Sri Lanka Brief
පුවත්විවරණඅවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ සහ ජනප්‍රිය වැඩ – හර්ෂ ගුණසේන

අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ සහ ජනප්‍රිය වැඩ – හර්ෂ ගුණසේන

by

දේශපාලනික සහ ආර්ථික ක්ෂේත්‍රයන්හි රනිල් වික්‍රමසිංහගේ චර්යාව, විශ්වාස භංගයේ ආධාරකරුවන්ගේත්, ඊට විරුද්ධත්වය දැක්වූවන්ගේත් සෘජු සහ වක්‍ර විවේචනයට ලක්වෙයි. වික්‍රමසිංහ දේශපාලඥයෙකු වශයෙන් කටයුතු කරන ආකාරයේත්, ජනතාව සමග කටයුතු කරන ආකාරයේත් දුර්වලතා තිබේ. ඊළඟ මැතිවරණයක් ජය ගැනීමේ අභියෝගය ඉදිරියේ, ඉදිරි මාස 18 ක කාලය තුළ ඔහුගේ ප්‍රතිපත්තිවල වෙනසක් ඇති වීමට ඉඩ තිබේ. මේ පසුබිම තුළ, පවතින තත්වය සම්බන්ධයෙනුත්, අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙනුත් ඔහු අනුගමනය කළ ප්‍රතිපත්ති පරීක්ෂාවට ලක්කළ හැකිය.

බලයට පත් ආණ්ඩු එක දිගටම ඉදිරිපත් කළ හිඟ අයවැයක් තුළ කටයුතු කිරීමට සිදුවීම හේතුකොටගෙන රටට ණය බරක් පැටවී තිබේ. ආර්ථික වශයෙන් ඵලදායී නොවන ගොඩනැගීම් සඳහා චීනයෙන් ලද වියදම්කාරී ණය කන්දරාව නිසා තත්වය තවත් උග්‍ර විය. පැවති රජයේ විදේශ ප්‍රතිපත්තිය නිසා ඉන්දියාවත්, යුරෝපයත් විසින් ලංකාව චීනය දෙසට තල්ලු කරන ලදි.

අනේක විධ බදු සහන දීම නිසා රජයේ ආදායම් කෙරෙහි ඇති කොට තිබෙන බලපෑම අති විශාල ය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, රජය ලබා ගන්නා සෘජු බදුවලට සාපේක්ෂව වක්‍ර බදු ප්‍රතිශතය බෙහෙවින් ඉහළ ගොස් ඇත. මේ සෘජු බදු සහනවලින් වාසි ලැබූ පෞද්ගලික අංශය ඊට සමානුපාතිකව රටේ සංවර්ධනය කෙරෙහි සම්මාදම් නොවුණු අතර, තමන්ට පෞද්ගලිකව ලැබෙන බදු වාසි සැලකිල්ලට ගෙන, ආණ්ඩුවල අයවැය වර්ණනා කළ බව පෙනුණි. ඒ සියල්ලේ අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ, සාමාන්‍ය ජනතාව ධනපති පංතියට වඩා හැම දාමත් වැඩි බදු බරකට කර ගැසීමයි.

අපේ අපනයන බරපතල ලෙස කඩා වැටුණි. ආණ්ඩුවේ වැඩි අවධානය යොමු වුණේ ආයාත ආදේශන කෙරෙහි ය. බලයට පත් හැම ආණ්ඩුවක්ම තමන්ගේ ආධාරකරුවන්ට සහ විරැකියා කොටස්වලට රැකියා ලබා දීම සඳහාම රාජ්‍ය අංශය තව තවත් විශාල කෙළේය. මේ අතරේ, පාඩු ලබන රාජ්‍ය අංශයන් ද, දේශපාලනික ජනප්‍රියත්වය උදෙසාම එක දිගටම නඩත්තු කෙළේය.

