Sri Lanka Brief
පුවත්විවරණව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා කරුණු දැක්වීම – හරීම් පීරිස්

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා කරුණු දැක්වීම – හරීම් පීරිස්

by

ජායාරූපය: කිඝනොච්චියේ බි දමන ලද ජල ටැංකිය- සිවිල් යුද්ධ තත්වයක සිට පශ්චාත් යුද්ධ තත්වයකට අවතීර්ණ වන රටවල දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කර ගැනීමත් අත්‍යාවශ්‍ය ය.

මෙය ලියන මොහොතේ ව්‍යවස්ථා සභාවේ විධායක කමිටුවේ අතුරු වාර්තාව සැප්තැම්බර් 21 වැනි දා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. එනම්, 2016 ජනවාරි මාසයේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් බවට පත්වූ දා සිට අවුරුදු එක හමාරක පමණ කාලයක් ඇවෑමෙනි. එසේ වෙතත්, රාජ්‍ය ප්‍රතිසංස්කරණ හරහා සිදු කෙරෙන මේ ඉතා වැදගත් රාජ්‍ය ගොඩනැගීමේ ක්‍රියාවලිය තුළ අදාළ සාධක කෙරෙහි අවබෝධයක් ඇති කෙරෙනවාට වඩා සිදු වන්නේ, දැනුවත් මහජන කතිකාමය ක්‍රියාවලියක් නිර්මාණය කර ගැනීමට වඩා සිදු වන්නේ, දේශපාලනික හාහෝවක් ඇති කිරීමයි.

සිවිල් යුද්ධ තත්වයක සිට පශ්චාත් යුද්ධ තත්වයකට අවතීර්ණ වන රටවල් හෝ අභ්‍යන්තර ගැටුම්කාරී තත්වයක සිට පශ්චාත් ගැටුම් තත්වයකට අවතීර්ණ වන රටවල් මුහුණදෙන ජාතිය ගොඩනැගීමේ අභ්‍යාසය සඳහා, යුද්ධ කාලය තුළ බල කෙරුණු තත්වයන් යටතේ සීමා කිරීමට සිදු වූ සිවිල් නිදහස් සහ අයිතිවාසිකම් යළි ලබා ගැනීමට සේම, ගැටුම්කාරී තත්වයේ ප්‍රතිවිපාක ඉදිරියේ පුනරුත්ථාපන සහ යළි ගොඩනැගීම් කිරීමත්, ගැටුමේ හේතුකාරකයන්ට ආමන්ත්‍රණය කෙරෙන දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කර ගැනීමත් අත්‍යාවශ්‍ය වන බව, සමකාලීන ජාත්‍යන්තර අත්දැකීම් මගින් සේම, ඉතිහාසය සහ දේශපාලන විද්‍යාව මගින් ද අපට කියා දෙනු ලැබේ. එය ලංකාව සම්බන්ධයෙන් ද පොදු කාරණයකි.

2015 දී බලයට පත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට ප්‍රතිසංස්කරණ වර්ග තුනක් හෙවත් ප්‍රතිපත්ති රාමු දක්වන කුළුණු තුනක් සඳහා ජන වරමක් ලැබී තිබේ. ඉන් පළමුවැන්න වන්නේ, දේශපාලන ප්‍රතිසංස්කරණයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය වැනි කරුණු ඊට අයත් වෙයි. දෙවැන්න වන්නේ, ආර්ථික ප්‍රතිසංස්කරණයි. ඒ සඳහා විවිධ ප්‍රතිපත්තිමය ප්‍රවේශයෙන් යොදාගත යුතුව තිබේ. තෙවැන්න වන්නේ, සහජීවනය සඳහා වන ප්‍රතිසංස්කරණයන් ය. දේශපාලනික හෙවත් ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ තුළ විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කිරීමට හෝ අහෝසි කිරීමටත්, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමටත්, බලතල බෙදා හැරීමේ ක්‍රමයක් අනුගමනය කිරීමටත් යෝජිතව තිබේ.

මැතිවරණ ක්‍රම ප්‍රතිසංස්කරණය වෙනුවෙන් යම් තරමක පුළුල් එකඟත්වයක් ඇති බවක් පෙනේ. වඩාත් මිශ්‍ර හෙවත් හයිබි්‍රඞ් ක්‍රමයක් තුළ සෘජු සහ සමානුපාතික ඡන්ද ක්‍රමයක් භාවිතයට ගැනීම එහිදී අපේක්ෂා කෙරේ. එහිදී තමන්ගේ නියෝජනත්වය පිළිබඳ යම් ප්‍රශ්නයක් සුළු පක්ෂවලට තිබිය හැකිය. වැඩියත්ම, ආසනයකින් ජයගත නොහැකි මුත්, සමානුපාතික ක්‍රමයක් යටතේ පමණක් ජය ගැනීමේ හැකියාවක් ඇති සුළු පක්ෂවලට එවැනි ප්‍රශ්නයක් තිබේ. අවසානයේදි ඔවුන්ගේ එවැනි ප්‍රශ්නවලටත් යම් පිළියමක් යොදා ගත යුතුව ඇත. ඒ සඳහා යම් තාක්ෂණික මෙවලම් භාවිත කිරීම අපහසු නොවේ.

