Sri Lanka Brief
පුවත්ෂැංග්‍රී-ලා හෝටලේ සොමිය/ 2020 ප්‍රජාපීඩකයෙක් සහ ගෝත්‍රික නායකයෙක් – සරත් ද අල්විස්

ෂැංග්‍රී-ලා හෝටලේ සොමිය/ 2020 ප්‍රජාපීඩකයෙක් සහ ගෝත්‍රික නායකයෙක් – සරත් ද අල්විස්

by

“ලෝකයේ ආත්මය වන ඒ මහාධිරාජයා තම රාජ්‍යෝදය නැරඹීමට නගරයෙන් පිටතට යනු මම දුටුවෙමි. ලෝකය අරක්ගෙන සිටින අතරේ, අශ්වයෙකු පිට නැගී එක ඉරියව්වක් වෙත දෑස් යොමාගෙන යන එවැනි පුද්ගලයෙකුගේ රුව දැකීම සැබවින්ම මන බන්දනීයයි.”

ජෙනා නගරයේ සුදු අසෙකු පිට නැගී යන නැපෝලියන් බොනපාට් ගැන මහා දාර්ශනික හේගල් ප්‍රකල්පිත වුණේ එලෙස ය. විසි වැනි සියවසේ දාර්ශනිකයෙකු වන ඇලෙක්සැන්ඩර් කොජේව් අර මහා ප්‍රාඥයාගේ කාර්ය භාරය ගැන විචාරයක් කරමින්, එය දර්ශනවාදයේ අවසානය වශයෙන් හැඳින්වීය.

ෂැන්ග්‍රී-ලා හෝටලයේ ධර්මාසනය මත ගෝඨාභය සිටිනු මම දුටුවෙමි. එය අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය නොවේවා ය යන්න මගේ පැතුමයි. වැඩකාරයන් යැයි ගැනෙන මිනිසුන් බොහෝ විට මිනිස් වර්ගයාට අනතුරකි.

මෙය, ෂැන්ග්‍රී-ලා හෝටලයේ සොමිය ගැනයි. තමා දේශපාලඥයෙකු නොවන බව ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශයට පත්කළ ඒ මාහැඟි අවස්ථාව ගැනයි. අපව හතර වටේ කරකවා අතහැර තිබෙන පවතින නරුම විකල්පය වෙනුවට තමා විකල්පය වන බව, ඔහු ප්‍රකාශයට පත්කළ ඒ අවස්ථාව පිළිබඳවයි.

‘වසර 2030 වෙනකොට චීනය ව්‍යාප්ත වෙනවා. ඇමරිකාව දෙවැනි තැනට පත්කරමින් ඇමරිකාවේ ආර්ථිකය වගේ දෙගුණයක් විශාල වෙනවා. එදාට ඉන්දියාව තුන්වැනි විශාලතම ආර්ථිකය වෙනකොට, ජපානය සහ ඉන්දුනීසියාව හතරවැනි සහ පස්වැනි ලෝක ආර්ථිකයන් බවට පත්වෙනවා. 2030 වෙනකොට ශ්‍රී ලංකාවේ සූදානමක් නොතිබුණොත්, රට දියුණු කරන්න තියෙන අර අවස්ථාව අල්ලා ගන්න අපට බැරි වෙනවා.”

මොන තරම් සාරගර්භ ප්‍රකාශයක් ද/ ඒත් එක් පරහකට ඇත්තේ, 2030 සඳහා අපේ රට සූදානම් කිරීම සඳහා තමා යෝජනා කරන්නේ කුමක්දැ යි ඔහු නොකීමයි. එසේ කරන්නේ, 2020 දී ඔහුව මේ රටේ ජනාධිපති වශයෙන් පත්කර ගැනීමෙන් ද?

එය ඔහු කෙලින් කීවේ නැත. එහෙත් එය ඇඟවීමට හොඳටම වගබලා ගත්තේය. මේ ලියුම පදනම් වන්නේ ඒ කාරණය මතයි. ලෝක ආර්ථිකයේ කේන්ද්‍රීය ගුරුත්වාකර්ෂණය විතැන් වීමෙන් විවර වන කවුළුව ශ්‍රී ලංකාව අල්ලා ගත යුතුව ඇති බව ඔහු සිය ශ්‍රාවකයන්ට කීවේය. ඔහුගේ මහා න්‍යායයේ සාරය එය නම්, එම කවුළුව ලංකාව වෙනුවෙන් ඇර ගත යුතුව ඇති බව ඔහු පිළිගත යුතුය. එසේ නොමැතිව, වැඩිමල් සහෝදරයාගේ පාලන කාලය තුළ මහා බලසම්පන්න නූල් සූත්තරකාරයා වශයෙන් සිටියදී කළා සේ එම කවුළුව වසා තබා ගැනීමට දත්මිටි නොකෑ යුතුය.

