Sri Lanka Brief
පුවත්සෙනග දැකල චූන් වුණ අයටයි බය වුණ අයටයි – අජිත් පැරකුම් ජයසිංහ

සෙනග දැකල චූන් වුණ අයටයි බය වුණ අයටයි – අජිත් පැරකුම් ජයසිංහ

by

මැයි රැළිය සඳහා ගෝල්ෆේස් පිටිය ලබා දී ආණ්ඩුව මහින්දට අභියෝගයක් කළේ ය. එනම්, සෙනග ගෙනත් පුරවා පෙන්වන ලෙසයි. මහින්ද හිතවාදී බලවේගය කවදත් කරන්නා සේ මෙම අභියෝගය භාර ගත් හ. දැවැන්ත ජනකායක ගාලු මුවදොර මැයි රැළියට රැස් වූ බව ඇත්තකි. රාජපක්ෂවරුන් විසින් පෙන්වා දෙන ලද තවත් කරුණක් වන්නේ බලයේ සිටින පක්ෂයක් තරමට ම හෝ ඊටත් වඩා මුදල් වියදම් කිරීමේ හැකියාව ඔවුන්ට තිබෙන බවයි.

මහින්ද හිතවාදී බලවේගයේ බිම් මට්ටම ගැන අප කලිනුත් ලියා ඇති පරිදි ඒ වනාහි රාජපක්ෂ දූෂණය හා ජාතිවාදී රණකාමය මත පදනම් වූ එකකි. ආර්ථික සාධක හා උම්මත්තකභාවය මත පිහිටා කටයුතු කරන මෙම ජනරාශි පුනරුත්ථාපනය නො කර ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට හෝ යහපාලනයට කිසි සේත් ම දිනා ගත නො හැකි ය. වත්මන් රජය විසින් කළ යුතුව තිබුණු ප්‍ර‍ධාන කාර්යයක් වන්නේ මෙවැනි පිරිස්වලට නායකත්වය දෙන්නට රාජපක්ෂවරුන්ට තිබෙන සම්ප්‍ර‍දායික හැකියාව මොට කර දැමීමයි. දූෂණ, වංචාවලට එරෙහිව නිසි විමර්ශන කළා නම් එය පහසුවෙන් කරන්නට තිබිණි.

කෙසේ වෙතත්, එම පිරිස් සමග රටට යා හැකි ඉදිරි ගමනක් නම් නැත. බලය ගැනීම සඳහා මෙම බලවේගය කර පිට ගියත්, බුද්ධිමත් පාලකයකුට නම් රට මේ මොහොතේ පවතින තත්වය තුළ ඔවුන්ගෙන් ඇති වැඩක් නැත.

ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ රැළිවලට ද එසේ දැවැන්ත ජනකායක් සහභාගි වූ බව අපට මතක ය. එහෙත්, මහින්ද ජනාධිපතිවරණයෙන් ද, ඉන් පසු පවත්වන ලද මහ මැතිවරණයෙන් ද පරාද විය. එයට මූලික හේතුව සුළුජන ඡන්ද ඔහුට නො ලැබී යාම පමණක් නො වේ. සිංහල ජනයාගෙන් ද සැලකිය යුතු පිරිසක් ඔහුට විරුද්ධව ඡන්දය දීමයි.

ආණ්ඩුවට එරෙහිව ලොකු විරෝධයක් රටෙහි ඇති මුත්, මහින්දට 2010න් පසු තමන්ගෙන් ගිලිහී ගිය ඡන්ද පදනම යළි දිනා ගන්නට හැකි වී තිබේ ද යන්න මහින්ද හිතවාදීන් යළි කල්පනා කළ යුතු ය. සෙනග දැක චූන් වීම ද සෙනග දැක බය වීම වැනි ම දෙයකි.

කෙසේ වෙතත්, මේ මොහොත ලංකාවේ අලුත් පෙරළියක ආරම්භයක සලකුණක් විය හැකි ය.

