Sri Lanka Brief
පුවත්විවරණනව ව්‍යවස්ථාවක් කරා යන ගමන – සුනිල් ජයසේකර

නව ව්‍යවස්ථාවක් කරා යන ගමන – සුනිල් ජයසේකර

by

ජායාරූපය: දුර්මත දුරලීම සඳහා පුළුල් සමුළු තුනක් කැදවන බවට ජනාධිපති සිරිසේන ප්‍රකාශ කර තිබේ.

අවශ්‍යතාවය හඳුනාගැනීමට ඥානවන්තවිය යුතු අතරම බාධක ජය ගැනීමට තරම් ප්‍රඥාවන්ත ද විය යුතුය.

රටට ඉතාමත් අවශ්‍යව ඇති එහෙත් සපුරා ගැනීම සඳහා යා යුතු මාර්ගය අතිශයින්ම දුෂ්කර යමක් වේනම් එය නිසැක වශයෙන්ම හඳුන්වාදිය යුත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කරා යන ගමන් මග ලෙසටය.

ආණ්ඩුක්‍රම විෂය පිළිබඳව මූලික හෝ අවබෝධයක් ඇති පුරවැසියන්ගේ සංඛ්‍යාව අතිශයින්ම අල්පවීම, දේශපාලන බලය උදෙසා පෙනී සිටින පක්ෂ හා කණ්ඩායම් අවස්ථාවාදී ලෙස පටු අරමුණු උදෙසා පෙනී සිටීම වැනි කරුණු එහිදී දැකගතහැකි ප්‍රමුඛ බාධකයන්ය. සුළුතරයක් විය හැකි වුවත් අන්ත ජාතිවාදින්ගේ හඬ මෙවැනි අවස්ථාවලදී බලවත්ව නැගී සිටීම මෙන්ම සමාජ බලයක් සහිත ඇතැම් පාර්ශ්වයන් ව්‍යවස්ථාවට අදාළව සුළු හෝ වෙනසක් ඇතිකිරීමට යාමේදී පළ කරන භිතිය හා සැක සංකා එහිදී තීරණාත්මක වී තිබේ.

මේ තත්ත්වය ප්‍රදර්ශනය වී ඇත්තේ රටට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමේ උත්සහයන් හමුවේදී පමණක්ම නොවේ. මේ රටේ ප්‍රාදේශීය සංවර්ධන අවශ්‍යතා හා සුළුතර ප්‍රජාවන්හි දුක්ගැනවිලි මෙන්ම ඉල්ලීම් පිළිබඳව සංවේදී වෙමින් සිදුකරන්නට ගිය ව්‍යවස්ථා සංශෝධනයන් කිහිපයකදීම එවැනි තත්ත්වයන් දැකගත හැකි විය. ශ්‍රී ලාංකිකයා කොහොමටත් පවත්නා තත්ත්වයෙන් වෙනසක් සඳහාවන ක්‍රියාවලියකට පිවිසෙන්නේ කිසියම් ආකාරයේ බියමුසු සැකයකිනි.

වෙනත් ආකාරයකට තේරුම්ගන්නේ නම් ලෝකයේ අන් බොහෝ රටවලට සාපේක්ෂව ශ්‍රී ලාංකීය ජන සමාජය වෙනසකට ලක් වන්නේ ඉතා හෙමිහිටය. අතීතය තුළ ලබා ඇති කටුක අත්දැකීම්, හිස මත තබාගෙන සිටින මිත්‍යා මතිමතාන්තර මෙන්ම විචාරයෙන් තොර ඉතිහාසගාමීන් වීම තුළ හා ආගමික ලැදියාවන් වැනි හේතු සාධකයන් ඒ සඳහා බොහෝ සේ බලපා තිබේ. ඒ සියල්ලටම අමතරව වසර තිහකට අධික කාලයක් තිස්සේ රටක් ලෙස මුහුණ දුන් බෙදුම්වාදී ත්‍රස්තවාදය තුළින් ලබා ඇති පීඩාවන් හා එහි අමිහිරි මතකය තුළ තවමත් තැති ගැන්වෙන මනෝ භාවයන් ද ඊට බෙහෙවින් හේතු සාධක සපයා ඇති බව අප කිසිවෙකු අමතක කළයුතු නැත.

