Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගසරණාගතයින් සිර කඳවුරකට යැවීම: ආණ්ඩුවක්ද‍? පාන්ඩුවක්ද? – සුනන්ද දේශප්‍රිය

සරණාගතයින් සිර කඳවුරකට යැවීම: ආණ්ඩුවක්ද‍? පාන්ඩුවක්ද? – සුනන්ද දේශප්‍රිය

by

ජායාරූපය‍: විනාශ කළ යුතු බවට අන්තවාදීන් දේශණා කළ රෙහින්ග්‍යා අනාථ පිිරිස නාවික හමුදාව විසින් මහ මුහුදෙහිදී බේරා ගැනීමෙන් පසු  ලද විවේකය.

පසුගිය අඟහරුවාදා අතලෝසක් වූ අන්තවාදී රුළක් මෙරට තාවකාලිකව නවාතැන් ගෙන සිටි මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයින්ට පහර දීම පිනිස ගේට්ටු කඩාගෙන පැන්නේ පොලීසිය බලා සිටියදීය. දරුවන් 16 දෙනෙකු ද ඇතුළු එම පිරිස,  මැර රංචුව විසින් හදුන්වන ලද්දේ පළවා හැරිය යුතු ත්‍රස්තවාදීන් ලෙසය. මේ සිවුරුකාර දාමරිකයන්ගේ සහ අන්තේවාසික මදාවියන්ගේ  සමාජ ජාල අනුගාමිකයින් ලියා පළ කරන කතාන්තර කියවන විට මෙම රංචුව අතට එම සරණාගතයින් හසුවූයේ නම් සිදුවන්නට ඉඩ තිබූ තිරශ්චීන මනුෂ්‍ය ඝාතනය සිතා ගත හැකිය.  එය 83 වැළිකඩ ඝාතනය පරදවන්නට ඉඩ තිබුණි.

මේ සියල්ල සිදු වෙත්දී එදා මෙන්ම මෙදාද පොලීසිය බකං නිලාගෙන සිටියේය.

තමන්ගේ සහ තම දරුවන්ගේ ජීවිතයට මහත් අනතුරක් ඇතැයි නොසිතන්නේ නම් අත දරුවන් රැගෙන මහා සාගරය හරහා යෑමට බෝට්ටුවකට ගොඩ වන්නේ කවරෙක්ද? බියට පත් එවැනි පිරිසක් විනාශ කළ යුතු භයානක ත්‍රස්තවාදීන් ලෙස සැළකිය හැක්කේ ආගමික සහ ජාතිකවාදී උමතුවකින් පෙළන රංචුවකට පමණි.

සරණාගතයකු යනු මර්දනයට ලක් කිරීම, යුද්ධය හෝ ප්‍රචන්ඩ තත්වයක් නිසා පලා යන පුද්ගලයෙකි. සිය වර්ගය, ආගම, ජාතිකත්වය, දේශපාලන මතවාද, හෝ සුවිශේෂ සමාජ කණ්ඩායමක සාමාජිකත්වය දැරීම නිසා තමා දණ්ඩනයට ලක්වනු ඇතැයි සහේතුක බියක් සරණාගතයකුට තිබේ. සරණාගතයකු යනු අයිතීන් සහිත අයෙකි.

මානව වංශ කතාව යනු ද විවිධ හේතූන් උඩ රටින් රටට සංක්‍රමණය වූ මිනිසුන්ගේ කතාවකි.

මානව ශිෂ්ඨාචාරයේ එක් ළකුණක් වන්නේ එවැනි සරණාගතයින්ට රැකවරණය ලබා දීමයි. අප ජිවත්වන දකුණු ආසියාවෙහි ද එම මානූශීය සංස්කෘතිය පවතී, දහස් ගණනාවක් භූටාන ජාතිකයෝ වසර ගණනාවක්ම නේපාලයෙහි සරණාගතව විසූහ‍.ඉන්දියවෙහි මිලියන ගණනින් ටැබැට්, ශ්‍රී ලාංකික, බංගලාදේශ යනාදී වශයෙන් සරණාගත පිරිස් ජිවත් වෙති.