ජාතික සංහිඳියාව සඳහා වර්තමාන එක්සත් ආණ්ඩුව පත්කර ගැනුණි. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සහ කල් පවතින ස්ථාවර ප්‍රතිපත්ති මාලාවක් ඇති කර ගැනීම අපේක්ෂා කෙරුණි. ඒ දිසාව ඔස්සේ ආණ්ඩුව යම් දුරක් ගොස් ඇතත්, ඉහත කී අරමුණුවලින් කිසිවක් තවම සාක්ෂාත් කරගෙන නැත. කෙසේ වෙතත්, යළි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීමේ ප්‍රතිඥාව පමණක් ඉෂ්ට කොට තිබේ.

ඒ අරමුණ ඉෂ්ට කර ගන්නා අතරේ, ඒකාධිපති පාලනයකට පුරුදුව සිටි ජනතාවට පෙනෙන්ට ගත්තේ, වර්තමාන ආණ්ඩුවේ රාජ්‍යකරණ මාදිලිය තුළ යම් අපිළිවෙලක් ඇති බවකි. පසුගිය රජයේ දේශපාලඥයන් සමග කල්ලි ගැසී, සම්මත ප්‍රමිතීන් බිඳහෙලා සිටි රාජ්‍ය අංශයේ නිලධාරී තන්ත්‍රය, තමන්ට එරෙහිව එල්ල විය හැකි චෝදනා ඉදිරියේ බියෙන් හෝ විරෝධයෙන් යුතුව, රාජ්‍ය සේවය අකර්මණ්‍ය කෙළේය. ඒ සියල්ල මධ්‍යයේ, ආණ්ඩුවේ ප්‍රතිපත්තිවල වැනෙන සුළු භාවය නිසා, බලාපොරොත්තු වූ තරම් සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් රටට ගලා ආවේ ද නැත. මේ තත්වය ජය ගැනීම සඳහා කඩිනම් හදිසි ක්‍රියාමාර්ග ගත යුතුව තිබේ.

සමාජ ප්‍රශ්න

මුලින්ම, සුළු ජාතීන් සහ වෙනත් සමාජ කණ්ඩායම් මුහුණදී සිටින ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කළ යුතුව තිබේ. ප්‍රජාතන්ත්‍රවාදීව පත්කර ගත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවලට එරෙහිව හට ගත් සන්නද්ධ නැගිටීම් තුනක් එහිදී අපේ සැලකිල්ලට ගත යුතුව ඇත. උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් මේ ආණ්ඩුවට තව දේවල් කළ හැකිව තිබුණි. හමුදාව අත්පත් කරගෙන ඇති ඔවුන්ගේ ඉඩම් ආපසු ඔවුන්ට පවරා දීම සහ නඩු නැතිව දීර්ඝ කාලයක් තිස්සේ හිරේ රඳවාගෙන සිටින පුද්ගලයන්ට සමාව දීම වැනි කරුණු ඒ අතර තිබේ.

එහෙත් කිසි බුද්ධාගමක් හරියට නොඅදහන බෞද්ධ භික්ෂූන් පිරිසක් විසින් නායකත්වය සපයන අන්තවාදී සිංහල-බෞද්ධ බලවේගවලට බයෙන් මේ ආණ්ඩුව කටයුතු කරන බවක් පෙනෙන්ට තිබේ. මේ භික්ෂූන්ගේ කටවල් සැර වෙතත්, ඔවුන්ගේ බලය විශාල නොවන බව ආණ්ඩුව තේරුම්ගත යුතුය. මේ රටේ වැඩි හරියක් ජනතාව, ඔවුන්ට පැහැදිළි කර දෙතොත්, යුක්තියට හිස නමන බව පැහැදිළියි. සටන්කාමීන්ව යුදමය වශයෙන් පරාජය කළ හැකි වෙතත්, ජාතික ප්‍රශ්නයට දේශපාලනික විසඳුමක් අවශ්‍ය කරන බව කී ඩෙන්සිල් කොබ්බෑකඩුව වැනි සමබර හමුදා නායකත්වයක අවශ්‍යතාවයත් අපට තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලිය තුළ දක්නට ලැබෙන විශේෂත්වයක් වන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන දකුණේ මහ ඇමතිවරුන්ම පළාත් සභාවලට වැඩි බලතල ඉල්ලා සිටීමයි. ආණ්ඩුවේ නායකයන් අවශ්‍ය තන්හිදී අවශ්‍ය පරිදි පියවර ගත්තේ නම් අපට එම කාර්යයත් සාර්ථක කර ගත හැකිව තිබුණි. දෙවැනි වාරයකට තරග කිරීමට තමන්ට අවශ්‍ය නැති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබුණු තත්වයක් තුළ, මේ ආණ්ඩුක්‍රම සංශෝධන ක්‍රියාවලියට ඔහු උරදුන්නේ නම්, මේ රටේ ඉතිහාසයේ සදාතන ගෞරවයකට ඔහුට හිමිකම් කිව හැකිව තිබුණි.

