Sri Lanka Brief
පුවත් විශේෂාංගව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ: සමාජ සහ ආර්ථික අයිතීන් මූලික අයිතිවාසිකමක් ලෙස ගැනීම ද ප‍්‍රමුඛතාවයකි

ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ: සමාජ සහ ආර්ථික අයිතීන් මූලික අයිතිවාසිකමක් ලෙස ගැනීම ද ප‍්‍රමුඛතාවයකි

by

(වැලි බත් උයන වන්නියේ දරුවෝ, 2016 අගෝස්තු: ඔවුන්ගේ සමාජ ආර්ථික අයිතීන් මානව හිමිකම් නොවේද? ©s.deshapriya)

ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලිය අවසානයකට ළං වෙමින් තිබෙන අවස්ථාවේ, නව ව්‍යවස්ථාව තුළ සැලකිල්ලට ලක්විය යුතු යැයි ‘සිකුරාදා සංසදය’ (ෆ‍්‍රයිඬේ ෆෝරම්* සිතන පහත සඳහන් කරුණු කෙරෙහි ව්‍යවස්ථා සභාවේ මෙහෙයුම් කමිටුවේ අවධානය යොමු කරවනු ලැබේ.

1. 1978 ව්‍යවස්ථාවේ 16 වැනි වගන්තිය අහෝසි කිරීම
මෙම ව්‍යවස්ථාව (1978* සම්මත කරගන්නා අවස්ථාවේ පැවති සියලූ ලිඛිත නීති සහ අලිඛිත නීති වර්තමාන ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ජේදය සමග අනුකූල නොවූවද ඒ සියලූ නීති වලංගු වන්නේය යනුවෙන් 16 වැනි වගන්තියේ සඳහන් වන්නේය. එහි අදහස වන්නේ, 1978 ට පෙර පැවති නීති හරහා, සමානාත්මතාව සහ වෙනස් කොට නොසැළකීම ඇතුළු මූලික අයිතීන් ඇතුළු ව්‍යවස්ථාමය ආරක්ෂණයන් උල්ලංඝණය කරතත්, ඒ පිළිබඳ ඕනෑම අධිකරණමය සොයා බැලීමක් මේ වගන්තිය මගින් වළකාලන බවයි.

1978 සිට ගත වූ අවුරුදු 38 ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ පවා අපේ පාර්ලිමේන්තුව සහ නීති සම්පාදකයන් අතින් ප‍්‍රතිසංස්කරණය නොවුණු, 1978 ට පෙර පැවති බොහෝ නීති හරහා අපේ මූලික අයිතීන් උල්ලංඝණය වෙනු ලැබේ. ඒ නීති බොහොමයක් කාන්තාවන් සහ වෙනත් සමාජ කොටස් සම්බන්ධයෙන් අසාධාරණ ලෙස ක‍්‍රියාත්මක වන අතර, ඉඩම් සහ අපරාධ නීතිද ඒ අතරට ගැනේ. ශ‍්‍රී ලංකාවේ භාවිත වන විවිධ පුද්ගල නීති සහ විවාහයට සහ උරුමයට බලපාන නීති, තවදුරටත් වලංගුව පවතින එවැනි එක් ප‍්‍රධාන නීති කොටසකි. පුද්ගල නීති පද්ධති දෙකක්, එනම්, කන්ද උඩරට වැසියන්ට බලපාන උඩරට නීතිය සහ උතුරේ වෙසෙන දෙමළ ජනතාවට බලපාන තේසවලමෙයි නීතිය ආගම මත පදනම්ව නැත. තවද, වර්තමාන තත්වයෙන් ගත් විට ඒවායේ මුල් කාලීන චාරිත‍්‍රානුකූල හෝ සම්ප‍්‍රදායික ප‍්‍රභවයන්ට අද ඒවායේ සම්බන්ධයක් නැති අතර බි‍්‍රතාන්‍ය යටත්විජිත නීතිරීති සහ නඩු තීන්දුවලින් ඒවා බෙහෙවින් වෙනස් කරනු ලැබ තිබේ. රෝම ලන්දේසි නීතියෙන් ගත් අදහස් එම තීන්දුවලට බලපා ඇති අතර මේ ප‍්‍රජාවන්හි කාන්තා අයිතීන් බාල්දු කොට තිබේ. මුස්ලිම් ප‍්‍රජාවේ පුද්ගල නීතිය පමණක් ආගම මත පදනම් වන අතර එය උපදින්නේ (ඇතැම් අංගවලින්  ඉස්ලාමීය නීතියෙනි. මේ සියලූ පුද්ගල නීති පද්ධති කාන්තාවට වෙනස් ආකාරයකින් සළකන අතර ඒවා වහා වෙනස් විය යුතුව තිබේ.

