Sri Lanka Brief
පුවත්විවරණරුසියානු තේ තහනම: මහ බලවතුන් සමග යාප්පුවෙන් ගනුදෙනු කිරීමේ අවශ්‍යතාව – රංග ජයසූරිය

රුසියානු තේ තහනම: මහ බලවතුන් සමග යාප්පුවෙන් ගනුදෙනු කිරීමේ අවශ්‍යතාව – රංග ජයසූරිය

by

ජායාරූපය: පූටින් රුසියානු අධිපත්‍යවාදය පතුරුවන සාර් කෙනෙකි.

සති දෙකකට පෙර, ලංකාවෙන් අපනයනය කළ තේ තොගයක එක කුරුමිණියෙකු සිටියේය යන හේතුව දක්වා රුසියාව ලංකාවේ තේ එරටට ආනයනය කිරීම තහනම් කෙළේය. රුසියාව එසේ කෙළේ, ඒ වන විට රුසියාවෙන් ලංකාවට ආනයනය කෙරෙමින් පැවති ඇස්බැස්ටොස් වර්ග තහනම් කිරීමට ලංකා ආණ්ඩුව පියවර ගෙන තිබීමට එකටෙක කිරීමක් වශයෙන් විය හැකි බවට සැක කළ ලංකා ආණ්ඩුව, වහාම ඇස්බැස්ටොස් තහනම ඉවත් කෙළේය. නිවෙස්වල වහලවල් සෙවිලි කිරීම සඳහා බහුලව භාවිත කෙරෙන ‘ක්‍රයිසොටයිල්’ නැමැති ඇස්බැස්ටොස් තන්තු ලංකාවට අපනයනය කළ ප්‍රධාන රට වුණේ රුසියාවයි. ගිය වසරේ එහි වටිනාකම ඩොලර් මිලියන 148 ක් විය.

එහෙත්, තේ තොගයක් අස්සේ තනි කුරුමිණියෙකු සිටීම හෝ ලංකාව ඇතුළේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඇස්බැස්ටොස් තහනමකට වැඩි හේතුවක් මේ ප්‍රශ්නය පසුපස ඇති බවට තොරතුරු දැන් අනාවරණය වෙමින් තිබේ. වාර්තා වන පරිදි, සීතල-යුද්ධ කාලයේ පැවති මාරක ඔත්තු සේවා කතාන්තරවලට සමාන සිදුවීමකුත් මේ අස්සේ තිබී ඇත. ඒ, ඇමරිකා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත, රුසියානු ජාතික පරිඝණක ප්‍රහාරකයෙකු කොළඹදී අත්අඩංගුවට ගැනීමයි. පසුගිය දා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කළ පරිදි, බැංකු වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඇමරිකාවට මේ පුද්ගලයාව අවශ්‍ය කොට තිබේ. මේ අතර, සිදුවිණැයි කියන එම ‘සොරකම’ සම්බන්ධයෙන් ඒ පුද්ගලයාව තමන්ගේ රටට භාර දෙන්නැයි රුසියාව ඉල්ලා තිබේ. ඒ වන විට ලංකාවේ අධිකරණයෙන් ඇප මත නිදහස්ව සිටි මනොකින් රවුෆොවිච් නැමැති විසි දෙහැවිරිදි මෙම සැකකරුවා පසුව ලංකාවෙන් පලා ගොස් තිබේ.

ඔහු රුසියාවට පලා ගොස් ඇති බව කියන්නේ, ‘රොසොබොරොනෙක්ස්පෝට්’ නැමැති, රුසියානු රජයට අයත් අවි අපනයන සමාගමේ ප්‍රධානී ඇලෙක්සැන්ඩර් මිකීව් මෑතකදී ලංකාවට පැමිණි, පෞද්ගලික ජෙට් යානාවෙනි. මේ රුසියානු සමාගම් ප්‍රධානියා ලංකාවට පැමිණියේ, දැනට මහත් ආන්දෝලනයට පත්ව ඇති, රුපියල් බිලියන 24 ක මිලක් ගෙවා ලංකාව විසින් මිලදී ගැනීමට නියමිත රුසියානු නෞකාව පිළිබඳ ගනුදෙනුව ගැන සාකච්ඡා කිරීමට ය. ලංකා ආණ්ඩුව එය මිල දී ගැනීමට යන්නේ, මීට කලකට පෙර, ලංකාවේ හමුදාමය අවශ්‍යතා සඳහා රුසියානු ආණ්ඩුවෙන් සැපයීමට පොරොන්දු වී තිබූ, එහෙත් මෙතෙක් පාවිච්චියට ගෙන නොතිබුණු, ණය මුදලකිනි.