ආර්ථිකය

දෙවැනුව, ආර්ථිකය හසුරුවන්නේ කෙසේද යන්න ගැන අප නිශ්චිත තීරණයකට එළැඹිය යුතුය. වික්‍රමසිංහව හඳුනා ගැනෙන්නේ, විසි වැනි සියවසේ මුල් භාගයේ ඉස්මත්තට පැමිණි, නව ලිබරල්වාදී චින්තනයේ අනුගාමිකයෙකු වශයෙනි. ආර්ථිකය නිදහස් කිරීම, පෞද්ගලීකරණ ප්‍රතිපත්ති, ආර්ථික දුෂ්කරතා දරා ගැනීම සඳහා සමාජය තල්ලු කිරීම සහ ප්‍රතිව්‍යුහගත කිරීම ආදිය නව ලිබරල්වාදයට ඇතුළත් ය. නව ලිබරල්වාදයේ අරුත කාලයාගේ ඇවෑමෙන් වෙනස් වී ඇති අතර, අද වන විට නිදහස් වෙළඳපොළ ප්‍රතිසංස්කරණවලට විරුද්ධ පිරිස් විසින් ඊට පවරා ඇත්තේ නිෂේධාත්මක අරුතකි.

ආණ්ඩුවේ ආදායම් වැඩි කර ගත යුතුව ඇත. ඒ සඳහා දැනට ඉදිරිපත්ව ඇති දේශීය ආදායම් පනත උපකාරී විය හැකිය. ඒ මගින් අපේක්ෂා කෙරෙනුයේ, වක්‍ර බදුවලට සාපේක්ෂව සෘජු බදු ප්‍රතිශතය ඉහළ නැංවීමයි. යමෙකු පෞද්ගලීකරණය ප්‍රතික්ෂේප කරන්නේ නම් කළ යුතුව ඇත්තේ, පාඩු ලබන රාජ්‍ය ආයතන යම් අධිකාරියක් යටතට පත්කොට, දේශපාලන ඇඟිලි ගැසීම්වලින් නිදහස් කොට, ලාභ ලබන ව්‍යාපෘති බවට ඒවා පත්කර ගැනීමයි. එසේ නොකොට රටකට කිසි සේත් පැවතිය නොහැක. රටේ තිබෙන ලොකුම බැංකු දෙක වන ලංකා බැංකුවත්. මහජන බැංකුවත් ලාභ ලැබුව ද, නවීන ප්‍රතිසංස්කරණවලට ලක්කළ යුතුව තිබේ. මන්ද යත්, ඔවුන් යටතේ, පෞද්ගලික බැංකු අති විශාල පදාසයක් ගසාකන බැවිනි.

