Sri Lanka Brief
පුවත් විශේෂාංගසතියේ ආරක්ෂාව: නාවික හමුදාවේ යුධ අධිකරණය සහ කොස්ගම ගින්නේ අලුත් කතා – නිලන්ත ඉලංගමුව

සතියේ ආරක්ෂාව: නාවික හමුදාවේ යුධ අධිකරණය සහ කොස්ගම ගින්නේ අලුත් කතා – නිලන්ත ඉලංගමුව

by

( කොස්ගම පිපිරිමෙන් පසු දිසවන හැටි)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කළ ලුතිනන් කොමාන්ඩර් කේ. සී. වෙලගෙදර මහතා සම්බන්ධයෙන් මතු වී ඇති කාරණය එනම් ඔහු මේ වන විට නාවික හමුදාවේ යුධ අධිකරණය හමුවේ පෙනී සිටීම අරඹයා ඇති වී ඇති කාරණය ආරක්ෂක අංශ සහ ඊට සම්බන්ධ පාර්ශවයන් වල නවාකාරයක විවාදයක් ඇතිකර තිබේ. මෙය වඩාත් තියුණු වීමේ අවස්ථාවක් එළඹෙන සඳුදා දිනයෙන් පසුව සිදුවීමට ඉඩ තිබේ. මන්ද ඔහුට එරෙහිව පවත්වන යුධ අධිකරණයේ තීන්දුව සඳුදා ( ජුනි 13) ලබා දීමට නියමිත බව සැලයි. කෙසේ වෙතත්, එය රටේ වර්ගවාදී සහ අන්තවාදී පිරිස් තම දේශපාලන අරමුණු ඉටුකරගැනීම සඳහා භාවිතා කිරීමේ සම්බාවිතාවක් තිබේ. මේ දින වල මාතෘකාවක් නොමැතිව ඔබ මොබ ඇවිදින “පොදු විපක්ෂය”, ඊට සම්බන්ධ වී සිටින භික්ෂූන් වහන්සේලා සහ කල දුටු තැන වල ඉහ ගැනීමේ කෞශල්‍යයෙන් පිරුණු කලින් රාජපකෂට ආවඩා මේ වන විට යහපාලනයට ආවඩන අයවලුන් සොයමින් සිටින්නේ කුමන හෝ තැනක පැටලීමටය. එමඟින්, තමන් තවමත් මේ රටේ දේශපාලනය කරන බව පෙන්වීමට හැකිය. මේ නිසා, මෙවැනි සිදුවීම් මූලික කරගනිමින් ඔවුන්ට ලැබෙන ටොෆිය මාධ්‍ය හමු පවත්වමින් සූප්පු කළ හැකිය. අනෙක් අතට මෛත්‍රී අභිමුඛව මුවන් සේ අහිංසක ලීලාවෙන් කල්ගත කළ හැකිය.

කෙසේ වෙතත්, මෙම කාරනා වල පවතින සැබෑ හේතූන් අවබෝධ කර ගැනීම අතිශය වැදගත් වන්නේ මේ සම්බන්ධයෙන් දැනටමත් විවිද මති මතාන්තර එකිනෙකාගේ පෞද්ගලික සිතැඟියාවන් වලට මුල් තැන ලබා දෙමින් ප්‍රසිද්ධ වී ඇති හෙයිනි. මෙම සිදුවීම හරහා මූලික වශයෙන් පැන නැගුනු කාරණය වූ කලී, ත්‍රිවිධ හමුදා සහ පොලිසිය අතර පවතින සියුම් තරගයයි. අදාළ තොරතුරු ප්‍රසිද්ධ වන ආකාරය දෙස බැලීමේදී පෙනී යන්නේ රටේ අතිශය සංවේදී කාරණා වලට අදාලව කටයුතු කිරීමේදීවත් ආරක්ෂක අංශ සතුව පැවතිය යුතු මූලික එකඟතාවයක් හෝ ඉතුරු වී නොමැති බවයි.