‘දේශප්‍රේමී’ පරිඝණක ප්‍රහාරක කල්ලියක් රුසියාවට සිටී. මේ ප්‍රහාරකයන් යුරෝපා රටවල් කිහිපයක මැතිවරණවලට ඇඟිලි ගැසීම් කර ඇති බවට චෝදනා තිබේ. මීට කලකට පෙර බි්‍රතාන්‍යයේ පැවති, යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ‘බ්‍රෙක්සිට්’ ජනමත විචාරණය සහ මෑතකදී පැවති ජර්මනියේ මහ මැතිවරණය, ඔවුන් එසේ ප්‍රහාරාත්මකව මැදිහත් වූ බවට චෝදනා නැගෙන අවස්ථාවන් ය.

ඇමරිකාවේ ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ මැතිවරණය සඳහා කරන ලදැයි කියන රුසියානු ඇඟිලි ගැසීම් ගැන, ඇමරිකානු විශේෂ ඔත්තු සේවා පරීක්ෂක රොබට් මුලර් මේ වන විට පරීක්ෂණ කරගෙන යයි. එම මැතිවරණයේදී, ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ප්‍රතිවාදී හිලරි ක්ලින්ටන්ට පහර ගැසීම සඳහා රුසියාවෙන් ඩොලර් මිලියන ගණනක් වැය කළ බව මූණුපොතේ සඳහන් වෙයි. රුසියානු ජනාධිපති පුටින්ගේ සමීපතමයෙකු වන ඉහත කී අවි සමාගම් ප්‍රධානියාගේ පෞද්ගලික ගුවන් යානයෙන් පලා යාමට තරම් රුෆොවිච් නැමති සැකකරුවා වැදගතෙකු නම්, ඉහත කී ඇමරිකාවේ පරිඝණක ප්‍රහාරයන්ට ඔහු සම්බන්ධ වන්ට ඇතැයි සැක කළ හැකිය.

සෙස්සන් විසින් තමන්ව නොතකා හැරීම තරම් පුටින්ගේ කෝපයට හේතුවන වෙනත් දෙයක් නැතැයි කියැවේ. සිරියාවේදී සාර්ථක සූදුවක් බවට පත්වූ ඔහුගේ ක්‍රියා කලාපය ඇතුළු ඔහුගේ සමස්ත විදේශ ප්‍රතිපත්තියේම එල්ලය වුණේ, ලෝක වේදිකාවේ හරි මැදට යළිත් වරක් රුසියාව ගෙන ඒම ය. පිටස්තර ලෝකයා අපට වෛර කරන්නේ නම්, ඒ පිටස්තර ලෝකයා අපට ගෞරව ද කරනු ඇතැයි යන්න, වර්තමාන රුසියානු විදේශ ප්‍රතිපත්තිය පසුපස ඇති චින්තනයයි.

එහෙත් ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට තමන්ගේ විදේශ සම්බන්ධතාවලදී සුළු වරදක් හෝ කිරීමට පුළුවන් කමක් නැත. මහ බලවතුන් සම්බන්ධ වන ගනුදෙනුවලදී එය කොහෙත්ම කළ නොහැක්කේය. එබැවින් ප්‍රධාන රටවල් සමග, විශේෂයෙන් අණක්ගුණක් නැති රටවල් සමග ගනුදෙනුවේදී වැඩියත්ම පරිස්සම් විය යුතුව තිබේ. මන්ද යත්, එවැනි රටවල ප්‍රතිපත්ති, හොස්ස ළඟින් මැස්සා ගියත්, එය මොන තරම් අචේතනිකව සිදු වූ දෙයක් විය හැකි වෙතත්, වහා වෙනස් විය හැකි බැවිනි.

රුසියාව දැන් අපේ බොක්කටම ගහන්නේ, එක්කෝ, ඔවුන්ව ගණන් නොගෙන ඇමරිකාව සමග අප ඇඟෑලුම්කම් පාන්නේය යන සැකයෙනි. නැත්නම්, රුසියාවට සිදුවිය හැකි මූල්‍යමය පාඩුව ගැන නොතකා හැරීමට තරම්, ඇස්බැස්ටොස් තහනමේදී අප උද්ධච්ච වීය යන සැකයෙනි. ලංකාවේ රුසියානු තානාපතිවරයා නොයෙක් වර මේ ඇස්බැස්ටොස් තහනමට එරෙහිව මීට කලින් කරුණු දක්වා තිබේ.

