Sri Lanka Brief
විවරණජනවාර්ගික ප්‍රශ්ණය: එදා ඇරඹූ තැනටම නැවත පැමිණීම – රංජිත් හේනායකආරච්චි

ජනවාර්ගික ප්‍රශ්ණය: එදා ඇරඹූ තැනටම නැවත පැමිණීම – රංජිත් හේනායකආරච්චි

by

( 83 ජූලි දෙමළ විරෝධී ප්‍රහාර   Photographs by Chandragupta Amarasinghe)

වසර 68 ක්ම සියළු දුර්ධාන්තයන් අතර කරක් ගසා බොහෝ විනාශයන් ඉක්මවා අප දැන් පැමිණ සිටින්නේ එදා 1948 අපි පටන් ගත් තැනටමය. සුදු අධිරාජ්‍යවාදීන් අපටම අපව පාලනය කර ගැනීමට ඉඩ සලස්වා දී ඉවත්ව ගිය තැන අපට අපේම වුන් යටපත් නොකොට පාලනයක් පවත්වා ගැනීමට නොහැකියාවෙන් සියළු දුක් මේ වන විට රටක් සහ සමාජයක් වශයෙන් ලංකා සමාජය විදවා ඇති බවත් එම තුවාලවල වේදනාවෙන් ලංකා සමාජය තාමත් පෙලෙන බවත් මගේ වැටහීමයි. නමුත් සියලු සිදුවීම් වේදනා සහ විනාශයන්හි ආරම්භය එම ප්‍රශ්නවලට මුල කොයිද කියා සිතීමේ තර්කාන්විත සිතිවිල්ලට ලංකා සමාජයෙන් විශාල පිරිසක් මෙන්ම දේශපාලන පක්ෂ මෙන්ම බලවේගයන්ගෙන් විශාල පිරිසක්ද එක අංසුවකින්වත් ලංවී ඇති බවක් පෙන්නුම් නොකරන බව ලංකාවේ දේශපාලන බලවේගයන්ගේ හඬ නැගීම් සහ ප්‍රකාශයන්ගෙන් පැහැදිලි වේ.

හේතුඵලවාදය මුල් කරගත් උතුම් දර්ශනයක් ඇති ආගමක් වන බුද්ධාගම මුල්කරගත් සමාජයක් එම දර්ශනයට එහෙම්පිටින්ම පටහැනි අතාර්තික කෝණයකින්ම ප්‍රශ්න විග්‍රහ කරන බවත් හේතුව වෙනුවට පලයට විසදුම් සෙවීමේ මුග්ධ මාර්ගයම අනුගමනය කරන බවත් පෙන්නුම් කරති.

ලංකා දූපත් රාජ්‍ය තුල සෑම ජනවර්ගයකටම එක හා සමාන අයිතීන් තහවුරු කිරීමට අසමත්වීම තුල වසර 30 කට ආසන්න යුද්ධයක් ඇති කර ගත් බව ලංකා සමාජයේ බොහෝ දෙනෙකු තේරුම්ගත් බවක්වත් පෙන්නුම් නොකරති. ප්‍රශ්නය ඇති වීමේ හේතුව හදුනා නොගැනීම තුල එහි ඵලයක් වූ යුද්ධය නන්දිකඩාල්වලින් අවසන් කිරීමෙන් තමන් ප්‍රශ්නයට විසදුම් දුන්නාය යන උජාරුවකින් උදම් අනති. නමුත් යුද්ධය යනු හේතුව නොව ඵලය බව හදුනානොගැනීම හේතුවෙන් තාවකාලිකව යටපත් කළ ප්‍රශ්නය නැතිනම් අර්බුදය ඇති කළ හේතුව එසේම පවතින බවත් එය නැවත මතුවන බවත් අප මතක තබා ගත යුතු වෙමු. අඩුම තරමෙන් ලංකාවේ ජනයගහනයෙන් 64% වන බෞද්ධයන්වත් මෙම ඵලයට විසදුම්දීමෙන් හේතුව අහෝසි නොවන බව තමන් අදහන ආගමේ මූලික සිද්ධාන්තයට අනුවවත් වටහා ගත යුතුය. නමුත් ලංකාවේ ජාතික පුවත්පත් වල දිනපතා ලියවෙන ලිපි සහ වාර්තා දෙසත්, ලංකා දේශපාලනය තුල වැජඹෙන ජනප්‍රිය සටන් පාඨ දෙසත් බැලීමේදී මෙම කොටස් ආගම ආගමටම සීමා කරගෙන මිස ආගමික දර්ශනය ජීවන දර්ශනයට, සමාජ ප්‍රශ්න විසදීමට අදාල කරගෙන ඇති බවක් පෙන්නුම් නොකරති. එදා නන්දිකඩාල්වලින් අවසන් කලේ ප්‍රශ්නය ඇතිවීමේ හේතුව නොව ‘ජනවාර්ගික අයිතීන්වලට දේශපාලන විසදුමක්’ යන දේශපාලන කාරණයට පිලිතුරු නොසැපයීමේ හේතුවෙන් හටගත් ඵලය වන යුද්ධයට බව බොහෝ දේශපාලන බලවේග වටහා නොගත් බව පෙන්නුම් කරයි. ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසදුම්දීමට ලංකා දේශපාලනය සමත් වූවානම් විමුක්ති කොටි හෝ ප්‍රභාකරන් කෙනෙක්වත්, යුද්ධයක්වත් ඇතිවීමට එදා ඉඩ නැති බව අප වටහා නොගැනීමම ප්‍රශ්නය හරි හැටි වටහා නොැනීමේ ඛෙදවාචකයයි.

