Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගසිවිල් සමාජය ජාලගතවීම සහ අපේ අරමුණ – රංජිත් හේනායකආරච්චි

සිවිල් සමාජය ජාලගතවීම සහ අපේ අරමුණ – රංජිත් හේනායකආරච්චි

by

ජායාරූපය‍ මානව හිමිකම් මණ්ඩලයේ 34 වන සැසිවාරයට සහභාගි වූ ශ්‍රී ලංකික සිවිල් සමාජ ක්‍රියාධරයින් පිරිසක්. (c)සුනන්ද දේශප්‍රිය.

ලංකා දේශපාලනයට සිවිල් සමාජයේ බලපෑම වැඩිම වැඩ කොටසක් කරනු ලැබුවේ 2015 ජනවාරි බල පෙරළිය සඳහායි. සිවිල් සමාජ සංවිධාන, පුද්ගලයින් සහ ආයතන ආදිය ජාතික හා ජාත්‍යන්තර තලයේ දිගු කලක් තිස්සේ අප්‍රතිහත ධෛර්යකින් නොකඩවා කර ගෙන ගිය සාමකාමී අරගලයක අවසාන ප්‍රථිපලය ලෙස එය හා ඇත්වැල් බැද ගන්නා දේශපාලන බලවේගයන් එදා බලපෙරළිය සිදු කරනු ලැබීය. එම දිගු අරගලය තුල විවිධ සමාජ කණ්ඩායම් සහ සංවිධාන, අත්දැකීම්වලින් පරිපූර්ණ සහ නවක කණ්ඩායම් මෙන්ම පුද්ගලයන්ට එකට එක්වීමට ඉඩක් එදා බලවේගයන් විසින්ම සාදා තිබුණි.

එදා රාජපක්ෂ රෙජීමයට විරුද්ධව එක්වූ සිවිල් කණ්ඩායම් එකම මතයක් දැරූ කණ්ඩායම්දනැත. එක කණ්ඩායමක් පරිසර විනාශය ගැන වැඩකළ අතර අනෙක වෘත්තීය අයිතීන් ගැන වැඩ කරනු ලැබීය. තවෙකක් රාජ්‍ය ක්‍රමය පෙරළා දැමිය යුතු යැයි කියූ අතර තවෙකක් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා පෙනී සිටිනු ලැබීය. තවෙකක් නීතිය මත පාලනය ගැන කතා කළ අතර තවෙකක් ස්ත්‍රීන් යටපත් කිරීම සහ ලිංගික සූරාකෑම ගැන කථා කළහ. කළාව සහ සංස්කෘතිය, සාහිත්‍ය ආදී මෙකී නොකී කණ්ඩායම් එතුල එක්වී සිටියහ. විද්වතුන් මෙන්ම කම්කරු බලවේග විශ්වවිද්‍යාල ආචාර්යවරු මෙන්ම ශිෂ්‍ය බලවේග එදා එහි එක්ව සිටියහ.

මිනී මැරීම, බලය අපයෝජනය, දූෂනය, බලහත්කාරය ආදී දුර්ගුණයන්ට හිමිකම් කියූ එදා පැවති රාජපක්ෂ කල්ලියේ රෙජීමයට මේ සියලුදෙනා විරුද්ධ විය. එහිදී මගේ මතය ඔබ දරණවාද යන්න මවිසින් ප්‍රශ්න නොකළ අතර ඔබෙත් මගෙත් සමානකම සෙවූයේ අපට පොදු ගුණාකාරය වූ මිනිස් අයිතීන් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් යටපත් කිරීමට එරෙහිවීම වෙනුවෙන්, අසාධාරණයට බලහත්කාරයට එරෙහිවීම වෙනුවෙන් ඔබත් මමත් එකට එක්ව සිටියහ. එදා අපට අප අතර ඇති පරස්පරයන් වැදගත් නොවුණි. අපි අපේ පොදු උවමනාව සඳහා අවම එකගතාවයට එක්වීමු. එසේ නම් එදා අපේ උවමනාව සඳහා සිවිල් සමාජයකට සැබෑ අරුතින් එක්ව වැඩ කර ඇත්තෙමු. නමුත් එය ඉන්පසු අවදියේත් පැවතුණිදඑසේ නොවුනානම් ඒ කුමන කාරණා හේතු සාධක කරගෙනදආදිය අද අප ඉදිරියේ ඇති ප්‍රශ්නයි.

