Sri Lanka Brief
පුවත්විවරණද්‍රෝහීන් හඳුනා ගැනීම: දොස්තර පාදෙනියගේ ලකුණු ක්‍රමය ලැබෙන තෙක් මට නම් ඉස්පාසුවක් නැත – ෂ්‍යාමන් ජයසිංහ

ද්‍රෝහීන් හඳුනා ගැනීම: දොස්තර පාදෙනියගේ ලකුණු ක්‍රමය ලැබෙන තෙක් මට නම් ඉස්පාසුවක් නැත – ෂ්‍යාමන් ජයසිංහ

by

“අප සිටින්නේ අතිශය සංකීර්ණ ක්ෂේත්‍රයක ය. එය සරළව ගැනීම, ලාමකයෙකුගේ සිරිතයි”

ඇවිස්සීමට හේතුව

මම ඇවිස්සී සිටිමි. ද්‍රෝහියෙකු හඳුනාගෙන උගේ දිග පළල මැන ගැනීමේ මාර්ගයක් ළඟදීම අපට ලැබෙනු ඇත: ඒ ඥානය අපට දානය කරනු ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා විසිනි. යම් ස්නායුවේද අධ්‍යාපන අංශයකත් ඔහු සුදුස්සෙකු නොවේද? මගේ ඉමහත් අපේක්ෂාව එයින් තවත් තර වෙයි. මේ යහපත් වෛද්‍යවරයා ඒ සම්බන්ධයෙන් සැබවින් තත්පර වෙතොත්, නොබෙල් තෑග්ගට වුවත් ඔහු සුදුස්සෙකු වනු නියති. කාට නම් එවැනි ඥානයක් අවශ්‍ය නොකරත් ද? ඉතිං, එවැන්නෙකුට නොබෙල් තෑග්ගක් ලැබීම ගැන කවුරු නම් උරණ වන්න ද?

“අපි ලකුණු ක්‍රමයක් හදලා තියෙනවා” යි, වැඩ වර්ජන කිරීම මන රංජනයක් කර ගත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ලේක්හවුස් මාධ්‍යවේදියෙකුට කියා තිබේ. “රටකට ද්‍රෝහී වෙන මිනිස්සුන්ව හඳුන ගන්න ක්‍රමයක් මනෝ චිකිත්සක වෛද්‍ය ක්‍රමය තුළ තියෙනවා. ඒ ද්‍රෝහීන්ගේ ලැයිස්තුව, ඔයගොල්ලෝ පළ කරන දේවල් එක්ක අන්තර්ජාලයේ පළ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට අපිට පුළුවන් ඔයගොල්ලෝ කරන්නේ කාගේ හරි කොන්ත්‍රාත්තුවක් කියන එක රටට පෙන්නුම් කරන්න.”

විය-හැකියාවන් කිහිපයක්

දොස්තර පාදෙනිය මේ කියන්නේ රටකට ද්‍රෝහී වීමක් පිළිබඳවයි. සාමාන්‍යයෙන් ගත් විට, ද්‍රෝහියෙකු යනු රටකට ද්‍රෝහී වන්නෙකු පමණක්ම නොවේ. කණ්ඩායකමට ද්‍රෝහී වීමක්, තවත් පුද්ගලයෙකුට ද්‍රෝහී වීමක් සහ යම් ප්‍රතිපත්තියකට ද්‍රෝහී වීමක් වැනි විවිධ අවස්ථා ඒ සම්බන්ධයෙන් ගෙනහැර දැක්විය හැක. බෲටස්, තම අතිජාත මිත්‍රයා වූ ජුලියස් සීසර්ට ද්‍රෝහී වීම ලෝක ප්‍රකට ය. එය නෛතික අපරාධයක් වශයෙන් ගැනෙන විට හැඳින්වෙන්නේ රාජද්‍රෝහීත්වය යනුවෙනි.

