Sri Lanka Brief
පුවත්විවරණජාතියක් වශයෙන් වඳවීම පිළිබඳ පීඩනෝන්මාදයේ යථාර්ථය (2)- චානක ගජනායක

ජාතියක් වශයෙන් වඳවීම පිළිබඳ පීඩනෝන්මාදයේ යථාර්ථය (2)- චානක ගජනායක

by

සිංහලයන් වන අප, එක කාන්තාවකට 2.1 දරු සරුබවක් පවත්වා ගතහොත් අපේ ජනගහනය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට අපට හැකි වනු ඇත. අප ජනගහන වර්ධන පාලනය පටන්ගෙන දැන් අවුරුදු 50 ක් පමණ වෙයි. එහිදී, ‘ප්‍රීති’ සහ ‘මිතුරි’ භාවිතයට ආවේය. ‘වඳ සැත්කම්’ සහ ‘ගැටගැසීම්’ ආවේය. මේ සැත්කම් කරන වෛද්‍යවරුන්ට දිරිදීමනා සැපයුණි. ඒ වෛද්‍යවරුන් බොහොමයක් සිංහල ය.

සාක්ෂරතාව වැඩි වීම සහ ජීවන තත්වයන් වර්ධනය වීම ආදී කරුණු නිසාද මේ කියන දරුසරු අනුපාතිකය පහළ වැටෙන බව දතමනා ය. සෑම රටකම දරුසරු අනුපාතිකයන් පහළ ගොස් තිබේ. එය සාමාන්‍යයෙන් 2.06 කි. ලංකාවේ ජනගහන වර්ධනය අඩු වීම බොහෝ කලකට පෙර සිට සිදුවන්නක් බවත් එය ගැබ්ගැනීම් බලහත්කාරීව වැළැක්වීම නිසා හටගත් තත්වයක් නොවන බවත් කිව යුතුය. විවාහක හෝ එකට ජීවත් වන ඇතැම්හු ළමයින් හදා ගැනීමෙන් වැළකෙති. එසේම, විවාහ වන වයස් සීමාව ඉහළ යාමත් සමග සහකරුවෙකු/සහකාරියක සොයා ගැනීමේ හැකියාවත්, දරුසරුභාවය පහළ යාමත් සිදුවන අතර, මාස්ශුද්ධිය නතර වීමට පෙර කාන්තාවක් ලැබිය හැකි දරුවන් සංඛ්‍යාව ස්වභාවයෙන්ම අඩු කෙරේ. මීට අමතරව, සමලිංගිකයෝද වෙත්. පවුලක් කුඩා වන තරමට, කෙනෙකුට අත්කරගත හැකි ආර්ථික සහ සමාජ ප්‍රගතිය ඉහළ යයි. ලොකුම සරදම වන්නේ, තමන්ගේ ජාතිය වඳ වී යතැයි බියෙන් පසුවන බොහෝ දෙනා, එක්කෝ අවිවාහක ය. නැත්නම්, දරුවන් නොවදති. එසේත් නැතහොත්, දරුවන් දෙදෙනෙකුට හෝ ඊටත් අඩු ගණනකට සීමා කර ගනිති.

සමාජයක කාන්තාවන් අධ්‍යාපනය ලැබීමේ මාර්ගයට පිවිසෙන විට ඔවුන් විවාහ වන්නේ කල්ගත වී ය. දැන් අපේ කාන්තාවන්ගේ විවාහ වන වයස අවුරුදු 30 කට ආසන්නයි. මේ වයස, දරුසරුභාවය ක්‍රමයෙන් හීනවීමට ස්වභාවයෙන් පටන්ගන්නා වයසයි. ඊටත් අමතරව, ඔවුහූ අද දරුවන් ලැබීමට කලින් ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට බලති. සැමියා සහ බිරිඳ යන දෙදෙනා වැඩට යන විට දරුවන් බලාගන්නේ කවුද? එබැවින් බොහෝ දෙනාට අවශ්‍ය වන්නේ එක දරුවෙකු හෝ වැඩිම වුණොත් දෙන්නෙකි. බොහෝ විට ජාතිය වඳ වීමක් ගැන කෑගසන්නේ මොවුන් ය. මොවුහූ මොන තරම් ආත්මාර්ථකාමීද යත්, තමන්ගේ ආර්ථික සහ සමාජ සුභසිද්ධිය සඳහා තම පවුල් කුඩා මට්ටමෙන් තබා ගැනීමට හැම පියවරක්ම ගන්නා අතරේ වෙනත් සිංහල පවුල් වැඩි වැඩියෙන් දරුවන් වැදිය යුතු යැයි ඔවුහූ කියති.

