Sri Lanka Brief
පුවත්විවරණහතලිස් වසකට පසු ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙකු හමුවීම – රංජිත් හේනායකආරච්චි

හතලිස් වසකට පසු ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙකු හමුවීම – රංජිත් හේනායකආරච්චි

by

ජායාරූපය: 2020 ජවිපෙ ආණ්ඩුව අල්ලයිද?

අනුර කුමාර දිසානායක මහතා බර්ලින් නගරයට විදේශගත ලාංකිකයන් ඇමතීමට පැමිණි අවස්ථාවේ මටද ඔහුට සවන් දීමට හා ඔහු සමග අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාවක් උදාවිය. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන නායකයෙකු මෙලෙස මට මුණ ගැසෙන්නේ හරියටම වසර 40 කට පසුවය.

ඒ එදා 71 කැරළි කරුවන් ලෙස රෝහණ විජේවීර ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ එදා නායකයන් සමග 1977 නව මැගසීන් බන්ධනාගාරයේ සිරගතව සිට එළියට ආවායින් පසුයි. එදා රෝහණ විජේවීර, ලයනල් බෝපගේ, නන්දන මාරසිංහ, දයා වන්නිආරච්චි, වනසිංහ, එස්.ඩී. ආදී නායකයින් සමග අප එකට සිරගතව සිටියා වුවත් මා ඇතුළු බොහෝ දෙනෙකු ඒ වන විට ජනතා විමුක්ති පෙරමුණ නායකයන් සමග මත එකගතාවයක් ඇතුව නොසිටියෙමු. එනිසා අප අතර සිදුවන කතාබහකදී මතවාදීව ගැටීම් සිදුවීම නිරන්තරයෙන් සිදුවූ අතර ප්‍රධාන තැනක් ගත්තේ ආර්ථික අර්බුදය දේශනය තුළින් වැඩවසම් සමාජය වර්ණනා කිරීම ගැන, ඉන්දියානු ව්‍යාප්තවාදී පන්තිය තුළ තිබූ ජාතිවාදී ස්වරූපය සහ ජාතික ප්‍රශ්නය පිළිබඳ මත විෂමතාවය මෙන්ම එක්දින විප්ලවය වැනි කාරණා සම්බන්ධයෙන්ය.

එමෙන්ම අප අතර තිබූ ප්‍රධාන වෙනස් කමක් වූයේ 1971 කැරැල්ල ගැන පැවති අපරාධ යුක්ත විනිශ්චය කොමිසම හමුවේ පෙනී සිටි නඩුවලදී විජේවීර ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකත්වය ‘71 කැරැල්ල ලොකු අතුළගේ කුමන්ත්‍රණයක් මිස ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලක් නොවේ’යන ස්ථාවරයේ     සිටීම ගැනයි. නමුත් අප කණ්ඩායම, වසන්ත දිසානායක, තුල්හිරියේ ආරි, පැට්‍රික් ප්‍රනාන්දු ආදීන් පෙනී සිටියේ ‘අප කැරළි ගැසුවෙමු එසේ රැජිණගේ ආණ්ඩුවට එරෙහිව කැරළි ගැසීමට අපට අයිතියක් ඇත. එනිසා අපි නිවැරදි කරුවන් වෙමු’ යන ස්ථාවරයක් සිටයි. මේ මා ඉදිරිපත් කරන්නේ එදා එනම් මින් වසර 40 කට පෙර අප කණ්ඩායම් දෙක සිටි ස්ථාවරයන්ය.

ඒවාගේම එදා හිරගෙවල් තුළ ජනතා විමුක්ති පෙරමුණ දෙස විවේචනාත්මක මත ඉදිරිපත් කළ එහි සාමාජිකයින්ට ශාරීරිකව තාඩන පීඩන කිරීම ගැන ද අප සහ ජනතා විමුක්ති පෙරමුණ අතර මතවාදී ගැටුමක් පැවතුණි. හැමන් හිල් දූපත් හිර ගෙදර සහ යාපනය හිරගෙදර සිදුවූ මෙවැනි තත්වයන් ගැන මවිසින් අනු ගණන්වලදී ‘බක්මහ කඳුළු’ නමින් ලියූ පොතේ මේ පිළිබඳව සවිස්තරාත්මකව ලියා ඇත.

ජනතා විමුක්ති පෙරමුණ උතුරේ ජනවාර්ගික යුද්ධයේදී යුද්ධයම විසඳුම කර ගැනීමත්, බලය බෙදා හැරීමකට කිසියම්ම එකගතාවයක් නොදැක්වීමත්, තමන් යුද්ධයේ යාවජීව කොටස්කරුවන් වීමත් ආදිය පිළඳව පසුගිය වකවානුවේ අප අතර පවතින මත වෙනස ඉතා විශාලය.

