Sri Lanka Brief
පුවත්විවරණඉරණතිවුහි නාවික හමුදා අල්ලාගෙන සිටින ඉඩම් නැවත ලබා ගැනීමේ වසරක අඛණ්ඩ උද්ඝෝෂණරුකී ප්‍රනාන්දු 

ඉරණතිවුහි නාවික හමුදා අල්ලාගෙන සිටින ඉඩම් නැවත ලබා ගැනීමේ වසරක අඛණ්ඩ උද්ඝෝෂණරුකී ප්‍රනාන්දු 

by

2015 දී වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව, 1992 වර්ෂයේ සිට බලහත්කාරයෙන් අවතැන් කරන ලද ඉරණතිවුහි ජනතාව තමන්ට යළිත් ගෙදර එන්නට ලැබෙනු ඇතැයි සිතූහ. එනමුදු ලියුම් කන්දරාවක් ද, රජයේ නිලධාරීන් සහ දේශපාලනඥයන් සමග 2016-2017 වසරවල කරන ලද ඉහළ පෙළේ රැස්වීම් ගණනාවකට පසුවද කිසිදු ප්‍රතිඵලයක් නොවූයෙන්, මේ ප්‍රජාව 2017 මැයි 1 වැනිදා මහ පාරේ අඛණ්ඩව උද්ඝෝෂණයක් කිරීමට පටන් ගැනීමේ අමාරු තීරණය ගත්හ. වසරකට ආසන්න කාලයක් ගත වී ඇතත්, ඔවුන් තවමත් අරගල කරති.

ඉතිහාසය

ඉරණතිවු යනු පෝක් සමුද්‍ර සන්ධියේ එකට පිහිටා ඇති දිවයින් යුගලක් වෙන අතර, ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා තිබේ. විශාල දිවයින (පෙරුම් තීවු) සහ කුඩා දිවයින (සිරුම් තීවු) අතරින් ලුණු වතුර සහිත ඇලක් ගලයි.

1982 කරන ලද නිල මිනින්දෝරු සිතියමකට අනුව, පෙරුම් තීවු විශාල දූපතේ ඉඩම් කට්ටි 143ක් සලකුණු කර ඇති අතර, සිරුම් තීවු කුඩා දූපතේ ඉඩම් කට්ටි 35ක් ලකුණු කර ඇත. 1886 ඉදිකරන ලද පැරැණි ඔරලෝසු කණුවක් දක්වමින්, දූපතේ වසර 200ක පමණ ඉතිහාසය සම්බන්ධයෙන් ගම්වාසීන් තොරතුරු කියති. ඔවුන් පළමු වරට අවතැන් වන විට, මේ දූපත්වල ගලින් තැනූ ගෙවල් 125ක් ද, වතුර බොන ළිං 5ක් ද, සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ද, පල්ලි දෙකක් ද තිබුනි.

ධීවර කර්මාන්තය සාම්ප්‍රදායික ආදායම් මාර්ගය වූ අතර, පිරිමින් මුහුදු යද්දී, ගැහැණුන් කකුළුවන්, සහ මුහුදු කූඩැල්ලන් ඇල්ලීම වැනි වෙරළ ආශ්‍රිත ධීවර කටයුතුවල නියැලෙමින්, දෙපිරිසම පවුලේ ආදායමට දායක වූහ. එසේම ඔවුන් පශු පාලනයේ නියුතු වූ අතර ගවයන්, එළුවන් ආදී සතුන් ඇති කළහ. ලූණු, මිරිස්, මඤ්ඤොක්කා වැනි ආර්ථික භෝග වගා කළ අතර, පොල් ගස් ද වගා කළහ. කිවුල් දූපත් ජලය, පුළුල් පරාසයක මාළු වර්ග ගණනාවක් අභිජනනය වෙන භූමියක් වන අතර, දූපත්වල සහ ලංකාවේ ප්‍රධාන භූමියේ ද නිවාස සෑදීමට මූල ද්‍රව්‍යයක් වේ. එසේම මේ දූපත් වැසියන්ට ශ්‍රී ලංකාවේ දකුණ දෙස පිහිටි මීගමුව වැනි ප්‍රදේශවල මිනිසුන් සමග වෙළෙඳ සහ සමාජ-සංස්කෘතික සම්බන්ධතා තිබී ඇති අතර, පල්ලියේ කටයුතු පැවැත්වීමට මීගමුවේ සිට කතෝලික දේවගැතිවරයකු මෙම දිවයිනට පැමිණ තිබේ.

