Sri Lanka Brief
විවරණඋතුරෙන් දකුණෙන් ආ මා පියවරු – සුනන්ද දේශප්‍රිය

උතුරෙන් දකුණෙන් ආ මා පියවරු – සුනන්ද දේශප්‍රිය

by

(ජායාරූප:  ©s.deshapriya)

මා පියවරු යළිත් කොළඹට ආහ, අතුරුදහන් වූ සිය දරුවන්ගේ ජායරූප ද තුරුල් කරගෙන. යළි ඔව්හු මහමග පසෙකට වී එම පින්තූර ඔසවාගෙන සිටියහ. කතා පැවත්වූහ. කතා ඇසූහ.

නමුත් වෙනසක් තිබුණි. මේ අවස්ථාවෙහි දකුණේ මා පියවරුද උතුරේ මා පියවරුද එකට සිටගෙන සිටියහ. ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම සිට පැමිණ සිට මව්වරුන් දෙදෙනෙකු සමඟ මම කතා කළෙමි. ඔවුන්ගේ තරුණ පුතුන් දෙදෙනා 1989 අගභාගයේ දී මරා දමා තිබුණේ දිය නෑමට ඇලට ගිය අවස්ථාවේදීය. ඒ මවුවරුන් දෙදෙනා කියා සිටියේ තම දරුවන් වත්තකින් කුරුම්බා කා දිය නාමින් සිටියදී වෙඩි තබා තිබූ බවයි. මා පියන් දුටු ඒ මළ සිරුරු පොලීසිය රුගෙන ගියේය.

සිය දරුවන්ට වෙඩි තැබූ හේතුව දන්නේදැයි මම ඇසුවෙමි. “ ඒ කාලේ ඉතින් හන්දි හන්දි ගානෙ කොල්ලන්ට වෙඩි කියලා මැරුවා නොවැ” යැයි එක් මවක් කීවාය. සිය දරුවන්ට වෙඩි තබා මරා දමන ලද්දේ රත්ගම පොලීසියේ එවකට ප්‍රධානියා වූ ඩූල් අතුළු පිරිසක් විසින් බව මව්වරු දෙදෙනාම එක හඬින් කියා සිටියහ. අපේ දරුවන්ගේ සිරුරුවලට කළ දේ දැනගැනීමට තමන්ට අවශ්‍ය බවත් ඔව්හු කියා සිටියහ. ඔවුන්ට රුපියල් 15,000 බැගින් වන්දි මුදලක්ද තාවකාලික මරණ සහතික ද ලබා දී තිබුණි. තම දරුවන් සොයා රත්ගම පොලීසියට ගිය තමන්ට ‍‘වේසියන්’ යැයි පොලිස් නිලධාරීන් බැණ එළවා ගත් බවද ඔව්හු කීහ.

මාතර  30.08.2016 cmb (c) s.deshapriya-6231

ඇය පැමිණ සිටියේ අකුරැස්සේ සිටය ©s.deshapriya

තවත් අයකු පැමිණ සිටියේ මාතර දිස්ත්‍රික්කයේ අකුරුස්සේ ගමකිනි. 1989 අග භාගයේදී සිය ගමෙන් සහ අවට ගම්වලින් 200ක පමණ පිරිසක් හමුදා නිල ඇදුමින් සැරසුන පිරිස් විසින් රුගෙන ගිය බව ඇය කීවේය. ටික දිනකට පසු ඉන් තිස් දෙනෙකු හැර අන් සියල්ලන් ආපසු එවූ බවත් එම නොඑවූ තිස් දෙනාගෙන්ද 13 දෙනෛකු හැර අන් අය විවිධ සිර කඳවුරුවල සිට හමුවූ නමුත් සිය සැමියා ඇතුළු 13 දෙනෙකු යළි නොපැමිණි බවත් ඇය කීවාය. සිය සැමියා තවම ජීවතුන් අතර ඇතැයි සිතන්නේද කියා ඇසූ පැනයට ඇය කියා සිටියේ ‘‘දකින්නේ නැතිව කොහොමද කියන්නේ නේද?” කියාය. ඇයට රුපියල් 50,000ක වන්දි මුදලක්ද තාවකාලික මරණ සහතිකයක්ද ලැබී තිබුණි. තම සැමියා ජනතා විමුක්ති පෙරමුණට කිසිදු සම්බන්ධයක් නොතිබූ බවත් ඔහුගේ වැඩි මහල් සහෝදරයා ජවිපෙ විසින් මරා දමන ලද බවත් ඇය කීවේය‍.

