Sri Lanka Brief
පුවත් විශේෂාංගමොකද්ද මේ ක්ලස්ටර් ( පොකුරු) බෝම්බ චෝදනාව ? – නිලන්ත ඉලංගමුව

මොකද්ද මේ ක්ලස්ටර් ( පොකුරු) බෝම්බ චෝදනාව ? – නිලන්ත ඉලංගමුව

by

( ඇමෙරිකාවේ නිශ්පාදිත පොකුරු බෝම්බයක්)

ශ්‍රී ලංකා ආරක්ෂක අංශ, යුද්ධය අවසාන කිරීම සඳහා, ක්ලස්ටර් හෙවත් පොකුරු බෝම්බ භාවිතා කළ බවට වූ චෝදනාව අලුත් එකක් නොවේ. මෙය යුද්ධය අවසන් වීමට දිමාස කිහිපයකට පෙර, රසායනික අවි භාවිතා කිරීම හා සමානව නැගුනු චෝදනාවක් විය. එසේම,  දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය ( එල්. ටී. ටී. ඊ) සංවිධානය, කිලිනොච්චියෙන් පසු බසින් විට, ශ්‍රී ලංකා ආරක්ෂක අංශ මෙන්ම කොටි සංවිධානයද භාවිතා කළ  බර අවි සම්බන්ධයෙන් විවිධ වාර්තා ඉස්මතු විය. පොකුරු බෝම්බ භාවිතා කිරීම ඒ අතර වූ ප්‍රධාන වාර්තාවක් විය. විශේෂයෙන්, නිරායුධ සිවිල් ජනතාව ඉලක්ක කර ගනිමින්, පොකුරු බෝම්බ හෙලු බවට චෝදනා රාශියක් එල්ල විය.

එය භාවිතා කළේද? නොකළේද? යන්න, පිළිගත්  නීත්‍යානූකුල ක්‍රමවේදයක් ඔස්සේ තහවුරුවන තෙක් කිසිවක් ප්‍රකාශ කළ නොහැකිය.  අදාළ කොටස් හමු වූයේ කුමන ස්ථානයෙන්ද? ඒවා භාවිතා කළේ කවුරුන්ද? තමන්ගේ ආයුධ ප්‍රවාහනය කිරීම සඳහා, ඉතාමත් ප්‍රභල නෞකා ජාලයක් මෙන්ම තමන්ගේම ගුවන් බලෑණියක් තිබූ එල්. ටී. ටී. ඊ. සංවිධානයට පොකුරු බෝම්බ  මිලදී ගැනීමේ සහ භාවිතා කිරීමේ වුවමනාවක් නොතිබුණේද? යන මූලික කාරණා මෙහිදී මතුවේ.

කෙසේ වෙතත්, යුද්ධය නිමා වී වසර හතකට ආසන්න කාලයක් තුළ යුද්ධය පැවති භූමිය තුළ විශාල වෙනස්කම් සිදුවිය හැකිය. භාවිතා කළ, පුපුරා ගිය මෙන්ම පුපුරා නොගිය සහ භාවිතා නොකළ ආයුධ රාශියක් හමුවීම ඒ අතර ප්‍රධාන වේ. ඒවා ගැන මනා පරීක්ෂණ සිදුකිරීම සහ ඒවාට ශ්‍රී ලංකා ආණ්ඩුවේ මනා කැපවීම මෙන්ම සුදුස්සන් ඒ සඳහා යොමුකිරීම මෙහිදී අතිශය වැදගත් වේ.

ලන්ඩන් ගාඩියන් පුවත්පත ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ පොකුරු බෝම්බ භාවිතය පිළිබඳව විශේෂ වාර්තාවක් පසුගිය ජුනි 20 වැනිදා පල කරනු ලැබීය. එහිදී, මෙරට යුද්ධය අවසාන කාලයේ බිම්බෝම්බ ඉවත් කරමින් සිටි එක්තරා රාජ්‍යය නොවන ආයතනයක් විසින්, එකතු කරගත් මූලික දත්ත වාර්තා මූලික කොට ගනිමින්, පොකුරු බෝම්බ භාවිතයට අදාළ යැයි සැලකිය හැකි සේයාරූ කිහිපයක්  ප්‍රසිද්ධ කොට තිබේ.

