Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගවිවෘත ලිපියක්: ඇමැති රාජපක්ෂ, ඔබේ යුක්තිය කැළෑ යුක්තියද? ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු

විවෘත ලිපියක්: ඇමැති රාජපක්ෂ, ඔබේ යුක්තිය කැළෑ යුක්තියද? ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු

by

පික්ස්ටූනය: විජේදාස රාජපක්ෂ නම් ට්‍රෝජන් අශ්වයා.(ලංකා ඊ නිව්ස්)

හිතවත් ආචාර්ය රාජපක්ෂ වෙත,
ඔබේ දේශපාලනික ආගමනයේ මුල් කාලයේ, ඔබ වැනි තවත් යහපත් දේශපාලඥයන් කණ්ඩායමක් සමග රටට යම් සාධනීය සේවයක් සැලසීමට ඔබට හැකි වෙතැයි මම සිතුවෙමි. ‘සාමකාමී ආණ්ඩු වෙනසක්‘ ඉල්ලා සිටීමෙන් අනතුරුව, 2012 සැප්තැම්බර් මාසයේදී, ‘දි අයිලන්ඩ්‘ පුවත්පතටත්, වෙබ් අඩවි කිහිපයකටත් “තරුණයන් සහ දක්ෂයන් රට මෙහෙයැවිය යුතු“ යැයි මා ලියුවේ ඔබ වැන්නන් ගැන කල්පනාවෙනි.

කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි අධ්‍යයන අංශයේ පීඨාධිපතිවරයා වශයෙන් මා කටයුතු කරද්දී 2004 අවසාන භාගයේ ඔබේ ආචාර්ය උපාධිය සඳහා ලියාපදිංචි වීමට ඔබ එහි පැමිණියා මට මතකයි. එසේම අධ්‍යයන සහ දේශපාලනික කරුණු ගැනත් එහිදී අපි කතා කෙළෙමු. එසේම ඔබ විසින් රචිත අගනා පොත් කිහිපයක් අප පීඨයටත්, පෞද්ගලිකව මටත් පිළිගැන්වීමට නැවත වරක් ඔබ එහි පැමිණියා මට මතකයි. එහිදී ඔබ පිළිබඳ තරමක පැහැදීමක් මට ඇති වුණි.

සලකුණ සංවාදය

කෙසේ වෙතත්, ජුනි 26 වැනි දා ‘හිරු‘ නාලිකාවේ සංහිඳියාව පිළිබඳ ඔබ සහභාගී වූ ‘සලකුණ‘ වැඩ සටහන ‘යූ ටියුබ්‘ හරහා නැරඹීමෙන් අනතුරුව මා තුළ ඇති වුණේ ඔබ පිළිබඳ ලැජ්ජාවකි. දැඩි අපේක්ෂා භංගත්වයකි. සංහිඳියාව සහ ඊට අදාළ හේතු කාරණා පිළිබඳ ඔබේ අදහස් මොන තරම් සදොස් වුවත්, එම සංවාදයේ මුල් විනාඩි 30 තුළ ඔබ යම් හික්මීමකින් කතා කෙළේය. ඊළඟට එම හික්මීම ඔබෙන් ගිලිහී ගිය අතර, වර්ගවාදය සහ ආගමික අන්තවාදයට එරෙහිව පුවත්පතක පළවූ ප්‍රකාශනයක් ගැන ඔබෙන් ප්‍රශ්න කිරීමේදී එම ප්‍රකාශනයේ අත්සන්කරුවන් ‘පිස්සන්‘ වශයෙන් හඳුන්වා පහර දෙන්නට ඔබට පටන් ගත්තේය.

