවකු නොලැබුණු බව එම ප්‍රකාශයේ ඇති බවත් කුරුණෑගල පොලිස් අධිකාරීවරයා වාර්තා කර තිබේ. ඒ ගැන සොයා බලද්දී රහස් පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ ඇගේ ප්‍රකාශය සටහන් කරගෙන ඇත්තේ 2019 මැයි 25 දින දහවල් 12ට කුරුණෑගල පොලිස් ස්ථානයේදී බවයි. ඒ අනුව එම ප්‍රකාශය ද ව්‍යාජව සකස් කර ඇතැයි රහස් පොලිසිය කියයි.

 අබේවර්ධන මුදියංසේලාගේ චාන්දනී නයෝමිකා අබේවර්ධනගෙන් මැයි 24 වැනි දා දහවල් 12.30ට ප්‍රකාශ සටහන් කර ගත් බවත්, 2011 වසරෙන් පසු දරුවන් නොලැබීම ගැන ඇය පැමිණිලි කර ඇති බවත් පොලිස් අධිකාරීවරයා දැනුම් දුන්නද එම පැමිණිල්ල සටහන් කරගෙන ඇත්තේ ද මැයි 25 වැනිදා බව රහස් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ජයලත්ගේ ප්‍රසන්තිකාගෙන් මැයි 24 ප්‍රකාශ සටහන් කර ගත් බවත්, 2010 වසරෙන් පසු ඇයට දරුවන් නැති බව ප්‍රකාශ කළ බවත් පොලිස් අධිකාරීවරයා වාර්තා කළ ද එම ප්‍රකාශය සටහන් කරගෙන ඇත්තේද මැයි 25 දින බව රහස් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

 අතපත්තු මුදියන්සේලාගේ ගංගානි දේවිකා මැයි 24 ප්‍රකාශයක් දෙමින් 2009 වසරේ සිට ළමයින් නැති බව ප්‍රකාශ කළේයැයි පොලිස් අධිකාරී වාර්තා කළ ද ඇගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ මැයි 25 දින දවල් 1.30ට බව රහස්පොලිසිය අධිකරණයට වාර්තා කළේය.

 කන්දෙගෙදර රාළලාගේ චතුරිකා දීපානි බණ්ඩාර සහ සෙනරත් පතිරණගේ අනුරුද්ධ තිස්ස විජේසිරි යන අයගෙන් ද සාෆි අත්අඩංගුවට ගැනීමෙන් පසු කුරුණෑගල පොලිසියෙන් මැයි 25 වැනි දා ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

 මේ අනුව සාෆි අත්අඩංගුවට ගැනීමට පෙර සටහන් කර ඇති බවට මූලිකව විශ්වාස කළ හැක්කේ එක් පැමිණිල්ලක් පමණක් බවත්, ඉතිරි පැමිණිලි නවයම සාෆි අත්අඩංගුවට ගැනීමෙන් පසු සටහන් කරගෙන ඇති බවත්, සාෆි අත්අඩංගුවට ගැනීමට පෙර කළැයි කියන පැමිණිල්ල වන්නේ මුත්‍රානාල කැපීම බවත්,ඊට  අදාලවද පොලිසිය විමර්ශනය කර නැති බවත්, විමර්ශනය කළේ නම් එය සිදුවී ඇත්තේ සාෆි අතින් නොවන බව අනාවරණය වන බවත් රහස් පොලිසිය සඳහන් කරයි.

 මේ අනුව කුරුණෑගල පොලිස් ස්ථානය මගින් සාෆි අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීම සඳහා ඉහළ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත කූඨ ලේඛන සකසා ඇතැයි රහස් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

 චෝදනා ඉවත් කිරීම

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ කුරුණෑගල පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ විධිවිධාන අනුව ආරක්ෂක ඇමැතිවරයා වූ ජනාධිපතිවරයාගෙන් ලබාගත් දින 90 රැදවුම් නියෝග මත රහස් පොලිසිය මාස එක හමාරක පමණ කාලයක් විමර්ශන සිදු කළේය.