එනිසා නව ව්‍යවස්ථාව තුළ 16 වැනි වගන්තිය අහෝසි වීම ඉතා වැදගත් වන අතර නව ව්‍යවස්ථාව උල්ලංඝණය කෙරෙන ඕනෑම නීතියක් අධිකරණමය පරීක්ෂාවට ලක්කිරීමේ හැකියාව තිබිය යුතුය. පොදු සහතිකයක කොටසක් වශයෙන් ආගමික නිදහස ව්‍යවස්ථාවෙන් ස්ථාපිත විය යුතු අතර, අයිතිවාසිකම් පනත සමග නොගැළපෙන නීති වගන්ති සංශෝධනය කිරීමට හෝ ක‍්‍රියාත්මක නොකර හැරීමට ඇති අයිතියත් සනාථ විය යුත්තේය. මූලික අයිතීන් උල්ලංඝණය කෙරෙන ආගමික නිරූපණයන් පිළිබඳ නීති සහ ප‍්‍රතිපත්ති පනවා ගැනීමේ රජය සතු අයිතියත් නව ව්‍යවස්ථාවට ඇතුළත් විය යුත්තේය. මේ සීමාවන්, දැනටමත් අපේ ව්‍යවස්ථාව තුළ අඩංගු ප‍්‍රමිතීන්ට ගැළපිය යුතු අතර එය, පොදු යහපත වෙනුවෙන් ක‍්‍රියාත්මක වන මානව හිමිකම් පිළිබඳ පිළිගත් ප‍්‍රමිතීන් සමග අනුගත වෙමින් තවදුරටත් පැහැදිළි විය යුත්තේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, මුස්ලිම් කාන්තාවන්ට එරෙහිව යෙදෙන භාවිතාවන් රාජ්‍ය මගින් වෙනස් කළ යුත්තේය. එය කළ යුත්තේ මුස්ලිම් ප‍්‍රජාව සමග සාකච්ඡුා කිරීමෙනි. ප‍්‍රජාවක් පිරිමින්ගෙන් මෙන්ම ගැහැනුන්ගෙන්ද සමන්විත වන අතර ගැහැනුන්ගේ හඬට කන්දිය යුතුව තිබේ.

2. මූලික අයිතිවාසිකම් පරිච්ජේදය තුළට සමාජ සහ ආර්ථික අයිතීන් අඩංගු කරලීම

ඉන්දීය ව්‍යවස්ථාව සේම ලංකාවේ වර්තමාන ව්‍යවස්ථාවත් පිළිගනු ලබන්නේ, රාජ්‍ය විසින් කඩකරනු ලබන සිවිල් සහ දේශපාලනික අයිතීන් පමණක් (උදාහරණයක් වශයෙන් වධ හිංසාවෙන් ආරක්ෂා වීම, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම සහ සමානාත්මතාවට ඇති අයිතිය වැනි* ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ප‍්‍රශ්න කළ හැකි බවයි.

සමාජ-ආර්ථික අයිතීන්ට එම ස්ථානය හිමි නොවේ. මන්ද යත්, ඒවා රාජ්‍යයේ අභිමතය පරිදි නිශ්චය කෙරෙනු ලැබෙන සමාජ සුභසාධන ප‍්‍රශ්නවලට ආදළ කාරණයක් වශයෙන් සැළකෙන බැවිනි. මේ ආකාරයට, ජන ජීවිතයේ සෑම ආයතනයකටම මග පෙන්වන සමාජ ආර්ථික සහ දේශපාලනික සාධාරණත්වය සහිත සමාජ ක‍්‍රමයක් ස්ථාපිත කිරීමට රාජ්‍ය මගින් ප‍්‍රතිඥා දෙන බව ව්‍යවස්ථාව තුළ කියැවෙන අතරේම, සෑම පුරවැසියෙකුටම ප‍්‍රමාණවත් ජීවන තත්වයක් අත්කර ගැනීමට හැකි විය යුතු බව පෙන්වන අතරේම, ඒවාට අදාළ විධිවිධාන ‘රාජ්‍ය ප‍්‍රතිපත්තියේ නියාමන මූලධර්ම’ නැමැති පරිච්ෙඡ්දයකට ලඝු කොට ඇත. එය, විනිශ්චය විෂයක නැත.

