Sri Lanka Brief
පුවත් විශේෂාංගජවිපෙ අපල කාලය – නිලන්ත ඉලංගමුව

ජවිපෙ අපල කාලය – නිලන්ත ඉලංගමුව

by

( ජවිපෙ මතුපිට සහ ඇතුළත වෙනසකි)

පසුගිය සති කිහිපය තුළ ජනතා විමුක්ති පෙරමුණ ( ජවිපෙ) සම්බන්ධයෙන් එල්ල වූ විවේචන සහ චෝදනා සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ, අදාළ පක්ෂය මූලික කරගෙන තමන්ට ඇති විරෝධය විශාල කිරීමට සහ විස්තාරණය කිරීමට කිහිප දෙනෙකු උත්සහ කරන ආකාරයයි. දේශපාලන කල්ලිවල මෙවැනි දෑ ඉතා සුලභය.  මම ජවිපෙ හිතෛෂියකු හෝ අනුගාමියෙකු නොවන්නා සේම ජවිපෙ සම්බන්ධයෙන් මා සතු අදහස තවමත් වෙනස් වී නැත. ඒ වූ කලී, ජවිපෙ යනු තමන්ට හිමි අවස්ථා කුණු කොල්ලයට විකුණා රටේ කොඳු නාරටිය ශක්තිමත් කිරීමට තිබූ අවස්ථා මස්තබාල්දු කරනු ලැබූ මූසල දේශපාලන පක්ෂයකි.

පක්ෂයට නිවැරදි ආර්ථික සහ දේශපාලන දර්ශනයක් තිබුණේද? නොඑසේනම්, වෙනත් රටවල සිදුවන දෑ දැක එහි “කොපියක්” මෙහි තැනීමට අර ඇන්දේද යන්න අදාළ පක්ෂය හමුවේ ඇති ඉතිහාසයට අදාළ ප්‍රමුඛ ප්‍රශ්නයකි. මීට පිළිතුරු බොහෝ දෙනෙකු බොහෝ ආකාරවලින් ලබා දී තිබේ. විප්ලවයට පෙර කේන්ද්‍ර බැලීම සහ හොරෙන් පිරිත් නූල් බැඳගෙන තමන්ගේ අපල දුරු වීම සඳහා බලු-කපුටු දාන දීමේ සිට කළ හැකි සියලුම හින්දු බමුණු සංස්කෘතිය විසින් හඳුන්වා දුන් සියල්ල එකිනෙකාට හොරෙන් අනුගමනය කළ පිරිසක්, තම දරුවන් හාමතේ මියයද්දී ඒ ගැන නොතකා දර්ශනවාදයක් හඳුන්වා දීම වෙනුවෙන් තම ජීවිතය කැපකළේ යැයි සඳහන් කාල් මාක්ස් සහ ඔහුගේ විද්‍යාව/ දර්ශනය අනුගමනය කරනු ඇතැයි සිතීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හාස්‍යයකි.

කෙසේ වෙතත් රට හමුවේ මේ අවස්ථාවේ ජවිපෙ සම්බන්ධයෙන් මතු වී ඇති විරෝධය කිසිඳු වැදගැම්මකට නැති ආලපාලු  විවේචනයකි. යමෙක් ස්ත්‍රීයක් සමග යහන්ගත වීම හෝ බීමත් වී ( එසේ සිටියේනම්) රියපදවමින් සිටියදී හදිසි අනතුරකට භාජනය වීම ආදී කාරණා විවේචනය කිරීම් තුළින් මතු වන්නේ ජවිපෙ නියෝජනය කරන දේශපාලන අවකාශය සහ ජවිපෙ එම අවකාශය තුළ සෙල්ලම් කරන ආකාරය විවේචනය හෝ විග්‍රහ කිරීම සඳහා ගෙන ඇත්තේ නියාලු ප්‍රවේශයකි.