බලය බෙදා හැරීම පිළිබඳ ප්‍රශ්නය, නිදහස් ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡාවට ලක්ව ඇති කාරණයකි. මේ සංවාදයේ තරමක් ඈතට විහිදෙන අවස්ථා වශයෙන්, බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම සහ ඩඞ්ලි-චෙල්වනායගම් ගිවිසුම හඳුනාගත හැකිය. එම අවස්ථාවලදී නායකත්වයේ එකඟත්වයක් ඇති කර ගැනීමට හැකි වී තිබේ. ඊටත් වඩා මෑතකදී, චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් යුත් ජනතා සන්ධාන පාලන තන්ත්‍රය තුළ 2000 අගෝස්තුවේ යෝජිත අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සංවාදය තුළත්, ඉනුත් පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ ‘සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ’ නිර්දේශ සහ යෝජනා තුළත් මෙන්ම, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශ තුළත්, කේන්ද්‍රයේ බලතල අවම කරමින් ප්‍රාදේශීයව බලතල බෙදා හැරීමේ අවශ්‍යතාව පිළිබඳ යම් ආකාරයක එකඟතාවක් ඇති කරගෙන තිබේ. එල්.ටී.ටී.ඊ. සංවිධානය සටන් කෙළේ බලය බෙදා ගැනීම සඳහා ය, එසේ හෙයින් මේ කියන බලය බෙදා හැරීමේ යෝජනා සහ නිර්දේශ වනාහී එල්.ටී.ටී.ඊ. න්‍යාය පත්‍රයේ අවශ්‍යතාවන්ට ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ හරහා මග පෑදීමක් ය යන්න අතාර්කික ය. මන්ද යත්, ඇත්ත වශයෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානය පළාත් සභාවලට සහ බලය බෙදා හැරීමේ ක්‍රමයට විරුද්ධව වෙනම රාජ්‍යයක් සහ පරම බලයක් සඳහා යුද්ධ කළ බැවිනි. තවදුරටත් බලතල බෙදා හැරීමෙන් ඇත්ත වශයෙන්ම කෙරෙනු ඇත්තේ රාජ්‍යය තවත් ශක්තිමත් කිරීමකි. මන්ද යත්, විසම වූ සමාජ කණ්ඩායම් සහ වාර්ගික සුළුතරයන් ශ්‍රී ලාංකීය රාජ්‍යයෙන් විලෝපනය වීම, මුළුමණින් නැතත් යම් තාක් හෝ අවම කරමින්, ඔවුන්ව සමාජයට ඒකාබද්ධ කර ගැනීමට ඒ මගින් අවස්ථාව සැලසෙන බැවිනි. ඒ අනුසාරයෙන්, එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් ආචාර්ය නීලන් තිරුචෙල්වම් වරක් ඉතා කදිමට පෙන්වා දුන් පරිදි, ‘බහු-වාර්ගික සමාජයක් මත ඒක-වාර්ගික රාජ්‍යයක් පැටවා තිබීමේ අක්‍රමිකතාව’ විසඳා ගැනීමටත් අපට හැකි වනු ඇත.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ බිම් මට්ටමේ යථාර්ථය සහ හතළිස් වසකට ආසන්න විධායක ජනාධිපති ක්‍රමයේ දීර්ඝ කාලීන අත්දැකීම් නොතකා හැරෙන බවක් පෙනෙන්නේ, විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ මෑත කාලීන දේශපාලන සංවාදය තුළයි. මුලින්ම, ශ්‍රී ලංකාව රාජාණ්ඩු ක්‍රමයක් සහිත රටක් නොවන නිසාත්, ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවේ කවදත් සිටින නිසාත්, සැබෑ ප්‍රශ්නය වන්නේ, 19 වැනි සංශෝධනයට කලින් මෙන් ජනාධිපතිවරයාට අසීමිත බලතල පවරන්නේ ද, නැතහොත් තවත් ඉදිරි ප්‍රතිසංස්කරණ හරහා එම ධුරයේ බලතල තවත් කප්පාදු කරන්නේ ද, එසේත් නැතහොත්, 1978 ට කලින් මෙන් සියලු විධායක බලතල කැබිනට් මණ්ඩලයට සාමූහිකව පැවරෙන නාමික ජනාධිපතිවරයෙකු පත්කර ගන්නේ ද යන්නයි.