මේ අන්දරය හා බැඳුණු මෑත කාලීන හුටපට කෙසේ වෙතත්, ලංකාවේ ඇස්බැස්ටොස් තහනම් කිරීම නිසා රුසියාවෙන් එල්ල විය හැකි අනිටු ප්‍රතිවිපාක ගැන බොහෝ කලක සිට දැන ගැනීමට තිබුණි. ලංකාවේ තේ මණ්ඩලයේ සභාපතිවරයා ඒ ගැන වරක් කරුණු දක්වා තිබුණි. රටවල් දෙක අතර පවතින සබඳතා ඒ නිසා පළුදු විය හැකි බවට, ලංකාවේ සිටින රුසියානු තානාපතිවරයා අනතුරු අඟවා තිබුණි. මීට අමතරව, කොළඹ රුසියානු තානාපති කාර්යාලය මේ කාරණය ගැන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග සාකච්ඡා කොට තිබුණු අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන්, මේ ගැන සොයා බැලීම, අගමැතිවරයා විසින් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායකට පවරා තිබුණි.

එසේම, පසුගිය දෙසැම්බරයේදී, රුසියාවේ වෙළඳ සහ කර්මාන්ත අමාත්‍ය ඩෙනිස් මන්ටුරෝව්, ලංකාවේ කර්මාන්ත සහ වාණිජ අමාත්‍ය රිෂාඞ් බද්යුද්දීන්ට ලියමින්, මේ ගැන සාකච්ඡා කිරීම සඳහා ‘අන්තර්-දෙපාර්තමේන්තු උපදේශන සැසියක්’ ඉල්ලා තිබුණි. “දෙරට අතර පවතින ද්වි-පාර්ශ්වික වෙළඳ සබඳතා පලුදු නොවනු පිණිස… ශ්‍රී ලංකාවට ක්‍රයිසොටයිල් සැපයීමත්, ලංකාවේ කර්මාන්ත අංශය තුළ එහි පාවිච්චිය ගැනත් සාකච්ඡා කළ හැකි අන්තර්-දෙපාර්තමේන්තු උපදේශන සැසියක්, 2017 මුල් කාර්තුව තුළ සංවිධානය කිරීමේ හැකියාව ගැන සොයා බලන්නැයි මම ඔබෙන් ඉල්ලා සිටිමි.” යැයි එම ලිපියේ සඳහන් විය.

ඩොලර් බිලියන 1.27 ක වටිනාකමකින් යුත් ශ්‍රී ලංකාවේ තේ අපනයෙන් සියයට 19 ක් මිල දී ගන්නේ රුසියාවයි. ගිය වසරේ ඉරානය අපේ තේ මිලදී ගැනීමේ ප්‍රමුඛයා බවට පත්වන තෙක්, ලංකාවේ තේ වැඩියෙන්ම මිල දී ගත් රට වුණේ රුසියාවයි. 2006 දී රුසියානු වෙළඳපොල තුළ ලංකාවේ තේවලට සියයට 50 ක පංගුවක් හිමි විය. මේ වන විට එය සියයට 29 දක්වා අඩු වී ඇතත්, තවමත් සමස්ත රුසියානු තේ වෙළඳ පොළ තුළ තනි රටක් හිමි කරගෙන ඇති වැඩිම පංගුව එයයි. ලංකාවෙන් තේ ආනයනය කරන ප්‍රධාන රටවල් ගණනාවක දැනට පවතින ආර්ථික වර්ධනයේ පසුබෑමත්, අස්ථාවර දේශපාලනික තත්වයත් නිසා ලෝක තේ ඉල්ලුම සමස්තයක් වශයෙන් පහත වැටෙමින් පවතින අවස්ථාවක රුසියානු තහනම එක දිගට පැවතුණොත් එය ලංකාවේ තේ කර්මාන්තයට බරපතල පහරක් වනු ඇත.

