Sri Lanka Brief
පුවත් විශේෂාංගඅන්තරේ මන්තරේ….. – සුනිල් ජයසේකර

අන්තරේ මන්තරේ….. – සුනිල් ජයසේකර

by

(අන්තරේ ජොලිය කඳුළු ගෑස් කෑමද?)

සරසවි සිසු උද්ඝෝෂණ අප රටේ සුලබ දෙයකි. අද වනවිට එය කොතරම් සුලබ වී ඇත්ද යත් සෑම මසකම එවැනි උද්ඝෝෂණ හෝ විරෝධතා කිහිපයක් රටේ කොතැනක හෝ සිදුවන පසුබිමක් නිර්මාණය වී තිබේ. ඊයේ දිනයේදී ද කොළඹ නගරය මැදින් එවැනි උද්ඝෝෂණ පාගමනක් ගමන් ගත්තේය. එය අවසන් වූයේ පොලිසිය මගින් එල්ල කළ ජල ප‍්‍රහාර හා කඳුළු  ගෑස් ප‍්‍රහාරයකින් අනතුරුවය. ඒ අතරතුර එක් සිසුවියක් හා සිසුන් දෙදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා විය.

සරසවි සිසුන්ගේ මේ පාගමනට නැතහොත් උද්ඝෝෂණ පෙළපාලියට නිමිත්ත වී ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ නවක සිසුවියක නවක වධයට ලක්කළේය යන චෝදනාවට රිමාන්ඞ් භාරයේ පසුවන එම විශ්වවිද්‍යාලයේම සිසු සිසුවියන් කිහිපදෙනෙකු නිදහස් කරනලෙස බලකිරීමය.

මේ රටේ  ඕනෑම පුරවැසියෙකුට හෝ පුරවැසි කණ්ඩායමකට රටේ පාලකයන් වෙතින් හෝ පාලනයට අදාළ ආයතනයක් වෙතින් තමන්ට යම් අසාධාරණයක් වී ඇත්නම් එය නිවැරදි කරගැනීමට අයිතියක් තිබේ. එය විශ්වවිද්‍යාල ශිෂ්‍යයාටද පොදු වූ අයිතියකි. එමෙන්ම ඒ අයිතිය උදෙසා පෙනී සිටිය යුතු, ඒ සඳහා අනුගමනය කළයුතු පිළිගත් ක‍්‍රමවේදයක්ද පවති. වගකීම් සහගත පුරවැසි කණ්ඩායමක් ඉන් බැහැරව කටයුතු කිරීමට නොපෙළඹෙනු ඇතැයි සමාජයේද අපේක්ෂාව වී තිබේ. ඒ අනුව විශ්වවිද්‍යාල ශිෂ්‍යයා වෙතින්ද සමාජය අපේක්ෂා කරන්නේ එවැනිම වූ පිළිවෙතකි.

පොදුවේ ගත්කල ශ‍්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාවට විසඳාගත යුතු ප‍්‍රශ්න රාශියක් තිබිය හැක. ඔවුන් පසුගිය කාලය තුළ ඉදිරිපත් කරනලද කරුණු කාරණා සලකා බැලීමේදී ඒ බව හොඳින් වටහාගත හැකිය. එමෙන්ම විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයට ද ඇතැම් විට පාලක මණ්ඩලයන්ට ද ඒ ආකාරයටම විස`දාගත යුතු ප‍්‍රශ්න තිබෙන්නට ද පුළුවන. විශේෂයෙන්ම ඊයේ පෙළපාලි ගිය කැලණි විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට ඉගැන්වීම් කරනු ලබන එම විශ්වවිද්‍යාලයේම ආචාර්යවරුන් පසුගිය දා සිය දේශන වලින් ඉවත් වූයේ ඔවුන්ට ද විසඳාගත යුතු ප‍්‍රශ්නයක් තිබෙන බව රටට දැනුම් දීමටය. ඒ දෙපිරිසටම මෙන්ම රටේ දැනුවත් පුරවැසියන්ට ද අප රටේ විශ්ව විද්‍යාලවලට අදාළව විසඳාගත යුතු ගැට`එ තිබේ. ඒ පුද්ගලිකව තමතමන්ට අදාළ කරුණු නොවේ. ඒවා විස`දාගත යුතු වන්නේ රටේ මතු පරපුරට එවා අදාළ වන නිසාය. රටේ අනාගතයට බලපාන නිසාය. ඉන් ප‍්‍රධානතම ප‍්‍රශ්නය වන්නේ මේ වසරේදි ලෝකයේ හො`දම විශ්වවිද්‍යාල වර්ගීකරණයට අනුව අප රටේ විශ්වවිද්‍යාල වලට අත්ව ඇති ශෝචනීය තත්වයයි. එහෙත් අවාසනාව නම් ඒ ගැන හෝ ඊට හේතු සෙවීමට මේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් තබා ආචාර්යවරුන්ද කිසිදු උනන්දුවක් නොදැක්වීමයි.