බාල ළමා කාලයේදී අප කා තුළත් එක්තරා ද්‍රෝහීත්වයක් පිළිබඳ නැමියාවක් ඇති බව, ඊඩිපස් සංකීර්ණය නැමැති සංකල්පය තුළ කියැවෙයි. යම් සන්දර්භයක් තුළ ඔබ සහ මා තුළ පමණක් නොව, දොස්තර පාදෙනිය තුළත් මේ නැමියාව තිබිය හැකිය. ඒ පෙළඹවීම ඇති කෙරෙන්නේ මුදල් හේතුකොටගෙන විය හැකිය. නැත්නම් මමංකාරය විය හැකිය. එසේත් නැතහොත්, යම් දෘෂ්ටිවාදයක් විය හැකිය. කොටින්ම, අපේ ජීවිත කාලය තිස්සේ මේ පිළිබඳ අභ්‍යන්තරික අරගලයක අපි නිරත වෙමු. ඉස්කෝලේ යන කාලයේ ගුරුවරයෙකුගේ හෝ විදුහල්පතිවරයෙකුගේ ප්‍රශංසාවක් ලබා ගැනීම සඳහා අප අපේ සගයෙකුව පාවා දිය හැකිය. දේශපාලනික කාර්යයක යෙදෙන වයසකදී මිනිස්සු තමන්ගේ පක්ෂ පාවා දෙති. ලංකාවේ දේශපාලන ඉතිහාසය එවැනි පාවා දීම්වලින් අනූනයි. බොහෝ විට මුදල් හෝ තානාන්තර ප්‍රදානයක් නිසා මමංකාරය කිතිකැවිය හැකිය. මේවා සහ තවත් බොහෝ සාධක නිසා පාවා දීම් සහ ද්‍රෝහීත්වයන් පිළිබඳ විවිධ අවස්ථා නිර්මාණය විය හැකිය. ඒ අනුව, රටකට ද්‍රෝහී වීම යනු, යම් මිනිස් සහජාසයක තවත් එක් දිගුවක් බව පෙනේ.

සාමාන්‍ය ව්‍යවහාරය තුළ ‘ද්‍රෝහියා’

යම් කෙනෙකු, යම් කණ්ඩායමක්, යම් රටක්, යම් දෘෂ්ටිවාදයක් හෝ ඉෂ්ටාර්ථයක් පාවා දෙතැයි සැලකෙන ක්‍රියාවක නිරත වන යමෙකු හැඳින්වෙන්නේ ද්‍රෝහියෙකු වශයෙනි. එසේ වීමට නම් එම පුද්ගලයා කලින් කී කෙනාට, කණ්ඩායමට, දෘෂ්ටිවාදයට හෝ ඉලක්කයට කලක් පක්ෂපාතීව සිටි අයෙකු විය යුතු යැයි සැලකේ. හමුදා නිලධාරියෙකු ස්වකීය බුද්ධි තොරතුරු හතුරෙකුට සැපයීම ඉඳුරා රාජද්‍රෝහීත්වයක් වන්නේය. සමාජවාදියෙකුව සිටි කෙනෙකු ලිබරල් ධනවාදී මතයකට පිවිසීම තවත් ද්‍රෝහීත්වයකි. එවැනි අවස්ථාවල අප ඒ පිළිබඳ විනිශ්චයන්ට පැමිණෙන්නේ, අදාළ කණ්ඩායමේ හෝ ඉලක්කයේ ඉෂ්ටාර්ථයන්ට අනුගතව ය. මේ හැම අවස්ථාවකම ‘ද්‍රෝහියෙකු’ කවුදැ යි නිශ්චය කෙරෙන්නේ, ඔහු කලින් අයත්ව සිටි කණ්ඩායමේ, රටේ හෝ ඉෂ්ටාර්ථයේ අර්ථකථනය මත පදනම් වෙමිනි.