රටේ අපනයනයන් නගාලීමට පෞද්ගලික අංශය අසමත් වන්නේ නම් අප කළ යුත්තේ විදේශ ආයෝජන ඒ අංශ සඳහා ලබා ගැනීමයි. ඒ සඳහා ආණ්ඩුවට, නොවැනෙන සුළු ප්‍රතිපත්ති තිබිය යුතුය. මූලෝපායික පාර්ශ්වකරුවන් සමග නිදහස් වෙළඳ ගිවිසුම්වලට අප ඇතුළත් විය යුතුය. විවෘත ආර්ථිකය ආරම්භ කරන අවස්ථාවේ ඇතැම් දේශීය කර්මාන්ත වැසී ගියත්, සමස්තයක් වශයෙන් රටේ ආර්ථිකයට විවෘත ආර්ථිකයෙන් විශාල ගැම්මක් ලැබුණි. එදා වුවත්, ඒ ක්‍රියාවලිය ඊට වඩා පරිස්සමින් කළ යුතුව තිබූ බව ඇත්තයි. ඒ අත්දැකීම් ද සහිතව අද නිදහස් වෙළඳ ගිවිසුම්වලට ඇතුළත් වීමේදී අපට පරිස්සම් විය හැකිය. එසේ නොමැතිව, අනවශ්‍ය බියක් ඇති කර ගැනීම හෝ අනවශ්‍ය ආරක්ෂණවාදයකට යට වීම හෝ යෝග්‍ය නොවේ. ලංකාව ඉතා පුංචි රටකි. එසේම එය ඉතා පුංචි වෙළදපොළකි. ඒ නිසා අපේ ව්‍යාපාරිකයන් බයේ හැංගෙන්නේ නැතිව විදේශ වෙළඳපොළවල් ජය ගැනීමට කටයුතු කළ යුතුව තිබේ.

අයවැය පරතරය නැති කර ගත නොහැකි වෙතත්, අවම කර ගත යුතුව ඇත. අපේ අතේ ඇති රෙද්දේ තරමට කෝට් එක කපා ගත යුතුව ඇත. මේවා නව ලිබරල්වාදි යැයි කියන්නේ නම්, වෙනත් කළ හැකි දෙයක් තිබේ ද?

විදේශ ප්‍රතිපත්තිය

තුන්වැනුව, අපේ විදේශ ප්‍රතිපත්තිය යළි අර්ථ ගැන්විය යුතුව ඇත. පසුගිය රජය සමයේ අපි චීනය දෙසට වැඩිමනත් ඇදී ගියෙමු. ලංකාවේ අපනයන භාණ්ඩ සඳහා වන වෙළඳපොල ඇත්තේ යුරෝපයේ සහ ඇමරිකාවේ මිස, චීනයේ සහ ඉන්දියාවේ නොවේ. අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය සකසා ගැනීමේ දී ඒ කාරණය සිහියේ තබා ගත යුතුය. වර්තමාන ආණ්ඩුව අපේ විදේශ ප්‍රතිපත්තිය මධ්‍යස්ථ තැනකට ගෙනැවිත් ඇත. අපට ඇති මග, නොබැඳි පිළිවෙත ය. ඉන්දියානු සාගරය සාම කලාපයක් කිරීමේ සිරිමා බණ්ඩාරනායක ප්‍රතිපත්තිය යළි පණ පිහිටුවිය යුත්තේය. නැගීගෙන එන මහ බලවතුන් දෙන්නෙකු වන ඉන්දියාව සහ චීනය අතර අපේ සම්බන්ධය සරිකර ගැනීම සඳහා වුවත් එවැනි නොබැඳි පිළිවෙතක් මහෝපකාරී වන්නේය.

ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන්

සිව්වැනුව, මෑතකදී අත්පත් කර ගත් ප්‍රජාතන්ත්‍රීය සම්ප්‍රදායන් ගැන සලකා බැලිය යුතුය. 1970 දී සිරිමා බණ්ඩාරනායක රජය, රාජ්‍ය අංශය තිරිහන් කිරීම සඳහා දේශපාලනික අධිකාරිය රාජ්‍ය සේවයට පැටෙව්වේය. එයින් අප ලද ප්‍රතිවිපාක අතිශය අයහපත් ය. දැන් අංශක 360 කින් හැරී ඇති අතර පරිපාලන සේවයේ අධිකාරිය යළි ස්ථාපිත කොට තිබේ. එසේ වෙතත්, ස්වාධීන කොමිෂන් සභා සඳහා වගවීමේ යාන්ත්‍රණයක් තිබිය යුතුය. රාජ්‍ය ආයතනවල කටයුතු සොයා බැලීමට මහජනතාවත් තොරතුරු දැන ගැනීමේ පනතෙන් පැවරෙන අයිතිවාසිකම් පාවිච්චියට ගත යුතුව තිබේ.

