Sri Lanka Brief
පුවත්විවරණනිදහස් ප්‍රජාතන්ත්‍රවාදය ද, නැත්නම් දේශපාලනික අවීචිය ද? තේරීම දැන් තවත් පැහැදිලි ය.

නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය ද, නැත්නම් දේශපාලනික අවීචිය ද? තේරීම දැන් තවත් පැහැදිලි ය.

by

Image courtesy of The Wallpaper.

විශ්වමිත්‍ර 1984.

“ජාතිකවාදය යනු, ආත්ම-වංචනයෙන් පණ පෙවූ බල පිපාසයයි”
– ජෝර්ජ් ඕවල්

එක්සත් ජාතික පක්ෂය ගොළු වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදයේ ධජය දරා සිටි පක්ෂයක හඬ අහිමිව ගොසිනි. සිල්ලර දේශපාලනය කෙරෙහි වන වැඩිමනත් නැමියාව විසින් නව යුගයේ දේශපාලනය තුළ එය යල්පීනූ ප්‍රපංචයක් බවට සහ නියමුවෙකු නැති යාන්ත්‍රණයක් බවට එය පත්ව ඇත. නියමුවා සේ පෙනී සිටින්නා ආතක්පාතක් නැති කතා කියන අතරේ පසුපෙළ ක්‍රියාකාරීන්ට එවැනි නායකත්වයක් අභියෝග කිරීමට තරම් කොන්දක් ඇති බවක් පෙනෙන්ට නැත. ඒ, එකී නායකත්වය ඊළඟ තරගයකදී ජය ගැනීමක් ගැන හීනෙන්වත් බලාපොරොත්තු තැබිය නොහැකි තත්වයක් යටතේ ය.


2020 ළඟපාත ය. ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම ඇතුලු පක්ෂයේ ඉහළ පෙළේ නායකත්වයේ වෙනස්කම් වහා ඉටු කර නොගතහොත්, සිංහල පන්නයේ බුද්ධාගම රකින බවට පුරසාරම් දොඩන පුද්ගලයන්ගේ අතට මේ රට පත්වෙනු නියති. පිරිසුදු බුද්ධාගමේ සහ ථෙරවාදයේ ඊනියා නිවහන, 1983 දී මෙන් නැවත වතාවක්, ගිනිගෙන දැවෙනු ඇත. ඥානසාර, රතන සහ අස්ගිරියේ භික්ෂූන්ගේ ජ්වලිත වාගාලාපයෙන් අවුළුවනු ලබන උද්වේගකර හැඟීම් සාගරයක බහුතරයේ සමස්ත මනෝකාය ගිලී යනු ඇත. ඒ වනාහී දේශපාලනික අවීචියක් පුපුරා යාමේ පෙරනිමිති ය.

මුස්ලිම් සහ දෙමළ ප්‍රජාවන්ගේ දුක්ඛ දෝමනස්සයන් ඉදිරියේ බහුතර ප්‍රජාවේ නායකයෝ එවිට මුනිවත රකිනු ඇත. එම සුළු ප්‍රජාවන්ගේ සාධාරණ විනිශ්චයන්, අපක්ෂපාතී තීන්දු, වලංගු සහ සුජාත ආයාචනයන් කිසිවෙකුට නෑසී යනු ඇත.

කෙනෙකුගේ ඇසට ප්‍රියමනාප ආකාරයේ සාමාන්‍ය සමාජ වටපිටාවක් ගොඩනැගීමට නම් ශ්‍රී ලංකාවේ සමාජ-දේශපාලනික භූ-දර්ශනය යළි සිතියම්ගත කළ යුතුව තිබේ. ඥානසාර සහ රතන මාදිලියේ බාල රණගොස ඔස්සේ ඔසවා තැබෙන ආගමික අසහනකාරීත්වයේ බරපතලකම කෙනෙකුට සමහරවිට මගහැරී යා හැකිය. බැලූ බැල්මට අහිංසක යැයි පෙනී ගිය හැකි මේ උද්වේගකර සටන්පාඨ, එක්තරා නිත්‍ය රිද්මයකට සහ තානමකට එක දිගට වයන්ට වන් විට, ඔවුන්ගේ ප්‍රතිවාදීන්ට මුලින්මත්, දෙවැනුව මුළු රටටමත් අතිශය විනාශකාරී වනු නොඅනුමානයි.