අප සිවිල් සමාජය ලෙස හදුන්වන්නේ විවිධ සමාජ කාරණා මුල්කරගෙන ප්‍රජාතන්ත්‍රවාදී එකතූන් ලෙස එකට එක්වන සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් සහ පුද්ගලයන්ය. රටතුල තවත් ජන කණ්ඩායමක් හෝ පිරිසක් නැතිනම් වෙනත් මතයක් දරණ කොටස් මත තම ආධිපත්‍ය පැටවීමට, යටපත් කිරීමට එක්වන බලවේගයන් අපි සිවිල් සමාජය ලෙස හදුනා නොගනිමු ( ජාතිවාදී බලවේග, ෆැසිස්ට්වාදී බලවේග වැනි).  සමාජ ක්‍රියාදාමයක් සඳහා පෙනී සිටින පුද්ගලයන් සහ සංධානයන් විශේෂයෙන් ඔවුන් විසින්ම ඔවුන් සංවිධාන ගතවී සහ ක්‍රියාත්මක වන අය මෙහිදී වැදගත්ය.

පසුගිය පනස් වසක කාලය තුල රාජ්‍ය නොවන සංවිධානයන්හි විශාල නැගීමක් සිදුවී ඇත. 1960 දී සංවිධාන 1200 ක් පමණ වූ එය 1990 වන විට 22000 දක්වාත් 2014 වන විට 67 000 ක් ඉක්මවා වර්ධනය වී ඇත. මේ තත්වය ඇති වීමට මූලිකවම බලපාන්නේ රාජ්‍ය නොවන සංවිධානවලට ජාත්‍යන්තර සංවිධානයන්හි ( එක්සත් ජාතීණ්ගේ මණ්ඩලය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය වැනි ILO)  තම මත ඉදිරිපත් කිරීමට ඉඩ සැලසීම හේතුවෙනි. උදාහරණයක් වශයෙන් ජර්මනියේ 2014 වන විට සමාජ සංවිධාන හය ලක්ෂ දාසය දාහක් ක්‍රියාත්මක වන අතර ඒවායේ මිලියන 17.5 ක් ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක වේ.

සිවිල් සමාජයයන හැදින්වීම මෙසේ ක්‍රියාත්මක වන කණ්ඩායම් සහ සමාජ ක්‍රියාදාමයට යෙදීම සිදුවන්නේ ඉතා ඈත කාලයක සිටයිඑකල Societas Civilis’ යන්න ආදර්ශමත් සමාජයක් වෙනුවෙන් පාවිච්චි වූ හැදින්වීමයි. 19 වන සියවස මුලදී ඇමරිකා එක්සත් ජනපද වල සංචාරයක යෙදුණු ප්‍රංශ රදලයෙකු වන Alexis De Tocqueville එවකට ඇමරිකන් සමාජය තුල ක්‍රියාශීලීව පැවති විශාල ප්‍රමාණයක් සමාජ සංවිධානයන්හි විවිධත්වය සහ ඒවා තුලින් සමාජයේ සාමකාමී පැවැත්මට, ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට, ඒවා තුල ඇති ප්‍රජාතන්ත්‍රවාදී බව සහ ස්වයං සංවිධානගතවීම තුළ ඇති වැදගත්කම දැක පුදුමයට පත්විය. ‍ Tocqueville එදා සමාජය විග්‍රහකරමින් ‘සිවිල් සමාජය යන යෙදුම යොදා ගනු ලැබුවේ උද්යෝගීමත් පුරවැසියන් විසින් තමන්ම සංවිධාන ගතවූ සමාජ සංවිධාන, එහිදී රාජ්‍යට හෝ වෙළඳපොළ ආධිපත්‍යට ප්‍රතිවිරෝධයකින් තොරව හිස නොනමන මෙම බලවේග හැදින්වීම සඳහායි. එදා සිට සමාජයේ ස්වයං සංවිධානය වීමේ හැකියාව සහ එහි ඇති ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ හදුනාගැනීම සිවිල් සමාජය ලෙස හැදින්වේ. සංවාදයක් තුලින් මතයක් ගොඩ නගා ගැනීම නැතිනම් සාකච්ඡාවක් තුලින් යම් එකගතාවයට ඒම සිවිල් සමාජ ක්‍රියාදාමය ලෙස හැදින්වේ. එමෙන්ම සිවිල් සමාජය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සාධාරණ සහ සාමාකාමී බවක් පවත්වා ගැනීමට අවශ්‍ය ආරක්ෂකයා නැත්නම් එක්කෝ බලාගන්නා තැනැත්තා ලෙස විවේචනාත්මක අවධානයක් දේශපාලන බලය, ආර්ථිකය සහ සමාජ කළමණාකාරණය දෙස යොමාගෙන සිටිනු ලබයි. මේ කාරණයේදී කාන්තා, පරිසර, ජනවාර්ගික අයිතීන්, න්‍යෂ්ඨික විරොධීන්, දූෂණ විරෝධී ආදී සමාජ සංවිධාන මෙම සිවිල් සමාජ දාමයේ කොටස්ය. ඒවාගේම ඒකාධිපති හෝ ඒකාධිපති නැම්මක් ඇති රාජ්‍යන් තුලදී සිවිල් සමාජය සහ විරෝධාකල්ප දේශපාලන බලවේග අතර සම්බන්ධයක් පවතී. ජනවාරි 08ට ප්‍රථම ලංකාව, මියන්මාරයේ අවුන් සන් සුකී සමග එක්වූ බලවේග, පිලිපීනයේ මාකෝස් පෙරළීමට එක්වූ දේශපාලන බලවේග ආදිය මේවාට උදාහරණයි. එමෙන්ම මෙවැනි ඒකාධිපතිවාදී රාජ්‍යන් තුල මෙවැනි බලවේග සමග පුද්ගලයින් මතුවීමද සමහර තැන්වලදී ඔවුන් එවැනි බලවේග වල සංකේත බවට පත්වීමද සිදුවන අතර එතුලම සිවිල් සමාජ නායකයන් මේ ක්‍රියාවන් තුලම මතුවීමක් සිදුවිය.

