Sri Lanka Brief
පුවත්විවරණ‘අවලන්’ සුදූවෑන්වල නෑසුණු රාව සහ මලානික මතක – විශ්ව මිත්‍ර

‘අවලන්’ සුදූවෑන්වල නෑසුණු රාව සහ මලානික මතක – විශ්ව මිත්‍ර

by

රාජපක්ෂ යුගයේ ප්‍රශ්නකාරී දිනවල රතුපස්වල, කටුනායක සහ පශ්චාත් යුද කාලීන යාපනේ නැගුණු ශබ්දවලින් වඩාත් බියකරු, නෑසුණු ශබ්දය වන්නේ, ඔබේ ගේ ළඟ ගාල් කළ වෑන් රියේ ශබ්දයයි. මොන තරම් නම් ගැහැනුන්ව සහ පිරිමින්ව ඒ වෑන් රියට කුදලාගෙන ගොස් බිය වද්දන්ට ඇත්ද, ඇටකටු කඩන්ට ඇත්ද, එලොව යවන්ට ඇත්ද යන්න කවදාවත් හරියට දැනගත නොහැකි වනු ඇත. බලය හොබවන්නන්ගේ මතයට වෙනස් මතයක් දැරීම නිසා වධහිංසාවට ලක්වූ, නාස් කඩා ගත්, ඇටකටු පොඩිපට්ටම් කර ගත් ඒ අහිංසක ගෑනුන්ගේ සහ මිනිසුන්ගේ විලාප සහ හිංසකයන්ගේ දණ්ඩමුක්තිය මැද්දේ තවමත් ලේ ගලනවා ඇති.

රාජ්‍ය මාධ්‍ය සහ රාජ්‍ය හෙංචයියන් විසින් වැමෑරූ කුණු කසලවලට වෙනස් කතාවක් ලියූ මිනිස්සු අතුරුදහන් වූහ. ආණ්ඩුවේ එක කාර්යාලයකින් තවත් කාර්යාලයකට දුක කියාගෙන රස්තියාදු වෙන බිරිඳගේ හඳ පාරන කතාව තවමත් බොහෝ පුවත්පත් පිටු සරසයි. එහෙත් පිළිගත හැකි පිළිතුරක් ඈට ලැබෙන බවක් පෙනෙන්ට නැත. ප්‍රගීත් එක්නැලිගොඩ යනු රාජපක්ෂ පවුලේ අතිශයෝක්තියට නගන ලද ජයග්‍රහණයන් සහ සුරංගනා කතාවල කීර්තිය වැණූ සාමාන්‍ය ජනමාධ්‍යවේදියෙකු නොවේ. ඔහුගේ අතුරුදහන් වීම තවත් අවුරුදු ගණනාවක් යන තෙක් අපේ පාඨකයන්ගේ කුතුහලය අවුලුවනු ඇත. එදා රට කැරැවු දේශපාලඥයෝ ඒ ගැන මුනිවත රැක්කෝය. එදා විපක්ෂයේ දේශපාලඥයෝ මේ ඇදහිය නොහැකි ඛේදවාචකය, වැඩි හාහෝවක් නැති ජනතා අවධානයට යොමු කිරීමට බැලූහ. ප්‍රගීත් එක්නැලිගොඩ, එදා ‘ප්‍රථම පවුලේ’ සාමූහික ප්‍රතිරූපයට හානිදායි වී යැයි කියන ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාවක් ලියූ බව කියැවේ. එය වඩාත් සමාන වන්නේ, ‘මහ පවුලේ’ නොපනත් කමක් ගැන පළවෙන යම් වාර්තාවක් ගැන විස්සෝපයට පත්වන උමතු ඒකාධිපතියෙකුගේ ප්‍රතිචාරයකට ය. එක්නැලිගොඩගේ අතුරුදහන් වීම, හිස් සමාජ-දේශපාලනික ගල් වළක සදහට කුණු වෙමින් යාමට ඉඩ හැරිය හැක්කක් නොවේ. රාජ්‍යකරණයට නැවත රාජපක්ෂලා පැමිණීමේ අභව්‍ය තත්වයක් තුළ වුවත්, එක්නැලිගොඩගේ සිරුර, හුස්ම ගනිමින් හෝ නැතිව, එළියට ගෙනැවිත් අවසානයක් කළ යුතුව තිබේ. එසේ නොවුණහොත් එය අවනීතික වනු ඇත. ඕනෑම සමාජයක මූලික පාලන ආයතනවල විමර්ශනාත්මක අංශ, ප්‍රජාතන්ත්‍රීයව තෝරා පත්කර ගත් ‘මාෆියා’ ලොක්කෙකුගේ අවකල් ක්‍රියා සඟවනු වස්, කපා හල නොහේ. තණ්හාධික, බල පිපාසිත ‘මහ පවුලේ’ සාමාජිකයන්ගේ ‘ජිල්මාට්‘ අනාවරණය කළ යුතුව තිබේ. එහෙත් නීතියේ ආධිපත්‍යය යටතේ සිදුවිය යුතු එවැන්නක්, වර්තමාන පාලකයන් අහක බලාගෙන සිටින තත්වයක් තුළ කෙසේ නම් අපේක්ෂා කරන්නද? ඝාතනයට ලක්වූ පුද්ගලයන්ගේ සිරුරු නැති තත්වයක් තුළ පවා, කලත්තෑවේ ඇල්ෆ්‍රඞ් සොයිසාගේ ඝාතන ගැන ඔහුව වැරදිකරුවෙකු කරන ලද ආකාරය තවමත් අපේ මතකයේ තිබේ. හඬා වැළපෙන ජනතාවකගේ යුක්ති සහගත දුක් අඳෝනාවන්ට, රාජ්‍ය අනුග්‍රහයෙන් දියත් කෙරෙන ප්‍රචණ්ඩත්වයවත්, රාජ්‍යයක නපුංසක නිහැඬියාවවත් පිළිතුරක් නොවන්නේය.

