Sri Lanka Brief
Internationalවිවරණබලහත්කාරී අතුරුදහන්කැරැවීම් පිළිබද පනත ගැන ජී.එල්. පීරිස් දෙසන මුසා

බලහත්කාරී අතුරුදහන්කැරැවීම් පිළිබද පනත ගැන ජී.එල්. පීරිස් දෙසන මුසා

by

පින්තූරය: අතුරුදහන්කැරැවීම් නම්  SP Pushpakanthan ගේ සිතුවම චේරන්ගේ මුහුණූ පොතෙනි.

අද මහත් කතාබහට ලක්ව ඇති ‘බලහත්කාරී අතුරුදහන් කැරැවීම් පිළිබඳ පනත’ ගැන පවතින ව්‍යකූලත්වය දෙස බලන විට, වර්තමාන ‘බලහත්කාරී අතුරුදහන් කැරැවීම් පිළිබඳ පනතේ’ අඩංගු උදර්පණය හෙවත් සැකකරුවෙකුව වෙනත් රටකට භාර දීම පිළිබඳ කාරණය, 1994 දී සම්මත කර ගත් ‘වධ හිංසා පනත’ තුළත් එයාකාරයෙන්ම ගැබ්ව ඇති බව කිව යුතුය. මේ කියන ‘වධහිංසා පිළිබඳ පනත’ සම්මත කෙරුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ ආණ්ඩුව සමයේ ජී. ඇල්. පීරිස් අධිකරණ ඇමතිවරයා වශයෙන් සිටියදී ය.

උදර්පණය යනු, යම් කිසි අපරාධයක් සම්බන්ධයෙන් සැකයට භාජනය වී සිටින හෝ වැරදිකරුවෙකු කර සිටින පුද්ගලයෙකු වෙනත් රාජ්‍යයක් විසින් කරනු ලබන ඉල්ලීමක් මත, එකී රාජ්‍යයේදී අදාළ පුද්ගලයාට එරෙහිව නඩු පැවරීම හෝ දඬුවම් පැමිණවීම සඳහා, භාර දීමයි. උදර්පණයට අවසර ඇත්තේ ඒ පිළිබඳ විශේෂිත නීතියක් පවතින රාජ්‍යයකට පමණි.

ශ්‍රී ලංකා රාජ්‍යය පාර්ශ්වකරුවෙකු වී සිටින, ‘බලහත්කාරී අතුරුදහන් කැරැවීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වන ජාත්‍යන්තර ප්‍රඥප්තියේ’ 8 වැනි වගන්තියේ මෙසේ සඳහන් වෙයි: “මේ ප්‍රඥප්තියේ 3 හෝ 4 වගන්ති යටතේ වන වරදක් සම්බන්ධයෙන් වැරදිකරුවෙකු හෝ සැකකරුවෙකු වන පුද්ගලයෙකු තමන්ගේ රටට භාර දෙන්නැයි මේ ප්‍රඥප්තියේ පාර්ශ්වකාර රටක් විසින් හෝ ආණ්ඩුවක් ශ්‍රී ලංකා රාජ්‍යයෙන් ඉල්ලීමක් කරනු ලැබුවහොත්, එම පුද්ගලයාට නඩු පැවරීම හෝ ඉල්ලනු ලබන රාජ්‍යයට එම පුද්ගලයාව භාර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍යය ගෙන ඇති හෝ ගැනීමට බලාපොරොත්තු වන පියවර පිළිබඳව ශ්‍රී ලංකා රාජ්‍යය වෙනුවෙන් අදාළ ඇමතිවරයා ඉල්ලනු ලබන රාජ්‍යයට නොපමාව දන්වා සිටිය යුත්තේය”.

1994 සම්මත කර ගත් අංක 22 දරණ ‘වධ හිංසාවෙන් සහ වෙනත් කෲර, අමානුෂික හෝ නොහොබිනා සැළකීම්වලින් ආරක්ෂා කිරීමේ හෝ දඬුවම් කිරීමේ ප්‍රඥප්තියේ’ 7(2) වගන්තිය යටතේ මෙසේ කියැවේ: “වධ හිංසාව පිළිබඳ වරදක් සම්බන්ධයෙන් වැරදිකරුවෙකු හෝ සැකකරුවෙකු වන පුද්ගලයෙකු තමන්ගේ රටට භාර දෙන්නැයි ඕනෑම රටක් හෝ රටක් වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයෙන් ඉල්ලීමක් කරනු ලැබුවහොත්, ශ්‍රී ලංකා රාජ්‍යය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා එම පුද්ගලයාට එරෙහිව නඩු පැවරීම හෝ එම පුද්ගලයාව භාර දීම සම්බන්ධයෙන් ගෙන ඇති හෝ ගැනීමට බලාපොරොත්තු වන පියවර පිළිබඳව ඉල්ලීම කරනු ලබන රාජ්‍යයට නොපමාව දන්වා සිටිය යුත්තේය”.