මේ සියල්ල, එනම් ඉතිහාසය මේ ආකාරයෙන් සිදුවූවා වුවත් සෑම අයෙකුටම කොතරම් පමා වි හෝ තම ඉතිහාසයෙන් ඉගෙන ගැනීමටත්, එතුළින් තමන්ගේ වැරදි නිවැරදි කර ගනිමින් නිවැරදි ස්ථාවයකට ඒමට ඇති අයිතියත් අප ගරු කරන්නෙමු. ඒවාගේම රාජපක්ෂ කල්ලියේ අගතිගාමී දේශපාලනයට එරෙහිව අන් ප්‍රගතිශීලී බලවේග සමග එක්ව රාජපක්ෂ කල්ලිය පලවා හැරීමට ජනතා විමුක්ති පෙරමුණ සහභාගි වීම අප වෙත ඔවුන් අලුත් එලියක් දැල් වූ අවස්ථාවකි. එමෙන්ම පසුගිය වකවානුවේ එනම් පසුගිය වසර 2-3 ක කාලය තුළ අනුර කුමාර ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ රටේ දේශපාලන නායකත්වයේ විවිධ දූෂිත ක්‍රියාවන් සහ රාජ්‍ය දේපළ කඩා වඩා ගැනීමට එරෙහිව දත්තයන් සහ සාක්ෂි දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටතත් ඉදිරිපත් කිරීම වැනි කාරණා හේතුවෙන්ද අප තුළ එක්තරා පැහැදීමක් ඔවුන් වෙත ඇති විය.

පසුගිය සතියේ දිනක මියුනික් නගරයේ වෙසෙන මගේ මිතුරෙකු මා අමතා අනුර කුමාර දිසානායක මහතාගේ බර්ලින් පැමිනීම ගැන මට දැනුම් දෙනු ලැබීය. එය පොදුවේ සැමට සහභාගි විය හැකි විවෘත රැස්වීමක් නිසාවෙන් ඔවුන් අද ඉදිරිපත් කරන මත පිළිබඳ දැන ගැනීමේ කුතුහලයද පෙරදැරිකරගෙන මම එම රැස්වීමට සහභාගි වූයෙමි.

සවස 4 ට පටන් ගැනීමට තිබූ රැස්වීම හරියටම පැයක් පරක්කු වී 5 ට ඇරඹීම අනුර කුමාර දිසානායක මහතාගේ නොව එම රැස්වීම සංවිධානය කළ සංවිධායකයින්ගේ දුර්වලකමකි. ජර්මනිය වැනි වෙලාවට වැඩ කිරීම පිළිබඳව නම් දරා සිටින රටක ජීවත් වුවා වුවත් එම සංවිධායකයින් තම ලාංකීය පුරුද්ද වන වෙලාවට වැඩ නොකිරීම ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමයි. අනුර කුමාර දිසානායක මහතාගේ කතාව කරුණු සහ සංඛ්‍යා ලේඛණයන්ගෙන් පොහොසත් සිත් බැඳ ගන්නා එකකි. නමුත් පැය 2 ක් වැනි දිගු කතාවකට වඩා කෙටි කරුණු ඉදිරිපත් කිරීමක් සහ දිගු සාකච්ඡා වටයක් තිබීම මෙවැනි දුර්ලභ අවස්ථාව නිසි ආකාරයෙන් ප්‍රයෝජනයට නොගැනීමක් බව මගේ වැටහීමයි.

ප්‍රශ්න ඉදිරිපත් කිරීමට තිබූ කෙටි අවස්ථාවේදී 2020 දී බලයට ඒම සඳහා ජනතා විමුක්ති පෙරමුණට ඇති අරමුණ සාක්ශාත් කර ගැනීමට ඇති බාධකයන් ගැන  නැගුණ ප්‍රශ්ණ වලදී පෙරමුණක් ගොඩ නැගීම යන කාරණය පිළිබඳ මා නැගූ පැනයට අනුර කුමාර මහතා හොඳ පිලිතුරක් දෙනු ලැබීය. ඒවාගේම ලංකා සමාජයේ පසුගාමී කම පිළිබඳව, එනම් තාමත් ප්‍රභූන්ට පමණක් තම කැමැත්ත දීම, වැඩ වසම් ලක්ෂණයන්හි එල්බ සිටීම පිළිබඳව ද අඩු වැඩි වශයෙන් මත එකගතාවයක් ඉදිරිපත් විය.