මෙසේ තිබියදී, කතෝලිකයන් පවුල් පාලනයට විරුද්ධ බවත් අමතක නොකරන්න. අනිත් අතට, දසලක්ෂයකට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක්, තමන්ගේ බිරියන්ගෙන්, සැමියන්ගෙන් වෙන්ව හෝ සමහරවිට විවාහ නොවී මැදපෙරදිග සේවයේ යෙදී සිටිති. මෙයින් සමහර පිරිමි වසරකට වරක් ශුද්ධ වූ මාසයේදී සති කිහිපයකට පැමිණි විට සිය බිරියන් දේවාශීර්වාදයෙන් ගැබ්ගනු ඇතැයි අපේක්ෂා කරති. තවත් කාන්තාවන්, සැමියා දැනුවත්ව හෝ නොදැනුවත්ව, බොහෝ කාලයක් තිස්සේ උපත්පාලන පෙති පාවිච්චි කරති.

මේ සියලු චෝදනා මධ්‍යයේ, මුස්ලිම් රටවල් දෙස බලන විට දක්නට ලැබෙන්නේ ඉතා සරදම්කාරී තත්වයකි. ඉරානයේ දරුසරුභාවය 1.6 කි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 1.7 කි. ලෙබනනයේ 1.7 කි. බහරේනයේ 2.0 කි. එනම්, ඒ සියලු මුස්ලිම් රටවල දරුසරුභාවය ලංකාවේ සිංහලයන්ගේ දරුසරුභාවයට වඩා පහළ මට්ටමක පවතින බවයි. සිංහලයන්ගේ දරුසරුභාවයට සමාන මුස්ලිම් රටක් වන්නේ බංග්ලාදේශයයි. මේ අතර චීනයේ එය 1.6 කි. හොංකොංහි 1.1 කි. ඇමරිකාවේ සහ එක්සත් රාජධානියේ 1.8 කි. අපට වඩා ඉහළ දරුසරු අනුපාතිකයන් හමුවන්නේ අප්‍රිකාවෙනි. එයින් සමහර රටවල් මුස්ලිම් වන අතර තවත් සමහර රටවල් ක්‍රිස්තියානි ය. ඒ සෑම රටකම රෝගී තත්වය සහ මරණ අනුපාතිකය අපට වඩා ඉහළ ය. ආයුෂ අඩු ය. සිංහලයන්ට වඩා දරුසරුභාවය දැකිය හැකි මැද පෙරදිග මුස්ලිම් රටවල්ද තිබේ. උදාහරණයක් වශයෙන්, ඉරාකයේ එය 4.3 කි. එහෙත් ඒ රටවල් තිබෙන්නේ යුද්ධ සහ සමාජ ගැටුම්කාරීත්වයන් මධ්‍යයේ ය. මේ අතර, බෙහෙවින් දියුණු ඊශ්‍රායලයේ දරුසරුභාවය 3.1 කි. සමහර විට ඊට හේතුවී ඇත්තේ, තමන්ගේ ජාතියේ කුඩා බව පිළිබඳ හැඟීමත්, අලුතෙන් අල්ලාගන්නා ප්‍රදේශවල පදිංචි කරවීමට තරම් ජනගහනයක් බෝ කර ගැනීමේ අවශ්‍යතාවත් විය හැකිය.

අප සම්බන්ධයෙන් වන විසඳුම වන්නේ, වර්තමාන 2.1 ට වඩා තරමක් ඉහළින්, එහෙත් අධිකතර නොවන දරුසරුභාව අනුපාතිකයක් පවත්වා ගැනීම කෙරෙහි සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු කිරීමයි. මේ උපාය මාර්ගය සැලසුම් කළ යුත්තේ, ජාතිවාදයෙන් ඔළුව අවුල් කර නොගත් ජනවිකාශ විද්‍යාඥයන්, දරුසරුභාවය පිළිබඳ විශේෂඥයන්, ආර්ථික විද්‍යාඥයන් සහ වෙනත් අදාළ පුද්ගලයන් මිස කිසි ආගමික පූජක පක්ෂයක් විසින් නොවේ. ජන සංහාරය අපේ ප්‍රශ්නයට පිළිතුරක් නොවේ. ඇත්ත වශයෙන්ම අපේ දරුසරු භාවය 1998 දී පැවතියේ 1.9 ක් වශයෙනි. මෑතක සිට එය 2.06 දක්වා වර්ධනය වී ඇත.