ආගම පදනම් කරගත් අසමාන සැලකිලි සහ වාර්ගික හංවඩු නිතරම පාහේ ඒවායේ නිර්මාතෘවරුන් පවා හොඳින් දන්නා දුර්විපාක ඇති කරලීමට සමත් වෙනවා පමණක් නොව, ඒ දුර්විපාකම ඊළඟ වටයේදී තව තවත් අන්තවාදී සමාජ වෙනස්කම්වල හේතුකාරක බවටත් පත්කර ගැනෙන්නේය. මෙවැනි පඩත්තල ව්‍යායාමයන් ප්‍රවර්ධනය කිරීම සඳහා අත්‍යාවශ්‍ය කෙරෙන දේශපාලනික නායකත්වය, මෙවැනි ආගමික කල්ලිවල ඊනියා ආරක්ෂකයන් විසින් බිම් මට්ටමේ පොළොව සරිකර දුන් පසු, කාලයාගේ ඇවෑමෙන් සැපයෙනු ඇත. එවිට, මුලින් සිදුවුණේ කුමක්ද යන්න, එනම් මෙවැනි අන්තවාදී ව්‍යාපාර සඳහා වාතාවරණයක් කලින් තිබිණිද, නැත්නම් එවැනි වාතාවරණයක් ඇති කර ගැනීම සඳහා මෙවැනි ව්‍යාපාර ඇති විණිද යන්න පිළිබඳ තවදුරටත් තර්ක කිරීමේ අර්ථයක් නොවනු ඇත. එවැනි ව්‍යාපාර හෝ වාතාවරණ හටගැනීමත් සමගම පෙරහැර ගොසිනි: විනාශකාරී ක්‍රියාදාමයක් ඒ වන විට නිර්මාණය කොට තිබේ. ආගමික භක්තියේ ව්‍යාජ උන්මාදයට මිනිසුන් සහ ගැහැනුන් ගොදුරු වී තිබේ. සකලාකාර තාර්කික සහ සාධාරණ චින්තාවන් මායාමය දේශප්‍රේමයක් විසින් ගිලගනු ලැබ තිබේ.

ඉහත විස්තරය හුදු මතිභ්‍රමයක් නොවේ. එක් ආගමක් හෑල්ලුවට ලක්කිරීමට හෝ විනාශකාරී විභවයක් ඇති ක්‍රියාවලියක් අත්‍යන්තයෙන් දිග හැරෙනු ඇතැයි හුවාදැක්වීමේ ප්‍රයත්නයක් ද නොවේ. එසේ නිස්කලංකව සිටීමට තරම් කාලයක් සහ අවකාශයක් ඉතිරිව නැත. වේගයෙන් ළංවෙමින් තිබෙන මැතිවරණ සෘතුව තුළ, වාසි සහගත පාර්ශ්වයට ඔබින ආකාරයෙන් ඡන්දායක මනස සකස් කළ යුතුව තිබේ. ඒ සන්දර්භය තුළ ඉදිරියට එන පාර්ශ්වය වන්නේ රාජපක්ෂලා සහ ඔවුන්ගේ ගැත්තන් ය. පෞද්ගලික රූපවාහිනී නාලිකා කිහිපයක් සහ උමතු සමාජ ජාල ක්‍රියාකාරීන් පිරිසක් දැනටමත්, වෙලාව එන තෙක් බලා සිටීමට නොව, වෙලාව කලින් ගෙන්වා ගැනීම සඳහා, සමාජ සංයමය සහ දේශපාලනික ක්‍රමවත් භාවය කඩා ඉහිරවන විනාශයේ සහ ව්‍යාකූලත්වයේ පුරෝගාමීන් වශයෙන් තම තමන්ගේ කඩු කිණිසි මුවහත් කරමින් සිටිති.