මා එම ප්‍රකාශනයේ එක් අත්සන්කරුවෙකු විය. එහිදී විවෘතවම ඔබ පිළිගත් පරිදි, ඒ වන විට එම ප්‍රකාශනය ඔබ දැක තිබුණේවත් නැත. එසේ වෙතත්, එහි අත්සන්කරුවන්ටත්, එය පළ කළ සංවිධාන දෙකටත් එක දිගටම ඔබ පහර දෙන්ට විය. ඔබේ අධිකරණ අමාත්‍යාංශයේ ඔබ ‘යුක්තිය‘ නිර්වචනය කරන්නේ සහ පසිඳලන්නේ එලෙස ද? නැතහොත් එය, ඔබ සහ ඔබේ අමාත්‍යාංශ විශ්වාසය තබන ‘කැලෑ යුක්තිය ද?‘

මේ ප්‍රකාශනයට අනුග්‍රහය සැපයූ සංවිධාන දෙක වන්නේ, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ඇරැඹූ ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය‘ සහ ‘පුරවැසි බලය‘ යි. මේ දෙකම, 2015 ජනවාරියේ ප්‍රජාතන්ත්‍රීය වෙනස ගෙනා, අද ඔබ ප්‍රධාන ඇමතිවරයෙකු වන වර්තමාන ආණ්ඩුව බලයට ගෙනා, ප්‍රධාන සිවිල් සංවිධාන දෙකකි. මෙහි අත්සන්කරුවන් අතර, වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන සාමාජිකයෙකු වන ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න ද වෙයි. සමහර විට, 2002 බෞද්ධ කොමිෂන් සභා වාර්තාව තුළ සඳහන්ව තිබූ, අනතුරට හෝ අවදානමට ලක්ව ඇති ඉපැරණි පූජණීය බෞද්ධ ස්ථාන ආරක්ෂා කිරීම අරභයා බුද්ධ ශාසන ඇමතිවරයා වශයෙන් ඔබේ අක්‍රීයත්වය, අදාළ වැඩ සටහනේ සත්කාරකයන් විසින් හතර වටින් ප්‍රශ්න කොට ඔබව කොටු කළා විය හැකිය. කෙසේ වෙතත් එම කාරණය, සෙස්සන්ට පහර දීම සඳහා සහ වෙනත් සංවිධාන සහ පුද්ගලයන් ගර්හාවට ලක් කිරීම සඳහා හේතුවක් නොවිය යුතුය. එවැනි පූජණීය ස්ථාන අවදානමට ලක්ව ඇතොත් ඒවා ආරක්ෂා කොට සංරක්ණය කළ යුතු බව මම ඉඳුරා විශ්වාස කරමි. ඒවා කෙලසීමක් සිදු වෙතොත් එවැනි අපරාධකරුවන්ට දඬුවම් කළ යුතු බවට සැකයක් නැත.

එසේ වෙතත්, ඒ කිසිවක්, විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාව සහ ඉවැන්ජලික කිතුණු ලබ්ධිකයන් ඇතුළු සුළුතර ආගමික කණ්ඩායම්වලට එරෙහිව ඇතිවන සිද්ධීන් ගැන සැලකිලිමත් වීමේ අවශ්‍යතාව නිෂේධ කරන්නේ නැත. ඉහත සඳහන් නිවේදනයේ පණිවිඩය වන්නේ එයයි. එවැනි සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන් නීතිය ඉදිරියට පමුණුවා ඔවුන් වැරදිකරුවන් වෙතොත් ඔවුන්ට දඬුවම් පැමිණවිය යුතු බවට එම නිවේදනයෙන් ඉල්ලා සිටී. මෙවැනි කරුණු අරභයා නීතිය ක්‍රියාත්මක කිරීම පස්සට අදින බවක් පැහැදිළිව දක්නට තිබේ. පෙනෙන්ට ඇති එවැනි අවදානම් පිළිබඳව අනතුරු අඟවන එකී නිවේදනයේ පණිවිඩකරුවන් සම්බන්ධයෙන් ඔබ අනුදකින ‘කැලෑ යුක්තිය‘, එම නිවේදනයේ ඉලක්කගත චූදිතයන් සම්බන්ධයෙන් නම් කොතැනකවත් ඉල්ලා සිටින්නේ නැත. තවද, එම සියලූ කරුණු අදාළ නිවේදනය තුළ ඉදිරිපත් කෙරෙන්නේ, වාර්ගික සහ ආගමික සංහිඳියාව පිළිබඳ මූලික අවශ්‍යතාව මත පදනම්වයි. ඒ ගැනත් ඔබෙන් පළවුණේ නරුම සෝපාහාසයකි.