විධායක ජනාධිපති ක්‍රමයේ ආරක්ෂකයෝ ඒ සඳහා තර්ක දෙකක් ඉදිරිපත් කරති. ඉන් පළමුවැන්න වන්නේ, විධායක ජනාධිපතිවරයාව පත්කර ගැනෙන්නේ සමස්ත රටේම ඡන්දදායකයාගෙන් නිසා, උතුරු නැගෙනහිර ජීවත් වන වාර්ගික සුළුතරයන් සහ ආගමික සුළුතරයන් ඇතුළු රටේ කිසි ඡන්දදායකයෙකු බැහැර කිරීමට හෝ නොතකා හැරීමට එකී ජනාධිපතිවරයාට හැකියාවක් නොලැබෙන බවයි. මේ තර්කයේ යම් සත්‍යයක් ඇතත්, එය මුළුමණින් නිවැරදි නොවේ. 2015 ජනවාරියේ හැරුණු කොට, උතුරු නැගෙනහිර ඇතුළු සමස්ත රටම එක්ව ජනාධිපතිවරයෙකු තෝරාගෙන ඇත්තේ ඊට අවුරුදු විස්සකටත් කලිනි. ඒ, උතුර මෙන්ම නැගෙනහිරත් 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ අවස්ථාවයි. එසේ තිබියදීත්, ඇයම දෙවැනි වරට 1999 දී ඉදිරිපත් වූ අවස්ථාවේ ජයගත්තේ ඉතා සුළු ඡන්ද ප්‍රමාණයකින් වන අතර, එහිදී උතුරු නැගෙනහිර බහුතරයක් ඡන්දය පාවිච්චි කොට තිබුණේ ඇගේ ප්‍රතිවාදියාටයි. රාජ්‍ය පාලනය තුළ නියෝජනත්වය නොලබන කණ්ඩායම් සහ සුළුතරයන් වඩාත් හොඳින් ප්‍රතියෝජනය කර ගත හැකි ආයතන, අවශ්‍ය නම් අපට ඇති කර ගත හැකිය. ඉන් එකක් වන්නේ, දෙවැනි මන්ත්‍රණ සභාවක් ඇති කර ගැනීමයි. එසේත් නැතහොත්, පහළ මන්ත්‍රී මණ්ඩලයේ සුළුතර නියෝජිත සංඛ්‍යාව යම් පමණකින් වැඩි කර ගැනීමයි. එය, ඉහතින් කතා කළ සුළුතර පක්ෂවල මැතිවරණ නියෝජනත්වය පිළිබඳ ප්‍රශ්නයටත් පිළිතුරක් වනු ඇත.

ශක්තිමත් විධායකයක් ඉල්ලා සිටින පිරිස් ඉදිරිපත් කරන දුර්වලම තර්කය වන්නේ, ජාතිය එක්සත් කොට තබා ගැනීමට එවැනි බලවත් සහ ශක්තිමත් කේන්ද්‍රීය බලයක් සහ අධිකාරියක් සහිත ක්‍රමයක් ප්‍රයෝජනවත් වන බවයි. සමාජ ඒකාබද්ධතාව හෙවත් සංගතිය ඒ මගින් ප්‍රවර්ධනය කෙරෙන බවක් ඉන් ගම්‍ය කෙරේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ගත වු දශක දෙකක අත්දැකීම කියා පාන්නේ ඊට සපුරා පටහැනි කතාවකි. ශක්තිමත් මධ්‍යගත බලයක් බොහෝ විට බල අපයෝජනයට තුඩුදෙන බව අප හඳුනාගෙන තිබේ. ඇක්ටන් සාමිවරයා වරක් කියා ඇති පරිදි, “බලය දූෂිත ය. පරම බලය පරම දූෂිත ය”. වගවීමකින් තොර, සංවරණ සහ තුලන රහිත ඕනෑම බලයක් සමාජ ප්‍රතිරෝධයන් ජනනය කරන බවත්, කැරලිවලට තුඩුදෙන බවත්, කවුරුත් ප්‍රත්‍යක්ෂයෙන් දන්නා කාරණයකි. ශ්‍රී ලාංකීය රාජ්‍යයට ජනතා විමුක්ති පෙරමුණෙන් සේම එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ද එල්ල වූ සන්නද්ධ අභියෝගය උත්පාදනය කෙරුණේ හෝ, අඩු වශයෙන් එම නැගිටීම් එකට ගමන් කෙළේ, රටේ ප්‍රජාතන්ත්‍රීය අවකාශයේ හැකිලීම සමගිනි. 1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුළින් එතෙක් පැවති තුලන සහ සංවරණ අවම කරමින් මධ්‍යගත බලය තර කර ගත් තරමට, රටේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හීන විය. සමාජ සංගත භාවය සහ ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කෙරෙනුයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ බලතල බෙදාහදා ගැනීම වැඩි වන තරමට ය. ඒ මගින්, හුදෙක් පරම අධිකාරීවාදී සංගත බලයක් වෙනුවට, ජාතික එක්සත් භාවය සහ ජාතික ආරක්ෂාව ශක්තිමත් කෙරෙන රාජ්‍යයක් සහ රටක් බිහි කර ගත හැකි වන්නේය.

2017 සැප්තැම්බර් 20 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ       Making the Case for Constitutional Reform නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

Back to Top