මහින්ද පලවා හැර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේනට තිබෙන සිහිනය යථාවත් කර ගැනීම කෙතරම් දුෂ්කර ද යන්න ජනාධිපති මෛත්‍රීපාල දැන්වත් තේරුම් ගත යුතු ය. ඔහු ළඟ වැටේ වැනි වැනි ඉන්නා සුසිල් ප්‍රේම ජයන්තලා, අනුර යාපලා වැනි අය පමණක් නො ව, දයාසිරි ජයසේකර වැනි රැල්ලට ගහගෙන යන බර අඩු දේශපාලන වස්තු ද අතහැර තමන්ගේ ගොඩ මොකක්දැයි හරි තක්සේරුවක් සිරිසේන කර ගත යුතු ය.

ඒ සමග රාජපක්ෂ සමග දුෂ්කර මොහොතේ සිටි අයට ද අභියෝගයක් එල්ල වේ. එනම්, නැවත වතාවක් නිමල් සිරිපාලලාට, අමුණුගමලාට ඉඩ දී පස්සට යනවා ද අලුත් තිරසර බලවේගයක් හදා ගන්නවා ද කියන එක ය. මහින්දට හැමදාමත් තිබෙන්නේ පාක්ෂිකයන් වාටියට තල්ලු කර දමා පිට එවුන් කරට ගැනීමේ ඉතිහාසයකි. මහින්ද ඝාතනයට උපකාර කිරීම පිණිස කොටින්ගෙන් සල්ලිත් අරගෙන අසු වී තිබියදීත් එසේ කරට ගත් ජොන්ස්ටන්ලා දැන් කෝ?

ජනාධිපති සිරිසේනට පාර තිබෙන්නේ වත්මන් ආණ්ඩුව තුළ මිස සම්ප්‍ර‍ායික රාජපක්ෂවාදී ශ්‍රීලනිප තුළ නො වේ. තමන් බලයට ගෙන ආ එක්සත් ජාතික පක්ෂය සමග සබඳතා තව දුරටත් ශක්තිමත් කර ගන්නවා හැර වෙන සෙල්ලම් ඔහුට නැති බව ඔහු තේරුම් ගත යුතු ය. එජාපය හා ශ්‍රීලනිපය ලෙස තනි තනිව කෙසේ වෙතත්, ඒකාබද්ධව ගත් කල වත්මන් ආණ්ඩුව තවමත් ශක්තිමත් බලවේගයකි. එය සෙලවීම ලෙහෙසි නැත.

ඔය මොනවා කීවත්, කුමන ඡන්දයකදී වුණත්, මෙම පක්ෂ දෙක එක්ව කටයුතු කළහොත් මහින්දවාදී බලවේගයට තවමත් ජයගැනීම ලෙහෙසි නැත.

එහෙයින් ඉදිරියේදීත් මහින්ද උත්සාහ කරන්නේ මෛත්‍රීපාල සිරිසේනව බ්ලැක්මේල් කර ගැනීමට මිස තනිව ගමනක් යාමට නො වනු ඇත. එහි හදිසි පෞද්ගලික කාරණාවක් ද තිබේ. මේ වන විට, දූෂණ සම්බන්ධ ඇතැම් විමර්ශන මහාධිකරණයේ නඩු පැවරීම් දක්වා දුර දිග ගොස් තිබේ. මේ නඩුවලින් රාජපක්ෂ පවුලේ හා සමීප කවයේ බොහෝ දෙනෙකුට ලෙහෙසියෙන් ගැලවිය නො හැකි ය.