ඔබේ ආස්ථානයන්

‘හිරු‘ නාලිකාවේ සංවාද වැඩ සටහනේ සත්කාරකයන් උද්ධෘත කොට දැක්වූයේ අදාළ පුවත්පත් දැන්වීමේ වාක්‍ය පහක් පමණි. ඊළඟට එය පළ කළ සංවිධාන දෙකේ නාමයන් හඳුන්වා දී, අත්සන්කරුවන් 170 ක් අතුරින් පළමු නාමය වශයෙන් පූජ්‍ය දඹර අමිල හිමියන්ගේත්, අවසානයේ සඳහන් නාමය වශයෙන් මහාචාර්ය ආර්. එස්. පෙරිම්බනායගම්ගේත් නම් සඳහන් කර දීමෙන් පසු ඔබ පවසන්නේ මෙවැන්නකි:

“ඕකට අත්සන් කරපු මිනිස්සුන්ගේ මොළේ සෝදිසි කරලා බලන්න ඕනේ… මේකෙන් පේනවා, අංගොඩ ඉන්න ඕනේ කරන මිනිස්සු ඉන්නේ එළියේ විත්තිය.“

මේ ආකාරයෙන්, පුවත්පතක ප්‍රසිද්ධ නිවේදනයක්, එය දැකීමෙන් හෝ කියැවීමකින් පවා තොරව ගර්හාවෙන් ඉවතලීම, යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රකාශනයේ නිදහස සඳහා ප්‍රතිඥා දුන් ඇමතිවරයෙකුට තරම් නොවේ. ඊළඟට ඔබ විරෝධය දක්වන්නේ ‘ක්‍රිස්තියානි නමස්කාර ස්ථානවලට‘ පහර දීම් සංඛ්‍යාව (නිවේදනයේ සඳහන් පරිදි සියයකට වැඩි සංඛ්‍යාව) ගැන ය. මේ සිදුවීම්වල කාල පරාසය 2015 ජනවාරි දක්වා දිවෙන බව නිවේදනයේ පැහැදිළිව කියැවෙයි. ‘ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ඉවැන්ජලික සන්ධානය‘ විසින් සම්පාදිත සිද්ධීන් පිළිබඳ වාර්තාව මා දැක තිබේ. ඒ සමග සසඳද්දී ඇත්තෙන්ම මෙම නිවේදනයේ සඳහන් සංඛ්‍යාව ඊට වඩා බෙහෙවින් අඩු ය.

මෙවැනි දේවල්, ඇමතිවරයෙකු වශයෙන්, විශේෂයෙන් අධිකරණ ඇමතිවරයා වශයෙන් අපක්ෂපාතීව සලකා බලා විමර්ෂණය කළ යුතුවා මිස, එම කාරණා මහජන අවධානයට යොමු කරන පිරිස් ඇතුලූ එම නිවේදනයමත් ගර්හාවට ලක්කොට බැහැර කළ යුතු නොවේ. ඔබේ චර්යාවෙන් පෙන්නුම් කරන්නේ, ආණ්ඩු පක්ෂයේ වේවා, විපක්ෂයේ වේවා, ඇමතිවරුන් සහ දේශපාලඥයන් අතර රඟදෙන දේශපාලනික සංස්කෘතියේ තරමයි.