 එහෙත් කුරුණෑගල පොලිසිය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නගා තිබූ චෝදනා සනාථ කෙරෙන කිසිම සාක්කියක් අනාවරණය වොන බවත්, එම චෝදනා මත වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවත් රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේය. පසුගිය ජුනි 27 නඩු දිනයේ දී රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ මෙසේ සඳහන් වෙයි. (උපුටා ගැනීම බී වාර්තාවෙනි)

 ”ඉහත කරුණු සැලකිල්ලට නැගීමේදී සැකකාර වෛද්‍ය සාෆි මේ වන විට 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධි විධාන) පනතේ වගන්ති 9(1) යටතේ 2019.05.27 වන දින සිට දින 90 රැඳවුම් නියෝගයක් ලබාගෙන විමර්ශන සිදුකරමින් පවතී. සැකකරු තවදුරටත් මෙම පනත යටතේ රඳවා තබාගනිමින් විමර්ශන කිරීම යුක්ති සහගත නොවන බැවින් ඉදිරියේදී මේ සම්බන්ධව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමා දැනුවත් කර අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව ගරු අධිකරණය වෙත ගෞරවයෙන් වාර්තා කරමි.”

ඉන් පසු රහස් පොලිසිය ජූලි 11 නඩු දිනයේ දී අධිකරණයට වාර්තා කළේ වෛද්‍ය සාෆිගේ රැඳවුම් නියෝග අත්හිටවූ බවයි. එය මෙසේ වාර්තා කර තිබේ. උපුටා ගැනීම බී වාර්තවෙනි.

”මෙම විමර්ශනයට අදාලව රැඳවුම් නියෝග මත රඳවා සිටින සේගු සිහාබ්දීන් මොහොමඩ් සාෆි 1978 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධි විධාන) පනත යටතේ අපරාධ චෝදනා අනාවරණය නොවූ බැවින් ඒ සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජෙයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් තුමා වෙත වාර්තාවක් යොමු කරමින් සේගු සිහාබ්දීන් මොහොමඩ් සාෆි යන සැකකරුව MOD/LEG/PTA/234/19 යටතේ 2019.05.27 වන දින සිට ලබාගෙන තිබූ රැඳවුම් නියෝගය තවදුරටත් එම පනත යටතේ ඇති අපරාධයන්ට අදාලව අනාවරණය වී නොමැති බැවින් ලබාදී තිබූ රැඳවුම් නියෝග අවලංගු කර දෙන ලෙස 2019.07.05 වන දින ඉල්ලීමක් කර ඇත.”

රැදවුම් නියෝගය ජනාධිපති ඉවත්කර ගනී

”ඒ අනුව ආරක්ෂක අමාත්‍ය වන ගරු ජනාධිපතිතුමා විසින් අදාල රැඳවුම් නියෝගය අවලංගු කර ඇති බව ගරු අධිකරණ වෙත වාර්ථා කරමි. ඒ අනුව ඉහත නම සඳහන් වෛද්‍ය සේගු සිහාබ්දීන් මොහොමඩ් සාෆි යන අය ත්‍රස්තවාදී පනත යටතේ නගා ඇති චෝදනාවලින් නිදහස් කරන බව වාර්තා කරමි.”

”ඉහත සැකකරුට විරුද්ධව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සැකකරු විසින් සිසේරියන් සැත්කම් සිදු කිරීමෙන් පසු පැමිණිලි 615ක් ලැබී ඇති අතර එම පැමිණිලිවලින් 468ක් ලැබී ඇත්තේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් සැකකරු විසින් සිංහල අම්මාවරුන් වඳ භාවයට පත් කර ඇති බවට පල වීමෙන් පසු ඔවුන්ටත් එවැනි හානියක් සිදු කර තිබේද යන්න පරීක්ෂා කිරීම උදෙසාය. ඉතිරි පැමිණිලි 147 පැමිණිලි කර ඇත්තේ එම මව්වරුන් දරුවන් අපේක්ෂාවෙන් කටයුතු කළත් දරු පිළිසිඳ ගැනීමක් සිදු නොවූ බවයි. ඒ අනුව මෙම විමර්ශනය ඇසින් දුටු සාක්සි හා විද්‍යාත්මක සාක්ෂි මත ක්‍රියා කළ යුතු බැවින් ඉදිරියේදී වාර්තා වන ඇසින් දුටු හා සිදු කරන විද්‍යාත්මක පරීක්ෂණවලින් අනාවරණය කරගන්නා වූ සාක්ෂි ගරු නීතිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුට විරුද්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇත. දැනට මෙම පරීක්ෂණය ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනතේ වගන්ති 311 යටතේ විමර්ශනය කරන බව ගරු අධිකරණය වෙත දන්වා සිටිමි.”

