Sri Lanka Brief
විවරණ2017: යහපාලනය ඇතිවන හෝ නැතිවන වසර – සුනන්ද දේශප්‍රිය

2017: යහපාලනය ඇතිවන හෝ නැතිවන වසර – සුනන්ද දේශප්‍රිය

by

2016 වනාහී ජනවාරි විප්ලවයේ අපේක්ෂා එකින් එක බිඳ වැටිමේ වසරය. රාජපක්ෂ විරෝධී දේශපාලන ව්‍යාපාරයේ උස්ව නැගුණු මහ ධජයක් වූ දූෂණ විරෝධය දැන් අවපැහැ ගැන්වී තිබේ. ඒ හුදෙක්ම රාජපක්ෂ සමයෙහි රට කෑ දූෂිත දේශපාලනඥයින්ට දඩුවම් පැමිණවීමට අසමත් වීම නිසාම නොවේ. එම දූෂිතයින් රැක ගැනීමට ජනාධිපති සහ අගමැති දෙදෙනාම ප්‍රසිද්ධියේ පෙනී සිටීම නිසා පමණක්ද නොවේ. දූෂණ විරෝධී ධජය අවපැහැ ගැන්වී ඇත්තේ වත්මන් රාජ්‍ය නායකයින්ද මහා පරිමාණ දූෂණ සහ ගසා කෑම්හි ගජරාමයට යෙදී සිටින නිසාය.

1977 – 1994 යුඇන්පී පාලන සමයෙහි එක් ලක්ෂණයක් වූයේ රාජ්‍ය දේපල දූෂිත ලෙස පුද්ගලීකරණය කිරීමයි. වේරහැර ලංගම වැඩ පොල කුණු කොල්ලයට යූඇන්පීය රවි වෙත්තසිංහ නම් කූඨ ජාවාරම්කරුවකුට තෑගි දුන්නේය. පසුව ඔහු වැඩපොළ අතහැර එංගලන්තයට පලා ගියේය. දැන් යූඇන්පීයේ හිතවතකු බව යළි පෙනෙන්ට තිබෙන මෙම රවි වෙත්තහිංස ව්‍යාපාරිකයකු සහ ඇමැතිවරයකු වන ස්වාමිනාදන්ගේ පුද්ගලික ව්‍යාපෘතියක් බවට පත්ව තිබෙන යුද්ධයෙන් නිවාස අහිමි වූ ජනයාට යකඩ ගෙවල් ලබා දීමේ ජාවාරමේ අතරමැදියා බවට පත්ව තිබේ. දෙමළ ජාතික සන්ධානය ඇතුලු සිවිල් සංවිධාන සහමුලින්ම විරුද්ධත්වය පළ කර තිබියදීත් ඇමැති ස්වාමිනාදන් විසින් බලයෙන් දෙමළ ජනයා මත පටවන්නට යන මෙම යකඩ ගෙවල් ව්‍යාපෘතියට සම්බන්ධ ප්‍රංශ සමාගමෙහි ලාංකික නියෝජිතයා අර කී වෙත්තසිංහමය. ඔහු ස්වාමිනාදන්ගේද හිතුවතකු බව කියැවේ. යුද්ධයෙන් අසරණ වූ ජනයාගේ නාමයෙන් ගසාකෑම කොතැනකදැයි තේරුම් ගැනීම අමාරු නැත.

2016 වසර අවසන් වන්නේ මාසිකව ලක්ෂ 9ක් ගෙවා මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට අමතර වාහන ලබාදීමේ යූඇන්පී යෝජනාව ගසාකෑමක් බව පෙනි පෙනීය. මෙලෙස අති දැවැන්ත මුදලක් ගෙවමින් වාහන බද්දට ගනු ලබන්නේ යූඇන්පී ගැති ව්‍යාපාරිකයින්ගෙන් බවට අපට කැට තැබිය හැකිය. එම යෝජනාව හරියාකාරව සම්මත වීමටත් පෙර මුදල් අමාත්‍යාංශය වාහන බද්දට ගැනීම සඳහා පියවර ගනිමින් තිබේ. නිසි ලෙස ඉදිරිපත්ව නැති මෙම කූඨ යෝජනාවට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළ මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේට අත්සන් නොකරන්නේ නම් ඉවත්ව යන ලෙස දන්වා තිබේ.මේ වනාහී  තමන්ගේ සිතැඟි ක්‍රියාවට නොනඟන රාජ්‍ය නිලධාරීන් ඉවත් කරන බවට තර්ජනය කරන ලද ප්‍රථම අවස්ථාව නොවේ.

මහා පරිමාණ කරුංකා ජාවාරම, ගල් අඟුරු ජාවාරම, බැදුම්කර මගඩිය යනාදිය යුඇන්පීයේ ජයවර්ධන සමයේ දූෂණ ඉක්මවා යන නොයන තරම් විශාලය.