මෙකී නිවේදනය ‘බොරු ප්‍රචාරයක්‘ වශයෙන් බැහැර කරන ඔබ, මෙවැනි දේවල්වලට ඉඩ නොදිය යුතු බව කියයි. ‘රට ගිනි තියන්නේ මේ වගේ මතවාදවලින් නොවේදැ‘ යි වැඩ සටහන මෙහෙයවන එක් පුද්ගලයෙකු අසන පැනය සමග ඔබ ඉඳුරා එකඟ වෙයි. ප්‍රධාන වැඩ සටහන්කරු මූලික වශයෙන් සිවිල් සමාජ සංවිධාන පිළිබඳ ප්‍රශ්නය මතු කරද්දී ඔහුගේ තර්කය වන්නේ, ‘සමහර භික්ෂූන් වහන්සේලාට විරුද්ධව ආණ්ඩුව පියවර ගත්තත් මේ වගේ ප්‍රකාශනවලට විරුද්ධව කිසි පියවරක් ගන්නේ නැති‘ බවයි.

මා දන්නා පරිදි, මා අත්සන් කළ වර්ගයේ ප්‍රකාශනයක් නිකුත් කිරීම අරභයා කිසිවෙකු අත්අඩංගුවට ගැනීමේ හෝ කිසිවෙකුට එරෙහි පියවර ගැනීමේ හෝ සිරිතක් නැත. ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කිරීම සහ ප්‍රචණ්ඩත්වය උසිගැන්වීම හෝ අධිකරණයට අපහාස කිරීම යනු දෙකකි. ඒ සම්බන්ධයෙන් ආචාර්ය දයාන් ජයතිලක වැන්නෙකු වුවද එකඟ වනු ඇත. නිවේදනයක් නිකුත් කිරීම යනු අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසේ අංගයකි. දෙවැන්න වනාහී, සාපරාධී ක්‍රියාවකට තුඩුදිය හැකි කාරණයකි. එහෙත් එම වෙනස කියා දීමට, ජනාධිපති නීතිඥයෙකු ද වන ඔබට හයියක් හෝ අවංක භාවයක් තිබුණේ නැත. ඊට හේතුව, සමහර විට ඔබ සිටින්නේත් එම මතයේම නිසා විය හැකිය. නිවේදනය පිළිබඳ ප්‍රශ්නය මතු කිරීමටත් මත්තෙන්ම ඔබ කෙළේ දිගට හරහට ‘රාජ්‍ය නොවන සංවිධානවලට‘ පහර දීමයි. එසේ කිරීම සඳහා පැවති හේතු කවරේදැ යි මට නම් නොවැටහේ. මා කිසි දවසක ශ්‍රී ලංකාවේ කිසිදු ‘රාජ්‍ය නොවන සංවිධානයක්‘ සමග කටයුතු කොට නැත. මා සම්බන්ධ නැතත්, ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයත්‘, ‘පුරවැසි බලයත්‘ සුජාත සිවිල් සමාජ සංවිධාන වශයෙන් මම සලකමි.

‘රාජ්‍ය නොවන සංවිධාන‘ සම්බන්ධයෙන් ඔබට ඇති කෝන්තරය වන්නේ ඒවා විදේශයන්ගෙන් ඩොලර් ලබා ගැනීමයි. එය ඇත්තක් විය හැකිය. එහෙත් එසේ ලබා ගන්නා මුදල්වලට ඔවුන් වගවිය යුතු බව මම දනිමි. නමුත් අපේ දේශපාලඥයන්ගෙන් බොහොමයක් තර වන්නේ මහජන මුදල්වලින් වන අතර, ඒ මහජන මුදල්වලට සමහරවිට ඔවුහූ වංචා කරති. එය බොරු ද?