අප ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන් කළා නොව, එය අප මත පැටවුණු දෙයකි. එසේ හෙයින් ප්‍රජාතන්ත්‍රීය බලවේග ක්‍රියාත්මක වන විට කෙනෙකුට පෙනෙන්නේ බලය හොබවන ආණ්ඩුවක් නැති බවකි. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩි විවේචනයට ලක්වෙද්දී ආණ්ඩුවක් කිසිවක් නොකොට බලා සිටියොත්, රට අරාජකත්වයක් කරා ගමන් කරන බවක් ජනතාවට හැඟෙන්නට පුළුවන. ජනතාව ඉල්ලා සිටින්නේ ඒකාධිපතිත්වයක් නම් එහි ආනිශංස භාර ගැනීමටත් ජනතාව සූදානම් විය යුතුය. ඒ අවදානමෙන් ගිය වර ජනාධිපතිවරණයේ දී අප බේරුණේ අනූ නවයෙනි.

රාජ්‍ය අංශය

පස්වැනුව, රාජ්‍ය අංශයේ ප්‍රමාණය අඩු කළ යුතුව තිබේ. ගුණය වැඩි කළ යුතුව තිබේ. එසේ කිරීම සඳහා සෑහෙන වැටුප් ඔවුන්ට ගෙවිය යුතුය. රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් ගත වූ කාලය තිස්සේ සැබෑ අගයෙන් පහළ ගොස් තිබේ. ආණ්ඩුව කරන්නේ ඔවුන්ට අමතර ආදායම් උපයා ගැනීමට දිරි දීමයි. වෛද්‍යවරුන්ට සෑහෙන වැටුපක් නොලැබීම නිසා ඔවුන් කරන්නේ පෞද්ගලික වෛද්‍ය සේවාවන්ට යොමු වීමයි. රජයේ සේවකයන්ට සෑහෙන වැටුපක් නොලැබෙන විට ඔවුහූ අල්ලසට හුරු වෙති. කොස් ගසක් කපා ගැනීමට අවශ්‍ය වූ විට කෙනෙකුට ඒ සඳහා අදාළ බලධාරීන්ට යමක් අතමිට මෙලවීමට සිදු වෙයි. එබැවින් මිනිස්සු කොස් ගස් වැවීමට නොපෙළඹෙති. පොලිස් නිලධාරීන්ට තමන්ගේ තත්වය පවත්වා ගැනීම සඳහා පළාතේ ව්‍යාපාරිකයන් මත යැපීමට සිදුවෙයි. පාසල්වල ගුරුවරුන් ඉගැන්වීම හරියට නොකරන අතර, ළමුන් පෞද්ගලික පංතිවලට යා යුතු යැයි සිතයි.

මේවා ඉතා දුෂ්කර සහ දීර්ඝ කාලීන ප්‍රතිසංස්කරණ අවශ්‍ය කරන අංශයන් ය. ඒවායින් බොහොමයක් ජනප්‍රිය නැත. එවැනි ප්‍රතිසංස්කරණ සඳහා උරදෙන කෙනෙකු ඊළඟ මැතිවරණයකින් ජය ගැනීමට ඇති ඉඩකඩ අඩු ය. ලෝකය පුරා හැම තැනකම, උගත් නූගත් කවුරුත් බලන්නේ කෙටිකාලීන වාසි වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමටයි.

ප්‍රජාතන්ත්‍රවාදය තුළ හමුවන උභතෝකෝටිකය මෙයයි. අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ වෙනුවට දේශපාලඥයා පෙළඹෙන්නේ ජනප්‍රිය දේවල් කිරීමට ය. ඒ ගැන දේශපාලඥයන්ට බැනීමෙන් වැඩක් නැත. මහජනතාව තමන්ටම බැන ගත යුතුව ඇත.

(2018 අප්‍රේල් 18 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ Reforms Needed & Populist Actions නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.)

Back to Top