2017 ජනවාරි 08වන දින වන විට දූෂණ වංචා සම්බන්ධයෙන් කැපී පෙනෙන පියවරක් නොගත හොත් තමා දේශපාලන තීරණයක් ගන්නා බවට පසුගියදා තර්ජනය කළ මෙගා පොලිස් ඇමැති චම්පික රණවකට තව ඉතිරිව ඇත්තේ සති තුනක් පමණි. මහා පරිමාණ දූෂණ වංචා සම්බන්ධයෙන් කටයුතු කිරීම පිනිස විශේෂ අධිකරණයක් පිහිටුවන ලෙස සිවිල් සමාජ සංවිධාන විසින් දිගින් දිගටම කරගෙන යමින් ඇති උද්ඝෝෂණයට දැන් ඇමැතිවරු විසි දෙනෙකු පමණද එක්ව තිබේ. එවැනි විශේෂ අධිකරණයක් පිහිටුවීම දිගින් දිගටම කල්දැමීම මගින් රනිල්මෛත්‍රී ආණ්ඩුව පෙන්නුම් කරන්නේ දූෂකයිනට දඩුවම් කිරීමට ඇති ඈලිමෑලී දුබලතාවයයි.

වසර 99කට හම්බන්තොට වරාය වීන සමාගමකට විකුණා තවත් අක්කර 15,000ක්ද ලියා දීමේ යූඇන්පී සැළැස්ම අඩුම වශයෙන් ජනාධිපතිවරයා සමඟ හෝ විස්තරාත්මකව සාකච්ජා කොට නොමැති බව දැන ගන්නට තිබේ. චීන සමාගම් විසින් මෙවැනි අයෝජනයන් මගින් අප්‍රිකානු රටවල පරිසරයද ස්වභාවික සම්පත්ද හූරා කා ළඟා කර දී ඇති විනාශය යහපාලන ආණ්ඩුවට අදාළ නැති බව පෙනේ.

තවත් එවැනි අරෝවක් නම් රනිල් වික්‍රමසිංහ හෝ ඔහුගේ කුස්සි කැබිනට්ටුවේ ඇමැතිවරයකුට සුපිරි බලතල සහිත අමාත්‍යධූරයක් ලබා දීමට ගෙනවිත් ඇති යෝජනාවයි. දැන් මෙම යෝජනාවට සිරිසේන පාර්ශවය විරුද්ධය. වික්‍රමසිංහ කියන්නේ තමා කෙසේ හෝ එම බලතල ලබා ගන්නා බවයි.

ජනාධිපතිවරයා විසින් මෑතදී හෙළිදරව් කරන ලද නිල්වලා යෝජනා ක්‍රමයෙහි කරන ලදැයි කියන මිලියන 3000 සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන සේ රාජපක්ෂ පාර්ශවයද ඉල්ලීමක් කර තිබියදී ඒ ගැන දැන් හාවක් හූවක් නැත. එමෙන්ම මහ බැංකුවෙන් බිලියන ගණනාවක් පන්නාගෙන යන ලද බවට මුදල් අමාත්‍ය කරුනානායක විසින් කරන ලද චෝදනාව සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් පවත්වන ලෙස රාජපක්ෂ කණ්ඩායම ඉල්ලා සිට තිබේ. ඒ ගැන ද දැන් කතාවක් නැත.

රාජපක්ෂ සමයෙහි දැවැන්ත ජාවාරම්කරුවකු වූ තිරු නඩේසන් මහා මැතිවරණයෙන් පසු අගමැති කාර්යාලයේ සමීපතමයකු බවට පත් වූ බවට වාර්තා විය. කුප්‍රසිද්ධියට පත් බැසිල් රාජපක්ෂගේයැයි කී මල්වාන මාළිගය සහිත අක්කර අටක ඉඩමෙහි මුල් අයිතිකරුවූයේ එකී තිරු නඩේසන්ය. මල්වාන මාළිගය පිළිබඳ ප්‍රශ්නයට අදාළව කල් පසුවී හෝ තිරු නඩේසන්ගෙන් ප්‍රශ්න කරන ලද වහාම ඔහුගේ බිරිඳ වූ නිරූපමා රාජපක්ෂ ජනාධිපති සිරිසේනට පක්ෂව ප්‍රකාශයක් කරමින් රාජපක්ෂ පිලෙන් දුරස් විය. දැන් ඉතිං තිරු නඩේසන්ට ප්‍රශ්නයක් නොවනු ඇත.

මහජන නියෝජිතයින් සුවිශේෂ දේශපාලන පංතියක් බවට පත් කිරීම ආරම්භ කරන ලද්දේ ජේ.ආර්. ජයවර්ධන විසිනි. එම පංතිය දූෂණයේ ආර්ථිකයේ දුෂ්ඨ හවුල්කරුවන් බවට වර්ධනය කරන ලද්දේ රාජපක්ෂ විසිනි. දැන් අගමැති වික්‍රමසිංහගේ සැලැස්ම වන්නේ එම පංතිය ජාවාරම්කාර පංතිය ලෙස තහවුරු කර ගැනීමයි. මහජනයා මත අධික බදු පටවමින් මෙකී දේශපාලන පංතියට වරදාන පිට වරදාන ලබා දීම මෙම ආණ්ඩුවේ පිළිවෙතය.

