Sri Lanka Brief
විවරණශ‍්‍රී ලංකාව තුළ යහපාලනය: අද වන විට ඉතිරිව ඇති දේ – ජයදේව උයන්ගොඩ

ශ‍්‍රී ලංකාව තුළ යහපාලනය: අද වන විට ඉතිරිව ඇති දේ – ජයදේව උයන්ගොඩ

by

ජායාරූපය: සරත් පොන්සේකා ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ ප්‍රජාත්‍රන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි පිරිස්.  (c) Asanka Brendon Ratnayake.

පහත පළවන්නේ ග‍්‍රවුන්ඞ්වීව්ස් වෙබ් අඩවියේ 10වන සංවත්සරය සදහා මහාචාර්ය ජයදේව උයන්ගොඩ ලියූ Yahapalanaya in Sri Lanka: Remains of the Day ලිපියේ සිංහල පරිවර්තනයයි.

ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවිය සිය දහ වන සංවත්සරය සමරන්නේ ශ‍්‍රී ලංකාව තුළ සැමරීමට අන් යමක් නැති තරමේ කාලයක ය. විශේෂයෙන් ම කණගාටුවට කරුණ වන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ සිය යහපාලන තන්ත‍්‍රයේ දේශපාලන හැකියාවෙන් ඉතිරිව පවත්නා ස්වල්ප දෙය කුමක් වුවත් එය පවත්වා ගෙන යන ආකාරය යි. ජනාධිපති සිරිසේන එය කරන්නේ 2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරණය ජය ගැනීමට ඔහුට ශක්තිය ලබා දුන් ඡන්දදායකයන් මුළුමනින් ම පාහේ නොතකා හරිමිනි. ඔහු හඹා ගොස් ඇත්තේ පසු ගිය ජනාධිපතිවරණයේ දී තමන් පරාජය කිරීමට අතිදරුණු සටනක නියැලි ශ‍්‍රීලනිපය මත තම නායකත්වය තහවුරු කර ගැනීමේ මිරිඟුව පසුපස ය. අගමැතිවරයා එය කරන්නේ පාලනය පිළිබඳ තීරණාත්මක ගැටලූ සුළු කොට තැකීම සඳහා පෞද්ගලික අහංකාරය ද කළමනාකරණ අදක්ෂතාව ද පාසල් දරුවෙකුගේ බඳු නිපුණතා ද භයානක අන්දමින් එකට මුසු කරමිනි.

මේ අතරවාරයේ, ශ‍්‍රී ලාංකික ඡන්දදායකයන් පසු ගිය ජනවාරියේ රාජපක්ෂ තන්ත‍්‍රය පෙරළා දැමූ තැන් පටන් මේ දක්වා ම ඒකාධිපතිවාදී, දූෂිත, දැඩි සිතැති රාජපක්ෂ සොහොයුරු කැළ නැවත වතාවක් රටේ දේශපාලනයේ ගමන් මග ද දේශපාලන කතිකාවේ කොන්දේසි ද තීරණය කිරීමට තිබූ ඉඩකඩ දැන් සැබෑවක් බවට පත් වෙමින් තිබේ.

මීට සමාන්තරව සිදු වෙමින් පවත්නා වූත් නිශ්චිත වශයෙන් ම වඩාත් බැරෑරුම් වූත් දෙය වන්නේ බලයට පත්ව වසර දෙකකටත් අඩු කාලයක දී යහපාලන තන්ත‍්‍රයේ අඳුරු පැත්ත ක‍්‍රමයෙන් ආයතනගත වෙමින් ද එසේ ම වඩ වඩාත් අනාවරණය වෙමින් ද පැවතීම යි.

නිශ්චිත අතෘප්තිකර හැඟීමකින් යුතුව ශ‍්‍රී ලංකාවේ වර්තමාන දේශපාලනය විමසා බලමින් මම රටේ වර්තමාන දේශපාලනය තුළ ක‍්‍රියාකාරී කනස්සල්ල දනවන ප‍්‍රවණතා හතරක් හඳුනා ගනිමි.