එහෙත් අප ඉදිරියේ හොල්මන් කරන මේ සමාජ පෙරළිය තුළ දක්නට ලැබෙන වඩාත් කාලකණ්ණි දෙය වන්නේ, එක්සත් ජාතික පක්ෂයේ තේරුම්ගත නොහැකි නිශ්ශබ්දතාව සහ අක්‍රීයත්වයත්, එහි නායකත්වයේ බෙලහීනත්වයත් ය. මූලික වගකීම් සහ යුතුකම් පැහැර හැරීම සමාව දිය හැකි කාරණයක් නොවේ. එවැනි පුද්ගලයන් දෙස ඉදිරි පරම්පරාවන් බලනු ඇත්තේ මහත් වූ අවඥාවෙනි. ඔවුන්ගේ ඒ අනාගත කුරිරු විනිශ්චයන් ඉදිරියේ මෙවැනි නායකයන් ඉතිහාසයේ කුණු කූඩුයට දැමෙනු ඇත. එක්සත් ජාතික පක්ෂයට ඒ ගැන වගේ වගක් නැති පාටයි. ඒ අසංවේදීත්වය චේතනාන්විත සහ හිතාමතා ඇති කරගෙන සිටින තත්වයක් නම්, එය මොන තරම් ඛේදනීය විය හැකිද යත්, ජාතියක් වශයෙන් අප පත්විය හැකි ශෝකජනක තත්වය ගණනය කළ නොහැකි දෙයක් වනු ඇත.

මේ ඇස්පනාපිට ඇති දේවල් වටහා ගැනීමට බුද්ධිමතෙකු විය යුතු නැත. ඇත්ත වශයෙන්ම, ඊනියා බුද්ධිමත්තු තමන්ගේම පතරංග විශ්ලේෂණ තුළ එරෙති. පැහැදිලිව ඇති දේ ඔවුන්ට නොපෙනෙයි. අවංකත්වය පණ්ඩිතයන්ට අගෝචර ය. තිබෙන සංඥා සියල්ල ඉතා වැදගත් ය, පැහැදිලි ය: ජනතාව කියන්නේ බැහැර කළ නොහැකි කතාවකි. තමන්ව සංවිධානය කරන්නැයි, උපාය මාර්ග සකසා ඒ අනුව කටයුතු කරන්නැයි ඔවුහූ ඉල්ලා සිටිති. මේ යථාර්ථයන් නොතකා හරින නායකයන්ට ඉතිහාසයෙන් සමාවක් නොලැබෙනු ඇත.

එහෙත් අපේ නායකයන් සිටින්නේ ඇස් කන් පියාගෙන ය. ඔවුන්ගේ සාමූහික මෝහය විසින් ඔවුන්ව උඩ දමා තිබේ. එතනින් බිමට වැටුණොත් සදා සොත්ති ය. ජනතාවගේ දුක්ගැනවිලි නොතකා හැරිය නොහේ. එහෙත් ඒ දුක්ගැනවිලි වැරදියට අර්ථකථනය කොට වැරදි මාර්ගවලින් සන්නිවේදනය කෙරෙතොත්, ඔවුන්ගේ දුක්ගැනවිලිවල වලංගු භාවය සහ සුජාත භාවය බිංදුවට වැටෙන්නේය. එය ඇත්තෙන්ම අවාසනාවන්ත ය. කණගාටුදායක ය. ජිවිතේ සතුට සහ සාර්ථකත්වය පස්සේ මිනිසාගේ හඹා යාම, එකී මිනිසාගේ නායකයන්ගේ උන්නතිකාමය මත තබා ගණනය කළ හැකි දෙයක් නොවේ. නායකයන්ට ඔවුන්ගේම ඉලක්ක තිබිය හැකිය. ඒ ඉලක්ක අත්පත් කර ගැනීම, රටවැසියන්ගේ සීමිත ආශාවන් සහ අවශ්‍යතා සමග නොපෑහෙන්නට පිළිවන.

