Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගකබලෙන් ලිපට: උතුරු ගමනක කටු සටහන් – සුනන්ද දේශප්‍රිය

කබලෙන් ලිපට: උතුරු ගමනක කටු සටහන් – සුනන්ද දේශප්‍රිය

by

ජායාරූපය: ඇයගේ පවුලේ සය දෙනෙකුම යුද්ධයට බිලිවිය. (c)s.deshapriya.

ජයකුමරන්ට ෂෙල් වෙඩිල්ල වැදුණේ සතර දෙසින්ම ගිනි බිඳුණු ඒ භයංකාර 2009 මැයි මාසයේදී මුල්ලිවයික්කාල් ආසන්නයේදීය. උරහිස ආසන්නයෙන් සිරුරට කාවැදුණු ෂෙල් කැබැල්ල ජයකුමරන් සදාකාලික ආබාධිතයකු බවට පත් කළේය.

ඔහු දැන් වසර හතක් පුරා ජීවිතය ගෙවන්නේ ඇඳෙහිය. යකඩින් තැනූ මේ ඇඳ හිසට ඉහළින් මැදින් සවිකරන ලද බටයක්ද සහිතව සකස් කර දී ඇත්තේ එකල මෙරට ක්‍රියාත්මක වූ ‘දේශසීමා නැති වෛද්‍යවරු ‘ නම් පැරිසිය මූලික කර ගත් සංවිධානය විසිනි. ජනෙල් පියනක් හැර ඇති බිත්තියට යාබදව ඔහු ඇලවී සිටියද හිරු එළියක් පතිත වන්නේ නැත.

මුත්‍රා කිරීම පිණිස දැමූ බටය ඇඳ පාමුල වැටී ඇති අවර්ණ වූ බෝතලයකට සවි කොට තිබේ. වතුර බීමට පාවිච්චි කරන බෝතලය ද අවර්ණ වූ එකකි. ඇඳට ඉහලින් සවි කර ඇති රූපවාහිනිය නොකඩවා දකුණූ ඉන්දීය චිත්‍රපට ප්‍රදර්ශනය කරයි. ඔහුට ඇති එකම සහනය එය වැන්න.

ජයකුමරන් දේශපාලන වශයෙන් සංවේදීය. සිය ඉරණම නොසළකා ඔහු සිනහ සෙමින් කතාබහට එක්වෙයි. අප දෙවසරකට පෙර ඔහු හමුවූ අවස්ථාවෙහි 2015 ජනවාරියේ සිදුවූ දේශපාලන වෙනස සහ ජනාධිපති සිරිසේන ගැන ප්‍රබෝධයකින් යුතුව කතා කළේය. අප හමුවූ යුද්ධ වින්දිත පිරිස් අතුරින් අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පනතට ජනාධිපති සිරිසේන අත්සන් කළ බව දැන සිටි දෙතුන් දෙනා අතර ඔහු ද විය.

දැන් අතුරුදහන්වූවන්ට යුක්තිය ඉටුවනු ඇතැයි ඔබ සිතනවාදැයි ඇසූ විට ‘පණ පිටින් ඉන්න අපි ගැන සොයන්නේ නැති ආණ්ඩුවක් නැතිවෙච්ච මිනිස්සුන්ට සාධාරණයක් කරයිද? කියා ඔහු ආපිට අසා, ‘මට නම් සිරිසේනගෙන් වෙච්ච දෙයක් නෑ ‘ යැයි ඊට එකතු කළේය.

ජයකුමාරන් වැනි යුද්ධ ආබාධිත පුද්ගලයෝ 180 දෙනෙක් නෙඩුන්කර්නි පෙදෙසෙහි ජීවත් වෙති. ඒ සියළු දෙනාම වාගේ එකම දුෂ්කර ඉරණමක හවුල්කරුවෝය. ජයකුමාරන් වෛද්‍ය සායන සඳහා සතිපතා වවුනියා රෝහලට යා යුතු අතර ඒ සඳහා ත්‍රීරෝද රථයකට පමණක් රුපියල් 3000ක් ගෙවිය යුතුවෙයි. ඔහුට එවැනි මුදලක් නැත. මසකට ලැබෙන ආබාධිත අරමුදල රු. 3000ක් පමණි. එකී සහනාධාරය මෙම ආණ්ඩුව යටතේ සතයකින් හෝ ඉහළ ගොස් නැත.

ගුරුවරියක වු ඔහුගේ බිරිඳ හැර ගොස්ය. ෂෙල් ප්‍රහාරයකට ගොදුරුවූ ඔහුගේ නැඟනියගේ එක් ඇසක් අන්ධය. එහිම විපාකයක් වශයෙන් ඇයට හිරු රැස් ඉවසීමට බැරිය. ගඳ සුවඳ නොදැනේ. ඇයට ලැබුණු සමෘද්ධි සහනාධාරයෙන් රුපියල් 300ක් ද මෑතදී කපා හැර තිබේ. ඇයගේ වම්බටු වගාව නියඟයට හසුව වියැලී ගොසිනි. ගෙවත්තේ සිදරම් දොඩම් ගසෙහි සිය ගණනින් පලදාව ඇතත් ඒ සඳහා වෙළඳ පොළක් නැති කමින් ගෙඩි පරවී වැටෙන්නට ඉඩ හැර තිබේ. ඔවුන්ගේ ජීවිත ද එලෙසින්ම පරවෙමින් යයි.

