Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගමානව හිමිකම් කවුන්සිලය 36: ලංකාවට කොහොමද? – සුනන්ද දේශප්‍රිය

මානව හිමිකම් කවුන්සිලය 36: ලංකාවට කොහොමද? – සුනන්ද දේශප්‍රිය

by

 

ජායාරූපය: ශ්‍රී ලංකාවේ අතුරුදහන්වීම් සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරිපට පැවැති උද්ඝෝෂණයක්. ©s.deshapriya.

පසුගිය සැප්තැම්බර් 11දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නොසිතූ ආකාරයේ මැදිහත්වීමක් සමඟය. මහ කොමසාරිස් සෙයිඩ් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කරනු ඇතැයි අදහසක් තිබූ නමුත් ඔහු විසින් වක්‍ර නමුත් අනතුරු හැගවීමක් කරනු ඇතැයි අනුමාන කළ නොහැකිව තිබුණි.

මෙවර සැසිවාරයේ ආරම්භ දේශණය කරමින් සෙයිඩ් කියා සිටියේ ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලයට වූ පොරොන්දු ඉටු කර නැති බවයි. එමෙන්ම යුද සමයෙහි සිදු කළ බවට කියවෙන මානව හිමිකම්  කෙළෙසීම් පරීක්ෂා කරන දේශීය යාන්ත්‍රණයක් පිහිටුවීමට ශ්‍රී ලංකාව දක්වන අසමත්කම විසින් අන්තර් ජාතික අධිකරණ බලය කෙරෙහි විශ්වාස කරන්නට සිදුවන බවයි.  මෙම මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ වාර්තා තුනක්ද ශ්‍රී ලංකා ආණ්ඩුවේ වාර්තා තුනක්ද තිබේ. මෙම වාර්තාවන්හි සදහන් කරුණූ අන්තර් ජාතික අධිකරණයකට යොමු කළ යුතු බව මහ කොමසාරිස් සෙයිඩ්ගේ ඇඟවීම විය.

වහාම අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවන සේ සෙයිඩ් එම දේශණයෙදීම ඉල්ලා සිටි අතර ඉන් පැය 48ක් ගතවීමටත් පෙර ජනාධිපති සිරිසේන එම ඉල්ලීම ඉටු කිරීමෙන්ම පෙනී ගියේ මානව හිමිකම් කවුන්සිලය සෙල්ලමට ගත යුතු නැති බව ආණ්ඩුව දන්නා බවයි.

නමුත් එම ගැසට් නිවේදනය නිකුත් කළ අන්දම (සිරිසේන කළේ ව්‍යවස්ථාවෙන් ඔහුට බලය දී නැති වැඩකි. ඔහුට ජාතික සංහිදියාව පිළිබඳ අමාත්‍යාංශය අයත් නැත.) දැන් අධිකරණය හමුවට යාමට නියමිත අතර එසේ වුවහොත් අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම තවත් කල් යනු ඇත. එපමණක් නොවේ. එම කාර්යාලය පිහිටුවීමට නම් අදාල ඇමැතිවරයා විසින් ඒ සඳහා නාමයෝජනා මහා ජනයාගෙන් කැඳවිය යුතු අතර ඉන් පසු ව්‍යවස්ථා මණ්ඩලය විසින් නිසි පුද්ගලයින් ඊට පත් කළ යුතුය. තවම ඊට සූදානමක්වත් නොපෙනේ.

මෙම සරළ උදාහරණය විසින්වුව පෙන්වන්නේ ආණ්ඩුවට අවශ්‍යව තිබෙන්නේ අතුරුදහන්වූවන් පිළිබඳ ප්‍රශ්නය විසදීමට වඩා කෝදුරු තෙල් හත්පට්ටයකුත් තව ටිකක් සොයමින් අතපත ගෑම බවයි.

යුද සමයෙන් ඉතිරි වූ මානව හිමිකම් ප්‍රශ්න විසදීම පිනිස සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමයක් ආරම්භ කරන බවට පොරොන්දු දී  යළි රටෙහි මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන බව පෙන්වීම මගින් 2015 වසරෙහිදී  ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලයෙහි මහත් පිළිගැනීමක් ඇති කර ගත්තේය. එකල විදේශ ඇමැතිවූ මංගල සමරවීර ‘ප්ලස් දෙ නැසියොන්’ නමින් හැදින්වෙන මානව හිමිකම් කවුන්සිල ගොඩනැගිල්ලෙහි ගමන්කළේ සාඩම්බරයෙනි. ඔහු එක්තරා විදිහක බලාපෙරොත්තුවෙහි දේශපාලන සංකේතයක් බදුවිය.