ඒ අනුව පෙනී යන්නේ සරසවි ශිෂ්‍යයාට ද සරසවි ඇදුරන්ට ද රටේ මහජනතාවට ද ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියට අදාළව විසදාගත යුතු, නිරාකරණය කරගත යුතු ගැටලූ පවතින බවයි. එහෙත් ඒවා විසදාගත යුතු ක‍්‍රමවේදයක් ද පවති. එහි පදනම වියයුත්තේ ශිෂ්ට සම්පන්න ලෙසට හා රටේ පොදු නීතියට අනුගතව ඊට මැදිහත්වීමය. එකම මන්තරය ජප කරමින් කඩින්කඩ එකදිගට එකම මග, එකම පිරිසක්, එකම ආකාරයෙන් යන පෙළපාලි වලට පොලිසියද දැන් ප‍්‍රතිචාර දක්වන්නේ පෙර පරිද්දෙන්ම නොවේ. දැන් පෙර මෙන් පොලිසිය යකඩ පොලූ රැුගෙන ශිෂ්‍යයන්ගේ ඔළු පලන්නට යන්නේ නැත. එය අපේ පොලිසිය සිල් ගෙන ඇති නිසා නොවේ. අනීතික ලෙස ක‍්‍රියාකරන්නට හෝ අනීතික උපදෙස් අනුගමනය කරන්නට ගිය අයට අත්වන ඉරණම පසුගිය සිදුවීම් තුළින් ඔවුන් තේරුම්ගෙන ඇති නිසාය. ඒ අනුව දැන් ඔවුන් එල්ල කරන්නේ ජලප‍්‍රහාරයන් ය. ඒ රටේ නීතිය අනුව ඔවුන් වෙත ලබාදී ඇති බලය තුළය.

ඒ නීත්‍යානුකූල බලයේ හරි වැරැුද්ද ප‍්‍රශ්න කළයුතුව ඇති නම් එයද ප‍්‍රශ්න කළයුත්තේ ඒ නීතියේ රාමුව තුළ කටයුතු කරමිනි.
එහෙත් මතුවන ප‍්‍රශ්නය නම් කොතරම් යුක්ති සහගත කරුණක දී වුවද වත්මන් සරසවි සිසු නායකත්වය රටේ පොදු නීතිය අනුගමනය කරන්නට සූදානම් ද යන්නය. අමානුෂික නවක වධය සරසවිය තුළ තහනම් කර තිබියදීත් එය ශිෂ්ටත්වයට පමණක් නොව රටේ නීතියට අනුවද අපරාධමය වරදක් බවට නම්කර තිබියදීත් එම චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඞ්භාරයට පත්කර සිටින සිසුන් පිරිසක් නිදහස් කරගැනීමට පෙළපාලි එන්නේ ඒ නිසාය. නොඑසේ නම් ඔවුන් යායුතුව ඇත්තේ ඉහළ අධිකරණයක් වෙතය. ඒ පෙළපාලි වලින් නොවේ. නීතිඥවරයෙක් හෝ නීතිඥ මණ්ඩලයක් ද සමගය.

අනෙක් අතට තම ප‍්‍රශ්නයට සමාජ අවධානයක් දිනාගැනීම සඳහා ඊයේ මෙන් කටයුතු කළහැකි වුවද එයද කළයුතුව ඇත්තේ රටේ පවත්නා නීතියට අනුගතවය. ඊයේ පාගමන කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙමින් සිටි අවස්ථාවේදී අදාළ පාගමන අත්හිටුවන ලෙසට අධිකරණය මගින් ලබා දී ඇති නියෝගය කොළඹ කොටුව පොලිස් ස්ථානයේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකයෙකු විසින් පෙළපාලියේ සංවිධායකවරුන්ට ඉදිරිපත් කරන ආකාරයද ඔවුන් එය බාරගැනීම ප‍්‍රතික්ෂේප කරන ආකාරය ද අපි දුටුවෙමු. එම උද්ඝෝෂණයට සහභාගි නොවූ බාහිර සමාජයට බරපතළ ප‍්‍රශ්නයක් පැනනගින්නේ ඒ අනුවය.

එනම් රටේ තරුණ පරපුර අතර දැනුම්වත් බවින් ඉහළම කණ්ඩායම ලෙස සැලකිය හැකි පිරිස රටේ පවත්නා නීතිය පිළිබඳව අනුගමනය කරන්නේ කුමන පිළිවෙතක් ද යන්නය. රටේ පවන්තා නීතිය පසිඳලන අධිකරණයකින් ලබා දුන් නියෝගයක් පිළිනොගැනීමට අයිතියක් නැතැයි ඉන් අදහස් නොවේ. එහෙත් එවැනි නියෝගයකට පවා අභියෝග කළයුත්තේ පවත්නා නීතිමය තත්වයට අනුගතවය. මහපාරේ නොවේ. එමෙන්ම රටේ පවත්නා නීතියට යම් ප‍්‍රතිසංස්කරණයන් අවශ්‍ය වන්නේ නම් එය පවා නීත්‍යානුකූල ලෙස සිදුකර ගැනීමට අවශ්‍ය පූර්වාදර්ශ හා ක‍්‍රමවේදයන් මෙන්ම ඒ ස`දහා වන මාර්ගයක් ද පැහැදිළිව තිබේ. එසේ තිබියදී ක‍්‍රමවිරෝධි ලෙස හා ශිෂ්ට සම්පන්න නොවන ආකාරයට ඊට අභියෝග කරන්නෙකුට සමාජයෙන් යුක්තිය ඉල්ලා සිටීමට අයිතියක් තිබිය නොහැකිය.(

පුවත් පසුබිම, – සුනිල් ජයසේකර

Back to Top