පළමු වැන්න නම් තන්ත‍්‍රය බාධාවකින් තොරව ස්වකීය ඡන්දදායකයන්ගෙන් දිගින් දිගට ම දුරස්ථ වීම යි. ආණ්ඩුවේ නායකයන් දෙදෙනා සහ ඔවුන් යටතේ පවත්නා අමාත්‍යාංශ ”කිසිවෙකුට සැබෑ අමාත්‍යාංශ සංඛ්‍යාව නිසැකව කිව නොහැකි ය” පසු ගිය වසරේ පැවති ජනාධිපතිවරණයේ දී හා පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්දදායකයන් ප‍්‍රතිසංස්කරණය හා යහපාලනය සඳහා ලබා දුන් වරම එක දිගට ම නො තකා හරින බව පෙනෙන හෙයින් මෙම ක‍්‍රියාවලිය වේගවත් වී ඇත. තමන් ම දුන් පොරොන්දු සම්බන්ධයෙන් තන්ත‍්‍රය කටයුතු කරන්නේ නොබැරෑරුම් හැඟීමකින් බව තව දුරටත් සැඟවිය නොහැකි ය.

දෙවැන්න නම් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යන දෙදෙනා ම තන්ත‍්‍රය උදෙසා දේශපාලන දිශානතියක් සම්පාදනය කිරීමට අසමත් වීම යි. ඔවුන් ප‍්‍රසිද්ධියේ කරන කතා විමසා බැලීමෙන් කෙනෙකුට එළඹිය හැකි එක ම නිගමනය වන්නේ මේ මහත්වරුන් දෙදෙනාට බලය සම්බන්ධ සිය අසමත්කම් අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය කරන දේශපාලනික හා බුද්ධිමය හැකියාව පවා ඇති බවක් නොපෙනෙන්නේ ය යන්න යි. නරක ම දෙය නම් ඔවුන් ස්වයං විවේචනාත්මක වීමට තමන්ට ඇති නොහැකියාව ගැන සතුටු වන බවක් සහ ආඩම්බර වන බවක් පවා පෙනෙන්නට තිබීම යි.

තුන් වැන්න නම් පසු ගිය වසරේ යහපාලන තන්ත‍්‍රය ලබා දුන් තීරණාත්මක රාජ්‍ය ප‍්‍රතිපත්තිමය පොරොන්දු සමහරක් යළි හැඩ ගැස්වීමේ දී හා දුර්වල කිරීමේ දී රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ ආයතන පද්ධතිය ප‍්‍රධාන හා නිහඬ ක‍්‍රියාකාරකයෙකු ලෙස නැවත මතු වීම යි. පසු ගිය වසරේ සිදු වූ තන්ත‍්‍ර වෙනස යම් තරමක ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමතුලිතතාවකට අනුග‍්‍රහ දක්වමින් ශ‍්‍රී ලංකාව තුළ පැවති එක් පැත්තකට වැඩියෙන් බර වූ සිවිල්-මිලිටරි සම්බන්ධතාවල යම් සමබර කිරීමක් සිදු කළේ නම් එම තීරණාත්මක යහපාලන ප‍්‍රවණතාව දැන් පෙනී යන පරිදි බොහෝ දුරට ම ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝගය මත ඇන හිටුවමින් තිබේ.

සිව් වැන්න නම් රාජ්‍යය හා සමාජය යන දෙක ම තුළ සිංහල ජාතිකවාදී ඡන්දදායකයන් නැවත සජීවීකරණය වීමක් සිදු වෙමින් තිබෙන තත්ත්වය තුළ ඉන් අනුබල ලැබ රාජපක්ෂ සොහොයුරන් තන්ත‍්‍රය අක‍්‍රිය වන හා අවුල් ජාලයක් වන තත්ත්වයකට ඇද හෙළීමේ ඉඩකඩ වැඩි වෙමින් පැවතීම යි. යහපාලන නායකත්වය මෙම තර්ජනයට මුහුණ දීමෙහි ලා කිසි ම හැකියාවක් හෝ කැමැත්තක් වත් ප‍්‍රදර්ශනය නො කරයි.