දැන් සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය ගැන සමරවීර විසින්  කවුන්සිලයට දෙන ලද එම පොරොන්දු බොහෝ කොටම පවතින්නේ ජිනීවා සුළගෙහි පමනි. එමෙන්ම ශ්‍රී ලංකාව විසින් කවුන්සිලයෙහි දිනා ගන්නා ලද බොහෝ මිතුරන් අතර සැක සංකා බෝවීමට පටන් ගෙන තිබේ. දැන් මතුවෙමින් එන්නේ වගවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අව්‍යාජභාවය පිළිබද ප්‍රශ්ණයයි.

2009 වසරේ සිට ශ්‍රී ලංකාව සම්බන්ධ  යෝජනා ගෙන ඒමට මානව හිමිකම් කවුන්සිලයෙහි මුලිකත්වය ගත් රටවල් තුනම වන ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍යය සිය අදහස් දක්වමින් කියා සිටියේ අන්තර් ජාතික වශයෙන් දෙන ලද මානව හිමිකම් පොරොන්දු ඉටු කිරීමට ඉක්මන් ආ‍‍ණ්ඩුව පියවර ගත යුතු බවයි.

එක්සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් විශේෂ නියෝජිතයිනට මෙරටට පැමින සිය ක්ෂේත්‍රයන්ට අදාළව කරුණූ සොයා බැලීමට සම්පුර්ණ නිදහස ලබා දීම ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලයෙහි ළකුණූ ලබා ගෙන ඇති එක් ක්ෂෙත්‍රයකි. රාජපක්ෂ සමයෙහි එවැනි නියෝජිතයිනට දොර වසා තිබූ අතර  ජිඑස්පී ප්ලස් සම්බන්‍ ධයෙන් මෙරටට පැමිනීමට නියමිත වූ එවැනි පරික්ෂණ දූත පිරිසක් පවා තහනම් කරන ලදී.

කිරි කළයට ගොම දා ගැනීම අතින් කප් ගසා තිබෙන මේ ආණ්ඩුව එළෙස ලබා ගත් ලකුණූ අවම කර ගෙන ඇත්තේ මෙම විශේෂ නියෝජිතයින් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සහමුලින්ම වාගේ නොසළකා හැරීම මගිනි. එපමණක් නොව රාජපක්ෂ විදේශ ඇමැතිව සිටි කාලයෙහි එළෙස ශ්‍රී ලංකාව විසින්ම ආරාධනය කර ගෙන්වා ගත්  එකී මානව හිමිකම් නියෝජිතයිනට ප්‍රසිද්ධියේ බැන වැදීම පුරුද්දක් කරගෙන තිබුනි.

ආරම්භක දිනයේදීම කවුන්සිලයට සිය වාර්තාව ඉදිරිපත් කළ සත්‍යය,වගවීම, හානිපූරණය සහ නිර් පුනරාවර්තනයන් සහතික කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග‍්‍රීෆ් ශ්‍රී ලංකාවට වර්ණනාවක් එක් කළේය. එනම් එළඹෙන ඔක්තෝබර් මාසයේහිදී ශ්‍රී ලංකාවෙහි සංචාරයක නිරත වන ලෙස තමාට ආරාධනාවක් ලැබීම සතුටට කරුණක් බවයි. එමෙන්ම තමා ඉල්ලීම් කර තිබියදීත් තවමත් ආරාධනා කර නැති රටවල් ගණනාවක්ද සදහන් කරමින් එම රටවල්ද මෙම පියවර අනුගමනය කරනු ඇතැයි තමා අපේක්ෂා කරන  බවද ඔහු කියා සිටියේ ය.