මෙහි පළමු කාරණය වූ කලී, ජවිපෙ නායකයාට එරෙහිව ඔහුගේ අයර්ලන්ත සංචාරයක් මූලික කර ගනිමින් සිදු කළ විවේචනයයි. එය සබැ අර්ථයෙන් ගත්කළ කැලෑ පත්තරයකි.  සැබැවින්ම, ඉන් සිදු කරනු ලැබුවේ ජවිපෙ නායකත්වය විවේචනය කිරීම නොව, තම ආශාවට නැති අවකාශය ගැන පශ්චාත් වීම නිසා ඇතිවන වියෝව වචනවලට පෙරලීමය. සැබවින්ම, ලංකාවේ බරපතළ සෙක්ස් ප්‍රශ්නයක් තිබේ. මෙය විසඳා ගැනීම සඳහා බොහෝ දෙනෙකු බොහෝ දෑ කරති. මෙය දේශපාලන පක්ෂ වලට ගමන් කිරීමේදී තවත් බරපතළ වී මහත් ව්‍යාකූලත්වයක් ඇති කොට තිබේ. ඇතැම් පුවත්පත්වල තත්වයද මීට දෙවැනි නොවේ.

තමාගේ ආශාව සංසිදුවා ගැනීමට හැකි අවකාශයක් නොමැති තැන, හොරෙන් එය සිදුකිරීමට මාන බලයි. එය නොහැකි වූ කළ තමන් ආයාසයෙන් මුදුන්පමුණුවා ගැනීමට වෙරදැරූ  ආශාව වෙන කෙනෙකු භුක්ති විඳින විට, එම භුක්ති වින්දින්නාට ගැරහීමට පටන් ගනී. ඒ සඳහා සංස්කෘතිය, තම ආරක්ෂක වැට ලෙස භාවිතා කරමින්, භුක්ති විඳින්නා අශ්ශීලයකු ලෙස අරුත් ගන්වයි. මන්ද ඊට දේශපාලන වටිනාකමක් ලබාදෙන්නේ එම අශ්ශීල අර්ථකතනය ( ජවිපෙ නායකත්වය විෂයෙහිලා සිල්බිඳ ගැනීම), රටේ සාමාන්‍යය ජනතාව අතර පුවතක් බවට පත් කිරීම පහසු කිරීම සඳහාය. දැන දැන කරන මෙම සෙල්ලමේ ඇත්ත මෙන්ම එම ඇත්ත තුළ තම භූමිකාව මේ සියල්ලෝම දනිති.

අවාසනාවට ජවිපෙ ඊට පිළිතුරු ලබාදීම සඳහා අනුගමනය කරනු ලැබුවේද නියාලු ක්‍රමවේදයකි. අදාළ කාරණය මූලික කරගනිමින් එය ලිව්වේ යැයි කියන මාධ්‍යවේදියා ගෙදර යැවීමට දැක සතුටුවීමට වඩා ජවිපෙ කළ යුතුව තිබුනේ ඔහුගේ රැකියාව වෙනුවෙන් පෙනී සිටීමය. ඒ වෙනුවෙන් පෙනී සිටිමින්, කාලයට ඉඩ දී තම දේශපාලන කටයුතු සිදු කිරීමය. එසේම තවත් වරක් නොව කිහිප වරක්ම අයර්ලන්තයට යෑමය. එහි යන අතරතුර තම පක්ෂයේ රැස්වීම් සංවිධානය කිරීම සහ අයි. ආර්. ඒ. වැනි ප්‍රභල දේශපාලන දර්ශනයක් මත පිහිටා නිර්මාණය කරනු ලැබූ පක්ෂ ගැන හැදෑරීමය. එය රටේජනතාවට පැහැදිළි කරදීමය. වසර කිහිපයකට පසු, ජවිපෙ නායකයා ගියේ බිස්නස් ක්ලාස් හෝ එහි යාමට හේතුව සිල් බිඳ ගැනීමද යන්න වැදගත් වන්නේ නැත. වැදගත් වන්නේ රටේ පවතින දේශපාලන සංස්කෘතිය ( ධනපතියාට විඳීමට හැකි ඉඩ සියල්ලටම විඳිය හැකි පරිදි පුළුල් වී නිර්ධනයා ආශාව නමැති මූලික වින්දනය විඳීමට නොහැකි වීම ගැන සිතමින් ඒගැන විදවමින් එහි දියවෙන ගොදුරක් බවට පත් වී තිබීම. හොඳම උදාහරණය ජෝන් අමරතුංග මහතා.) වෙනස් කිරීමට ජවිපෙ දක්වන දායකත්වය වේ. එනම් දිරා ගිය සමාජ ක්‍රමය ( සොසල් සිස්ටම්) වෙනස් කිරීමට ජවිපෙ දක්වනු ලබන දායකත්වය වේ.

