Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගයහපාලනය යනු නිවටවීම නොවේ – සුනිල් ජයසේකර

යහපාලනය යනු නිවටවීම නොවේ – සුනිල් ජයසේකර

by

ජායාරූපය: ජනාධිපති සිරිසේන සිය බලය පෙන්වීමට සූදානම්ද?

සුනිල් ජයසේකර විසිනි.

රටකට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජීවගුණයකින් යුත් පාලන සම්ප‍්‍රදායක් මෙන්ම ජනජීවිතයේ ආරක්ෂාව ද අතිශයින්ම වැදගත්ය. එමෙන්ම රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්ම උදෙසා ද ජනජීවිතයේ ආරක්ෂාව පිණිස ද මනා විනයකින් යුත් පාලනයක පැවැත්ම ද අත්‍යවශ්‍ය වන බව අමුතුවෙන් කිවයුතු නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු නිවටකමක් හෝ අයාලයේ යන සමාජයක ඉඩකඩ විවෘත කිරීමක් ලෙස කිසිවෙකු නොසැලකිය යුතුය.

සාධාරණ අයිතීන් සඳහා අරගලය අයිතියකි.

මෙය මේ රටේ දේශපාලකයන් ද රාජ්‍ය නිලධාරීන් ද, සිවිල් සමාජය ද පොදුවේ ගත්කල රට වැසියා ද ගැඹුරින් අවබෝධ කරගත යුතු සත්‍යයකි. රටක ඕනෑම පුරවැසියෙකුට මෙන්ම සමාජ කණ්ඩායමකට ද බලය පිණිස අපේක්ෂා දල්වාගත හැකිය. ඒ සඳහා පූර්ණ අයිතියක් මෙන්ම ඉඩ ප‍්‍රස්ථාවන් ද තිබිය යුතුය. එහෙත් එහිදී කිසිවෙක් අමතක කළයුතු නැති ඉතා වැදගත් කරුණක් තිබේ. එනම් බලය සඳහා වන අපේක්ෂාවන් අභ්‍යාස කළයුත්තේ ද ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික සම්ප‍්‍රදායන්ට හා මූල ධර්මයන්ට අනුගතව වන බවය. පුරවැසියාට ද තම අයිතිවාසිකම් උදෙසා හඩ නැගීමට මෙන්ම විරෝධය පළකිරීමට ද ඉඩකඩක් තිබිය යුතුය. එහෙත් ඒ ඉඩකඩ පවතින්නේ අනෙකාගේ අයිතිවාසිකම් මර්දනය කිරීමට ඉල්ලා නොසිටින තෙක් ය. එම සීමාව රටක සියලූ පුරවැසියන් ද දේශපාලන කණ්ඩායම් විසින් ද මැනවින් අවබෝධ කරගත යුතුව තිබේ. එහෙත් ශ‍්‍රී ලංකාවේ වර්තමානයේදී දක්නට ලැබෙන ඇතැම් ප‍්‍රවණතා සැලකිල්ලෙන් විමසා බැලීමේදී පැහැදිළි වන අවාසනාවන්ත තත්වයක අඳුරු සෙවණැලි පිළිබඳව කිසිසේත්ම නොසළකා සිටිය නොහැකිවන අතර ඒ පිළිබඳ ගැඹුරු අවධානයක් ද යොමුකළ යුතුව තිබේ.

අද බොහෝ දෙනෙක් නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තේරුම්ගැනීමට උත්සාහ කරන්නේ රටේ අනාගත පැවැත්ම හා පොදු සමාජයේ ආරක්ෂාව පරදුවට තබමින්ය. ජනප‍්‍රිය සටන්පාඨයන්ට මුවා වී රාජ්‍ය බලයට අභියෝග කිරීමට ගනු ලබන උත්සාහයක් ලෙස එය හඳුනා ගත යුතුය. එහිදී මේ රටේ වගකිවයුතු බලධාරීන් මෙන්ම සාමාන්‍ය පොදු ජනතාව ද පැහැදිළි ලෙසම අවබෝධ කරගත යුතු සත්‍යයක් තිබේ. ඒ අන් සියල්ලටම පෙර රාජ්‍යයේ ආරක්ෂාව සහ පැවැත්ම වැදගත්වන බවය. මහජනතාවගේ ආරක්ෂාව හා සුබසාධනය ද ඇතුළත් රාජ්‍යයේ පැවැත්ම හා ආරක්ෂාව පැවරෙන්නේ රටේ මහජනතාව වෙතින් ලැබෙන වරම අනුව පත්වන ආණ්ඩුව වෙතටය. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායන්ට අනුගතව ක‍්‍රියාකිරීමේදී ය. එහිදී ආණ්ඩුවේ ක‍්‍රියාකාරීත්වයන් පිළිබඳව මතුකරන විවේචන හා සාධාරණ විරෝධතාවයන් වෙත ආණ්ඩුව ඇහුම්කන් දියයුතු අතර ඒ පිළිබඳව සානුකම්පිත විය යුතු ද වේ. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මයන් හා සම්ප‍්‍රදායන් අවභාවිත කරමින් බලහත්කාරීත්වය පෙරටු කරගනිමින් දේශපාලන බලය උදෙසා සිදුකරන තර්ජනයන්ට හා බලපෑම් වලට කිසිදු රජයක් යටත් වියයුතු නැත.
ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් පවා එම වැරැුද්ද සිදුකළයුතු නොවේ.

ප්‍රජාතන්ත්‍රවාදයට සීමාවක් තිබිය යුතුද?