ලුතිනන් කොමාන්ඩර් කේ. සී. වෙලගෙදර මහතා සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයට මූලික හේතුව වූයේ ඔහු නාවික හමුදාවට හොරෙන් තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් පිරිමසා ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට පළායාමය. ඔහු ඔස්ට්‍රේලියාවට ගිය බවට අදාළ සියලුම විස්තර නාවික හමුදාව සතුවන අතර එය ඔහු මෙරටට ගෙන්වීම සඳහා පහසු විය. මෙහිදී මතුකරන ගැටලුව වී ඇත්තේ මේවා විභාග කිරීම සඳහා නාවික හමුදාවේ නීති කටයුතු උපදේශක ( අධි විනිසුරු) ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කටයුතු කිරීමය. බොහොමයක් පුවත් සඳහන් කරන මූලික කාරණය වූ කලී ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා, රාජපක්ෂවාදියෙකු වන අතර ඔහු සහ නැගෙනහිරින් කොළඹට මාරු කරනු ලැබූ රියර් අද්මිරාල් නීල් රොසයිරෝ, යහපාලනය ඔලුවෙන් හිටවීම සඳහා උත්සහ කරන බවයි. මෙය දෙපැත්ත නොගැලපෙන තර්කයකි.

රියර් අදමිරල් රොසයිරෝ මහතාට ලැබුණු සේවාමාරුව ගැන මෙහිදී කතා කිරීම වැදගත් නොවන කාරණයක් ලෙස පෙනී යන්නේ, ඔහුට ලැබුණු සේවා මාරුවත් සමග “පොදු විපක්ෂයේ” සිටින විමල් වීරවංශ මහතා ඇතුළු බොහෝ දෙනෙකු කලබල වී ඇති ආකාරය නිසාය. එය දැකීමේදී සිදුවී ඇති විගඩම තේරුම් ගැනීමට හැකි වටපිටාවක් ස්වාභාවිකවම නිර්මාණය වී ඇත. එසේම රොසයිරෝ මහතා, නාවික හමුදාවේ සිව්වැනි ජ්‍යෙෂ්ඨ නිලධාරියා ලෙස “වගකීම් සමුදායක්” සමග පොරබදින නිලධාරීයෙකු වන අතර ඔහු ආයතනයේ සිව්වැනියා වීම, ඉතා “ගෞරවනීය ක්‍රියාවලීයක්” ඔස්සේ සිදු වූ බව වෙන කිසිවෙකුටත් වඩා හෙතම දන්නේය. සැබෑ කතෝලික භක්තිකයෙකු වන ඒ මහතාට, තම සේවා ආයතනය මුහුණ දුන් ව්‍යාකූල ස්වභාවය තේරුම් ගැනීමට සහ සංස්ථාව තුළ දේශපාලන ආවතේවකරුවන් නිර්මාණය කොට එහි ගරුත්වය ඇවන්ට් ගාඩ් වැනි පෞද්ගලික ඒකාධිකාරයක් යටතේ නෂ්ඨ වෙමින් පැවති අතීතය ගැන හොඳ සිහියක් ඇතැයි සිතමු. කතෝලික ආගමේ ඇති බොහෝ සුභවාදී දෑ අතර ඇති එක් ප්‍රධාන කාරණයක් වූ කලී දෙවියන් වහන්සේගේ පුත්‍රයා අභිමුඛව පාපොච්චාරණ කුටියටකට ගොස් පව් සමාකිරීමයි. ඒ ගැන මනා අවබෝධයක් ඔහුට ඇතැයි සිතා තාවකාලිකව හෝ සැනසුම් සුසුමක් හෙළිය හැකිය.

