Sri Lanka Brief
පුවත්යුක්තිය ඉල්ලන සරත් නන්ද සිල්වාගේ අයුක්ති වාර්තාවෙන් බිදක් – සුනිල් ජයසේකර

යුක්තිය ඉල්ලන සරත් නන්ද සිල්වාගේ අයුක්ති වාර්තාවෙන් බිදක් – සුනිල් ජයසේකර

by

පළාත් සභා ඡන්ද විමසීම පනත් කෙටුම්පතට පසුගිය දා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අතිබහුතරයක අනුමැතියකින් යුතුව එක්කරන ලද සංශෝධන අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ. එහිදී එකී පෙත්සම මගින් කියා සිටින්නේ පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝධන කෙටුම්පතේ කාන්තා නියෝජනයට අදාළ වගන්ති ඉවත් කර ඊට කිසිසේත් අදාළ නොවන කාරණා ඇතුළත් කර ඇති බවය. එමෙන්ම එම සංශෝධන සම්මත කරගැනීම තුළින් පළාත් සභා කල්දමා ඇති වගය. එකී තත්වය මත පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ ඕනෑම පුරවැසියෙකුට තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි හැඟෙන අවස්ථාවක දී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් පිළිසරණ පැතීමට අයිතියක් තිබේ. එමෙන්ම පුරවැසි අයිතිවාසිකම් තහවුරු කිරීම, අධිකරණය සතු මූලික වගකීමක් සේ සැලකීමේදී රටේ පුරවැසි අයිතීන් ආරක්ෂා කිරීම ද එම අයිතිය තහවුරු කිරීමේ වගකීම ද පැවරී ඇත්තේ අධිකරණයට ය. ඒ අනුව මේ රටේ ඕනෑම පුරවැසියෙකුට ඇති එකී අයිතියට අප ගරු කළයුතුය. ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුය. එමෙන්ම එකී අයිතිය හිමිවන්නේ රටේ වෙසෙන යුක්තිගරුක පුරවැසියන්ට පමණක් නොව යම් යම් සීමාවන්ට යටත්ව පාදඩයෙකුට පවා එම අයිතිය කිසිදු අඩුවකින් තොරව හිමිවන බව පිළිගත යුතුය. එහෙත් රටක අධිකරණයක් හමුවේ යුක්තිය ඉල්ලා සිටින මෙකී පෙත්සම්කරු පිළිබඳව සැලකීමේදී නීතිගරුක පුරවැසියන් ලෙස සිනහසිය යුතුද, හඬා වැළපිය යුතුද නැතිනම් කෝපයෙක් මුර ගෑ යුතු ද යන ත්‍රිකෝටික ගැටලුවකට මුහුණ දීමට අපට සිදුවේ.

අද දින මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර ඇත්තේ කොළඹ 05, දාබරේ මාවතේ පදිංචි හිටපු අගවිනිසුරුවරයෙකු වන සරත් නන්ද සිල්වා මහතා විසිනි. ප්‍රශ්නය පැන නගින්නේ එතැනදී ය. මක්නිසාද යත් සරත් නන්ද සිල්වා මහතා විසින් තම නිල බලය යොදා සිදුකර ඇතැයි සැලකෙන විෂමාචාර, බලය අයුතු ලෙස යෙදවීම්, අපරාධ සහයකයෙකු වීම සහ රටේ උත්තරීතර නීතිය හා උත්තරීතර අධිකරණය අවභාවිතා කිරීම වැනි කරුණු සැලකීමේදී එම සිදුවීම් වලට අදාළ වින්දිතයන්ට යුක්තිය ඉටුවූයේ නම් ඇතැම්විට මේ මොහොතේ දී සරත් නන්ද සිල්වා මහතා සිටිය හැක්කේ බන්ධනාගාරගතව ය.

එසේ වුවත් ඒ නිසා අධිකරණය හමුවට පැමිණ ඔහුට වූ යම් අයුක්තියක් වී නම් ඒ සඳහා යුක්තිය ඉල්ලා සිටීමට සරත් නන්ද සිල්වා මහතාට ඇති අයිතිය අප කිසිසේත්ම ප්‍රශ්න කරන්නේ නැත. එහෙත් තම මූලික අයිතිවාසිකම් අහිමි වූ බවට කරුණු දක්වමින් රටේ එවකට සිටි අගවිනිසුරුවරයා ලෙස ඔහු හමුවට ආ අහිංසක පුරවැසියෙකුට සිදුවූයේ සිරබත් කන්නටය. ඒ සරත් එන් සිල්වා විසින් දෙන ලද අනීතික යැයි අභියෝගයට ලක්ව ඇති නඩු තීන්දුවක් හේතුවෙනි. ඒ අනුව මූලික අයිතිවාසිකම් පතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණි අහිංසක පුරවැසියෙකු සිරගත කළ ලෝකයේ එකම විනිශ්චයකාරවරයා ලෙසට ද ඇතැම්විට සරත් එන් සිල්වා නාමය ඉතිහාස ගතවනු ඇත. එහෙත් අද ඔහු යුක්තිය ඉල්ලා සිටී. අප සිනාසිය යුතු ද? හැඬිය යුතු ද තීරණය ඔබ සතුය.