මේ ආකාරයේම ගැටලුවක්, ජාතික නිදහස් පෙරමුණ පිහිටුවා ගැනීමට පෙර සහ ජවිපෙන් එලවා දැමීමට පෙර විමල් වීරවංශ මහතා මූලික කොට ගනිමින් මතුවිය. ඔහු තම හිසේ ජෙල් ගෑම, මෙන්ම භාවිතා කරනු ලැබූ ජංගම දුරකථනය ඇතැමුන්ට ගැටලුවක් විය. එය ගැටලුවක් වූයේ එය නැති මිනිහාට නොවේ. එනම්, අදාළ දෑ භාවිතා කරන පන්තියටය. මන්ද, ඔහු අදාළ පන්තියට ඍජු ප්‍රහාරයක් එල්ල කළ හෙයිනි. එම ඇත්ත වැසීම සඳහා ඔහු හා ලේක් හවුස් හී සේවය කළ ස්ත්‍රීයකගේ සම්බන්ධයක් ගෙන හැර දැක්වීය. ඇය ලියනු ලැබූ ලිපි ප්‍රසිද්ධ කළේය. අරගලය තුළ වීරවංශ තම පාවාදීම තම සතුරා සිතුවාටත් වඩා වේගවත් කරමින්, අදාළ නාටකය අවසානයේ අසූචි කෑ සූකරයෙකුගේ තත්වයට පත්විය.

එම සිදු වීමෙන් කලකට පසු අප හමුවේ ඇත්තේ කුමක්ද? එනම්, අනුරගේ සිල් බිඳ ගැනීම ගැන රටේ සාමාන්‍ය මිනිසුන් තුළ කුකුසක් ඇතිකිරීමට සමත් කතුවරයා, හොර රහසේ දුරකථන මාර්ගයෙන් ජවිපෙන් සමාව ගැනීමට තීන්දු කරන්නේ වීරවංශගේ පතුරු ගැලවීමෙනි. ඔහු එය පටිගත වන්නේ දැයි කිසි මොහොතක නොසිතන්නට ඇත. රටේ කුහක සංස්කෘතියේ ඇති සැබෑ රෝගී ස්වභාවය එයයි.

දේශපාලන ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරන්නේ නම්, වෙනත් වචන වලින් කිවහොත් ජවිපෙ මකස්වාදී පක්ෂයක් නම් “සීල් බිඳ ගැනීම” ගැන කිසිඳු කලබලයකට පත් විය යුත්තේ නැත. මන්ද මෙම ” සීලය” හින්දු බමුණන් විසින් මෙරට සංස්කෘතිය තුළ පැළපදියම් කළ සීලයකි. ආගම විසින් චිත්‍රණය කොට පිළිපැදීමට යැයි කියන මෙම සීලය බිඳීම බමුණෙකුට ගැටලුවක් වුවද, එය හේතුවාදීව මැදුම් පිළිවෙතට අනුව සිතන්නාට ගැටලුවක් නොවේ. එසේම, මකස්වාදායට අනුව ආගම වූ කලී අබිංය.

