Sri Lanka Brief
විවරණනැවත නැවතත් මතුවන ෆෙඩරල් ෆෝබියාව – රංජිත් හේනායකආරච්චි

නැවත නැවතත් මතුවන ෆෙඩරල් ෆෝබියාව – රංජිත් හේනායකආරච්චි

by

ලංකා සමාජය මිත්‍යාවන්ගෙන් පිරුණ සමාජයකි. හදි හූනියම්, පෙරේතයන්, කුම්භාණ්ඩයන්, බලි තොවිල්, නූල් බැදීම්, යන්ත්‍ර මන්ත්‍ර ආදී මෙකී නොකී දේ පිළිබඳ විශ්වාස කිරීම ලංකා සමාජය පුරා පැතිර ඇති ව්‍යවසනයකි. මේ තත්වය සිංහල සමාජය තුල එයිනුත් එහා ගොස් තමන්ගේම භාෂාව, එනම් සිංහල භාෂාවේ වචන වල සැබෑ අරුත වෙනුවට සමාජයේ පැතිරුණු එක්තරා කණ්ඩායමක් තමන් ආරූඨ කර ගත් වෙනත් අරුතක් නැතිනම් මිත්‍යාවක් මවාගෙන එය එම වචනාර්ථය ලෙස අදහති. හරියට මේ මිත්‍යාවත් යම් පුද්ගලයෙකුට විෂබීජයක් ශරීර ගතවීම නිසා ඇතිවන රෝගයට හේතුව මෙම විෂබීජය බව පිලිනොගෙන එයට හේතුව ඔහුට හෝ ඇයට පෙරේත බැල්මක් නැත්නම් කුම්භාණ්ඩයෙකු වැසී ඇත යනුවෙන් පිලිගන්නා ලෙසිනි. පෙඩරල් යන වචනයට සිංහල වචනය සන්ධීය යන වචනයයි. සන්ධීය යන්න තුල සිංහලයෙන් ගම්‍ය වන්නේ එකට එක්වීම, එකට හමුවීම, එකට බැඳීම යන්නයි. සිංහල භාෂාවටම අනුව අපේ භාෂාවේ සන්ධි ගණනාවකි. ස්වර සන්ධිය, පූර්වාපර සන්ධිය ආදී ලෙසින් ඇති මේ සන්ධි වලින් පෙන්නුම් කරන්නේ වචන දෙකක් එකට එකතු වීම යන්නයි. නමුත් දේශපාලනයේදී සන්ධිය යන්න අප සමාජයේ මා ඉහතින් සඳහන් කළ කොටස වටහා ගන්නේ වෙන්වීම නැතිනම් බෙදීම ලෙසයි. මෙය සිංහල භාෂාවේ චනයක සැබෑ අරුත පැත්තකට දමා මවාගත් මිත්‍යා වචනාර්ථයක් එයට ලබා දී එය වැළඳගෙන සිටීමයි.

විශේෂයෙන්ම සිංහල ජාතිවාදී සහ ජාතිකවාදී කොටස් ‘ෆෙඩරල් දිය නොහැකි’ බව පවසයි. ඔවුන් ෆෙඩරල් ඉල්ලනවා යැයි පවසයි. දිවයින වැනි පුවත්පත් මෙන්ම ලංකාවේ ප්‍රධාන පක්ෂවල දේශපාලඥයින්ගේ ප්‍රකාශ තුලින් දිනපතා වාගේ අසන්නට ලැබෙන වචනයක් වන්නේ ෆෙඩරල් දිය නොහැකිය, ෆෙඩරල් දුන්න හොත් රට බෙදේ ආදී කියමන්ය. මෙම භාෂා ව්‍යවහාරය දෙස අප මොහොතක් බලමු. ‘ෆෙඩරල් ඉල්ලීම’ නැතිනම් ‘ෆෙඩරල් දීමක්’ යන වචනවලින් හැඟෙන්නේ දෙමළ ජනයා සිංහල අධිපත්‍යවාදයෙන් ඉල්ලා සිටීම සහ සිංහලයා විසින් ඔවුනට එය දීම යන අරුත්ය. සිංහලයාගේ මෙසේ ඉල්ලීමට හෝ සිංහලයා විසින් එය දෙමළුනට දීමට හෝ දෙමළ මිනිසුන් සිංහල මිනිසුන් ඉදිරියේ යාචකයන්ද? දෙමළ මිනිසුන් ද සිංහලුන් මෙන්ම මෙම දූපත් භූමි භාගයේ ඉපදී ජීවත්වන මිනිසුන්ය. සිංහලයාට මෙන්ම ඔවුනට මෙහි ජීවත්වීමේ අයිතිය එක හා සමානය. ඔවුන් යෝජනා කරන්නේ දෙමළ ජනවර්ගයාගේ යහපත සඳහා වැඩ කර ගැනීමට පහසු වන රාජ්‍ය ක්‍රමයක් පිළිබඳ යෝජනවාක් මිස යැදීමක් නොවේ.