එසේ වෙතත්, රාජ්‍ය සහ පොදු ආයතන තුළ සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට ඇති අයිතිය ඇතුළු සමාජ සහ ආර්ථික අයිතීන් අපේ ජනතාවගේ අයිතියක් වශයෙන් 1940 ගණන්වල සිට පිළිගැනී තිබේ. ඒ අපේ එදා දේශපාලන නායකයන් විසින් හඳුන්වා දෙන ලද දුරදක්නා ප‍්‍රතිපත්තිවලට ස්තුතිවන්ත වන්නට ය. ව්‍යවස්ථාමය අයිතියක් වශයෙන් අද නැතත්, මේවා පිළිගැනෙන්නේ ජනතා අයිතීන් වශයෙනි. ඒවා නඩත්තු කිරීමට සහ තත්වයෙන් උසස් කිරීමට අවශ්‍ය අයවැය ප‍්‍රතිපාදන සහ මානව සම්පත් ප‍්‍රමාණවත් පරිද්දෙන් වෙන් කිරීමට සහ වැඩි කිරීමට අපොහොසත් වීම නිසා ඒ අංශවල ඇති වන අර්බුද අප දැක තිබේ. ඒ සමගම, ලංකාවේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන අංශ දෙකේදීම දක්නට ලැබෙන සාධනීය දර්ශකය පසුපස ඇත්තේ, නිදහසට පෙර සිටම රජයේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව තුළ කරන ලද ආයෝජනයන් ය.

මෑත දශක කිහිපය තුළ අප අත්දුටු නිෂේධනීය වෙනස්කම් සහ ඉහත කී අංශවලට වෙන් කෙරෙන සම්පත් අඩු කිරීම නතර කළ යුතුව තිබේ. ජාතික සම්පත් ජනතා අභිවෘද්ධිය වෙනුවෙන් පාවිච්චි කිරීමේදී දක්නට ලැබෙන ෆිස්කල් නොහොබිනා කම් සහ මහජන මුදල් නාස්තිය වෙනුවට, අයවැය සුපරීක්ෂාව සහ වගවීම සහතික කරගත හැකි එක මාර්ගයක් වන්නේ, නව ව්‍යවස්ථාව තුළ සමාජ-ආර්ථික අයිතීන් පිළිගනු ලැබීමයි. සෞඛ්‍ය සේවය, ප‍්‍රාථමික ද්විතීයික සහ තෘතීයික මට්ටම්වල අධ්‍යාපනය වැනි දේවල්වලට ඇති සමාජ-ආර්ථික අයිතිය සහ ආහාර ජලය නිවාස වැනි මූලික අවශ්‍යතාවන්, සියලූ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ලෙස පිළිගත යුතුය. මේ ‘මහජන දේපළවලට’ සියලූ ශ‍්‍රී ලාංකිකයන්ට අයිතියක් ඇති බව පිළිගත යුතුය. රටේ ආර්ථික වර්ධනයේ සහ සංවර්ධනයේ ප‍්‍රතිලාභ ඔවුන් සියල්ලන්ට අයත් බව පිළිගත යුතුය. මේ අංශවල රජයේ සහ පෞද්ගලික යනුවෙන් අංශ දෙකක් නොපැවතිය යුතු බවක් මෙයින් අදහස් නොවේ. පෞද්ගලික අංශයේ මැදිහත් වීම අධෛර්මයත් කිරීමක් හෝ වළකාලීමක් එයින් නොකියැවේ. මෙයින් ඉල්ලා සිටිනු ලබන්නේ, පෞද්ගලික අංශයෙන් විකල්ප ප‍්‍රතිපාදන සැපයුවත්, ඒවායේ උසස් ගුණාත්මක භාවය සඳහා රාජ්‍ය මගින් ඒවා නියාමනය කරනු ලැබුවත්, ඉහත කී අංශ සඳහා රාජ්‍ය මුදල් වගකීම් සහිතව වෙන් කළ යුතු බවයි.

