Sri Lanka Brief
පුවත්මහා වංචාවක සැකකරු ටිරන් අලස් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබන රැකවරණය මුල සිට අගට!

මහා වංචාවක සැකකරු ටිරන් අලස් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබන රැකවරණය මුල සිට අගට!

by

( ටිරන් අලස් සහ රාජපක්ෂ ගජ මිතුරන්ය)

සුනාමියෙන් නිවාස අහිමි වූවන් වෙනුවෙන් නිවාස හදනවා යැයි කියමින් එකදු නිවසක් හෝ නොහදා රජයේ මුදල් කෝටි ගණනක් තම සාක්කුවට දමා ගනිමින් මේ ශත වර්ෂයේ නීචතම හොරකම සිදුකළ නීලකාස හොරෙකු අත් අඩංගුවට ගන්නට එපා යයි ශ්‍රේෂ්ඨාධිකරණයක් කියන්නේ නම් එය ශ්‍රේෂ්ඨ අධිකරණයක් වන්නේ කෙසේද? දැන් එම ශ්‍රේෂ්ඨාධිකරණයේ ක්‍රියා කළාපය නිසාම මේ නීලකාස හොරුන්ට අධි චෝදනා බාර දීමට පවා නොහැකි වී තිබේ. කුප්‍රකට රාඩා හොරකමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට රටේ අධිකරණ පද්ධතිය ශ්‍රී ලංකාවේ නීති ගරුක පුරවැසියන්ට ‘නීති සර්කස්‘ පෙන්වද්දී නීලකාස හොරුන්ට නිදැල්ලේ සිය චෞර රංගනයන් පෙන්වීමට ඉඩ සලසා දී ඇත.

රාඩා හොරකම

මේ පිලිබඳව ප්‍රථමයෙන් පැමිණිල්ල ගොණු කරන ලද්දේ 2015 පෙබරවාරි 28 වෙනිදා ය. එම වසරේම මාර්තු 31 වෙනි සිට පොලිස් පරීක්ෂණ ආරම්භ කෙරිණ. ඒ අනුව මාර්තු 26 වෙනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට B 642/2015 දරණ බී වාර්තාව මගින් කරුණු වාර්තා කරන ලදී

රාඩා ආයතනයේ ආරම්භය

2005 නොවැම්බර් 28 වෙනිදා එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඒ තාක් කල් සුබ සාධනය සඳහා තිබූ රජයේ ආයතන ඉවත් කර ඒ වෙනුවට රාඩා ආයතනය ස්ථාපිත කරන ලදී. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දෙන්නේ 2005 නොවැම්බර් 19 දා වන අතර 28 දා වන විටම සොරකම් සඳහා වංගු ගැසිය හැකි මෙකී රාඩා ආයතනය පිහිටුවීම සැලකිය යුතුය. 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙන්නේ එල්ටීටීඊය සමග ගැසූ රහසිගත ගිවිසුමක් අනුව එල්ටීටීඊයට මුදල් දී ඔවුන් ලවා උතුරේ ඡන්ද වර්ජනය කරවා ගැනීමෙනි. එම කපුකමේ ප්‍රධාන චරිතය වූයේ ටිරාන් අලස් ය. ජනාධිපති වූ දින උදයේ ටිරාන් අලස් මහින්ද රාජපක්ෂ හමුවීමට ගිය විට “මල්ලී උඹ තමයි මා දිනෙව්වේ“ කියා ඔහුව බදා ගත්තේ යයි එවක මාධ්‍ය වාර්තා කර තිබිණ.

ඒ අනුව ඔහු ජනාධිපති වී දින 10 ක් යෑමටත් පෙර හැදූ රාඩා ආයතනයේ ප්‍රධානියා ලෙස පත් කරන ලද්දේ ටිරාන් අලස් ය. රාඩා නිලධාරී මණ්ඩලය මෙසේ විය.

1. සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා – ටිරාන් අලස්

අධ්‍යක්ෂ මණ්ඩලය වූයේ

2. සාලිය වික්‍රමසූරිය
3. තිලක් අමුණුගම
4. චන්ද්‍ර ප්‍රනාන්දු
5. වී. අබේගුණවර්ධන
රාඩා හොරකමේ ඉතිහාසය.

2005 දෙසැම්බර් 30 වෙනිදා ටිරාන් අලස් සහ සාලිය වික්‍රමසූරිය එල්ටීටීඊ ඡන්ද වර්ජනයේ දී එල්ටීටීඊ පාර්ශවය වෙනුවෙන් කටයුතු කළ එමිල් කාන්තන් නමැත්තා සමග කිලිනොච්චියට ගොස් පූවන්නන් ඉනි අවන් නමැති කිලිනොච්චියේ එල්ටීටීඊ ප්‍රාදේශීය නායකයා සමග සාකච්ඡා කරති. ඉන්පසු ඔහුත් සමග ගොස් කිලිනොච්චි, වවුනියා, මුලතිව්, ත්‍රිකුණාමලය සහ මඩකලපුවේ ප්‍රාදේශීය ලේකම්වරු සමග ද සාකච්ඡා කර සුනාමියෙන් විපතට පත් ජනතාවට නිවාස සෑදීම සඳහා නාම ලේඛන ඉල්ලා තිබේ. එම නම් වලට නිවාස සෑදීම සඳහා කොන්ත්‍රාත්කරුවෙක් තෝරා ගැනීම රජයේ ක්‍රියා පටිපාටියෙන් බැහැරව පූවන්නන් ඉනි අවන් නමැති එල්ටීටීඊ ප්‍රාදේශීය නායකයාට සහ ටිරාන් අලස්ට බාර දී තිබේ.

ටිරාන් අලස් හා එමිල් කාන්තන් නමැත්තා සමග ආනන්ද ශාන්තිකුමාර් නමැති අය හමු වී B & K Holdings නමැති ආයතනයක් පිහිටුවා ගනී. එහි අධ්‍යක්ෂවරුන් ලෙස ආනන්ද ශාන්තිකුමාර් හා ඔහුගේ දරුවන් වන ගජන් කුමාර්, කිෂෝ කුමාර්, සහ බාර්කව් ශාන්තිකුමාර් නමැති අයවලුන් පත් කරන ලදී. මෙම සමාගම 2005 දෙසැම්බර් 27 වෙනිදා සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇත.

B & K Holdings නමැති ආයතනය ලියාපදිංචි කිරීමට කටයුතු කරනු ලැබ ඇත්තේ ටිරාන් අලස් ගේ අනෙකුත් සමාගම් ලියාපදිංචි කරනු ලැබූ ලේකම් වරුන් විසින්ම ය. එහි නාමය එල්.එම්. මැනේජ්මන්ට් වේ.

2005 දෙසැම්බර් 27 දා ලියාපදිංචි කරනු ලැබූ B & K Holdings ආයතනය දෙසැම්බර් 30 වෙනිදාම කිලිනොච්චියේ පැවැති නිවාස සැදීම පිළිබඳ සාකච්ඡාවට සහභාගී කරගෙන තිබේ.

රජයේ ආයතන විසින් කොන්ත්‍රාත් පිරිනමද්දී අනුගමනය කළ යුතු ටෙන්ඩර් ක්‍රියා පටිපාටි කිසිවක් නොතකමින් B & K Holdings ආයතනයට මෙම ටෙන්ඩර් ප්‍රදානය කිරීමට කටයුතු කර තිබේ.

B & K Holdings ආයතනය හැටන් නැෂනල් බැංකුවේ සහ කොමර්ෂල් බැංකුවේ ගිණුම් දෙකක් ආරම්භ කර ඇත.