ජවිපෙ නායකයා හමුවේ සිදු වූයේ කුමක්ද? පාරම්පරික භුක්ති විඳින්නා හැරෙන්නට ඊට එන ආගන්තුකයාට හැකි පමණ පහරදීම සහ ඔහු තම අවකාශයෙන් වෙන් කිරීම බමුණු සංස්කෘතියේ මූලික උපාය වේ. මේ නිසා ඔවුහු කුලවාදය නිර්මාණය කළේය. එමඟින්, තම ආශාව තමන්ට රිසි සේ භුක්ති විඳිය හැකි අතර ඊට තරගයක් ඇතිවන්නේ නැත. මේ හමුවේ, ජවිපෙ වත්මන් නායකත්වය වැනි චරිතයක්, අදාළ රාමුව කැඩීම, පාරම්පරික භුක්තිවිඳින්නාට ගැටලුවක් වේ.

විජිත හේරත් මහතා මුහුණ දුන් හදිසි රිය අනතුර වටා ඇති දේශපාලනයද මේ හා සමානය. මෙම සිදුවීම් වල ඇති සැබෑ දේශපාලනයක් නොමැත. අවාසනාවට එම නැති දේශපාලනය ලංකාවේ දේශපාලනය වී තිබේ. එසේම, එය දේශපාලනික කාරණයක් බවට පත් කරනු ලබන්නේ ඊට ජවිපෙ දක්වන ප්‍රතිචාරය අනුවය. ජවිපෙ තම මුදල් සහ කාලය නාස්ති කොට ඊට පිළිතුරු ලබා දීම මඟින් අනෙකාට අවශ්‍ය දේශපාලනය ඔවුහු සිදු කරනු ලබයි.

මෙම මෝහයෙන් පිරි දේශපාලනය තව දුරටත් සිදු කිරීමට ජවිපෙ කටයුතු කරන්නේ නම් වැදගත් වන්නේ, ඔවුන්ගේ කේන්ද්‍ර බලා ගනිමින් සහ රාහු හෝ සෙනසුරු අපල වලින් මිදීම සඳහා බලු-කපුටු දාන දීමය.

නමුත්, ඊට හාත්පසින් වෙනස් දේශපාලනයක් සහ රටේ බලය අතට ගැනීමට වුවමනාවක් තිබේනම්, ජවිපෙට මේ මොහොතේ වැදගත් වන්නේ ජනතාව අතර බිඳුණු විශ්වාසය තැනීම සහ ඒ සඳහා අවශ්‍ය මෙහෙයුම් සකස් කිරීමය.

මීට සති කිහිපයකට පෙර, වාර්ෂිකව පවත්වන ගෝලීය වමේ සමුළුවේදී අදහස් දැක් වූ ප්‍රකට ස්ලෝවේනියානු දාර්ශනිකයකු වන, ස්ලැවෝජ් ජිජෙක් උපුටා දක්වූ කාරණයක් මෙම සටහන අවසාන කිරීමට සුදුසු යැයි සිතේ; වරක් වී. අයි. ලෙනින්, ට්‍රොස්කිගෙන් මෙසේ ඇසුවේලු; අපි විප්ලවය පැරදුනොත් මොකද කරන්නේ; ට්‍රොස්කි  ඊට මෙසේ පිළිතුරු දුන්නේලු; අපි විප්ලවය දිනුවොත් මොකද කරන්නේ? මීට පිළිතුර අනුර ඇතුළු ජවිපෙට සොයා ගත හැක්කේ කාම්බෝජයේ පොල්පොට්, ස්ටැලීන් කියවීමටත් වඩා මෛත්‍රී කියවීමෙන් ලබා ගත හැකි යැයි සිතේ. ජවිපෙ අතරමං වී සිටින්නේ සිල් බිඳ ගැනීම තුළ නොව, ට්‍රොස්කි ලේනින්ගෙන් එදා ඇසූ ප්‍රශ්නය තුළය. ඉතිහාසය පළමුව ඛේදවාචකයක් දෙවනුව ප්‍රහසනයක් ලෙස යළි යළිත් සිදුවන අපුරුව!

Back to Top