සිංහල වංශයේ ආරම්භකයා ලෙස වංශ කතාවන්හි දැක්වෙන විජය කුමරා ද නපුරුකම් නිසා රටින් පිටුවාහල් කරන ලදුව තම්බපන්නිය නම් වූ මෙරට ආ අනාථයෙකි. එකළ බලය යුක්තිය වූ බැවින් විජයට මිනීමැරීම් හරහා මෙරට සිය වසඟයට ගැනීමට හැකිවිය.

මානව ශිෂ්ඨාචාරය ගොඩ නැගීමේ ලා මහත් දායකත්වයක් ලබා දුන්  සරණාගතයින් අතර දාර්ශනියකයින්, ලේඛකයින්, විද්‍යාඥයින් වැන්නෝද විරල නැත. රුසියනු කොමියුනිස්ට් විප්ලවයේ නායකයා වූ වැලැඩිමිර් ලෙනින් කලක් ස්විස්ටර්ලන්තයෙහි ජීවත් වූයේ සරණාගතයකු ලෙසය. ලොව පුරා පිළිගැනීමක් ඇති එකම බෞද්ධ භික්ෂුව වන දලයි ලාමා අද පවා ජිවත්වන්නේ සරණාගතයකු ලෙසය. ඔහු මෙන්ම සරණාගත ජීවිතය ගත කරන සිය ගණනාවක් ටිබැට් බෞද්ධ භික්ෂුන් ද එරටින් පලාවිත් ඉන්දියාවෙහි සරණාගත ජිවිත ගත කරති. අප බොහෝ දෙනෙකු පාවිච්චි කරන ඇපල් ජංගම දුරකථනය බිහිකළ ස්ටිව් ජොබ්ස් ඇමෙරිකාවට ගිය සරණාගතයකුගේ පුතෙකි.

තමාද කළක් සරණාගතයකු වූ බව පිළිගන්නා එක්සත් ජාතීන්ගේ වත්මන් මහ ලේකම් ඇන්තෝනියෝ ගුත්රේස් කියන්නේ සරණාගත අයිතිය ප්‍රභූවරුන්නට පමණක් ඇති වරප්‍රසාදයක් නොවිය යුතු බවයි.  දාමරික අන්තවාදී රංචුව  විසින් වටකර පහරදීමට සැළසුම් කළ එකී මියන්මාර සරණාගතයින් අයත්වන්නේ ප්‍රභූ පෙළැන්තියකට නොව දුගී පෙළැන්තිටය. එම පිරිස ධනහිමි පිරිසක් වූයේ නම් මේ දාමරිකයින් ඔවුන්ට පහර දෙන්නට යන්නේ නැත.

කවර ආගමක හෝ පූජකයකුට රටක නීතියට පිටින් යෑමට ඉඩ නැත. නමුත් පසුගිය කාලය පුරාම සිවුරු දරණ දාමරිකයින්ට මෙරට නීතියක් තිබී නැත. රාජපක්ෂ සමයෙහි මෙම අක්මීමන දයාරත්නලා හැසිරුනේ නිල නොලත් මර්ධන පොලීසියක් ලෙසය. යාපනයේ සිට පුහුණූ වැඩ මුළුවක් සඳහා දකුණට පැමිණි ජනමාධ්‍යවේදී කණ්ඩායමකට එළව එළවා තර්ජනය කරමින් රැයක් පහන් කිරීමටවත් ඉඩක් නොදී යළි යාපනයට හරවා යැවූයේ රාජපක්ෂ ඌෂ්ණය තිබූ මෙවැනි සිවුරු සහ සිව්රු නැති ජාතිවාදී උම්මන්තකයින් විසිනි. එකළ නීතිය තිබුණේ මෙම උම්මන්තකයින් අතෙහිය‍.