ඉතිං මේ තත්වය තුල ඇති විශාලම අවධානම නම් අප සමාජය නැවත වතාවක් අප අර ගිය ගමනම නැවත යාමට සිදුවීමයි. නිදහසින් පසු ලංකාවේ පලවෙනි පාර්ලිමේන්තුවෙන් පුරවැසි පනත සම්මත කිරීම තුල ඉන්දීය සම්භවයක් ඇති ලෙස සැලකුණු උඩරට වතු කම්කරු ජනයාගේ පුරවැසි අයිතිය අහෝසි කරනු ලැබීය.එදා මෙසේ බලය තම අතට ගැනීමත් සමගම අනෙකාගේ නිදහස සහ අයිතීන් නැති කිරීම අරඹන ලාංකික පාලකයා (පක්ෂ භේදයකින් තොරව) 56,58,61,68,72,76,79, 81 ආදී වශයෙන් එකක් පසුපස එකක් ලෙස දිගින් දිගටම ජනවාර්ගික අයිතීන් ගැන කතා කළ සාමකාමී දේශපාලන ඉල්ලීම් යටපත් කිරීම සහ රාජ්‍ය ත්‍රස්තවාදය තුලින් පිලිතුරු සැපයීම කරනු ලැබීය. මේ සියලු අවස්ථාවන්හි දේශපාලන වශයෙන් කරන ඉල්ලීම් නොතක හැරීම රාජ්‍ය තන්ත්‍රයේ පොදු ක්‍රියාදාමය විය. තම අයිතීන් ඉල්ලීම, උද්ඝෝෂණ සහ විරෝධතා, සිවිල් නීති කඩකිරීම් සහ සත්‍යග්‍රහ තුලින් කියා පානු ලැබූ අතර ඒවාට සිංහල රාජ්‍ය බලය පිලිතුරු දෙනු ලැබුවේ ප්‍රචන්ඩත්වය තුලිනි. සෑම සාමකාමී දේශපාලන අයිතීන් ඉල්ලීමක්ම ‘රට බෙදීම’ යන තර්ජනයක අනතුරක් මවා පාමින් යටපත් කරනු ලැබීය. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ 83 සිද්ධියෙන් ඇරඹෙන යුද්ධයක් දෙසට මේ සාමකාමී බලවේග ඇද දැමිමයි.

මේ අප කවුරුත් දන්නා නිදහසින් පසු අප රටේ 68 වසරක ඉතිහාසයයි. දැන් නැවත අපි ප්‍රශ්නය ආරම්භ වූ තැනට පැමිණ ඇත්තෙමු. දෙමළ ජනයා තමන්ට ජන වර්ගයක් වශයෙන් හිමිවිය යුතු ප්‍රජාතන්ත්‍ර අයිතීන් ලෙස බලයේ කොටස් කරුවන් වීමට ඇති අයිතිය ගැන කතා කරති. දේශපාලන බලවේගයක් ලෙස පක්ෂ සහ සන්ධාන මත ඒකරාශී වී බලය විමධ්‍ය ගත කිරීමක් පිලිළිබඳව දේශපාලන ඉල්ලීමක් කරති. ඒ ඔවුන්ගේ අයිතියයි. ඔවුන් අද නැවත එදා මෙන් ආරම්භ කර ඇත්තේ සාමකාමීව තම අයිතීන් ඉල්ලා සිටීමයි. එයට ලංකා දේශපාලනය දෙන පිලිතුර එදා මෙන් අදද රට බෙදන්න හදනෝ කියා කෑ ගැසීම වූවොත් මෙයින් සිදුවිය හැකි විනාශය අප අත්විද ඇත්තෙමු. තම පටු දේශපාලන වාසි තකා ඒවාගේම අනෙකා යටපත් කිරීම තුලින් තෘප්තිමත් වීමට ඇති පහත් ගුණාංගය නිසාත් දේශපාලන විසදුමකට විරුද්ධව කෑ ගසන මෙවැනිම බලවේග අද ලංකා සමාජයේ නැවත දකින්නට ඇත. මොවුන් මෙතැනදී ඉතිහාසය අමතක කරමින් නැවත අර විනාශයට ලංකා සමාජය ඇද දැමීමට වෙර දරන්නේ තම තෘප්තිය සහ වාසිය සඳහා ජීවිත දස දහස් ගණනින් බිලිදීම අබමල් රේණුවක තරමින් වත් නොතකමිනි.