ඔබේ වගකීම්

ඔබෙන් තව ප්‍රශ්නයක් ඇසීමට මට අවසර. ඔබ තවමත් නීතිඥයෙකු වශයෙන් කටයුතු කරන බව ඉහත සංවාදයේදී ඔබ කීවේය. ‘අද‘ පවා ඔබ නඩුවක් දැම්මේ යැයි ඔබ කීවේය. මා නිවැරදි ද? නැතහොත් මට ඇසුණේ වැරදියට ද? ඔබ යටතේ අමාත්‍යාංශ දෙකක් තිබේ. ඔබ තවමත් නීතිඥ වෘත්තියේ යෙදෙන්නේ නම්, ඇමතිවරයෙකු වශයෙන් ඔබේ රාජකාරිය නිසියාකාරයෙන් ඉෂ්ට කරන්නේ කෙසේද? එබැවින්, ‘බුද්ධ සාසන ජනාධිපති කොමිෂන් වාර්තාව‘ ක්‍රියාත්මක නොකිරීම මට නම් පුදුමයක් නොවේ.

මේ අනුව, බෞද්ධ භික්ෂූන් හෝ නායක හිමිවරුන් අතරේ අදාළ ප්‍රශ්න පිළිබඳව යම් අසන්තෝසයක් හෝ අසහනයක් ඇත්නම්, ඔබ මූලිකව ඊට වගකිව යුතු වන්නේය. වෙනත් ආගම් හෝ ඒවායේ නායකකාරකාදීන් ඊට වගකිව යුතු නැත. අනවබෝධයන් සහ මතභේද කවදත් තිබිය හැකිය. මීට පෙර වෙනත් තැන්වල මා යෝජනා කොට ඇති පරිදි, එම ප්‍රශ්න නිරාකරණය සඳහා අන්තර්-ආගමික සංවාද ඇති විය යුත්තේය. දැනුත් මා යෝජනා කරන්නේ එයමයි.

බුද්ධාගමට සහ පොදුවේ බෞද්ධ භික්ෂූන්ට එරෙහිව සමාජ මාධ්‍ය ජාල තුළ නින්දා අපවාද පළවෙන බව කියැවේ. මගේ වයසේ හැටියට සමාජ ජාල ඔස්සේ සැරිසැරීම මගේ සිරිතක් නොවන නිසා එවැනි දේවල් මා දැක නැත. එවැනි අපවාද ඇතොත් ඒවාට වගකිව යුත්තන් නීතිය ඉදිරියට පැමිණිවිය යුතු බව නිසැකයි. එහෙත් ඒ සඳහා, හුදු විවේචනයන් හෝ හෙලාදැකීම් පමණක් ප්‍රමාණවත් නොවේ. භික්ෂූන් ඇතුළු ඕනෑම ආගමික නායකයෙකු සම්බන්ධයෙන් පළවෙන ප්‍රජාතන්ත්‍රීය විවේචනවලින්, නග්න අපවාද වෙන් කොට හඳුනාගත යුත්තේය. වැදගත් වන්නේ එවැනි විවේචන, නින්දා අපහාස නොවීමයි. විද්‍යුත් සඟරා සහ පුවත්පත් සඳහා අප ලියන ලිපි ලේඛනවලදී අප සියල්ලන්ම පරිස්සම් විය යුතු බව මම අදහමි.

ඔබේ රූපවාහිනී සංවාදය තුළ, නිවේදනයේ අන්තර්ගත සංඛ්‍යාවන්ට වෙනස් සංඛ්‍යාවන් ඔබ ඉදිරිපත් කෙළේය. එ්වාට අනුව, පසුගිය දෙවසරක කාලය තුළ වාර්ගික සහ ආගමික අංශයෙන් වාර්තා වී ඇත්තේ සිදුවීම් 29 ක් පමණි. ඒවා නම්, සිංහල බෞද්ධයන්ට එරෙහි සිදුවීම් 9 ක්, මුස්ලිම් භක්තිකයන්ට එරෙහි සිදුවීම් 15 ක්, කිතුණුවන්ට එරෙහි සිදුවීම් 4 ක් සහ හින්දු බැතිමතුන්ට එරෙහි සිදුවීම් 1 ක් වශයෙනි. ඒ අනුව ඔබේ මතය වන්නේ, ඇතැම් ‘පිස්සන්ගේ‘ වැරදි වාර්තා හැරුණු කොට, සියල්ල යහතින් පවතින බවයි. මේ ‘පිස්සන්ගේ‘ ගොඩට එක් බෞද්ධ භික්ෂුවක් සහ ක්‍රිස්තියානි බිෂොප්වරයෙකු ද ඇතුළත් වෙයි.

