Sri Lanka Brief
පුවත්අපට තිබෙන්න වූ ප‍්‍රශ්න විසඳාගැනීමට අපට ඉඩ දෙන්න, ජනපති සිරිසේන එජා මහා මණ්ඩලයට කියයි.

අපට තිබෙන්න වූ ප‍්‍රශ්න විසඳාගැනීමට අපට ඉඩ දෙන්න, ජනපති සිරිසේන එජා මහා මණ්ඩලයට කියයි.

by

 

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප‍්‍රධාන සැසිය අමතමින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කළ කතාව (2018-09-25).

ආදරණීය සභාපතිතුමනී, මහලේකම්තුමනි, සියලුම රාජ්‍ය තාන්ත‍්‍රික නියෝජිතවරුනි, මිත‍්‍රවරුනි,

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වන සමුළුවට සහභාගීවන්නට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස මා මේ වනවිට සිව්වරක් එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා තිබෙනවා. ශ‍්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් වශයෙන් එහි තිබෙන්නා වූ එකඟතාවයන්, ප‍්‍රඥප්තීන්, සම්පූර්ණ වශයෙන්ම අනුගමනය කිරීමටත්, ක‍්‍රියාත්මක කිරීමටත් පූර්ණ වශයෙන් බැඳි තිබෙන රටක්. මා රාජ්‍ය නායකයා වශයෙන් කටයුතු කළ පසුගිය වසර තුනහමාරකට වැඩි කාලය තුළ ශ‍්‍රී ලංකාව ලද ප‍්‍රගතිය, රජයේ දියුණුව පිළිබඳ අද අපට ඉතාමත් සතුටු වෙන්න පුළුවන්. ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වශයෙන් 2015 දී ජනතා මනාපයෙන් මා බලයට පත්වන විට මගේ රටේ විධායක ජනාධිපති ධුරය හෙවත් මා දරන ධුරයේ තිබූ අසීමිත බලතල, රජෙකුගේ බලතලවලට වඩා අධිරාජ්‍යයෙකුගේ බලතල යැයි කියන්න පුළුවන්. මේ යුගය තුළ බලයට පත් වූ රාජ්‍ය නායකයෙක් කළ යුතු පුළුල්තම මෙහෙවර ඉටුකරමින්, රජෙකුගේ නොව, අධිරාජ්‍යයෙකුගේ මෙන් බලයක් තිබූ මා දරන්නා වූ තනතුරේ තිබූ බලතල ඉවත් කර ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට එම බලතල පැවරූ බව මා මෙහිදී සඳහන් කරන්නේ ඉතාමත් සතුටින්.

ගෙවීගිය වසර තුන හමාරක කාලය තුළ මගේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කර තිබෙනවා. මානව හිමිකම් ශක්තිමත් කර තිබෙනවා. මිනිසුන්ගේ නිදහස ශක්තිමත් කර තිබෙනවා. මාධ්‍ය නිදහස පුළුල් ලෙස ශක්තිමත් කර තිබෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය ශක්තිමත් කර තිබෙනවා. මීට වසර තුන හමාරකට පෙර තිබුණ ශී‍්‍ර ලංකාව නොවේ අද තිබෙන්නේ ඊට වඩා වෙනස් වූ මානවවාදී සමාජයක්. පරිපූර්ණ වූ ජන සමාජයක් බව මට මෙහිදී සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම මෙහිදී මා සඳහන් කරන්නට ඕන අපි එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ කටයුතු කිරීමේ දී එහි සාමාජික රටවල් වශයෙන් අපේ තිබෙන්නා වූ වගකීම් සහ යුතුකම් මෙන්ම ලෝකයේ ඇතිවන්නා වූ දේශපාලන ප‍්‍රවනතාවයන්, ආර්ථික අසමානතාවයන්, මනුෂ්‍යත්වයට අභියෝග වන්නා වූ කාර්යයන් පුළුල් ලෙස අධ්‍යනය කිරීමත් ඒවාට මුහුණ දීමත් අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර දේශපාලන ප‍්‍රවණතාවයන් පිළිබඳ කතාකරන විට අද ලොව පුරා සරණාගතයන් විශාල වශයෙන් සිටිනවා. සරණාගතයින්ගේ ප‍්‍රශ්නය ඉතාමත් පුළුල් ප‍්‍රශ්නයක් බව අපි දන්නවා. ඒ නිසා ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊට අයත් රටවල්, ඒ වගේම විවිධ සංවිධාන, ඒ වෙනුවෙන් කරන්නා වූ විවිිධ මෙහෙවරයන් මීට වඩා පුළුල් වියයුතුයි, ශක්තිමත් වියයුතුයි කියා මා විශ්වාස කරනවා. ඒ වගේම ශ‍්‍රී ලංකාව විදේශ ප‍්‍රතිපත්තිය තුළ මධ්‍යස්ථ විදේශ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන රටක්. ශ‍්‍රී ලංකාව නොබැඳි ජාතින්ගේ සංවිධානයේ ජේ්‍ෂ්ඨතම සාමාජිකයෙක්. 1976 ශ‍්‍රී ලංකාවේ දී නොබැඳි ජාතීන්ගේ ඉතාමත් සාර්ථක සමුළුවක් තිබුණා. නොබැදි විදේශ ප‍්‍රතිපත්තිය තුළ ලෝකයේ සෑම රාජ්‍යයක්ම සෑම ජාතියක්ම අපේ මිත‍්‍ර රටක්, සුහදශීලි රටක් ලෙසටයි අපි සලකන්නේ. මා දන්නා පරිදි මේ යුගයේ ශ‍්‍රී ලංකාවට ලෝකයේ කිසිදු සතුරෙක් නොමැති බව මා විශේෂයෙන් සඳහන් කරන්නට ඕන. ඒ පිළිබඳව අපි සතුටුවෙනවා.