මේ තත්වය තුළින් හටගන්නා උත්ප්‍රාසය මීටත් වඩා හද සසල කරවන සුළු ය. දූෂණය සහ ඥාති සංග්‍රහය දුරලීමටත්, නීතියේ ආධිපත්‍යයෙන් ගැලවී විසීමේ අවසරය අහෝසි කිරීමටත් ප්‍රතිඥා දී බලයට පත් ආණ්ඩුවක්, අනිත් අතට, තමන්ගේ උදාසීනත්වය, අතීරණය සහ මුදලට ගිජුකම තුළ ඇලී ගැලී ඇති සෙයක් පෙනෙන්ට තිබේ. එක්නැලිගොඩ පුරාවෘත්තයේ දුක්බර වලාව, හීලෑ වූ ඔතෑනි ආණ්ඩුවක හිසට ඉහළින් පාවෙද්දී, ඒ සහගහන අපරාධය කළවුන් තවමත් නිදැල්ලේ ගැවසෙති. ඊට පිළිතුරක් පේන තෙක් මානයක පෙනෙන්ට නැත. එය, යහපාලන ආණ්ඩුවකට තරම් නොවේ. එවැනි උදාසීනත්වයක් සහ නියාළුවක් විසින් සැබෑ ලෝකය කෙරෙහි ඇති කරනු ලබන බලපෑම, අර රාජපක්ෂ දුෂ්ටයන්ගේ පුනරාගමනයට අත වැනීමකි.

එක්නැලිගොඩ සිද්ධියට අමතරව, මහ දවල් ඝාතනයට ලක්වූ, රාජපක්ෂලාගේ දූෂිත චර්යාව පස්සේ පැන්නූ ‘සන්ඬේ ලීඩර්’ කර්තෘ ලසන්ත වික්‍රමතුංග පිළිබඳ සිද්ධියත්, මේ පිළිබඳ විමර්ශන භාර අයවළුන්ට පැවරේ. අවුරුදු දෙක හමාරක් යනු, ඊට අදාළ පුද්ගලයන් අදාළ නීතිමය පරිධියට පැමිණවීම සඳහා පමණටත් වඩා ප්‍රමාණවත් කාලයකි. අධිකරණ ක්‍රියාවලියේ ගොළුබෙලි ගමන ජනතාව තුළ සැක දනවයි. සමස්ත ක්‍රියාවලිය පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය බිඳවයි. අදාළ පරීක්ෂණ මන්දගාමී කිරීම සඳහා යමෙකු, ඕනෑ කමින්ම විමර්ශකයන් කෙරෙහි බලපෑම් කරන්නේද? හිටපු ‘මහ පවුලේ’ ඇතැම් සාමාජිකයන්ට බිය දනවන තරම් ළඟට පරීක්ෂණ කරගෙන යාම අධෛර්යමත් කරන කෙනෙකු වේද? විමසිලිමත් ජනතාව, වත්මන් පාලකයන්ගේ මේ ජුගුප්සාජනක චර්යාව ගැන දිනෙන් දින කලකිරීමට පත්වෙති.