එමෙන්ම තමන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස සිටියදී තමා හමුවට පැමිණි එක්තරා නඩුවක් විනිශ්චය කිරීමේදී පුද්ගල ලැදියාවන් මත අදාළ චූදිතයා නිදහස් කළ බව ප්‍රසිද්ධියේ පිළිගත් විනිසුරුවරයෙකු බවට පත්වීමෙන් පසුව ද එකම චෝදනාව දෙවරක් ඉදිරිපත් වූ දුලබ ගණයේ විනිසුරුවරයෙක් ලෙසට ද සරත් නන්ද සිල්වා මහතා හඳුන්වා දියහැකිය. ඒ දෙවාරයේදීම ඔහුට එරෙහිව මතුවූ එකම චෝදනාව වන්නේ අනාචාරයේ හැසිරීම පිළිබඳ චෝදනාවයි.

ඒ සමගම තමන්ට එරෙහිව ඉදිරිපත් වූ නඩුවක් තමන් විසින්ම අසන ලද විනිශ්චයකාරවරයෙකු යන්න ඔහු තබා ඇති තවත් අපූරු ආකාරයේ වාර්තාවකි. එමෙන්ම රටේ අගවිනිසුරුවරයා ලෙස පත්වීමෙන් පසු අගවිනිසුරුවරයෙකු ලෙස පමණක් නොව නීතිඥ ලෝගුව දැරීමට පවා සරත් එන් සිල්වා මහතාට සුදුසුකම් නැතැයි යනුවෙන් නඩුවක් ඉදිරිපත් වී තිබිණ.

එපමණක්ද නොව ස්ත්‍රී දූෂකයන් ආරක්ෂා කල බවට ද, එකී වින්දිත ස්ත්‍රීන්ට ඒ තුළ බලවත් අගතියක් සිදුකළේ යැයි යන්නද ඔහුට එරෙහිව එල්ල වී තිබූ තවත් එක් චෝදනාවකි. ඒ සියල්ල අතරේ ඔහුට එරෙහිව එල්ල වී පැවති තවත් බරපතළ චෝදනාවක් වූයේ මිනීමරුවෙකු ආරක්ෂා කරගැනීම සඳහා ක්‍රියාකිරීමය, මිනීමැරුම් නඩුවක චූදිතයෙකු බව දැන දැනම එක්තරා පුද්ගලයෙකු අධිකරණ කාර්ය මණ්ඩලට එක්කර ගැනීමට කටයුතු කිරීම ද එකී චෝදනාව හා බැඳී තිබුණි. මෙකී සෑම චෝදනාවක්ම සැලකිය යුත්තේ බරපතළ චෝදනා ලෙසටය. ඒ අනුව එකී සියලු චෝදනා පිළිබඳව අපක්ෂපාති, විධිමත් පරීක්ෂණයක් සිදුකර සරත් නන්ද සිල්වා මහතා නිවැරදිකරුවෙකු නම් ඔහු නිවැරදි කරන තුරු ඔහු වරදකරුවෙක් නොවියහැකි වුවත් අදාළ චෝදනා වලින් මතුකරන වගකීමෙන් ඔහු නිදහස් කළ නොහැකිය.

ඒ අනුව සිය මූලික අයිතීන් ආරක්ෂා කරගැනීමට සරත් නන්ද සිල්වා මහතාට ඇති අයිතියට ගරු කරන අතරම ඔහුගේ වෘත්තීය භාවිතයන් හේතුවෙන් ද පෞද්ගලික මැදිහත්වීම් අනුව ද අගතියට පත්වී ඇති විශාල පිරිසකට යුක්තිය ඉටුකිරීමේ වගකීම ද මේ සමාජය සතුව තිබේ. යුක්තිය රජයන රටක් ලෙස මේ රටේ පැවැත්ම අපේක්ෂා කරන සියලු දෙනා ඒ ගැන ද අවධානය යොමුකල යුතුය.

සුනිල් ජයසේකර

Back to Top