ජාත්‍යන්තර දේශපාලන ප‍්‍රවනතාවයන් ගැන කතාකරනවිට විශේෂයෙන්ම පලස්තීන ජනතාවගේ ප‍්‍රශ්නය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ලෝකයේ බලවතුන් දැනට වඩා පුළුල් අවබෝධයකින් කටයුතු කරයි කියලා මා විශ්වාස කරනවා. පලස්තීන ජනතාවගේ විමුක්ති සටනට ශ‍්‍රී ලංකා රජය සෑමදාම සහයෝගය දුන් බව මා මෙහිදී සඳහන් කළයුතුයි. ඒ නිසා ඒ තුළ සිදුවන්නා වූ විවිධ අමානුෂික තත්වයන් සැලකිල්ලට ගෙන පලස්තීන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටින්නට එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, ඒ වගේම සියලුම රාජ්‍යයනුත් දැනට වඩා පුළුල් වැඩ කොටසක් කළයුතුයි කියා මා විශ්වාස කරනවා.

ලෝකයේ තිබෙන අනෙකුත් විවිධ මූලික වූ ප‍්‍රශ්න අතර, දුගී භාවය පුළුල් ප‍්‍රශ්නයක් බව ඔබ අප දන්නවා. දුගීභාවය පිළිබඳව තිබෙන්නා වූ තත්වයන් සැලකිල්ලට ගැනීමේ දී, එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනට වඩා පුළුල් වැඩ කොටසක් ලෝක ප‍්‍රජාව වෙනුවෙන් ඉටු කළ යුතුයි කියා මා විශ්වාස කරනවා. දුගීභාවය පිළිබඳව කතා කරන විට ලෝක ජනගහනයෙන් කෝටි ගණනක් බඩගින්නේ සිටින බව අප දන්නවා. කාලගුණික දේශගුණික විපර්යාස, ආදායම්වල තිබෙන විෂමතාවයන්, සාමාන්‍ය පොදු ජනතාව පිළිබඳ සොයා බැලීම්වල අවම වීම්, පුළුල් ප‍්‍රශ්න බවට පත්වි තිබෙනවා.

ඒ නිසා දුගීභාවය තුරන් කරන්නට, ඒ වගේම කාලගුණික දේශගුණික විපර්යාසවල ඇතිවන්නා වූ ප‍්‍රතිඵලවලදී ආර්ථිකයේ ඇතිවන කඩා වැටීම් තුළ දුගීභාවය වර්ධනය වන්නට හේතුවක් බවට පත්වී තිබෙනවා. කාළගුණික දේශගුණික් විපර්යාස දැඩි ලෙස ඇති රටවල්වල ජන ජීවිතය යථාවත් කිරීම සඳහා සහය දීම උදව් දීම ඉතාමත් අවශ්‍යයි. මෙහිදී මා සඳහන් කරන්නට ඕනෑ ලෝකය වෙළාගත් විවිධ ප‍්‍රශ්න වලදී, දුගී භාවය මූලික වනවා වගේම, අවි ආයුධ ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම , නීති විරෝධී ඖෂධ ජාවාරම අද මානව සමාජයට බරපතළ ප‍්‍රශ්න බවට පත්වි තිබෙනවා.

ඊයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වයෙන් ඇමරිකානු ජනාධිපති ගරු ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ අනුගමනය කිරීමට ඇතිකරගත්තා වූ වැඩසටහන පිළිබඳව අප ඉතාමත් සතුටු වෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය මර්දනය කිරීමට දැනට වඩා පුළුල් වැඩපිළිවෙළක් අපේ මිත‍්‍ර රාජ්‍යයන් සමග එක්සත් ජාතීන්ගේ සංවිධනය ප‍්‍රමුඛත්වය දී ඉටුකළ යුතුයි කියා මා විශ්වාස කරනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල්වල මානව ප‍්‍රජාවගේ මෙන්ම ලෝකයේ සියලුම සත්වයින්ගේ පැවැත්ම, ගහකොළ, ඇළ දොළ, සතා සිව්පාවා, මහ පොළොව, හිරු එළිය ආදිය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී බෑන් කී මූන් හිටපු මහලේකම්තුමාගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රියාත්මක කළ දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සමුළුවේ එකඟතාවයන්, ක‍්‍රියාත්මක කිරීම සඳහා අපි සැම කෙනෙක්ම ඉතාමත් පුළුල්ව කටයුතු කළ යුතුයි කියා මා විශ්වාස කරනවා.

එහිදී ශ‍්‍රී ලංකාව සාමාජික රටක් වශයෙන් මේ කාර්යයන් සඳහා ඉහළම ප‍්‍රමුඛතාවය දි කටයුතු කරන බව සඳහන් කරන්නට ඕනෑ. ඒ වගේම මගේ රටේ මගේ ආදරණීය මාතෘ භූමියේ අභ්‍යන්තර තත්ත්වයන් පිළිබඳව කතා කරන විට මා මුලින් සඳහන් කළ ආකාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස පුළුල් ලෙස ශක්තිමත් කර තිබෙනවා වගේම අවුරුදු 30 කට ආසන්න කාලයක් තිබුණු ත‍්‍රස්තවාදී යුද්ධය පිළිබඳ අවධානය යොමු කිරීමේදී අපේ රටේ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය අවසන් වී දැන් වසර 10 ක් වෙනවා. ඒ අවුරුදු 10 තුළ අපි රට තුළ පුළුල් වෙනස්කම් රාශියක් කර තිබෙනවා.

මගේ රජය ගත වූ වසර තුන හමාරක කාලය තුළ පශ්චාත් යුද සමයක කළයුතු කාර්යයන් පුළුල් ලෙස ඉටු කර තිබෙනවා. ජාතික සමගිය, සංහිඳියාව, නැවත යුද්ධයක් ඇතිවීම වැළක්වීම අරමුණු කරගත් පුළුල් කාර්යයන් අපි ඉෂ්ට කරලා තිබෙනවා. ඉෂ්ට කරමින් සිටිනවා.

අපිට මානව හිමිකම් පිළිබඳ ප‍්‍රශ්නයේදී අපි පුළුල් වගකීම් ඉටුකර සහ ඉටුකරමින් සිටින මේ අවස්ථාවේ සෑම රාජ්‍යයකම මෙන්ම එක්සත් ජාතින්ගේ සංවිධානයේ ද සහයෝගය මම තව තවත් ඉල්ලා සිටිනවා.

ලෝකයේ ඉතාමත් ප‍්‍රබල ත‍්‍රස්තවාදි සංවිධානය තමයි අපේ ආරක්ෂක හමුදාව විසින් පරාජය කරනු ලැබුවේ. ඒ නිසා තමයි අද ශ‍්‍රී ලංකාව බෙදෙන්නේ නැතිව ස්ථීර සාමයක් ඇති රටක් විදියට පවතින්නේ. ශ‍්‍රී ලංකාවේ ස්ථීර සාමයක් ඇති කිරීම සඳහා අපේ ආරක්ෂක හමුදා කරනු ලැබු ඒ යුග මෙහෙවර මෙහිදී මා ගෞරවයෙන් සිහිපත් කරනවා.

යුද්ධය අවසන් වෙලා වසර 10 ක් ගතවන අවස්ථාවක, අලුත් විදියට මාගේ මාතෘ භූමිය දෙස බලන්න කියා මා ඉතාමත් ගෞරවයෙන් යුතුව ලෝක ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

ප‍්‍රබල යුද්ධයක් තිබී එය අවසන් කරන ලද සාමකාමී රටක, ජාතික සංහිඳියාව ශක්තිමත් කරන රටක, ජාතික සමගිය ශක්තිමත් වූ රටක නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට සියලු කටයුතු කර ඇති රටක මානව හිමිකම් පුළුල් ලෙස ආරක්ෂා කරන රටක, ආර්ථික දියුණුව සමෘද්ධිය ළඟා කරගැනීමට ඔබ සියලුදෙනාම අලුත් අදහස් ඇතිව නව සිතුවිලි සමඟ අපට සහයෝග ලබාදෙන්න කියා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

අපේ තිබෙන්නා වූ ප‍්‍රශ්න අපට විසඳාගන්න දෙන්න කියා මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. රටක ස්වාධීනත්වය ඉතාමත් වැදගත්. ඒ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් අප විසින් කරන්නා මානුෂීය මෙහෙවර, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමේ පුළුල් කාර්යයන් සඳහා ඔබ සියලුදෙනාගේම සහයෝගය ඉල්ලා සිටිනවා.