B & K Holdings නම් සමාගම සමග කොන්ත්‍රාත් කරගෙන යන අතර තුරදීම 2005 දෙසැම්බර් 30 වෙනිදා G S Builder & Consultant නමින් තවත් සමාගමක් ද පිහිටුවීමට කටයුතු කර ඇත. එම සමාගම ලියාපදිංචි කර නැත. නමුත් එහිද හවුල් කරුවන් ලෙස යොදා ගෙන ඇත්තේ පෙර කී ශාන්ති කුමාර් සහ ගජන් කුමාර් දෙදෙනාම ය.

ඉන් අනතුරුව ඉදිරි සංවර්ධන කටයුතු සඳහා උපදේශන සමාගමක් ලෙස කටයුතු කිරීමට මෙකී G S Builder & Consultant සමාගම තෝරා ගෙන ඔවුන්ගෙන් නිවාස ඉදිකිරීම් කටයුතු සඳහා සමාගම් 3 ක් නම් කරන ලෙස රාඩා ආයතනය විසින් ඉල්ලා තිබේ.

අපූරු නාටකය එන්නේ මෙහිදී ය. ඉහත කී ඉදිකිරීම් කටයුතු සඳහා G S Builder & Consultant සමාගම විසින් සමාගම් 3 ක් නම් කිරීමේ දී ඔවුන් තෝරන්නේ B & K Holdings සමාගම සහ තවත් ලියාපදිංචි නොකළ සමාගම් දෙකකි. පසුව B & K Holdings සමාගම නිවාස ඉදිකිරීම සඳහා තෝරා ගෙන තිබේ. හොරාගේ අම්මාගෙන් පේන ඇහීමටත් එහා ගොස් ටිරාන් අලස් සහ රාඩා ආයතනය විසින් හොරුන්ගෙන්ම පේන ඇසීම සිදුකර තිබෙන බව පැහැදිලිය.

ටෙන්ඩර් මණ්ඩලයට රජයේ නිලධාරියා වශයෙන් සිටි ඩිල්ස් අබේසූරිය නමැති අය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ මෙම ටෙන්ඩරය ප්‍රදානය කිරීමේ දී නියමිත රජයේ ටෙන්ඩර් පටිපාටින් අනුගමනය කර නොමැති හෙයින් මෙම ටෙන්ඩරය ප්‍රදානය කළ නොහැකි බවත් අවම මිල ගණන් නිර්දේශ කිරීමට පමණක් හැකි බවත් ය. එම ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති ලෙස සාලිය වික්‍රමසූරිය කටයුතු කළ අතර කෞෂල්‍ය රාජපක්ෂ හා රජයේ නිලධාරියා ලෙස ඩිල්ස් අබේසූරිය ද සෙසු අය ලෙස ක්‍රියා කර තිබේ.

පසුව කිසිවක් නොතකා B & K Holdings නමැති සමාගම මෙම ටෙන්ඩරය ප්‍රදානය කිරීමට තෝරා ගෙන ඇති අතර ඔවුන් කිසිදු ඉදිකිරීමක් නොකර රජයෙන් අරමුදල් ලබා ගෙන තිබේ.

රාඩා ආයතනයේ මුදල් අධ්‍යක්ෂ වූ ජයන්ත ඩයස් සමරසිංහ යන අය විසින් වවුචර් සඳහා චෙක්පත් ලබා දී තිබෙන අතර ඒ සඳහා කිසිදු රජයේ මූල්‍ය රෙගුලාසියක් අනුගමනය කර නැත.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නිවාස 400 ක් ඉදිකිරීම සඳහා ව්‍යාපෘතියක් 2006 පෙබරවාරි මස සිට අප්‍රේල් මස දක්වා සිදුකර ඇතැයි සඳහන් කර වවුචර් ඉදිරිපත් කර චෙක්පත් 4 කින් මුදල් ලබා ගැනීමට කටයුතු කර තිබේ. නමුත් ඒ එකදු නිවසක් හෝ ඉදි කිරීමට පස් පිඩැල්ලක් හෝ කපා නැත.

