Sri Lanka Brief
පුවත්ගිංතොට ප්‍ර‍හාරය සැලසුම් සහගත දේශපාලන ක්‍රියාවක්. ප්‍ර‍හාරයට ඉඩ දෙමින් STF ඉවත් කළේ ඇයි?

ගිංතොට ප්‍ර‍හාරය සැලසුම් සහගත දේශපාලන ක්‍රියාවක්. ප්‍ර‍හාරයට ඉඩ දෙමින් STF ඉවත් කළේ ඇයි?

by

ජායාරූප කැෆේ අනුග්‍රහයෙනි: ගැටුමෙන් පසු ගිංතොට හැටි .

රජිත් කීර්ති තෙන්නකෝන් විසිනි.

ජනමාධ්‍ය ද, ෆෙස් බුක් ද, කොතරම් සැගවීම උත්සහ දැරූව ද, සත්‍යය නම් ‘අලුත්ගම‘ වැනිම වූ ‘සිදුවීමක්‘ ගිංතොට ද සිදුව ඇත. සැගවීම තුල සංහිදියාවක් ඇති කර ගත නොහැකි අතර සත්‍යය හෙළි කළ යුතුව ඇත.

රෝද දෙකේ බයිසිකලය ‘තනි රෝදයෙන්‘ පදින්නට ගොස් මුස්ලිම් තරණයෙකු අනතුරට පත්වීම හා එය සිංහල – මුස්ලිම් තරුණයින් අතර ගැටුමක් බවට පත්වීම අරුමයක් නොවේ. එම සිදුවීම කලබැගෑනියක් බවට පත් කොට ඇත්තේ ‘බුදුන්ගේ ධාතුවක්‘ ඇතැයි කියන අනුරාධපුර පන්සලක නමින් ඇති පන්සලකට රැස්වු ‘තංගල්ල හා අම්බලන්ගොඩ‘ නම් ඇති දෙදෙනෙකු විසිනි. මුස්ලිම් ජනයා බහුලව සිටින පෙදෙසේ පිහිටි ‘සෝමාරාමය හා ගංගාතිලකය‘ යන පන්සල් මෙයට සම්බන්ධ නැත.

සිංහල ජනතාව බහුලව සිටින ප්‍රදේශයේ පිහිටි උක්වත්ත චන්දිම හිමියන් බෝපේ පොද්දල ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකි. නෙළුම් පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්නට සුදානම් ය.

මෙවර මැතිවරණයේ එජාපය නියෝජනය කරමින් සභාපති ධූරය ලබාගන්නට නියාස් හා අමිල නුවන් ලොකු තරගයක සිටී. සැබෑ ලෙසම ගැටුමට එක් හේතුවක් වන්නේ එජාප ලැයිස්තුවේ ඇති මේ හබය යි.
ඊයේ මුල් සිදුවීමෙන් පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රදේශය වෙත යොමු කර තිබුණි. ගාල්ලේ දේශපාලනඥයෙකු විසින් රාත්‍රීයේ එම සෙබළුන් ඉවත් කිරීමට උපදෙස් දී ඇත. රාත්‍රී 08.30 ට පමණ ගැටුම් ඇති වී ඇත්තේ පොලීසිය ඉවත් කිරීමෙන් පසුවය.

ගැටුම් හේතුවෙන් නිවාස හා වෙළෙද ස්ථාන 66 ක්, වාහන 14 කට කුමන හෝ ආකාරයක අලාභයක් සිදුවී ඇත. එයින් බහුතරය මුස්ලිම් ජාතිකයින් සතු දේපල වුව ද, සිංහල ජනතාව ගේ දේපල ද මේ අතර වේ. ගිණි තැබීම් හේතුවෙන් හානි වූ නිවාස ද ජාතීන් දෙකටම අයත් පිරිසගේ ය.

අද ගැටුමෙන් පසුව සාම කමිටුවේ සභාපති ලෙස පත් කොට ඇත්තේ ‘ගැටුමට සම්බන්ධව ජනතාව එක් වූ පන්සලක හිමිනමකි. ගැටුමේ පාර්ශයක් යැයි චෝදනා එල්ල වූ තැනක උදවිය ‘සාම කමිටුවක‘ ප්‍ර‍ධානීත්වයට පත් වන්නේ ‘ගැටුම් නිරාකරණයේ‘ කුමන නිර්ණායක යටතේ ද යන්න ඇමති වජිර අබේවර්ධන හා ගාල්ලේ දිසාපතිගෙන් ඇසිය යුතුව ඇත.

ගැටුමක් ඇතිවිය හැකි තැනක, රාත්‍රීයේ පොලීසිය ඉවත් කිරීම, හා ඉන් පසුව ප්‍ර‍හාර එල්ල කිරීම අලුත්ගම, දර්ගා නගරයේ ද ප්‍ර‍හාරයේ ස්වභාවය විය. ගිංතොට ද සිදුව ඇත්තේ එයම ය. මෙය සිංහල – මුස්ලිම් ගැටුමකට වඩා පළාත් පාලන ඡන්දය ඉලක්කකොට ගත් ‘ඉඩ කඩ ලබාදීමෙන් පසුව සිදුවූ ගැටුමකි‘.

ගැටුමෙන් පසු ගිංතොට හැටි  පෙන්වන ජායාරූප:

කීර්ති තෙන්නකෝන් කැෆේ සංවිධානයේ හා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂවරයාද වෙයි.

Back to Top