Sri Lanka Brief
පුවත් විශේෂාංගවිසඳුම සෙවිය යුත්තේ දකුණේයි – රංජිත් හේනායකආරච්චි

විසඳුම සෙවිය යුත්තේ දකුණේයි – රංජිත් හේනායකආරච්චි

by

(කොළඹ පවැති ‘එකම ලේ‘  උද්ඝෝෂණයේ අවස්ථාවක්: අද දකුණේ සිවිල් සමාජය දේශපාලන විසඳුමක් උදෙසා පාරට බැසිය යුතුය)

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මිනිසාට තම අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට ඇත්තේ ප්‍රශ්න කළ නොහැකි අයිතියකි. තම අයිතීන් ගැන කථා කිරීම වැරැද්දක් ලෙන හුවා දක්වන්නේ නම් එතැන ඇත්තේ යටපත් කිරීමයි. පීඩනයට පත් කිරීමයි. ආධිපත්‍යවාදයයි. තමන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයා හෝ ජනසමූහයා යටපත් කිරීම ඇරඹෙන්නේ ඔහුට හෝ ඔවුනට එරෙහිව ප්‍රචාරය කරන වැරදි මත තුලිනි. එසේ ඇරඹෙන යටපත් කිරීමෙහි දිගුව වන්නේ ප්‍රචන්ඩත්වයයි.

පසුගිය දිනවල උතුරේ සිදුවූ උද්ඝෝෂණයන් පිළිබඳ මුළු දකුණ පුරා පතුරුවා ඇති ජනප්‍රිය මත පෙන්නුම් කරන්නේ යටපත් කිරීමේ ආරම්භය වන වැරදි මත ප්‍රචලිත කිරීම දැන් ඇරඹී ඇති බවයි. ‘විගනේෂ්වරන් ජාතිවාදියෙකි.රට බෙදීම, දෙමළ ජාතිවාදය, උතුරේ වලන් බිදීම, දෙමළ නාට්සිවාදය’ වැනි වදන් තුලින් කරනුයේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තමන්ගේ අයිතිය සඳහා පෙනී සිටින දේශපාලන මිනිසාගේ දේශපාලන යෝජනාවන්ට වැරදි අර්ථකතනයක් දී එයට වැරදි නමක් පටබැඳ යටපත් කිරීමේ ක්‍රමවේදයයි. එතුලම සිදුවන ඊළඟ කාරණය වන්නේ අදහස් ඉදිරිපත් කිරීම හෙලා දැක අදහස් ඉදිරිපත් කරන්නා බිය වැද්දීමයි. එමෙන්ම එතුලින්ම එම අදහස ඉදිරිපත් කරන්නාට එරෙහිව ජනයා කුපිත කරවීම තුලින් ප්‍රචන්ඩත්වයට අත වැනීමක්ද සිදුවේ.

යුද්ධය අවසන් කර දැන් වසර 7 ක් ගතවී හමාරය. වසර 25 කට වැඩි යුද්ධයක් අප රට තුල පැවතුනේ ජනවාර්ගිය ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දීමට අපොහොසත්වීමේ හේතුව නිසාවෙන් බව නොදන්නේ එය දැන ගැනීමට අකමැති මේනියාවකින් පෙලෙන්නන් පමනි. නිදහසින් පසු ලංකාවේ දෙමළ ජනයා තමනටද සම අයිතීන් හිමිවිය යුතු බව කියා තම අයිතිය වෙනුවෙන් කතා කරනු ලැබීය. ඔවුන් බලය බෙදා හැරීම ආදී බලයේ කොටස්කරුවන් වීම ගැන යෝජනා ඉදිරිපත් කළහ. දේශපාලන ඉල්ලීම් වෙනුවෙන් සාමකාමී උද්ඝෝෂණ කළහ. සත්‍යග්‍රහ කරනු ලැබීය. මේ සාමකාමී උද්ඝෝෂණ සහ ඉදිරිපත් කිරීම් සියල්ල ප්‍රචන්ඩත්වය තුලින් යටපත් කිරීමේ ප්‍රතිවිපාක ලෙස යුධමය තත්වයකට රට ඇද වැටුනි.

