Sri Lanka Brief
පුවත් විශේෂාංගයතුරුපැදිකරුවන් ඝාතන: එදා පස්යාලේ; අද යාපනයේ – තරිඳු ජයවර්ධන

යතුරුපැදිකරුවන් ඝාතන: එදා පස්යාලේ; අද යාපනයේ – තරිඳු ජයවර්ධන

by

විජයකුමාර් සුලක්ෂන් නාට්‍යක් අතරතුර; ජයාරූපය ඩීබිඑස් ජෙයරාජ් අඩවියෙනි.

පොලිස් පහරදීම් සහ පොලිස් වෙඩි තැබීම්   උතුරේ මෙන්ම දකුණේ ද වරින් වර වාර්තා විය. අඟුලානේ තරුණයන් දෙදෙනකු පොලිසියෙන් වෙඩි තබා මරා දැමීමේ සිදුවීමෙන් පසු ප්‍රදේශවාසීහු අඟුලාන පොලිසියට පහර දී වැනසූහ. දොම්පේ පොලිසියේ දී තරුණයකුට පහර දී මරා දැමූ බව කියන සිදුවීමෙන් පසු ප්‍රදේශවාසීහු දොම්පේ පොලිසිය ගිනි තැබූහ. පස්යාලේ තරුණයකු පොලිස් වෙඩිපහරින් මිය යෑමෙන් පසු ප්‍රදේශවාසීහු විරෝධතා පැවැත්වූහ. කඩ වැසූහ.

සාපලත් යුද්ධයෙන් දිවි ගලවා ගත් යාපනයේ විජයකුමාර් සුලක්ෂන් යුද්ධයෙන් පසු වෙඩි උණ්ඩයකට ජීවිතය බිළි දෙන්නට වෙතියි කිසි දිනකත් සිතන්නට නැත. සුලක්ෂන් සහ කජන් යතුරු පැදියේ යමින් සිටිය දී සුලක්ෂන් පොලිස් වෙඩි පහරින්ද, කජන් හිසට වූ බරපතල තුවාල හේතුවෙන්ද මිය ගියා සේම 2014 ජූනි 11 වැනි දා ගම්පහ පස්යාලේ දී ද යතුරු පැදියක ගමන් ගත් තරුණයෙක් පොලිස් වෙඩි පහරින් මිය ගියේය. එදා පස්යාලේ දී ද පොලිසියට විරෝධය දක්වමින් කඩ වැසූහ. මෙදා උතුරේ ද පොලිසියට විරෝධය දක්වමින් කඩ වසා දැමීය.

සුභාෂ් ඉන්දික ජයසිංහ ඝාතනය

සුභාෂ් ඉන්දික ජයසිංහ සහ දරුවා සහ බිරිද සමඟ

සුභාෂ් ඉන්දික ජයසිංහ සහ දරුවා සහ බිරිද සමඟ

ඔහු සුභාෂ් ඉන්දික ජයසිංහය. 24 හැවිරිදි තරුණයෙකි. පදිංචිය මීරිගම කිතුල්වලය.  රැකියාව ලෙස කළේ  දිනපතා පොළියට සල්ලි ලබා දීමය. 2014 ජූනි 11 වැනි දා සවස ඔහු නිවසින් පිටවූයේ එලෙස මුදල් එක් රැස්කරගෙන ඒමටය. පසුදා වන්දනාවක යෑමටද පවුලේ උදවිය සැලසුම් කරගෙන සිටියහ.

පොළී සල්ලි එකතු කරගෙන නැවත නිවසට යෑමට ඔහු පැමිණියේ සචින් චතුරංග නම් ඔහුගේ මිතුරකු සමඟය. යතුරු පැදිය පැදවූයේ සුභාෂ්ය. නිවසට යන්නට ආ සුභාෂ්ගේ ගමන පස්යාලේදී නැවැතුනේ ඔහුගේ ජීවන ගමන ද නිමා කරමිනි. එදා ඔහු සමග ගිය ඔහුගේ මිතුරා සචින් චතුරංග සිද්ධියට පසු දින මෙසේ කීවේය.

‘මහනුවර පාරේ පස්යාලෙදි පොලිසිය අත දැම්මා. ඉන් පසු යතුරුපැදිය නැවැත්තුවා. පොලිසිය ඇවිත් වෙඩි තිබ්බා. ඉන් පසු මම කෑ ගැහුවා. ඉන් පස්සේ වාහනයකට දාලා සුභාෂ් (තරුණයා) රෝහලට යැව්වා.

පොලිසියේ පස් දෙනෙක් හිටියා එතන. පොලිසිය බීලා හිටියේ. මං කෑ ගහද්දි මට කිව්වා කාටවත් කියන්න එපා. කිව්වොත් මටත් වෙඩි තියනවා කිව්වා.‘‘ යැයි චතුරංග එදා කීවේය.