අදාළ කාරණය සම්බන්ධයෙන් රජය ( ආණ්ඩුව) තම ස්ථාවරය තවමත් ප්‍රකාශ කොට නැතත්, මෙය අතිශය බරපතළ කාරණයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේම, මේ වනවිට පවත්වාගෙන යන එක්සත් ජාතීන්ගේ 32 වන මානව හිමිකම් සැසිවාරය තුළ මෙම කාරණය නවාකරයකින් ඇතුළත් වීමට ඇති සම්භාවිතාව ඉහළය.

කෙසේවෙතත් පොකුරු බෝම්බ භාවිතය සම්බන්ධයෙන් පවතින මූලික වටපිටාව සොයා බැලීම මෙහිදී වැදගත් වේ.

පොකුරු බෝම්බය, සරලව හැඳින්විය හැක්කේ , කුඩා බෝම්බ රාශියක් ඇතුලත් කර තැනූ විශාල බෝම්බයක් ලෙසය. එය ගුවනින් හෙලීමෙන් හෝ  ගොඩබිමේ සිට පුපුරුවා හැරිය හැකිය. ඉතිහාසයේ ප්‍රථම වරට, පොකුරු බෝම්බ පිළිබඳ වාර්තා වන්නේ දෙවන ලෝක යුද්ධයේදී ජර්මන් හමුදාව විසින් තැනූ පොකුරු බෝම්බය පිළිබඳවය. එය, සමනල බෝම්බය ලෙස හැඳින්වීය.

hqdefault

රුසියානු පොකුරු බෝමබයක් සිරියානු අහසෙහි පුපරුවා හැරිමක්

ඉන් පසු අවස්ථා රාශියකදී පොකුරු බෝම්බ භාවිතය ගැන සඳහන් වන අතර, සිවිල් වැසියන් විශාල පිරිසක් ඉන් මරුමුවට පත් වූහ. විශේෂයන් ඇමරිකාව, රුසියාව, ඉතාලිය,  විසින් සිදුකළ සියලුම යුද්ධ වලදී ඔවුහු මෙම පොකුරු බෝම්බ භාවිතා කළහ. අමෙරිකා එක්සත් ජනපදය, වියට්නාමයට බෝම්බ හෙළන අවස්ථාවේදී, ලාඕසය සහ කාම්බෝජය යන රටවලටද හෙලූ පොකුරු බෝම්බ වලින් මියගිය සහ විවිධ අනතුරු වලට භාජනය වූ පිරිස විශාලය. යුගෝස්ලාවියාව, රුසියාවේ පිහිටි චෙච්නියාව , ඇෆ්ගනිස්තානය, ඉරාකය මෙන්ම වර්තමානයේ සිරියාව තුළද පොකුරු බෝම්බ භාවිතය පිළිබඳව වාර්තා වේ. 1970 සිට 90 දශකය දක්වා වූ කාලය තුළ, පොකුරු බෝම්බ නිෂ්පාදනය කළ රටවල් 34 ක් පමණ වන අතර, ඒවා භාවිතා කළ රටවල් ප්‍රමාණය 23කි. මෙම ප්‍රමාණය මීට වඩා ඉතා ඉහළ සංඛ්‍යාවක් විය හැකිය.

කෙසේ නමුත් අදාළ බෝම්බය, ජනසංහාර ඇතිකිරීමට හේතුවන බව  අර්ථකථනය කරමින් එය, තහනම් අවියක් බවට පත් කරනු ලැබීය. ඊට අදාළ මූලික ප්‍රඥාප්තිය, 2008 දී සකස් කළ අතර එය 2010 වසරේ සිට ක්‍රියාත්මක විය. එනම් අයර්ලන්තයේ ඩබ්ලින් නුවරදී අදාළ ප්‍රඥාප්තිය සම්මත වන්නේ 2008 මැයි මාසයේ 30 වැනිදිනය. එය, අත්සන් කිරීමට කැමති පාර්ශ්වයන් සඳහා විවෘත කරනු ලබන්නේ, 2008 දෙසැම්බර් 03 වැනි දින ඔස්ලෝ නුවරදීය. 2010 අගෝස්තු මාසයේ 01 දින එය, ගිවිසුමක් ලෙස ආදාළ රාජ්‍යයන් වල බලගන්වනු ලැබීය. එනම්, මෙරට පැවති යුද්ධයෙන් වසරකට වැඩි කාලයකින් පසු අදාළ ගිවිසුම, ඊට අනුකූලතාවය දැක් වූ පාර්ශවයන් විසින් ක්‍රියාත්මක කරනු ලැබීය.