ඔවුන්ටත් කිළිනොච්චියේ එළවලු වෙළෙන්දියක් 2016 අගෝස්තු ©s.deshapriya

ඔවුන්ට සමාජ ආර්තික අයිතීන් අයිතිය: කිළිනොච්චියේ එළවලු වෙළෙන්දියක් 2016 අගෝස්තු ©s.deshapriya

වර්තමාන ජගත් වර්ධනයන් තුළ සමාජ ආර්ථික අයිතීන් ව්‍යවස්ථාව තුළ අඩංගු කර ගැනීමේ ප‍්‍රවණතාවක් දැකිය හැකිය. රාජ්‍ය පාර්ශ්වයක් වශයෙන් ශ‍්‍රී ලංකාව දැනටමත් අත්සන් කොට ඇති එක්සත් ජාතීන්ගේ මෑත කාලීන බොහෝ බහු-පාර්ශ්වීය ගිවිසුම් තුළ, සිවිල් සහ දේශපාලනික අයිතීන්ට ලැබෙන ස්ථානයම සමාජ සහ ආර්ථික අයිතීන්ට ලැබෙන අතර ඒවා ක‍්‍රියාවට නැංවිය යුතු ජනතා අයිතීන් වශයෙන් සැළකේ. මෙය, 1993 වියනා සම්මුතිය තුළ දැක ගත හැකිය. මේ සෑම අයිතියක්ම එකිනෙකින් වෙන් කළ නොහැකි බවත්, ඒ සියල්ලම එකිනෙක මත පරායත්ත වන බවත් එහිදී පිළිගෙන තිබේ. සමාජ ආර්ථික අයිතීන් සම්බන්ධයෙන් වන එවැනිම සංකල්ප, 1978 සිට ශ‍්‍රී ලංකාව අනුමත කොට ඇති ජගත් ප‍්‍රතිපත්ති ලේඛන තුළද දැකගත හැකිය.

මේ ප‍්‍රතිපත්ති පිළිගනු ලැබීමෙන් ඇති කර ගන්නා දේශීය සහ කලාපීය වැඩ සටහන්වලට, අපේ රට එකට කටයුතු කරන ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වැනි ජාත්‍යන්තර සංවිධාන සහයෝගය දක්වා තිබේ. ඉදිරි වසර 15 කාලය සඳහා ජාතීන්ගේ ප‍්‍රගතිය සඳහා වන සළකුණු සනිටුහන් කරන සහ ආණ්ඩුවලට වගකීම් පවරන, ඉතා මෑතකදී පිළිගනු ලැබූ ‘තිරසාර සංවර්ධන ඉලක්ක’ න්‍යාය පත‍්‍රය තුළත්, ඉහත කී ක්ෂේත‍්‍රවල සමාජ ආර්ථික අයිතීන් පිළිගනු ලැබෙන අතර ඒවා ආණ්ඩු විසින් ක‍්‍රියාවේ යොදවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ‘තිරසාර සංවර්ධන ඉලක්ක’ න්‍යාය පත‍්‍රය, එහි පරමාර්ථ සහ ඉලක්ක ක‍්‍රියාවේ යෙදවීම සහතික කරනු වස් අවශ්‍ය කෙරෙන මූල්‍යමය අංශය ගැනද අවධානය යොමු කරනු ඇත.

ගත වූ දශක දෙක තුළ රටවල් 70 ක් පමණ මේ සමාජ ආර්ථික අයිතීන් ඔවුන්ගේ ව්‍යවස්ථාවන් තුළ අන්තරගත කොටගෙන ඇති බව මෙහිදී සිහිපත් කළ යුතුය. ජනතා අභිවෘද්ධිය වෙනුවෙන් ඒවා අධිකරණය හරහා පිළිගනු ලැබ ක‍්‍රියාත්මක කරවනු ලැබීම ගැනද සළකා බලා තිබේ. පොදු නීති පද්ධති ඇති දකුණු අප‍්‍රිකාව සහ කෙන්යාව වැනි රටවල්ද, බොලිවියාව සහ ඉක්වදෝරය වැනි සිවිල් නීති පද්ධති ඇති රටවල්ද ඒ අතරට ගැනේ. ඉන්දියාවත් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් කෙරෙන අධිකරණමය අර්ථ දැක්වීම් හරහා පසුගිය කාලය තිස්සේ සමාජ ආර්ථික අයිතිය ජය ගෙන තිබේ. එවැනි අධිකරණ තීන්දු, දකුණු අපි‍්‍රකාව සහ නේපාලය වැනි වෙනත් රටවල අධිකරණවලටද බලපා තිබේ. අපේ අධිකරණයද ඉඳහිට පරිසර සංරක්ෂණය වැනි කරුණුවලදී මේ ජනතා අයිතිය පිළිගැනීමට උත්සාහ කොට ඇතත්, ව්‍යවස්ථාවේ පවතින සීමාවන් ඒවාට හරස් වී තිබේ.