ඔහු බලයේ සිටි කාලයේ අන්තර්ජාලය නිදහස්ව නොතිබුණි. ඔහුගේ දොරටුපාලයෝ ඒවා හැකි තාක් යටිකූට්ටුවෙන් මෑනවීමට වලිකෑහ. දැනුම මත පදනම් වූ ආර්ථිකයක ඇති වාසිය ගැන දැන් ඔහු කතා කරයි. ඔහු පාලනයේ සිටි කාලය සහ පාලනයෙන් බැහැරව සිටි කාලය අතරවාරයේ පුද්ගල පුනරුත්ථාපන විද්‍යාලයක තමා ශාස්ත්‍රය හැදෑරූ බවක් මේ දේශනාවේදී ඔහු වදාළේ ද නැත.

නිසි මාත්‍රාවෙන් අනුනාද දෙමින්, අව්‍යාජ විශ්වාසයක් යැයි පෙනෙන (අපි එසේ සිතමු) ධාරණාවක් අතරේ නිසි විරාම තබමින්, මේ ගෝඨාභය රාජපක්ෂ ලෝකය පිළිබඳ ස්වකීය සංජානනය පැහැදිළි කෙළේ මෙසේ ය:

“අපේ ස්වෛරීත්වය ආරක්ෂා කරගන්න අතරේම, අපේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කරගන්න අතරේම, අපි අපේ ආර්ථිකය විදේශ ආයෝජකයන්ට විවෘත කරනවා. ඉස්සර වගේම දැනුත් තියෙන ආර්ථික ප්‍රතිපත්ති සමාලෝචනය කරලා දියුණු කර ගන්නවා. ආර්ථිකයට හානි කරන ප්‍රතිපත්ති අහක් කරනවා.”

ගෝඨාභය නැමැති ජනාධිපතිවරයෙකු යටතේ අපේ ඇස් ගෙඩි ඉදිරියේ ප්‍රාදුර්භූත වීමට නියමිත අගාධය ඇත්තේ එතැන ය. ඔහු නූතනයෙකි. එසේම, නූතන-විරෝධියෙකි. විශ්වදේශ ආර්ථිකයක් ගැන එක පැත්තකින් දෙසන කරන අතරේ, අනිත් පැත්තෙන් අනිථි-භීතිකා (විදේශිකයන් නුරුස්සන) දේශපාලනයත් අගේට භාවිත කරයි.

සිංහලෙන් මනාව සූදානම් කොට තිබූ ඒ කතාව අපේ මතකයට නැංවූයේ පිළිකුල් සහගත තවත් කර්නල්වරයෙකු සහ ද්විත්ව පුරවැසියෙකු පිළිබඳ කල්පනාවකි. ඒ, ඇඩොල්ෆ් හිට්ලර් ය. ඔහු එක පැත්තකින් ඕස්ටි්‍රයානු ජාතිකයෙකු වූ අතර තවත් පැත්තකින් ජරමානු ජාතිකයෙකු ද විය. ගෝඨාභයත්, ඔහු සේම, භීතිය හසුරුවා ගැනීමේ ගජ හපනෙකි. අයියාගේ පාලන කාලයේ රටේ සිටි බියකරුම පුද්ගලයා බවට ඔහු පත්වුණේ එබැවිනි. දැන් තමාගේම තනි නායකත්වය යටතේ ඒ භීතිය රජ කැරැවීමට ඔහු මානබලයි.

මේ කතාවේදී ඔහු බොහෝ දේවල් රටට පොරොන්දු විය. ආර්ථික විද්‍යාව නැමැති විෂයයකුත් ඔහුට හමුවන්නේ එහිදී ය. මැද පංතියට, ඔහු නීතිය හා සාමය පොරොන්දු විය. ෂැන්ග්‍රී-ලා සොමියේ ඉදිරිපෙළේ අසුන්ගෙන සිටි ධනපති ව්‍යාපාරිකයන්ට, ඔහු ශක්තිමත් නායකත්වයක් පොරොන්දු විය. කර්මාන්තකරුවන්ට සහ ව්‍යවසායකයන්ට ඔහු විනයගත වෘත්තීය සමිති ජාලයක් පොරොන්දු විය. විරෝධතාකරුවන්ගෙන් තොර පාරවල් පොරොන්දු විය. අවනතව වැඩ කරන රාජ්‍ය නිලධාරී තන්ත්‍රයක් පොරොන්දු විය. මේ අතර, සංඝ සාසනයේ උදාර අනුග්‍රාහකයෙකු වීමට ප්‍රතිඥා දුන්නේය. විශ්‍රාමික ලුතිනන් කර්නල් සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා දැන් වියත් ශාස්තෘවරයෙකුගේ වේශයෙන් රටේ ප්‍රධාන පුටුවට ඉව කරන්නේ ඒ ‘පැකේජය’ හරහා ය. මේ දේශපාලනික දේවධර්මය අළුයම ලූ කෙල පිඩක් සේ බැහැර කළ යුතුව තිබේ.