එමෙන්ම ඉහත කී උම්මන්තක අන්තේවාසිකයින්  විසින් කියන පරිදි එකී මියන්මාර සරණාගතයින් තළා පෙලා දැමීම පිනිස කඩා වැදුණූ සිවුරුකාර චන්ඩින්ට තමන් විසින්ම ගන්නා ලද තීන්දුවක් අනුව ප්‍රචන්ඩ ක්‍රියාවන්හි නිරතවීමට අයිතියක් තිබුණි. එසේ නම් සෝමාරාම නම් සිවුරුකාර මිනිමරුවා  විසින් අගමැති බණ්ඩාරනායක ඝාතනය කිරීමද සාධාරණය.  වත්මන් ශ්‍රී ලංකාවෙහි කහ හෝ රතු සිවුර යනු  ඕනෑම ජාතිවාදී දුෂ්ඨකමකට ලයිසමක් බවට පත්ව තිබෙන්නේද ඒ අනුවය. එනම්  සිවුර ප්‍රශ්ණ කළ නොහැකි බලයක් ලෙස මෙරට ප්‍රධාන ධාරවේ දේශපාලනය සහ පොලීසිය විසින් සළකන නිසාය. එනයින් බණ්ඩාරනායක ඝාතනය කිරීම ද සිවුරැ දැරීම නිසා ලද අයිතියක් ලෙස තර්ක කිරීමට, විරුද්ධවාදින් ඝාතනය කිරීමට බණ දෙසන අද සමාජ ජාල උම්මන්තයින්ට බැරිකමක් නැත.

ජාතිවාදී උම්මන්තකයා මොකෙක් වුවත් පරාජය කළ යුතුය.

මෙරට පොලීසියේ භාවිතය අනුව , සිවුර පොරවාගත් කළ පුරවැසියකුට තිත්ත කුණු හරැපයෙන් බැණ වැදීමටද, අනෙක් ආගම් ලබ්දිකයනට ප්‍රසිද්ධියේ පහර ගැසීමටද,  දේවස්ථානයන්ට පහර දීමටද, තමන් නුරුස්නා ජනවර්ගයන්ට අබ සරණ පෙන්වීමට ද අයිතියක් තිබේ.

අලුත්ගම මුස්ලිම් ජනයා අබසරණ යවන බවට බණ දෙසා දර්ගා නගරය ගිනි තැබීමට මුල් වූ ඥානසාර මහ තෙරනුවන්ගේ මහා ආරක්ෂකයා ලෙස වැජඹෙන්නේ ජනාධිපති සිරිසේනගේ උපදේශකයකු වන උලපනේ සුමංගල හිමිය. ඥණසාරගේ අධර්මිෂ්ඨ ක්‍රියාවන් සම්බන්ධයෙන් පවරන ලද නඩුවකින් අප ලබා නිදහස්වීම මේ ජනාධිපති උපදේශකයා‍, තමන්ගේ අමන්දානන්දයට ලක් වූ බව ජනමාධ්‍යට ද වදාළේය.

පසුගිය කාලය පුරාම සිවුරුකාර දාමරිකයන්ට පොලීසිය නිහඩ අනුග්‍රහය දක්වා ඇතිවා පමණක් නොව දේශපාලන නායකයන් ඊට නිශ්ෂබ්දතාවයේ කුමන්ත්‍රණය මගින් සහාය දී තිබේ.

ගුරා හිටගෙන හුජ්ජ කරන විට ගෝලයෝ දුව දුව කරන්නේ යැයි කියනු ලැබේ.

එනයින් ශ්‍රී ලංකාව, සමස්ත ලෝකය හමුවෙහිම නින්දාවට පත්කරමින් පසුගියදා අසරණ මියන්මාර සරණාගතයිනට පහර දීමට බෞද්ධ භික්ෂුන් යැයි පෙනී සිටින සිව්රුකාර දාමරිකයන් පිරිසක් කඩා පැනීම, දීර්ඝ කාලයක් පුරා මෙරට දේශපාලනඥයින් සහ පොලීසිය විසින් එවැනි සැහැසි ක්‍රියාවන්ට දක්වන ලද නීච අනුබලයේ විපාකයකි.