මෙයට පෙර දහස් ගණනින් දකුණේ ජන පිරිස් සිය අතුරුදහන් වූ සිය  දූදරුවන්ගේ, සැමියන්ගේ සහ  ඥාතීන්ගේ  ජායරූප රුගෙන කොළඔට පැමිණියේ බොහෝ පෙරය. ඒ 1990 ගණන් මුලදීය. ඔවුන්ට නායකත්වය දුන්නේ මහින්ද රාජපක්ෂ සහ මංගල සමරවීර යන දේශපාලඥයින් දෙදෙනාය. ඔවන් අමතා කතා පැවැත්වූ උද්යෝගිමත් දේශපාලනඥයින් අතර වාසුදේව නානායක්කාර සහ දිනේශ් ගුණවර්ධන යන දේශපාලනඥයින් දෙදෙනාද විය. අද ඒ මහත්වරු මේ මාපියන්ගේ සහ ඥාතීන්ගේ දූ දරුවන් සොයා ගැනීමේ අරගලයට විරුද්ධය. ඔවුන්ට අද ප්‍රශ්ණය වී ඇත්තේ ආරක්ෂක හමුදාවන්හි පිරිස් මෙම ඝාතනයන්ට වගකිව යුතු බවට සනාථවනු ඇද්ද යන බියයි. යුක්තිය ඉටු කිරීම නොවේ.

එකළ එනම් 1990 ගණන් මුල භාගයේදී ඒ මහත්වරු ප්‍රසිද්ධියේම කෙී අතුරුදහන්වීම් උදෙසා වරද පැටවූයේ පොලීසියට සහ යුද හමුදාවටය. මේ මහත්වරුන් සියළු දෙනාම කොටස්කරුවන් වූ 1994 චන්ද්‍රිකා කුමාරතුංග ආණඩුව විසින් පත් කරන ලද කොමිෂන් සභා තුනක් මගින් යුද හමුදා සහ පොලිස් නිලධාරීන් ද 88-90 සමයෙහි රට පාලනය කළ එජාප දේශපාලනඥයින් ගණනාවක් ද මෙකී පැහැර ගැනීම් සහ අතුරුදහන් කරවීම් සම්බන්ධයෙන් වගකිව යුතු බවට තීරණය කරන ලදී. එකළ යුද්ධ හමුදා පිරිස් වරදකරුවන් සේ නම් කිරිම ගැන මේ රාජපක්ෂ සහ වාසුදේව වැනි මහත්වරු විරුද්ධ වූයේ නැත.

එම දේශපාලනඥයින් ගණනාවක්ම පසුව හොඳ රාජපක්ෂවාදින් බවට පත් වූහ. රාජපක්ෂ ආණ්ඩුවේ මැති ඇමැතිවරු බවට පත් වූහ. එළෙසනම් කරන ලද සමහරු මේ ආණ්ඩුවේද ඇමැති තනතුරු දරති.