ඒ ඉරණම් සහගත මැයි මාසයෙහි පරමේශ්වරී යුද මුක්ත කලාපයෙහි සිය පුතා, ඔහුගේ බිරිද සහ දරු දෙදෙනා සමඟ කුඩා මඩුවක රැකවරණය ලබා තිබුණි. ඒ වන විටත් යුද්ධය ඇයගේ එක් පාදයක් කෙටි කර තිබුණි. ඒ මැයි මාසයේම දවසක උදෑසනම අවදිවූ ඇය මුහුණ කට සෝදා ගැනීමට මීටර 50 පමණ දුර තිබූ ජල කරාමයක් වෙත ගියාය. මරණීය ෂෙල් වෙඩිල්ල ඔවුන්ගේ මඩුව මත පතිත වූයේ ඒ අවස්ථාවෙහිය. හනි හනික එතැනට දිව ආ ඇයට පණ අදින සිය පුත්‍රයා සිය ඇකයට ගැනීමට විනාඩි කිහිපයක් ඉතිරිව තිබුණි. සිය මවගේ දෑතින් වතුර බිඳක් මුවට ගත් ඔහු මෙලොව හැර ගියේය. කෙසේ වෙතත් ලේලිය සහ දරු දෙදෙනා ජීවතුන් අතර ඇතැයි ඇය හෙලූ සුසුම් වාෂ්ප වූයේ එ් තිදෙනාගේත් බිඳී විසිරුණූ මළ සිරුරු අතරිනි.

සැත්තෑ විය පසුකර සිටින මුත් වයසට වඩා දිරා ගිය පරමේශ්වරී දැන් නෙඩුන්කර්නියෙහි සිය වැඩිමහල් දියණියගේ නිවසට නුදුරින් අටවා ගත් පැළක ජීවත්වෙයි. එම වැඩිමහල් දියණියගේ සැමියා ගමින් ගමට යුද මුක්ත කලාප සොයා පසු බසිද්දී ෂෙල් ප්‍රහාරයකින් මිය ගිය අතර ඇයගේ ලොකු පුතා යුද හමුදාව ට්‍රැක්ටරයක පටවාගෙන ගියා ගියාමය. ඇයගේ ලා බාල දියණිය අසළ කඩහිමියකු විසින් ලිංගිකව කෙළෙසන ලදුව දැන් සිටින්නේ මානසික අසමතුලිභාවයකය. ඇයගේ වැඩිමහල් දියණිය මසකට රුපියල් 13,500ක් පමණක් ලැබෙන ඇඟළුම් කම්හලක සේවයට යයි. උදෑසන පහහමාරට නිවෙසින් පිටවන ඇය නිවෙසට එන්නේ සවස හතහමාරටය. ඇය විවාහ කරගත් යාපනයෙන් ආ තරුණයකු ඇයට දරුවකු ද දී දෑවැද්ද නැතැයි කියා යන්නට ගොසිනි. මේ දුක් දොස්මනස්සයන් මැද ජීවිතය ගැට ගසා ගන්නා පරමේශ්වරී කියන්නේ ‘ කෝ ඉතිං දෙනවයි කියපු මුකුත්ම ආණ්ඩුව දුන්නේ නෑනේ ‘ යැයි කියාය.

දෑවැද්ද නැතැයි කියා තමන් විවාහ කරගත් යුද්ධයෙන් විපතට පත් ස්ත්‍රීන් අතහැර ගිය පිරිමින් පිළිබඳ කතා වන්නි සමාජයෙහි දුලභ නැත.

ආණ්ඩුවේ කාර්යාලයක වැදගත් තනතුරක් දැරූ ජයලක්ෂ්මී වාසය කරන්නේ මාන්කුලම්හිය. ඇයගේ තනියට යුද්ධවසානයෙන් පසු ඉතිරිවූයේ දියණිය පමණි. සැමියා සහ පුතුන් දෙදෙනාම යුද්ධයේ අවසන් දින කිහිපය තුළ අතුරුදහන් කරන ලදී. පැහැර ගැනුණු ඇයගේ සැමියා වවුනියා රෝහලෙහි ප්‍රතිකාර සඳහා නේවාසික කර තිබූණද පසුව ආගිය අතක් සොයා ගැනීමට නොහැකි විය. එක් දරුවකු පැහැර ගැනුණේ තවත් දරුවන් තිහ හතලිහක් සමඟ ඇයගේ දෑස් ඉදිරිපිට දීය. දරුවන් සහ සැමියා සොයා එල්එල්ආර්සී කොමිසම, පරණගම කොමිසම සහ ප්‍රතිවිචාරණ කාර්ය බලකාය හමුවට ගිය ඇයට දැන් බලාපොරොත්තුවක් නැත.