ඉහත දැක්වු නිදර්ශනවල අර්ථකථනයන් පිළිබඳ ප්‍රශ්න තිබේ. උදාහරණයක් වශයෙන් රටකට ද්‍රෝහී වීම හෝ දෘෂ්ටිවාදයකට ද්‍රෝහී වීම පිළිබඳ ප්‍රතිපක්ෂ අර්ථකථන පුරවැසියෙකුට හෝ පාක්ෂිකයෙකුට හෝ තිබිය හැකිය. යාවත්කාලීන නිදර්ශනයක් දක්වතොත්, ආණ්ඩුවේ ප්‍රතිපත්ති දේශද්‍රෝහී ප්‍රතිපත්ති වශයෙන් සැලකීමේ නැමියාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට තිබේ. ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම්වලට පක්ෂ විය හැක්කේ දේශද්‍රොහීන්ට පමණකැයි එම සංගමය සිතයි. එහෙත් අනිත් පැත්තට, මේ ගිවිසුම්වලට පක්ෂ අයවළුන් සිතන්නේ, දීර්ඝ කාලීනව එම ගිවිසුම් හරහා රටට යහපතක්ම වන බව ය. මේ කාරණය අරභයා ආර්ථික විද්‍යාඥයන්ටත් විවිධ මත තිබිය හැකිය. ප්‍රශ්නය වන්නේ, මේ කියන දේශද්‍රෝහීත්වයන් සැබවින්ම එසේ වන්නේද යන්නයි. කොහෙත්ම ඒවා එසේ නොවේ. ඇත්තෙන්ම ගතහොත්, දොස්තර පාදෙනිය අතොරක් නැතිව රෝගීන් බිල්ලට ගෙන වැඩ වර්ජන කිරීම් හරහා රටට ද්‍රෝහියෙකු වන්නේ යැයි කෙනෙකුට තර්ක කළ හැකිය.

මේ කරුණු සියල්ල සැලකිල්ලට ගත් විට, යම් කෙනෙකු ද්‍රෝහියෙකු වශයෙන් හංවඩු ගැසීම මොන තරම් අසම්භාව්‍ය සහ අවිනිශ්චිත ක්‍රියාවක් විය හැකිද යන්න පැහැදිළි වෙයි.

මනෝ චිකිත්සක පර්යාලෝකය

ඉහත සඳහන් කළ ආකාරයෙන් ද්‍රෝහීන්ව හඳුනා ගැනීම සඳහා කෙනෙකුට මනෝ චිකිත්සක ක්‍රමවේදයක් අවශ්‍ය නැත. අවශ්‍ය කරන්නේ, රටක අවශ්‍යතාවන් ඉදිරියේ යම් පුද්ගලයෙකුගේ චර්යාවක් මගින් ඇති කළ හැකි ප්‍රතිවිපාක පිළිබඳ යම් තක්සේරුවක් පමණි. එහෙත් දොස්තර මහතාට අවශ්‍ය කරන්නේ, එවැනි ද්‍රෝහියෙකුගේ මනෝකාය සහ මනස තුළ ඇති යම් සාධක ඇසුරින් එම තැනැත්තාව කල්තියා හඳුනා ගැනීමේ සූත්‍රයක් මනෝ චිකිත්සක වෛද්‍යවේදය තුළ ඇතැයි අපට ඒත්තු ගැන්වීමටයි. ඒ අනුව, කෙනෙකුගේ මනස තුළට කිඳා බැස, ද්‍රෝහීත්වයක අනාගත ඡායාවක් හඳුනාගත හැකි බව ඔහු විශ්වාස කරයි. එවැනි ක්‍රමයක් අප කාටත් මහඟු ඵලදායී දෙයක් විය හැකිය. මන්ද යත්, න්‍යායාත්මකව ගත් විට ඔබටත් මටත් විශ්වාස කළ හැකි අය කවුද, එසේ විශ්වාස කළ නොහැක්කේ කවුද යන්න දැන ගත හැකි වන බැවිනි.