එදා  පස්යාලේ සිදුවීම ගැන පොලිසිය කීවේ අද යාපනයේ සිදුවීම ගැන කියන කතාවමය.

පස්යාලේ සිදුවීමට පසු දා එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක දැන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍ය හමුවක් කැඳවීය.

‘‘පොලිස් නිලධාරීන් පවසන්නේ පොලිසිය සංඥා කළා. ඔවුන් නැවැත්තුවේ නෑ. එම යතුරු පැදියට යම් ආකාරයකට ඔවුන් යට වන්නට ගියා. යටකරගෙන යන්න උත්සාහ කළා. ඒ නිසා මේ වෙඩි තැබීම සිදු කළ බව.  කෙසේ වෙතත් මෙහි පිටුපසින් ගමන් කළ තවත් පුද්ගලයෙක් ඉන්නවා සචිත් චතුරංග නමැති 18 හැවිරිදි තරුණයෙක්. ඔහුගේ ප්‍රකාශයක් සටහන් කර ගන්න කටයුතු කර තිබෙනවා.

තරුණයාගේ ප්‍රකාශයෙන් තරුණයා සටහන් කරන්නේ ඔවුන් ඒ අවස්ථාවේදී ඉදිරිපට පැමිණියා. ඉන් පසු නැවැත්තුවා. නවත්වලා යන්න උත්සාහ කරද්දි වෙඩි තැබීම වුණා කියලයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්තනගල්ල පොලිස් අධිකාරී සහ නිට්ටඹුව පොලිසිය විමර්ශනයෙන් ඉවත් කර ගම්පහ සහකාර පොලිස් අධිකාරීවරයකු යටතේ විමර්ශන පවත්වනවා.‘‘ යැයි අජිත් රෝහණ මහතා එදා කීවේය.

යතුරු පැදිය වැටී තිබූ ස්ථානය ලෙස පොලිසිය වෙන ස්ථානයක් පෙන්වූ බව අසල් වැසියෝ කීහ.

එදා අසල්වැසි කාන්තාවක මෙසේ කීවාය.

‘පොලිසියේ දෙන්නා එයා (සුභාෂ්) අනිත් පැත්තට පෙරළුවා. ඔහු වැටී සිටියේ ඇලෝවීල් කඩේට යන පාර ළඟ. සුදු වානයක් නවත්වලා එහි දාගෙන ගියා. හෙල්මට් දෙකත් බිම තිබ්බා. දැන් ලකුණු කරලා තිබුණු තැන නෙමෙයි වැටිලා හිටියේ.‘   ඇය කීවාය.

මිය ගිය තරුණයාගේ පියා එදා මෙසේ කීවේය.

‘‘මගේ පුදා රස්සාවක් විදියට කරන්නේ සල්ලි පොලියට දීලා එකතු කරන එකයි. හෙට වන්දනාවේ යන්නත් ඕනා නිසා කළල් පිටිය සෙඩ් එකෙන් තෙලුත් ගහගෙන එන්නම් තාත්තේ කියලා පුතා ගියා. තවත් යාළුවෙක් එක්ක එද්දි පොලිසියෙන් අත දාලා. බයිසිකළේ නැවැත්තුවට පස්සේ මොනවත් අහන්නේ නැතිව වම් පැත්තෙන් වෙඩි තියලා දකුණු පැත්තෙන් එන්න. මේ කියන කෙනාට කියන්න මම බයික් එක අරගෙන ඔය කියන ස්පීඩ් එකෙන් (වේගෙන්) යන්නම් මට වෙඩි තියන්න කියලා.  මෙවැනි අසාධාරණයක් වෙන්න ඉඩ තියන්න එපා. දෙපොළක ඉඳන් වෙඩි තියලා නෑ. ඊයේ රෑ මං යද්දී එක තැනයි මාර්ක් කරලා තිබ්බේ.‘‘ යැයි පියා කීවේය.

තරුණයාගේ අවසන් කටයුතු දා ප්‍රදේශවාසීහු දේහය සහිත මිනී පෙට්ටිය මහ පාරේ තබාගෙන පොලිසියට එරෙහිව විශාල විරෝධතාවක් පැවැත්වූහ. අවසන් කටයුතු දා ප්‍රදේශයේ බොහෝ කඩ සාප්පුද වසා තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් ඊට දින කිහිපයකට පසු පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගත්තේය. 2014 ජූනි 17 වැනි දා එම පොලිස් කොස්තාපල්වරයා එවකට අත්තනගල්ල   මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර (දැන් ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්) ඉදිරිපත් කරනු ලැබූ අතර ඔහු පසු දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

පසු දින යළි මෙය ගැනුණු අතර මරණ පරීක්ෂණයෙන් පසු මහේස්ත්‍රාත්වරිය නිගමනය කළේ මෙය මිනී මැරුමක් ලෙස නිරීක්ෂණය නොවන බවයි. සැකකාර පොලිස් නිලධාරියා නොසැලකිලිමත් ලෙස ගිනි අවි භාවිත කිරීමෙන් මෙය සිදුවී ඇති බව අධිකරණය නිගමනය කළේය.  සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් පන් දහසක මුදල් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිණි.

