Sri Lanka Brief
පුවත් විශේෂාංග”උසාවිය නිහඬයි” – ජාතියේ හෘද සාක්ෂිය පිළිබඳ විභාගයක් – සුනිල් ජයසේකර

”උසාවිය නිහඬයි” – ජාතියේ හෘද සාක්ෂිය පිළිබඳ විභාගයක් – සුනිල් ජයසේකර

by

ප‍්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ”උසාවිය නිහඬයි” චිත‍්‍රපටයේ ප‍්‍රදර්ශනය අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. දිසා අධිකරණය එම වාරණ නියෝගය ලබා දී ඇත්තේ මෙම මස 19 වන දින තෙක් බලපැවැත්වෙන ආකාරයට ය. අදාළ වාරණයට නිමිත්ත වී ඇත්තේ මහේස්ත‍්‍රාත්වරයෙකු ලෙස කලක් අධිකරණ සේවයේ නිරතව සිටි අයෙකු විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකි.

ඒ අනුව මෙම නියෝගය හා බැ`දුණ පසුබිම අංශ තුනකට අදාළව සලකා බැලිය යුතු වැදගත් ප‍්‍රස්තුතයකි. එනම් චිත‍්‍රපට හෝ වෙනත් කලා නිර්මාණයක් සඳහා ඇති අයිතිය, පුද්ගල අපහාසය හා අධිකරණයේ කීර්ති නාමය ද ඇතුළත් අධිකරණයේ ස්වාධීනත්වය යි. කලාකරුවන් ද ඇතුළත් නිර්මාණකරුවාගේ නිදහස ශුද්ධ වූ අයිතියක් බව දැනුවත් හා ශිෂ්ඨ සම්පන්න සමාජයේ පිළිගැනීමය. ඒ සමගම පිළිගත යුතු කරුණක් වන්නේ වාරණයේ ඉතිහාසය කලා මාධ්‍යයන් හි ඉතිහාසය තරම්ම ඉපැරණි බවය. බොහෝ විට ඒ ස`දහා හේතුපාදක කර ඇත්තේ සදාචාරය හා ආචාර ධර්ම පිළිබඳ කරුණුය.

ලෙනින් රත්නායක ( පුස්තකාල ජායාරූපයකි)

චූදිතයා ලෙනින් රත්නායක ( පුස්තකාල ජායාරූපයකි)

චන්ද්‍රෙල්ඛා ( පුස්තකාල ජායාරූපකි)

පැමිණිළිකාරිය  චන්ද්‍රෙල්ඛා ( පුස්තකාල ජායාරූපකි)

ඒ අනුව ප‍්‍රසන්න විතානගේ නිර්මාණය කළ ”උසාවිය නිහඬයි” චිත‍්‍රපටය ට ලබා දී ඇති වාරණය එම මිණුම් දඬු මත ලබා දී ඇති වාරණයක් ලෙස සැලකිය නොහැක්කේ එය හුදු චිත‍්‍රපට සමීක්ෂණ මණ්ඩලයකින් හෝ ප‍්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය වැනි ආයතනයක් විසින් කළ ඉල්ලීමක් මත සිදුවූවක් නොවන නිසාය. ඒ නිසාම එය සදාචාරය හා ආචාර ධර්ම වලින් බැහැරව සලකා බැලීමට ද නොහැකිය. මක්නිසාද යත් පුරවැසියෙකුගේ අයිතිය සමාජ ආරක්ෂාව හා යුක්තිය පසිඳලීම වැනි කරුණු ද සදාචාරය හා ආචාර ධර්මයන් මත අත්‍යන්තයෙන්ම බැඳී පවතින නිසාය.

කෙසේ නමුත් එවැනි වාරණයක් ඉල්ලා ඇත්තේ මේ රටේ අධිකරණ ක්ෂේත‍්‍රයෙහි එක්තරා කාලයක දී මහේස්ත‍්‍රාත්වරයෙකු ලෙස ක‍්‍රියාකාරී භූමිකාවක නිරත වූ පුද්ගලයෙකි. ඔහු එම වාරණය ඉල්ලා සිටිමින් අධිකරණයට දැනුම් දී ඇත්තේ මෙම චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය වුවහොත් එමගින් තමන් වෙත අප‍්‍රතිකාරී හානියක් සිදුවීම වැළැක්විය නොහැකි බවය. එනම් පසුව පිළියම් යොදා සුවපත් කළ නොහැකි හානියක් එමගින් සිදුවන බවය. ඔහුගේ මෙම ඉල්ලීම තුළ මෙන්ම උසාවිය නිහඬයි චිත‍්‍රපටය මගින් ප‍්‍රකාශිත තේමාව තුළ ද ඇත්තේ එකම එක කාරණයකි. එනම් පසුව සුවපත් කළ නොහැකි හානියක් සිදුව ඇති කාන්තාවන් දෙදෙනෙකු පාදක කරගනිමින් උසාවිය නිහඬයි චිත‍්‍රපටය ද නිර්මාණය වී තිබීමය. ඒ අනුව ඉතා පැහැදිළි ලෙසම පැමිණිලිකාර හිටපු මහේස්ත‍්‍රාත්වරයාට හෝ චිත‍්‍රපටයට පාදක වී ඇති මේ රටේ අදත් ජීවතුන් අතර සිටින කාන්තාවන් දෙදෙනාට යුක්තිය ඉටු කළයුතුව තිබේ.