මෙම පසුබිම තුළ, ශ‍්‍රී ලංකාව තුළ පැන නැගෙමින් පවත්නා දේශපාලන අර්බුදය විශ්ලේෂණය කිරීම සඳහාත් ඊට ප‍්‍රතිචාර දැක්වීම සඳහාත් අපට උදව් විය හැකි තේමාවන් දෙකක් ගැන කෙටියෙන් සාකච්ඡා කිරීමට මම අදහස් කරමි. පළමු වැන්න නම් ඒකාධිපතිවාදී තන්ත‍්‍රයන් බිඳ වැටුණු පසු බලයට පත් ප‍්‍රතිසංස්කරණවාදී තන්ත‍්‍රවලට අත්ව තිබෙන ඉරණම යි. දෙවැන්න නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ප‍්‍රතිසංස්කරණවාදී ඡන්දදායකයන් උදෙසා පවත්නා විකල්ප කවරේ ද යන්න යි.

‘සාමාන්‍ය තත්ත්වයට පත් වීම’

2015 තන්ත‍්‍ර වෙනස සිදු වූයේ ශ‍්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන වෙනසේ අතිශය තීරණාත්මක අවස්ථාවක දී ය. එය වූ කලි ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් එජනිස තන්ත‍්‍රය මෘදු ඒකාධිපතිවාදයේ සිට දැඩි ඒකාධිපතිවාදය කරා මාරු වෙමින් ශ‍්‍රී ලාංකික ඒකාධිපතිවාදී දේශපාලනය නව අදියරකට රැගෙන යාමට සැරසෙමින් සිටි මොහොත විය. මෘදු ඒකාධිපතිවාදය යනු සාමාන්‍යයෙන් නම් දුර්වල කෙරුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් තුළ බලයේ සිටින ආණ්ඩු විසින් ක‍්‍රියාවට නැංවෙන ඒකාධිපතිවාදය යි. සාමාන්‍යයෙන් එය ආණ්ඩුවේ නායකයන්ගේ හා නිලධාරීන්ගේ ඒකාධිපතිවාදී චර්යාවට සීමා වන අතර රාජ්‍යයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පදනම් පෙරළා නො දමයි. කොටින් කියතොත් ඉන් අදහස් වන්නේ තන්ත‍්‍රය ඒකාධිපතිවාදී වන බව යි.

එහෙත් දැඩි ඒකාධිපතිවාදය බිහි වන්නේ රාජ්‍යය ඒකාධිපතිවාදයට පරිවර්තනය වීමත් සමගිනි. මෘදු ඒකාධිපතිවාදී තන්ත‍්‍ර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රම මගින් සහ ඡන්ද ක‍්‍රම මගින් බලයෙන් පහ කළ හැකි ය. රාජ්‍යයේ දැඩි ඒකාධිපතිවාදය විසින් ඇති කෙරෙන වෙනසේ දී ”බොහෝ විට ප‍්‍රචණ්ඩත්වය, ලේ වැගිරීම සහ සමහර විට දේශපාලන විප්ලවය” බරපතළ දේශපාලනික පිරිවැයවල් දැරීමට සිදු වේ. අප රට තුළ දැඩි ඒකාධිපතිවාදය කරා සිදු වෙමින් පැවති එවන් මාරක දේශපාලනික පරිවර්තනයක් නතර කිරීම සම්බන්ධයෙන් සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගවලටත් දේශපාලනිකව පරිණත ශ‍්‍රී ලාංකික ඡන්දදායකයාටත් ස්තුතිය හිමි විය යුතු ය. 2015 ජනවාරියේ දී තුන් වන කාල පරිච්ෙඡ්දයක් සඳහාත් ජයග‍්‍රහණය කළේ නම් මහින්ද රාජපක්ෂ තවත් ටායිප් එර්දොගැන් කෙනෙකු බවට පත් වෙමින් ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ තුර්කිය බවට පත් කරනු ඇත. එවැනි පාලකයෙකු යටතේ පවතින තන්ත‍්‍රයක් පලවා හැරීමට ඡන්ද ක‍්‍රමයෙන් කරන අභියෝගයකට වැඩි යමක් ”සැබවින් ම දිග් ගැසුණු ලේ වැගිරීමක්” අවශ්‍ය වනු ඇත.