සැබවින්මත්, නිසැකවමත් ඔහු භයානක ය. ඔහුගේ ආධානග්‍රාහය ව්‍යාජ එකක් නොවේ. ඔහු වනාහී, මාංස-භක්ෂකයෙකුගේ වන් කුසගිනි ආශාවක් සහිත ශාක-භක්ෂකයෙකි.

“රටට ආදරේ කරන්න. රටේ අනාගතය වෙනුවෙන් ඔබට කළ හැකි දේ කරන්න. අනාගතය තියෙන්නේ අපේ අතේ.”

මේවා උදාර හැඟීම් බවට සැකයක් නැත. එහෙත් ඒ ආශ්‍රයෙන් දැන් අප එළැඹෙන්නේ මැඩලිය නොහැකි බාධකයක් අභමුවට ය. අපේ රට යනු කුමක්ද? එය, බලය සහ සම්පත් සඳහා විවිධ කණ්ඩායම් තරග කරන බහු-වාර්ගික, බහුත්වවාදී, ප්‍රජාතන්ත්‍රවාදයක් ද? නැත්නම්, තෝරා ගත් ගෝත්‍රයක වාසභූමියක් යැයි ගත් මිථ්‍යාවක් මත සිටුවා ඇති බහුතරවාදී ස්මාරකයක් ද?

අපේ සමාජය පාලනය විය යුත්තේ එකඟත්වයෙන් යුත්, පිළිගත් නීති මාලාවක් මගින් ද, එනම්, අපේ පාලකයනුත් අනුගත විය යුතු නීති මාලාවක් මගින් ද? නැතහොත්, සමස්ත ක්‍රමය හසුරුවනු ලබන නායකයෙකු, එම ක්‍රමයට ඉහළින් යා හැකි නායකයෙකු, තමා තීන්දු කරන ‘පොදු යහපතක්’ සඳහා එම ක්‍රමය අත්තනෝමතිකව අත්හිටුවන නායකයෙකු බලයට පත්කර ගැනීමෙන් ද?

සොක්‍රටීස් මේ ප්‍රශ්නය හඳුනා ගත්තේය. චිත්‍ර ශිල්පියෙකුට සපතේරුවෙකු, වඩුවෙකු හෝ වෙනත් ඕනෑම එවැනි කෙනෙකු ලස්සණට ඇඳිය හැකිය. එහෙත් ඒ ඒ අයගේ සපත්තු මැසීම හෝ වඩුවැඩ හෝ ගැන කිසිවක් චිත්‍ර ශිල්පියා දන්නේ නැත. අපේ වෙන්ඩ-ජනාධිපති දැන් එවැනි චිත්‍ර ශිල්පියෙකු වී ඇත.

රාජ්‍ය අංශයේ පවතින දූෂණය මහා හෙනයක් වී ඇති බව ගෝඨාභය කීවේය. ඒ දූෂණය නිසා ආර්ථික සංවර්ධනය ඇනහිටින බවට නාහෙන් ඇඬුවේය. මේ වනාහී, තම දෙමාපියන්ගේ සොහොන් ස්මාරක බැඳීමට මහජන දේපල අවභාවිත කළ සහ පරණ මිග් යානා ගනුදෙනුවක් සඳහා වැඩිපුර ඩොලර් මිලියන 7 ක් මහජන මුදලින් නාස්ති කළ පුද්ගලයෙකුගේ ශ්‍රී මුඛයෙන්ම පිට වන විචිත්‍ර ධර්ම දේශනාවක් වීම මොන තරම් චමත්කාර ජනක ද/

ඒකාධිපතියෝ පස්ස දොරෙන් නොඑති. බොහෝ විට ඔවුන්ව පත්කර ගනු ලබන්නේ ඡන්දයෙනි. ඉතිං, ප්‍රධාන දොරටුවෙන්ම ඇතුල් වන ඒකාධිපතියන්ව නමස්කාරකපූර්වක පුරවැසියෝ කරේ තියාගෙන යති. එසේ වන්නේ, ඡන්දයෙන් තෝරා පත්කර ගත් ආණ්ඩුවක උදාසීනත්වය සහ අකාර්යක්ෂමතාව නිසා ජනතාව හෙම්බවත්ව සිටින බැවිනි.