එහිදී සමාජයේ ජීවත් වන හෘද සාක්ෂියක් ඇති පුරවැසියන් මෙන්ම අධිකරණයේ ගෞරවය ද මුල්කරගත් සමාජයේ ආරක්ෂාව උදෙසා පෙනී සිටින දැනුවත් සමාජය කිසිසේත්ම අමතක නොකළ යුතු ඉතිහාසයක් ද තිබේ. එය මෙම නඩුවේ පැමිණිලිකරුට ද ශ‍්‍රී ලංකාවේ අධිකරණයට ද උසාවිය නිහඬයි චිත‍්‍රපටයට ද අතිශයින්ම අදාළය. වෙනත් ආකාරයට පැහැදිළි කරන්නේ නම් උසාවිය නිහඬයි චිත‍්‍රපටයට ප‍්‍රස්තුත වී ඇත්තේ ද එම කරුණමය. එනම් අධිකරණයේ බලය නිහීන ආකාරයට උපයෝගි කරගනිමින් අහිංසක ස්ත‍්‍රීන් දෙදෙනෙකු දූෂණයට ලක්කළ මහේස්ත‍්‍රාත්වරයෙකු පිළිබඳ පුවතකි. කලක් මේ රටේ අධිකරණ ක්ෂේත‍්‍රය තුළ මෙන්ම දැනුවත් සමාජ කණ්ඩායම් අතර මහත් ආන්දෝලනයක් ඇතිකළ මෙම පුවත මුල්කරගනිමින් පළවී ඇති පුවත්පත් වාර්තා විශාල ප‍්‍රමාණයක් තිබේ. එයට අමතරව සිංහල හා ඉංග‍්‍රීසි භාෂාවෙන් පළ වී ඇති ලෝක මට්ටමේ අවධානයක් යොමු වූ ග‍්‍රන්ථයක් ද වේ. එමෙන්ම මහේස්ත‍්‍රාත් අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාම විභාගයට ගැණුනු නඩු ගණනාවකදී ම මෙම සිද්ධිය පුළුල් ලෙස සාකච්ඡුාවට ද බඳුන් වී ඇත. එපමණක් ද නොව පසුකාලයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් ලෙස කටයුතු කළ එවකට අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වූ අමීර් ස්මයිල්, හෙක්ටර් යාපා සහ පී.එදිස්සූරිය යන ත‍්‍රිපුද්ගල විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් විසින් ද විමර්ශනය කර තිබේ. එම විමර්ශන කමිටුව පත්කරන ලද්දේ ද ශ‍්‍රී ලංකාවේ අධිකරණ සේවා කොමිසම මගිනි.

ඒ අනුව ප‍්‍රසන්න විතානගේ නිර්මාණය කළ ”උසාවිය නිහඬයි” චිත‍්‍රපටයට පාදක වී ඇති තේමාව මේ රටේ හුදකලා වූ හෝ මනෝමය සිදුවීමක් නොවේ. එහෙත් චිත‍්‍රපටයේ අන්තර්ගතය තුළින් විදහා දැක්වෙන ඛේදවාචකයේ ගොදුරු බවට පත්ව ඇති කාන්තාවන් වෙත අද වන තෙක්ම යුක්තිය ඉටුවී ඇති බවක් නොපෙනේ. සමාජයක් ලෙස අප බලවත් ආකාරයට ප‍්‍රශ්න කළ යුතුව ඇති ප‍්‍රධානම කරුණ වන්නේ එයයි. අනෙක් අතට චූදිත හිටපු මහේස්ත‍්‍රාත්වරයා ද දැන් අධිකරණය වෙතින් යුක්තිය අයැද තිබේ. ඒ අනුව මෙම නඩු විභාගය මෙරටේ හෘද සාක්ෂිය පරීක්ෂාවට ලක්කරන වැදගත්ම නඩු විභාගයක් බවට නිසැක වශයෙන්ම පත්වනු ඇත.

එහිදී යුක්තිය ඉටුවිය යුතුව ඇත්තේ පැමිණිලිකාර හිටපු මහේස්ත‍්‍රාත්වරයාට හෝ චිත‍්‍රපටයේ අධ්‍යක්ෂක ප‍්‍රසන්න විතානගේ යන දෙදෙනාගෙන් එක් අයෙකුට පමණක් නොවේ. ”උසාවිය නිහඩයි” චිත‍්‍රපටයට පාදක වී ඇති චරිත වන අසරණ කාන්තාවන් දෙදෙනාට ද එය වලංගු වියයුතුය. එපමණක් ද නොව මේ රටේ අධිකරණයේ ගෞරවයට හා කීර්ති නාමයට ද මෙම නඩු විභාගය අතිශයින්ම අදාළ විය හැකිය.

– සුනිල් ජයසේකර

Back to Top