මෙවැනිම තවත් ව්‍යාජ සමාගමක් පිහිටුවා තිබේ. ඒ මඩකලපුවේ නිවාස හැදීම සඳහා යැයි කියමිනි. එහි නම Everest Civil Engineering වේ. එය බස්නාහිර පළාත් සභාවේ හවුල් ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කර ඇති අතර එම දිනය වන්නේ 2006 පෙබරවාරි 23 දා ය. එහි හවුල්කරුවන් වන්නේ කන්දසාමි සෝතිරාජන් සහ කරුපයියා සසිකුමාර ය. මේ දෙදෙනාම එල්ටීටීඊ සාමාජිකයන් වන අතර ඔවුන් වවුනියාවේ පදිංචිව සිටි එමිල් කාන්තන් ගේ පාසැල් මිතුරන් වෙති.

මෙකී Everest Civil Engineering සමාගමට ද හැටන් නැෂනල් බැංකුවේ සහ කොමර්ෂල් බැංකුවේ ගිණුම් දෙකක් තිබී ඇත.

ඉහත ආකාරයටම මෙම එවරස්ට් සමාගමටද රජයේ ටෙන්ඩර් පටිපාටි කිසිවක් අනුගමනය නොකරමින් මඩකලපුවේ නිවාස 400 ක් හැදීමට කියා ටෙන්ඩරයක් ප්‍රදානය කර තිබේ. ඔවුන්ද එකදු නිවසක් හෝ නොහදා ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර චෙක් පත් 9 කින් රු.මිලියන 125 ක පමණ මුදලක් ලබාගෙන තිබේ.

මේ සඳහා ප්‍රාදේශීය ලේකම්ලාගේ අත්සන් සහ නිර්දේශ ලබාගෙන ඇත්තේ බලහත්කාරයෙනි. ටිරාන් අලස්ගේ දේශපාලන බලවත් කම් නිසා සහ එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයට ඇති බිය නිසා ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් අදාල අත්සන් සහ නිර්දේශ ලබා දීමට කටයුතු කළේ යැයි එම ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් පොලිසියට ලබා දුන් කට උත්තර වල දැක්වේ.

2006 ජුනි මාසය වෙද්දී කිසිදු ඉදි කිරීමක් සිදුකර නොමැති බවත් රජයේ දේපොල හා රජයේ මුදල් අවභාවිත කර ඇති බවත් කියමින් රාඩා ආයතනයට චෝදනා එල්ල වී ඇති අතර චෝදනා නැගෙද්දී සාලිය වික්‍රමසූරිය රාඩා ආයතනයෙන් ඉවත් වී වරාය අධිකාරියේ සභාපති ධූරය ලබා ගෙන තිබේ.

පසුව චන්ද්‍ර ප්‍රනාන්දු විසින් Everest Civil Engineering සමාගම සමග සාකච්ඡා කර 2006 සැප්තැම්බර් 23 දා ඔවුන් සමග එතෙක් තිබූ ගිවිසුම් අවසන් කිරීමට කටයුතු කර තිබේ. එම අවසන් කිරීමේ ගිවිසුමට අත්සන් කර ඇත්තේ සාලිය වික්‍රමසූරිය, ජයන්ත ඩයස් සහ ගජන් කුමාරන් නමැති අය පමණක් වන අතර අනෙක් තිදෙනා සඳහා යොදා ඇත්තේ ව්‍යාජ අත්සන් වේ.
නඩු අහන්නත් කලින් හොරා වරදක් කළා යැයි ශ්‍රේෂ්ඨාධිකරණයට නොපෙනෙන්නේ ලු