සමාජ ආර්ථික අයිතීන් මෙසේ ව්‍යවස්ථාව තුළින් පිළිගනු ලැබීමට විරෝධය දක්වන්නන් කියන්නේ, සංවර්ධනය සහ ආර්ථික වර්ධනය පිළිබඳ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති තීන්දු ප‍්‍රශ්න කිරීමේ බලය අධිකරණයට පැවරූ විට, අධිකරණය සහ ව්‍යවස්ථාදායකය අතර පවතින බල තුලනය ඒ මගින් දියාරු විය හැකි බවයි. මෙය පාර්ලිමේන්තුවේ නීති සම්පාදකයන්ගේ සහ විධායකයේ බල සීමාව තුළ පැවතිය යුතු බව ඔවුහූ තර්ක කරති.

එහෙත් මේ ආයතන ජනතා භාරකරුවන් වශයෙන් ක‍්‍රියා කිරීමට අසමත් වන විට, වගවීම ප‍්‍රවර්ධනය කරන සහ ජනතාවගේ අයිතීන් සහ සුභසාධනය ආරක්ෂා කෙරෙන ආයතනයක් තිබිය යුතුය. සමාජ ආර්ථික අයිතීන් ව්‍යවස්ථාවන්ට ඇතුළත් කොට ඇති වෙනත් රටවල අත්දැකීම් අනුව බලන විට, ‘සමානුපාතිකත්වය’, ‘සාධාරණත්වය’ ‘පවතින සම්පත් අනුව’ සහ ‘පවතින සම්පත් උපරිමයෙන් වෙන් කිරීම’ වැනි පැහැදිළි කෙටුම්පත් කිරීම් හරහා, අධිකරණ මගින් හිතුමතේ කටයුතු කිරීම වළකාලිය හැකි බව සහ එසේ කොට ඇති බව පෙන්නුම් කෙරේ. ඉන්දියාවේ සහ වෙනත් රටවල අධිකරණ මගින් විනිශ්චය කොට ඇති පරිදි, ඉතා වියදම්කාරී ක‍්‍රියාවලීන් සහ පහසුකම් රජය මගින් නිරන්තරයෙන් සැපයිය යුතු බවට පිළිගෙන නැති බව පෙනේ.

‘දැරිය හැකි වියදම’ පිළිබඳ තර්කය, ජනතාවගේ මූලික අවශ්‍යතා සම්පාදනය නොකර මගහැරීමට යොදා ගත නොහැක. වර්තමාන ව්‍යවස්ථාව තුළ ආණ්ඩුව බැඳී සිටින සිවිල් සහ දේශපාලනික අයිතීන් ක‍්‍රියාත්මක කිරීම
සඳහාද ප‍්‍රමාණවත් සම්පත් සහ මූල්‍ය පහසුකම් වෙන් කිරීමක් අවශ්‍ය කෙරේ. නීතිය ක‍්‍රියාත්මක කිරීම, ඒ සඳහා අවශ්‍ය කරන සම්පත් වෙන් නොකළොත් අයාලේ යනු ඇත. සමාජ ආර්ථික අයිතීන් බල ගැන්වීම සඳහා අවශ්‍ය කරන්නේද, වෙනත් අයිතීන් ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන වගවීමමයි. අධිකරණයට එහි භූමිකාව ඉටු කිරීමට ඇති සාමර්ථතාව පිළිබඳ සැකයක් ඇතොත් එය විසඳිය හැක්කේ ඔවුන්ගේ බලතල සීමා කිරීමෙන් නොව, ප‍්‍රශස්ත සහ ස්වාධීන අධිකරණයක් සඳහා අවශ්‍ය පරිසරය නව ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ හරහා සම්පාදනය කරලීමෙනි. ජනතා අභිවෘද්ධිය සලසන ආකාරයෙන් ජාතික සම්පත් බෙදා හැරීම කාර්ය භාරය, යම් වගවීමේ යාන්ත‍්‍රණයකින් තොරව, ව්‍යවස්ථාදායකයට සහ විධායකයට පවරා දීමේ හැකියාවක් තවදුරටත් අපට නැත.

‘ෆ‍්‍රයිඬේ ෆොරම්’ වෙනුවෙන්,
මහාචාර්ය සාවිත‍්‍රී ගුණසේකර
රදගුරු දුලිප් ද චිකේරා
මහාචාර්ය අර්ජුන අලූවිහාරේ

2016 සැප්තැම්බර් 29 වැනි දා ‘ද අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ, ‘ෆ‍්‍රයිඬේ ෆෝරම්’ විසින් නිකුත් කරන ලද Some Priority Concerns for Constitutional Reforms  (ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සඳහා වන ප‍්‍රමුඛතා කාරණා කිහිපයක්) නැමැති නිවේදනයේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

Back to Top