පස්යාලේ දී යතුරු පැදියේ පසු පැදි කරුට දිවි ගලවා ගැනීමට වාසනාව තිබුණ ද මෙදා යාපනයේ සිදුවීමේදී දිවි ගලවා ගැනීමට එම යතුරු පැදියේ පසුපසින් ගිය කජන්ට වාසනාව නොතිබිණි.

ඒ මීට වසර දෙකකට පෙර සිදුවූ පස්යාලේ සිදුවීමයි. එම සිදුවීමට වසර දෙකකට පෙර තවත් කතා බහට ලක්වන පොලිසිය රිය අනතුරක් යැයි කී සිදුවීමක් විය.

දකුණේ සරසවි සිසු ඝාතනය

2012 සැප්තැම්බර් මාසය වැඩිපුරම කතා බහට ලක් වූයේ විශ්ව විද්‍යාලය ආචාර්යවරුන් අරගලයයි. අධ්‍යාපනයට සියයට හයක් වෙන් කරන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් ඉල්ලමින් විශ්ව විද්‍යාල ආචාර්යවරු දකුණේ සිට කොළඹට පා ගමනක් සංවිධානය කර තිබිණි. ඊට සහයෝගය දෙමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ද මහ නුවර සිට කොළඹට පා ගමනක් සංවිධානය කර තිබිණි.

හා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ජනක බණ්ඩාර ඒකනායක සහ රුහුණ සරසවියේ පළමු වසර ශිෂ්‍ය සිසිත ප්‍රියංකර

හා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ජනක බණ්ඩාර ඒකනායක සහ රුහුණ සරසවියේ පළමු වසර ශිෂ්‍ය සිසිත ප්‍රියංකර

සැප්තැම්බර් 26 වැනි දා පා ගමන නිට්ටඹුවෙන් අවසන් වූ අතර පසුගිය අරමුණ වූයේ කැලණිය දක්වා ගමන් කිරීමටය. එවකට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වූ සංජීව බණ්ඩාර ඇතුළු පාගමගේ සංවිධායකයන්ගේ එදින නවාතැන් පොළ වූයේ ගම්පහ බණ්ඩාරවත්තේ නිවසකි. රාත්‍රී ආහාර ගෙන ඒම සඳහා අන්තරේ චින්තක රාජපක්ෂ යක්කලට ගොස් ඇති අතර ඔහුගේ පසු පසින් යතුරු පැදියක් ලුහු බැඳ ආ බව චින්තක සාක්කි දෙමින් කීවේය. එම නවාතැන් පොළේ සිටි කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ජනක බණ්ඩාර ඒකනායක සහ රුහුණ සරසවියේ පළමු වසර ශිෂ්‍ය සිසිත ප්‍රියංකර යන දෙදෙනා යතුරු පැදියෙක් නුගේගොඩ දෙල්කඳට යෑමට පිටත් වූයේ මධ්‍යම රාත්‍රියේ ය. ඒ අත්පත්‍රිකා තොගයක් ගෙන ඒම සඳහාය.

ඔවුන් ගොස් පැය ගණනක් වුවත් යළි නොපැමිණි අතර ගම්පහ ඉඹුල්ගොඩ පාසල් හංදිය ආසන්නයේ යතුරු පිදි අනතුරකින් දෙදෙනකු මිය ගොස් ඇති බව අන්තරේ සෙසු සගයන්ට ආරංචි වූයේ උදෑසනය. ඔවුන් එම ස්ථානයට ගියත් මෘත දේහ තිබුණේ නැත. පසුව ඔවුහු රෝහලට ගොස් පිරික්සද්දී මිය ගොස් ඇත්තේ සිය සගයන් දෙදෙනා බව තහවුරු කර ගත්තේය.

මෙය සැක කටයුතු මරණයක් බවට වාර්තා වීමත් සමග අනතුර වූ යතුරු පැදිය එම ස්ථානයටම ගෙන ගොස් යළි ප්‍රතිනිරූපයක් කළ රස පරීක්ෂණය පවත්වන ලෙස එවකට ගම්පහ මහේස්ත්‍රාත් (දැන් ගම්පහ මහාධිකරණ විනිසුරු) ඛොමා ස්වර්නාධිපති මහත්මිය නියෝග කළාය. ඒ අනුව රස පරීක්ෂණය තිබුණත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළ ආකාරයට ප්‍රති නිරූපනයක් නොකළ බවත්, යතුරු පැදිය එම ස්ථානයට ගෙන නොආබවත් නීතීඥ රාජිකා සිල්වා මහත්මිය මහේස්ත්‍රාත්වරියට පැමිණිලි කළාය.