එනම් සාෆිට එරෙහිව තිබූ චෝදනා ඉවත් කළ අතර සාෆි ජූලි 11 වැනිදා රහස් පොලිසියෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ සැකකරුවකු වශයෙන් නොවේ. ඔහුට එරෙහිව පැමිණිලි කළ ද මෙතෙක් කළ විමර්ශනවලින් කිසිවක් අනාවරණය වී නැත. රහස් පොලිසිය දැනුම් දුන්නේ අනාවරණය වුවහොත් ඉදිරි කටයුතු සිදු කරන බවයි.

 මිනී මැරුමකට යම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට නම් යම් පුද්ගලයකු මිය ගොස් ඇති බව මුලින් සනාථ විය යුතු අතර එම පුද්ගලයා මිය ගොස් ඇත්තේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයාගේ ක්‍රියාවක් හේතුවෙන් බවට සාක්කි තිබිය යුතුය. දණ්ඩ නීති සංග්‍රහ පනතේ 311 යටතේ බරපතල තුවාල සිදුකිරීමට වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගැනීමට නම් කාන්තාවන්ගේ පැලෝපීය නාලවලට හානියක් සිදු කර ඇතැයි මුලින් අනාවරණය කරගෙන සිටි යුතු අතර ඉන් පසු එම හානිය කළේ සාෆි විසින් බව අනාවරණය කර ගත යුතුය. එසේ නැතිව එම චෝදනාවට වෛද්‍ය වරයා අත්අඩංගුවට ගත නොහැකිය.

 නිලධාරීන්ට තර්ජනය කිරීම සහ රාජකාරියට බාධා කිරීම

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය නඩු වාරයේදී එනම් ජූලි 11 වැනි දා තවත් වැදගත් කාරණා දෙක්ක ගැන අධිකරණයට කරුණු වාර්තා කළේය.

 එනම් අතුරලියේ රතන හිමි විමර්ශන නිලධාරීන්ට තර්ජනය කිරීම ගැන සහ කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා විමර්ශකයන්ට බාධා කිරීම ගැනයි.

 අතුරලියේ රතන හිමියන්  තර්ජනය ගැන රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ මෙසේය. (උපුටා ගැනීම බී වාර්තාවෙන්)