ප්‍රචන්ඩත්වයෙන් තොරව නැතිනම් ‘සිවිල්ලෙස එකිනෙකා සමග ක්‍රියාත්මක වීම සිවිල් සමාජයේ තවත් වැදගත් සාධකයකි. එනම් පරස්පර විරෝධී නැතිනම් ගැටුම් සහිත මාතෘකාවන් හෝ වැඩසටහන් පිළිබඳව දෙපාර්ශවයටම වැදගත් කමක් සහ ගෞරවයක් දී ප්‍රචන්ඩබවින් තොරව සැමට එකගවිය හැකි නම්‍යතාවයේ විසදුමකට පිවිසීමට මග පාදා ගැනීමයි.

මෙ තුල සිදුවන වැදගත්ම කාරණය වන්නේ මෙම හැසිරීම විසින් ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රිත්මකවීම ඉගෙන ගැනීම එතුලම සිදුකරවීමයි. එනම් බැරෑරුම් ප්‍රශ්නයන්හිදී නම්‍යශීලී භාවයෙන් විසදුම් සොයා ගැනීම තුලින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රියාදාමයට පුහුණුවක් එතුළ ඉබේම ක්‍රියත්මක වන නිසා එය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් පවත්වා ගැනීමට ආධර  කරන බැවිනි. සමාජයේ සිවිල්බව ප්‍රජාතන්ත්‍රවාදය වටහා ගැනීමට එහි එකිනෙකා ඉවසීමට හුරුවීම, වගකීම් දැරීමට හුරුවීම සහ විශ්වාසය ගොඩ නගා ගැනීමට හුරුවීම සිවිල් සමාජය යන්නෙන් හදුනා ගැනේ.

සිවිල් සමාජ ක්‍රියාදාමය සහ ඔවුන්ගේ අරමුණු

සිවිල් සමාජයක් යන්න හැදින්වෙන්නේ ස්වේච්ඡා සංවිධානයන් රාජ්‍ය නොවන සංවිධානයන් ලාභ නොලබන සංවිධානයන් සංගම් ආදිය ගොනුවීම තුලයි. මේවා සමාජ බලවේගයන් ලෙස එකට ගොනුවනු නිතර දැකිය හැකිය. මෙම සමාජ බලවේගයන් වෙනම සංවිධාන බවට පත් නොවෙති. නමුත් මෙම සමාජ බලවේගයන් තනි සංවිධාන ව්‍යුහයක් ලෙස ගොඩ නැගෙති. එසේ නමුත් මෙසේ බිහිවන සමාජ බලවේගයන් සමාජ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වන අතර සමාජ තුල සංවාද තුලින් මතයක් ගොඩ නැගීම, විරෝධය පෑම් සහ එවැනි සමාජය තුල ක්‍රියාත්මක වන ක්‍රියාකාරකම්වල නිරත වේ. උදාහරණයක් ලෙස මිනිස් අයිතීන් උල්ලංඝනයට එරෙහිව, පරිසර විනාශයට එරෙහිව මෙන්ම ස්වභාවික විනාශයන් ආදිය පිළිබඳව සමාජය දැනුවත් කරන අතර උපකාරක බලවේග ලෙසද ක්‍රියාත්මක වේ.