කෙසේ වෙතත්, කේ. සී. වෙලගෙදර මහතා සහ යහපාලනය අතර කිසිඳු සම්බන්ධයක් නැත. කේ. සී. වෙලගෙදර මහතා සම්බන්ධයෙන් එල්ල වෙන චෝදනා රාශියක් තිබේ. මෙහිදී, එනම් පවැත්වෙන නඩුවිභාගයේදී, ඔහු මුහුණ දී සිටින මූලික කාරණය වූ කලී, සේවයේ සිටියදී පලා යෑමය. ඒ සඳහා ඔහු නිර්මාණය කරගත් මූලික වටපිටාවක් තිබුණි. මන්ද, සම්පත් මුණසිංහ සහ ඔහුගේ අපරාධ වලට සම්බන්ධ වූ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ සගයින් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව බැඳුනු මහත්වරුන්ගේ නාවික හමුදා කාර්යය භාර්යයේ ඇති සැබෑ තොරතුරු හෙළිදරව් වන විට, වෙලගෙදර මහතාගේ නමද ඊට සම්බන්ධ වී තිබුණි. ඔහු සාක්ෂි කරුවෙකු වූ පමණින්, කළ වැරදි වලින් මිදීමට හැකි යැයි නීතියක් නැත.

නමුත්, සම්පත් මුණසිංහගේ සහ ඔහු සමග අපරාධ වලට සම්බන්ධ වූ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ සගයින් කළ බොහොමයක් අශිෂ්ඨ සිදුවීම් වල තොරතුරු හෙළිදරව් වන්නේ වෙලගෙදර මාර්ගයෙන් බව සඳහන්වීම සත්‍යයකි. සියල්ල සිදුකොට හොර රහසේ පැන යන විට අල්ලාගෙනවිත් විභාග කිරීමේ පූර්ණ නීතිමය බලය නාවික හමුදාපතිවරයා සතු වේ. එය එසේ නොවුන හොත්, කාලාන්තරයක් තිස්සේ සිදු වූ සියලුම අපරාධ යලි යළිත් සිදු වෙමින් නාවික හමුදාව තව දුරටත් අපකීර්තිමත් ආයතනයක් බවට පත් වනු නියතය. මේ නිසා කප්පම් ගැනීමට ළමුන් පැහැරගෙන ගොස් මරා දැමීම්, වදහිංසා සිදු කිරීම්, මිනිස් ජාවාරමේ යෙදීම්, ආදී සියල්ලම නීතිය හමුවේ විභාග විය යුතු මූලික අමානුෂික කාරණා වේ. මෙම කාරණා දැනට විභාග වෙමින් පවතින මූලික කාරණයට අදාළ නැති නමුත් පසුව එය අදාළ කරගත හැකි කාරණා වේ.

එසේම මෙය විභාග කරන ශවීන්ද්‍ර ප්‍රනාන්දු, රාජපක්ෂවාදියෙක් යන චෝදනාව මෙහිදී අදාළ වන්නේ කෙසේද යන්න ගැටලුවකි. ශවේන්ද්‍ර නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනාරාල්වරයෙකු වශයෙන් කටයුතු කරනු ලැබූ නිලධාරියෙකි. ඔහු තම විෂය ගැන මනා දැනුමක් සහිත පුද්ගලයෙකු වන අතර, ඔහු දේශපාලන වාසී සඳහා තම රැකියාව මෙහෙවනු ලැබුවේද යන්න හුදු ඕපා දූප වලින් තීන්දු කිරීම එතරම් නුවණට හුරු කාරණයක් නොවේ. ඔහු නාවික හමුදාවේ නීති උපදේශක හෙවත් අධිවිනිසුරු තනතුර සඳහා පත් වන්නේද, ඔහුට ඇති සුදුසුකම් අනුව මිස එය හුදු දේශපාලන වාසී මූලික කර ගනිමින් කරනු ලැබූ පත්වීමක් නොවේ. නෛතිකව “අගවිනිසුරු” වශයෙන් නොසිටි බව පිළිගන්නා මොහාන් පීරිස් සහ නාවික හමුදාවේ ජජ් අද්වකේට් හෙවත් ප්‍රධාන නිතී කටයුතු භාර නිලධාරියා වන ශවේන්ද්‍ර ප්‍රනාන්දු අතර පවතින මූලික වෙනස්කම එයයි. එසේම ඔහු විෂයය ගැන දන්නා අයෙකි.