ටිරාන් අලස් විසින් මෙලෙස අමු අමුවේ මහ දවාලේ සිදුකරන මේ හොරකමේ මුළු වටිනාකම රු. මිලියන 650 ක් හෙවත් රුපියල් කෝටි 65 ක් පමණ වෙතැයි මේ වන විට හෙලිදරව් වී තිබේ. මෙය මේ ශත වර්ෂයේ සිදුකළ නීලකාසම හොරකම වූ රාඩා හොරකම ගැන සරල සහ කෙටි විස්තරයකි. මෙම හොරකමේ සැබෑ ජුගුප්සාජනක දේ නම් එල්ටීටීඊය සමග යුද්ධ කරමින් ඔවුන් සමගම එක් වී රජයේ ආයතනයක්ම රජයේ මුදල් කෝටි ගණන් සොරකම් කිරීමයි. මේ අවධියේදී ටිරාන් අලස් තම මාධ්‍ය ආයතනයද ආරම්භ කෙළේය. එහිදී සාමාන්‍යයෙන් පුවත් පතක් ආරම්භ කිරීමට යන වියදම හා සමාන මුදලක් එහි ආරම්භක උත්සවය සඳහා ඔහු වියදම් කෙළේ බොහෝ මාධ්‍යවේදීන් පුදුමයට පත් කරමිනි. පුදුම වීමට දෙයක් නැත. එදා ඔහු වියදම් කර ඇත්තේ රජයෙන් හොරකම් කරන ලද මුදල් වලින් සොච්චමකි.

මේ තරම් නීල කාස හොරෙක් සම්බන්ධයෙන් 2015 සැප්තැම්බර් 02 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් දෙමින් කියා සිටින්නේ ටිරාන් අලස් වරදක් කළා යැයි නොපෙනෙන නිසා ඔහුව අත් අඩංගුවට නොගන්නා ලෙසයි. පුදුමයි ඒත් ඇත්තයි..! ශ්‍රේෂ්ඨාධිකරණය එසේ කියන්නේ හොරා විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමිනි. මෙයද විහිළු සහගත තත්ත්වයකි. පහළ අධිකරණයකින් මේ තරම් විශාල හොරකමක් ගැන විභාග කෙරෙද්දී හොරාට ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළ හැකිද? මේ ආකාරයට රටේ ඕනෑම හොරෙකුට මිනීමරුවෙකුට තමාට එරෙහිව පහල අධිකරණයේ නඩුවක් විභාග වෙද්දී ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර අත් අඩංගුවට ගැනීමෙන් සහ දඬුවම් ලැබීමෙන් වැළැකී සිටිය හැකි වනු ඇත.
රාඩා හොරකමේ මහ මොළ කරු ටිරාන් අලස් බේරා ගැනීමට රටේ අධිකරණය ජනතාවට පෙන්වන නීති සර්කස් එක මෙසේය

අධි චෝදනා ලබා දීම

2016 අගෝස්තු 23 වෙනිදා කොළඹ මහාධිකරණයේ අංක 05 අධිකරණයේදී අංක 8377/16 දරණ නඩුව ගොණු කර චුදිතයන් වූ ටිරාන් අලස් ඇතුළු පිරිසට අධි චෝදනා පත්‍ර ලබා දීමට කටයුතු කර තිබේ. එහි විත්තිකරුවන් වූයේ
ටිරාන් අලස්
එමිල් කාන්තන්
සාලිය වික්‍රමසූරිය
ජයන්ත ඩයස් සමරසිංහ යන අයවලුන් ය.

එදින විත්තිකරුවන් අධි චෝදනා බාර ගන්නේ නැත.

ඔවුන් දන්වා සිටියේ 2015 සැප්තැම්බර් 02 දා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය අනුව ටිරාන් අලස්ට එරෙහිව වරදක් නොපෙනෙන බව පවසා ඇති නිසා ඔහුව අත් අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් ලබා දී ඇති බැවින් මහාධිකරණයේදී වරදක් කළ බවට අධි චෝදනා ලබා දීම පිළිගත නොහැකි බවයි. නැවත ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව කැඳවන බැවින් එහි නියමය අනුව කටයුතු කරන ලෙස විත්තිකරුවන් ඉල්ලා සිටියහ.