මෙය සැලසුම් සහගත මිනී මැරුමක් බවට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුව සිටි නජිත් ඉන්දික මහතා රහස් පොලිසියට කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ වී තිබේ.

එම විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනාගේ සැකකටයුතු මරණය සිදු වූයේ 2012දීය. ඉන් වසර දෙකකට පසු 2014 පස්යාලේ සිදුවීම වාර්තා විය. එම සිදුවීමෙන් වසර දෙකකට පසු එනම් 2016 පසුගිය සතියේ යාපනයේ සිදු වීම වාර්තා විය.

උතුරු සරසිවි සිසු ඝාතනය

img_1918

නඩරාජා කජන් සහ විජයකුමාර් සුලක්ෂන්

යාපනයේ සිදුවීමෙන් මිය ගියේ නඩරාජා කජන් නම් කිලිනොච්චියේ පදිංචි යාපනය විශ්ව විද්‍යාලයේ සිසුවකු සහ විජයකුමාර් සුලක්ෂන් නම් චුන්නාකම්හි පදිංචි යාපනය විශ්ව විද්‍යාලයයේ ජනමාධ්‍ය සිසුවෙකි.

සුලක්ෂන් සිසුවාගේ නිවස පිහිටියේ යාපනය චුන්නාකම් සිට කිලෝමීටරයක් පමණ දුරින් කන්දරෝඩෙයි   ප්‍රදේශයේ ය. සහෝදර සහෝදරින් අට දෙනකුගෙන් යුත් පවුලේ දෙවැනියා සුලක්ෂන් ය. වැඩිමල් සහෝදරයා යුද සමයේ අතුරුදන් වූ ලැයිස්තුවේ සිටින්නෙකි. පියා සින්නතුරෙයි විජයකුමාර් තල් ගසකින් වැටී ශල්‍යකර්මයකට භාජනය කරනු ලැබ සිටියි. අක්කා විවාහ වී සිටින්නීය. හත වසරේ සහ උසස් පෙළ කලා අංශයෙන් හදාරණ සහෝදරයන් දෙදෙනෙක් ද සුලක්ෂන්ට සිටිති.

සුලක්ෂන් රඟපෑමට, කතිකත්වයට මෙන්ම ගීත ගායනයටද විශ්ෂ දක්ෂතා පෙන්වීය.  2015 පැවැති චිත්‍රපට තරගයකින් ඔහු දක්ෂතම විකට නළුවාට හිමි සමස්ත ලංකා ප්‍රථමස්ථානය දිනා ගත් අතර 2015 යාපනය චිත්‍රපට උළෙලේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපෑවේ ද සුලක්ෂන්ය. ‘සුලක්ෂන්‘ යන නම කියූ සැනින් ප්‍රදේශවාසීහු ඔහු ගැන දනිති. ඔහු යාපනයේ ප්‍රසිද්ධ වීදි නාට්‍යකරුවෙකි.

මීට මාස කිහිපයකට පෙර සුලක්ෂන්ට ආවා යැයි කියාගත් පිරිසක් පහර දි ඇති අතර ඔහු ඒ ගැන පොලිසියට පැමිණිලි කර තිබිණි. එම පැමිණිල්ල ගැන පොලිස් විමර්ශනයක් සිදු වී නැතැයි යන තොරතුරක් මේ වන විට මානව හිමිකම් කොමිසමට ලැබී තිබේ.

පිටු පසින් වෙඩි තැබුවා නම් පිටුපස සිටි කජන්ට වෙඩි නොවැදී යතුරු පැදිය පදවාගෙන ගිය සුලක්ෂන්ට වෙඩි වැදුනේ කෙසේද? සුලක්ෂන්ගේ සිරුරට වෙඩි කිහිපයක් වැදුණේ කෙසේද? හෙල්මට්වලට හානියක් නොවී පිටුපස ගිය කජන්ගේ හිසට බරපතල හානි වූයේ කෙසේද? අහසට වෙඩි තැබුවා නම් ඒවා සුලක්ෂන්ගේ සිරුරට වැදුණේ කෙසේද ආදී සැකකටයුතු කාරණා රැසක් ඔස්සේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සහ රහස් පොලිසිය   විමර්ශන පවත්වයි.

– ලංකාදීප වෙබ අඩවියෙනි

Back to Top