ප්‍රජාපීඩක පාලකයන්ට අගනා ප්‍රවෘත්තියක්

තුර්කියේ එර්ඩොගන් වැන්නන්ට, කාම්බෝජයේ හන්සෙන් වැන්නන්ට සහ උතුරු කොරියාවේ ‘සදාදර නායක’ කිම් ජොන් වැන්නන්ට මෙය අගනා ප්‍රවෘත්තියක් විය හැකිය. අස්ගිරියේ අනුනායක හිමියන් අපේක්ෂා කරන ගෝඨාභය වැනි තද මිනිහෙකු ශ්‍රී ලංකාවටත් ලැබෙයි නම්, එවැනි තත්වයක් තුළ, නිවැරදි ද්‍රෝහියාව හඳුනාගෙන උගෙන් රටට අහිතක් වීමට කලින් රෑකට ගොස් ඌව සුදු වෑන් රියකින් පැහැරගෙන යාමේ හැකියාව අපට ලැබෙනු ඇත. දශක කිහිපයක් ඈතට ගිය විට, අපෙන් අතුරුදහන් කරනු ලැබූ රිචඞ් ද සොයිසා ගැන තවමත් අපි ශෝක වෙමු. මන්ද යත්, ඔහු දේශද්‍රෝහියෙකු නොවූ බැවිනි. ඔහු කෙළේ, ස්වාධීන චින්තකයෙකු වශයෙන් මානව හිමිකම් පිළිබඳව පෙනී සිටිමින් ශිෂ්ට සම්පන්න පුරවැසියෙකු වීම පමණි. මහජන සුභ සිද්ධිය තකා, ඇමතිවරුන්ගේ දුෂ්චර්යාවන් හෙළිදරව් කළ ‘සන්ඬේ ලීඩර්’ කර්තෘ ලසන්ත වික්‍රමතුංගත් එසේමයි. රිචඞ් සහ ලසන්ත, ඔබ සහ මා මෙන්, රටට ආදරය කළ සැබෑ පුරවැසියන් දෙන්නෙකි.

මිනිස් සන්තානයේ අඳුරු අහුමුළුවලට වැදීම දුෂ්කර ය

“දශක ගණනාවක් තිස්සේ කළ කොතෙක් පර්යේෂණ තිබුණත්, අපේ මොළේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අප සතු දැනුම තවමත් අල්ප” බව, කාර්නගී මෙලන් විශ්ව විද්‍යාලයේ ස්නායු-ඥානන විෂය පිළිබඳ මහාචාර්ය මාලෙන් බෙර්මාන් කියයි. අක්මාව සහ වකුගඩු ආදී අපේ වෙනත් අවයව පිළිබඳ හසල දැනුමක් විද්‍යාඥයන්ට ඇතත්, මොළය සහ සිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අප සතු දැනුම තවමත් ඉතා අල්ප ය.

සාක්ෂි දෙන අවස්ථාවකදී බොරු කියන කෙනෙකු හඳුනා ගැනීමේ විෂයමූල සංඥා පිළිබඳව අප අසා තිබේ. ‘මුසා අනාවරකය’ නැමැති උපකරණයක් ඒ අනුව නිර්මාණය කොට ඇත. ඒ අනුව, කෙනෙකු බොරුවක් කියන විට හඳුනා ගැනීමේ සහතික ලක්ෂණ කිහිපයක් ප්‍රචලිතයි. ඒවා නම්:

1 කට වසා ගැනීම
2 එකම දෙයක් නැවත නැවතත් කීම සහ පමණට වඩා තොරතුරු ඉදිරිපත් කිරීම
3 පලා යාමේ මගක් සැකසීම
4 වචන සහ ශරීර භාෂාව අතර පෑහීමක් නොවීම
5 හුස්ම ගැනීමේ වේගය වෙනස් වීම
6 ඇස්වල ක්‍රියාකාරීත්වයේ සාමාන්‍ය ස්වභාවය වෙනස් වීම
7 ආක්‍රමණශීලී වීම
8 ඇඹරීම

මෙය පවා විවිධ ප්‍රශ්නවලට භාජනය වී ඇති අතර විවිධ ප්‍රායෝගික අභියෝගයන්ට ලක්ව තිබේ. එසේම මෙහිදී කෙරෙන්නේ ක්‍රියාව කරන අතරේ එය හඳුනා ගැනීම මිස ඊට කලින් එය හඳුනා ගැනීම නොවේ. එසේ නම්, ද්‍රෝහීන්ව කල්තියා හඳුනා ගැනීමේ පාදෙනියගේ ක්‍රමය සාර්ථක විය හැක්කේ කෙසේද? එය විෂයබද්ධ ක්‍රමවේදයක් විය හැක්කේ කෙසේද? එවැන්නක් තුළින් මතුවිය හැකි විවිධ ප්‍රශ්න රාශියක් කෙනෙකුට ගෙනහැර දැක්විය හැකිය.