යුද්ධය සහ අවතැන් වීම

පළමුවැනි අවතැන් වීම වෙන්නේ 1992 දී වෙන අතර, පවුල් 200ක් පමණ යුද්ධය හේතුවෙන් දූපතේ සිට අවතැන් වී ලංකාවේ ප්‍රධාන භූමියට යති. එතෙක් පටන් මේ දූපත, නාවික හමුදාව අයිති කර ගත් අතර, 2007 වෙන තුරු ගම්මුන්ට දූපතට ඇතුළුවීමට අවසර ලැබුනේ කඩින් කඩ, සීමා සහිතවය. 2007 සිට යුද්ධයේ අවසාන කාලය පුරාම අවස්ථා ගණනක දී දූපත් වැසියෝ අවතැන් වූහ. දිවි ගලවා ගත් පුද්ගලයන් වවුනියාව මැණික් ෆාම් කඳවුරේ රඳවනු ලැබිණි. ඔවුන්ව නිදහස් කළාට පසුව, ඔවුන් අවතැන් වූ විසූ මුලන්කාවිල් ආසන්නයේ පිහිටි, ඉරනෙයිමාතානගර් වෙත නැවත පැමිණෙන්නට අවසර දෙනු ලැබිණි. මෙය ලංකාවේ ප්‍රධාන භූමියේ සිට දූපතට ඇති කිට්ටුම ස්ථානයයි. 2007 වර්ෂයේ සිදු වූ අවසාන අවතැන්වීම්වලට පසුව, නාවික හමුදාව විසින් නැවත ආපසු පැමිණීම, ඔවුන්ගේ සාම්ප්‍රදායික දූපත් වෙත නිදහසේ ප්‍රවේශ වීම තහනම් කරන ලදී.

නාවික හමුදාව සමග කරන ලද සාකච්ඡාවලට පසුව, දැන් මිනිසුන්ට දූපතේ වෙරළ ප්‍රදේශයේ සීමාසහිත ප්‍රදේශයකට ගොස් ධීවර කටයුතුවල නියැලීමට අවසර ඇතත්, රෑ පහන් වෙන තුරු සිටීමට අවසර නැත. ලංකාවේ ප්‍රධාන භූමිය සහ දූපත අතර දිනපතා යාත්‍රා කිරීමට සිදු වීම හේතුවෙන් ධීවර කටයුතුවල වියදම අතිශයින් ඉහළ ගොස් ඇත. ඉරණතිවු හි වෙරළබඩ ධීවර රැකියාවේ නියැලුණු කාන්තාවන්ට දැන් එසේ කළ නොහැකි අතර, ඔවුන් සිටින්නේ විරැකියාවෙනි. මෙය පවුලේ ආදායම අඩු වීමට හේතු වී ඇති අතර, විශේෂයෙන්ම කාන්තාවන් ගෘහ මූලිකයා වෙන පවුල්වලට මෙය දැඩි සේ බලපා ඇත. එසේම ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා විසින් කරන නීති විරෝධී මාළු ඇල්ලීම් කටයුතු නිසා මත්ස්‍ය සහ වෙරළ සම්පත් අඩු වී යාමත්, ඉන්ධන වියදම වැඩි වීමත් මේ ධීවර පවුල්වල ආදායමට ඉතා නරක ලෙසින් බලපා ඇත.

