Sri Lanka Brief
පුවත්විවරණමොහොත තීරණාත්මකයි; අප කළ යුත්තේ කුමක්ද? – ජගත් සිරිවර්ධන

මොහොත තීරණාත්මකයි; අප කළ යුත්තේ කුමක්ද? – ජගත් සිරිවර්ධන

by

අප රට අද සේන්දුවී ඇත්තේ ඉතාම තීරණාත්මක දේශපාලන මංසන්ධියකට ය. රට ගමන් කරන්නට යන්නේ ආඥාදායකත්වයක් කරා ද, එසේ නැතහොත් අඩු වශයෙන් අවම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රැකෙන පාලන තන්ත්‍රයක් කරාද යන්න තීන්දු වන්නේ ඉදිරි මාස 10 ක පමණ කාල පරිච්ඡේදය තුළ ප්‍රජාතන්ත්‍රවාදීන් ප්‍රශ්නය තේරුම් ගන්නේ කෙසේද යන කාරණය මතය.
පැහැදිලිවම ආඥාදායක ප්‍රවණතාවයක් හොල්මන් කරයි. බොහෝ ප්‍රජාතන්ත්‍රවාදීන්ට පවා ඒ හොල්මන් පිළිබඳ නිනව්වක් නැත. ඔවුන් උත්සුක වන්නේ තමන්ගේ සංවිධානයේ හෝ පක්ෂයේ ඡන්ද ගණන වැඩිකර ගැනීමටය.

ඒකාධිපතියකු ඉල්ලීම

ආඥාදායක අනතුරුට එරෙහිව ඉදිරි මැතිවරණවලදී පුළුල්තම සන්ධානයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය නොසලකා හැරීමේ වන්දිය ගෙවීමට සිදුවන්නේ මේ රටේ සමස්ත ජනතාවට බව අමතක නොකළ යුතුය. වියත්මඟ හා එළිය යන සංවිධාන වටා රොක් වී සිටින ඊනියා උගතුන් හා චීවරධාරීන් ඇතුළු සියලූ දෙනා ඉල්ලා සිටින්නේ ඒකාධිපතියෙකි. මෙම මනෝභාවය වැඩෙන්නේ මහින්ද රාජපක්ෂය පාර්ශවය හා මෛත්‍රීපාල සිරිසේන පාර්ශවයේ සුරතල් පහස ඇතිව ය. එහෙත් මතු සඳහන් අන්ත වර්ගවාදීන්ට අවශ්‍ය වී ඇත්තේ මහින්ද හෝ මෛත්‍රීට වඩා අශීලාචාර හා මෘග පාලකයෙකි. ඔහු බැරෑරුම් ප්‍රකාශ නිකුත් කරමින් ව්‍යාජ සිනා මූණ ප්‍රදර්ශනය කරමින් ජනතාව අතර ගැවසේ.

මෙම තර්ජනයට එරෙහිව ළඟ එන ජනාධිපතිවරණයේදීත් ඊට පසුව එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදීත් සියලූ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදීන් සියලූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, සියලූ සංශෝධනවාදීන් සමාජවාදී සියලූ දැඩි මතධාරී සමාජවාදීන් ඔවුන්ගේ දේශපාලන පක්ෂ සමඟ මැතිවරණ වලදී පෙරමුණකට එක් විය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදීන් හා සමාජවාදීන් තමන්ගේ න්‍යායික පාරිශුද්ධභාවය හා පතිව්‍රතාව ගැන පොතේ ගුරුවාදී අදහස් දක්වමින් මෙම අනතුර නොසලකා හැරියහොත් අනිවාර්යයෙන්ම පසුතැවීම්ට සිදු වනු ඇත. පැහැදිලිවම දේශපාලන පක්ෂ හා මැතිවරණ දේශපාලනයේ යෙදෙන කණ්ඩායම් අතර සිටින ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදීන් පුළුල් ජාතික මැතිවරණ හා ජනාධිපතිවරණ සන්ධානයකට එක් විය යුතුමය. එය කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ සමාජවාදය පිළිබඳව අතාත්වික බලාපොරොත්තු තබාගෙන නොවේ. හුදෙක් ආඥාදායකත්වය පරාජය කිරීම සඳහාය. එය 2015 දී කර ගත් දෙයට සමාන විය හැක. කමක් නැත! 2015-2018 කාලය තුල පවා අප පෙනී සිටියේ එවැනි දේශපාලනයක් ගොඩ නැගීමට ය.

උනුත් එකයි මුනුත් එකයි

එහෙත් ප්‍රශ්නය එපමණකින් විසදෙන්නේ නැත. බලයට පත්වන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන් ඈත අතීතයේ දී හා මෑත අතීතයේදී කටයුතු කර ඇති ආකාරය අමතක නොකළ යුතුය. 1994දී හා 2015 දී ජනතාව තැබූ බලාපොරොත්තු ඇට්ට කුනාවී ගිය සැටි අමතක නොකළ යුතුය. අද එක්සත් ජාතික පක්ෂය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අදහස අත්හැර ඇති බව ඉතා පැහැදිලිය. ජවිපෙ විසින් ඉදිරිපත් කළ විසිවන සංශෝධන කෙටුම්පතට පවා එම පක්ෂයේ නායකත්වය සහය පලකිරීමට මැළිවේ. වත්මන් රජයේ පාර්ශවයන් දෙකම පසුගිය වසර 4 තුළ කටයුතු කර ඇති ආකාරය මහින්ද රාජපක්ෂ යුගයේ එම ආණ්ඩුවේ හැසිරීමට වෙනස් වන්නේ සුළු වශයෙනි. මෙම රජය විසින් ඉවසා වදාරන මාධ්‍ය නිදහසත්, පැහැරගෙන යාම හා දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කිරීම අත්හිටුවීමත්, උද්ඝෝෂකයින්ට වෙඩි නොතැබීමත් අගය කරමු. එසේම හඳුන්වාදී ඇති ප්‍රගතිශීලී අනපණත් සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමු. ස්වාධීන කොමිෂන් සභා බලාත්මක කිරීම යම් දුරකට සිදුවී තිබීම පසසමු. එහෙත් රටට හා ප්‍රජාතන්ත්‍රවාදීන්ට අවශ්‍ය වී ඇත්තේ එපමණක් නොවේ. සැබෑ යහපාලනයක් අවශ්‍යයි. මාධ්‍යවලට වල්බූරු නිදහස දීම අවශ්‍ය නොවේ. සමාජ සාධාරණත්වය ප්‍රමුඛතාවක් බව පෙන්විය යුතුය.