ගෝඨාභය රාජපක්ෂ දැන් එමින් සිටින්නේ 2020 ජනාධිපති ධුරයට ඉව අල්ලමිනි. තමාගේ පළපුරුද්ද සහ විශේෂඥතාව වන භීතිකාව කළමනාකරණය කර ගැනීමේ ශූරත්වය, ෂැන්ග්‍රී-ලා හෝටලයේ පැවති ‘වියත් මග‘ පර්ෂදය හරහා ඔහු මනාව විශද කෙළේය. මේ සොමියට, වෙළඳාමේ, කර්මාන්තයේ සහ මූල්‍ය ව්‍යාපාරයේ නමක් ඇති හැම කෙනෙකුම ආකර්ශනය කර ගැනුණි. ඔවුන් එහි ආවේ ඇයි? උපක්‍රමික ඉවසීමෙන් යුතුව, මවා ගත් අවධානයෙන් යුතුව, ඒ ක්‍රියාවලියේ පංගුකාරයන් වුණේ ඇයි?

ප්‍රකෝටි සංඛ්‍යාත ග්‍රාහකයන් ඇද බැඳ ගත් ‘මූණු පොත’ ලොවට හඳුන්වා දෙමින් ප්‍රකෝටි ගණනින් ධනය උපයා ගැනීමට මාක් සුකර්බර්ග් නැමැති පොඩි කොල්ලෙකුට හැකි වුණේ කෙසේද යන්න දැන ගැනීමට ඔවුන් එහි ගියා නොවේ. ඉදිරි දශකය හෝ දෙක ඇතුළත ලෝක ආර්ථිකයේ මධ්‍ය කේන්ද්‍රය චීනය සහ ඉන්දියාව අතර පිහිටන්නේ කෙසේද යන්න දැන ගැනීමට ඔවුන් එහි ගියාත් නොවේ. මේ අන්තර්ජාල යුගය තුළ එවැනි මනස්ගාත කෙරෙහි, ජන්ම මුග්ධයෙකු හෝ ආතක්පාතක් නැති එකෙකු මිස, වෙන වසඟ වන කිසිවෙකු නැත.

ඔවුන් එහි ආවේ, මේ වෙන්ඩ-ජනාධිපති කෙරෙහි ඇති පක්ෂපාතීත්වය ප්‍රකාශයට පත් කිරීමට නොවේ. ඔවුන්ගේ ව්‍යාපාරික ක්ෂේත්‍රවල මුදුනට ඒම සඳහා ඔවුන්ට ඉවහල් වූ පරෙස්සම සහ පෙරදැක්ම මගින් අනන්තවත් ඔවුන්ට කියා දී ඇති පරිදි, අවනත භාවය ප්‍රදර්ශනය කිරීම ඇඟට ගුණ බැවිනි.

වෙළඳාමේ, කර්මාන්තයේ සහ මූල්‍ය ව්‍යාපාරයේ මේ තීරක පිරිස තමාගේ ජනාධිපති සැණකෙළියට නම්මවා ගැනීමෙන් ඔහු එක්සත් ජාතික පක්ෂයට, එනම්, මෙතෙක් ධනවතාගේ සහ ඇති-හැකි එකාගේ උපවිඥානයට සම්ප්‍රදායිකව ආමන්ත්‍රණය කර ඇති පක්ෂයට එල්ල කොට ඇත්තේ මරු පහරකි.

ජාතිකවාදය සහ ආර්ථික පුනර්ජීවනය නමින් වෙස්වළාගෙන 21 වැනි සියවසේ ප්‍රජාපීඩක රාජ්‍ය තන්ත්‍රයන් කරළියට එන හැටි, හාර්වඞ් සරසවියේ ඉතිහාසඥයෙකු වන තිමොති ස්නයිඩර් විස්තර කොට තිබේ. එම ක්‍රියාවලිය ඇරැඹෙන්නේ, සංවර්ධනය යනු කවරේදැයි පැහැදිළි කර දීමේ ඒකාධිකාරි අයිතිය තමන් සතු කර ගැනීමට වාචාල නායකයන්ට අප ඉඩ හැරීමත් සමග ය. පිරිසිඳ බැලිය හැකි යථාර්ථයත් අභියෝගයට ලක් කිරීමේ මනා නිපුණත්වයක් ඒ වාචාලයන්ට තිබේ.

