Sri Lanka Brief
පුවත්විවරණශ්‍රී ලංකාව: ජනාධිපතිතුමනි, මැලේසියාවේ මහතීර්ගෙන් ඉගෙන ගන්න – රාජන් පිලිප්ස්

ශ්‍රී ලංකාව: ජනාධිපතිතුමනි, මැලේසියාවේ මහතීර්ගෙන් ඉගෙන ගන්න – රාජන් පිලිප්ස්

by

ජායාරූපය: හිටලු මලයාසියනු අගමැති 92 හැවිරිදි වියෙහිදී යළි බලයට පත්ව්මෙන් පසු (C) Photo: Getty්‍

තමා දේශපාලනයෙන් විශ්‍රාම නොගන්නා බවට පසුගිය මැයි 7 වැනි දා ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ආතක්පාතක් නැති කතාවකි. දේශපාලනයෙන් විශ්‍රාම ගන්නැයි කිසිවෙකු ඔහුගෙන් ඉල්ලා නැත. කවුරුත් ඉල්ලා සිටින්නේ, විධායක ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගන්නා ලෙසයි. 2015 ජනවාරි මාසයේ මේ රටේ ජනාධිපති පදවියට පත්වන අවස්ථාවේ ඔහු රටට පොරොන්දු වුණේත් එයයි.

පාර්ලිමේන්තු ක්‍රමයක් තුළ, අගමැති වීමේ වාර ගණනට සීමාවක් නැත. මැලේසියාවේ මහතීර් මොහොමඞ් විශ්‍රාමික දිවියකින් පසු ජයග්‍රාහීව යළි දේශපාලනයට අවතීර්ණ වීමෙන් සහ යළි අගමැති ධුරයට පත්වීමෙන් ඒ බව පෙන්වා දී තිබේ. “වයස 92 ක් වෙලත් මං තාම ජීවතුන් අතර” යනුවෙන්, පසුගිය දා ලැබූ ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය අමතා ඔහු දඟකාර ස්වරයෙන් කීවේය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ දේශපාලඥයන් තුන් දෙනා අතරින් ලාබාලම කෙනා වන මෛත්‍රීපාල සිරිසේනට මේ මැලේසියානු නිදර්ශනය කියාපු එකකි. එහෙත් මේ දක්වා වන ඔහුගේ ක්‍රියාකලාපයේ සාධනීය වෙනසක් පෙන්නුම් කිරීමට නම් දැනට වඩා ඔහු කෙලින් සිටිය යුතුය. කලේලි විය යුතුය.

ශ්‍රී ලංකාවේ දේශපාලඥයෝ දේශපාලනයෙන් විශ්‍රාම නොගනිති. දේශපාලඥයාව දේශපාලනයෙන් ඉවත් කළ හැක්කේ, එක්කෝ මරණයෙනි. නැත්නම් පරාජයෙනි. ඉන් බොහොමයක් දෙනා වෙත මරණය පැමිණියේ ස්ව-කැමැත්තට අනුව නොවේ. එය සිදුව ඇත්තේ අවාසනාවන්ත ඝාතන වශයෙනි. මුලදී, අගමැති බණ්ඩාරනායකගේ හුදෙකලා ඝාතනය සිද්ධ විය. ඉන් විසි වසරක් ගිය පසු, රුදුරු එල්.ටී.ටී.ඊ. සංවිධානය මුදා හල, එහෙත් එම සංවිධානයට පමණක් සීමා නොවූ, ඝෝර වසංගතයක වේශයෙන් එය පැමිණියේය. ජනාධිපති ධුරයෙන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිය එකම තැනැත්තා වන්නේ, සකල බලධාරී එම ක්‍රමයේ නිර්මාපක ජේ. ආර්. ජයවර්ධන පමණක් වීම උත්ප්‍රාසාත්මක ය. එහෙත් ඒ, 81 වැනි වියේදී ය. දැන් වයස 92 දී මැලේසියාවේ දොස්තර මහතීර් මොහොමඞ් දක්වා ඇති ආදර්ශය අනුව, ජේ. ආර්. ජයවර්ධන කාලයට කලින් විශ්‍රාම ගෙන ඇති සෙයක් පෙනේ.