බලය විසින් දේශපාලනඥයින් දූෂණය කරන අතර සීමාන්තික බලය විසින් ඔවුන් සීමාන්තික ලෙස දූෂණය කිරීම් සිදුවෙයි. රාජපක්ෂ යුගයේ දූෂණ හා අපරාධ සීමා රහිත වූයේ සීමාන්තික බලය, නිසාය. එහෙත් බලය බලය වන නිසාම ඇතිවන සමාජ ප්‍රශ්නයට විසඳුමක් අවශ්‍යය. වඩා හොඳ පාලකයින් පත්කර ගැනීම සඳහා මැතිවරණවලදී කටයුතු කළයුතු වනවා මෙන්ම ඔවුන් බලයට පත්වූ පසුව ඔවුන්ට බලපෑම් කිරීම සඳහා ශක්තිමත් ජාතික ව්‍යාපාරයක් අවශ්‍යය. එනිසා බලය ඉලක්ක කර නොගත් හා පවත්නා මැතිවරණ හා ඡන්ද එකතු කිරීමේ දේශපාලනයට ඔබ්බෙන් ක්‍රියාත්මක වන සමාජ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැඟිය යුතුය.

අවුන් සංසුකීට වූදේ

මියන්මාරයේ නොබෙල් ත්‍යාගලාභී නායිකාවට අවසානයේ දී ප්‍රජාතන්ත්‍ර විරෝධී හමුදා නායකයින් සමග බලහවුල්කාරිත්වයට එළඹීමට හැකි වූයේ එරට ස්වාධීන සමාජ දේශපාලන ජාතික ව්‍යාපාරයක් නොතිබුණු නිසාය. තුන්වන ලෝකයේ බොහෝ රටවලින් මෙම කටුක අත්දැකීමට උදාහරණ සොයා ගත හැකිය. එනිසා මැතිවරණවලදී නරක අඩු පක්ෂ බලයට පත්කිරීමට කටයුතු කරන අතර මතු සඳහන් සමාජ ව්‍යාපාරය ගොඩ නැගීමේ අවශ්‍යතාව අමතක නොකළ යුතුය.

පුළුල් ජාතික සමාජ දේශපාලන ව්‍යාපාරය ගොඩනැගිය හැකි වන්නේ ද ළඟ එන ජනාධිපතිවරණයේදී හා මහමැතිවරණයේදී ආඥාදායක ප්‍රවණතාව පරාජය කළ හොත් පමණි. තමන්ට තනියෙන් ජයගත හැකිය යන අහංකාර සිතුවිල්ල එජාප නායකත්වය විසින් දමනය කර ගත යුතුය. ඒ සඳහා එජාපයට ජනප්‍රිය කෘතහස්ත නිර්භීත වර්ගවාදී හා ආගම්වාදී නොවන පරිනත ලෝක ප්‍රජාවගේ ප්‍රසාදයට හා පිළිගැනීමට ලක් විය හැකි නායකයකු අවශ්‍යය. අප මෙසේ කියන්නේ අප එජාපයට ඇළුම්කරණ නිසා නොවේ. එජාප අමතක කර ආඥාදායක ප්‍රවනතාව පරාජය කළ නොහැකි නිසාය.

මෙම ඓතිහාසික මොහොතේ දී ජවිපෙ විසින් ගොඩනගන ජාතික සංවාදය හොඳ ප්‍රවනතාවයකි. එජාප නායකත්වයට දැනෙන බලපෑමක් එම ව්‍යාපාරයට කළ හැකි වනු ඇත. තනියෙන් බුදුවීමේ එජාප නායකත්වයේ දේශපාලන සේවය කරන්නේ අවසාන විග්‍රහයේදී ආඥාදායක ප්‍රවනතාවයටමය. එජාපයේ ජවිපයේ ද්‍ර.ජා.සං. යේ මුස්ලිම් පක්ෂවල සිවිල් සමාජ සංවිධානවල, කුඩා වාමාංශික පක්ෂවල හා සමාජ මාධ්‍ය ඇසුරේ ගොඩනැගී ඇති තරුණ බලවේගයේ ඡන්ද කුට්ටිය දිනාගත ප්‍රජාතන්ත්‍රවාදී මහා ජාතික දේශපාලන සංවිධානයක් මැතිවරණවලදී අවශ්‍ය වේ. එයින් ස්වාධීනව හා පරිබාහිරව ජාතික සමාජ දේශපාලන ව්‍යාපාරය ගොඩ නැඟිය යුතුය. අපගේ සැබෑ දේශපාලනය ඇත්තේ ඒ තුළය.

(තෙවන ඇස)

Back to Top