මේ අතර ඉහළ දරුසරු ඵලදායී බවක් සුළුතර ප්‍රජාවන් අතරේ දක්නට ලැබීමටත් විවිධ හේතු තිබේ. එකක්, ඔවුන් අතරේත් තිබෙන ජාතිය වඳ වීමේ භීතිකාවයි. දෙවැන්න වන්නේ, වැඩට නොයන කාන්තාවන් බහුල වශයෙන් සිටීමයි. ඊළඟට, ඔවුන් විවාහ වන්නේ අඩු වයසිනි. එසේම, විශාල පවුල් හදාගැනීමෙන් යම් ආකාරයක ආර්ථික හැකියාවක් ඇති කර ගැනීමට ඇති කැමැත්තත් ඒ අතර තිබේ.

ශ්‍රී ලංකාවේ ගබ්සා කිරීම්

ගබ්සාව පිළිබඳව ශ්‍රී ලංකාවේ පවතින නීතිය, ලෝකයේ ඒ අංශයෙන් ඇති වඩාත් දරදඬු එකකි. 1883 දී පනවාගෙන ඇති අපේ දණ්ඩනීති සංග්‍රහයේ 303 වැනි වගන්තියට අනුව, ගබ්සාවට අවසර ලැබෙන්නේ, මවගේ ජීවිතය බේරා ගැනීමේ අවශ්‍යතාව මත පමණි. එසේ නොවන ගබ්සාව පිළිබඳ වරදකට දඬුවම, දඩයක් සහ/හෝ තුන් වසරක් දක්වා වන සිර දඬුවමකි.

මේ නීති එසේ තිබියදීත් ලංකාවේ සිදුවන ගබ්සා සංඛ්‍යාව ඉතා ඉහළ ය. 2016 ප්‍රකාශයට පත් සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවකට අනුව, ලංකාවේ දිනකට ගබ්සා කිරීම් 658 ක් සිදුකෙරේ. එනම් වසරකට ගබ්සා කිරීම් 240,170 ක් පමණ සිදු කෙරෙන බව ය. මේ ගබ්සා කිරීම් සොයා එන බහුතරය, විවාහක කාන්තාවන් ය. ගබ්සාවක් අවශ්‍ය කිරීමේ හේතු වශයෙන් ඔවුන් දක්වන්නේ, කලින් දරු ප්‍රසූතියෙන් කෙටි කාලයක් තුළ ගැබ්ගෙන තිබීම, දුප්පත්කම සහ විදේශ රැකියාවක නියුක්තව සිටීම ආදියයි. වැඩි ඈතක නැති මේ තත්වය තවමත් එසේම විය හැකිය. මේ කාන්තාවන්ගෙන් අතිබහුතරය සිංහල-බෞද්ධ ය. ඉතිං, ජනගහනයේ අඩු වීම අහන්නත් දෙයක් ද? මේ ගබ්සාවන් කරන්නේ කවුරුන්ද? ඒවා කරන්නේ එකී කාන්තාවන්ගේ කැමැත්තට පටහැනිවද? නැත. අද ‘සිංහල ජාතිය වඳවීමක්’ ගැන බෙරිහන් දෙන සිංහල අන්තවාදී ප්‍රසව වෛද්‍යවරුන්ගෙන් ඇතැමෙකු ගාණක් හම්බ කර ගැනීම සඳහා මේ ගබ්සාවන්ට දායක වී සිටියොත් මම පුදුම නොවෙමි.

අපේ ජනගහනය අඩු වී යාමේ තවත් හේතුවක් වන්නේ දරුවන් වැදීමට වඩාත් යෝග්‍යතම වියේ පසුවන කාන්තාවන්ගේ මරණ සංඛ්‍යාවයි: සමස්ත මාතෘ මරණ සංඛ්‍යාවෙන් සියයට 12.5 ක් සිද්ධ වන්නේ, නීති විරෝධී ගබ්සාවන් හේතුවෙනි. එය, ශ්‍රී ලංකාවේ සිදුවන මාතෘ මරණ සංඛ්‍යාවේ තුන්වැනි හේතුකාරකයයි. අධික වශයෙන් කෙරෙන නීති විරෝධී ගබ්සාවන් සිද්ධ වන්නේ ඉතා අයහපත් සෞඛ්‍ය සහ සනීපාරක්ෂක තත්වයන් යටතේ නිසා ඒවා පැලෝපීය නාලයේ ආසාදනයන්ට තුඩුදෙයි. එය, වඳභාවයේ ප්‍රධාන හේතුකාරකයකි.