ලංකාවේ දේශපාලඥයන්ට විශ්‍රාම ගැනීමට මත්තෙන් මෙන්ම ඉන් පසුවත් සලසා ගත හැකි අවකාශ බොහොමයක් තිබේ. රාජ්‍ය නායකත්වය පසෙකින් තැබුවත්, කෙනෙකුට අගමැතිවරයා හෝ ඇමතිවරයෙකු හෝ විය හැකිය. ඒවාට වාර සීමාවක් නැත. එසේම, මහ ඇමතිවරයෙකු හෝ පළාත් සභා ඇමතිවරයෙකු හෝ විය හැකිය. මෑතකදී ඔවුන්ගේ සංඛ්‍යාව දෙගුණ වීම නිසා, වැදගත් කමින් යම් බාල්දුවක් වී ඇතත්, පළාත් පාලන මට්ටමේදී පවා, තේරී පත්වන සභිකයන්ට ජාතික ස්වෛරීත්වයේ සෑහෙන හයියක් හිසින් ගත හැකිය. වඩාත් රදළ පළාතක නම්, කුලය සහ වාර්ගිකත්වය නිවැරදි මාත්‍රාවෙන් තිබීම අවශ්‍ය වෙතත්, කෙනෙකුට විශ්‍රාම ගිය පසු පළාත් ආණ්ඩුකාරයෙකු වීමේ අවකාශයත් තිබේ.

ලොකු මුනිවත සහ ඊටත් වඩා ලොකු ප්‍රෝඩාව

එකම කාරණයක් වෙනුවෙන් කිහිප වරක් නිකුත් කළ ගැසට් නිවේදන අස්සේ ව්‍යවස්ථාමය විධිවිධානවලට අනුකූලව පසුගිය අඟහරුවාදා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය, මහ ගැම්මක් නැති, පුස් වෙඩිල්ලකි. තෙත රතිඤ්ඤාවකි. එය, විගණන නිලධාරියෙකුගේ පශ්චාත්-පරීක්ෂණයක් වැනි, මෙතෙක් ආණ්ඩුව කළ දේවල් ගැන ඉදිරිපත් කළ හෑල්ලකි. ආණ්ඩුවේ ඉතිරි කාලය ගැන යම් ප්‍රබෝධමත් දෙයක් අපේක්ෂා කළ කෙනෙකුට ඉන් ලැබුණේ නිස්සාර වල්පල් ටිකක් පමණි. කෙසේ වෙතත්, සඳහන් කිරීම වැදගත් වන එක දෙයක් තිබේ. කියැවුණු දෙය සම්බන්ධයෙන් පමණක් නොව, නොකියැවුණු දේ සම්බන්ධයෙන් ද එම කාරණය වැදගත් ය:

“ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ වඩාත්ම විරෝධතාවට ලක්වෙච්ච තනි දේශපාලන කාරණයක් තියෙනවා නම්, ඒ තමයි විධායක ජනාධිපති ක්‍රමය. ඒත් මේ කියන කාලයේ විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන අසීමිත බලතල අඩු කරන්න කාටවත් පුළුවන් වුණේ නැහැ. ඒ වෙනුවට සිද්ධ වුණේ, තව තවත් ඒකේ බලතල වැඩි කර ගැනීමයි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනමත විචාරණයක් ඉල්ලා නොසිටින ආකාරයෙන්, ඒ විධායක ජනාධිපති ක්‍රමයේ බලතල උපරිම ආකාරයෙන් කප්පාදු කරන්නට 2015 මැයි 15 වැනි දා පුළුවන් වීම තමයි, සම්මුති දේශපාලනය තුළ තිබිච්ච සැබෑ ශක්තිය.”

විධායක ජනාධිපති ක්‍රමය ගැන මීට වැඩි සඳහනක් ඒ ප්‍රකාශය තුළ නොවුණි. ඉදිරි මාස 18 තුළ එම ක්‍රමය ගැන අනුගමනය කරන යම් සැලසුමක් ගැන හෝ කිසි සඳහනක් එහි නොවුණි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇති කර ගත්, ‘විධායක ජනාධිපති ක්‍රමයේ බලතල උපරිමයෙන් අඩු කිරීම’ යනු, තමාගේ ප්‍රථම සහ එකම ධුර කාලය තුළ අහෝසි කර දමන බවට එදා මේ ජනාධිපතිවරයා දුන් ප්‍රතිඥාව නොවේ. කෙනෙකු දැන් බලාපොරොත්තු වන්නේ මුළුමණින් එම ක්‍රමය අහෝසි කිරීමක් නොව, ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කොට ඇති සහ 20 වැනි සංශෝධනයක් මගින් ගෙන ඒමට අපේක්ෂිත බරපතල වෙනසකි.

ජනාධිපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ මැයි 7 වැනි දා තමන්ගේ රැළිවලදීත් මේ ගැන කටක් ඇරියේ නැත. මේ නායකයන් දෙන්නා සහ හිටපු ජනාධිපතිවරයා කීවේ තම තමන්ගේ පක්ෂවලින් ඊළඟ ආණ්ඩුව 2020 දී ගොඩනගන බව ය. හරියට, එදාට එක විට ගොඩනැගෙන ආණ්ඩු තුනක් යටතේ විසීමට ශ්‍රී ලාංකිකයන්ට සිදුවන්නා සේ ය.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට අව්‍යාජ ප්‍රයත්නයක් ගැනීම සහ එහිදී ඔවුන් යම් හෙයකින් අසාර්ථක වීම වෙනම කාරණයකි. එම අසාර්ථකත්වය, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනීමට අසමත් වීම නිසා හෝ පසුව ජනමත විචාරණයකින් එය ජයග්‍රහණය කරවීමට අසමත් වීම නිසා විය හැකිය. එවැන්නක් අප කාටත් භාර ගත හැකිය. එසේම, අඩු වශයෙන් එවැනි සැබෑ උත්සාහයක් ගැනීම ගැන ඒ නායකයන් දෙන්නාම කාගේත් ගෞරවයටත් පාත්‍ර වනු ඇත. එහෙත් මේ දෙන්නාම 2015 ජනවාරියේ භාර ගත් කාර්යය මගහැර 2019 දී ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීම යනු වෙනම කාරණයකි. එය ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ලොකුම වංචාව වනු ඇත. එය, 2015 දී ඔවුන්ට සහාය දක්වමින් ඔවුන්ව බලයේ පිහිටුවීමට කටයුතු කළ සියලු දෙනාගේ ඉමහත් ගර්හාවට සහ පිළිකුලටත් ලක්වනු ඇත.

ගාමිණි කොරයා පදනමේ පර්යේෂණ අධ්‍යක්ෂවරයා ද, සිංගප්පූරු ජාතික සරසවියේ සහාය මහාචාර්යවරයෙකු ද වන තිලක් අබේසිංහ පසුගිය සතියේ ප්‍රසිද්ධ දේශනයක් පවත්වමින්, ලංකාවේ ජනාධිපති ධුරය දැරිය හැකි, දැනට පවතින වාර සීමාව අවලංගු කළ යුතු බවට අමුතු උපදේශයක් දුන්නේය. එය අමුතු එකකැයි මා කියන්නේ, ජනාධිපති ධුර වාර ගණන අවලංගු කරනු ලැබූ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය පෙරලා අවලංගු කරනු ලැබූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා ලද්දේ මුළුමණින්ම පාහේ ඒකමතිකව වන බැවිනි. එසේම ඒ සඳහා වන පූර්ණ සහයෝගයක් ද රටේ තිබුණු බැවිනි.

මීට කලින් ද දුටු පරිදි, ජනාධිපති සිරිසේන ‘සම්මුති දේශපාලනයේ’ විශිෂ්ඨතම ජයග්‍රහණය වශයෙන් සලකන්නේ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයයි. ඇත්ත, මේ සංශෝධනයට පක්ෂව ඡන්දය පාවිච්චි කළ පිරිසෙන් 100 කට ආසන්න මන්ත්‍රීන් සංඛ්‍යාවක් ඊට පෙර 18 වැනි ව්‍යස්ථා සංශෝධනය වෙනුවෙනුත් ඡන්දය පාවිච්චි කොට තිබුණි. එහෙත් එයින් පෙන්නුම් කරන්නේ, ඔවුන් තුළ ඇති ප්‍රතිපත්තියක් නැති කමේ තරමයි. එසේම ඒ සියල්ලන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පක්ෂය සහ ඔවුන්ගේ පරිවාර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් බවත් අමතක නොකළ යුතුය. එසේ තිබියදී, තිලක් අබේසිංහ වැනි අලුත් මාදිලියේ ගැලවුම්කරුවෙකු දැන් ඇවිත්, රටේ තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීම සඳහා, දැනට පවතින ජනාධිපති ධුර වාර සීමාව ඉවත් කොට, වසර 15 ක් තරම් දීර්ඝ ධුර කාලයක් බලයේ සිටීමට හැකි වන ආකාරයේ දේශපාලනික ප්‍රතිසංස්කරණ ලංකාවේ ඇති කළ යුතු යැයි දේශනා කිරීම පුදුම සහගත ය.