2007 වර්ෂයේ සිට වැසියන්ට මේ දූපතට පැමිණීමට අවසර දී ඇති එකම කාලය වන්නේ කතෝලික ජනතාවට වැදගත් ආගමික කාලයක් වන චතාරික කාලයේ දී (පෙබරවාරි හෝ මාර්තු) මාසයේ දිනයක දී පල්ලියට වන්දනාවේ පැමිණීමටයි.

එක් කාන්තාවක් කී පරිදි, එක් අවස්ථාවක දී මුහුදේ කුණාටුවක් වූ අතර, මිනිසුන් නාවික හමුදාවෙන් ඉල්ලා සිටියේ කුණාටුව අවසන් වෙන තුරු රෑ එළි වෙන තෙක් දූපතේ ඉන්නට අවසර දෙන ලෙස යි. එහෙත් නාවික හමුදාවෙන් මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන්ට බල කර ඇත්තේ, ඔවුන්ගේ දරුවන් ද රැගෙන අනතුරුදායක චාරිකාවක යෙදෙමින් රළු මුහුද හරහා ආපසු ගෙවල් බලා යන ලෙසයි. මේ අවුරුද්දේ වන්දනාවේ දී, මිනිසුන්ගේ ගමන් කිරීමේ අයිතිය සීමා කළ අතර, නාවික හමුදාව විසින් මිනිසුන් තදබල ලෙස අපහසුතාවලට ලක් කළේ, ප්‍රදේශයේ පියතුමා දවස් 3ක් පල්ලියේ චිරාගතව සිදුවන ආගමික සේවා සඳහා මිනිසුන්ට දූපතේ නතර වීම සඳහා කල් තියා අවසර ගෙන තිබියදීය.

ධීවර සමූපකාරය

ඉරනෙයිතිවු ධීවර සමූපකාරය ශක්තිමත් ආයතනයක් වූ අතර, මෙය ක්‍රියාත්මක වූයේ මත්ස්‍ය අස්වැන්න වැඩි කාලයේ දී ලැබෙන සාමාජික දායකත්වයන්වලිනි. එය විසින් ප්‍රජාවේ සුබ-සාධනය සඳහා විශාල කාර්යයක් ඉටු කළ අතර, දූපතේ ඇති බොහෝ ගලින් තැනූ ගෙවල් සාදන ලද්දේ සමූපකාරයෙන් ලැබුනු සහනාධාර සමගය. නමුත් අද එය එදිනෙදා වියදමට මුදල් සොයා ගන්නේද අපහසුවෙනි.

සමූපකාර ව්‍යුහය තුළ, එහි ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පත් කරන ලද නායකත්වය විසින්, දූපතේ සහ අවට මුහුදේ සම්පත් අනාගත පරම්පරාවට භාවිතා කළ හැකි පරිදි තිරසාර පරිදි භාවිතා කිරීම සහ සංවර්ධනය කිරීම තහවුරු කරන ලදී. නමුත් මෑතදී, මේ ප්‍රදේශයට පිටත සිට පැමිණෙන ධීවරයන්ට නාවික හමුදාව විසින් මාළු ඇල්ලීමට සහ දූපතේ සම්පත්වලින් ලාබය පිටතට ගෙන යාමට ප්‍රවේශය ලබා දී ඇත. මුදල් ලාභය බලාපොරොත්තුවෙන් ස්වාභාවික සම්පත් සූරා කන කටයුතු නැවැත්වීමට බලන ප්‍රජා කටයුතුවලට මෙයින් බාධා වී ඇති අතර, දූපතේ සම්පත් තමන්ට අහිමි කරන බවට අදහසක් දූපත් වාසීන් අතර පැතිර ගොස් ඇත. නාවික හමුදාව විසින් ඉරණතිවු හි මුල් පදිංචිකරුවන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගන්නා බවට චෝදනා කර ඇති බව පවසන ගම්වාසීන්, එවැනි මත්ද්‍රව්‍යයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැති අතර, කිසිදු උසාවියක් විසින් එවැනි චෝදනාවක් මත කිසිදු බෝට්ටුවක් රඳවා ගෙන ද නැති බව පවසයි.