සිතන්ඩි සිට පැමින සිටි පිරිස

සිතන්ඩි සිට පැමින සිටි පිරිස ©s.deshapriya

මඩකළපුවේ සිත්තන්ඩි සිට පැමිණි මවක් පැවැසූයේ යුද හමුදාව විසින් පැහැර ගත් සිය සැමියා ගැන තවම කිසිදු තොරතුරක් නැති බැවින් තමා මෙම රැස්වීමට සහ පා ගමනට සහභාගිවන බවයි. ඇයගේ සැමියා පැහැර ගෙන ගොස් ඇත්තේ 2006 දීය. තමා ඔහු සොයා හමුදා කඳවුරු ගණනේ ගිය නමුත් කිසිදු හෝඩුවාවාක් නොලැබුණ බව කී ඇය ආණ්ඩුව විසින් අලුතින් පිහිටුවන ලද අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය මගින් හෝ සහනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවිය.

dIAPP DAY 30.08.2016 cmb (c) s.deshapriya-6217

මුලකිව්හි සිට පැමිණියෝ ය ©s.deshapriya

මුලතිව්හි මාපියවරු විසිදෙනෙකු පමණ පැමිණ සිටියේ ද අතුරුදහන් වූ සිය දරුවන් සහ ඥාතීන් පිළිබඳව හඩ නැගීමටය. ඒ අතර නොදන්නා පිරිස් විසින් මෙන්ම යුද හමුදා පිරිස් විසින් සිය දරුවන් පැහැර ගත් බවට පැමිණිළි කරන අය විය. මේ සියළු දෙනාම වාගේ වයස්ගත මව්වරුන් සහ පියවරුන්  වූහ. සමහර පවුල්හි දරුවන් දෙතුන් දෙනෙකු එකම දිනයෙහි අතුරුදහන්ව තිබුණි.

තම අත්අඩංඟුවට ගන්නා පුද්ගලයින් අතුරුදහන් කිරීම 1971 සිටම මෙරට පොලිස් සහ ආරක්ෂක හමුදා දඩුවම් නොලබා කරගෙන එන අපරාධයකි. 1971 ජවිපෙ කැරුල්ලට සහභාගි වූ බවට සැක පිට අත් අඩංඟුවට ගත් දහස් ගණනාවක් මරා වළ දමන ලද්දේ කිසිදු පරීක්ෂණයකින් තොරවය.මා ජවිපෙ සිටියදී පූර්ණ කාලින සේවයේ යෙදුණූ බදුල්ල දිසාවෙහි පස්සරදී 1971 අප්‍රේල් 05 දා උදෑසන අත්අඩංඟුවට ගැනුණු ගුරුවරු පිරිසක් ඇතුළු 12 දෙනෙකු පොලිසිය විසින් ඝාතනය කර කන්දකැටියෙහිදී පුළුස්සා දමන ලද බවට වාර්තා විය. එවැනි පවුල්හි මා පියෝ වසර විස්සක් තිහක් යන තුරුම සිය දරුවන් හෝ සැමියන් ආපසු එනු ඇතැයි බලාපොරොත්තු රඳවාගෙන සිටියහ. අද උතුරු නැගෙනහිර විශේෂයෙන්ම දෙමළ ප්‍රජාව සිතා සිටින්නේත් අතුරුදහන් වූ සිය දරුවන් කොතැනක හෝ රඳවා ඇති බවයි. එය ඇත්තක් වීමට ඉඩක් නැති තරම් වෙතත් දරුවන්ට සිදුවූයේ කුමක්දැයි දැන ගන්නා තුරු ඔවුහු අපේක්ෂා ඉවත් කර ගන්නේ නැත..