1956 දී එස්.ඩබ්.ආර්.ඞී බණ්ඩාරනායක මහතා සිදුකළ එම වැරැද්දට අවසානයේ ඔහුටම වන්දි ගෙවන්නට සිදුවූයේ සිය ජීවිතය පවා පූජා කිරීමෙනි. බණ්ඩාරනායක මහතා එදා අනුදත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පුරුෂාර්ථයන් තුළ ඔහුට එරෙහිව නැගී සිටි කුමන්ත‍්‍රණකරුවන් ද ප‍්‍රතිගාමීන් ද ආර්ථික ඝාතකයන් ද බණ්ඩාරනායක මහතාගේ පාලනය තේරුම්ගනු ලැබුවේ නිවටකමින් යුත් පාලනයක් ලෙසිනි. ඒ බව බණ්ඩාරනායක අගමැතිවරයාට තේරුම්ගැනීමට පමා වූවා වියහැකි වුවත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය පසුකාලයේදී ඒ බව හොදින් තේරුම්ගත් බව ඉතා පැහැදිළිය. ඇයගේ පාලනය හමුවේ මතු වූ අයුක්ති සහගත සෑම අභියෝගයක් ඉදිරියේම ඇය දක්වා ඇති නිසි ප‍්‍රතිචාර මගින් ඒ බව පැහැදිළි කරගත හැකිය.

අද මේ රටේ ආණ්ඩුව ද කල්පනා කළයුත්තේ ඒ ගැනය. එමගින් කියන්නේ පිරිසිදු වතුර ඉල්ලා අරගල කළ රතුපස්වලදී මෙන් අහිංසක ජනතාවට වෙඩිතබන ලෙස නොවේ. ඉන්ධන මිල වැඩි යැයි පාරට ආ හලාවත තරුණයන්ට මෙන් වෙඩිතබා මරණ ලෙස නොවේ. අර්ථසාධක අරමුදලේ ආරක්ෂාව උදෙසා පෙරට ආ කටුනායක කම්කරුවන්ට අත්කළ ඉරණම ලබාදෙන ලෙස නොවේ. එහෙත් අයුක්ති සහගත දේශපාලන කුමන්ත‍්‍රණ ඉදිරියේ පොලිසිය හා සන්නද්ධ හමුදා බැරැක්ක වලට ගාල් කරමින් පෙර සඳහන් කළ අමානුෂික ක‍්‍රියාවන්ට දායක වූ ඒවා මෙහෙයවන ලද මිනීමරු බලවේගයන්ට නිදහස ලබාදිය යුතු නැත. අද රට තුළ තහවුරු වී ඇති නිදහසින් අයුතු ප‍්‍රයෝජන ගන්නට කිසිසේත්ම ඉඩකඩක් ලබාදියයුතු නැත.

මේ රටේ වැඩවර්ජන රැල්ලක් ඇතිකර එදා 1956 දී බණ්ඩාරනායක අගමැතිවරයාට අත්කරදුන් ඉරණම ද ඒ තුළ එදා රට පත්කළ බරපතළ අනාරක්ෂිත තත්වය ද නැවත ඇතිකිරීමට ඉඩක් දියයුතු නොවේ. සාමාන්‍ය නීතිය, සිවිල් අයිතිවාසිකම් හා මානව හිමිකම් තමන්ට අවශ්‍ය නැතැයි කල්පනා කරන කිසිදා ඒවාට ගරු නොකළ දේශපාලන කල්ලි කණ්ඩායම් වෙත්නම් ඒවයේ හිමිකම ඔවුන්ට ලබාදියයුතු නැත. රාජ්‍ය අස්ථාවර කරන්නට ගනුලබන ඕනෑම උත්සාහයකදී ඉහත කී මූලික අයිතීන් සීමාවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප‍්‍රඥප්තිය මගින් ද පිළිගෙන ඇති සත්තාවකි. ඒ අනුව රටක් වශයෙන් අද ආණ්ඩුව හමුවේ ඇත්තේ සුළුපටු අභියෝගයක් නොවේ.

එදා සයිටම් පුද්ගලික විශ්වවිද්‍යාලය ආරම්භ කරන විට ඊට නිහඬව සහය දුන් කණ්ඩායම් එදා පැවති ආණ්ඩු වෙනසින් පසු එයට විරෝධය පළකරමින් ද 1993 සිට ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් එතෙක් මෙතෙක් පැවති සෑම රජයක්ම අනුගමනය කළ පිළිවෙත අද වෙනස්කරන්න යැයි බල කරන පිරිස් එය එසේ කරන්නේ තමන්ට හොඳ නමුත් තමන්ගේ නොවන ආණ්ඩු වලදී එය එසේ නොවන බව සිතාගෙන වියයුතුය. එහෙත් එහිදී ඔවුන් අනුගමනය කරන්නේ කුමන්ත‍්‍රණකාරී ලෙස ජනතාව මුලා කරමින් තර්ජනාත්මකව නියමිත කාලයට පෙර ආණ්ඩුව වෙනස් කිරීමට ගනුලබන උත්සාහයක් නම් ජනතාවගේ හා රටේ නාමයෙන් එම කුමන්ත‍්‍රණ පරාජය කිරීම ආණ්ඩුවේ යුතුකමකි. එහිදී රජයට ඇති ප‍්‍රමුඛ වගකීම ද කාර්යභාරය ද වන්නේ අන් කිසිවක්ම නොව රාජ්‍යයේ තිරසාර පැවැත්ම වෙනුවෙන් ද ජනතාවගේ ආරක්ෂාව උදෙසා ද ක‍්‍රියාකිරීමය. එහිදී යොදවන බලය කුමන්ත‍්‍රණකරුවන්ගේ අරමුණට සාපේක්ෂව වෙනස්විය හැකි වුවත් රටේ නාමයෙන් ඊට එරෙහිව දැඩි ලෙස පෙනී සිටීම කිසිසේත්ම අත්හැරියයුතු නැත.

 

Back to Top