නාවික හමුදාවේ ප්‍රධාන නීති කටයුතු භාර නිලධාරියා ලෙස කලක් සේවය කරනු ලැබුවේ රාජා ප්‍රනාන්දු මහතාය. හෙතම මහඅධිකරණයේ විනිසුරුවරයෙකු වශයෙන් පත් වූ පසු එම තනතුරට පත් වූයේ හිටපු නීතිපති පාලිත ප්‍රනාන්දු මහතාය. ඔහු නීතිපති ධූරයට පත්වන විට, අදාළ දූරය පුරප්පාඩු වීම හේතුවෙන් හෙතම නම් හතරක් යෝජනා කළ බව සඳහන් වේ. ඔවුහු අතර පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ශවේන්ද්‍ර ප්‍රනාන්දු අදාළ දූරයට පත් විය. ඉන් පසු හෙතම පාලිත ප්‍රනාන්දු මහතා යටතේ ටික කාලයක් අදාළ තනතුරේ පුහුණු වූ අතර නාවික හමුදාවේ නීති කටයුතු තනතුරේ සම්පූර්ණ වගකීම ශාවේන්ද්‍ර විසින් දරනු ලැබුවේ ඉන් පසුවය.

අධි විනිසුරු වශයෙන් සේවය කරන කාලය තුළ නාවික හමුදාවේ කීර්ති නාමයට හානියක් නොවන පරිදි කටයුතු කරනු ලැබූ බව කිසිඳු දේශපාලන පක්ෂයකට ගැතිකම් නොකළ ස්වාධීන නාවික හමුදා නිලධාරීන්ගේ මතය වේ. එය ඇතැමෙකුගේ සතුටට හේතු නොවුනද ඔහු කරනු ලැබුවේ තමන්ට හිමි රාජකාරියයි.

යම් කිසිවෙකු ගැන හෝ කිසිවක් ගැන විවේචනය කළ යුත්තේ, ඊට විකල්පයක් යෝජනා කරමිනි. නමුත්. ශවේන්ද්‍ර මෙම තනතුරින් පහ කරනු ලැබුවහොත් එහි කටයුතු කළ හැකි නිලධාරීයෙකු සොයා ගැනීම අතිශය දුෂ්කර කටයුත්තක් බව නාවික හමුදාවේ බොහෝ දෙනෙකු විශ්වාස කරනු ලබන මූලික කාරණය වේ. ශවේන්ද්‍ර සම්බන්ධයෙන් එල්ල වන චෝදනාව විමසිය යුත්තේ මෙම මූලික වටපිටාව ඔස්සේ යැයි සිතේ. ඇතැම් කරුණු සහ සිදුවීම් වල ප්‍රතික්ෂේප කළ නොහැකි ගැඹුරු සත්‍යයක් ගැබ්වී තිබේ. ඒවා, මතුපිටින් සිදුකරණු ලබන හූ හඬකින් වෙනස්කළ නොහැකිය. ඇතැම් දෑ සඳහා සැලකිය යුතු කාලයක් ලබා දීම අත්‍යවශ්‍ය වේ.

කොස්ගම ගින්න

මේ අතර කොස්ගම සාලාව ප්‍රදේශයේ පිහිටි අවි ගබඩාවේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් විවිධ අදහස් ප්‍රකාශ වෙමින් තිබේ. එසේම අදාළ පරීක්ෂණ වලින් යුධ හමුදාවේ බුද්ධි අංශය ඉවත් කළ බව බොහෝ දේශපාලඥයින් සඳහන් කළහ. නමුත් එය අසත්‍යය කතාවකි. යුධ හමුදා බුද්ධි අංශය ඊට හිමි සීමාව තුළ සිටිමින් අදාළ කාරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරමින් තිබේ. බුද්ධි ( ඔත්තු) සේවයකට කිසිඳු පරීක්ෂණයක් එළිපිට සිදු කිරීමට නොහැකිය. ඔත්තු සේවයක පවතින මූලික මූලධර්මය එයයි.