නමුත් 2015 අප්‍රේල් 06 වෙනිදා ශාන්ති කුමාර්, ගජන් කුමාර්, දෙදෙනා අත් අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී ප්‍රධාන සැකකරු ටිරාන් අලස් බව පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. 2015 අප්‍රේල් 07 වෙනිදා සිට 2015 මැයි 19 වෙනිදා දක්වා ටිරාන් අලස්ව අත් අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් නීතිපති උපදෙස් ඉල්ලා සිටි අතර 2015 මැයි 19 වෙනිදා ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස නීතිපති උපදෙස් දුන් නමුත් ඔහුව අත් අඩංගුවට නොගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිසියට නොතීසි ලැබිණ.

2015 මැයි 27 දින අධිකරණයේ කරුණු දක්වන ලද බවත්, 2015 අගෝස්තු 05 වෙනිදා ලිඛිත දේශණ බාර දුන් බවත් කියමින් 2015 සැප්තැම්බර් 02 දා අගවිනිසුරු තුමා, ඊවා වනසුන්දර, රෝහිණී මාරසිංහ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් අතුරු තහනම් නියෝගයක් ලබා දෙමින් ටිරාන් අලස් අත් අඩංගුවට ගැනීම වලක්වන ලදී

ඉන්පසු 2016 අගෝස්තු 23 දා නැවතත් මහාධිකරණයේ නඩුව කැඳවන ලද අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් නොමැති බැවින් 2016 අගෝස්තු 29 වෙනි දා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය අනුව අධි චෝදනා පත්‍ර බාර ගැනීමට කටයුතු කරන බව ටිරාන් අලස් ඇතුළු විත්තියේ පාර්ශවය දන්වන ලදී.

ඉන්පසු 2016 අගෝස්තු 29 වෙනිදා ශ්‍රේෂඨාධිකරණය දක්වා ඇත්තේ 2016 ඔක්තෝම්බර් 05 වෙනිදා නියෝගය ලබා දෙන බවය. ඒ අනුව මහාධිකරණය 2016 ඔක්තෝම්බර් 06 වෙනිදා මහාධිකරණයේ නඩුව ඇසීමට නියෝග කළේය. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ඔක්තෝම්බර් 05 වෙනිදා නඩුව ඔක්තෝම්බර් 10 වෙනිදාට කල් තැබුවා මිස නියෝගයක් දුන්නේ නැත.

ඉන්පසු ඔක්තෝම්බර් 06 වෙනිදා මහාධිකරණයේ දී විත්තිකාර ටිරාන් අලස් සහ චෞර රැල තර්ක කෙළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු තහනම් නියෝගය අනුව අධිචෝදනා ඉදිරිපත් කිරීමට මහාධිකරණයට හැකියාවක් නැති බවයි. යලිත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව විභාගයට ගැනෙන්නේ ලබන ඔක්තෝම්බර් 10 වෙනි දාය. ඒ අනුව මහාධිකරණය විසින් යලිත් නඩුව 2016 නොවැම්බර් 2 වෙනිදාට කල් තබන ලදී.

ඉහත අවසන් වාරයේදී එනම් ඔක්තෝම්බර් 05 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය නීති ගරුක මහජනතාවට කොකා පෙන්වා තිබේ. එනම් ඔක්තෝම්බර් 05 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී නඩු ගොණුව 403 දරණ අධිකරණයේ තිබී ඇත. එහි විනිසුරුවරිය වූයේ ඊවා වනසුන්දර ය. එදින අගවිනිසුරු තුමා අසුන්ගෙන තිබුනේ 502 අධිකරණයේ ය. ඊවා වනසුන්දර කියා සිටියේ අගවිනිසුරු තුමා නියෝගය ලබා දීමට නියමිත බවත් එතුමා වෙනත් අධිකරණයක සිටීම නිසා නඩුව ඔක්තෝම්බර් 10 වෙනිදිනට කල් තබන බවයි.

මේ අධිකරණ දෙක විසින් රටේ නීති ගරුක මහජනතාවට පෙන්වන මෙකී නීති සර්කස් එක මේ ආකාරයට තව ඕනෑම තරම් කාලයක් ඇදිය හැකිය.
මෙම නඩුවේ ඇදිල්ල රබර් පරදනු ඇත.