දත්තවල නිරවද්‍යතාව සොයා බලන්න

ඔබේ කරුණු දැක්වීම තුළ, මුස්ලිම් සහ කිතුණුවන්ට එරෙහි ‘සිදුවීම්‘ සැර බාල කොට දැක්වීමට ඔබ වෙහෙසක් ගත් බව පෙනුණි. “මුස්ලිම්වරුන්ට එරෙහි එක් සිද්ධියක් වුණේ ගලක් වීසි කිරීම පමණක්“ යැයි එක් අවස්ථාවකදී ඔබ කීවේය. ඔබේ තර්කය සනාථ කිරීම සඳහා ඔබ කතෝලික කාදිනල්වරයෙකු වන මැල්කම් රංජිත් පියතුමාව සාක්ෂියට ඉදිරිපත් කෙළේය. නිශ්චිත ගණන්හිලව් පිළිබඳ ව්‍යාකූලත්වයක් තිබීමට බැරි කමක් නැත. ඉහත කී සිවිල් සමාජ ප්‍රකාශනයේ සඳහන් වුණේ දළ ඇස්තමේන්තුවක් පමණි. එසේම කිතුණු ආගමික ස්ථානවලට පහරදීම් සම්බන්ධයෙන් එම ප්‍රකාශනය තුළ කියැවෙන්නේ ‘ක්‍රිස්තියානි නමස්කාර ස්ථාන‘ මිස සම්මත අර්ථයේ පල්ලි නොවේ. කෙසේ වෙතත්, ‘ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ඉවැන්ජලික සන්ධානයේ‘ වාර්තාව තුළ 2015 ජනවාරියේ පටන් හටගත් සිදුවීම් 223 ක් පිළිබඳ තොරතුරු ඇතුළත් වන අතර, ප්‍රහාර/සිදුවීම් 29 ක් වෙනම අනුක්‍රමික අංක ඔස්සේ ඉදිරිපත් කොට ඇත. එය ඔබ ඉදිරිපත් කරන සංඛ්‍යාවට වඩා බෙහෙවින් ඉහළ අගයක් ගන්නා බව දත යුතුය.

ආණ්ඩුව අනුගමනය කළ යුතු වඩාත් සුදුසු පිළිවෙත වන්නේ, 1952 සිට මෙරටේ ස්ථාපිතව පවතින ‘ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ඉවැන්ජලික සන්ධානය‘ සමග මේ ගැන සාකච්ඡා කිරීමයි. මේ චෝදනා ඉදිරියේ ‘ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය‘ කරන්නේ කුමක්ද යන්නත් තව ප්‍රශ්නයකි. එම ඇමතිවරයා කතෝලිකයන්ව පමණක් බලාකියා ගන්නේය යන චෝදනාවක් මෙහිදී එල්ල විය හැකිය. විවිධ ආගම් සඳහා විවිධ අමාත්‍යාංශ තිබීම මීට හේතු වෙයි. එසේ වීම නිසා ඒ ඒ ඇමතිවරයා තමන්ගේ ආගමික පර්ෂදය ගැන පමණක් උනන්දු වන්නේය යන හැඟීම කෙනෙකු තුළ ඇති විය හැකිය. මීට පෙර යම් තැනක මා සඳහන් කොට ඇති පරිදි, ඉන්දුනීසියාවේ සියලූ ආගම් සඳහා ඇත්තේ එක අමාත්‍යාංශයකි. ඒ යටතේ, බුද්ධාගම ඇතුළු විවිධ ආගම් සඳහා වෙනම අධ්‍යක්ෂ මණ්ඩල පිහිටුවා ඇත්තේය. එවැනි සැකැස්මක් තුළ අදාළ ඇමතිවරයාට මධ්‍යස්ථ භාවයක් ආරක්ෂා කර ගැනීමට බල කෙරෙයි. වෙන වෙනම අමාත්‍යාංශ පිහිටුවනවා වෙනුවට මෙවැනි තනි අමාත්‍යාංශයක් යටතේ කටයුතු කිරීම අන්තර්-ආගමික මිත්‍රත්වය ප්‍රගුණ කිරීමටත් උපකාරී වෙයි. ආගමික කටයුතු අමාත්‍යාංශ ඇති රටවල් 25 ක් තිබේ. ඒ රටවල් අතරින් විවිධ ආගම් සඳහා විවිධ අමාත්‍යාංශ ඇති එකම රට ශ්‍රී ලංකාවයි. එය පවා අසතුටුදායක අන්දමිනි.