මෙම සිදුවීමට පසුදා අපි, නුදුරෙහි ශ්‍රී ලංකාවේ දූත ගමන්හි යෙදෙන එක්සත් ජාතීන්ගේ කණ්ඩායම් සමඟ අදහස් හුවමාරුවක යෙදෙමින් සිටියෙමු. ඔවුන්ගේ ප්‍රථම ප්‍රශ්ණයක් වූයේ රොහින්ග්‍යා සරණාගතයිනට කරන ලද අකටයුත්තයි. එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමෙහි කොළඹ කාර්යාලය ලෝකයට කියා සිටියේ මෙම සිදුවීමෙන් තමන් තැති ගැන්මට පත්ව සිටින බවයි. සරනාගතයින් ආරක්ෂා කිරීම අන්තර් ජාතික වගකීමක් බව පෙන්වා දුන් එම  නිවේදනය ඉතා පැහැදිලිව කියා සිටියේ මෙම සරණාගතයින් මෙරට රැදි සිටින්නේ ආණ්ඩුවේ අවසරය ඇතිව බවය. ඉන් ගම්‍ය වන්නේ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ආණ්ඩුවේ වගකීමක් බවයි.

ආණ්ඩුව එම වගකීම පැහැර හැරියා පමණක් නොව එම පිරිස කුප්‍රසිද්ධ බූස්ස කඳවුරට යැවූයේ ය. ඊට හේතු වශයෙන් කියා සිටියේ එම සිර කඳවුරට ඔවුන් යවන ලද්දේ ආරක්ෂාව පිනිස බවයි.  කොළඹ නිවසක සරනාගතයින් 31 දෙනෙකුට ආරක්ෂාව සැළසිය නොහැකි ආණ්ඩුවක්, ආණ්ඩුවක් නොව පාන්ඩුවකි. නැත්නම් එහි නායකයින් සිවුරුකාර මැරයින් දුටු විට දෙකකුල් තෙමා ගන්නා දේශපාලන බයගුල්ලන්ය.

මෙම සිවුරුකාර මැරයිනට එරෙහිව එඩිතරව  සිය අදහස් දැක්වූ මංගල සමරවීර සහ රාජිත සේනාරත්න දැන් තනි වන්නට ඉඩ හැර තිබේ. සිරිසේනගේ සහ වික්‍රමසිංහගේ  කටේ පිට්ටුය. ලක්ෂාන් ඩයස් පිළිබද ප්‍රශ්ණයේදී අන්තවාදීන් තුටු කරනු පිනිස වහාම අගරදගුරුට කතා කල ජනාධිපති මේ ප්‍රශ්ණයේදී කවරකුට හෝ කතා කර නැත.

රටෙහි දේශපාලන න්‍යාය පත්‍රය ලිවීම තමන් අතට ගැනීමට නම් ආණ්ඩුව කළ යුතු වූයේ ඇමැතිවරුන් වන රාජිත සහ මංගල විසින් කරන ලද ප්‍රකාශයන් තහවුරු කරමින් අන්තවාදයට එරෙහි මහා ප්‍රහාරයකට යෑමයි. අක්මීමන දයාරත්න වේවා ගලබොඩඅත්තේ ඥනසාර වේවා කවරකුගේ වුව අන්තවාදය අද පරාජය නොකළහොත් හෙට එය මාරවේශයෙන් පැමිණෙනවා ඇත.

නිව්යෝක් නගරයේ එක්සත් ජාතීන්ගේ සමුළුවට ගොස් එහි මානව හිමිකම් කොමසාරිස් සහ මහ ලේකම්ට මෙරටට පැමිණ මානව හිමිකම් වර්ධනය බලා ගන්නැයි ආරාධනා කළ ආණ්ඩුවක් අසරණ සරණාගතයින් 31 දෙනෙකු ආරක්ෂා කරගත නොහැකිව ඔවුන් සිර කඳවුරකට යැවීම එකී සරණාගතයින්ගේ නොව ආණ්ඩුවේද ඛේදවාචකයක් නොවන්නේද?

මේ ඔබටයි, ජනපති සිරිසේන, අගමැති වික්‍රමසිංහ.

 

 

 

Back to Top