ආචාර්ය අබේසිංහ තමාගේ මේ න්‍යාය උඩ දමන්නේ, සිංගප්පූරුවේ සංවර්ධන අත්දැකීමෙන් අප උගත යුතු පාඩමක් වශයෙන් ගෙනහැරපාමිනි. සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර මේ ආකාරයේ නොපෑහෙන සැසඳීමක් කරන පළමුවැන්නා ඔහු නොවේ. මීට පෙර එවැනි සැසඳීම් ගෙන ආ හැම විටෙකම ඒවා නිශ්චිතවම නිෂ්ප්‍රභා වී තිබේ. මෙවරත් ආචාර්ය අබේසිංහගේ න්‍යාය, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා ආචාර්ය දුෂ්නී වීරකෝන් මනාව අභියෝගයට ලක්කොට ඇති බව සැලයි. ආචාර්ය අබේසිංහගේ දේශනය අවසානයේ, ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවතින විසමතා පෙන්වා දෙමින්, අනුකරණය කළ නොහැකි තත්වයන් සහ ක්‍රියාවලීන් අන්ධානුකරණය කිරීමෙන් විය හැකි අන්තරාය ද ඇය පෙන්වා දී තිබේ.

මෛත්‍රීගේ නපුරු සිහිනය සහ මහතීර්ගේ ආශ්චර්යය

1978 වන තෙක් රටවල් දෙකේම පාර්ලිමේන්තු ක්‍රමයක් පැවතීම, සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර පැවති එක් සමානත්වයකි. 1978 දී ලංකාව අවුලකට ගියේය. ඒ, පාර්ලිමේන්තු සහ ජනාධිපති ක්‍රම දෙක අතරේ නොපෑහෙන මගුලක් කිරීමෙනි. මීට ප්‍රතිපක්ෂව, සිංගප්පූරුවේ මෙන්ම මැලේසියාවේත්, බලගතු පක්ෂ නායකත්වයක් යටතේ පාර්ලිමේන්තු ක්‍රමය දිගටම තබා ගත්තේය. ඒ ක්‍රමය තුළ මේ රටවල් දෙකටම, බහු-විධ වාර ගණන් පුරා බලයේ සිටින අගමැතිවරුන් රඳවා ගැනීමට හැකි විය. ඒ, විධායක ජනාධිපති ක්‍රමයක දෘඪ භාවය නොමැතිව ය.

ඒ අනුව, සිංගප්පුරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ 1959-1990 දක්වා තිස් වසකට වැඩි කාලයක්, තනි පක්ෂ ක්‍රමයක් යටතේ, රටේ අගමැතිවරයා වශයෙන් බලය හෙබැවීය. මැතිවරණ සහ පාර්ලිමේන්තු නියෝජනය සම්බන්ධයෙන් වන විධිවිධාන එරටේ අකුරට අනුගමනය කෙරුණු අතර, ඒ පසුපස්සේ සමාජ ගිවිසුමක අඩිතාලම වැටී තිබුණි: ඊට අයත් වුණේ, කාර්යක්ෂම සහ දූෂණයෙන් තොර ආණ්ඩුවක් පිළිබඳ සහතිකය, දක්ෂතාවට මුල් තැන දීමේ නොනැමෙන ප්‍රතිපත්තිය, භෞතික ප්‍රවර්ධනය සහ දියුණු වීමේ අවස්ථා නිරතුරුව පවත්වා ගැනීම සහ සමාජ-වාර්ගික සමාදානයයි. නරක පැත්තකුත් තිබුණි/තවමත් තිබේ: විසම්මුතිය (වෙනස් අදහස්) මර්දනය කිරීම, තනි-පක්ෂ ආණ්ඩුව, සමාජය රෙජිමේන්තුගත කිරීම සහ ඉඳහිට සමාජය කෘත්‍රීමව සකස් කර ගැනීම ආදිය ඊට ඇතුළත් ය. මේ සමාජ සම්මුතිය හොඳින් වැඩ කෙළේය. හේතුව, සිංගප්පූරුවේ පැවති ඓතිහාසික සීමාවන් සහ අවස්ථාවන් නිසා ය. එය, සමස්තයක් වශයෙන් තවත් රටකට අනුකරණය කළ හැකි හෝ පවරා ගත හැකි දෙයක් හෝ නොවේ.