ලෝකය තුල රාජ්‍ය ක්‍රමයන් 2 කි. එකක් ඒකීය මධ්‍යගතයට සියල්ල යටත්ව පවතින ඒකීය රාජ්‍යයි. අනෙක ප්‍රාන්තවලට ස්වාධීන පාලනයක් පවත්වා ගත හැකි සම්මුතියක් තුලින් බැඳුණු මධ්‍යම රාජ්‍යට සහයෝගයෙන් තීන්දු තීරණ ගැනීමට ඉඩ කඩ ඇති එක්සත් නැතිනම් සන්ධීය රාජ්‍ය ක්‍රමයයි. රටවල් එකිනෙකට අනුව ඒ ඒ රාජ්‍යට අදාළ ලෙස මේ ඒකීය සහ සන්ධීය රාජ්‍යන් යම් යම් සංශෝධනයන් හෝ එකතුකිරීම් කර ගෙන තිබේ.

ලොව ඇති දියුණුම රාජ්‍යන් සියල්ලකම පාහේ පවතින්නේ එක්කෝ සන්ධීය රාජ්‍යක්ය. නැතිනම් ඒකීය රාජ්‍යක් තුල අති විශාල ලෙස ප්‍රාන්තයනට බලය බෙදා හළ රාජ්‍යන්ය. ප්‍රදේශයනට බලය බෙදා නොහළ සෑම තැනකම නොදියුණු භාවය සහ ගැටුම් පිරී පවතී. ඒවාගේම බලය බෙදා නොහළ රාජ්‍යන් තුල නගරය සහ ගම අතර ඇති වෙනස අතිවිශාලය. මේ නයින් බලන කළ ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ලං වන්නේ වැඩි වැඩියෙන් බලය බෙදා හැරි රාජ්‍යන්හි බව පැහැදිලිය.

කණගාටුවට කාරණය වන්නේ ලංකා සමාජය තුල මේ මිත්‍යා මත එනම් සන්ධීය යන්නෙන් අදහස් වන්නේ බෙදීම, වෙන්වීම යන්න වැඩි වැඩියෙන් අදහන්නේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සහ ඒවායේ ක්‍රියාධරයන්ය. ඒ මොවුන් ‘ලාංකීය ජාතිය’ යන්න ස්වයංක්‍රීයවම සිංහල ජනවර්ගය ලෙස හදුනා ගැනීමේ අසනීපයෙන් පෙලෙන නිසාවෙනි. මෙම අධිපතිවාදී සිතුවිල්ලෙන් මිදුනු මිනිසුන් සිංහලයින් අතර කුඩා කණ්ඩායම වන අතර සෑම ප්‍රධාන පක්ෂයකම පාහේ වැඩි දෙනෙක් හිතන්නේ අර ආධිපත්‍යවාදී සිතිවිල්ල මුල්කරගෙනයි. ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂවල තත්වය ඉතා කණගාටුදායකය. සිංහල ජාතිවාදී බලවේග සහ පක්ෂ (සිහළ උරුමය, බොදු බලසේනා, හෙළ උරුමය ආදී මෙකී නොකී බලවේග) සිංහල ආධිපත්‍යවාදය වෙනුවෙන්ම පෙනී සිටින අතර සිංහලයාගේ ඉවසීමට නතුව රටේ සුළු ජන කොටස් ජීවත් විය යුත බව අදහයි. ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ සිංහල ජාතිකවාදය තම මතය ලෙස ඉදිරිපත් නොකළා වුවත් ටිල්වින් සිල්වා වැනි අය ‘දෙමළ මිනිසුන්ගේ ඉල්ලීම ෆෙඩරල් නොවේ’ වැනි ගොං කතා කියමින් තමා තුළ සැඟව ඇති සිංහල අධිපතිවාදය හෙලිදරව් කර ගනිමින්ම එය වසා ගැනීමට සිංහල දෙමළ හැමෝගේම ප්‍රශ්න සමාන යැයි කියති. එතුලින් ගම්‍ය වන්නේ රටේ කුඩා ජන කණ්ඩායම්වලට පීඩනයක් නැතිය යන්න වහෙන් ඔරෝ පැවසීමයි. මෙම වහෙන් ඔරෝ තුල ඇත්තේ සිංහල ආධිපත්‍යවාදයේ දෝංකාරයයි. ජනතා විමුක්ති පෙරමුණ ටිල්වින් සිල්වා පසුගිය දිනෙක පවසන ආකාරයට ‘උතුරේ ජනතාවගේ අවශ්‍යතාවය ෆෙඩරල් පාලනයක් නොවේ. ඔවුනට අවශ්‍ය එදිනෙදා ජීවිතයේ මූළික අවශ්‍යතා ඉටු කර ගැනීමයි. උතුරු නැගෙනහිරට ෆෙඩරල් පාලනයක් ඇති කිරීමට උතුරු පළාත් සභාව දරන උත්සාහය සම්පූර්ණයෙන් පරාජයට පත් කළ යුතුයි’.