රාජද්‍රෝහීත්වය පිළිබඳ පර්යේෂණ

“ගැටුම, රාජද්‍රෝහීත්වය සහ ත්‍රස්තවාදය: මනෝචිකිත්සක අවබෝධයක් සඳහා වන ප්‍රයත්නයක්” නැමැති නිබන්ධනයේදී, හුම්බෙර්තෝ නගේරා (එම්.ඩී) මෙසේ කියයි:

“රාජද්‍රෝහීත්වය පිළිබඳ විෂය සම්බන්ධයෙන් මනෝ චිකිත්සක සාහිත්‍යය තුළ යොමු වී ඇති අවධානය ඉතා අල්ප ය. සමහර විට ඊට එක හේතුවක් විය හැක්කේ, අප සෑම කෙනෙකු තුළම, අපව බිය වද්දන සහ ලජ්ජාවට පත්කරන, ‘පුංචි ද්‍රෝහියෙකු’ සිටීම විය හැකිය.”

මිනිසා වූ කලී, අත්‍යන්තයෙන්ම ස්වාර්ථකාමී ය. මුදල් හෝ තාන්නමාන්න නිසා ඔහු හොර රහසේම අනිත් පැත්තට පැනිය හැකිය. ඊට ඕනෑ තරම් උදාහරණ ලංකාවේ දේශපාලනයෙන් සොයා ගත හැකිය. මගේ ප්‍රශ්නය වන්නේ, දොස්තර පාදෙනියගේ ලකුණු ක්‍රමය මේ කියන මිනිස් සහජාසයන් සමග ඒකාබද්ධ නොවන්නේද යන්නයි. එසේ වන්නේ නම්, එවැනි ක්‍රමයක ඇති ඵලය කිම?

දෙවැනුව, යමෙකු ද්‍රෝහියෙකු වීමේ අනාගත ශක්‍යතාවයෙන් යුක්ත යැයි කී පමණින් එම තැනැත්තා ඇත්තෙන්ම එවැනි ක්‍රියාවක නියැලේදැ යි නිශ්චිතව කිව හැක්කේ කෙසේද? එවැනි ශක්‍යතාවක් ඇත්තෙකු වුවත් සැබවින්ම එම ක්‍රියාව නොකර සිටීමේ හැකියාවෙන් යුක්ත නම්, මෙවැනි සූත්‍රයකින් ඇති ප්‍රයෝජනය කුමක් ද? එසේම, කෙනෙකු ද්‍රෝහී ක්‍රියාවක් කිරීමට කොතෙක් දුරට සූදානම් දැයි අප දැනගන්නේ කෙසේද?

නිගමනය

ද්‍රෝහිත්වයේ මනෝ විද්‍යාව පිළිබඳ මගේ කියැවීම තුළ හමු වූ ක්‍රමවේදී දුෂ්කරතා තව බොහොමයකි. දොස්තර පාදෙනියගේ සූත්‍රය මොන වගේ දෙයක්දැ යි, ඒ නිසා සාමාන්‍ය පාඨකයාට වැටහෙනු ඇත. අප සිටින්නේ ඉතා සංකීර්ණ ක්ෂේත්‍රයක ය. එම තත්වය සරළව ගැනීමට බැලීම ලාමක ක්‍රියාවකි.

(2018 අගෝස්තු 17 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවු Identifying Traitors: I Cannot Wait Until Dr. Padeniya Presents His Point Scheme 
නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.)

Back to Top