ආපසු ගෙදර යාමේ අරගලය: කඩදාසි පියසටහන්

2009 පසුභාගයේ ඉරනෙයිමාතානගර් වෙත පැමිණීමේ සිට, ජනතාව ඔවුන්ගේ ඉඩම්වල හිමිකම නැවත ලබා ගැනීමට කිහිප වතාවක්ම උත්සාහ කර ඇත. මෙම උත්සාහයන් 2015 දී නව රජය බලයට පත් වූවාට පසුව තවත් වැඩි විය. අඛණ්ඩ සන්නිවේදනයන් සහ උද්ඝෝෂණ පැවැතියේ වූ නමුත්, ඔවුන්ට ගෙදර යාමට ලැබෙන බවට රජයේ ඉහළ පෙළේ පුද්ගලයන් විසින් වරින් වර දෙන ලද අපැහැදිලි පොරොන්දු හැරුණු කළ, තවමත් ඔවුන්ගේ ගැටළුවලට ස්ථීර පිළිතුරු ලැබී නොමැත.

ජනතාව උතුරු පළාත් මහ ඇමැතිවරයාගෙන් සහ ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේස්වරන් වෙත ලිඛිත ඉල්ලීම් කරන ලද අතර ඔවුන් පිළිවෙලින් නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ජනතාව වෙනුවෙන් මේ ගැන ඉල්ලීම් කර ඇත, එසේම ඔවුන් යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයන් වෙත ද ඉල්ලීම් කර ඇති අතර, ඔවුන්ද නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයාගෙන් ජනතාව වෙනුවෙන් ඉල්ලීමක් කර ඇත. අවසාන වශයෙන් ජනතාව 2017 වර්ෂයේ දෙවරක් මේ ඉල්ලීම ජනාධිපතිවරයාට කෙළින්ම යොමු කර ඇත.

2017 මැයි 01 වැනි දින සිට අඛණ්ඩ විරෝධතා සහ කඩවුනු පොරොන්දු

තමන්ට නැවත පදිංචි විය හැකි දැයි යන්න සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරක් සපයා නැති බැවින්, 2017 මැයි 01 වැනි දින, ජනතාව විසින් ඉරනෙයිමාතානගර් හි දී අඛණ්ඩ විරෝධතාවයක් ඇරඹූහ. එසේම ඔවුහු පූනාකරී, කිලිනොච්චි සහ කොළඹ පවා උද්ඝෝෂණ සිදු කළහ. ප්‍රජා නායකයෙක් එක්සත් ජාතික මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසියට සහභාගි වී, ඉරෙනෙයිතිවු හි නැවත පදිංචි වීමට කර ගෙන යන අඛණ්ඩ අරගලය ගැන කරුණු ඉදිරිපත් කළ අතර, ජාත්‍යන්තර සහයෝගය ඉල්ලා සිටින ලදී.

මේ උත්සාහයන්, විශේෂයෙන්ම උද්ඝෝෂණ හේතුවෙන් ඉරණතිවු ප්‍රජා නායකයන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය, ආරක්ෂක රාජ්‍ය ඇමැති, ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේස්වරන්, කිලිනොච්චියේ දිස්ත්‍රික් ලේකම්, පූනාකරී හි ප්‍රාදේශීය ලේකම්, නාවික හමුදා නිලධාරීන් සහ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සමග රැස්වීම් සහ සාකච්ඡා ගණනාවක් පැවැත්වුනි.