 ”2019.06.27 වන දින මෙම නඩුව ගරු අධිකරණයේ දී පැය 12.15 කැඳවූ පසු පැය 13.30ට පමණ නවතා නැවත මෙම නඩුව පැය 14.15ට කැඳවන බව ගරු ඔබතුමා විසින් නියෝග කිරීමෙන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වා සිටි සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහතා අධිකරණ ශාලාවෙන් ඉදිරියට පැමිණ ගමන් කිරීමේදී ඒ ඉදිරියෙන්ම අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ ඔහු අසලින් ගිය බවත්, ඉන් පසු රතන ස්වාමීන් වහන්සේ ඉදිරියට ගොස් නැවතී සිටි බවත් ඉන් පසු සහකාර පොලිස් අධිකාරී තිසේරා මහතා දෙස එක එල්ලේ බලාගෙන සිටි බවත් සහකාර පොලිස් අධිකාරීවරයා ඉදිරියට යන විට උන්වහන්සේ සහකාර පොලිස් අධිකාරීවරයාගේ අතට තට්ටු කළ බවත් එහිදී සහකාර පොලිස් අධිකාරී මහතා ඇයි ස්වාමීන් වහන්සේ කියා විමසූ බවත්, එවිය ස්වාමීන්වහන්සේ මට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද කියා විමසූ බවත් ඉන් පසු සහකාර පොලිස් අධිකාරීවරයා ඇයි හමුදුරුවනේ කියා විමසූ විට රතන ස්වාමීන්වහන්සේ ඔහු දිහා රවාගෙන බලාගෙන දකුණු අතේ දඹර ඇඟිල්ල දික්කර ‘මුළු ලෝකයම මේ නඩුව දිහා බලාගෙන ඉන්නේ’ කියා ඇස්දෙක ලොකු කර තර්ජනාත්මක ලෙස ප්‍රකාශ කළ බවයි.  ඒ අවට කිහිප දෙනකු බලාගෙන සිටි බවත්, සහකාර පොලිස් අධිකාරීවරයා මුකුත් නොකියා කතා නොකර ඉදිරියට ගිය බවත්, ඔහු සමග පිටව ගිය අනිකුත් සෙසු නිළධාරීන්ට මේ බව කඩිනමින් දැනුම් දුන් බවත්, ඉන් අනතුරුව පලමුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමා හා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා දුරකථන මගින් දැනුවත් කළ බවත්, නිලධාරියා පැමිණි පසු නිලදාරීන්ගේ ගමන් සටහන් පොතේ මේ සම්බන්ධව සටහනක් ඇතුළත් කර ඇත. මේ අනුව ඉහත බියගැන්වීම හා මානසික වේදනාවක් ඇති කිරීම 2015 අංක 04 දරණ අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් හට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ 04 (අ) වගන්ති යටතේ වරදක් සිදුවී ඇති බවට පෙනී යන බැවින් මේ සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමා වෙත කරුණු දක්වා එතුමාගේ උපදෙස් අනුව පියවර ගැනීමට කටයුතු කරමි.”

”තවද එදින එම නඩුව පැය 16.10ට අවසන් වීමෙන් පසු අධිකරණ භූමියෙන් පිටත මාධ්‍යවේදීන් වෙත අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහතා සැකකාර වෛද්‍ය සාෆි යන අයට පක්ෂග්‍රාහීව කටයුතු කළ බවත්, තවද මෙම පැමිණිල්ල ජාත්‍යන්තරයට රැගෙන යන බවත්, ඔහුගේ නම කිහිපවරක්ම සඳහන් කරමින් එසේ ප්‍රකාශ කළ බව 2019.06.27 වන දින සවස 06.55ට හිරු සහ දෙරන නාලිකාවල ප්‍රවෘත්ති විකාශයෙන් එම පුවත විකාශය වූ අතර එහිදී මෙම නඩුව ජාත්‍යන්තරයට රැගෙන යාමට කටයුතු කරන බව ප්‍රකාශ කරන ලදී. ඒ අනුව ගරු ස්වාමීන්වහන්සේ මාධ්‍ය ආයතන 02කට ප්‍රකාශ කරන ලද සංස්කරණය නොකරන ලද වීඩියෝ දර්ශන ලබා ගෙන එයින් විමර්ශන නිලදාරීන්ට යම් බලපෑමක් තර්ජනයක් වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකර ඇතිද යන්න විමර්ශනය කිරීමට අවශ්‍යව ඇත.”

 කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා ද විමර්ශන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව රහස්  පොලිසිය අධිකරණයට වාර්තා කළේය. එමෙන්ම පරීක්ෂණවලට අදාළ ලේඛන ඔහු විසින් ලබා දීම ප්‍රමාද කරන බව ද අහස් පොලිසිය වාර්තා කර තිබේ.

මීට අමතරව තවත් වැදගත් කරුණු රැසක් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බවට රහස් පොලිසිය කළ වාර්තා කිරීම් වෙනත් ලිපියකින් බලාපොරොත්තු වන්න…

-උපුටා ගැනීම MediaLK වෙතිනි

Back to Top