ලසන්ත වික්‍රමතුංගට ඉහළ තැන්වල මිතුරන් සිටියේය. එදා සිටි තානාපති නියෝජිතයෝ, විශේෂයෙන් නව-ලිබරල් බටහිර නියෝජිතයෝ, දූෂිතයන් සහ භ්‍රෂ්ටයන් පස්සේ හඹා ගිය ලසන්ත ගැන දැක්වූයේ මහත් වූ ප්‍රසාදයක් සහ ප්‍රශංසාවකි. කියවන හෝ නොකියවන ජනතාව ඉදිරියේ, ලසන්තව නිහඬ කිරීමක් අවශ්‍ය කෙළේ එක කණ්ඩායමකට පමණි. ඒ, රාජපක්ෂ තන්ත්‍රයටයි. ලසන්තගේ ඇල්ම බැල්ම එල්ල වුණේ මොන තැන්වලට ද, ඒවායේ තිබුණේ මොනවා ද යන්න අපි නොදනිමු. අන්තයකට යන දේශපාලනික බලයක් විසින් වටිනා ජීවිතයකට සිදු කළ හැකි හානිය පමණක් නොව, ජනතාවකගේ ප්‍රකාශනයේ නිදහස උදුරා ගැනීමටත් එවැනි බලයක් කටයුතු කළ ආකාරය පිළිබඳ මෙය කදිම නිදසුනකි.

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කැරැවීමත් සහ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමත් අස්සේ, රතුපස්වල සහ කටුනායක අහිංසක වැසියන් ඝාතනය කිරීමත් සිදු විය. මේ මිනිසුන් කෙළේ, තමන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතියක් අභ්‍යාස කරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට තමන්ගේ විරෝධය පෑමයි. මේ අතර, උතුරේ ’උදයන්’ පුවත්පතේ සේවය කළ මාධ්‍යවේදියෙකු ඝාතනය කිරීමේ සිද්ධියත් යට ගැසුණි. මේ සියල්ල සිදුවුණේ, උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් සහ පෝද්දල ජයන්ත වැනි තවත් මාධ්‍යවේදීන් රාශියකගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ද උල්ලංඝනය කරමිනි.

එහෙත් ‘මහ පවුලේ’ අධම භාවය වඩාත් තීව්‍ර ආකාරයෙන් අපේ මතකයට නංවන සිද්ධිය වන්නේ, අතිශය පෞද්ගලික කාරණා මත පදනම්ව වසීම් තාජුඩීන්ව අභිරහස් ලෙස ඝාතනය කිරීමයි. මේ ඝාතනයට සම්බන්ධ ඉතා ඉහළ පෙළේ පුද්ගලයන් පිළිබඳ තොරතුරු දැන් කරලියට පැමිණ තිබේ. ජනතාව මේ දේවල් දෙස බලා සිටින්නේ මහත් ඕනෑකමිනි. ඒ සියල්ලට අමතරව, වැලිකඩ සිරගෙදර රැඳවියන් විසි පහකට වැඩි සංඛ්‍යාවක් ඝාතනය කිරීමේ තිරිසන් ක්‍රියාවත් තවත් පැත්තක තිබේ.

මේ සියල්ල, සහසුද්දෙන්ම සිදු වූ අපරාධයි. ඝාතනය යනු අපරාධයකි. කෙනෙකුට කළ හැකි වඩාත් ගොරතර අපරාධයයි. මේවාට සම්බන්ධ අපරාධකරුවන් සොයාගෙන නඩු පවරා දඬුවම් නොදුන්නොත්, ඕනෑම ශිෂ්ට සම්පන්න සමාජයක අරටුව වන නීතියේ ආධිපත්‍යය බිඳ වැටේ. එවිට අරාජකත්වය රජයයි. නැත්නම්, හීලෑ වූ සහ ඕනෑම මොහොතක කඩා වැටිය හැකි සමාජයක් කෙරෙහි ‘මහ පවුල් ජුන්ටාවක්’ මගින් අභ්‍යාස කරනු ලබන යකඩ හස්තය යළි එසැවිය හැකිය. ඒකාබද්ධ විපක්ෂය පෙනී සිටින්නේ, වේගයෙන් සංවර්ධනය වෙන සහ වඩාත් ක්‍රමවත් සමාජ ක්‍රමයක් වෙනුවෙන් යැයි කියනු ලැබේ. වේගවත් සංවර්ධනය කෙසේ වෙතත්, වඩාත් ක්‍රමවත් සමාජ ක්‍රමයක් යන්නෙන් අදහස් කෙරෙන්නේ, අපේ මූලික අයිතීන් උදුරා ගන්නා, අපේ ජීවිත සහ සිත්සතන් පාලනය කරනු ලබන බියකරු අවකාශයකි.