පසුගිය 30 දා කොලඹ පැවැති මෙම අතුරුදහන්වූවන්ගේ ව්‍යාපාරය ආණ්ඩුවේ සන්ක්‍රාන්ති යුක්තිය පිළිබඳ වැඩ සටහනට සහයෝගය දැක්වූ එකක් විය. එහි තිබූ සටන් පාඨ සියයට 90ක්ම ආණ්ඩුවේ වැඩ පිළිවෙළ අගය කිරීමක් විය. එසේ තිබියදීත් මෙම රුස්වීමට පැමිණෙන බවට පොරොන්දු වී සිටි හිටපු ජනාධිපතිනි කුමාරතුංග සහ විදේශ අමාත්‍ය සමරවීර පැමිණියේ නැත. දේශපාලනඥයින් වශයෙන් ඊට සහභාගි වූයේ දෙමළ සන්ධානයේ මංත්‍රී සුමන්දිරන් සහ අමාත්‍ය මනෝ ගනේෂන් පමණි. දකුණේ සිංහල ජනතාවද සහභාගි වූ නමුත් ආණ්ඩුවේ කිසිදු සිංහල දේශපාලනඥයකු හෝ ආණ්ඩුවේ සන්ක්‍රාන්ති යුක්ති වැඩ සටහනක ප්‍රධානියා වන කුමාරතුංග නොපැමිණිම යහපත් ආදර්ශයක් නොවේ.

එපමණක්ම නොවේ. මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට  දායක වූ  සිවිල් සමාජ ප්‍රධානීන් බොහෝ දෙනෙකුද අතුරුදහන් වූ ජනයාගේ සහායට පැමිණ සිටියේ  නැත.

මේ අතර යාපනය, මන්නාරම, මඩකලපුව යනාදී ප්‍රදේශයන්හි ද මෙවැනි වැඩ සටහන් පවත්වන ලද අතර ඒවා ආණ්ඩු විරෝධී ස්වරූපයක් ගෙන තිබුණි. එම උද්ඝෝෂණයන්හි ප්‍රධාන ඉල්ලීම වී තිබුණේ අතුරුදහන් කරවීම් සඳහා යුක්තිය ලබා ගැනීම පිණිස විදේශ විනිසුරන්ගේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමක් අවශ්‍ය බවයි. මෙම උද්ඝෝෂණයන්ට එතරම් සෙනගක් සහභාගි නොවූ නමුත් දෙමළ ජනයාට මානව හිමිකම් අරභයා යුක්තිය ලබා ගැනීමට නම් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මැදිහත්විමක් අවශය යන අදහසට එම පෙදෙස්හි පුළුල් පිළිගැනීමක් තිබේ. මෙම අදහස පැතිරී ඇත්තේ කොළඹ ආණ්ඩු මගින් තමන්ට යුක්තිය ඉටු නොවන බවට දශක ගණනාවක් පුරා දෙමළ ජනයා ලබා ඇති අත්දැකීම පදනම් කරගෙනය.

අප ජීවත්වන දකුණූ ආසියාවෙහි සෑම රටකම බලහත්කාර අතුරුදහන්වීම් සිදු කර තිබේ.ඒ අතරින් ඉහළින්ම සිටින්නේ අපේ රට වන ශ්‍රී ලංකාවය.එවැනි අතුරු දහන්වීම් 2000ක් පමණ වාර්තා වන නේපාලයෙහිද දැන් පරීක්ෂණ කොමිසින් සභා දෙකක් පත් කර තිබේ. බංගලදේශය, ඉන්දියාව සහ පකිස්ථානය යන රටවල එවැනි කිසිදු පියවරක් ගෙන ඇති බවත් වාර්තා නොවේ.

යුද ගැටුම් සමයන්හි නැතිවූ දරුවන් ගැන ඇත්ත සොයනු යැයි කීමට සැම මාපියකුටම අයිතියක් තිබේ. එම අයිතිය මත පදනම්ව අප සමාජයෙහි පුළුල් දේශපාලන කතිකාවතක් ඇති කිරීමත් කල් නොයා මෙම ප්‍රශ්ණයට ස්ථිර විසදුමක් සැපයයීමත් ජනවාරි විප්ලවය ඉදිරියට ගෙන යෑමට අත්‍යවශ්‍ය ය.

සදහටම එපා 30.08.2016 cmb (c) s.deshapriya-6247

©s.deshapriya

Back to Top