එකටෙක කිරීමක් වශයෙන් වෙළඳ සම්බාධක පැනවීමේ ඉතිහාසයක් රුසියාවට තිබේ. යුක්රේනය තුළ රුසියාවේ ක්‍රියා කලාපයට විරෝධය පෑමක් වශයෙන් යුරෝපා සංගමය සහ ඇමරිකාව රුසියාවට එරෙහි සම්බාධක පැනවූ අවස්ථාවේ රුසියාවත් නිකම් සිටියේ නැත. ඔවුන් ද, කෘෂි-නිර්යාත තහනමක් පැනවීය. තුර්කි ගුවන් හමුදාව විසින් රුසියානු ගුවන් යානයක් වෙඩි තබා බිම හෙලූ අවස්ථාවේ, රුසියානු ආණ්ඩුව තම රටේ වැසියන් සංචාරකයන් වශයෙන් තුර්කියට යෑම තහනම් කෙළේය. ඇමරිකාවේ ක්‍රියාත්මක වන ‘රෂියා ටුඬේ’ සහ ‘ස්පුට්නික්’ නැමැති රුසියානු මාධ්‍ය අංශ දෙක ‘විදේශ ඒජන්තයන්’ වශයෙන් ඇමරිකානු ආණ්ඩුව හැඳින්වීමෙන් පසු, රුසියාවත්, තම රටේ සේවය කළ ඇමරිකානු සන්නිවේදකයන් පිරිසක් ‘විදේශ ඒජන්තයන්’ වශයෙන් හංවඩු ගැසුවේය.

ඇස්බැස්ටොස් තහනම් කිරීමට මත්තෙන් ලංකාවේ ආණ්ඩුව ඒ මගින් ඇති විය හැකි අනිටු ප්‍රතිවිපාක ගැන සොයා බැලිය යුතුව තිබුණි. දැන් ඒ පිළිබඳව පියවර ගැනීමට ලංකා ආණ්ඩුව කඩිමුඩියේ ඉදිරිපත්ව ඇතත්. ඒ වන විට හානිය සිදු වී හමාර ය. රටේ ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳව ආණ්ඩුවක් උනන්දු විය යුතු බව ඇත්ත. එහෙත් ඒ සමගම, තමන් ගන්නා පියවර හේතුවෙන් ඇති විය හැකි දේශීය සහ විදේශීය ආර්ථික ප්‍රතිවිපාක ගැනත් ආණ්ඩුවක් සැලකිලිමත් විය යුතු ය.

ඇස්බැස්ටොස් තහනම තාවකාලිකව නතර කිරීමට පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය තීන්දු කෙළේය. ඒ මගින්, පවතින ප්‍රශ්නාකරී තත්වය සමනය විය හැකිය. ලංකාවේ ඇමති මණ්ඩල දූත පිරිසක් මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීම සඳහා මේ සතියේ මොස්කව් නුවර බලා යනු ඇත. ජාත්‍යන්තර රාජ්‍ය ක්‍රමය තුළ සිටින ප්‍රධාන රටවල් සමග නුවණින් යුතුව කටයුතු නොකළොත්, යථා කාලයේදී ලංකාවට මුහුණදීමට සිදු විය හැකි තවත් විදේශ සම්බන්ධතා පිළිබඳ ප්‍රශ්නයක් තිබේ. ඇමරිකාව සහ යුරෝපය දෙසට එක්සත් ජාතික පක්ෂයේ ඇති නැමියාව, ජාත්‍යන්තර වශයෙන් එම කලාපයේ ප්‍රසාදයට හේතු විය හැකිය. එහෙත් අනිත් අතට, චීන-කේන්ද්‍රීය ආර්ථික රටාවක් ගොඩනගමින් සිටින චීනයටත් ලංකාව පිළිබඳ විශේෂ උනන්දුවක් ඇති බව සිහි තබා ගත යුතුය. චීනය සමග හොඳ හිත රැක ගැනීමේ පාඩම සඳහා විශාල මිලක් ගෙවිය යුතු බව මේ ආණ්ඩුව අත්දැකීමෙන් උගත්තේය. රුසියාවත්, තවත් එවැනි වෙනත් රටවල් සම්බන්ධයෙනුත් තත්වය එසේම ය. අපට යම් විපතක් සිදු වන අවස්ථාවක, අවි ආයුධ මිලදී ගැනීම සඳහා හෝ යම් ජාත්‍යන්තර සමුළුවක සහායක් අවශ්‍ය කරන වෙලාවක අපට දුවන්නට වන්නේ, චීනය, රුසියාව සහ පකිස්ථානය වෙත ය. මේ රටවල් සමග ඇති පාලම් බිඳ දැමුවොත්, ඒවා යළි ගොඩනැගීම ලේසිපාසු නොවනු ඇත.

2017 දෙසැම්බර් 26 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Russian Tea Ban: The Need to Play Nice with Big Powers නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

Back to Top