සිංගප්පූරුව ආසන්නයේ පිහිටි, ඊට වඩා බෙහෙවින් විශාල මැලේසියාවේ දොස්තර මහතීර් මොහොමඞ් 1964 දී පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වී, අනතුරුව 1981 දී එරට හතරවැනි අගමැතිවරයා වශයෙන් බලයට පත්ව, 2003 දක්වා අවුරුදු විස්සකට වැඩි කාලයක් බලය හෙබැවීය. ඔහු කැරලිකාරී පිටස්තරයෙකු විය. සම්ප්‍රදායික වැඩවසම් ප්‍රභූ පැලැන්තියේ බලය පැහැරගත් ඔහු, එරට විසූ මැලේ, චීන සහ ඉන්දියානු ප්‍රජාවන්ගේ වාර්ගික වෙනස්කම් උරා ගත හැකි ආකාරයෙන් මැලේසියානු රාජ්‍යයත්, දේශපාලන ක්‍රමයත් පරිවර්තනය කරමින්, ආර්ථික සංවර්ධනය ඉදිරියට තල්ලු කෙළේය. ඒ සියල්ලටත් වඩා ඔහු දැඩි අධිකාරීවාදියෙකු විය. එසේම, විසම්මුතික හෝ විරුද්ධවාදී මත නොඉවසුවේය. 1988 දී, රටේ නියෝජ්‍ය අගමැතිවරයා වූ ද, සාර්ථක මුදල් ඇමතිවරයා වූ ද, ඔහුගේම අගසව්වා වූ ද, අන්වර් ඊබ්‍රාහිම්ව ආණ්ඩුවෙන් අස් කොට, නඩුවක් පටලවා හිරේ දැම්මේය. මේ ක්‍රියාවන් මහජන විරෝධයට තුඩුදුණි. එය, අන්වර්ව නිදහස් කර ගැනීමේ සහ දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කර ගැනීමේ මහජන අරගල බවට පත්වුණි. ඒ අනුව, මහතීර් මොහොමඞ්ව බලයෙන් පහ කිරීමේ ‘ප්‍රතිසංස්කරණ’ සටන් පාඨය පෙරමුණට පැමිණ, 2003 දී ඔහුට විශ්‍රාම යාමට බල කෙරුණි. ඒ අනුව, ඔහුගේ තවත් ගෝලයෙකු වන අබ්දුල්ලා බදාවිට බලය පැවරුණු අතර, ඔහුගෙන් පසුව නජීබ් රසාක් අගමැතිවරයා වශයෙන් බලයට පත්විය. ගිය සතියේ පැවති මහ මැතිවරණයෙන් පරාජයට පත්කරනු ලැබුවේ ඔහු නායකත්වය දුන් ජාතික පෙරමුණු පක්ෂයයි. අවුරුදු හැටකට පසු ප්‍රථම වතාවට, විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක සන්ධානයක් වන ‘මැලේසියා එක්සත් දේශීය පක්ෂය’, මහතීර් මොහොමඞ්ගේ නායකත්වයෙන්, පසුගිය සතියේ, බලයට පත්විය.