ලොව ඇති රටවල් 200කට ආසන්න ප්‍රමාණය අතුරින් ඇති රාජ්‍යන් තුල ආණ්ඩු ක්‍රම 2 ක් පවතී. 1 ක් මධ්‍යගත ඒකීය රාජ්‍යවන අතර අනෙක බලය බෙදා හල එක්සත් රාජ්‍යයයි. මෙම රාජ්‍ය ක්‍රම දෙකේම මධ්‍යම රජය ප්‍රධාන බලතල හොබවන අතර එක්සත් රාජ්‍යක ප්‍රා දේශීය පාලනය ප්‍රා දේශීය දේශපාලන බලයට නතුකර තිබේ. මේ දෙකෙන් කොයි ක්‍රමය තුලවත් රටක් බෙදීමක් සිදුනොවේ නමුත් එක්සත් බව යනු බෙදීමය යන්න අප රට තුල දේශපාලනය විසින් සමාජ ගත කර ඇති මිත්‍යා මතයක් පවතී. භාෂා ව්‍යවහාරය තුල පවා එක්සත් වීම වෙන්වීම ලෙස හැදින්වීම වැරදි හැදින්වීමකි. නමුත් මිත්‍යාවන් ආදරයෙන් වැලද ගැනීමට කැමති බොහෝ මිනිසුන් තම දෑස ඉදිරිපිට තිබෙන සත්‍ය වෙනුවට මිත්‍යාව වැළද ගැනීම ප්‍රිය කරති.

නමුත් විශාල විනාශයකට මුහුණ දුන් රටක් ලෙස දැන්වත් අප අපේ ඇස් විවර කළ යුුතුව ඇත්තෙමු. විශාල හානි සිදුවී හෝ අපට නැවත එම ප්‍රශ්න ඇතිවීම වලක්වා ගැනීමට දැන් අවස්ථාව උදාවී තිබේ. දෙමළ ජනයා තම අයිතීන් සාමකාමී දේශපාලන ඉල්ලීම් ලෙස ඉදිරිපත් කරති. ආණ්ඩුවේ ජනාධිපතිවරයා සහ අගමැති ඇතුළු කොටස් මෙ ප්‍රශ්නය සාමකාමීව දේශපාලනිකව විසදා ගැනීමට සූදානම් බවත් පවසති. ජාත්‍යන්තර ප්‍රජාව ඒ සඳහා තම ආශිර්වාදය දී ඇති අතර ඔවුන් ඒ සඳහා සහයෝගය දෙන අතර උදවීදීමටද සූදානම්ව සිටී.

දැන් ඇත්තේ මෙම ප්‍රශ්නය අපි අද විසදා ගන්නවාද නැතිනම් තවත් වසර ගණනාවක් ඒ ගැන තර්කවිතර්ක කරමින් ‘එහෙම වුනොත් මෙහෙම වෙයිද? දැන් ප්‍රශ්නයක් නෑනේ, රට බෙදෙයි, ජාත්‍යන්තර කුමන්ත්‍රණ’ ආදී නොයෙක් ප්‍රලාපයන් දොඩමින් ගතකර ලැබී ඇති අවස්ථාව මගහරවා ගන්නවාද? එසේ නැත්නම් එදා මින් වසර 68 කට කලින් කලා මෙන් එම මෝඩ තකතීරු ක්‍රියාදාමයම නැවත ක්‍රියාත්මක කරනවාද? මේ අද අප ඉදිරියේ ඇති තත්වයයි. අද

මෙම ප්‍රශ්නයට දේශපාලන විසදුමක් දෙනවාද යන්න තීරණය කිරීම අප රටේ ඉදිරි අනාගතය තීරණය කරනු ලබයි. විසදුමකට මාර්ගය හොදින් සැදී ඇත. පැහැදිලිව එම මග දැකිය හැක. දෑස පියාගෙන නම් එමග යා නොහැකි බව පැහැදිලිය. ඉතින් අපි දැන්වත් අපේ දෑස් විවර කරමුද?

Back to Top