අපිට අපේ ප‍්‍රශ්න විසඳාගන්න අප විසින් කර ඇති වැඩපිළිවෙළ ඉතාමත් වැදගත් වෙනවා. කිසිදු විදේශ බලපෑමක්, විදේශ තර්ජන ස්වාධීන රටක් ලෙස අපට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා අපි සෑම අතින්ම ශක්තිමත් රටක් විදියට සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපට තිබෙන්න වූ ප‍්‍රශ්න විසඳාගැනීමට අපට ඉඩ දෙන්න. ස්වාධීන රටක් විදියට අපේ රටේ අයිතිය තහවුරු කරගෙන ඉදිරියට යන්න ඉඩ දෙන්න.

ඒ නිසා අපි මූලික වශයෙන් මේ තිබෙන තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී ශ‍්‍රී ලාංකිකයින් ලෙස විසදාගත යුතු ප‍්‍රශ්න අප විසින් විසඳාගන්නවා සේම ඒ සඳහා ඔබේ ගෞරවනීය සහයෝගය වශයෙන් ඉල්ලා සිටිනවා. මගේ උතුම් මාතෘ භූමිය තුළ ජීවත්වන්නා වූ ජනතාවගේ සැකය, බිය අවිශ්වාසය තුරන් කරමින් සියලු ජාතින් තුළ ශක්තිමත් සමගියක් ගොඩනගමින් රජය විසින් ගෙනයන වැඩපිළවෙළට ඔබ සෑම කෙනෙකුගේම සහයෝගය අපි ඉල්ලා සිටිනවා.

ශ‍්‍රී ලංකාවේ වගේම ලොව පුරා සිටින දුගී දුප්පත් ජනතාවගේ ප‍්‍රශ්නවලට ප‍්‍රමුඛත්වයක් දීම වැදගත් වෙනවා. නව පරපුරේ සිතුම් පැතුම් සමග ඔවුන්ගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදිය යුතු වෙනවා. මේ සියලු ප‍්‍රශ්න සැලකිල්ලට ගෙන කටයුතු කිරීමේදී ශ‍්‍රී ලංකාව සතුව මහත් වගකීමක් තිබෙනවා.

බුදුන් වහන්සේ දර්ශනය ඇතුළත් ති‍්‍රපිටකයේ සංයුක්ත නිකායේ 36, 06 කොටසේ සල්ල සූත‍්‍රයේ සඳහන් වෙනවා යම් පුද්ගලයෙකුගේ ශරිරයේ උගුලක් හෝ කටුවක් ඇනුනොත් ඒ උල සහ කටුව ඇනීමෙන් ඇතිවන වේදනාව වගේම උලක් සහ කටුවක් ඇනුනා කියා මතක් වන විට ඉන් ඇතිවන කම්පාව තවත් වේදනාවක් බව. ඒ අනුව එය වේදනා දෙකක්, උල ඇනීමේ වේදනාව සහ උල ඇනීම මතක්වීම නිසා ඇතිවන වේදනාව වශයෙන් එය හැඳින්විය හැකියි. ඒ නිසා ඒ සියලු වේදනාවන් උල ඇනුන පුද්ගලයාට දැනෙනවා.

ශ‍්‍රී ලංකාවත් දීර්ඝකාලීන යුද්ධයක අභාග්‍ය සම්පන්න තත්ත්වයකට මැදි වී ඇති වූ වේදනාවන් තුළ දෙයාකාරයකින් යුත් ඒ වේදනාව ශ‍්‍රී ලංකාවේ ජනතාවට දැනෙනවා. වෙනත් අයට නොව රටේ ජනතාවට ඇතිව තිබෙන එම වේදනාවන් සමනය කර සාධාරණ සමාජයක, යුක්තිගරු සමාජයක, මානවවාදය ශක්තිමත් කරන සමාජයක, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් යුග මහෙවරක් කරන උතුම් රටක් ලෙස ආර්ථික සමෘද්ධිය ඇතිව ඉදිරියට යන්න ඔබ සියලුදෙනාගේ සහයෝග දෙන්න කියා ඉල්ලා සිටිමින් මගේ කතාව අවසන් කරනවා.

ස්තූතියි

තෙරුවන් සරණයි.

Back to Top