මේ දක්වා රටවල් රාශියක් මීට අත්සන්  තබා ඇති අතර, ගිවිසුම වෙනුවෙන් පෙනී සිටින රාජ්‍යය පාර්ශව රාශියක්ද සිටිති. අත්සන්කරුවන් මෙන්ම රාජ්‍යය පාර්ශවයන්, එකඟ වී ඇති මූලික කොන්දේසිය වූ කලී, කුමන කොන්දේසියක් යටතේ වුවද, පොකුරු බෝම්බ භාවිතය සපුරා තහනම් බවයි.

ශ්‍රී ලංකාව අදාළ ගිවිසුමේ අත්සන්කාර පාර්ශවයක් හෝ රාජ්‍යය පාර්ශවයක් නොවේ. මෙය, ජාත්‍යන්තර අපරාධ අධිකරණය සහ ඊට අදාළ රෝමන් ප්‍රඥාප්තිය හා සමාන කාරණයකි. හිටපු ජනාධිපති, රටට කළ සේවයට ඉරිසියා කරන ඇතැමුන්, හෙතම විදුලි පුටුවට යැවීමට අර අඳින බව ඔහු මෙන්ම ඔහු වටා සිටි බොහෝ පිරිසක් සඳහන් කළහ. නමුත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එය වඩාත් නිවැරදිව පැහැදිලි කරමින්, ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට ශ්‍රී ලංකාවේ නායකයෙකු කැඳවිය නොහැකි වීමට සරල නීතිමය පසුබිම පැහැදිලි කරනු ලැබීය. එනම් අගමැතිවරයා පළමුවරට තම ධූරයේ කටයුතු කරන විට, රෝමන් ප්‍රඥප්තියට අත්සන් තැබීම ප්‍රත්ක්ෂේප කළ බව සඳහන් කරමින් “විදුලි පුටුව” මෙරටට බොහෝ ඈත කාරණයක් බව පැහැදිලි කළේය. කෙසේ වෙතත්, ඉන්, අපරාධ වසා දැමිය හැකි යැයි  සහ යුතු යැයි සඳහන් වන්නේ නැත.

ශක්තිමත් මෙන්ම පිළිගත හැකි දේශීය යාන්ත්‍රණයක් වැදගත් වන්නේ මෙහිදීය. එවැන්නක් තැනීමට, මෙරට අධිකරණය සහ එහි සේවය කරන විශාරදයින් ශක්තිමත්ද යන්න, රටේ නායකත්වය වගකිව යුතු කාරණයකි. අලි හොරුන්, අධිකරණ ක්‍රමයම, තමන්ගේ බූදලයක් බවට පත් කරගෙන, ඉතා සුළු වෙලාවකින්, විනිසුරුවරුන්ගේ දොරටුවෙන් ඇතුළු වී, තමන්ට අවශ්‍ය ඇප ලබාගෙන, පිටිපස්සෙන් හිනා වෙවී ගෙදර යෑමට හැකි රටක, දේශීය යාන්ත්‍රණයක් ගැන ලෝකයට කීමේදී ප්‍රවේශම් විය යුතු වේ. අලි පැටවෙකුට සාධාරණය කිරීමට නොහැකි ආණ්ඩුවක්, බරපතළ අපරාධ සිදු වූයේ යැයි වාර්තා වී ඇති යුද්ධයකදී පිළිතුරු ලබා දීමට සමත් වන්නේ කෙසේද යන ගැටලුව මූලික වශයෙන් මතු නොවන්නේද?