එසේම අදාළ අවි ගබඩාව ගිනි ගැනීමට පෙර තිබූ වාතාවරණය ගැන මෙහිදී විමසා බැලීම වැදගත් වේ. අදාළ අවි ගබඩාවේ තිබු පුපුරණ ද්‍රව්‍යය සහ අනෙකුත් අවි ආයුධ ශ්‍රී ලංකා යුධ හමුදාව අතිරික්තයක් ලෙස හඳුනා ගෙන තිබුණි. එසේම බොහොමයක් දෑ වෙනත් ස්ථාන වලට ගෙන ගොස් තිබුණි.

අදාළ ගබඩාවේ තිබු පුපුරණ ද්‍රව්‍යය සහ අනෙකුත් යුධ උපකරණ සම්බන්ධයෙන් මූලික කාරනා තුනක් සැලකිල්ලට බඳුන් වී තිබුණි; පළමුවැන්න, අදාළ පුපුරණ ද්‍රව්‍යය මහජනතාව ජීවත් වන ප්‍රදේශයකින් ඉතා දුරකට ගෙන ගොස් ස්ථානගත කිරීමය ( එය සිදුවෙමින් තිබුණි),දෙවැන්න, අදාළ පුපුරණ ද්‍රව්‍යය සහ ආයුධ වෙනත් රටකට විකිණීමට ඇති ඉඩකඩ සොයා බැලීම, තෙවැන්න කල් ඉකුත් වී තිබු භාණ්ඩ සියල්ලම මුහුදට දැමීමට හැකි තත්වයක් තිබේදැයි සොයා බැලීම.

අදාළ අවිආයුධ මිලදී ගැනීම සඳහා රටවල් කිහිපයකින් ඉල්ලා සිටි අතර පකිස්තානයද ඉන් එක් රටක් ලෙස විශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කරනු ලබයි. ජනවාරී මාසයේ සිදු වූ පකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ගේ සංචාරයෙන් පසු පකිස්තානයේ ඉහළ පෙළේ ආරක්ෂක අංශ නිලධාරීන් කිහිප දෙනෙකුම මෙරටට සංචාරය කළ අතර, එහිදී දෙපාර්ශවයේ පවතින ආරක්ෂක සම්බන්ධතා දියුණු කරගත හැකි මාර්ගය ගැන ද්විපාර්ශවීය සාකච්ඡා රාශියක් සිදු විය. අදාළ අවි ආයුධ පකිස්තානයට විකිණීමට ස්ථීරවම තීරණය කළ තිබුනේ දැයි නොදනිමු. නමුත් කුමන හෝ රටකට විකිණීමට හැකිද? යන්න සොයා බලමින් තිබුණු බව සත්‍යයකි.

මේ අතර තවත් එක් වැදගත් කාරණයක් වූයේ අදාළ අවි ආයුධ මිලදී ගැනීමට කැමැත්ත පළ කොට තිබූ එක්තරා රටකට සම්පූර්ණයෙන් විරුද්ධත්වයක් දක්වන රටක ඔත්තු සේවය මෙරට කාරණා සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැන විශාල ප්‍රමාණයක තොරතුරු සංසරණය වීමට පටන් ගැනීමයි. චීන ආණ්ඩුවේ ණය ආධාර යටතේ ඉදි කෙරෙන ව්‍යාපෘති වල සිට බොහොමයක් සංවර්ධන ව්‍යපෘති සම්බන්ධයෙන් අදාළ ඔත්තු සේවය විශේෂ අවධානයෙන් සිටින බව වාර්තා විය. ඔවුන්ගේ අදාළ බලපෑම මෙරට ආරක්ෂක අංශ අතරද විශාල කුතුහලයක් ඇති කොට ඇති මාතෘකාවක් වී තිබේ. ඇෆ්ඝනිස්ථානය සහ ශ්‍රී ලංකාව මෙන්ම බංගලාදේශය කලාපයේ භූ දේශපාලනයට සහ ඔත්තු සේවා වල ක්‍රියාකාරීත්වය හමුවේ විශාල වැදගත්කමක් දක්වන රටවල් බව අමුතුවෙන් මතක් කළ යුතු නොවේ.