දැන් නැවත ඔවුන් තම අයිතීන් ගැන කතා කරති. යෝජනා ඉදිරිපත් කරති. යුද්ධය අවසන් කර වසර 7 ක් ගතවන විටත් රටේ ප්‍රධාන දේශපාලන ප්‍රශ්නයට විසදුම් යෝජනාවකටවත් දකුණ ඉඩ නොදෙන බවක් අද මේ උද්ඝෝෂණවලින් පෙන්නුම් කරයි. උතුර තමන්ගේ උවමනාව සාමකාමීව ඉදිරිපත්කරන විට දකුනේ සිංහල ජාතිවාදී බලවේග පමණක් නොව ප්‍රධාන පක්ෂවල නියෝජිතයින්ද ඔවුන්ගේ එම ඉල්ලීම් ‘බෙදුම්වාදය’ යයි හංවඩු ගසමින් පවතී. එතුලින් කරනුයේ ඔවුනට තම අයිතිය ගැන කතා කිරීමට ඇති අයිතිය නිගාවට ලක් කිරීමයි. එසේනම් දකුන අත වනන්නේම යුද්ධයටද?

තමන්ට තුවාලයක් ඇති බවත් තුවාලය සුව කර ගැනීමට බෙහෙත් අවශ්‍ය බවත් උතුරෙන් දෙන පණිවිඩයයි. දකුනේ පිලිතුර වන්නේ බෙහෙත් ඉල්ලීම සාපරාධී ක්‍රියාවක් බවයි. තුවාලයට බෙහෙත් ඉල්ලීමේ පාපකර්මයට දඩුවම් දිය යුතු බවයි. ඒ අතරම තවත් කොටසක් ඉනුත් ඔබ්බට ගොස් තුවාලයක් ඇත්තේ නැති බවද පවසයි. නමුත් තුවාලයේ වේදනාව දන්නේ තුවාලය ඇති තැනැත්තා බව ඔවුන් අමතක කරති.

ලංකාවට රටක් වශයෙන් දියුණුව කරා ගමන් කිරීමට අවශ්‍ය නම්, සමාජයක් වශයෙන් සාමකාමීව යහපැවැත්මක් ඇති කර ගැනීමට අවශ්‍ය නම්, නිදහසින් පසු එදා සිට අද දක්වාම ලංකා සමාජයට, රටට විනයක් වී ඇති ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසදුමක් දිය යුුතුව ඇත. යටපත්කිරීම තුලින් ජනවාර්ගික ප්‍රශ්නයක් විසදිය නොහැක. ඒකාධිපති බවින් තාවකාලිකව ප්‍රශ්නය යටගැසිය හැකි වූවා වුවත් ඊළග මොහොතේ එය නැවත මතු වන්නේ දියයට එබූ බැලුම් බෝලයක් නැවත දියමත මතුවෙන්නාක් ලෙසිනි.

ලෝකයේ වෙනත් රටවල් මෙවැනි ප්‍රශ්න විසදාගෙන ඇත. බලය බෙදා හැරීමෙන් රටක් බෙදෙති යන්න මුසාවකි. ඇත්තෙන්ම සිදුවන්නේ බලය බෙදා හල විට රටක් දියුණුව කරා ඉක්මනින් ගමන් කිරීමයි. සන්ධීය හෝ ඒකීය රාජ්‍යන් තුල විශාල වශයෙන් බලය බෙදාහළ රාජ්‍ය විශාල ප්‍රමාණයක් ලෝකය පුරා ඇති අතර ඒ සෑම රාජ්‍යක්ම පාහේ දියුණුව කරා ගමන් කර ඇත. ඒකීය රාජ්‍යන් වන ඉතාලිය, එංගලන්තය, ස්පාඤ්ඤය ආදී රටවල ප්‍රාන්තවලට විශාල බලයක් පවරා ඇත. අපේ අසල්වැසි ඉන්දියාව ඇතුළු ඇමරිකා එක්සත් ජනපදය මැලේසියාව ස්විස්ටර්ලන්තය ඕස්ට්‍රේලියාව ආදී තවත් රටවල් විශාල ප්‍රමාණයක ඇත්තේ බලය බෙදා හල සන්ධීය රාජ්‍ය ක්‍රමයන්ය. මෙසේ මේ ක්‍රම දෙකේම බලය බෙදා හැරීම එම රටවල් දියුණුවට මිස පරිහානියට ලක් කර නොමැත.