ඒකාබද්ධ විපක්ෂයේ සෑම සාමාජිකයෙකුමත්, එම ව්‍යාපාරයට මුදලින් ආධාර කරන සෑම කෙනෙකුමත්, ඒ ඒ අයට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට අවසර ලදොත්, එය අප මධ්‍යයේ වැඩෙන ඉතා බියකරු පරපුටු සංහතියක් වනු නිරනුමානයි. තනි පවුලක රුදුරු සහ දූෂිත කොල්ලකරුවන් විසින් හසුරුවනු ලබන සහ වරක් ප්‍රජාතන්ත්‍රීයව පරාජය කරන ලද දේශපාලන බලවේගයකට යළි හිස එසැවීමට ඉඩ හැරීම අපේ සමාජයේ සිවිල් යහපැවැත්මට කොහෙත්ම හිතකර මනාපයක් නොවේ.

වඩාත් හිත පාරවන්නේ මොවුන්ගේ වාදවිවාද සහ තර්ක විතර්කවල දිසානතියේ ස්වභාවය නිසා ය. යහපාලන ප්‍රතිපත්ති මත පිහිටා ඇතැයි කියන ආණ්ඩුව මේ දේවල් පිළිබඳ තත්පර වන බවක් පෙනෙන්ට නැත. එළැඹිය හැකි දේශපාලනික කුණාටු පිළිබඳ වගක් ඇති බවක් පෙනෙන්ට නැත. අනතුරු නිමිත්තක් වූ විශ්වාස භංගය පරාජය කිරීමෙන් ලද ජයග්‍රාහී හැඟීමෙන් යුතුව අගමැති රනිල් වික්‍රමසිංහ සැහැල්ලුවෙන් සිටින සෙයකි. පැවති රජයේ වැරදිකරුවන් පස්සේ හඹා ගොස් ඔවුන්ව නීතිය ඉදිරියට පැමිණවීමට ඔහු අසමත් වුවහොත් ඔහුට සිදුවන්නේ ඊළඟ මැතිවරණයෙන් බලයට ආයුබෝවන් කීමට ය. අනිත් අතට, රාජපක්ෂලාව නීතිය ඉදිරියට පමුණුවා නිසි දඬුවම් ලබා දීමට සමත් වෙතොත්, සටන් කිරීමේ තව අවස්ථාවක් ඔහුට අත්විය හැකිය. එහෙත් එය ද, දබරකාරී දෙමළ ජාතික සන්ධානයත්, මුස්ලිම් ජාතික පක්ෂත් ආම්බාන් කර ගැනීමට හැකි වුවහොත් ය.

පට්ට ගැසූ කියමනකින් කිවහොත්, රනිල් වික්‍රමසිංහ ඉදිරියේ ඇති තේරීම පළිඟුවක් සේ පැහැදිළි ය. කෙසේ වෙතත්, එය වෙන අයට නොව, ඔහුට නම් බලවත් නීරස කර්තව්‍යයක් විය හැකිය. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ රැඳී සිටීමටත්, එළැඹෙන ජනාධිපතිවරණයකදී එහි අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමටත් යම් අදහසක් ඔහුට ඇතොත් කළ යුත්තේ එක දෙයකි: රාජපක්ෂලා සහ ඔවුන්ගේ හෙංචයියන්ගේ පස්සෙන් පන්නා යාමත්, අධිකරණ ක්‍රියාවලිය සාර්ථක අවසානයක් දක්වා ගෙන යාමත් ය. අනිත් අතට, පක්ෂ නායකත්වයේ රැඳී සිටිමින් එම ජනාධිපතිවරණයට තරග කිරීමෙන් වැළැකී සිටීමට ඔහු තීරණය කළොත් එය, සජිත් ප්‍රේමදාස හෝ නවීන් දිසානායක වැනි කෙනෙකුට ඊට ඉදිරිපත් වී මුහුණදීමට අවශ්‍ය කරන යම් වාසියක් සැපයෙනු ඇත.

2018 අප්‍රේල් 25 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ  Unheard Sounds & Faint Memories of “Bloody” White Vans නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

Back to Top