කෙසේ වෙතත්, කොස්ගම සිදුවීම සඳහා අදාළ ඔත්තු සේවයේ බලපෑමක් තිබේදැයි කීමට තරම් මෙහිදී අවඥාසහගත නොවිය යුතුය. නමුත් පකිස්තානය මෙරට කරන කටයුතු සම්බන්ධයෙන් එම ඔත්තු සේවය මනා විමසිල්ලකින් පසුවන බව අවිවාදිතය. එසේම, පසුගිය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සඳහන් වූ විවිධ පුවත් අතර අදාළ ඔත්තු සේවයේ මැදිහත්වීම ගැන බොහෝ දෙනෙකු සැකකළ සාධකයක් විය. ඊට අදාළ පුවත් ප්‍රසිද්ධ වූ පසු ඒවා ප්‍රතික්ෂේප කරමින් කිසිඳු නිල නිවේදනයක් නිකුත් කෙරුනේ නැත.

නමුත්, අදාළ සිදුවීම සිදු වූ ආකාරය ගැන දැන ගැනීමට ඇති එකම නිල මාර්ගය රජය විසින් මේ සම්බන්ධයෙන් පවත්වනු ලබන පරීක්ෂණ වල ප්‍රතිඵල වේ. ඒවා ස්වාධීන ආකාරයෙන් සිදු කිරීම මීට මැදිහත් වී සිටින සියලුම පාර්ශවයන්ගේ වගකීම සහ යුතුකම වේ. එබැවින්, අදාළ ගින්න තවමත් “ හදිසි අනතුරු” යටතට ගැනෙන සිදුවීමකි.

නමුත් අදාළ ගින්න ඇති වීමෙන් පැය කිහිපයකට පසු ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් සහ ඔහු නියෝජනය කරන දේශපාලන මතවාදය තුළ සිටින ඇතැම් දේශපාලඥයින් සිදු කළ “පනික්කි” අදහස් වලින් මෙය දේශපාලනික වශයෙන් දඩයම් කිරීමට මාන බලන ආකාරය දක්නට ලැබුණි. සැබවින්ම ගෝඨාබය රාජපක්ෂ මහතා තවමත් තම සිහිනය තුළ සිටිමින්, රටේ හමුදාපතිවරයා ඉවත් කිරීම සඳහා වූ බෙරය ගසා, ඔහු වටා සිටින දේශපාලනඥයින්ට “නැටීමට” අවශ්‍ය “තාලය” නිර්මාණය කළේය. ඉන් පසු, සියල්ලටම යළි “දේශප්‍රේමය” ආරුඪ වූයේය.

එසේ ආරූඪ වූ අයවලුන් තමන්ට හැකි සියලුම වන්නම් නැටීමට පටන් ගත්තෝය. කිසිඳු වගවිභාගයකින් තොරව, නැගෙනහිර ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිශ් සින්නයියා මහතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විවේචයට හේතු වී ඇත්තේද එයයි. ඉදිරියේදී ට්‍රැවිශ් භාරදුන්නේ යැයි කියා ව්‍යාජ අස්වීමේ ලිපියක් මාධ්‍යය මගින් පලකොට තම බොරුව තවදුරටත් ගෙන යෑම සඳහා අවශ්‍යය කරුණු සකස්කළ හොත් ඒ ගැන පුදුම විය යුත්තේ නැත. දියරෙද්දෙන් බෙල්ල කපන සංස්කෘතියේ හැටි එහෙමය.