මෙය, මීට කලින් සඳහන් කළ ඡේදයට මුළුමණින්ම පාහේ සමාන ය.

එසේ තිබියදී, ‘බලහත්කාරී අතුරුදහන් කැරැවීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වන පනතින්’ උදර්පණය හෙවත් පුද්ගලයෙකු වෙනත් රටකට භාර දීම පිළිබඳ නීතිය වෙනස් කොට ඇතැ යි ‘ඒකාබද්ධ විපක්ෂය’ කෑගසයි. එහෙත් ඒ පිළිබඳ මේ ප්‍රඥප්තියේ සඳහන් ඡේදය, 1994 දී ජී. ඇල්. පීරිස් අධිකරණ ඇමතිවරයා වශයෙන් සිටියදී ඇති කර ගත් නීතියක හෙවත් දැනටමත් රටේ නීතියක් වශයෙන් පිළිගෙන ඇති කාරණයක අනුපිටපතක් පමණක් වන බව ඉහත සඳහන් ඡේද දෙක සන්සන්දනය කිරීමෙන් කෙනෙකුට වැටහේ.

මේ පනතේ 13 වැනි වගන්තිය අනුව, 1977 උදර්පණ නීතිය යටතේ රටේ පුරවැසියෙකුට ලැබුණු ආරක්ෂාව දුර්වල කර ඇති බවත් ජී. ඇල්. පීරිස් කියයි. 1977 උදර්පණ නීතිය තුළ, ‘දේශපාලනික වැරදි’ සම්බන්ධයෙන් යම් පුද්ගලයෙකු වෙනත් රටකට භාර දීමට අවසර නැත. එසේම ‘බලහත්කාරී අතුරුදහන් කැරැවීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීමේ පනතේ’ 13 වැනි වගන්තිය අනුව, ‘දේශපාලනික වැරදි’ මේ කියන ‘අතුරුදහන් කිරීමේ වරදට’ ඇතුළත් නොවන බව පැහැදිළිව කියැවෙයි. කෙසේ වෙතත්, පීරිස්ගේ තර්කය ජනතාව නොමග යවන සුළු ය. මන්ද යත්, 1999 දී තවත් සංශෝධනයක් ඒ සඳහා ගෙනැවිත් ඇති නිසා ය. 1999 අංක 48 දරණ උදර්පණ (සංශෝධිත) පනතේ 2 වැනි වගන්තිය මෙසේ කියයි: “ශ්‍රී ලංකාව සහ උදර්පණය ඉල්ලා සිටින දෙවැනි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යය පාර්ශ්වකරුවන් වන සහ එවැනි වරදක් සම්බන්ධයෙන් නඩු පැවරීමට හෝ උදර්පණය කිරීමට බැඳී සිටින, ජාත්‍යන්තර අපරාධ මර්දනය කිරීමට අදාළ ජාත්‍යන්තර ප්‍රඥප්තියක පරිමාව තුළ වරදක් වන දෙයක්, දේශපාලනික වරදක් යන්න තුළට නොගැනේ”.

මෙයින් පැහැදිළි වන්නේ, වධ හිංසාව සහ බලහත්කාරී අතුරුදහන් කැරැවීම ඇතුළු ඕනෑම ජාත්‍යන්තර ප්‍රඥප්තියකින් ආවරණය කෙරෙන ජාත්‍යන්තර අපරාධයක්, 1999 සංශෝධනය මගින් ආවරණය කෙරෙන බව ය. එයින් පෙනී යන්නේ, බලහත්කාරී අතුරුදහන් කැරැවීම් පිළිබඳ වර්තමාන පනත මගින්, 1999 ජී. ඇල්. පීරිස් අධිකරණ ඇමති වශයෙන් සිටියදී ඇති කර ගත් උදර්පණ නීතිය මොන ආකාරයකින්වත් වෙනස් නොකෙරෙන බව ය. එසේ හෙයින්, වර්තමාන පනත යටතේ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වෙනත් රාජ්‍යයකට භාර දීම, 1994 දී සහ 1999 දී ජී. ඇල්. පිරිස් විසින් ඇති කරන ලද උදර්පණ නීතිය යටතේ තිබුණාට වඩා පහසු කරන්නේය යන්න සාවද්‍ය කතාවකි.

 (  2017 සැප්තැම්බර් 18 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ    GL & JO Mislead Public: Extradition Clause in Enforced Disappearance Bill & Torture Act is a Copy-Paste නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි )

Back to Top