පසු ගිය ජනවාරියේ පටන් යහපාලන නායකත්වය හමුවේ පවත්නා සැබෑ ඓතිහාසික කර්තව්‍යය වන්නේ ” තමන් බලය කරා තල්ලූ කළ දේශපාලනික වෙනස ආයතනගත කිරීම යි; මෘදු හෝ දැඩි ඒකාධිපතිවාදය නැවත ඇති වීම සහ එවැනි ඒකාධිපතිවාදයක් කරා ආපසු යාම වැළැක්වීම යි. එහෙත් සිරිසේන-වික‍්‍රමසිංහ නායකත්වය නිශ්චිත වශයෙන් ම අසමත් වන්නේත් මුළුමනින් ම අසමත් වන්නේත් මෙතැන දී ය.

නොමනාපයෙන් වුවත් තමන්ගේ අසාර්ථකත්වය පිළිගනිමින් ඔවුන් දැන් රාජපක්ෂ බලවේග සමග හොර රහසේ සන්ධානගත වීමට මුළු වැර යොදා කටයුතු කරමින් සිටින බව පෙනේ. මානව හිමිකම් උල්ලංඝන, යුද අපරාධ හා දූෂණ පිළිබඳ අතිශය බරපතළ සිදුවීම්වලට අදාළ විමර්ශන හා අධිකරණ ක‍්‍රියාවලි ඇන හිටුවීම හා එම විමර්ශනවලට වළ කැපීම පැහැදිලි කළ හැකි වෙනත් විශ්වසනීය ක‍්‍රමයක් නැත. තන්ත‍්‍රයේ බල මධ්‍යස්ථාන දෙක සහ එම මධ්‍යස්ථාන තුළ සිටින වැටුප් ලබන සේවකයන් රාජපක්ෂ කඳවුර සමග ඞීල් දැමීමේ දේශපාලනයෙහි නිරත වන බවට එකිනෙකාට එරෙහිව චෝදනා කර ගන්නා විට සැබෑ සත්‍යය පහසුවෙන් දැක ගත හැකි තත්ත්වයට පත් වේ: ‘ඞීල් දැමීමේ’ දේශපාලනයට මාරු වීම සම්බන්ධයෙන් කඳවුරු දෙක ම දෝෂාරෝපණයට ලක් විය යුතු බවට සැකයක් නැත.

මෑත ම සිදුවීම වන්නේ මාධ්‍යයේ රූපවාහිනී කැමරා ඇසට ලක්ව සිටිය දී ම පොලිස්පතිවරයා රාජපක්ෂ කඳවුරට සම්බන්ධ දූෂණ චෝදනාවට ලක් වූවෙකු අත් අඩංගුවට නොගන්නා බවට නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයාට පොරොන්දු විණැයි කියනු ලැබීම යි. විශේෂයෙන් සමාජ මාධ්‍යය ඔස්සේ වෛරසයක් මෙන් පැතිර ගිය එම වීඩියෝ පටයෙන් හෙළිදරව් වන පොලිස්පතිවරයා ඉත්තෙකු මෙන් කටයුතු කරන අන්දම සහ ඇමතිවරයාගේ මුළුමනින් ම පිළිගත නොහැකි චර්යාව යහපාලන තන්ත‍්‍රය ඇද වැටී ඇති දේශපාලනික, ආචාර ධර්මාත්මක හා ආයතනික පරිහානියේ තරම අපට කියයි. කරුණු කාරණා වඩාත් නරක අතට හැරෙන්නේ ප‍්‍රශ්නයට බඳුන්ව සිටින මේ ඇමතිවරයා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ සමීප හිතවතෙකු ද ඔහුගේ සමීපතම කවයේ සාමාජිකයෙකු ද වීම නිසයි. සමහර විට මේ සුවිශේෂ ඇමතිවරයාට ඥාති සම්බන්ධකම් නිසා රාජපක්ෂගේ සමහර ආධාරකරුවන්ගේ සෝ සුසුම් යහපාලනයට වඩා වැදගත් වනවා විය හැකි ය.