75% ක පමණ දෙමළ ඡන්ද ලබා තේරුණ දෙමළ නියෝජිතයන්ට වඩා 5% ක පමණ සිංහල ඡන්ද ලබා තේරුණ ජනතා විමුක්ති පෙරමුණ නියෝජිතයන් දෙමළ ජනතාවගේ කැමැත්ත කුමක්දැයි දැන සිටීම පුදුමයක් නොවන්නේද? ටිල්වින් වැන්නවුන් මේ ගොං කතා කියන්නේ රෙදි ඇඳගෙනද?

එමෙන්ම ජාතික නිදහස් පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂය ලෙස හදුනාගන්නා දේශපාලන බලවේගය අනෙකුත් සිංහල ජාතිවාදී බලවේගයන්හි හෝ සිංහල අධිපතිවාදී මතය හිසතුල තබාගෙන ක්‍රියාත්මක වන සිංහල මාධ්‍ය ආයතනයන්හි මතයන් සහ ජනතා විමුක්ති පෙරමුණ මතයන් අතර වෙනසක් තිබේද? තිබේනම් ටිල්වින් සිල්වලා එය කුමක්ද කියා වෙන්කර පහදා දිය යුතුයි. ලංකාවේ ජාතික ප්‍රශ්නයේදී මොවුන් ලැග සිටින්නේ එකම අත්තක් මත බව පැහැදිලිය.

වසර 25 කට වැඩි කාලයක් කුරිරු යුද්ධයකට මුහුණ දී රටේ දරු දැරියන් ලක්ෂ ගණනකගේ ජීවිත විනාශ කරගෙන වත් පාඩමක් ඉගෙන ගෙන නොමැති මෙම සිංහල ජාතිවාදී දේශපාලනය තමන්ගේ භාෂාවේ වචනවල සැබෑ අර්ථය වෙනුවට මිත්‍යා අර්ථයක් මවා පෙන්වමින් ජීවත් වෙති. ඔවුනගේ සැබෑ ප්‍රශ්නය තමන්ගේ අධිපතිවාදී මනස මිස වෙනත් කාරණයක් නොවේ. මෙම දේශපාලන මිත්‍යා මත ලංකා සමාජය මත පතුරුවන දේශපාලන පෙරේතයන් සහ කුම්භාණ්ඩයන්ගෙන් රට බේරා ගැනීමට දැන්වත් අවධිමත් ජනයා පෙල ගැසිය යුතුය. මෙම ෆෙඩරල් ෆෝබියාවලින් මිදී සහයෝගයෙන් ගොඩ නගා ගන්නා සම්මුතියක් තුල යහපත් සමාජයක් ගොඩ නගා ගැනීමට දැන්වත් අප ඉගෙන ගත යුතුය. තමන්ට පමණක් නොව අනෙකාටද ආත්ම ගරුත්වයක් ඇති මිනිසුන් ලෙස තමන් ඉපදුන රට තුල ජීවත් වීමට ඇති උත්තරීතර අයිතියට ගරු කිරීමට දැන්වත් මේ පසුගාමී ජාතිවාදීනට හුරු කළ යුතුව ඇත.

1948 නිදහස ලැබූ පසු දෙමළ ජනයා තම අයිතීන් වෙනුවෙන් බලය බෙදා හළ රාජ්‍ය ක්‍රමයක් අවශ්‍ය බව යෝජනා කළ විට ‘රට බෙදනෝ’ කියා හඬ තැලූ සිංහල ජාතිවාදය මේසා විශාල ජීවිත හානිවලට මූණ දීමෙන් පසුත් ඉන් වසර 68ක් ගෙවුන තැනත් එයම කියා මරලතෝනිදීම ඇත්ත වශයෙන්ම ඛේදවාචකයකි. එදා හතලිස් අටේ ලංකාවේ සන්ධීය රාජ්‍ය ක්‍රමයක් ස්ථාපිත කළා නම් ලංකාවේ පසුගිය වකවානුවේ මියගිය විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් බේරා ගැනීමට තිබුණි. එදා ෆෙඩරල් රාජ්‍යක් ඇති කළා නම් 88/90 හි ජනතා විමුක්ති පෙරමුණට ‘කොළඹට කිරි ගමට කැකිරි’ කියා සටන් පාඨයක් ඉදිරිපත් කිරීමටද හේතුවක් නැතිව යනු ඇත.

Back to Top