කෙසේ වෙතත්, පොකුරු බෝම්බ වලට අදාළ කාරණයේදී ශ්‍රී ලංකාව සිටින්නේ කොතැනද? ශ්‍රී ලංකා ආණ්ඩුව, 2007 දෙසැම්බර් මාසයේ වියනා හී පොකුරු බෝම්බ භාවිතය වැලැක්වීම සඳහා පැවති සමුළුව නියෝජනය කළ නමුත් එහිදී කිසිඳු මැදිහත් වීමක් සිදු නොකළේය. එසේම ඉන් පසු පැවති කිසිඳු සමුළුවක කිසිඳු  ක්‍රියාකාරී මැදිහත් නොකළේය.

එසේම, ශ්‍රී ලංකාව, සමහර සම්මුතිගත ආයුධ සම්බන්ධ ප්‍රඥප්තියේ ( සී. සී. ඩබ්. සී) පරශ්වකරුවෙකු වුවද, එහි යුධයෙදී පුපුරා යන කොටස් වල අවශේෂ සම්බන්ධ ගිවිසුම ( එක්ස්ප්ලෝසිව් රේමනන්ට්ස් ඔෆ් වෝ [ර්]) කෙටුම්පත්කොට ක්‍රියාත්මක කොට නැත.

මේ නිසා, ශ්‍රී ලංකා ආණඩුව වෙත, ඉදිරිපත් කෙරෙන මෙම චෝදනාව, නීතිමය වශයෙන් අභියෝගයකට ලක් කළ හැකිය. එය කළ යුත්තේ, ඇමෙරිකාව හෝ රුසියාව භාවිතා කළ එක ගැටලුවක් නොවන විට ශ්‍රී ලංකාව භාවිතා කිරීම ගැටලුවක් වන්නේ කෙසේද යැයි මතුකරන “ ප්‍රසිද්ධ දේශප්‍රේමියාගේ” මෝඩකම ප්‍රසිද්ධ කරන විලාසයෙන් නොවේ. එනම්, ජාතික සහා ජාත්‍යන්තර වශයෙන් සම්මත කරගෙන ඇති නීති රීති ප්‍රකාරව මෙය විමසා බැලීම සහ ඊට රජයෙන් නීත්‍යානුකූල නිසි පිළිතුරක් ලබාදීම වැදගත් වේ.

 ශ්‍රී ලංකාවේ පොකුරු බෝම්බ නිෂ්පාදනය නොකරණ බව පිළිගත් කාරණයකි. එසේම, 2009 පෙබරවාරි මාසයේ පුදුකුඩුඉරිප්පු රෝහල වෙතට ශ්‍රී ලංකා ගුවන් හමුදාව පොකුරු බෝම්බ හෙලු බව එක්සත් ජාතීන්ගේ නියෝජිතයා චෝදනා කළ නමුත්, තම චෝදනාව හෙතම පසුව ඉල්ලා අස්කර ගනු ලැබීය. ඉල්ලා අස් කර ගැනීමෙන් පසු, අදාළ ප්‍රදේශයේ පොකුරු බෝම්බ භාවිතා නොකළ බව සඳහන් කළේය.

පොකුරු බෝම්බ භාවිතා කළ බවට නැගෙන අලුත්ම චෝදනාවක් නැගෙන්නේ ඉන් වසර කිහිපයකට පසුය. එබැවින්, මෙම චෝදනාව, විදිමත්ව විමසා බැලිය යුත්තේ වඩාත් ප්‍රවේශම් සහගතවය. මන්ද, ජාත්‍යන්තර ප්‍රඥප්ති අත්සන් නොකළ පමණින්, රටට සහ ආණ්ඩුවට එල්ලවන බලපෑම අවම වන්නේ නැත. මේවැනි බරපතළ කාරණා හමුවේ යළිත් සනාථ කරනු ලබන්නේ, රාජ්‍ය අධිකරණ ව්‍යුහය සහ ඊට අදාළ අනෙකුත් ආයතන, ගැටලු විසඳීම සඳහා මෙහෙවිය යුත්තේ කෙසේද යන්න. ජනාධිපති සහ අගමැති හමුවේ ඇති මූලික සහ වැදගත් අභියෝගය මෙයයි.

වැඩිදුර කියවීම සඳහා:

පොකුරු බෝම්බ භාවිතයට අදාළ මූලික විමසීම් වාර්තාව කියවීම සඳහා මෙතැනින් පිවිසෙන්න

Back to Top