ලංකාවේ අපේ ප්‍රශ්නයට ඇති එකම විසදුම බලය බෙදා හළ රාජ්‍ය ක්‍රමයක් යන්න මගේ වැටහීමයි. එම බලය බෙදා හැරීම සිදුවන ප්‍රමාණයෙන් සහ ආකාරය ජනවර්ග අතර සිදුකරන සංවාදයක් තුලින් සාකච්ඡා තුලින් තීරණය කර ගත යුතුය. අද අපට එයට අවස්ථාවක් උදාවී තිබේ. ඒ ලංකා රජයත් උතුරේ දේශපාලන බලවේගත් සාමකාමී විසදුමකට එකග බැවිනි. නමුත් අපගේ ප්‍රශ්නය ඇත්තේ දකුණේ වෛරකාරී අධිපතිවාදී දේශාපාලන කණ්ඩායම්වල නොනවතින ජනතා කුපිත කරවීමයි. මෙම සාපරාදී කුපිත කිරීම්වලට එරෙහිව පිලිතුරු දීමට දකුණේ දේශපාලන බලවේගයන් එකට එක්වී ඉදිරිපත් නොවීමයි.

උතුරේ ජනයා තමන්ගේ ප්‍රශ්නයට දේශපාලන විසදුමක් ඉල්ලා උදඝෝෂණ අරඹා ඇත. එයට එරෙහිව දකුණේ ජාතිවාදී සහ ජාතිකවාදී බලවේග එක පෙලකට සිටගෙන සිටී. දැන් දකුණේ ප්‍රගතිශීලී සිවිල් සමාජය සහ දේශපාලන බලවේගවල කාර්ය විය යුත්තේ කුමක්ද? බොහෝ දෙනෙකු නිස්ශබද්ධව බලා සිටී. කුඩා කණ්ඩායමක් දකුණේ සිට උතුරට ගොස් උතුරේ සිට ගනී. නමුත් දකුණේ ජාතිවාදයට ඉන් පිළිතුරක් සැපයේද?

විය යුත්තේ දකුණේ සිවිල් සමාජය දකුණේ ප්‍රගතිශීලී බලවේග ඒකරාශී කර ගෙන පාරට බැසීමයි. දකුනේ ජාතිවාදී බලවේගයනට මංමාවත් ඉඩ නොහැර ප්‍රගතිශීලීන් ඔවුන් තම හඬ මංමාවත් තුල පැතිර විය යුතුයි. ලංකාවේ ආණ්ඩුවේද සහහෝගය ඒ සඳහා ලබා ගත යුතු අතර හැකි සෑම බලවේගයක්ම එක්කර දකුණේ ජාතිවාදයට එරෙහිව නැගී සිටිය යුතුය. අප කළ යුත්තේ උතුරට ගොස් ඔවුනට සහාය දැක්වීම නොව දකුණේ ඇති ප්‍රශ්නයට දකුණේ විසදුම දීමයි. දකුණේ ප්‍රගතිශීලී ජනයා ජාතිවාදයට එරෙහිව රටටම දේශපාලන විසදුමක් දීමට පක්ෂව විදී බසින්නේ නම් උතුරේ ජනයාට තනිවම පාරට බැසීමට හේතුවක් නොවනු ඇත. එවිට සිංහල ජාතිවාදීනට තමන්ට පෙන්වීමට ‘බිල්ලෙක්’ උතුරේ ඇති නොවනු ඇත. දකුණේ ජනයා බලය බෙදා හළ සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමයක් උදෙසා පෙනී සිටීනම් උතුරේ ජනයා තුල දකුණ ගැන විශ්වාසයක් ගොඩ නැගෙනු නොඅනුමානය. ඔවුන්ද එවිට දකුණ සමග අත්අල්ලාගනු නියතය. ගැටළුව ඇත්තේ දකුණේ දකුණේ නම් එයට විසදුම් උතුරේ සෙවිය නොහැක. එනිසා ප්‍රශ්නයට විසදුම සෙවිය යුත්තේ දකුණේ මිස උතුරේ නොවේ. ඒ විසදුම ඇත්තේ දකුණේ බැවිනි.

Back to Top