පැවති ආණ්ඩුවේ පරාජයත්, මහතීර් මොහොමඞ්ගේ ජයග්‍රාහී පුනරාගමනයත් පසුපස ඇත්තේ, බලවත් ජනතා අප්‍රසාදයට පත්වූ භාණ්ඩ හා සේවා බද්දකුත්, ආණ්ඩුවට අයත් ‘මැලේසියානු සංවර්ධන මණ්ඩලයේ’ දේශපාලනික අපචාරයනුත් ය. මේ රාජ්‍ය සමාගම ඩොලර් මිලියන 700 ක් අගමැති නජීබ් රසාක්ගේ පෞද්ගලික ගිණුමකට බැර කොට ඇත. ඇමරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් මේ ගනුදෙනුව පිළිබඳ තොරතුරු හෙලිදරව් විය. දැන් දෙවැනි වර ආගමනයෙන් පසුව මහතීර් මොහොමඞ් ඉහත කී මහා වංචාවට සම්බන්ධ සියල්ලන් නීතිය ඉදිරියට පැමිණවීමට නියමිතයි. එසේම ඊබ්‍රාහිම් අන්වර්ට සමාව දී හිරෙන් නිදහස් කොට, තමාගේ ඒ පැරණි සගයාට ආණ්ඩුව භාර දීමටත් ඉඩ තිබේ. (අන්වර් ඊබ්‍රාහිම්ව විශේෂ සමාවක් යටතේ අද (16) නිදහස් කෙරුණි-පරිවර්තක)

මහතීර්ගේ ආශ්චර්යයෙන් අනුප්‍රාණය ලැබීමේ නිදහස ජනාධිපති සිරිසේනට තිබේ. එහෙත් විධායක ජනාධිපති ක්‍රමයක් තුළ සිර වී සිටිමින් එකී මැලේසියානු ආදර්ශය මෙහි පැළ කිරීමේ හැකියාවක් ඔහුට නැත. ඒ සඳහා අවශ්‍ය කරන නම්‍යශීලීත්වය පවතින ක්‍රමයෙන් ඔහුට නොසැපයෙනු ඇත. ජනාධිපති අපේක්ෂකයෙකු වශයෙන් ඔහු ඉදිරිපත් වුවහොත්, ඡන්දදායකයා ඔහුව හප කර දමනු නොඅනුමානයි.

ඔහුගේ ස්වාර්ථය දේශපාලනිකව බලාකියා ගත හැකි එකම මාර්ගයකට ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කර ගැනීම පමණි. මේ අතර, ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පක්ෂය වේලාසනින් පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලා සිටී. එහෙත් වාරාවසානයට කලින් පාර්ලිමේන්තු මැතිවරණයකට යාම, අවුරුදු 40 ක් තිස්සේ තිබුනු සහ තවමත් තිබෙන කිසි ප්‍රශ්නයකට විසඳුමක් නොවන්නේය. ඒ සෑම ප්‍රශ්නයක්ම, මේ පාර්ලිමේන්තු සහ ජනාධිපති ක්‍රමයේ නොපෑහෙන දීගය පවතින තාක් කල් තිබෙනු ඇත.

මොන වැරදි තිබුණත්, සිංගප්පූරුවේ ආර්ථික සාර්ථකත්වයේ රහස, රාජ්‍යකරණය තුළ දූෂණය සහමුලින් පිටුදැක තිබීමයි. වයස අවුරුදු 92 ක් වන මහතීර් මොහොමඞ්ව මැලේසියානු ජනතාව නැවත බලයට පත්කර ගත්තේ, ඉහළ තැන්වල දූෂණය ඉහවහා යාම තවදුරටත් ඉවසාගෙන සිටිය නොහැකි වූ මොහොතක ය. ශ්‍රී ලංකාවේ, අධිකරණය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් හැරුණු කොට, හැම තැනක්ම දූෂණයෙන් පිරී ඇත. අපේ රටේ එවැනි සන්දර්භීය වෙනස්කම් තිබියදී, ජනාධිපති වාර ගණන ඉවත් කිරීම, ආණ්ඩු සඳහා පහළොස් වසරක ධුර කාලයක් සහ බලධාරී තනි-පක්ෂ ක්‍රමයක් වැනි දේවල් නිර්දේශ කිරීම නුවණට හුරු නැත. ඒ වෙනුවට අපට නිර්දේශ කළ හැක්කේ, වාර ගණනේ සීමාවක් හෝ වයසේ උපරිමයක් හෝ නැති, ආණ්ඩුවේ නායකයෙකු සහිත පරණ පාර්ලිමේන්තු ක්‍රමයට ආපසු යා යුතු බව ය.

(2018 මැයි 13 වැනි දා ‘ශ්‍රී ලංකා ගාර්ඩියන්’ වෙබ් අඩවියේ පළවූ Sri Lanka: Mr. President, Learn From Mahathir in Malaysia නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි )

Back to Top