වාචාල නායකයා පාර්ලිමේන්තු විපක්ෂයක ඇති මායාව අවධාරණය කරයි. ඊටත් වඩා, අන්තවාදී නොවන භාෂාවක් මත යැපෙන එම පුද්ගලයා, ඒ තරමටම මර්දනකාරී ආයතන මතත් විශ්වාසය රඳවයි. එහිදී, දකුණු කොරියාව, චීනය සහ ඉන්දුනීසියාව ඉහත කී ඉතිහාසඥයාගේ විශේෂ සැලකිල්ලට යොමු විය. ඉන්දියාව එන්නේ ඉන් පසුව ය. ජපානයත් ඊට ඇතුළත් මුත්, අවධාරණය කෙරෙන්නේ නැත.

ඉහත කී රටවල් තුන ආර්ථික සංවර්ධනය අත්කරගෙන ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් යටතේ ද? අවාසනාවකට, නැත. ආර්ථික සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදය සමග අත්වැල් බැඳගෙන යන්නේ නැත. ඉහත කී නැගෙනහිර ආසියාතික රටවල් අපට කියා දෙන කතාන්තරය වන්නේ, ඒ රටවල්වල මර්දනකාරී සංවර්ධන මාදිළි තුළට ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් සහ හර පද්ධති උකහාගෙන ඇත්තේ ආර්ථික වර්ධනය හරහා බවයි. එය, ඉතා පීඩාකාරී ක්‍රියාවලියකි.

අලෙවිකරණ හෙංචයියන් සහ මොසාඞ් අනුග්‍රාහක සිංගප්පූරු උපදේශකයා සැකසූ ඒ පණ්ඩිතමානී දේශනාව තුළ ගෝඨාභය රාජපක්ෂ වසං කළ එක දෙයක් තිබේ. එනම්, නැගෙනහිර ආසියානු යෝධ ආර්ථිකයන් තුළ ඇති ප්‍රජාතන්ත්‍රවාදය, ඒ රටවල ඒකාධිපතියන් මත පැටවුණු ප්‍රතිපත්තිමය තේරීම් හරහා පමණක්ම ඇති වූවක් වන බව නොකීමයි.

එහිදී, මේ අන්තරීක්ෂය වෙත තමන් ළඟා වුයේ කෙසේද යන්න ගෝඨාභය රාජපක්ෂ අමතක කොට තිබේ. සර්වජන ඡන්ද බලය හරහා ඔහුගේ මහප්පාට- ඩී. ඇම්. රාජපක්ෂට- රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ ගොවි ජනතාව නියෝජනය කිරීමට ලැබුණු වරමට පිංසිදු වන්නට ය.

අවුරුදු තුනකටත් වැඩි කාලයක් තිස්සේ ජාතිවාදීන් පිනවීම සඳහා වර්තමාන පාලකයෝ ස්වයං-නාශක ක්‍රියාවලියක නිරතව සිටිති. එහිදී ලිබරල් බලවේග දුර්වල කෙරුණු අතර, 2015 ජනවාරියේ විවර කර දුන් පෙර නොවූ විරූ ඒ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය නාස්ති කරගත්හ. දූෂණ සහ වෙනත් අපරාධ පිළිබඳ පරීක්ෂණ කඩිනම් කිරීමට අසමත් වීම නිසා අවසානයේ ජාතක කොට ඇත්තේ ෆැසිස්ට්වාදියෙකුව ය.

මෙරටේ වෙසෙන අති මහත් ජනතාව ආර්ථික සමෘද්ධිය ඉල්ලා සිටිති. ඒ ගැන සැකයක් නැත. එසේ වෙතත්, වංචාකාරී මනෝරාජ්‍යයක් වෙනුවෙන් තමන්ගේ ස්වාධීන චින්තනය හුවමාරු කර ගැනීමේ ගනුදෙනුවකට ඔවුන් කිසි සේත් සූදානම් නැත.

(2018 මැයි 18 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ සහ මැයි 20 වැනි දා ‘සන්ඬේ ඔබ්සර්වර්’ පුවත්පෙත් පළවූ Shindig at the Shangri-la (iy) A Tyrant & A Tribal Leader in 2020 නැමැති ලිපි දෙකේ මිශ්‍ර පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.)

 

Back to Top