අප තරුණ කාලයෙහි මහජන නියෝජිතයන් මෙලෙස ජාවාරම්කාර ධනපතියන් බවට පත් වුයේ නැත. මා දැන සිටි අම්බලන්ගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ ශ්‍රීලනිපයෙහි පී..එස්.කුලරත්න සහ එජාපයෙහි දොස්තර සද්ධාසේන හෝ රයිටර් තිලකසේකර මන්ත්‍රී ධුරයෙන් හම්බකර ගත්තේ නැත. අසල්වැසි බලපිටියේ මන්ත්‍රීවරයා වූ සමසමාජ එල්.සී.ද සිල්වා හෝ රත්ගම කෙමියුනිස්ට් පක්ෂ ඇම්. ජී. මැන්දිස් හෝ එවැනි ජාවාරම්කරුවන් බවට පත් නොවීය. නගර හෝ ගම් සභා සභිකයෝ සිය සාමාන්‍ය ජීවන තත්වය එලෙසම පවත්වා ගත්හ.

එහෙත් අද බලන්න. අද ප්‍රාදේශීය සහා නියෝජිතකමක සිට මන්ත්‍රීකමක් ලබා ගැනීම යනු දූෂණයේ ආර්තිකය සහ දේශපාලන වරදාන මගින් ජාවාරම්කාර පංතියට එක්වීමේ ක්‍රමයයි. ඔබේ ප්‍රාදේශීය නියෝජිතයා හෝ මන්ත්‍රීවරයා එසේ ජාවාරම්කරුවකු වී නැත්ද?

වත්මන් ආණ්ඩු ප්‍රධානීන්ට ජනවාරි විප්ලවය විසින් පිටුබලය සපයන ලද්දේ මෙකී දූෂණයේ සහ වරදානයේ විෂම චක්‍රය බිඳ දැමීම පිනිසය. සිරිසේන දේශපාලනය මගින් ජාවාරම්කාර පංතියට ඇතුළු වී තිබුණේ නැත. ඔහුට මෙරට දේශපාලනඥයින්ට කලාතුරකින් ඇති මිස්ට ක්ලීන්ප්‍රතිරූපයක් තිබු අතර දේශපාලන පණිවිඩයක් ලෙස රතු ෂර්ට් අදින ඔහු සමාජ සුභ සාධනය කෙරෙහි මූලික තැනක් දෙනු ඇතැයි අදහසක්ද තිබුණි. වික්‍රමසිංහ ද මිස්ට ක්ලීන්චරිතයක් ඇති ලිබරල් දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කිරීම අරමුණු කරගත් දේශපාලනඥයකු යැයි පිළිගැනිමක් ලබා ගෙන තිබුණි.

පසුගිය වසර තුළ යහපාලන ආණ්ඩුව ලද ප්‍රධානතම හානිය වන්නේ වික්‍රමසිංහගේ එම ප්‍රතිරූපය බිඳී යෑමය. ඔහුගේ මූලික දේශපාලන ව්‍යාපෘතිය ජේ.ආර්. ජයවර්ධනගෙන් වෙනස් නොවන හුදෙක් ධනපති ක්‍රමය සහ ධනපති පංතිය ආරක්ෂා කර වර්ධනය කිරීම බව දැන් පැහැදිලිය. ඔහුගේ සගයෝ දැන් ගජරාමෙට ගසාකති. සිරිසේනගේ මිස්ට ක්ලීන්ප්‍රතිරූපය ද යම් දුරකට කිළිටු වී ඇති අතර ප්‍රබුද්ධ සහ ශූර දේශපාලනඥයකු වශයෙන් මතුවීමට ඔහු සමත් වී නැත.

2017 වසර කරා අප ගමන් කරන්නේ මෙරට දේශපාලනයෙහි සුසමාදර්ශී වෙනසක් ඇති කිරීමට මෙම දෙදෙනා දිගින් දිගටම අසමත් වෙමින් සිටියදීය. එම හේතුවම පාදක කරගනිමින් අගමැති සහ ජනාධිපති අතර ඇති ගැටුම පුපුරා යාමේ විභවයන්ද මෝරා එමින් තිබියදීය. මේ දූෂණ පිටුදැකීමේ කෝණයෙන් පමණි.

එම කාරණය පමණක් සැලකිල්ලට ගත්තද 2017 යහපාලන ආණ්ඩුවේ නොව යහපාලනයේ තීරණාත්මක වසරක්වීම වැළැක්විය නොහැක.

Back to Top