ආර්ථික වශයෙන් දුෂ්කර මෙවැනි වකවානුවක කුමන ආණ්ඩුවකටවත් ජනප්‍රිය විය නො හැකි ය. මෙම වකවානුව වන විට මහින්ද බලයේ සිටියා නම්, ජාත්‍යන්තර පීඩනය හේතුවෙන් තත්වය මීටත් වඩා දරුණු විය හැකි ය. කවර අඩුපාඩු මධ්‍යයේ වුවත් ආණ්ඩුව ආර්ථිකය බිඳ වැටීම වළක්වා ගනිමින් සිටියි. එසේ සිටින්නේ ඒකාබද්ධ විපක්ෂයත්, ඔවුන්ට රහසින් ආවඩන වාම අන්තවාදී කොටස් හා කඩාකප්පල්කාරී වෘත්තීය සමිතිත් ආර්ථිකය බිඳ දැමීම සඳහා දැවැන්ත ව්‍යයාමයක් දරමින් සිටින මොහොතක ය. මේ රාජ්‍ය විරෝධී ප්‍ර‍හාරය ඉදිරි කාලයේදී තවත් තීව්‍ර‍වනු ඇත.

එහෙත්, ආණ්ඩුව මෙම බලවේගය හමුවේ යටත් වන්නේ නම්, ඔවුන්ගේ පැවැත්මෙහි අවසානය එතැනින් ඇරඹෙනු ඇත. ආණ්ඩුව කටයුතු කළ යුතු වන්නේ ආර්ථිකය ගොඩනැගීමට ඉවහල් වන, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය තහවුරු කරන, සාමය ස්ථාවර කරන තිරසර ප්‍ර‍තිපත්ති මත පිහිටා මිස රැළිවලට බියෙන් නො වේ. ආණ්ඩුව උත්සාහ කළ යුත්තේ තමන්ට උපකාරක විය හැකි ප්‍ර‍ජාතාන්ත්‍රික ජන බලවේගය බලමුළුගන්වා ගන්නට ය. උදාහරණයක් ලෙස, රාජපක්ෂ බලයට ගෙන ඒමේ පාදෙනියලාගේ උවමනාවෙනුත්, රජය කඩාකප්පල් කිරීමේ වාමාංශික අන්තවාදී උවමනාවෙනුත් ඉදිරියට ගනු ලබන සයිටම් විරෝධයට එදිරිව අධ්‍යාපනයේ නිදහස සම්බන්ධයෙන් සමාජයේ ඇති සහයෝගය සමග ආණ්ඩුව වැඩ කළ යුතු ය.

කෙසේ වෙතත්, 2020 දක්වා හෝ ආණ්ඩුවේ පැවැත්ම තහවුරු කර ගන්නට නම්, ඔවුන් සිය පොරොන්දු ඉටු කළ යුතු ය. මේ වන විටත් බරපතල ගැටලු රැසක් තිබේ. දූෂිතයන්ට, අපරාධකරුවන්ට එරෙහිව විමර්ශන හා නීතිය ක්‍රියාත්මක නො කිරීම, රජයේ නායකයන් හා නිලධාරීන් බරපතල දූෂණ හා නාස්තිකාර ක්‍රියාවල නියැලීම, රජය කාර්යක්ෂම කිරීමට අසමත් වීම, ආර්ථික වර්ධනය උත්තේජනය කිරීමට අසමත් වීම, නීතිය හා සාමය ස්ථාපිත කරන්නට අසමත් වීම හා රටට ගැලපෙන නව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවක් ගොඩනැගීමේ ක්‍රියාවලිය මන්දගාමී වීම ඒ අතරින් වැදගත් ම ඒවා ය.

ආණ්ඩුව තවමත් තම විභවය තේරුම් නො ගත් අලියෙකි. එසේ තේරුම් ගන්නට බැරි වන්නට මූලික හේතුව යථාර්ථය තේරුම් නො ගෙන උම්මත්තක ප්‍රීතියකින් හැසිරෙන එජාපයේත්, ශ්‍රීලනිපයේත් නායක දෙපළ ය. අප මේ ආණ්ඩුව අතහැර නො දමන්නට හේතුව කුමක් ද යන්න ඊයේ පැහැදිලි විය.

කවුරු මොනවා කිව්වත්, තිබෙන්නේ පාරවල් දෙකක් පමණි. ඒකාධිපතිවාදයට යනවා ද? ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්නවා ද? අනෙක් පාරවලුත් අතරමගදි මේ පාරවලට ම එකතු වෙනවා පමණි.

w3lanka අඩවියෙනි.

Back to Top