ඇයගේ ඉතිරිවී සිටි දියණිය ප්‍රේම සම්බන්ධයකින් පසු විවාහ කර දෙන ලද්දේ වසරකට තරම් පෙරය. දැන් එම තරුණයා සිය විවාහක බිරිඳ නිවාස අඩස්සියේ තබා තිබේ. ඔහු රැකියාවට ගොස් එනතුරු ඇය කාමරයක සිරගත කරනු ලැබේ. පිරිමි ආධිපත්‍යය මුල් බැස ගත් දෙමළ සමාජයෙහි මවද දැන් සිටින්නේ සිය දියණියගේ ප්‍රේමවන්තයාව සිට විවාහ කරගත් තරුණයා යටතේය.

යුද්ධය නිසා වැන්දඹු බවට පත් ස්ත්‍රීහු දෙමළ සමාජයේ පුරුෂ ආධිපත්‍ය විසින් නිරන්තර පීඩාවට පත් කරනු ලබන ජන කණ්ඩායමක් බව බොහෝ එවැනි ස්ත්‍රීහු නොකියා කියා සිටියහ. යුද්ධයෙන් පීඩාවට පත් දෙමළ ජන පිරිස් එම සමාජයේම වන පසුගාමී සම්ප්‍රදායන්ගෙන්ද බැටකති.

පසුගිය සති අන්තයෙහි මෙලෙස අප ගමන් කරමින් සිිටියේ දෙවසරකට පෙර වවුනියාව, නෙඩුන්කර්නි, පුදුකුඩුඉරිප්පු සහ කිළිනොච්චිය හරහා ගමන් කරමින් යුද්ධයෙන් පීඩාවට පත් ජනයා සමඟ කතා බහක යෙදුණු සිතියම ඔස්සේය. මේ සිතියමෙහි හිටපු එල්ටීටීඊ සමාජික සාමාජිකාවෝ, යුද්ධ වැන්දඹුවෝ, බලහත්කාරයෙන් අතුරුදහන්කරන ලද දරුවන්ගේ ඥාතීහු මෙන්ම යුද්ධයෙන් අත්පා අහිමි වූ අයද සිටියහ.

වව්නියාව, මුලතිව් සහ කිළිනොච්චියෙහි දින 150ක් තරම් පසුකරමින් උපවාසයෙහි යෙදී සිටි මව්පියන් ඇසූයේ එකම ප්‍රශ්නයකි. එනම් ඔවුන්ගේ දරුවන් කොහිද යනුය.

අපි ගිය සති අන්තයේදී එම පිරිස්ම හමුවී පසුගිය වසර දෙක කෙසේවීදැයි ඇසුවෙමු. පොලිස් සහ යුද බුද්ධි අංශ විසින් කරමින් තිබූ නිරන්තර විමසිල්ල සහ බිය ගැන්වීම් නතර වී තිබුණි. ඒ හැර සාධනීය වෙනසක් ගැන ඉවක්වත් ඔවුනට තිබුණේ නැත. ආණ්ඩුව මෙන්ම දෙමළ දේශපාලන පක්ෂ ගැනද පැවැතියේ නිශේධාත්මක ආකල්පයකි.

මෙම ජනයා මුහුණ දෙන හදිසිම ප්‍රශ්නය ජීවන අරගලයයි. ඔවුන්ගේ ජීවිත තවමත් තිබූ තැනමය. නැත්නම් පල්ලම් බැස තිබේ. ආණ්ඩුවේ ‘සංක්‍රාන්ති යුක්ති ක්‍රියාදාමය’ ගැන අවබෝධයක් හෝ විශ්වාසයක් ඔවුනට නැත.

උතුරු භූමි සිතියමෙහි දැවැන්ත යුද හමුදා කඳවුරු, යුද හමුදා පන්සල් සහ යුද හමුදා ආපන ශාලා මෙන්ම කෝවිල් ද එන්න එන්නම කැපී පෙනෙයි. වසරකට පෙර නොතිබූ දැවැන්ත යුද හමුදා ආපන ශාලාවක් දැන් ඉරණමඩු නමින් අරඹා තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන්හි යුද කඳවුරු පවත්වා ගැනෙන්නේ ප්‍රදර්ශනාත්මකව නොවේ. මන්ද යත් එය රාජ්‍ය දණ්ඩන බලයේ සංකේතය නිසාය. නමුත් මෙරට ඒවා තොරණ් මෙන් බැඳ තිබේ.

කරුමය නම් ශිෂ්ඨාචාර සමාජයක කැපී පෙනිය යුතු සරසවි, පාසැල්, උද්‍යාන, ක්‍රීඩා පිටි යනාදියේ තැන උතුරු භූමි තලයෙහි මර්දනයේ සහ මිථ්‍යාවේ ආයතන විසින් අල්ලා ගැනීමයි.

ඉදින් අපි කුමක් කරමුද?

(ස්ථාන සහ පුද්ගල නාම වෙනස් කර ඇත.)

Back to Top