ඔක්තේම්බර් 10-23 අතර කාලය ශ්‍රී ලංකාවෙහි සත්‍යය, වගවීම, හානිපූරණය සහ නිර් පුනරාවර්තනයන් සහතික කිරීම (වෙනත් වචනයෙන් කියන්නේ නම් සංක්‍රමණීය යුක්තිය) පිළිබඳව කරුණූ සොයා බලනු ඇති පැබ්ලෝ පෙනුමින්ද හැසිරීමෙන්ද ස්වරයෙන්ද නිවුනු ගුණ ඇති මහත්මයෙකි. සංක්‍රමණීය යුක්තිය පිළිබඳ මුල් පෙලේ විද්වතෙක් වන පැබ්ලෝ ශ්‍රී ලංකාවෙහිදී සිය ක්ෂේත්‍රයට අදාළ  බොහෝ පිරිස් හමුවනු ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔහු මීට පෙරද කියා ඇති පරිදි යුද හමුදා විසින් අල්ලාගෙන සිටින දෙමළ ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම, අතුරුදහන්වූවන්ගේ ප්‍රශ්නයට විසඳුම් සැපයීම සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සාර්ථක සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමයක් සඳහා අවශ්‍ය ප්‍රාථමික කොන්දේසි බව යළි කියා සිටීමට බොහෝ ඉඩ තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනත් පනතක් මගින් විස්ථාපනය කිරීම දිගින් දිගටම පමාවීමද ඔහුගේ සැළකිල්ලට ලක්වනු ඇත.

පැබ්ලෝගේ සංචාරය පසුපසින්ම වාගේ දෙසැම්බර් මැද දී නීති විරෝධී රඳවා ගැනීම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ වැඩ කණ්ඩායමෙහි දූත පිරිසක්ද ශ්‍රී ලංකා සංචාරයක නිරත වනු ඇත. දීර්ඝ කාලයක් නඩු නොපවරා රඳවා සිටින දෙමළ ජාතික සිරකරුවන් පිළිබඳ ප්‍රශ්නය එම දූත පිරිස විසින් විමසා බලනු ඇති අතර කුප්‍රසිද්ධ ජෝෂප් කඳවුර සහ ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරෙහි ගන්සයිඩ් බිංගෙය යනාදිය ද ඔවුන්ගේ අවදානයට ලක්වනු ඇත.

මෙම සංචාරයන් දෙකෙහිම වාර්තා බොහෝ විට ලබන මාර්තුවෙහි පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 37වන සැසි වාරයට ඉදිරිපත් කැරෙන්නට ඉඩ තිබේ. දැනට පවතින තත්වය යටතේ එම වාර්තා  ශ්‍රී ලංකාවට වාසිදායක වනු ඇතැයි සිතිය නොහැක.

තවද මෙම නොවැම්බරයෙහි පැවැත්වෙන ශ්‍රී ලංකාව පිළිබඳ පැවැත්වෙන තුන්වන කාලාන්තරීය විශ්ව සමාලෝචනයෙහි (The Universal Periodic Review (UPR)  වාර්තාවද ඉදිරිපත් කැරෙනු ඇත්තේ 2018 මාර්තු සැසිවාරයටය. මේ සියල්ලටම උඩින් මහ කොමසාරිස් සෙයිඩ් විසින් පසුගිය 2015 සැප්තැම්බරයේදී ශ්‍රී ලංකාවෙ සම දායකත්වයෙන් සම්මත වූ 34/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ වාර්තාවක් ද ඉදිරිපත් කරනු ඇත. ඔහුගේ ස්ථාවරය දැනටමත් විවේචනාත්මකය.

මේ සියළු කරුණු පෙන්නුම් කරන්නේ ජිනීවා මානව හිමිකම් කොමිසමෙහි දැනටමත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෝදුවන සැක සංකා, තත්වය මෙළෙසම පැවතුනහොත් මාර්තු මාසය වන විට වඩා ඉහළ යා හැකි බවයි.  එය ශ්‍රී ලංකාවට හොඳ නැත. ශ්‍රී ලංකාව අන්තර් ජාතික තලයේ දිනාගත් නම දැන් දියාරු වෙන්නට පටන් ගෙන තිබේ. එසේ වෙතත් තවමත් සමස්තයක් ලෙස කවුන්සිලයේ සමාජික රටවල් ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන්නේ යහපත් ආකල්පයක් නමුත් දැන්  එය වෙනස්  වන්නට පටන් ගනිමින් තිබේ.

 

Back to Top