මැයි 31 වැනි දා ‘අන්තර්-ආගමික සභාව‘ අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි, ‘ආගමික ගැටුම් නිරාකරණය කර ගැනීම සඳහා සියලූ ආගමික නායකයන් එක වේදිකාවකට පැමිණිය යුතුය‘. එය නිවැරදි ප්‍රතිපත්තියක් බව මගේ විශ්වාසයයි. සිවිල් සමාජ සංවිධානවලට එරෙහිව හෝ ඇතැම් අන්තවාදී ව්‍යාපාර ගැන රට දැනුවත් කිරීම සඳහා පෙරට පැමිණි අයවළුන්ට එරෙහිව හෝ ආක්‍රෝෂ පරිභව කොට බැණ වැදීම වෙනුවට ඔබේ වගකීම වන්නේ සෙසු ඇමතිවරුන් ද සමග එක්ව එවැනි අන්තර්-වාර්ගික සංවාදයක් දියත් කිරීමයි.

මගේ අවසාන කාරණය

ඉහත කී ‘සලකුණ‘ වැඩ සටහන ආරම්භයේ කරුණු දක්වමින් “1978 ව්‍යවස්ථාව කෙටුම්පත් කෙළේ මහාචාර්ය ඒ. ජේ. විල්සන්“ යැයි ඔබ කීවේය. එය මුළුමණින්ම වැරදි කතාවකි. එවැනි ප්‍රකාශයක් කිරීමෙන් නොනැවතී, මේ ව්‍යවස්ථාව අරාජකත්වයකින් කෙළවර විය හැකි බව කියා පෑම සඳහාත් ඒ. ජේ. විල්සන්ගේ “ආසියාවේ ගෝල්වාදී ක්‍රමය: ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව (1978)“ නැමැති කෘතියම ඔබ උද්ධෘත කොට දැක්වූයේ මන්දැ යි මට නොවැටහේ. සමහර විට එයින් පෙන්නුම් කෙළේ ඔබේ නොදැනුවත් භාවය විය හැකිය.

ඔබේ උද්ධෘතය නිවැරදියි. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඔහුගේ කර්තෘත්වය පිළිබඳ ප්‍රකාශය වැරදියි. ඔහුගේ ස්තුතිය පිළිගැන්වීම නැවත කියෙව්වොත්, ඔබේ අනවබෝධය පහ කර ගැනීමට ඔබට හැකි වනු ඇත. 1978 ජුලි මාසයේ දී, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ගැන ඔහුගේ අදහස් විමසා සිටියේය. එකල මම ඔහු සමග ඉතා සමීපව සිටියෙමි. ඔහු ඉතා විනීතව සිය අදහස් ඉදිරිපත් කළත්, එම උපදෙස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවසාන වශයෙන් සකස් කිරීමේ දී සැලකිල්ලට නොගැනුණි. ව්‍යවස්ථාව සම්මත කෙරුණේ 1978 සැප්තැම්බරයේදී ය. කරුණාකර මේ විකාර ව්‍යවස්ථාව ගැන, සෘජුව හෝ වක්‍රව, ඔහුට දොස් නොකියන්න.

ඔබේ හිතෛශී,

ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු
(දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය)

Back to Top