ඇතැමුන්ට, තමන්ගේ අල්ලට ගෙන නැටවීමට හැකිව තිබු ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදෙන විට, අලින්ට මද කිපුණු ආකාරයෙන් හැසිරෙති. ඊට, ඉතා ප්‍රවේශමෙන් මුහුණ දීම රටේ යහපැවැත්ම ගැන සිතන කාගේත් යුතුකම වේ. මේ නිසා විවේචනය ගැන මෙන්ම, විවේචනයට බාජනය කරන විෂයය ගැන දේශපාලනික සහ සමාජීය වශයෙන් සිතා කටයුතු කිරීම යහපත් වේ.

එසේම, මෙහිදී යුධ හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ඉවත් කිරීම, ගැටලුවට විසඳුමක් නොවේ. අදාළ සිදුවීම ඔහුගේ හිස මත පටවා එය මෙවලමක් ලෙස තබා, පවතින ව්‍යාකූලතාවයෙන් ප්‍රයෝජනය ගැනීමට බොහෝදෙනෙකු අර ඇදීම සාමන්‍යය කාරණයකි. කොස්ගම ඇති වූ ගින්න, යුධ හමුදාවේ අභ්‍යන්තරයේ වර්ධනය වෙමින් පවතින සීතල යුද්ධයේ ප්‍රතිඵලයක්ද යන්න දැනගැනීමට නැතත්, හමුදාපති එලවා දැමීම ඊට ප්‍රතිකර්මය නොවන බව පැහැදිලිය. මන්ද සිදුවීමට වඩා වැදගත් වන්නේ, ව්‍යාකූල වී ඇති ආයතනයේ ව්‍යුහය සහ එම ව්‍යුහය තුළ පෙළ ගැසී සිටින අයවලුන් ගැන සැලකිලිමත් වීමය.

මෙහිදී යළිත් මතක් කළ යුතු කාරණය වූ කලී, ලබ්බ ඇතුලේ තොයිලයක් බවට පත් වී ඇති හමුදාපති සඳහා වූ තරගය සඳහා කල් පවතින විසඳුමක් සොයා ගැනීම තීරණාත්මක කාරණයක් බවයි. මෙය සිදු නොවන්නට වසරින් වසර සේවා දිගු ලබා ගනිමින්, හමුදාපති පුටුවේ වාඩී වී තනතුර පමණක් රැගෙන නිවසට යන පිරිසක් බිහි වීම පමණක් සිදුවේ. එවැනි තත්වයකින් කිසිඳු වාසියක් රටට අත්වන්නේ නැත.

මෙම භාරදූර පරිපාලනමය ගැටලුව වත්මන් හමුදාපති විශ්‍රාම යන විට විසඳීමට හැකි තත්වයක් නිර්මාණය කොට, යුධ හමුදාව තුළ පවතින ව්‍යාකූල ස්වභාවය වෙනස් කළ යුතු වේ. එය පරිපාලනමය වශයෙන් නගා සිටුවීම සඳහා ආරක්ෂක විමසුම් කමිටුව ( ඩි. ආර්. සී.), ආරක්ෂක අමාත්‍යංශයේ සේවය කරන ත්‍රිව්ධ හමුදා භාර සම්බන්ධීකාරක නිලධාරී, ආදී දේශපාලන වාසී සහ තමන්ගේ වැරදි වසා ගැනීම සඳහා අබ්බගාත කරනු ලැබූ කමිටු සහ අමාත්‍යංශ වල පිහිටුවා ඇති ස්ථාන යළි ශක්තිමත් කිරීම තීරණාත්මක වේ.

යහපාලනයේ මූලික ප්‍රතිපත්ති ක්‍රියාවට නගමින් වැරදිකළ වුන්ට නිසි දඬුවම් දීම සඳහා වූ ගමනේදී එහි ඇති හිඩැස් අතරින් රිංගා යෑමෙන් සහ කොස්ගම ගිනිදලු මෙන්ම අළු වලට මුවා වෙමින් පෞද්ගලික වාසි සොයන දේශපාලනයට නිසි පිළිතුරක් ලබා දීමට හැකි වන්නේ එවිටය.

Back to Top