ප‍්‍රතිසංස්කරණවාදී න්‍යාය පත‍්‍රයක් සහිතව බලයට පත් තන්ත‍්‍රයක් තමන් දුන් පොරොන්දු ඉටු කිරීමට අසමත් වන විට ඉන් ඉඩ සැලසෙන්නේ ‘තන්ත‍්‍රය සාමාන්‍ය තත්ත්වයට පත් වීම’ නමින් හැඳින්විය හැකි ක‍්‍රියාවලියට යි. ප‍්‍රතිසංස්කරණවාදී තන්ත‍්‍රයක් ‘සාමාන්‍ය’ තත්ත්වයට පත් වන්නේ එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් සහ ආචාර ධර්මාත්මක පාලනය පිළිබඳ පොරොන්දුවලට පසුපස හැරවීමටත් එලෙස එය තමන් විසින් විස්ථාපනය කරන ලද තන්ත‍්‍රය වැන්නක් බවට පත් වීමටත් පටන් ගන්නා විට ය. දේශපාලනයේ දී දූෂණය, බලය අයුතු ලෙස යොදා ගැනීම හා මානව හිමිකම් උල්ලංඝනය යනු බැහැර කෙරෙන දේ නො ව සම්මතය බැවින් තන්ත‍්‍රය සාමාන්‍ය තත්ත්වයට පත් වීම වනාහි කලින් පැවති තන්ත‍්‍රය හා නව තන්ත‍්‍රය අතර තිබුණු වෙනස අකාමකා දැමෙන්නා වූ ක‍්‍රියාවලියකි. මෙම දුර්දසාව අත්විඳ ඇත්තේ ශ‍්‍රී ලංකාව පමණක් නො වේ. මෑත වසරවල දී බොහෝ ආසියාතික රටවල් තුළ ”පකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය, තායිලන්තය හා ඉන්දුනීසියාව” මෙය සිදු වී ඇත. බුරුමය ‘සාමාන්‍ය තත්ත්වයට පත් වීමේ’ මන්දගාමී මගක යමින් සිටිනවා යැයි සිතේ. මෙම සංසිද්ධිය පිළිබඳ බැරූරුම් න්‍යායික විශ්ලේෂණයක් කිරීමට නම් වෙන ම ලිපියක් ලිවිය යුතු වේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආරක්ෂක උපක‍්‍රම