මේ සියල්ල මෙසේ තිබියදී රටේ ඡන්ද දායකයා ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දීමෙන් වැළකී සිටීමට අතීතයේ ඔවුනගේ යම් යම් දුර්වල ක්‍රියාකාරකම්ද හේතු නොවුනේද යන්න මා ඉදිරිපත් කරනු ලැබුවේ පැනයකටත් වඩා එය තමන්ගේ පෙරමුණු ගොඩ නගා ගැනීමේ ක්‍රියාදාමය සාක්ශාත් කර ගැනීමට අත්‍යාවශ්‍ය කරුණක් නොවන්නේද යන අයුරිනි. නමුත් එම කාරණයේදී අනුර කුමාර දිසානායක මහතාගේ පිලිතුර ඉතා අවේගශීලී සහ ඉතිහාසයේ ජනතා විමුක්ති පෙරමුණට පුරුදු සීමාවන්ට කොටු වෙමින්ම සිදුවීම ඇත්තෙන්ම මා තුළ ඔවුන් කෙරෙහි ඇති වෙමින් තිබූ පැහැදීම සැණෙකින් ගල් කරනු ලැබීය. තාමත් කොස් ඇටය සිබිඩ්ඩෙන් එළියට පැන නැති බව ඔහුගේ පිලිතුරු දීමේ ස්වභාවය සනාථ කරනු ලැබීය.

තමන් අතින් නැතිනම් ජනතා විමුක්ති පෙරමුණ පෙර කළ යම් යම් වැරදි පිළිබඳ අවංක ඉදිරිපත් කිරීමක් වෙනුවට සිදුවූ සියළු සාහසික කම් යුද්ධයකදී සිදුවූ කෘර සිදුවීම් ගනයට ලඝු කිරීමේ ස්ථාවරයකට යමින් අනුර කුමාර මහතා අවේගශීලීව පිලිතුරු දුන්නේ කාටද යන්න මටද ප්‍රශ්නයක්ය.

ඔහු පිලිතුර ආරම්භ කරන්නේ ‘ යුද්ධයක් දිනූ අය ඉතිහාසය ලියනු ලබයි. අපි ජනතා විමුක්ති පෙරමුණ යුද්ධයෙන් පැරදුනි’යන වචන කාණ්ඩයයි. ඉන් අනතුරුව ඔහුගේ වාග් මාලාවට හමුදා ඔත්තුකරුවන්, පාවාදෙන්නන්, ගෝනි බිල්ලන් ආදී වචන එක්විය. පාවාදෙන්නන්, ඔත්තුකරුවන්, ගෝනිබිල්ලන් යනුවෙන් ඔවුන් හදුන්වන්නේ මරා දැමීම සාධාරණීකරණය කිරීම පිණිසයි.

එදා 1971 සිර ගෙවල සිරවී සිටි විසි දහසකට වැඩි පිරිසෙන් බොහෝ දෙනෙකුට තමන්ගේ පක්ෂයේ වරද ගැන කතා කිරීමේ වරදට ද්‍රෝහීන්, පාවා දෙන්නන් ආදී ලෙසින් නම් කර සිර ගෙවල් තුලදී අතින් පයින් පහර දුන් බව කටුවලින් ඇණ තුවාල කළ බව අනුර කුමාර මහතා අද මතක් කර ගත යුතුව ඇත. ජනතා විමුක්ති පෙරමුණ 88/89 දී චිට් එකක අනට කීකරු නොවී තම කඩය නොවැසීමේ වරදට, බසය පැදවීමේ වරදට, දේශපාලන පක්ෂවලින් ඉල්ලා අස්නොවීමේ වරදට, ජනතා විමුක්ති පෙරමුණ කරන සාපරාධී ක්‍රියාවන් එදා වැරදි යයි කියූ වරදට කෑලි කපා මරා දැමූ බව අනුර කුමාර මහතාද අමතක කර ඇති බවක් පෙනුනි.

එසේ නැතිනම් ජනතා විමුක්ති පෙරමුණට සුපුරුදු ආවේණික ගති ලක්ෂණය වන තම වැරදි පිලිනොගැනීමේ, තම වැරදි අන් අය වෙත පැටවීමේ ආවේණික ලක්ෂණ්‍ය ඔහු තුල එකවර මතුවූවා විය හැක. ජනතා විමුක්ති පෙරමුණ රටේ දේශපාලන බලය තම අතට ගැනීමට නම් අවංකවම තමනගේ වැරදි පිළිබඳව වටහා ගෙන විවෘතව සමාජයට බැසිය යුතුය. එසේ  නොමැතිව 71 සිටම කළාක් මෙන් තම වැරදි අනෙකා මත පටවා තම දෑත් පිසදා ගැනීමේ ක්‍රියාදාමයම තවදුරටත් පවත්වා ගන්නවා නම් ඔවුනට බලය ලබා ගැනීම යන්න සිහිනයක් තුළම සිර කර ගැනීමට සිදුවනු නොඅනුමානය.

ඔවුන් මත පැරණි වැරදිවල හෙවණැල්ල වැටී ඇති බව වටහා ගෙන එම පැරණි හෙවණැල්ලෙන් එළියට ඒමට නම් තම වැරදි නොභියව නිවැරදි කර ගැනීමට ආත්ම ශක්තියක්, උවමනාවක් සහ දැණුමක් ඒවාගේම මේ සියල්ල සමග අවංකභාවයක්ද අත්‍යාවශ්‍ය කාරණයක් බව වටහා ගැනීම වැදගත් වේ.

Back to Top