මෙම නඩුව විභාග වූ පහත දැක්වෙන ආකාරය නිරීක්ෂනය කළ විට ඒ බව මනාව පැහැදිලිය.

ටිරාන් අලස් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අංක SC FR 171/2015 දරණ මූලික අයිතිවාසිකම් නඩුවේ කැඳවීම් මෙසේය

2015 මැයි 27 – මුල්වරට ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවන ලදී පෙත්සමේ ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බැලීමට දින ලබා දෙන ලදී 2015 ජුනි 11 වෙනිදිනට කල් තබන ලදී

2015 ජුනි 11 – කැඳවන ලදී 2015 ජුනි 29 දිනට කල් තබන ලදී
2015 ජුනි 29 – කැඳවන ලදී 2015 ජුලි 06 දිනට කල් තබන ලදී
2015 ජුලි 06 – කැඳවන ලදී 2015 ජුලි 10 දිනට කල් තබන ලදී
2015 ජුලි 10 – කැඳවන ලදී 2015 ජුලි 27 දිනට කල් තබන ලදී
2015 ජුලි 27 – කැඳවන ලදී 2015 ජුලි 28 දිනට කල් තබන ලදී
2015 ජුලි 28 – කැඳවන ලදී 2015 ජුලි 30 දිනට කල් තබන ලදී
2015 ජුලි 30 – කැඳවන ලදී 2015 අගෝ 05 දිනට කල් තබන ලදී
2015 අගෝ 08 – කැඳවන ලදී දෙපාර්ශවයෙන් ඉදිරිපත් කරන ලද ලිඛිත දේශන පරීක්ෂා කර දිනයක් ලබා දෙන බව සඳහන් කරන ලද අතර දිනයක් නියම කෙළේ නැත.
2015 සැප් 02 – අතුරු නියෝගයක් නිකුත් කරන ලදී. පවතින තත්ත්වය යටතේ පෙත්සම් කරු අත් අඩංගුවට ගැනීම වලක්වාලමින් එකී නියෝගය නිකුත් කළේය.
2015 නොවැ 19 – කැඳවන ලදී සලකා බලනවා කියා 2016 ජන 22 දිනට කල් තබන ලදී
2016 ජන 22 – කැඳවන ලදී 2016 මාර්තු 30 දිනට කල් තබන ලදී
2016 මාර්තු 30 – කැඳවන ලදී 2016 අගෝ 09 දිනට කල් තබන ලදී
2016 අගෝ 09 – කැඳවන ලදී 2016 සැප් 28 දිනට කල් තබන ලදී
2016 සැප් 28 – කැඳවන ලදී 2016 ඔක් 05 දිනට කල් තබන ලදී
2016 ඔක් 05 – කැඳවන ලදී 2016 ඔක් 10 දිනට කල් තබන ලදී

රබර් පරදන ඇදිල්ලේ තරම එසේය

මේ මහා හොරකමේ අනෙකුත් සැකකරුවන් වන
1. ශාන්තිකුමාර් ගජන් කුමාර්
2. ආනන්දි ශාන්ති කුමාර්
3. කන්දසාමි සෝදිරාජා
4. රොහාන් සාලිය අබේසිංහ වීර වික්‍රමසූරිය
5. පොන්මුඩී ශ්‍රී හර සුදන්
6. ජයන්ත ඩයස් සමරසිංහ

යන අයවලුන් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර පසුව ඇප මත නිදහස් කර තිබේ. නමුත් ටිරාන් අලස් නමැති ප්‍රධාන සැකකරුවා පමණක් අත් අඩංගුවට ගැනීමෙන් බේරා ගැනීම සඳහා පමණක් නොව මේ වන විට අධි චෝදනා බාර දීමෙන් පවා බේරා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියා කර තිබෙන ආකාරය ගැන රටක නීති ගරුක පුරවැසියන්ට කිසි සේත්ම සතුටු විය නොහැකිය. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලැජ්ජා විය යුතුය.

– ස්තුතිය lanka e newsට

Back to Top