පසු ගිය වසරේ යහපාලන තන්ත‍්‍රය බලයට පත් කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ප‍්‍රතිසංස්කරණවාදී ඡන්දදායකයන්ට පවත්නා විකල්ප කවරේ ද? මෙම ප‍්‍රශ්නයට පළමු පිළිතුර සරල ය: දැන් සිය අඳුරු පැත්ත පමණක් ප‍්‍රදර්ශනය කරන තන්ත‍්‍රයක් ගැන කවර හෝ ධනාත්මක බලාපොරොත්තුවක් තබා ගැනීමට කිසි කරුණක් නැත. ඉන්දියානුවන් කියන්නාක් මෙන් යහපාලන තන්ත‍්‍රය දැන් සිය ආචාර ධර්මාත්මක භාවයේ හා නීත්‍යනුකූල භාවයේ ලක්ෂ්මණ රේඛාව පසු කර ගොස් ඇත; ක‍්‍රියාවන් හා අක‍්‍රියතාවන් මාලාවක් ම දරුණු ජනතා විවේචනයට ලක්ව ඇති නමුත් ඒවා ගැන ආණ්ඩුව සන්තාපයට පත්ව ඇත්තේ සුළු වශයෙනි. තන්ත‍්‍රය ප‍්‍රතිසංස්කරණය වීමෙහි ලා කිසි ම හැකියාවක්, කැමැත්තක් හෝ බුද්ධිමය සූදානමක් නො පෙන්වයි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වැනි ආණ්ඩුවේ නායකයන් තම පටු පෞද්ගලික න්‍යාය පත‍්‍රයන්ට ප‍්‍රයෝජනවත් වන අවස්ථාවල දී හැර බොහෝ විට මහජන විවේචනය සුළු කොට තැකීමත් ඉවත දැමීමත් කනගාටුවට කරුණකි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පසුබෑම දේශපාලනයේ දී අඛණ්ඩව හා නැවත නැවතත් එළඹෙන යථාර්ථයක් නම් අප ධනාත්මක දේශපාලන වෙනසක් පිළිබඳ බලාපොරොත්තුවල එල්බ සිටීමෙන් පලක් වේ ද? අප සමාජයට සිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආරක්ෂක උපක‍්‍රම යළි ගොඩ නැගීමට හා වඩාත් ශක්තිමත් කිරීමට හැකියාව හා කැමැත්ත ඇති තාක් දුරට මම ‘ඔව්’ යනුවෙන් පිළිතුරු දෙමි. ශ‍්‍රී ලංකාව තුළ පැතිර පවත්නා අපේක්ෂා භංගත්වය පිළිබඳ හැඟීම මධ්‍යයේ මා දකින අතිශය ධනාත්මක ලකුණුවලින් එකක් නම් සමාජය තන්ත‍්‍රයේ අවකල්ක‍්‍රියාවන්ට ප‍්‍රතිරෝධය පෑම සහ එම අවකල්ක‍්‍රියාවන් එළිදරව් කිරීම යි. සමහර සමාජ මාධ්‍ය හා විකල්ප පුවත්පත් රාජපක්ෂ කඳවුර යහපාලන අත්හදා බැලීමේ අසාර්ථකත්වයන් ගසා කෑම වැළකෙන දිසාවකට මෙම විවේචනය යොමු කරමින් සිටී. රාජපක්ෂ කඳවුර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රයක් හරහා යහපාලන තන්ත‍්‍රයට අභියෝග කිරීමේ කිසිදු ලකුණක් හෝ හැකියාවක් පවා පෙන්නුම් නොකිරීමෙහි හොඳ පැත්තක් ද ඇත. එය රාජපක්ෂ පවුලට නැවත බලයට පත් වීමට රුකුලක් ලෙස මහජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රාර්ථනාවන් යොදා නො ගනියි, එයට එම ප‍්‍රාර්ථනාවන් යොදා ගත නොහැකි ය.

ශ‍්‍රී ලාංකික සමාජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආරක්ෂක උපක‍්‍රම යළි ගොඩ නගන්න, ශක්තිමත් කරන්න, තිරසර කරන්න. ශ‍්‍රී ලාංකික දේශපාලනයේ පශ්චාත් යහපාලන අදියරක දී ධනාත්මක වූත් වඩාත් සැබෑ වූත් වෙනස්කම් ඇති කර ගැනීම සඳහා අපට තිබෙන හොඳ ම ක‍්‍රමෝපාය එය යි. තන්ත‍්‍රයෝ එති, යති; එහෙත් සටන් වැදීමට වටිනා දේශපාලන පරමාර්ථවල ආරක්ෂාව පිණිස ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආරක්ෂක උපක‍්‍රම ශක්තිමත්ව තිබිය යුතු ය.

– ස්තුතිය විකල්ප වෙබ් අඩවියට

Back to Top