මේ ප්‍රයත්නයන්හි ප්‍රතිඵලයක් වන්නේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2017 සැප් -ඔක්තෝම්බර් කාලයේ මේ දූපතට පැමිණීමයි. නමුත් එහි ප්‍රතිඵල මොනවාදැයි, එයින් පසු ගත් පියවර මොනවාදැයි යන තොරතුරු කිසිවක් ජනතාව වෙත ලබා දී නැත. එසේම කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්වරයා වෙත, නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය විසින් 2016 මාර්තු මාසයේ දී “ඉරණතිවු දූපතේ නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන්, දළ වියදම් ඇස්තමේන්තුවක් සහිතව හැකි ඉක්මනින් විස්තර සහිත වාර්තාවක් සපයන ලෙස” කරන ලද ඉල්ලීමකට ද, ජනාධිපති අතිරේක ලේකම්වරයකු විසින් 2017 අගෝස්තු මස ආරක්ෂක අමාත්‍යාංශය වෙත “සුදුසු පියවර ගන්නා ලෙස” ලියන ලද ලිපිය සම්බන්ධයෙන් ද ලැබුණු ප්‍රතිචාරය කුමක්දැයි ජනතාව වෙත දැනුම් දී නොමැත. එසේම ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඉරණතිවු හි නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර පිළිතුරු සොයන බවට ලබා දෙන ලද පොරොන්දුව සම්බන්ධයෙන්ද සිදු වූයේ කුමක්දැයි මෙතෙක් දැනුම් දී නොමැත.

ගෙදර යාමට බලා සිටීම

දැනට දූපත්වලට ඉතා කිට්ටුවෙන් ලංකාවේ ප්‍රධාන භූමියේ පිහිටි ඉරනෙයිමාතානගර් හි දළ වශයෙන් පවුල් 400ක් ජීවත් වෙන අතර, එයින් 95ක් කාන්තාවන් ගෘහ මූලිකයන් වෙන පවුල් වේ.

ඔවුන් අවුරුදු 25ක් පමණ කාලයක් අවතැන් වී සිටින නමුත්, මිනිස්සු ඉතා ගැඹුරෙන් දූපත සමග බැඳී සිටිති. 2007 අවතැන් වීමෙන් පසු බොහෝ දෙනෙක් පදිංචියට පැමිණි ප්‍රදේශය වන ‘ඉරනෙයිමාතානගර්’ යන්නේ වචනාත්මක අර්ථය වන්නේ ‘ඉරණෙයි හි මව් නගරය’ යන්නයි. නිල ග්‍රාම නිලධාරි කොට්ඨාශ අංකය, උප තැපැල් කන්තෝරුව, රජයේ පාසල සහ ධීවර සමූපකාරය යන සියල්ල තවමත් ඉරණතිවු යන නම භාවිතා කරන්නේ ඒවායේ භෞතික ව්‍යුහයන් ඉරනෙයිමාතානගර්හි පිහිටා තිබියදීය.

මිනිසුන්ගේ ඉල්ලීම් සරලය. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඉරණතිවු වෙත සීමා පැනවීමක් නැතිව, තමන්ට ප්‍රවේශ වීමට ඉඩ ලබා දීමත්, එහි පදිංචි වී ධීවර රැකියාවේ නියැලීමටත්, වගා කටයුතු, සතුන් ඇති කිරීම ආදී කටයුතු පෙර සේ සිදු කර ගෙන යාමට ලැබීමත්ය. ඔවුන් නාවික හමුදාව සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නැයි ඉල්ලා සිටින්නේ නැත. ඔවුන් ඉල්ලන්නේ නාවික හමුදාව විසින් අයිති කර ගෙන සිටින සාමාන්‍ය ජනතාවගේ ඉඩම් නිදහස් කරන ලෙසත්, දූපතේ සම්පත් වැරැදි ලෙස භාවිතා කිරීම, නීති විරෝධී ලෙස ප්‍රවේශ වී එම සම්පත් සූරා කෑම වැළැක්වීමට කටයුතු කරන ලෙසත් ය.

 

(රුකී ප්‍රනාන්දු විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද, 2018 අප්‍රේල් 20 වැනි දින ග්‍රවුන්ඩ්වීව්ස් හි පළ කළ Iranaitheevu; a year of continuous protests to regain Navy-occupied land  නම් ලිපියේ  පරිවර්තනයකි.පරිවර්තනය දමිත් චන්දිමාල්)

Back to Top