සිවිල් සමාජය එහි ස්වභාවයෙන්ම යමක් සඳහා ක්‍රියාත්මක වීම මත නැතිනම් ක්‍රියාත්මක බව මධ්‍ය ලක්ෂණය කරගත් ඉදිරිපත් කිරීමක් නැතිනම් සිතා බැලීමක් ලෙස හදුනාගැනේ. එසේම ස්වරූපයෙන්ම සිවිල් සමාජය ධනාත්මකව හදුනාගන්නා අතර ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ සමාජයක් ගොඩ නගා ගැනීම අරමුණු කර ගත් එකක් ලෙස හදුනාගනු ලබයි. මේ සඳහා ලෝකය පුරා අවශ්‍ය තරම් උදාහරණ තිබේ. නැගෙනහිර යුරෝපයේ මෙන්ම ලතින් ඇමරිකාවේ හමුදා ආඥාදායකයන්ට එරෙහිව නැගුණ බලවේග ඒවායින් කොටසකි. ලංකාවේ ජනවාරි 08 වෙනිදා සිදුවන්නේ ද එයයි. එනිසා සිවිල් සමාජය යන ඉදිරිපත් කිරීම, එම වැඩ පිළිවෙල, විශේෂයෙන් ආසියා අප්‍රිකා සහ ලතින් ඇමරිකා ඒකාධිපති හෝ ප්‍රජාතන්ත්‍ර විරෝධී රාජ්‍යන් විසින් සමාජයෙන් ඉවත් කළ යුතු උවරදු ලෙස, යක්ෂයින් ලෙස හංවඩු ගසති. මාධ්‍ය මගින් ඔවුනට එරෙහි නිරන්තර සටනක් දියත් කරති. ලාංකික අපටද මෙය හුරුය. ඩොලර් කපුටන් රට පාවාදෙන්නන් එල්ටීටීඊ මාෆියාව ආදී මෙකී නොකී හංවඩු ගැසීම ලංකාව තුලද සිදුවේ.

සිවිල් සමාජමය ක්‍රියාදාමය සෑම විටම ප්‍රචන්ඩත්වයෙන් තොරව නම්‍යශීලීව ප්‍රශ්න නිරාකරණය කර ගැනීම මුල්කර ගනී. ඒවාගේම සිවිල් සමාජය මෙහි පිළිඹිබුවක් වනවා මෙන්ම එම දේශපාලනය අන්මත ඉවසීම සහ නම්‍යශීලී බව මුල්කර ගත් එකකි. සිවිල් සමාජමය ක්‍රියාකාරකයන් සහ ක්‍රියාදාමයන් මුල්කරගත් එකකි. එහිදී එය පවුල්වාදීබවින් පුද්ගලික ව්‍යාපාරවලින් හෝ රාජ්‍ය ආයතනගත වීමෙන් තොරව පැවතිය යුතුය. එනම් ආර්ථිකව වාසි, රාජ්‍ය සහ පුද්ගලිකත්වය මුල්කර ගැනීමෙන් තොරව, සමාජ ව්‍යාපාර, සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සමාජ ජාලා ආදිය ලෙස පිහිටා සිටිය යුතුය.

දේශපාලනයට සහභාගි වන ඒ වෙනුවෙන් නිරන්තර වැඩ කරන කණ්ඩායම් පමණක් නොව මෙසේ දේශපාලනයට සහභාගි නොවන පුද්ගලයන් සහ කණ්ඩායම් මෙම ක්‍රියාදාමයට සම්බන්ධ කර ගැනීම, නැත්නම් ඔවුනට සහභාගීත්වයට ඉඩ සැලසීම, සිවිල් සමාජ සම්බන්ධකම් ගොඩ නගා ගැනීමේදී ඉතා වැදගත්ය.

Back to Top