ඒ අනුව රටක් ලෙස අප යහපත් අනාගතයක් අපේක්ෂා කරන්නේ නම් පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට අවතීර්ණ වීමට තරම් ඥානවන්තවීම අත්‍යාවශ්‍ය වන අතරම ඒ සඳහා ගමන් කළයුතු මාර්ගය ඉදිරියේ ඇති අභියෝග, මර උගුල් හා පසුගාමී ආකල්පයන් ද පරාජය කිරීමට තරම් ප්‍රඥාවන්ත භාවයකින් ද යුක්ත විය යුතුය. එය හුදු අවශ්‍යතාවය නිසාම හෝ ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගයන්හි තර්කානුකූලභාවය නිසා පමණක් සපුරා ගැනීමට නොහැකිය. මේ රටේ පරිණත දේශපාලනඥයන් ලෙස බුහුමන් ලබන එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට මෙන්ම ඩඞ්ලි සේනානායක මහතාට ද වැරදුනේ එතනදීය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය පමණක් නොව ව්‍යවස්ථා සම්පාදන විෂයේදී ශ්‍රී ලංකාව බිහි කළ ප්‍රාමාණික විද්වතෙකු වන ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා ද නිවැරදිව තේරුම් නොගත්තේ එයමය. එකී කඩුල්ල තරණය කරමින් යම් තරමක හෝ සාර්ථකත්වයක් ලබා ඇති අයෙකු ලෙස ජේ.ආර්. ජයවර්ධන මහතා හඳුන්වාදිය හැකි වුවත් රටක් ලෙස අද අප වන්දි ගෙවමින් සිටින්නේ ඔහු හඳුන්වාදුන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උගුලෙන් ගැලවීගත නොහැකිවය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සාධරණීකරණය කළ ප්‍රමුඛතම රාජ්‍ය නායකයා ජේ.ආර්. ජයවර්ධන මහතා වූ අතර එකී ව්‍යවස්ථාවට පක්ෂව එය ආරක්ෂා කරන ලද සෑම දේශපාලන නායකයෙක්ම පසුකාලයේදී එකී ව්‍යවස්ථාවේ බලතල හේතුවෙන් බරපතළ ලෙස බැට කා තිබීම තුළම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ඒකාධිපති, සර්ව බලධාරී පාලන ක්‍රමයක ඇති සමීප භාවය ප්‍රකට කරවයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව වන කතිකාව මෙන්ම ක්‍රියාවලිය ද අද වන විට පිවිස ඇත්තේ පෙර සඳහන් කළ සියලු ලක්ෂණ රජ කරන මාවතකටය. නොදැනුවත් භාවය, අන්තවාදයට නතුවීම, පටු දේශපාලන අරමුණු මෙන්ම සහේතුක නැති බිය හා සැක සංකාවන් තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට එරෙහිව නැගෙන මර ළතෝනිය අද වන විට ඇසෙමින් තිබෙන්නේ ඒ නිසාය.

ඒ අනුව යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ඇතැමුන් තුළ පවත්නා වැරදි මත නිවැරදි කරවීම අත්‍යාවශ්‍යයෙන්ම සිදු කළයුතු කාර්යයක් වී තිබේ. ඒ සඳහා ප්‍රවේශ විය යුත්තේ හුදු බලහත්කාරය හෝ ආවේගශීලි ප්‍රවේශයකින් නොවේ. සංවාදය, සාකච්ඡාව හරහා ඇතිකර ගන්නා සම්මුතියකින් හැර ඊට සුදුසු වෙනත් මාවතක් නැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයට පත්කළ පියවර තුනකින් යුත් වැඩපිළිවෙළ අතිශයින්ම වැදගත් වන්නේත්, ප්‍රායෝගික වන්නේත් ඒ අනුවය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ අන්දමට නව ව්‍යවස්ථාව පිළිබඳව ඇති දුර්මත හා විවේචනයන් පිළිබඳව අවධානය යොමු කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සමග වන සමුළුවක් ද, ආගමික නායකයින්ගෙන් සමන්විත සර්ව ආගමික සමුළුවක් ද, ව්‍යවස්ථා සම්පාදන විෂයට අදාළ විද්වතුන් හා බුද්ධිමතුන්ගෙන් සමන්විත සමුළුවක් ද එහිදී කැඳවීමට නියමිතය.

රටේ අනාගත යහපත, ජාතික ඒකාබද්ධතාවය මෙන්ම සාමකාමී පුරවැසි අපේක්ෂාවන් සළකා බැලීමේදී එය අතිශය දූර්දර්ශී තීරණයකි.

සුනිල් ජයසේකර

Back to Top