අපේ ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් ආත්මාර්ථකාමී හේතු පෙරදැරිව වෙනත් රටවලට සංක්‍රමණය වෙති. ඔවුන්ගේ දරුසරු භාවය 2.1 ට අඩු ය. එසේම ඔවුන්ගේ දරුමුණුබුරෝ ජාතියෙන් සහ ආගමෙන් ඈත් වෙති. ඔවුන් ජීවත් වන්නේ වෙනම පරිසරයක සහ වෙනම සමාජ වටපිටාවකයි. ඔවුන්ද, තමන්ගේ ජාතියට සහ ආගමට පිටස්තර අයවළුන් සමග සරණබන්ධනයට පත්වීමේ ඉඩක් තිබේ. ඉතිං, ‘අපේ සිංහල ජාතිය’ ඒ මගිනුත් වඳ වී යන්නේය. එසේ විදේශගත වීමෙන් පසු තමන්ගේ දරුමුණුබුරන් වෙනත් ජාතීන් සහ ආගම්වලට අයත් පුද්ගලයන් සමග සරණබන්ධයන්ට පත්වීමේ තත්වයක් දකින බොහෝ දෙනා අපේ ජාතිය සහ ආගම ආරක්ෂා කර ගැනීමට නිතර කෑකෝගසන පිරිස් අතර වෙති. ඉතිං, අනිත් අයට ඇඟිල්ල දිග් කරන මේ පිරිසම ඒ වරද නොකරන්නෝ ද?

කොටින් කිවහොත්, ජනතාවක් වශයෙන් අප වඩාත් සහේතුක විය යුතුය. ජාතිවාදය අවුස්සන ජාතිය වඳ වීමේ භීතියෙන් ප්‍රයෝජන නොගැනීමට නායකයන් පරිස්සම් විය යුතුය. අවාසනාවකට, බලකාමයෙන් පෙළෙන බොහෝ නායකයන් තාර්කිකව සිතීමේ මොළය වෙනුවට පාවිච්චි කරන්නේ කෙටිකාලීන බල තණ්හාවට සරිලන ආදිකල්පික, ප්‍රාථමික මොළයයි. බොහෝ විට ඒ සඳහා ඔවුන්ට සහාය වන්නේ, ඔවුන් මෙන්ම බලතණ්හාවෙන් පෙළෙන ඊනියා විද්වතුන් ය. පක්ෂපාතී විද්වතුන් කෙරෙහි පරායත්ත වන අපේ නායකත්වයට, මධ්‍යස්ථ චින්තනයෙන් සම්ප්‍රයුක්ත ස්වාධීන විද්වතුන් කෙරෙහි විශ්වාසයක් නැත. ජනගහන පිරමීඩයේ අඩිතාලම, වඳවීමේ ඝෝෂාවෙන්, අහිමි වන දේශයක් පිළිබඳ භීතිකාවෙන් සොලවාලිය හැකි බව ඔවුහූ දනිති. ඔවුන් ආමන්ත්‍රණය කරන්නේ, ඡන්දදායක බහුතරයේ ප්‍රාථමික මොළයටයි. මේ සියල්ල හරහා, බල කෑදර නායකයන්, රාජ්‍යය ශක්තිමත් කිරීමේ මාවතින් බැහැරව පුද්ගල බලයේ දිසාව ඔස්සේ ගමන් කරනු පෙනේ. දේශපාලඥයා සහ රාජ්‍යතාන්ත්‍රිකයා අතර වෙනස මතුවන්නේ එහිදී ය. මැතිවරණ ලඟ එන කාලයක උමතු ජාතිවාදය සහ අන්තවාදය පාවිච්චියට ගැනෙනු ඇත. සිංහල බෞද්ධ ඡන්ද දිනා ගැනීම උදෙසා එය ක්‍රියාත්මක වෙනු දැනටමත් දක්නට ලැබේ. ඊනියා විද්වතුන් සහ ආගමික නායකයන්වත් ඒ සඳහා පාවිච්චියට ගැනෙමින් තිබීම හෝ ඔවුන්ගේමත් විය හැකි න්‍යාය පත්‍ර ඔස්සේ කටයුතු කරනු දක්නට ලැබීම, අවාසනාවකි. අවසානයේ ඒ සියල්ලට වන්දි ගෙවනු ඇත්තේ ජනතාවත්, සමාජයත්, රටත් ය.

2019 ජුලි 16 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Paranoia Of Extinction: The Reality !නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

 

Back to Top