මේ ලිපියේ මාතෘකාවෙන්ම කියැවෙන පරිදි, ජනතාව ඉදිරියේ ඇති තේරීම වඩාත් පැහැදිලි ය. එහි බර සුළු කොට තැකිය නොහේ. රාජපක්ෂලාගේ නායකත්වය සැපයෙන එක් දේශපාලනික ව්‍යාපාරයක්, දේශපාලනික තලයේ අපත කල්ලියක අනුග්‍රහය ලබයි. ආගමික අන්තවාදයන්, වාර්ගික අගතීන් සහ ගෝත්‍රික මානසිකත්වය එහි නිරූපණය කෙරේ. මේ අගතීන්, දේශපාලඥයන්ගේ සටන්පාඨ සමග සංගතව සුසර කළ විට ඇති විය හැකි ප්‍රචණ්ඩකාරී පිපිරීම් ඉතා සාමාන්‍ය දෙයක් වශයෙන් භාරගන්නා තත්වයකට සමාජය පත්විය හැකිය. මුහුකුරා ගිය ප්‍රජාතන්ත්‍රවාදී රටවල් මේ තත්වයන්ගෙන් වැළැකී සිටීමේ පියවර ගැනීමට උගෙන ඇත. එවැනි පිපිරීම් පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය කරන පාලන යාන්ත්‍රණයන් එම රටවල ස්ථාපිත කොට ඇත.

සම්මතයට පිටස්තර දේවල් සම්මතය සේ ගැනීමට අප දැන් පුරුදුව ඇත. බාහිරෙන් සිවුරක් පොරවාගෙන සිටින, අපකීර්තිමත් දේශපාලන ගැත්තෙකු වන ගලගොඩඅත්තේ ඥානසාර අනිසි වෙලාවක නිදහස් කිරීම ඒ බව කියාපෑවේය. ඔහු සිවුරක් පොරවාගෙන සිටීම, ඔහුද අයත් යැයි කියන බුදුන්ගේ ධර්මයටම නිගාවකි. ඥානසාර නිදහස් කිරීම අහම්බයක් විය නොහේ. ජනාධිපතිවරණයකට මාස හයක් තිබියදී මෙවැනි උද්ඝෝෂකයෙකු නිදහස් කිරීම, ඔහු පිළිබඳ කරුණාවකින් කළ දෙයක් විය නොහේ. ඒ පසුපස, නොතකා හැරිය නොහැකි, භයානක දේශපාලනික නූල් සූත්තර තිබේ. එය, විධායකයේ තැන්පත් විනිශ්චයක් නැති කම පෙන්වන මනා නිදර්ශනයකි.

ජවයක් නැති ආණ්ඩුව

එක පැත්තක ජවයක් නැති ආණ්ඩුවකි. අනිත් පැත්තේ, ජාතිවාදී සහ ආගම්වාදී පරපුටුවන්ගේ ආධාරය ලබන කුරිරු දේශපාලන කල්ලියකි. ඒ දෙක එක්තැන්ව, පෙර නොවු විරූ ව්‍යාකූලත්වයකට රට ඇද දැමීමේ හැකියාව තිබේ. සම්මතයට සහ නිදහසට එදිරිවාදීව ඇති වී තිබෙන නොහොබිනා චර්යාවන්, ජාතික අසමගියක අශුද්ධ අංගෝපාංගයන් ය. මෙය තමන්ගේ රට වශයෙන් සලකන දෙමළ සහ මුස්ලිම් ජනතාව තවත් වරක් මේ රටේ පිටස්තරයන් වශයෙන් සැලෙකන තත්වයට පත්කෙරුනු ඇත. සිංහල බහුතරය කැමැති වුවත් නැතත්, මේ රට අයත් වන්නේ තමන්ට පමණක් නොවන බව ඔවුන් පිළිගත යුතුය. අවුරුදු හැත්තෑවකට පෙර අපව පාලනය කළ යටත්විජිතවාදීන් කළ අකටයුත්තක් නිවැරදි කළ යුතුව ඇතැයි යන නොමේරූ කල්පනාව හුරතල් කරමින් සිටීම දැන්වත් ඔවුන් අත්හල යුතුය. ජාතියක් වශයෙන් රටකට මෝරන්නට දශක හතක් හොඳටම ප්‍රමාණවත් ය. ගිය දේවල් ගියාවේ. මේ ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලනික අවීචියක් වීම වළක්වාගත හැකිය. ඒ සඳහා අතිශය සුපරීක්ෂාකාරී සැලකිල්ලත්, ඉවසීමත් අපේ සියලු නායකයන්ට තිබිය යුතුය.

2019 ජුලි 10 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Free Democracy or Political Inferno? Choice is Clearer Now නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

Back to Top